ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ
මහ මැතිවරණයට ඇත්තේ සති එක හමාරකි. කුමක් වෙයිද?
මේ ඒ ගැන විමසමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්
අපේක්‍ෂක ජාතික නිදහස් පෙරමුණේ නායක, ඇමැති විමල් වීරවංශ
මහතා සමඟ කළ සාකච්ඡාවකි.
- කාගෙ සහයෝගය ගත්තත් රිෂාද්ලාගේ හකීම්ලාගේ සහයෝගය ගන්න තැනට වැටෙන්නනම් අපි ඉඩ දෙන්නේ නැහැ.
ප්‍රශ්නය:- කොහොමද ඔබේ ඡන්ද ව්‍යාපාරය?
පිළිතුර:- මම වසර 20ක් පුරා පාර්ලිමේන්තුව නියෝජනය වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දයෙන්. හැම මැතිවරණයකදීම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මාව පළමුවැනියා බවට පත් කරලා තියෙනවා. ඒකේ තියෙන විශේෂත්වය තමයි ඡන්දෙන් ඡන්දෙට මට ලැබුණු මනාප සංඛ්‍යාව වැඩි වුණා මිස අඩු වුණේ නෑ. එයින් පෙන්නුම් කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ කියලා. විශේෂයෙන්ම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා 2015 ජනවාරි 9 වැනිදා අරලියගහ මන්දිරයේ සිට මැදමුලනට ගිය දවසෙ ඉඳලා අපි ඉටු කරපු කාර්යභාරය පිළිබඳව මනා කියවීමක් තියෙන කොළඹ දිස්ත්‍රික්කයෙ ජනතාව මෙවර මෙයට පෙර ලබාදුන් මනාප සංඛ්‍යාවටත් වඩා ඉහළ මනාප සංඛ්‍යාවකින් දිස්ත්‍රික්කයේ පළමුවැනියා බවට පත්කර ඔසොවා තබන බව මට විශ්වාසයි.
ප්‍රශ්නය:- ජනාධිපතිවරණයේ දී තිබූ ජනතා ආකර්ෂණය මේ වන විටත් එලෙසින්ම තියෙනවා. කියලා ඔබ හිතනවාද?
පිළිතුර:- අනිවාර්යයෙන්ම. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා කොරෝනා වසංගතයත් එක්ක අපට මීට වඩා ණය ගන්නත් බෑ. මොකද පහුගිය ආණ්ඩුව ණය සීමාව පන්නලා ණය අරගෙන තිබුණ නිසා. අපි ඒ සීමාවට එහා ගිහින් ණය ගන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට ඒකට අනුමැතිය ලැබුණේ නෑ. එතකොට මේ මාස හයේදී අලුතෙන් ණය ගන්නත් බෑ.
ප්‍රශ්නය:- නමුත් මුදල් අච්චු ගැහුවා?
පිළිතුර:- නෑ, එහෙම මුදල් අච්චු ගහල නෑ. එහෙම මුදල් අච්චු ගහලා තියෙනවා නම් අලුත් මහ බැංකු අධිපතිගෙ අත්සන තියෙන මුදල් නෝට්ටුවක් කොහේහරි තියෙන්න ඕනෑ. ඒ නිසා මුදල් අච්චු ගහලත් නෑ. එහෙම තිබියදීත් ගෙවිය යුතු ඩොලර් බිලියන ගානක ණය වාරිකයත් ගෙවලා. ඒ වගේම රාජ්‍ය ආදායමත් හීන වුණා කොරෝනා මාස කිහිපය ඇතුළත. එයත් ප්‍රශ්නයක් කරගන්නේ නැතිව රජයෙ සේවකයාගේ වැටුප ගෙවලා ප්‍රවාහන දීමනා ගෙවලා පවුල් හැට නව ලක්‍ෂයකට වැඩියෙන් මාසිකව රුපියල් පන්දාහ බැගින් ගෙවලා මේ ඔක්කොමත් කරලා කොරෝනා වසංගතය රටපුරා පැතිරී යන්න නොදී පාලනය කරගෙන මේ කරපු කාර්යභාරය දිහා බැලුවම මේ රටේ පොදු මහ ජනතාව පක්‍ෂ බේදයකින් තොරව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය ගැන ඉතා පුළුල් පැහැදීමක ඉන්නේ. ඇත්ත වශයෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට ඡන්දය දුන් අය පවා මෙවර පොහොට්ටුවට ඡන්දය දෙන්න තීරණය කරලා තියෙනවා. මේ හේතු කාරණා මත ඇත්තම සජිත් ප්‍රේමදාසව ඔවුන්ට පේන්නේ දැන්. ඒවා හේතුකොට, විපක්‍ෂයෙ තියෙන කඩා වැටීම හේතුකොට ගෙනත් ජනාධිපතිවරණයේදී තිබූ ප්‍රසාදයටත් වඩා වැඩි ප්‍රසාදයක් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති වෙලා තියෙනවා.
