උතුරුමැද පළාත් සභාව දේශපාලන ලෝකය ගිනියම් කරමින් තිබේ. කුමකින් කුමක් වෙයි ද? මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා සමග කළ සංවාදයකි.
ප්‍රශ්නය:- උතුරු මැද පළාත් සභාවේ මොකද මේ වෙන්නේ?
පිළිතුර:- මම මුල ඉඳලම කියන්නම්. 2012 වසරේ දී තමයි උතුරු මැද පළාත් සභා මැතිවරණය පැවැත් වුණේ. ඒකට තරග කරපු අපේක්ෂකයන් අතරින් වැඩිම මනාප ගත්තේ එස්. එම්. රංජිත්
ප්‍රශ්නය:- ඔබේ සොහොයුරා
පිළිතුර:- ඔව්. මගේ මල්ලී. ලක්ෂයකට වැඩියෙන් මනාප ගත්තා. ඊට පස්සේ පළාතේ ජනතාව කිව්වා වැඩියෙන් මනාප ගත්ත කෙනාට මහ ඇමැතිකම දෙන්න කියලා.
ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔබේ සොහොයුරාට?
පිළිතුර:- ඔව්. එයානේ වැඩිම මනාප ගත්තේ.
ප්‍රශ්නය:- ඒ වෙනකොට ඔබ කැබිනට් ඇමැතිවරයෙක්?
පිළිතුර:- ඔව්. මම ඒ වෙනකොට ගොවිජන සේවා හා වනජීවී කැබිනට් ඇමැති. මම කැමැති වුණෙත් නෑ මේ කැබිනට් ඇමැතිකමෙන් අයින් වෙන්න. නමුත් ජනතාව දැඩි බලපෑමක් කළා විශාල ඡන්ද සංඛ්‍යාවක් ගත්ත කෙනාට මහ ඇමැතිකම දෙන්න කියලා.
ප්‍රශ්නය:- රාජපක්ෂ කඳවුරටත් අවශ්‍ය වෙලා තිබුණා දිසානායකලාට රිදවන්න?
පිළිතුර:- ඇත්තෙන්ම එහෙම එකක් තිබුණේ නෑ. වුණේ ඒකේ අනික් පැත්ත. පක්ෂය කැමැති වුණෙත් නෑ කැබිනට් ඇමැතිකමයි, මහ ඇමැතිකමයි දෙකම එකම පවුලකට දෙන්න. ඒ නිසා මම කැබිනට් ඇමැතිකමෙන් අයින් වුණොත් හොඳයි කියලා යෝජනා කළා.
ප්‍රශ්නය:- ඔබ එකඟ වුණා ද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- එකම හේතුව මල්ලිට මහ ඇමැතිකම අරන් දෙන්න ?
පිළිතුර:- නැහැ. පළාත් සභා ඡන්ද ප්‍රතිඵලයෙන් පෙන්වලා තියෙනවනේ පළාත් සභාවේ වෙනසක් අවශ්‍යයි කියලා. එහෙම නැත්නම් හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායකට වඩා මගේ මල්ලීට මනාප වැඩිවෙන්න විදියක් නෑනේ. ඒ නිසා මමත් කල්පනා කළා ජනතාවගේ අවශ්‍යතාවට ඉඩ දෙන්න ඕන කියලා. ඒ අනුව මම කැබිනට් ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙලා එස්.එම්. රංජිත්, මගේ මල්ලිට මහ ඇමැතිකම ලබා දුන්නා.
ප්‍රශ්නය:- කොහොම වුණත් ඒ තීන්දුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයේ විශාල කැළඹීමකට හේතු වුණා?
පිළිතුර:- අභ්‍යන්තර කැලඹීමක් කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එතැන දී කොමිටියක් පත් කළා. මහ ඇමැතිකම දෙන්න ඕනෑ කාට ද කියලා තීරණය කරන්න. ඒ කොමිටිය තමයි තීරණය කළේ තනතුරු දෙකක් එකම පවුලකට දෙන්න බෑ. එකක් දුන්නට ප්‍රශ්නයක් නෑ කියලා. එස්.එම්. චන්ද්‍රසේන කැබිනට් ඇමැතිකමෙන් අස් වුණොත් එස්.එම්. රංජිත්ට මහ ඇමැතිකම දුන්නට කමක් නෑ කියලයි කොමිටිය තීරණය කළේ. ඉතින් කැලඹීමක් ඇතිවෙන්න විදියක් නෑ. කොමිටියේ මතයට ගරු කරලා මම අස් වුණානේ. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් ඇති වුණා කියල මම හිතන්නේ නෑ.
