එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන
එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සමග කාලීන දේශපාලනය සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- ගෙවීගිය මහ මැතිවරණයෙන් අනපේක්ෂිත පරාජයකට ලක්වූ එක්සත් ජාතික පක්ෂයට යළිත් මේ රටේ තීරණාත්මක බලවේගයක් බවට පත්වීමට හැකි යැයි ඔබ විශ්වාස කරනවාද?
එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටට නිදහස දිනා දීමට පුරෝගාමී වූ දේශපාලන පක්ෂයයි. නිදහසෙන් පසු මේ රටේ දේශපාලන වංශ කථාවේ වැදගත්ම පරිච්ඡේදය සටහන් කළ පක්ෂයයි. පසුබෑමකට පස්සේ සිය දහස් ගුණයක ශක්තියකින් නැගී සිටීමේ හැකියාව පක්ෂ ඉතිහාසය ඔප්පු කරලා තියෙනවා. පසුගිය මහා මැතිවරණය සමඟ විශාල පසු බෑමක් ඇති වූ බව ඇත්ත. එයට හේතුව කොළ පාට පවුරේ සමගිය දෙදරා යාම. ඒකෙන් කාටවත් සෙතක් උනේ නැහැ. ඒකාධිපති පාලනයකට පාර විවෘත වීම පමණයි සිදු උනේ. නමුත් මේ හිතුවක්කාර ඒකාධිපති පාලනයට එරෙහිව සටන් කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලුම බලවේග එක සටන් පෙරමුණකට පැමිණීම තුළින් පමණයි කියන යථාර්ථය අද හැමෝටම අවබෝධ වෙමින් තියෙනවා.
ප්‍රශ්නය:- පාක්ෂිකයන් මෙතරම් පක්ෂයෙන් දුරස් උන යුගයක් නැහැ නේද?
ඔව් දුරස් වීමක් සිදු උන බව ඇත්ත. නමුත් ඔවුන් කවුරුත් පක්ෂය සහමුලින්ම අතහැරලා නැහැ. ඔවුන් තවමත් පක්ෂයට ආදරෙයි. පාක්ෂිකයන් සියලු දෙනාට ගෞරවයෙන් අභිමානයෙන් එන්න පුලුවන් තැන තමයි සිරිකොත. නිසැකවම ආයෙත් ඒ මහගෙදර වටා එජාප පවුලේ හැමෝම එකතු වන කාලය වැඩි ඈතක නැහැ.
ප්‍රශ්නය:- නමුත් පහුගිය දවස් වල ප්‍රාදේශීය මට්ටමේ සමුළු වලදී මත ගැටුම් ඇති උනා නේද?
මම දකින්නේ එම මත ගැටුම් සාධනීය දේවල් හැටියට. පසුගිය මහා මැතිවරණයේදී පක්ෂයේ රාමුවෙන් එළියට ගිය අය නැවත ඇතුළට ඇවිත් සිය මතය ප්‍රකාශ කරමින් පක්ෂය තුළින්ම ඉදිරි ගමනක් යන්න කල්පනා කිරීම අද හැමතැනකම දකින්න තියෙනවා. එහිදී ඇතිවන මත ගැටුම් ප්‍රජාතන්ත්‍රවාදී සජීවි දේශපාලන පක්ෂයකට හොඳ ලක්ෂණයක්. ඒ සියලු අදහස්වලට සවන් දෙමින් එක්සත් ජාතික පක්ෂය යෝධ බලවේගයක් ලෙස යළි ගොඩ නැගීම සදහා අපි පියවරෙන් පියවර නමුත් අධිෂ්ඨානශීලිව පෙරට යමින් සිටිනවා.
ප්‍රශ්නය:- ඔබ අභිමානයෙන් කථා කරන පක්ෂයේ මහ ගෙදර සිරිකොත. ඒ උනත් පහුගිය කාලයේ එහි විදුලි බිල්පත් ගෙවීම පවා ප්‍රශ්නයක් උනා නේද?