ප්‍රශ්නය:- බලයට තියෙන අසීමිත කෑදරකම නිසා කොරෝනා මාරාන්තික උවදුර මැද, රට මැතිවරණයකට තල්ලු කළා කියන චෝදනාව ගැන...?
පිළිතුර:- සිංගප්පූරුවේ කොරෝනා තර්ජනය අපට වඩා බරපතළයි. එහෙත් මැතිවරණය තිබ්බා. දකුණු කොරියාවෙත් මැතිවරණය තිබ්බා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්‍ෂිකාව කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙ ප්‍රධානියා කියනවා අඩුම තරමින් තව අවුරුදු දෙකක්වත් අපට කොරෝනා සමඟ වාසය කරන්න වෙයි කියලා. එහෙමනම් මහ මැතිවරණය අවුරුදු දෙකක් පුරා නොතියා ඉන්න කියලද කියන්නෙ? ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ ඉන්න අධ්‍යක්‍ෂවරිය පැහැදිලිව කියනවා. ‘‘ශ්‍රී ලංකාවේ ඉතා මැනවින් කොරෝනාව පැතිරයාම පාලනය කරලා’’ කියලා. එහෙම තත්ත්වයක ඉන්න අපි මොකටද මැතිවරණය තියන්න බිය වෙන්නේ. එහෙමනම් කඩේට බඩු ගන්න යන්නත් බිය වෙන්න ඕනෑ. එහෙමනම් එදිනෙදා ජීවිතයෙ හැමදේටම බියවෙන්න ඕනෑ. අනිත් එක තමයි ලංකාව කොරෝනා මරණ අනුපාතයෙන් ඉන්නේ ලෝකයෙ අඩුම ප්‍රතිශතයක.
ප්‍රශ්නය:- ඔය ප්‍රතිශතය හදලා තියෙන්නේ වැරැදි තොරතුරු ඉදිරිපත් කරලා. ඇත්ත තොරතුරු මේ ආණ්ඩුව හංගනවා. ජ’පුර වෛද්‍ය පීඨයත් මේ මෙහෙයුමෙන් ඒ නිසාම අයින් වුණා.
පිළිතුර:- නෑ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඒ ඒකකය අයින් වෙන්නේ පීසීආර් වාර්තාව සම්බන්ධයෙන් වෘත්තීමය මට්ටමෙන් ඇති වෙච්ච ප්‍රශ්නයක් නිසා. ඒකට රජයෙ කිසිම මැදිහත්වීමක් නෑ. ජයවර්ධනපුර කරපු පී.සී.ආර්. පරීක්‍ෂණවල නෙගටිව් වාර්තා වසංගත රෝග මර්දන ඒකකයෙදී පොසිටිව් වෙනවා. ඒ පරස්පරතාව නිසා තමයි ඒ වෘත්තීමය ගැටලුව මතුවෙන්නේ. කොහොමත් කිසිම දත්තයක් හංගන්න පුළුවන්කමක් නෑ අපට ඕනැ වුණත්. මේක විවෘත ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මාධ්‍ය නිදහස තියෙන රටක්. රජයෙ සේවකයෝ එහෙම දෙයක් වෙනවා නම් හංගාගෙන තියාගන්නේ නෑ. ඒවා එළියට දානවා. ඔය ඇවිල්ලා ළද බොළඳ විරුද්ධ පක්‍ෂය ඇවිත් ගොතන තවත් එක් ප්‍රබන්ධයක් විතරයි. අඩුම මරණ අනුපාතය ලංකාව. ඒක කියන්න ඔය විරුද්ධ පක්‍ෂය කැමති නෑ. ඒගොල්ලන්ට ඕනෑ වැඩිම මරණ අනුපාතය ලංකාව කියන ප්‍රකාශය අහන්න. ඒ කාලකණ්ණි ඉලක්කම එන්නෙ නැති හින්දා ඒ ගොල්ලෝ කියනවා දත්ත හංගනවා කියලා. ඒක ඒගොල්ලන්ගේ මානසික රෝගී තත්ත්වයක් මිසක් මහ පොළොවේ ඇත්තක් නොවෙයි.
