සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර්
- අපි පාරට බැහැල ඉන්නේ මේ ටිකේම. ඒක මාධ්‍යයට පෙනෙන්නේ නෑ.
කාලීන දේශපාලනය පිළිබඳ මේ අදහස් දැක්වීම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් ය.
මේ දවස්වල ප්‍රධාන මාතෘකාව තමයි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු යෝජනාව. විදේශ ඇමැති ගණිත සූත්‍ර මගින් අපි පරාද නෑ කියනවා. ඔබලා මේක දකින්නේ කොහොමද?
ඇයි මෙහෙම යෝජනාවක් එන්නේ කියලා බලන්න ඕනෑනේ මුලින්ම. රටක් විදිහට අපිට අද තනියම යන්න බෑ. ජාත්‍යන්තර සබඳතාවලින් තොරව ගමනක් කිසිම රටකට නෑ. ඒකෙදී අපි විවිධ පොදු එකඟතාවන්ට අනුව කටයුතු කළ යුතුයි. හුදෙකලාව අපිට ඕන හැටියට යනව නම් මේව නොතකා ඉන්න පුළුවන්. ඒත් එහෙම බෑ. මේ වගේ ප්‍රශ්න එන තැනට රට පත් කරපු එක තමයි අර්බුදයෙ මුල. එහෙම නැතිව මෙවැනි යෝජනා නිකම්ම ඉදිරිපත් වෙන්නෙ නෑ. ජාත්‍යන්තරය අපි දිහා බලාගෙන ඉන්නේ.
මානව හිමිකම් ප්‍රශ්නය කාලයක් තිස්සේ කතාබහට ලක්වෙන කාරණයක්. ඒ සම්බන්ධව අපේ රටේ පාලකයෝ ක්‍රියා කරන ආකාරය අනුව තමයි මේ වගේ යෝජනා ඉදිරියට එන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයෙන් ගිලිහිලා ඒකාධිපති ස්වරූපයෙන් ආවම රටේ ජනතාවගේ අයිතිවාසිකම් අර්බුදයට ලක්වෙනවා. රටේ ජනතාවගේ නිදහස සීමා වෙනවා. ඒවා දිහා ජාත්‍යන්තරය ඇහැ ගහගෙන ඉන්නෙ. අපි හිතනව නම් අපි කරන දේවල් කාටවත් පේන්නේ නෑ කියලා ඒක තමයි ප්‍රශ්නය. අද වෙනකොට නැවතත් ප්‍රකාශනයේ නිදහස අහිමි වෙමින් යනවා. මාධ්‍ය නිදහස අභියෝගයට ලක්වෙමින් යනවා. නීතියේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්න මතු වෙනවා. පාලකයන් තමන්ට හිතුමතේ අත්තනෝමතිකව කටයුතු කරනවා. ජනතාව දැඩි පීඩනයට පත් කරනවා. මේ සියල්ල මත තමයි ජාත්‍යන්තරයේ දී අපි රටක් විදිහට අපහසුතාවට පත් වෙන්නේ. 2015 පෙර දශකයේ සිද්ධ වෙච්ච දේවල් නැවත සිදුවෙමින් තියෙනවා.
එක උදාහරණයකට බලන්න පසුගිය දවසෙ අර විහාර මහාදේවි උද්‍යානයේ ප්‍රදර්ශනය කරපු චිත්‍රය ගලවා දාපු සිදුවීම. මේක ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීම. තමන්ට අහන්න දකින්න අකමැති මතය මර්දනය කිරීමක්. ඒ අය ඒ හරහා කියන්න උත්සාහ කෙරුවෙ පරිසරය රැකගමු කියලා. පරිසරය විනාශ කරන්න එපා කියනකොට ඒකට රිදිලා ඒ හඬ යටපත් කරන්න හදන්නේ ඇයි? මේක හරි පැහැදිලියිනේ. පරිසරය රකිනවා කියලා ආපු අය අද පොඩි ළමයෙක් පරිසරය විනාශ කරනවා කිව්වත් වියරු වැටිලා වගේ කටයුතු කරන්නේ. රටේ හැම තැනම ඉතිහාසයේ කවදාවත් නැති තරම් පරිසර විනාශයක් සිද්ධ වෙද්දි ඒක නවත්වන්නේ නැතුව ඒ ගැන කතා කරන අය මර්දනය කරන්න හදනවා. ඉතින් ජාත්‍යන්තරය ඉදිරියේ අපි රටක් විදිහට මීටත් වඩා අමාරුවේ වැටෙන්න පුළුවන්.