පැවතුණු නිරෝධායන තත්ත්වයන් මත බොහෝ ආයතන වල වගේම පක්ෂ මූලස්ථානයේ ගනුදෙනු වලත් යම් අතපසු වීම් උනා. එය විශේෂ කාරණාවක් නෙවෙයි. හැබැයි මතක තියාගන්න සිරිකොත කියන්නේ ගල්වැලි වලින් හදපු තවත් එක ගොඩනැගිල්ලක් පමණක් නොවේ. පක්ෂ ඉතිහාසයේ කොටසක්. පක්ෂයට දිවි දෙවෙනි කොට ආදරය කළ පාක්ෂිකයන් පාරාජයේ දී හෙළු සුසුම් වගේම ජයග්‍රහණයේ සතුටු කඳුළුත් රැඳී තිබෙන තැනක්. අපි එහි අහිමානය දිවිහිමියෙන් රකිනවා. ඒ තුළ පක්ෂය වෙනුවෙන් කැපවෙන සියලු දක්ෂයන්ට ගෞරවනීය ඉඩක් හදනවා.
ප්‍රශ්නය:-නමුත් පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධූරය ගැනවත් තාම පැහැදිලි තීරණයක් නැහැ නේද?
නැහැ. අපි පක්ෂය හැටියට තීරණයක් අරන් තියෙන්නේ වර්තමාන දේශපාලන නායකයන් අතර සිටින වැඩිම දැනුමක් සහ පළපුරුද්දක් තිබෙන නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවට යා යුතු බවට. එතුමාගේ තීන්දුව ලැබුණු පසුව එය සිදුවේවි.
ප්‍රශ්නය:-එතුමා මන්ත්‍රීධූරය ප්‍රතික්ෂේප කළොත් නියෝජ්‍ය නායකයා ලෙස ඔබ සූදානම්ද?
මට ඔය ඉල්ලීම ලැබිලා තියනවා. එහෙම උනොත් ඒකත් මුලින් තීරණය කරන්නෙ මම නෙවෙයි පක්ෂයයි. පක්ෂයේ තීරණයට හිස නමමින් මම මගේ වගකීම ඉටු කරනවා.
ප්‍රශ්නය:- වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය වසරක් නිමයි. ආණ්ඩුවේ පළමු අයවැය ඉදිරිපත් වෙලා තියෙන්නේ. වත්මන් පාලනය ගැන ඔබේ අදහස කුමක්ද?
අද තියෙන්නේ තමන්ගේ වැරදි නිවැරදි කර ගන්නට අකමැති උඩඟු පාලනයක්. කවුරු විරුද්ධ උනත් ජනතාව මොනවා හිතුවත් අපිට ඕනෑ දේ අපි කරලමයි පස්ස බලන්නේ කියලා හිතන ප්‍රතිපත්තිය තමයි ගෙවුණු අවුරුද්ද පුරාම අනුගමනය කළේ. මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට මූලික වූ ප්‍රවාහයන් පවා මේ තරම් ඉක්මනට අමතක වීම පුදුමයක්. මේක ඒකාධිපති බලයෙන් මත්වීමක්. අපි තේරුම් ගත යුතුයි හැම ක්ෂේත්‍රයක් ගැනම විශේෂඥ දැනුමක් එකම පුද්ගලයකුට අත්පත් කරගත නොහැකි බව. ඕනෑම විශේෂඥ උපදේශක සභාවක ප්‍රධාන උපදේශකයා තමා විය යුතු යැයි ජනාධිපතිවරයා හෝ වෙනත් දේශපාලඥයෙක් කල්පනා කරනවා නම් එය ඔහුගේත් රෙට්ත් පිරිහීමටම තමයි හේතු වෙන්නේ.
ප්‍රශ්නය:- මේ තීරණාත්මක කාල පරිච්ඡේදයක්. සෘජු තීරණ ගැනීම සදහා ජනාධිපතිවරයා මූලික වීම වරදක්ද?