ප්‍රශ්නය:- ඔබලා මෙවර තුනෙන් දෙකක බලයක් ඉල්ලනවා. විපක්‍ෂය කියනවා පුළුවන්නම් 113 අරගෙන පෙන්වන්න කියලා. ඇත්තම තත්ත්වය ඒක නේද?
පිළිතුර:- විරුද්ධ පක්‍ෂයට අද තමන්ට අත්වීමට නියමිත ඉරණම සම්බන්ධ බියෙන් තමයි රෑට ඇහැ පියාගන්නේ. අපි හිතුවොත්. උදාහරණයක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රී ධුර හතරක් ආවොත් යූන්පියට තුනක් ගියොත් ජේවීපී එකට එකයි යන්නේ. එතකොට සජිත් ප්‍රේමදාසට ලැබෙන හතරට තමන් අයිති වෙයිද නැද්ද කියලා කී දෙනෙකුගේ ඔළු ගිනි අරගෙන තියෙනවද?
යූඑන්පියට ලැබෙන මන්ත්‍රී ධූර තුනට තමන් අයිති වෙයිද නැද්ද කියලා කී දෙනෙකුගේ ඔළු ගිනි අරගෙන තියෙනවා ඇද්ද? එතකොට අපේ පැත්තේ එහෙම කිසිම ගිනි ගැනීමක් නැහැනේ. කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් අපේ අවම ගාන 11යි. එතකොට දැන් ඉන්නවාටත් වඩා මන්ත්‍රී සංඛ්‍යාව වැඩිවෙනවා. අලුතෙන් ලැබෙනවා මිසක් ඉන්න කෙනෙකුට නැති වෙන්නේ නෑ. විරුද්ධ පක්‍ෂයෙ අයට තමන්ගේ මන්ත්‍රී ධුරය අහිමි වේද නැද්ද යන දෙගිඩියාව තියෙනවා. එහෙම ඔළුවෙ අමාරුවක් සහිත විරුද්ධ පක්‍ෂයක් එක්ක අපට මොන සටනක්ද? ඒ නිසා අපට 113 ගානනම් කිසිම ප්‍රශ්නයක් නෑ. අපි බලන්නේ ඒක 150 දක්වා වැඩි කරගන්න.
ප්‍රශ්නය:- වැඩි බලය - වැඩි දූෂණයට හේතුවක් බවයි දේශපාලන විද්‍යාවේදී කියන්නේ. ඔය කියන තුනෙන් දෙකේ බලයට ඒක ගළපාගත්තොත්?
