ප්‍රතිත්‍රස්ත පනත සති තුනකින් කල් දැම්මා දූෂණ විරෝධී පනත මේ සතියේ එනවා


අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය

 විජයදාස රාජක්ෂ

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියේ මූලධර්ම අනුව හදපු පනත් කෙටුම්පත අපි තව වැඩිදියුණු කළා. අපි මේ පනත් කෙටුම්පත ගෙනාවේ නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමතය ලැබෙන්නෙත් නෑ. ඒ අයත් මේ පනත් කෙටුම්පත ගැන සැලකිලිමත් වුණා. මේ සඳහා ඒ ආයතනයේ අදහසුත් දුන්නා. අපි ඒවත් මේකට ඇතුළත් කළා. අපි එහෙම කළේ අයිඑම්එෆ් එකේ ණය කොන්දේසි කතන්දරය නිසා නෙවෙයි. මගේ මතය නම් මේ පනත් කෙටුම්පත ගැන ඒ ආයතනය ඉදිරිපත් කරපු යෝජනා රටේ ජනතාවගේ පැත්තෙන් හොඳ ඒවා නම් දැම්මට කමක් නෑ කියන එකයි.

මතභේදයට තුඩු දී ඇති ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති විවේචන ප්‍රශ්න කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජක්ෂ මහතා සමග පැවැත් වූ සාකච්ඡාවක් මෙසේය.   

ප්‍ර:1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි කළ යුතු බවට විවිධ සමාජ කොටස්වලින් දැඩි ඉල්ලීම් ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම යුද්ධය අවසන් වීමෙන් පසු තවදුරටත් මෙවැනි පනතක් අවශ්‍ය නැති බව ප්‍රකාශ වුණා. ඒත් ආණ්ඩුව දැන් අලුත් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතක් ගෙනල්ලා තියෙනවා. මොකක්ද අරමුණ?   


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අයින් කරන්න කියලා කවුරුත් කිව්වෙ නෑ. ඒ පනතේ තියෙන සාමාන්‍ය නීතිය පිළිනොගන්න විධිවිධාන අයින් කරන්න කියලා ඉල්ලීම් තිබුණා. එහෙම නැතුව ඒ පනත මුළුමනින්ම ඉවත් කරන්න කියලා කියනවා නම් ඒකෙ තේරුම ජනතාවගේ ජාතික ආරක්ෂාව ඉවත් කරන්න කියන එකනෙ. මම හිතන්නෙ නෑ සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙක් එහෙම කියයි කියලා. පහුගිය කාලේ සිදුවෙච්ච ඇතැම් සිද්ධීන් එක්ක සමහර අය හිතනවා මේ පනත තියෙන්නෙ ජනාධිපති ඇතුළු දේශපාලන ප්‍රභූන් ආරක්ෂා කරන්න කියලා. නමුත් මේ පනතින් අපි කවුරුවත් ආරක්ෂා වෙන්නෙ නෑ. මේ පනතින් ආරක්ෂා කරන්නෙ රටේ ජනතාව, ජනතාවගේ දේපොළ සහ රටේ සම්පත්.   


ප්‍ර:දැනට බලාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි මේ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතෙයි අතර හරයේ විශාල වෙනස්කම් තියෙනවද? 

 
හරයෙ විශාල වෙනස්කම් තියෙනවා. දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් එල්ලවෙලා තිබුණේ ප්‍රධාන චෝදනා දෙකයි. එකක් තමයි රඳවා තබා ගැනීමේ විධාන නිකුත් කිරීමේ බලය ආරක්ෂාව භාර අමාත්‍යවරයාට හිමිවීම. ඒක දේශපාලනීකරණය වුණැයි කියන චෝදනාව හා අයුතු ලෙස භාවිත කළැයි කියන චෝදනාව එල්ල වුණා. දෙවැනි එක තමයි මේ පනත යටතේ අත්අඩංගුවට ගන්න සැකකරුවන් ලබාදෙන පාපොච්චාරණ පිළිඅරන් ඒ අයව වැරැදිකරුවන් කරනවයි කියන චෝදනාව. නමුත් මේ අලුත් පනත් කෙටුම්පත යටතේ ආරක්ෂක ඇමැතිවරයාට නැතිනම් ජනාධිපතිවරයාට තියෙන රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමේ බලය අධිකරණයේ අධීක්ෂණයට යටත්ව පොලිසියට දීලා තියෙනවා. ඒ අනුව රැඳවුම් නියෝග නිකුත් කිරීමේදී යම් කෙනෙක් ත්‍රස්තවාදී ක්‍රියාවක යෙදෙනවා හෝ එසේ කිරීමට සූදානම් වෙන බවට පොලිසියේ ඩීඅයිජී හෝ ඉහළ ශ්‍රේණියක නිලධාරියෙක් සෑහීමකට පත් වෙන්න ඕනෑ. අදාළ නිලධාරියා විසින් ඒ බව සාක්ෂි සහිතව අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනෑ. අධිකරණයත් සෑහීමකට පත් වෙන්න ඕනෑ. 