සෘජු තීරණ හා හිතුවක්කාර තීරණ අතර වෙනසක් තියෙනවා. දැන උගත්කම හා පණ්ඩිතකම අතර වෙනසක් තියෙනවා. දැන් බලන්න පාසල් පටන් ගන්න ගත් තීරණය. ගත්තු ආකාරය. බඩගින්න නිසා එළියට බැහැපු කොළඹ නගරයේ ජනතාවට උත්තර දුන්න විදිහ. පී.සී.ආර්. පරීක්ෂණ කරන්න කියලා උද්ඝෝෂණය කරපු රැඳවියන් සම්බන්ධව ක්‍රියා කළ ආකාරය. විශේෂයෙන්ම මතක තියා ගන්න ඕනෑ බන්ධනාගාරයේ ඉන්න අයට වයිරසය ආසාදනය උනේ ඔවුන් සංචරණයේ යෙදී නිරෝධායන නීති උල්ලංඝනය කළ නිසා නොවෙයි. පරිපාලන ක්‍රියාවලියේ දුර්වලකමක් නිසා. හැබැයි එදා වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරපු රතුපස්වල ජනතාවට දීපු උත්තරයි මේ ගත් ක්‍රියාමාර්ගයි අතර වෙනසක් නැහැ. විශේෂයෙන්ම බන්ධනාගාර ඝාතනය අපේ ආරක්ෂක අංශ වල ප්‍රතිරූපයට විශාල හානියක්. නවීනතම ආයුධ අතැතිව සිටි ලෝකයේ දරුණුම තස්ත්‍ර සංවිධානයකින් ලක්ෂයකට ආසන්න ප්‍රාණ ඇපකරුවන් මානුෂීය මෙහෙයුමකින් මුදා ගත් ආරක්ෂක අංශ වලට නිරායුධව සිටි පිරිසක් කඳවුරක් ඇතුළේ ඇති කළ සිද්ධියකදී මෙවැනි ඝාතන සිදු උනේ කොහොමද කියන එක ලෝකය අපෙන් ප්‍රශ්න කරයි.
ප්‍රශ්නය:- පාසල් දරුවන් මාස ගණනාවක් ගෙවල් වල ඉන්නේ. අධ්‍යාපන ක්‍රියාවලිය ආරම්භ කිරීමට අවශ්‍ය නිසයි යළි පාසල් විවෘත කළේ?
පාසල් දරුවෝ ගැන තීන්දු ගන්න ඕනෑ දේශපාලඥයන්ගේ සියල්ල දත් න්‍යාය නොවෙයි. ගුරුවරුන්ගේ මවුපියන්ගේ අදහස් වැදගත්. කැබිනට් මණ්ඩලයත් Online රැස් වනවා නම් රජයේ ආයතන වල කාර්යය මණ්ඩලයෙන් අඩක් නම් ගෙන්වන්නේ මීටරයේ සීමාව ආරක්ෂා කළ යුතු නම් ඒවා දරුවන්ට අදාළ නැද්ද? මුහුණු ආවරණයක් භාවිතා කළ හැකි පැය ගණනක් තිබෙනවා. අඩුම වශයෙන් දවසට එකක්වත් අවශ්‍ය වෙනවා. ඒ වියදමවත් දරා ගන්න බැරි මාපියන් විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් එවැනි පහසුකම්වත් බලන්නේ නැතුව පාසල් ආරම්භ කිරීම අදූරදර්ශී ක්‍රියාවක්.
ප්‍රශ්නය:-නමුත් කොවිඩ් සමග ජීවත් වීමට හුරු විය යුතුව තිබෙනවා. අධ්‍යාපන ක්‍රියාවලියත් ඒ සමඟ ගලපා ගන්න ඕනෑ නේද?
අපි තමයි ලෝකේම පළමුවැනි දෙවැනි කියලා උදම් අනන්නේ නැතුව කොවිඩ් සමඟ ජීවත් වෙන්න හුරු වෙන්න කියලා ජනතාවට කියපු එක හොඳයි. පාසල් දිගටම වසා තබන්න බැරි එක ඇත්ත. විශේෂයෙන් Online ඉගන ගන්න පහසුකම් නැති දරුවන් අද අසරණ වෙලා තියෙන්නේ. සෑම දරුවෙක්ම එකම ප්‍රශ්න පත්‍රයට ලියන්න ඕනි. ලකුණු දීමේ ක්‍රමවේදය පොදුයි. අධ්‍යාපනයේ සමබර අවස්ථා අහිමිවීම, අධ්‍යාපන විෂමතා, අනාගතයට බැරෑරුම් ප්‍රතිවිපාක ඇති කරනවා. Online හැමෝටම උගන්වන්න පුලුවන් උනත් එය සාර්ථක විකල්පයක් නොවේ. අධ්‍යාපනය යනු විෂය ඉගැන්වීමක් පමණක් නොව සමාජානුයෝජන ක්‍රියාවලියක්. ඒ නිසා අපි කියන්නේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරලා පාසල් පටන් ගන්න කියලා. වැරදි තීරණයක් නිසා දරුවන් සම්බන්ධ අමිහිරි සිදුවීමක් ඇති වුවොත් එය කාටත් දරා ගන්න අමාරුයි. මේ සංවේදී කාරණාවලදී නම්‍යශීලි වීමට පාලකයන් නිහතමානී විය යුතුයි. කොහොම උනත් මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කරලා තිබෙන ප්‍රතිශතය දෙස බැලුවහම අධ්‍යාපනය එතරම් වැදගත් දෙයක් හැටියට මේ ආණ්ඩුව සලකන බවක් පේන්න නැහැ.
