ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය එක්ක එකට වැඩ කරන්න පුලුවන් කියා අපි හිතන්නේ නෑ


පෙරටුගාමී සමාජවාදී පක්ෂය මොනවද කරමින් ඉන්නේ. ඔවුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද? මේ ඒ සම්බන්ධයෙන් විමසමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා සමග කළ සාකච්ඡාවකි. 

 

ප්‍රශ්නය - අද රටේ තියෙන දේශපාලන වටපිටාව දිහා බැලුවම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඉඩක් තියෙනවද?   
පිළිතුර -
අපේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැඩ කරන්නේ වාමාංශික ව්‍යාපාරයේම කොටසක් විදියට නිසා අපි හිතනවා දැන් මේ ඇවිල්ලා තියෙන අර්බුදය ඉස්සරහා වමට තමයි පාර විවර වෙලා තියෙන්නේ. ඒ නිසා වාමාංශික ව්‍යාපාරවලට විභවයක් ඇවිල්ලා තියෙන වෙලාවේ අපි හිතනවා ඒක පෙරටුගාමී සමාජවාදී පක්ෂයටත් අදාළයි කියලා.   

 


ප්‍රශ්නය - ඔබ අර්බුදයක් ගැන කතා කළා. මොකද්ද ඔබ කියන අර්බුදය?   
පිළිතුර
- විශේෂයෙන්ම ලංකාවේ ජනතාව විවෘත ආර්ථිකය කියලා හඳුනාගෙන ඉන්න නව ලිබරල් ආර්ථික ක්‍රමයට අවුරුදු 40ක් වෙනවා. මේක පටන් ගත්ත කාලේ මිනිස්සු ඒකට විරෝධය පෑවේ යම් සංස්කෘතික මානයකින් හා සමාජයීය මානයකින්. නමුත් දැන් මේ වෙද්දී ඒකේ තියෙන ආර්ථික ප්‍රතිවිපාක හොඳින්ම පෙනෙමින් තියෙනවා. ඒ නිසා මෑත කාලයේ මතු වෙච්ච ජන අරගල හැම එකක්ම නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියට එරෙහි අරගල. ඉතින් ඒ නිසා අපි හිතනවා ඒකට එරෙහි සමාජ විකල්පයක් ඇවිත් තියෙනවා. විශේෂයෙන්ම මේ නව ලිබරල් ජනවාදයට පුළුවන් තව විදිහක ඛේදවාචකයක් මවන්න, මේ අර්බුදය තව තවත් වැඩි කරන්න විතරයි. ජාතිවාදයට පුළුවන් වෙන්නේ තව ලෝක යුද්ධයකට ලංකාව කොටුකරන එක හරි රට ඇතුළේ දැවැන්ත ඛේදවාචක මවන්න විතරයි. ඒ නිසා විකල්පය වම කියලා අපි හිතනවා. ඒ නිසාම අපි හිතනවා අපට ඉඩක් තියෙනවා කියලා.   

 