 
ප්‍ර:මේ පනත් කෙටුම්පත කියැවීමේදී පැහැදිලි වෙනවා එයින් අර්ථ නිරූපණය කරලා තියෙන ත්‍රස්තවාදී වරද සිදු කරන හෝ එසේ සිදු කිරීමට සූදානම් වන බවට හැඟෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී ආරක්ෂක අංශවලට තියුණු බලතල ලබා දී තිබෙන බව. ඒ අනුව පොලිසියේ සන්නද්ධ හමුදාවල සහ වෙරළ ආරක්ෂක නිලධාරීන්ට වරෙන්තු නැතුව පුද්ගල අත්අඩංගුවට ගැනීම් සිදු කරන්න හැකියාව ලැබෙනවා. එතන ප්‍රශ්නයක් නැද්ද?   


ඒ වගන්තිය වෙනම කියෙව්වොත් ඔය කියන තර්කය හරි. ඔය චෝදනාව කරන අය ඊට කලින් පනත මොකක්ද කියලා කියවන්න එපැයි. පනතේ දෙවැනි වගන්තියෙ කියලා තියෙනවා පනත අදාළ වෙන්නෙ කාටද කියලා. ඒකෙ පැහැදිලිව සඳහන් වෙනවා ත්‍රස්තවාදී ක්‍රියා කරන අයට මේ පනත අදාළ වෙන්නෙ කියලා. එතකොට සාමාන්‍ය පෙළපාළි උද්ඝෝෂණ කොහොමද ඒකට ඇතුළත් වෙන්නෙ. ඒ නිසා මේ වගන්තිය ගැන දැන හෝ නොදැන වැරැදි අර්ථනිරූපණ ඉදිරිපත් කරනවා. මේ පනත් කෙටුම්පත ගෙනල්ලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආරක්ෂාවට. ත්‍රස්තවාදය වළක්වන නීති ලෝකයේ හැම රටකම තියෙනවා.   


ප්‍ර:මේ පනත් කෙටුම්පතින් සාමකාමී විරෝධතා දැක්වීම සඳහා මිනිසුන්ට තියෙන අයිතිය උල්ලංඝනය වෙන්නෙ නෑ කියලා ඔබට වගකීමෙන් කියන්න පුළුවන්ද?  


දැන් බලාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතිනුත් ඒ සඳහා බාධා නැත්නම් ඒ පනතෙ තියෙන බලතල සියයට පනහකට වැඩි ප්‍රතිශතයකින් අඩු කරලා ජනාධිපතිටත් තියෙන බලතල අඩු කරමින් සකස් කරලා තියෙන මේ නව පනත් කෙටුම්පතෙන් ජනතාවගේ උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය උල්ලංඝනය වෙනවා කියන්නෙ කොහොමද?   


ප්‍ර:එහෙනම් ඇයි මේ පනත් කෙටුම්පත යටතේ වරදකරුවන් බවට පත් කරන අයගෙ නිශ්චල සහ චංචල දේපොළ රාජසන්තක කරන බවට විධිවිධාන ඇතුළත් කරලා තියෙන්නෙ?   


ඒක කරන්නම ඕන. ත්‍රස්තවාදීන් කියන්නෙ මිනිස්සුන්ගෙ ජනජීවිත විනාශ කරන අය. ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාතිමක කරන්නෙ නැත්නම් ඒ රට අරාජිකයි.   


ප්‍ර:ඇතැම් වෘත්තීය සමිති චෝදනා කරන්නෙ මේ පනත් කෙටුම්පතෙන් ත්‍රස්තවාදය අර්ථනිරූපණය කර තියෙන විදියම ගැටලුසහගත බවත් එමගින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හැටියට අර්ථ දකවා ඇති බවත්. මේ ගැන ඔබට කිව හැක්කේ කුමක්ද?   