ප්‍රශ්නය:- කොහොම වුණත් අනුරාධපුරයේ දිසානායක පවුල මහින්ද රාජපක්ෂලා සමග තීරණාත්මක ගැටුමකට ගියේ ඔය සිද්ධිය නිසානේ?
පිළිතුර:- ඒකම නෙවෙයි හේතුව. ඒ ගොල්ලෝ මුල ඉඳන්ම හිටියේ මහින්ද රාජපක්ෂ විරෝධි ආකල්පයක. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ සමීප හිතවත්තු නිසා. අපිත් දේශපාලනයේ ඉන්න නිසා අපට පෙනුණා දිසානායකලා මහින්ද රාජපක්ෂලාව රුස්සන්නේ නැති ගතියක්. ඒක මුල ඉඳන්ම තිබුණා. මගේ ප්‍රශ්නය නිසා නොවෙයි ඔය කියන කැලඹීම ඇති වුණේ.
ප්‍රශ්නය:- එහෙම නම් මොනවද වෙනත් හේතු?
පිළිතුර:- පළාත් සභාවට පනත් කිහිපයක් ගෙනාවා. මහින්ද රාජපක්ෂ රජය ගෙනා පනත් ඔක්කොම වගේ උතුරුමැද පළාත් සභාවේදී පරාජය කළා. ඔය කාරණා මත යම් යම් ප්‍රශ්න ඇතිවෙලා තිබුණේ. ඕක තමයි ගැටුමට, කැලඹීමට හේතුව.
ප්‍රශ්නය:- ඊට පස්සේ මොකද වුණේ?
පිළිතුර:- එස්.එම්. රංජිත් මහ ඇමැතිතුමා පළාත් සභාවේ වැඩ කටයුතු හොඳින් කරාන ගියානේ. ඔය අතරෙදි තමයි ආණ්ඩු පෙරළිය ඇති වුණේ.
ප්‍රශ්නය:- 2015 ජනවාරි 08 ?
පිළිතුර:- ඔව්. ඒ පෙරැළියත් සමග ජනාධිපති මෛත්‍රීගේ පැත්තෙන් එතුමාගේ හිතවතෙක් වෙච්ච පේෂල ජයරත්න මහ ඇමැතිකම ඉල්ලලා යම් යම් වැඩපිළිවෙළවල් උපක්‍රම දියත් කළා. ඒ වෙලාවෙත් පළාත් සභාවේ මන්ත්‍රීවරුන් බහුතරයක් හිටියේ රංජිත් එක්ක තමයි. නමුත් මමත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නායකයා හැටියට ඒ වෙලාවේ කිව්වේ ගැටුම් ඇතිකර ගන්න යන්න අවශ්‍ය නෑ. දිවුරුම් ප්‍රකාශ ඉල්ලලා තිබුණා මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුකාරවරයා, මහඇමැති පත්කරන්න. අපේ මන්ත්‍රීවරු උසාවි යන්නත් ලෑස්ති වුණා. නමුත් මම කිව්වා ගැටුම්වලට යන්න එපා. ඒ නිසා මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න කියලා. මම මගේ සහෝදරයාටත් කිව්වා. මහ ඇමැතිකමට ගැටුම් ඇතිකර ගන්නේ නැතිව සාමකාමීව ඕක විසඳගන්න කියලා. ඒ අතර මල්ලිත් තීරණය කළා නිශ්ශබ්දව ඉන්න.
ප්‍රශ්නය:- ඔය වෙලාවේ දී පේෂල ජයරත්නත් පොරොන්දුවක් දුන්නා කියලා ආරංචියි?
පිළිතුර:- ඔව්. එයා කියලා තිබුණා රංජිත්ටත් කියලා තිබුණා. අනික් මන්ත්‍රීවරුන්ටත් කියලා තිබුණා. වැඩ කරගෙන යන්න මුදල් ප්‍රතිපාදන ලබා දෙනවා. ඒ අවශ්‍ය සියලු කටයුතු කරනවා කියලා. වෙනසක් කරන්නේ නෑ කියලත් පොරොන්දු වුණා. ඒ පොරොන්දුව මත පළාත් සභාව කිසිම අවුලක් නැතිව කටයුතු කරාන ගියා.
ප්‍රශ්නය:- ඔය අතරෙ දී නන්දසේන ඇමැතිවරයාව ඉවත් කළා?
පිළිතුර:- ඔව්. 1993 ඉඳලා පළාත් සභාවේ හිටපු 1999 ඉඳන් දිගටම ඇමැතිවරයෙකු වශයෙන් වැඩ කරපු නන්දසේන ඇමැතිවරයාව ඉවත් කළේ එයාටවත් නොකියා. එයා ඉන්දැද්දීම තමයි හේරත් බණ්ඩා මන්ත්‍රීතුමාව ඇමැතිවරයෙක් විදියට පත් කළේ. ඊට පස්සේ පළාත් සභාවේ මන්ත්‍රීවරුයි ඇමැති මණ්ඩලයේ අනික් අයයි විශාල කලකිරීමකට පත්වුණා. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධි අයුක්ති සහගත දෙයට විරුද්ධව සටන් කරන්න ඕනෑ කියලා සාකච්ඡා කළා.