ප්‍රශ්නය - ප්‍රධාන පක්ෂ දෙක අද ආණ්ඩුවක් කරනවා. ඒකාබද්ධ විපක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් විපක්ෂය නියෝජනය කරනවා. ඒ තුළ පෙරටුගාමීන්ට කෝ ඉඩක්?   
පිළිතුර -
ප්‍රශ්නය තියෙන්නේ මේකනේ. දැනට ලංකාවේ එකතු වෙලා ආණ්ඩු කරන්නේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නොවෙයි. විපක්ෂ නායකයා නියෝජනය කරන දෙමළ ජාතික සංධානය, ඒ වගේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් ඒ පක්ෂ දෙකම පහුගිය කාලය ආණ්ඩුව ගෙනාපු හැම අණ පනතකටම එක්කෝ පක්ෂව අත ඉස්සුවා. එහෙම නැත්නම් ඡන්දය දීමෙන් වැළකී සිටියා. එතකොට අවසානෙට පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය වෙද්දී මේ ගොල්ලෝ මැතිවරණ කල් දැම්මේ ආණ්ඩුවේ අභිලාෂය ගැන හොඳින්ම දැනුම්වත්වම ඒකට පක්ෂව ඡන්දය දුන්නා. එහෙම බැලුවම පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂයක් නෑ. විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියන්නේ නිකම්ම නිකම් නම් විතරයි. ඒකාබද්ධ විපක්ෂයටත් ප්‍රතිපත්තිමය විකල්පයක් නැහැ. ඒ ගොල්ලෝ බලයට ආවොත් මීට වඩා වෙනස්ව මොනවද කරන්නේ කියලා කියන්නේ නෑ. ඒ වෙනුවට කියන්නේ මේගොල්ලෝ වෙනුවට ඒගොල්ලෝ ගේන්න කියලා විතරයි. ඉතින් එ් නිසා අපි හිතනවා ප්‍රතිපත්තිමය විකල්පයකට ඉඩක් විවර වෙලා තියෙනවා. ඒ ඉඩ ඇතුළේ‍ අපි දේශපාලනය කරනවා.   

 


ප්‍රශ්නය - දේශපාලනය කරනවා කියලා කිව්වට ඔබලා සයිටම් සටනේ විතරයි ඉන්න බවක් පේන්නේ, ඊට පස්සේ?   
පිළිතුර -
ඇත්තටම ඒක නිවැරදි නෑ. අපි නියැලිලා ඉන්න මහජන ක්‍රියාකාරී සටන්වලින් සයිටම් සටන තමයි මාධ්‍යයේ අවධානයට යොමු වෙලා මාධ්‍ය හරහා පේන්නේ. නමුත් අපි කම්කරු ව්‍යාපාරයේ, ගොවි ව්‍යාපාරයේ, ධීවරයන් අතර, බුද්ධිමතුන් හා කලාකාරයන් අතර සැලකිය යුතු ක්‍රියාකාරීත්වයක අපි ඉන්නවා. ඒවා මාධ්‍ය හරහා පේන්නේ නෑ. නමුත් මාධ්‍ය හරහා නොපෙනුණාට ඇත්තවශයෙන්ම පොළොව අස්වද්දන එක පොළොවේ ගැඹුරින්ම බීජ පැල කරන එක මේ දවස්වල අපි කරගෙන යනවා. ඒකේ අස්වැන්න එන්නේ ඒ රිද්මයටම සමානුපාතිකව. ඒ නිසා අපට හදිසියක් නෑ. අස්වැන්න පෙන්වන්න. ඒ නිසා අපි හිතනවා අනාගතයේ දී අද වපුරණ බීජවල අස්වැන්න ලැබෙයි කියලා.   

 