ඒ අයට සැකසංකා තියෙන නිසා මේ පනත් කෙටුම්පත තව සති තුනකින් කල් දැම්මා. ඒ අනුව ඒ අයට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අමතර කාලයකුත් ලබා දීලා තියෙනවා. අපි කියන දේ වැරැදි නම් හරි දේ ශ්‍රේෂ්ඨාධිකරණය කියයිනෙ.   


ප්‍ර:මේ පනත් කෙටුම්පතේ සමහර වගන්ති කියවද්දි ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය භාවිතයට සීමාකාරී තත්ත්ව ඇති කර ඇති බවක් පෙනී යනවා. ඒක එහෙම නෙවෙයිද?   


ඔබ ඔය හිතන විදියට හිතුවොත් සමාජ මාධ්‍යයට විතරක් නෙවෙයි ජාතික මාධ්‍යයටත් අවහිරයක් තියෙනවා. පනත කියවලා තේරුම් ගත්තොත් එහෙම එකක් නෑ. ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්නෙ සමාජ මාධ්‍යද ජාතික මාධ්‍යයද කියන එක අදාළ නෑනෙ.   

 

ප්‍ර:මේ පනත් කෙටුම්පතේ 10 (1) (අ) අනුව්‍යවස්ථාව කියවද්දි එවැනි තර්ජනයක් ඇති බව පෙනී යනවා. ඒ වගන්තියෙ සඳහන් වෙන්නෙ ත්‍රස්තවාදය පිළිබඳ වරද සිදු කිරීමට ඒ සඳහා සූදානම් වීමට හෝ පෙලඹවීමට ඔවුන් සෘජුව හෝ වක්‍රව දිරිගන්වන්නක් හෝ පොලඹවන්නක් ලෙස තේරුම් ගැනීමට ඉඩ ඇති යම් ප්‍රකාශයක් පළ කරන්නා වූ හෝ පළ කිරීමට කටයුතු සලස්වන්නා වූ අය මේ පනත යටතේ වරදක් සිදු කරන අය හැටියට සලකන බව. මොකක්ද ඒ ගැන ඔබේ අදහස?   


මොකක්ද ඔය වගන්තියෙ තියෙන වැරැද්ද?   


ප්‍ර:මාධ්‍ය භාවිතයට අත තියන උත්සාහයක් හැටියට පෙනෙනවා.   


මාධ්‍යවලට අත තියන්න ඕන. ඕක තියෙන්නෙ සමාජ මාධ්‍ය ගැන විතරක් නෙවෙයි. විද්‍යුත් සහ මුද්‍රිත සියලු මාධ්‍යත් අදාළයි. මේ මගින් මාධ්‍ය නිදහසට බාධාවක් වෙන්නෙ නෑ. ඔබ කතා කරන මාධ්‍ය නිදහස ත්‍රස්තවාදි ක්‍රියාවකට සම්බන්ධ කරලා නම් කතා කරන්නෙ ත්‍රස්තවාදී ක්‍රියාවක් මෙහෙයවීම වෙනුවෙන් නම් ඔබ කතා කරන්නෙ ඒවට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කරන්න එපාද? ජනමාධ්‍යවේදීන්ට ත්‍රස්තවාදී කටයුතු ප්‍රචාරණය කරන්න බලපත්‍ර ලබා දීලා නැත්නම් මේ වගන්තියේ කිසි වරදක් නෑ.   


ප්‍ර:මේ පනත් කෙටුම්පතේ 85 (1) අනුව්‍යවස්ථාවේ සඳහන් වෙන්නෙ ගැසට් පත්‍රයේ පළ කරන නියමයක් මගින් “තහනම් ස්ථාන” නියම කිරීමේ බලය ජනාධිපතිවරයාට පවතින බව. මේවත් අධිආරක්ෂිත කලාප වැනි ස්ථානද?   


අධිආරක්ෂිත කලාප තමයි.   


ප්‍ර:ඇයි එවැනි ස්ථාන නියම කරන්නෙ? 

 
එවැනි ස්ථාන ප්‍රකාශයට පත් නොකර ත්‍රස්තවාදි කණ්ඩායමක් හෝ වෙන කණ්ඩායමක් ශ්‍රී ලංකා මහ බැංකුව කඩන්න හෝ ගිනි තියන්න ගත්තොත් ඒක කැඩුවට කමක් නෑ කියලා ඔබ කියනවා නම් ඔය කතාව හරි.   