ප්‍රශ්නය:- ඒ සාකච්ඡාව කළේ කාත් එක්කද?
පිළිතුර:- මාත් එක්ක. මොකද පේෂල ජයරත්න මහ ඇමැතිවරයා පොරොන්දු කඩ කරලා ඊට පස්සේ තමයි අපේ මන්ත්‍රීවරු 17 දෙනෙක් මහ ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවකට අත්සන් කළේ. ඒකට තවත් කරුණු ගණනාවක් හේතු වෙලා තිබුණා.
ප්‍රශ්නය:- නමුත් ආණ්ඩුකාරවරයා විශ්වසාභංගය බාර ගත්තේ නෑ?
පිළිතුර:- මන්ත්‍රීවරුන් 17 ක් අත්සන් කරලා දිව්රුම් ප්‍රකාශ හරි විදියට හදාගෙනයි ආණ්ඩුකාරවරයා හමුවෙන්න ගියේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ඉතාම පැහැදිලිවම තියෙනවා, පළාත් සභාවක මන්ත්‍රීවරුන් දෙකෙන් පංගුවකට වැඩි පිරිසක් ගෙන එන යෝජනාවක් බාර ගන්න ඕනෑ කියලා. ඒ අනුවයි අපේ මන්ත්‍රීවරු ගියේ.
ප්‍රශ්නය:- නමුත් බාරගත්තේ නෑ?
පිළිතුර:- ආණ්ඩුකාරවරයා මේක බාර ගත්තේ නෑ. ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී ව්‍යවස්ථා විරෝධි වැඩක්.
ප්‍රශ්නය:- ඔබ හිතන විදියට එතැන මොකක්ද වෙන්න ඇත්තේ?
පිළිතුර:- මේක තනිකරම කුමන්ත්‍රණයක්. එදා රාත්‍රියේ ඉඳන් මේ අය දැන ගත්තා මෙතැන 17 ක් විරුද්ධයි කියලා. එදා රෑ ඉඳලම තනතුරු දෙන්න, ආර්ථික පැකේජ් ඉදිරිපත් කරමින් නොයෙක් විදියෙන් ක්‍රියාත්මක වුණා. එදා ආණ්ඩුකාරවරයා මේ විශ්වාසභංගය බාර ගත්තා නම් ඔය අලුත් ඇමැතිවරු වුණත් දිව්රුම් දෙන්න යන්නේ නෑ.
ප්‍රශ්නය:- එහෙම නම් ඔවුන් දිවුරුම් දුන්නේ?
පිළිතුර:- ඒ ගොල්ලන්ගේ ඔළුවලට දැම්මා, මැතිවරණ තියන්නේ නෑ. මැතිවරණ මොන ක්‍රමයකින් හරි කල් දානවා. ඒ වගේම ඔය කරන්න හදන බල පෙරළිය කරන්න දෙන්නේ නෑ. ඒ නිසා ඇමැතිකම් අරගෙන දිගටම ඉන්න. කියලා නොයෙක් ආකාරයෙන් පොළඹවාගෙන තමයි ඔය ඇමැතිකම් දීලා තියෙන්නේ.
ප්‍රශ්නය:- මහ ඇමැතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් කරපු සුසිල් ගුණරත්න මන්ත්‍රීවරයත් ඇමැතිවරයෙක් වශයෙන් දිවුරුම් දුන්නා?
පිළිතුර:- ඒ මන්ත්‍රීතුමා මටත් කියලා තිබුණා. ආර්ථික අමාරුකම් තියෙනවා. මෙයාලා මට ආර්ථික වශයෙන් උදව් කරනවා කියලා. ආර්ථික වශයෙන් උදව් කරනවා කිව්වම ඉතින් අපට තේරෙනවනේ කොහොම හරි. ඒ වගේ පාවාදීමක් වෙලා තියෙනවා. ඒ අයම තමයි කිව්වේ මහ ඇමැතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරමු කියලා. එහෙම කියපු අයම ගිහින් ඇමැතිකම්වල දිව්රුම් දීලා තිබෙනවා. මේවා ඉතින් සාමාන්‍ය දේවල් නෙවෙයි. අසාමාන්‍ය දේවල්. මනුෂ්‍යයෝ හැටියට කරන දේවලුත් නොවෙයි. ඒ වගේම සදාචාරාත්මකත් නෑ. එහෙම නම් අත්සන් නොකර ඉන්න තිබුණා.