ප්‍රශ්නය - සයිටම් එකට විරුද්ධව ඔබ අරගල කරනවා. ආණ්ඩුව තමන්ගේ ස්ථාවරයේ ඉන්නවා. තව කොතෙක් කල් මෙහෙම යයිද?   
පිළිතුර -
ඇත්තටම ප්‍රශ්නය තියෙන්නේ මේ ව්‍යාපෘතියේ තියෙන්නේ ජනතාව මෙතෙක් භූක්ති විඳි මොනවාහරි අයිතීන් තියෙනවා නම් ඒ සියල්ලම උදුරා ගැනීමේ අභිලාෂයයි. ඒකට අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය වගේ දේවල් වෙළෙඳ භාණ්ඩ කරලා. ඒවා සාමාන්‍ය පහළ පන්තියේ ජනතාවට අහිමි කිරීමේ පැත්තට තමයි පාර වැටිලා තියෙන්නේ. ඒකට අපි ඉතාම තීරණාත්මක ලෙස විරෝධය පානවා. අපි හිතනවා මෑත වසරක දෙකක කාලය තුළ මුලින් අපි විතරක් හිටපු සටන් පාඨය අද සමාජයේ සටන් පාඨයක් බවට පත්වෙලා. විශේෂයෙන්ම සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරයේ දිස්ත්‍රික් බලමුළු පහුගිය කාලයේ පැවැත්වූවා. එතැනදී අපි දැක්කා ගම්වල ග්‍රාම සංවර්ධන සමිති, මරණාධාර සමිති, ත්‍රිරෝද සංගම් ආදී විවිධ සංවිධාන සංගම් හැම එකක්ම සයිටම් විරෝධී සටනට එකතු වෙලා ඉන්නවා. ඒ නිසා දැන් දැවැන්ත ජනතා බලවේගයක් ගොඩනැගිලා තියෙනවා. දැන් මේක ආණ්‍ඩුවේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්.   
අපි මේ අරගලය කරන්නේ ප්‍රතිපත්තිය වෙනස් කිරීම සඳහා. නමුත් ආණ්ඩුව දැඩි තැනක ඉන්නවා නම් මේ ප්‍රතිපත්තියමයි ඉදිරියට අරගෙන යන්නේ කියලා අපි කියනවා. ඒ ප්‍රතිපත්තිය තියා ගන්න. හැබැයි ඒ වෙනුවෙන් ආණ්ඩුව කැප කරන්න වෙයි කියලා. මොකද මේ ජනතා බලය ඉදිරියේ දිගටම නිහඬව ඉදීමේ ප්‍රතිපත්තියක නම් ආණ්ඩුව ඉන්නේ මේ ආණ්ඩුව ගෙදර යවන්න මේ ජනතා බලවේග කටයුතු කරාවි. ඒ නිසා ආණ්ඩුවට තීරණයක් ගන්න වෙනවා මේ කොල්ලකාරී ප්‍රතිපත්තිය ද තෝරා ගන්නේ එහෙම නැත්නම් ආණ්ඩුවේ පැවැත්මද කියලා. ඒක තීරණය කිරීම ආණ්ඩුවේ වැඩක්.   

 


ප්‍රශ්නය - ඔය ඔබ කියන සයිටම් විරෝධි ඔබේ වේදිකාවේ ජාතික හෙළ උරුමය ඉන්නවා. ඔවුන් ආණ්ඩුවේ පාර්ශ්වකරුවන්, ඔවුන් මේ ආණ්‍ඩුව රකින බවත් කියනවා. එහෙම නම් ඔවුන් සමග කොහොමද ආණ්ඩුව ගෙදර යවන සටනක් කරන්නේ.   
පිළිතුර -
ඇත්තටම මේක ඇතුළේ ආණ්‍ඩුවේ ඉන්න පක්ෂත් ඉන්නවා. විපක්ෂයේ ඉන්න පක්ෂත් ඉන්නවා. මේ පුළුල් පෙරමුණ හැදිලා තියෙන්නේ එක්සත් පෙරමුණක් හා එක්සත් ක්‍රියා මාර්ගයක් විදියට අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධවයි. සමහර අය මෙතැනට ඇවිල්ලා තියෙන්නේ පොදුවේ අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධව නොවෙයි. සයිටම් අහෝසි කළ යුතුයි කියන තැන ඉඳලයි. මේ ඉන්න අය අතර ස්ථාවරයන්ගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් සියලුම දෙනා සයිටම් එක අහෝසි කළ යුතුයි කියන එකට එකඟ අය. ඉතින් අපේ අරගලය ගත්තොත් පෙරටුවාදී සමාජවාදී පක්ෂයත්, අනෙකුත් වාමාංශිකයොත් ජනතාවගේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් තියෙන අයිතිය රැක ගැනීමේ සීමාව දක්වා සටන පුළුල් කිරීමේ තැනක ඉන්නේ. ඉතින් විවිධ බලවේග, විවිධ සටන් පාඨවල ඉන්න අය මේ සටනේ යම් දුරක් යනකම් ඉඳිවී. සමහර අය ඉවත් වේවි. නමුත් අපි හිතනවා ඒ ප්‍රතිපත්තිමය ජයග්‍රහණය අපට ගන්න පුළුවන් කියලා. මොකද මේ සටනේ අරමුණ ආණ්ඩුව එළවන එක නොවෙයි. නව ලිබරල් පෞද්ගලික ප්‍රතිපත්ති පරාජය කිරීමයි. මේ සටනේ අරමුණ ඒ සඳහා එකඟ සියලු දෙනා එකතු කරගෙන ඉන්නවා. ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් තීරණාත්මක තැනකට මේ සටන පත්වන වෙලාවට ඔය එකතු වෙලා ඉන්න අය අතර ඉන්න ආණ්‍ඩු හිතවාදී අයටත් තීරණයක් ගන්න වෙයි. ආණ්ඩුවක් එක්ක ද ඉන්නේ සටනක් එක්ක ද ඉන්නේ කියලා. ඒ නිසා ඒ අවස්ථාව එනතුරු අපි ඒ ගැන කලබල වෙන්නේ නෑ කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ.   