පිළිතුර:- ඔය තියරියට අනුව බැලුවොත් ලෝකයෙ වැඩිම දූෂිත රට වෙන්නේ සිංගප්පූරුව. මොකද එහෙ විපක්‍ෂ නායකයා විතරයි විපක්‍ෂයට ඉන්නේ. එහෙ තියෙන්නෙ ඩී තුනේ ප්‍රතිපත්තියනේ. පළමු වැනි එක ඩිසිප්ලින්. දෙවැනි එක ඩිවලොප්මන්ට්. තුන් වැනි එක තමයි ඩිමොක්‍රසි. අපිටත් ඩී තුනක් තියෙනවා. පළමු වැනි එකත් ඩිමොක්‍රසි දෙවැනි එකත් ඩිමොක්‍රසි තුන් වැනි එකත් ඩිමොක්‍රසි. අපි උදේට සම්බෝලත් එක්ක ඩිමොක්‍රසි කාලා දවල්ට කිරිහොඳිත් එක්ක ඩිමොක්‍රසි කාලා රෑට ලුණු මිරිසුත් එක්ක ඩිමොක්‍රසි කාලා බුදියන ජාතියක්. හැබැයි සිංගප්පූරුවේ තියෙන්නේ පළමු වැනි එක විනය. දෙක සංවර්ධනය, තුන් වැනි එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. එහෙ නාමික විපක්‍ෂයක් තියෙන්නේ. ඒ විපක්‍ෂනායකට තියෙනවා ඇමැති කෙනෙකුගේ වරප්‍රසාද. ඔය ඔබ කියන වැඩි බලය සිංගප්පූරු ආණ්ඩුවට තියෙනවා. හැබැයි ඔය කියන වැඩි දූෂණය එහේ තියනවද? නැහැ. ක්‍රමවේදය හැදිලා තියෙනවා. එහේ ටෙන්ඩර් යන්නේ ඔන්ලයින්. කාටවත් ඇමතිවරුන්ට මැදිහත් වෙන්න බෑ. ඒ ටෙන්ඩරය ගන්න කෙනාගේ දේශපාලනය අදාළ වෙන්නේ නෑ. පක්‍ෂ බේද අදාළ වෙන්නේ නැහැ. ඒ ක්‍රමය මේ රටේ ඇති කරන්න ඕනෑ. ඒ, ඩී තුනේ ප්‍රතිපත්තියට අනුව මේ රට ගොඩනගන්න පුළුවන් ගෝඨාභය රාජපක්‍ෂ කියන නායකයාට. ඒකට බලය ඕනෑ. නළ දත වගේ තියෙන පාර්ලිමේන්තුවකින් ඒක කරන්න බැහැ. සිංගප්පූරුව ස්ථාවරව මෙහෙම ගමනක් ඇවිත් තියෙන්නේ ඔය ඔබ කියන අධිබලය කියන එක එතැන තියෙන නිසා. මම නම් ඒක අධිබලය හැටියට කියන්නේ නැහැ. නමුත් ඔබ කියන ඒ බලය තියෙන නිසා තමයි ඒ නායකත්වයට පුළුවන් වෙලා තියෙන්නේ ඒ පිළිවෙලට පවත්වාගෙන යන්න.
ප්‍රශ්නය:- රාජපක්‍ෂවරුන්ගේ පසුගිය රාජ්‍ය පාලන දශකය ඇතැමුන් හඳුන්වන්නේ ‘‘කළු දශකය’’ හැටියටයි. යළිත් යන්න හදන්නේ එතැනටද කියන ප්‍රශ්නයයි මෙතැන තියෙන්නේ.?
පිළිතුර:- හයෙන් පහක බලය අරගෙන අපට අමිහිරි මතකයක් ඉතිරි කළේ ජේ.ආර්. ජයවර්ධනනේ. මැතිවරණ සිතියම කල් දැම්මා. ඡන්ද හැකිළුවා. ජනමත විචාරණ ප්‍රෝඩාව කළා. දේශපාලන පක්‍ෂ තහනම් කළා. ඒ හයෙන් පහක බලය පාවිච්චි කළා ප්‍රජාතන්ත්‍රවාදය මරාදාන්න. රටේ ගිනි දෙකක් පත්තු කළා. එකක් උතුරේ ගින්න, අනික දකුණේ ගින්න. මේ ඔක්කොම කළේ ජයවර්ධනට ලැබුණු හයෙන් පහක බලය. ඒ නිසා අපට ඒ හයෙන් පහක බලය සම්බන්ධයෙන් තියෙන මතකය අප්‍රසන්නයි. අමිහිරියි. ලේ යකඩ ගින්දර පිළිබඳ මතකයක් තමයි අපට ඉතිරිවෙලා තියෙන්නේ. හැබැයි ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු අපේ ආණ්ඩුව මේ තුනෙන් දෙකේ බලයක් ඉල්ලන්නේ මේ අපේ ව්‍යවස්ථාවේ තියෙන