ප්‍රශ්නය:- මේ පවතින ආර්ථික තත්ත්වය යටතේ කවර ක්ෂේත්‍රයකට උනත් මුදල් වෙන් කිරීම අභියෝගයක්. පසුගිය රජය මේ පාලනයට භාර දුන්නේ බිඳ වැටුණු ණය බරෙන් මිරිකුනු රටක් බවයි රජය කියන්නේ.
මේක තමයි ලොකුම මිත්‍යාව. එහෙම අමාරු තත්වයක ආර්ථිකයක් භාරගත්තා නම් ආණ්ඩුව ආපු ගමන් වැට් බදු අඩු කළේ ඇයි. රජයේ රැකියා ලක්ෂයක් අලුතින් දෙන්න පුලුවන් වෙන්නේ කොහොමද. අනික අපි අවුරුදු පහටම ගත්ත ණය ආණ්ඩුව මේ කාලය තුළ අරන් ඉවරයි.
ප්‍රශ්නය:- ඔබගේ රජය කරපු විවිධ ව්‍යාපෘතිවලට ගත්ත ණය මේ ආණ්ඩුවට ගෙවන්න උනේ?
කිසිම ආණ්ඩුවක් තමන්ගේ කාලේ ගත්තු ඔක්කොම ණය ගෙවලා ඉවර කරලා නෙවෙයි ඊළඟ ආණ්ඩුවට රට භාර දෙන්නේ. අලුත් ආණ්ඩුව කලින් අණ්ඩුව ගත්ත ණය ගෙවීම සාමාන්‍ය තත්ත්වයක්. 2015 දී අප රට භාර ගත්තේ මහා ණය කන්දක් එක්ක. හැබැයි අපි ඒ ඔක්කොම කලට වෙලාවට ගෙවමින් පළමු වසර තුළම ජනතාවට සහන දුන්නා. ඉතිහාසයේ විශාල රාජ්‍ය සේවා වැටුප් වැඩි කිරීම, විශ්‍රාම වැටුප් විශමතාව ඉවත් කිරීම, විශාලතම ඉන්ධන මිල පහළ හෙළීම, විදුලි බිල 25% කින් හා ගෑස් මිල අඩු කිරීම, අපි පළමු දින 100 ඇතුළෙම කලා. අද උනත් ලැබිලා තිබෙන විදේශ ආධාර වගේම දේශීය සම්පත් නිසි ලෙස කළමනාකරණය කළහොත් ආර්ථික පීඩනයට සාර්ථකව මුහුණ දෙන්න පුලුවන්.
ප්‍රශ්නය:- විදේශ ආධාර රැසක් ලැබෙන බව ප්‍රකාශ උණා. නමුත් කියපු තරම් දෙයක් ලැබී නැති බවයි රජය ප්‍රකාශ කළේ?
පළමු කොරෝනා රැල්ල ආපු වෙලාවේ යුරෝපා සංගමය දීපු ආධාර ලැබුනේ අප්‍රේල් මාසයේ දී. සංචාරක ව්‍යාපාරය නගා සිටවන්න යුරෝ මිලියන 3.5, කොවිඩ් වෛද්‍ය පරීක්ෂණ සඳහා යුරෝ මිලියන 2, ගොවි ජනතාවට ආධාර කිරීම සඳහා යුරෝ මිලියන 16.5, ඒ වගේම ලෝක බැංකුවෙන් කොවිඩ් නිසා පීඩාවට පත් ජනතාවගේ සුභ සාධනය සඳහා ඩොලර් මිලියන 56 ක්, විටින් විට චීනය සහ වෙනත් රටවලින් විශාල ආධාර ප්‍රමාණයක්, දේශීය වශයෙන් ගොඩ නැගූ කොවිඩ් අරමුදලටත් ලැබී තිබෙනවා. මේ මුදල් වඩාත් ඵලදායී ලෙස හැසරවීම ආණ්ඩුවේ යුතුකමක්.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්