 


ප්‍රශ්නය - පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ මොහොතේ කරමින් ඉන්නේ 87-89 යුගයේදී ජවිපෙ කරපු දේමයි. ශිෂ්‍යයන් ඉස්සරහට දාගෙන තමන්ගේ අරමුණු කරා යනවා?   
පිළිතුර -
ඇත්තටම ඒ අදහස වැරදියි. ශිෂ්‍යයෝ ඉස්සරහට දාගෙන හරි එහෙම නැත්නම් කම්කරුවෝ හරි ගොවියෝ හරි ඉස්සරහට දාගෙන අපේ බල අරමුණු කරා ගමන් කිරීමක් අපේ නැහැ. අපි කරන්නේ ජනතාව තුළින් පැන නගින සටන් තියෙනවා. ඒ සටන්වලට අපි මැදිහත් වෙනවා. ඒ සටන්වල දේශපාලන පරිමාව දියුණු කරන්න අපි මැදිහත් වෙනවා. උදාහරණයක් විදියට සයිටම් එකට විරුද්ධව ශිෂ්‍යයන් අතර පැන නැගුණු අරගලය වෙන්න පුළුවන්, වෛද්‍යවරුන් අතර පැන නගින අරගලය වෙන්න පුළුවන්. මෑන් පවර් වහල් ක්‍රමයට එරෙහිව කම්කරුවන් අතර පැන නගින අරගල වෙන්න පුළුවන්. දැන් ඔය අම්පාර, මොනරාගල හැම තැනම පැන නැගිලා තියෙන ඉඩම් පැහැර ගැනීමට එරෙහි ගොවි ජනයාගේ අරගලය වෙන්න පුළුවන්. ඒ හැම අරගලයක්ම ජනතාවගේ අරගල. ඒ හැම අරගලයකටම අපි මැදිහත් වෙනවා. ඒවා මේ අපි පටන් ගත්ත ඒව කියලා අපේ නම, සීල්එක ගහගන්න අපට අවශ්‍ය නෑ. ඒවා ජනතාවගේ අරගල. අපි ඒවට මැදිහත් වෙන්නේ, සහාය දෙන්නේ ඒ අරගල සාධාරණයි කියලා අපි දැකපු නිසා හා ඒ අරගලවල දේශපාලන ප්‍රමිතිය තියෙන තැනින් උඩට උස්සන්න මැදිහත් විය යුතුයි කියලා අපි හිතන නිසා, ඒ නිසා මෙතැන කවුරුවත් කාටවත් පාවිච්චිවීම සම්බන්ධ ප්‍රශ්නයක් නෑ. මෙතැන තියෙන්නේ අපි එකිනෙක තත්ත්ව තේරුම් ගන්න විදියයි. ඒක වෙනස් කිරීම සඳහා මැදිහත්වන විදියයි. ඒවා අතර පරතරයක් තියෙනවා. නමුත් වැඩ කරමින් යනකොට ඒ පරතරයන් අහෝසි වෙලා යනවා.   