අණවින කොඩිවින කපාගන්න. ඒවා ජාතිවාදී කණ්ඩායම්වල උදව්වෙන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. රටේ ස්ථාවරභාවය වෙනුවෙන් ඒකීයභාවය බලගැන්වීම වෙනුවෙන් රාජ්‍ය ශක්තිමත් කිරීම වෙනුවෙන් කළ යුතු අනිවාර්ය වෙනස්කම් තියෙනවා. ඒවා කරන්න අර ජාතිවාදි කණ්ඩායම්වල උදව් ගන්න බෑ. අපට තුනෙන් දෙකක බලය ලැබුණොත් පමණයි දීර්ඝකාලීනව ඒ රටට බලපාන වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. දෙවැනුව රටේ විනය හා සංවර්ධනයට රටේ ස්ථාවරභාවය අත්‍යවශ්‍යයි. ඒ වගේම සියල්ල රඳා පවතින්නේ රටේ ස්ථාවරභාවය මතයි. අස්ථාවරභාවය රටකට මාරාන්තිකයි. ඒ සම්බන්ධ අත්දැකීම අපට තියෙනවා. ඒක හරියට මිනිහෙක් තමන් අසනීප වෙයි කියලා නිතර හිතමින් ජීවත්වෙනවා වගෙයි. එහෙම නොවෙයි තමන් වඩාත් සෞඛ්‍යාරක්‍ෂිතයි කියලා හිතාගෙන විශ්වාසයෙන් යුතු මිනිසාට තමයි වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ පරිසරය, මනස ඇතිවෙන්න නම් පාර්ලිමේන්තුව තුළ ඒ ශක්තිමත් බලය තිබිය යුතුයි.
ප්‍රශ්නය:- රාජපක්‍ෂ කළු දශකය පිළිබඳ ප්‍රශ්නය ඕනෑකමින්ම මගඇරියා?
පිළිතුර:- ඔව්, ඒ, ඒක නොවැදගත් නිසා. මොකද මේ රටේ පොදු මහ ජනතාව නම් එහෙම කියන්නෙත් නෑ. හිතන්නෙත් නෑ. කළු දශක වගේ වචන ප්‍රචාරක ආයතන හදපු වචන මිසක් පොදු මහ ජනයාගේ ඔළුවෙ තියෙන දශක නොවෙයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ දශකය සම්බන්ධයෙන් පොදු මහ ජනතාවගේ හිතේ තියෙන්නේ කළු දශකයක් හැටියට නොවෙයි සුන්දර ලස්සන දශකයක් හැටියටයි. ඒකට හේතුව තිස් අවුරුද්දක යුද අග්නිය නිවා දැමීමේ ඒ දශකයෙදී. මරාගෙන මැරෙන බෝම්බ නැති. බස් බෝම්බ නැති දශකයක් ඒක. තර්ජිත ගම්මාන එහෙම නැත්නම් මායිම් ගම්මාන කියන බෙදීම් තුරන් වුණේ ඒ දශකයේදී. මිනිසාට නිදහස ලැබුණේ ඒ දශකය ඇතුළේ. ඒ නිසා ඒවා ඉවසා ගන්න බැරි කල්ලි තමයි ඒ දශකයට කළු දශකය කියලා කිව්වේ. ඒකයි මම කිව්වේ ඒ ප්‍රශ්නය නොවැදගත් කියලා. කොහොමත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා මේ රටේ මෙතෙක් පහළ වූ නායකයන්ට වඩා වෙනස් නායකයෙක්. එතුමා හිතන විදියයි වැඩ කරන විදියයි සම්පූර්ණයෙන්ම වෙනස්. ජනාධිපතිතුමාට ස්ථාවර පාර්ලිමේන්තු බලයක් ඕනෑ වෙන්නේ රටේ හැරවුම් ලක්‍ෂ්‍යයක් බවට ඉදිරි දශකය පත් කිරීමට මිසක් ඇත්ත සංවර්ධිත රාජ්‍යයක් බවට මේ රට පත් කරන්න මිසක් අතීතයෙ වෙච්ච වැරැදි යළිත් කරන තැනකට රට අරගෙන යන්න නොවෙයි.
ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් වියත් මග ආදි වචන හරඹ පෑවත් ඡන්දෙට දාලා ඉන්නේ ‘පරණ සෙට්’ එක බවටයි චෝදනාව තියෙන්නේ.