විදේශ අමාත්‍යවරයා ඉලක්කම් සෙල්ලමක් කරලා අපිට විරුද්ධව ඉන්න රටවල් ගණනට වඩා පක්ෂව ඉන්න අය වැඩියි කියලා. ඉතාම බොළඳ තර්කයක් ඉදිරිපත් කරල සතුටු වෙන්න හදනවා. ඒක තාවකාලිකව සැනසුමට හොඳයි. එතුමා වැනි අත්දැකීම් බහුල දේශපාලන චරිතයක් මේ වගේ කතා කියන එක තමයි පුදුමය. රට වැටිලා තියෙන අසීරුතාවයේ තරම සැබෑවටම තේරුම් අරගෙන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් කටයුතු කිරීම හැරෙන්න මේකට වෙන උත්තරයක් නෑ. විපක්ෂයක් විදියට අපිට මේ තත්ත්වය ගැන සතුටක් නෑ. අපි ආණ්ඩුවට මතක් කරන්නේ අත්තනෝමතික ඒකාධිපති පාලනයෙන් මිදිලා ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට එන්න කියලා. ජනතාවගේ අයිතීන් සුරක්ෂිත සමාජයක් ස්ථාපිත කරන්න කියලා. එතකොට මෙවැනි අභියෝගවලට මුහුණ දෙන්න වෙන්නෙ නෑ.
ඔබ පරිසරය ගැන මතක් කරපු නිසාම ඒ ගැන තව ටිකක් කතා කරමු. පරිසර විනාශය ගැන අද විවිධ පුවත් දිනෙන් දින අහන්න ලැබෙනවා. ඒත් ආණ්ඩුව නම් ඒවා තදින්ම ප්‍රතික්ෂේප කරනවා. සමහර ඇමතිවරු කියන්නේ රටේ හොඳම පරිසර ප්‍රේමියා ගෝඨාභය රාජපක්ෂ කියලා.
පරිසර විනාශයේ තරම අද ඕනෑ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ප්‍රවෘත්ති විකාශයන් තුළ පරිසර විනාශය ගැන පුවත් කීයක් සඳහන් වෙනවද බලන්නකො දවසකට. එතකොට ඒ හැමදේම බොරු කියල ද ආණ්ඩුව කියන්නේ? පරිසරය රකිනව කියාගෙන ආපු හැටියට ජනතාව හිතුවෙ නෑ මේ වගේ දෙයක් සිද්ධවෙයි කියලා. එක සිදුවීමක් දෙකක් කියලද? ලෝක උරුම සිංහරාජේ එක පැත්තකින්. නකල්ස් තව පැත්තකින්. මුතුරාජවෙල රඹකැන්ඔය අදී මෙකී නොකී තැන් කීයක් අද අනතුරේ ඇස් පනාපිට මේ තැන් විනාශ කරද්දිත් ආණ්ඩුව කියනව කිසිම පරිසර හානියක් නෑ කියලා.
වැදිනායක වන්නිලැත්තො උසාවි යනවා තමන්ගේ නිජ භූමි අනතුරට ලක් වෙනවා කියලා. ඉතිහාසයේ මෙහෙම දේවල් වෙලා තියේද? එ්කෙන් තේරුම් ගන්න පුළුවන් අද සිදුවෙන පරිසර විනාශයේ තරම. කැලේ කපලා හෝටල් ඉදිකරනවා. හදපු හෝටල්වලට කැලේ කපලා පාරවල් හදනවා. සමාගම්වලට හිතු හිතු හැටියට කැලේ කපලා තමන්ගේ ඉදිකිරීම් කරන්න අද අවස්ථාව හම්බවෙලා.
ආණ්ඩුවේ ගජ මිතුරු සමාගම් තමන්ට හිතෙන හිතෙන හැටියට වනය විනාශ කරමින් යනවා. ඒ සමාගම්වලට කොහොමද මේ විශාල ඉඩම් ලබා දෙන්නේ? මේ ගැන ආණ්ඩුවට උත්තර නෑ. එහෙම වුණාම ආණ්ඩුව කරන්නේ මේවා ගැන කතා කරන අය බිය ගන්වල නිහඬ කරවන එක.
ඔබලා කියන විදිහට ආණ්ඩුව මේ තරම් ජනතාව පීඩනයට පත් කරද්දිත් කෝ ඔය ‘ජනතාවාදී විපක්ෂයේ’ වගකීම?