ප්‍රශ්නය:- ඔය ඔබේ මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් හමුවුණා?
පිළිතුර:- ඔව්. හිටපු ජනාධිපතිතුමා හමුවෙලා රෑට කෑමත් කාලා බොහොම සතුටෙන් තමයි විසිරිලා ගියේ. ආණ්ඩුකාරවරයා විශ්වාසභංගය නොපිළි ගැනීම නිසා ඒ ගොල්ලෝ හිතුවා මේ කරන්න යන වැඬේ හරියන එකක් නෑ. එහෙම හිතලා පසුගාමී වෙලා තමයි ඔය තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මෙතැන සම්පූර්ණ වැරැද්ද කළේ ආණ්ඩුකාරවරයා. ආණ්ඩුකාරවරයා අවශ්‍ය දේ නීත්‍යානුකූලව කළා නම් ඔය මන්ත්‍රීවරු ඔය තත්ත්වයට පත් වෙන්නේ නෑ. නමුත් ආණ්ඩුකාරවරයා කිව්වේ “ඉහළින් ආපු ඕඩරයක් අනුවයි බාර ගන්න බැරි කියලා.” මේක කුමන්ත්‍රණයක් කියල පේන්නේ ඒ නිසයි.
ප්‍රශ්නය:- මන්ත්‍රී කණ්ඩායමට මහින්ද රාජපක්ෂ මොකද කිව්වේ?
පිළිතුර:- එතුමා කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරගෙන යන්න කියලයි. එහෙම නැතිව විශේෂ දෙයක් කිව්වේ නෑ එතුමා. පළාත් සභාව පෙරළන්නම කියලා එතුමා කිව්වෙත් නෑ. පළාත් සභාව තුළ සිද්ධවෙන අසාධාරණකම් වළක්වා ගන්න කටයුතු කරන්න කියලයි එතුමා කිව්වේ.
ප්‍රශ්නය:- පළාත් සභාව පෙරළන්නේ තීරණාත්මක වැඩවලට ගියොත් ජනාධිපති මෛත්‍රී වේවැල අතට ගනී කියලා බයක් හිතුණේ නැද්ද?
පිළිතුර:- එහෙම බයක් නෑ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මැතිවරණ සමයේදී කිව්වේ ඉතාම සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් දෙනවා. රටේ යහ පාලනයක් ඇති කරනවා කියලා. ඉතින් එහෙම සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් එක්ක යහ පාලනයක් තියෙනවා නම් උඩින් නියෝග දෙන්න දෙයක් නෑ. ඉතින් අරගෙන නම් තියෙන්නේ අන්න ඒ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධි වේවැල් තමයි.
ප්‍රශ්නය:- මෙතැනින් එහාට උතුරු මැද පළාත් සභාවේ ඉරණම මොකක් වෙයිද?
පිළිතුර:- මෙතැනින් එහා ඉරණම තමයි හෙට වුණත් පුළුවන්... ආණ්ඩුකාරවරයා කෙළින් තීන්දු ගන්නවා නම් අපිට හෙට වුණත් මන්ත්‍රීවරුන් 17 දෙනෙකුගේ දිව්රුම් ප්‍රකාශ දෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුකාරවරයා එහෙම කෙළින් තීරණ ගන්නේ නැත්නම් ඉහළින් ආපු නියෝගවලට අවනත වෙනවා නම් දිව්රුම් ප්‍රකාශ කීයක් දුන්නත් වැඩක් නෑ. මේ වගේ වැඩ හින්දා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශ්වාසය කඩ වෙලා තියෙනවා. නමුත් අපේ එක ඉල්ලීමක් තියෙනවා මන්ත්‍රීවරුන් අරන් ඇමැතිකම් දීලා නොවෙයි. පුළුවන් නම් පළාත් සභා මැතිවරණය හෙට තියන්න. එතකොට ඇත්ත ජනමතය මොකක්ද කියලා රටටම දැනගන්න පුළුවන් වේවි.
ප්‍රශ්නය:- පිට්ටනිවලට සෙනඟ ගෙන්වලා පෙන්නුවාට ආණ්ඩු පෙරළන්න බෑ කියලා ජනාධිපති මෛත්‍රී කිව්වා?
පිළිතුර:- එහෙම කිය කිය ඉන්න ඕන නෑ. එහෙම නම් මැතිවරණයක් තියන්න. කල් දාපු ඡන්දත් තියෙනවනේ. පළාත් පාලන ඡන්දය කල් දාලා අවුරුදු දෙකකටත් වැඩියි. ඒක තියන්න. පළාත් සභා මැතිවරණය තියන්න. ප්‍රශ්නය ඒවායින් විසඳගන්න පුළුවන්නේ.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්