පිළිතුර:- මෙහෙමයි, දේශපාලනයට එක පාරටම සීයට සීයක් අලුත් කට්ටිය දාන්න බැහැනේ. එහෙම දාන්න පුළුවන් තැනක් නොවෙයි දේශපාලනය කියන්නේ. අපි 2015 පෙබරවාරියේදී නුගේගොඩට එන්න කියලා කිව්වම ඔය වියතුන් කියන අය ආවේ බොහොම සුළු ප්‍රමාණයක්. වැඩිපුර ආවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්. ඒ අය වෑන් එකක් අරගෙන ගමේ මිනිස්සු දාගෙන අපි කියලත් නොවෙයි ස්වෙච්චාවෙන් ආවා. ඒ ආපු මිනිසුන්ගෙන් රැල්ල නිර්මාණය වුණාට පස්සෙ තමයි සෙසු පාර්ශ්ව ටික ටික එන්න පටන් ගත්තේ. මම කියන්නේ අර නුගේගොඩට ආපු මිනිසුන්ට අපි හැමෝම ණයගැතියි. ඒ මිනිස්සු පෙන්වපු බලය තමයි ගොඩක් දෙනෙකුගේ ඔළුවල තිබුණ දෙගිඩියාව අඩ්ඩඩ්ඩාව තුරන් කරන්න හේතු වුණේ. ඒ දෙගිඩියාවෙන් හිටිය වියතුන් ඒ වගේම වියතුන් නොවන පිරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටියා. ඇත්ත කතාව නුගේගොඩට ආපු ඒ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවට අදත් මල් තියලා වඳින්න ඕනෑ. මොකද ඒ ජනී ජනයා තමයි දෙගිඩියාව නැති කළේ. කොහොමත් මැතිවරණයේදී සීයට සීයක්ම අලුත්ම පිරිසක් ඉදිරිපත් කරන්න බෑ. දේශපාලනයේ ඒ පළපුරුද්ද තියෙන ඒ අත්දැකීම, ඒ අවබෝධය තියෙන පිරිස සිටිය යුතුයි. මේ මනාප ඡන්ද ක්‍රමය ඇතුළේ කෙනෙක් හිතනවා නම් නුසුදුස්සෙක් ඉන්නවා කියලා එයාව ප්‍රතික්‍ෂේප කරන්නත් ඡන්දදායකයාට අයිතිය තියෙනවා.
ප්‍රශ්නය:- කුරුණෑගල රාජධානියට අයත් රාජ සභාව බුල්ඩෝසර් කරන තැනට මේ ආණ්ඩුව පත්වෙලා. ජාතිය ආගම ගැන කතා කරන කඳවුරේ ඇත්ත දේශප්‍රේමය ලීක් වෙලා කියලා මම කිව්වොත්?
පිළිතුර:- පහුගිය කාලේ නැගෙනහිර පළාතේ අනුරාධපුර යුගයට අයත් දාගැබක් ඩෝසර් කරලා මිරිස් වැව්වා. ඒවා ගැන වචනයක් පිට නොකළ පිරිස් නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථාන විතරක් නොවෙයි. අනුරාධපුරයෙ ගම් උදාවක් හදන්න ගියා දුටුගැමුණු රජතුමා එළාර සමඟ යුද්ධය කරන්න හදපු බැළුම්ගල කඩා දාලා. එහෙම නිධන් වස්තු හොය හොයා ගිය අය දැන් මේ ඔය කුරුණෑගල සිද්ධිය අල්ලාගෙන පුදුමාකාර පුරාවිද්‍යා වටිනාකම්වලට ළැදි පිරිසක් විදියට මවා පානවා. ඒ ගොල්ලන්ගේ හදවත් අර කිසිම අවස්ථාවක උණු වුණේ නෑ.
ප්‍රශ්නය:- ඔබ කියන්නේ ඒ නිසා මේ වෙලාවෙ උණු වෙන්න අවශ්‍යත් නෑ කියලද?