සමගි ජන බලවේගය විදියට අපි විපක්ෂයේ කාර්යභාරය ඉතා හොඳින් ඉටු කරනවා. ඒක මාධ්‍යයට නොපෙනීම ගැන අපිට කරන්න දෙයක් නෑ. මාධ්‍ය මේ රටේ ප්‍රශ්න ගැන තමන්ගේ වගකීම නිසියාකාරව ඉටු කරනවද කියන ප්‍රශ්නයත් තියෙනවා. අපි මේ දවස්වල දිගටම පරිසර විනාශය ගැන අපේ විරෝධය පළ කරමින් යනවා. පසුගිය දින දෙක තුනේ පාර්ලිමේන්තුව අසල, නිදහස් චත්‍රරස්‍රය අසල අපි අපේ විරෝධතා පැවැත්වුවා. ජනාධිපති කාර්යාලය අසලත් අපි අපේ විරෝධතාවය පැවැත්වූවා. අපි පාරට බැහැල ඉන්නේ මේ ටිකේම. ඒ විතරක් නොවෙයි හැම සති අන්තයකම පිට පළාත්වල අපි මේ විරෝධතා ව්‍යාපාරය අරන් යනවා. ජනතාව දැනුවත් කරනවා.
ඒ විතරක් නෙවෙයි අපි දිගින් දිගටම මේ ආණ්ඩුවේ වංචා දූෂණ හෙළිදරව් කරමින් යනවා. පාර්ලිමේන්තුව ඇතුළෙත් ඉන් පිටත් අපි අපේ වගකීම ඉටු කරනවා. ආණ්ඩුව මේ අවුරුදු එකහමාර ඇතුළෙ කරපු වංචා දූෂණ හැම එකක් ගැනම කතා කළා. වෙනද විපක්ෂය කටයුතු කළාට වඩා විශාල මැදිහත් වීමක් සමගි ජන බලවේගය විදිහට අද අපි කරමින් ඉන්නවා. එක ප්‍රශ්නයකින්වත් ආණ්ඩුවට බේරිලා යන්න බැරි විදියට අපි ආණ්ඩුව හිර කරනවා. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීම දිහා බලන්න. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා දිගින් දිගටම ආණ්ඩුවේ වැරදි පෙන්නල දෙනවා.
අපි ආණ්ඩුව බේර ගන්න ඩීල්වල නෑ. වැරැද්ද වැරැද්ද විදියට දැකල ඒක විවේචනය කරනවා. අපි ජනතාවට වග කියන විපක්ෂයක්. පසුගිය දිනවල සිදුවෙච්ච සීනි වංචාව ගැන අපි දිගින් දිගටම කතා කරනවා. මේවයින් ආණ්ඩුවට ගැලවිලා යන්න අපි ඉඩ දෙන්නෙ නෑ. මේ වගේ හැම ප්‍රශ්නයක් ගැනම අපි අපේ අවධානය යොමු කරනවා. ජනතාවගෙ පැත්තෙ ඉන්න විපක්ෂයක් දැන් රටේ තියෙනවා කියල බය නැතුව කියන්න පුළුවන්.
සමහර පක්ෂවලට තිබුණු විවේචනය තමයි දෙවැනි පෙළ නායකත්වයකට ඉඩ ඇහිරීම කියන එක. සමගි ජන බලවේගයේ ඒ වගේ තත්ත්වයක් නැද්ද?
බලන්න සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව. ඒක ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී එකක්. ඒක ඇතුළෙ ඒකාධිපති ලක්ෂණ නෑ. සජිත් ප්‍රේමදාස නායකත්වයට පත්වෙලා තියෙන්නේ අවුරුද්දකට. ඔහුගේ නායකත්වය දීර්ඝ කරන්න හෝ වෙන නායකත්වයක් යෝජනා වෙන්න පොදු එකඟතාවයක් ඕනෑ. තනි මතයට වැඩ කිරීමක් සමගි ජන බලවේගයේ නෑ.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස කියලා දැන්ම ඉඳල ඔබලා කියන්නේ කොහොමද එහෙනම්?
ඔහු තමයි ඉන්න ජනප්‍රිය නායකත්වය. අපි අද විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්නේ සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන්. ඔහු ඒ සඳහා ඉතාමත් ශක්තිමත් නායකත්වයක් දෙනවා. දැනට අපි ඔහු ගැන තමයි බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඉදිරි ජනාධිපතිවරණයේ දී තරගකාරිත්වයට හොඳම උත්තරේ ඔහු. අපි ඒ ගැන බලමු මැතිවරණය ආසන්න වුණාම. දැනට කලබලයක් ඕන නෑ.
සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා ඉදිරියේ දී විශාල දේශපාලන සන්ධානයක් බිහිවෙන්න නියමිතයි කියලා. මේක තවත් හවුලක්ද?
දේශපාලනයේ දී සංධාන නිර්මාණය වීම බොහෝ විට සිදුවෙන දෙයක්. ඒක අමුතු දෙයක් නොවෙයි. මේ ආණ්ඩුවට විරුද්ධව සියලු බලවේග ඒකරාශී වෙන පොදු තැනක් අවශ්‍යයි. ඒ සඳහා පොදු අරමුණක් පෙරදැරිව ඕනෑ කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. තනි පක්ෂයක් විදිහට සටන් කරනවට වඩා පෙරමුණක් විදියට කටයුතු කිරීම නරක නෑ. මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ රටේ වුවමනාව තේරුම් අරගෙන ආණ්ඩු විරෝධී කඳවුරක් නිර්මාණය වීම. ඒකට ඕනෑ කෙනෙකුට එකතු වෙන්න පුළුවන්.
සජිත් ප්‍රේමදාසයි විමල් වීරවංශයි රහසින් හම්බවෙලා සාකච්ඡා කළා කියලා ආරංචියක් පැතිරුණේ ඕකටමද?
ඔය වගේ පුවත් මවනවා කාලෙන් කාලෙට. යම් යම් මාධ්‍යයත් කිසිම සොයා බැලීමක් නැතුව ඇතැම් ප්‍රවෘත්ති පළ කරනවා. මාධ්‍ය වුණත් තම තමන්ගේ වගකීම ගැන මීට වඩා හිතන්න ඕනෑ. දේශපාලනඥයෝ ගැන වගේම මාධ්‍ය ගැනත් රටේ ජනතාවට විවේචනත් තියෙනවා.
සමගි ජනබලවේගයේ ඉදිරි නායකත්වයේ දී පාඨලී චම්පිකට කොයි වගේ තැනක් ද හිමිවෙන්නේ? ඔහු වෙනම ගමනක් මේක ඇතුළෙම යන්න හදනවා කියන කතාවත් සමාජගතවෙලා තියෙන්නේ ඇයි?
මං හිතන්නේ නෑ පාඨලී චම්පික සමගි ජන බලවේගයේ නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරයි කියලා. ඕනෑ කෙනෙකුට තම තමන්ගේ ගමන් තියෙනවා. තම තමන්ගේ දේශපාලන අරමුණු තියෙනවා. ඒත් ඔය කියන අර්බුදයක් සමගි ජන බලවේගයේ නෑ. පාඨලී චම්පික හෙළ උරුමයෙන් අයින්වෙලා අපේ පක්ෂයට ඇවිත් ඉන්නේ. ඔහු සමගි ජන බලවේගය ශක්තිමත් කරන දක්ෂ දේශපාලනඥයෙක්. නැති අර්බුද මතු කරන්න ඕනෑ අය තමයි ඔය වගේ අසත්‍ය ප්‍රචාරය කරන්නේ.
දශක එකහමාරකට පස්සේ ආපසු පාර්ලිමේන්තු ආපු ඉමිතියාස් බාකිර් මාකර් ඊළඟ පාර පාර්ලිමේන්තු එන්නෙත් ලිස්ට් එකෙන් ද ඡන්දෙ ඉල්ලල ද?
මම දේශපාලනයේ විවිධ තනතුරු ලබපු කෙනෙක්. මට තව එවැනි ඉලක්ක නෑ. මම හිටපු කැබිනට් ඇමැතිවරයෙක්. මම හිටපු කතානායකවරයකුගේ පුතෙක්. දේශපාලනය ගැන යම් යම් කලකිරීම් ඇතිවෙලා මම ටිකක් ඒකෙන් දුරස්වෙලත් හිටපු කෙනෙක්. සජිත් ප්‍රේමදාස වරක් මාව හමුවෙලා කිව්වා ඔහු පක්ෂයේ නායකත්වයට පත්වුණාම මාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්නවා කියලා. මම කිව්වේ එතකන් මම ජීවත්වෙලා ඉඳීද කවුද දන්නෙ කියලා. කොහොම වුණත් මම ලොකු බලාපොරොත්තුවල නෑ. පක්ෂය තීන්දු කරන දේකට මම එකඟ වෙනවා. මොකද මම දැන් සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන කෙනෙක් විදියට පක්ෂය ගන්න තීරණය එක්ක ඉන්නවා.
ප්‍රියන්ත කොඩිප්පිලි