ප්‍ර:ඔබ කියන්නෙ මේ තහනම් ස්ථාන ඇති කරන්නෙ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හෝ විරෝධතාකරුවන් මර්දනය කරන්න නෙවෙයි කියලද?   


නෑ ජාතික ආරක්ෂාවට. අපි රටක ත්‍රස්තවාදය වළක්වන්නෙ මහජන ආරක්ෂාව වෙනුවෙන්. රෝහල් පාසල් වැනි ස්ථානවලට ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් තියෙනවා නම් අපි කොහොමද ඒ ස්ථාන රැකගන්නෙ.   


ප්‍ර:මේ පනත් කෙටුම්පතේ වැරැදි සහ දඬුවම් කොටස යටතේ ත්‍රස්තවාදී වරදවල් හැටියට අර්ථනිරූපණය කර ඇති ක්‍රියා හෝ නීතිවිරෝධී නොකර හැරීමක් සිදු කිරීම සඳහා වන අයුතු ජනරාශියක සාමාජිකයකු වීම වරදක් ලෙස සලකන බව දැක්වෙනවා. මේ ජනතාවගේ සාමකාමී රැස්වීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් නෙවෙයිද?   


නෑනෙ. මේක සාමාන්‍ය නීතියක්නෙ. රටේ මූලික නීතිය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියෙන් ජනතාවගේ සාමකාමී රැස්වීමේ අයිතිය ආරක්ෂා කරලා දීලා තියෙනවා. 

 
ප්‍ර:ඔබ මේක සාමාන්‍ය නීතියක් කියලා කිව්වට මේ පනත් කෙටුම්පතේම සඳහන් වෙනවා මේ පනත වෙනත් ලිඛිත නීති අභිබවා බලපවත්වන බව. 

 
ඔය විදියට තියෙන පනත් දහස් ගාණක් තියෙනවා. පවතින නීති කොච්චර අභිබවනවා කිව්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට යටත්ව විතරයි මේක අර්ථනිරූපණය කළ යුත්තෙ. 

 
ප්‍ර:ජනාධිපතිවරයා කියන විදියට හදලා තියෙන දූෂණ විරෝධී පනත් කෙටුම්පත දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත් කෙටුම්පත නම් ඇයි ඒකට විරුද්ධව මෙතරම් විවේචන?   


ඒක විවේචනය කරන අයගෙන් අහන්න ඕනෑ. දූෂණ විරෝධී පනත් කෙටුම්පත හොඳ නෑ කියලා කියන අයට මම කියන්නෙ හොඳ දේ මොකක්ද කියලා කියන්න කියලා. එහෙම කිව්වොත් අපි ඒ ටිකත් මේ පනත් කෙටුම්පතට දාන්නම්.   


ප්‍ර:මෙරට ක්‍රියාත්මක අල්ලස් දූෂණ මැඬලීමේ යාන්ත්‍රණය ඇතුළත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවක් තිබුණට එය අකාර්යක්ෂම බවට කාලයක් තිස්සේ චෝදනා ඉදිරිපත් වෙනවා. හදලා තියෙන අලුත් පනත් කෙටුම්පතින් මේ යාන්ත්‍රණය කාර්යක්ෂම කරන්න යෝජනා කරන ප්‍රතිකර්ම මොනවාද?   


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව අකාර්යක්ෂමයි කියලා මම තමයි වැඩිපුරම කිව්වෙ. මේ අලුත් පනත් කෙටුම්පත අනුව අපි මේ කොමිෂන් සභාවට පත් කරන්නෙ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් වෙනුවට එක් එක් ක්ෂේත්‍රවල වසර 20 කට වැඩි සේවා පළපුරුද්ද නිපුණත්වය සහ විෂය දැනුම ඇති නිලධාරීන්ව. ඒ පත් කිරිම් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අනුමතය ගන්න ඕනෑ. කොමිසමේ දැන් ඉන්න අධ්‍යක්ෂ ජනරාල්වරයට තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න ලොකු බලයක් නෑ. නමුත් මේ අලුත් පනත් කෙටුම්පතෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය ලබා දී තියෙනවා. ඒ තනතුරට කෙනෙකු පත් කිරීමේ දී ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පත් කිරීමේ හැකියාවක් නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය අවශ්‍ය වෙනවා.   