පිළිතුර:- එහෙම එකක් නොවෙයි. මම මේ ගැන අගමැති තුමත් එක්ක සාකච්ඡා කළා. එතුමා මට බොහොම පැහැදිලිව කිව්වා ඒකට කොමිටියක් පත් කරලා තියෙනවා. ඒ වාර්තාව දවස් දෙක තුනකින් ලැබෙනවා. ඒ ගොල්ලෝ ඒ වාර්තාවේ සඳහන් කළොත් වරදක් වෙලා තියෙනවා මේ මේ අය ඒ වරදට වගකිව යුතුයි කියලා ඒ අයට අනිවාර්යයෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. මම දුරකථනයෙන් කතා කළාම අගමැතිතුමා මට කිව්වේ එහෙමයි.
එතකොට මම ඉන්න ස්ථාවරය ගත්තත් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු හැටියට ඒ පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස ගැසට් කරපු තැනක් නම් එවැනි තැනක කොටසක් හෝ කඩා දාන්න කිසිම ජගතෙකුට අයිතියක් නෑ. ඒ නගරාධිපති කෙනෙක්ද, මන්ත්‍රී කෙනෙක්ද අගමැති කෙනෙක්ද කියලා අදාළ නැහැ. එහෙම දෙයකට අත තියන්න කාටවත් අයිතියක් නෑ. ඒ වරද කරලා තියෙනවා නම් තරාතිරම මොක වුණත් ඒකට විරුද්ධව පුරාවිද්‍යා පනත යටතේ උපරිම දඬුවම් දිය යුතුයි. ඒකෙ විවාදයක් නෑ. හැබැයි ඉතින් මෙච්චර කල් එතැන තිබිලා තියෙන්නේ මත්පැන් බොන තැබෑරුමක්. ඒ දවස්වල කවුරුවත් පුරාවිද්‍යාත්මක වටිනාකම ගැන කතා කරලා නෑ. ජයවික්‍රම පෙරේරා හිටපු ඇමතිවරයාගෙ ගෝලයට තමයි එතැන දීලා තිබිලා තියෙන්නේ. නීති විරෝධී වෙනත් වෙනත් දේවල් එතැන වෙලා තියෙනවා කියලා දැන් වාර්තා වෙනවා. හැබැයි ඒ මොනවා වුණත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැනක් කියලා ගැසට් කරලා ඇති තැනකට අත තියන්න කාටවත් අයිතියක් බලයක් නැහැ.
ප්‍රශ්නය:- අගෝස්තු 5 වැනිදාට ඔබලා බලාපොරොත්තු වන ප්‍රතිඵලය ඒකාන්ත වශයෙන්ම ලැබෙයි කියලා හිතනවාද?
පිළිතුර:- අනිවාර්යයෙන්ම! ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි සන්ධානයකින් තරග කරන්නේ. ඒ සන්ධානය මම හිතනවා තුනෙන් දෙක මට්ටමට මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කරනවා කියලා. ඒ වගේම සමහරු හිතාගෙන ඉන්නවා කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල මේ කොරෝනා ප්‍රශ්නය නිසා ඡන්දය දාන ප්‍රතිශතය අඩුවෙයි කියලා. මම නම් ඒක එහෙම හිතන්නේ නැහැ. මේ දිස්ත්‍රික්ක දෙකේ ජනතාව විශේෂයෙන්ම බුද්ධිමත්. ඔවුන් ඒ නිසා ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කළාටත් වඩා උද‌්යෝගයකින් චන්දය දෙන්න එනවා. ඔවුන් දන්නවා ශක්තිමත් පාර්ලිමේන්තුවක වටිනාකම.
ප්‍රශ්නය:- යම් හෙයකින් තුනෙන් දෙකක බලය නොලැබුණොත් ඒක හදාගන්න කාගේ සහයෝගයද ගන්නේ?
පිළිතුර:- කාගෙ සහයෝගය ගත්තත් රිෂාද්ලාගේ හකීම්ලාගේ සහයෝගය ගන්න තැනට වැටෙන්නනම් අපි ඉඩ දෙන්නේ නැහැ. ජනාධිපතිතුමා කොහොමත් ඒ පස්සේ යන්නෙත් නෑ. කරුමෙට එ් ගොල්ලොත් එක්කනම් හවුලක් හැදෙන්නේ එහෙම හවුලක අපි ඇත්තෙත් නෑ.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්