 


ප්‍රශ්නය - සයිටම් එකට එරෙහිව ජනපවුර ගොඩ නැගුවා වගේ රටේ අනෙක් ප්‍රශ්නවලටත් ඒකාබද්ධ විපක්ෂය, ජවිපෙ ඉන්න පොදු වේදිකාවක් ගොඩනඟන්න බැරි ඇයි.   
පිළිතුර -
ප්‍රජාතන්ත්‍රවාදය සඳහාවන පොදු වේදිකාවක් අපි ගොඩනගලා තියෙනවා. ‘‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ උද්ඝෝෂකයෝ’’ නමිනි. එතකොට ඒ වේදිකාවේ දැනට ඉන්නේ වාමාංශික පක්ෂ ක්‍රියාධරයන් හා පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව උනන්දුව දක්වන පිරිස්. අපි ජනතා විමුක්ති පෙරමුණටත් ඒ සංවිධානය ආරම්භ කරන අවස්ථාවේදී ඒ දැනුම දීමක් කළා. නමුත් ඒ අය ඒ සටන් පාඨවලට හෝ ඒ අරමුණුවලට එකඟ නොවන නිසා පැමිණියේ නැහැ. අපටත් පේන්න තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ කුමන හෝ සංවාදයක් ඇතිවන වෙලාවකවත් ජනතා විමුක්ති පෙරමුණ ඇත්තටම එතැන නැහැ. පහුගිය පළාත් පාලන ඡන්ද විමසීම කළ අවස්ථාවෙත්, පළාත් සභා සංශෝධන පනත සම්මත වෙද්දීත් පාර්ලිමේන්තුවේ සම්මත ක්‍රමවේදයන්ට පවා පටහැනිව තමයි ඒ පනත් ගෙනාවෙත්. සම්මත කරගත්තෙත් ඒවා වැරදියි කිය කියා ජනතා විමුක්ති පෙරමුණ ඒවට අත ඉස්සුවා. ඒ නිසා හරි පැහැදිලියි ප්‍රජාතන්ත්‍රවාදයට සම්බන්ධ සටන් හඬ ඔවුන් සමග එකතු වෙලා ගොඩනගන්න පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. 

 

 
ප්‍රශ්නය - එතකොට ඒකාබද්ධ විපක්ෂය?  
පිළිතුර -
ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න පිරිස අඩුම ගානේ ලංකාවේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝණය වුණා පහුගිය ආණ්‍ඩුව කාලේ. එතකොට අඩුම ගානේ ඒ වෙච්ච දේ පිළිබඳව නිවැරදි විග්‍රහයක්, අවංක ස්වයං විවේචනයක්වත් ඔවුන් ඉදිරිපත් කරලා නැති තත්ත්වයක් යටතේ අපි හිතන්නේ නෑ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඔවුන් එක්ක එකට වැඩ කරන්න පුළුවන් කියලා. ඒවා හුදෙක් ආණ්ඩුව පෙරැළීමේ බල අරමුණුවලට සීමා වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි හිතනවා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටන් පාඨ කාගේ හරි බල උවමනාවක මෙවළමක්වීම වෙනුවට ඇත්තටම ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනාදීම සඳහාවන එකමුතුවක් අවශ්‍යයි කියලා. ඒකට දැනට හැදිල තියෙන එක තවදුරටත් පුළුල් කරන්න අපි මැදිහත්වීමක් කරනවා.  

 


ප්‍රශ්නය - ලබන ජනවාරි වෙනකොට පළාත් පාලන ඡන්දය පවත්වනවා කියලා කියනවා. පෙරටුගාමීන්ගේ මොකද්ද ස්ථාවරය?  
පිළිතුර
- ඇත්තටම පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේ පැවැත්වෙයි කියලා අපට අවම විශ්වාසයක්වත් නැහැ. ඒක තවදුරටත් කල් ගන්න තමයි ඉඩ තියෙන්නේ. ආණ්‍ඩුව එකිනෙකාට පොරොන්දු වෙලා තියෙනවා ජනවාරියේ ඡන්දය තියනවා කියලා. නමුත් දැනටමත් අවුරුදු දෙක හමාරක් ප්‍රමාදයි. මැතිවරණ කල් දැමීමට අදාළ අපේ විරෝධය අපි දිගින් දිගටම ප්‍රකාශ කළා. ඒ වගේම ඉදිරියේ දී ඒක තවත් උත්සන්න කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මැතිවරණය ආවොත් අපි ඉදිරිපත් වෙනවද ඉදිරිපත් වෙනවානම් ඒක කොයි ආකාරයෙන් ද කරන්නේ කියලා අවසන් තීරණයක් අරගෙන නෑ. මැතිවරණය ප්‍රකාශයට පත් කළාට පස්සේ අපේ තීරණයත් ප්‍රකාශයට පත් කරනවා. සාමාන්‍යයෙන් අපි ප්‍රතිපත්තියක් වශයෙන් ඉන්නේ. අපි මැතිවරණ ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. නමුත් එන එන හැම මැතිවරණයකටම අපි ඉදිරිපත් විය යුතුයි කියන අදහසෙත් අපි නෑ. ඒ මැතිවරණවලට ඉදිරිපත්වීම හරහා අපේ මනාපය සමාජයට ගෙනියන්න මොනවගේ දායකත්වයක් ද ලැබෙන්නෙ. අපේ සංවිධාන වැඩ පිළිවෙළ හා මහජනයා එක්ක කරන කටයුතු පුළුල් කර ගන්න මොනවගේ අවස්ථාවක් ද කියන කාරණය මත තමයි ඒක තීරණය වෙන්නේ. සමහරවිට අපේ වැඩවලට වාසිදායක නම් මැතිවරණයට ඉදිරිපත් නොවීම එතකොට අපි ඉදිරිපත් වෙන්නේ නැහැ. අපට යම් කාර්යභාරයක් කරන්න පුළුවන් කියලා පේනවා නම් අපි ඉදිරිපත් වෙනවා. කොහොමත් මැතිවරණය ප්‍රකාශයට පත්වන අවස්ථාවයි ඒ මොහොතේ තියෙන දේශපාලන තත්ත්වයයි සලකල බලලා තමයි තීරණය ගන්නේ.  

 


ප්‍රශ්නය - කෝ කුමාර් මහත්තයා. ඔහු නැවතත් අතුරුදන්?  
පිළිතුර -
ඇත්තටම කුමාර් ගුණරත්නම් සහෝදරයා අතුරුදන් නැහැ. ඔහු සංවිධායක, ලේකම් සහෝදරය. ඔහු ලංකාවේ ඉන්නවා. ඔහුගේ වගකීම තියෙන්නේ පක්ෂයේ සංවිධාන කටයුතු සම්බන්ධවයි. එතකොට ඔහුට පක්ෂයේ අභ්‍යන්තර කටයුතු තමයි වැඩිපුර තියෙන්නේ. නමුත් මෑත කාලයේ අපි කරපු සම්මන්ත්‍රණ, ජනහමු කීපයකට ඔහු සහභාගි වුණා. ඉදිරියේදීත් එන සම්මන්ත්‍රණ කිහිපයක් හා ජනහමු ප්‍රමාණයක් තියෙනවා. ඔබ කියන්න ඇත්තේ ඔහු මාධ්‍යයට පෙනී නොසිටීම ගැන වෙන්නැති. අපේ පක්ෂයේ යම් වැඩ බෙදීමක් කර ගන්නවා. එතැනදී හැම සහෝදරයම මාධ්‍යයට විවෘත වෙන්නේ නැහැ. ඒකෙන් කියැවෙන්නේ නැහැ ඔවුන් හැංගිලා ඉන්නවා කියල. මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින්න ඕනෑ වෙච්ච හැම අවස්ථාවකදීම කුමාර් සහෝදරයා පෙනී හිටියා. ඉදිරියේදීත් එය එසේම වෙයි.  

 

සාකච්ඡා කළේ  ප්‍රසන්න සංජීව තෙන්නකෝන්