දැනට පවතින වත්කම් බැරකම් ප්‍රකාශන නීතිය යල්පැනපු එකක්. හුඟක් අය මේ නීතියට ඇතුළත් වෙන්නෙ නෑ. නමුත් අපි මේ පනත් කෙටුම්පත පටන් ගත්තෙ ජනාධිපතිවත් මේ වත්කම් බැරකම් නීතියට ඇතුළත් කරලා. ඒ අනුව මීට පස්සෙ ජනාධිපතිවරයාත් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතුයි. පළාත් සභා ආණ්ඩුකාරවරු ප්‍රධාන අමාත්‍යවරු අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු කොමිෂන් සභාවල කොමසාරිස්වරු තානාපතිවරු මහ කොමසාරිස්වරු සහ විදේශ දූත මණ්ඩලවල විධායක නිලධාරීනුත් වත්කම් බැරකම් නීතියට ඇතුල් කරලා තියෙනවා. වත්කම් බැරකම් ප්‍රකාශ ඔන්ලයින් මගිනුත් එවන්න පුළුවන්. ඒ වගේම මින් ඉදිරියට සියලු වත්කම් බැරකම් ප්‍රකාශ භාර දිය යුත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට විතරයි. ඒ විදියට භාර දෙන වාර්තාවල පරීක්ෂා කළ යුතු තැන් ස්වයංක්‍රීයව හඳුනාගෙන ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ බලයත් අල්ලස් කොමිසමට දීලා තියෙනවා. මූල්‍ය ස්වාධීනතාව වගේම පරීක්ෂකවරුන් පත් කිරීමේ බලයත් අල්ලස් කොමිසමට දීලා තියෙනවා.   


ප්‍ර:ඔබේ විග්‍රහය අහගෙන ඉද්දි තේරෙන්නෙ මේ පනත් කෙටුම්පත ගෙනල්ලා තියෙන්නෙ පවතින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලතල හා ස්වාධීනත්වය වැඩි කිරීමට කියලා. අල්ලස් දූෂණ අවම කරන්න මේ පනත් කෙටුම්පතෙන් අලුත් යාන්ත්‍රණයක් හඳුන්වාදීමක් කරලා නැද්ද?   


මේක සම්පූර්ණයෙන්ම අලුත් එකක්. තියෙන එකට හාත්පසින්ම වෙනස්.   


ප්‍ර:අල්ලස් දූෂණ කිව්වම වැඩිවශයෙන්ම චෝදනා එල්ල වෙන්නෙ දේශපාලන ප්‍රභූන්ට සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ට. මේ අය කොටු කරගන්න ඉදිරිපත් කරන වැඩපිළිවෙළ මොකක්ද?

   
අල්ලස් දූෂණ වැඩි වශයෙන් සිදු වෙන්නෙ ප්‍රසම්පාදන ක්‍රියාවලි හරහා. ඒ නිසානෙ අපි 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රසම්පාදන කටයුතු ප්‍රසම්පාදන කොමිෂන් සභාව හරහා සිදු කළ යුතු බවට විධිවිධාන යෙදුවෙ. ප්‍රසම්පාදන කටයුතු වුණාට පස්සෙ එවයෙදි වංචා දූෂණ සිදු වෙලාද කියලා හොයන්න ඕන නිසානෙ ජාතික විගණන කොමිසමකුත් පත් කළේ.   


ප්‍ර:ශ්‍රී ලංකාවේ වංචා හා දූෂණ මර්දනය කිරීමට යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ එකඟතා වැඩසටහනිනුත් අවධාරණය කරලා තියෙනවා. මේක ඒකට සමගාමීව ඉදිරිපත් කරපු පනත් කෙටුම්පතක්ද?   


නෑ මේ පනත් කෙටුම්පතට ඒකෙ කිසිම සම්බන්ධයක් නෑ. ලංකාව 2004 දි එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියේ පාර්ශවකරුවෙක් බවට පත් වුණා. 2015 දි මේ පනත් කෙටුම්පත හැදීමේ කටයුතු මම ආරම්භ කරලා තිබුණා. ඒත් ඒක හදලා අවසන් වෙද්දි මම අමාත්‍ය ධුරයෙන් ඉවත් කරලා තිබුණා.   


ප්‍ර:මේ ගෙනල්ලා තියෙන්නෙ ඒ පනත් කෙටුම්පතමද?   


ඒකම තමයි. එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියේ මූලධර්ම අනුව හදපු පනත් කෙටුම්පත අපි තව වැඩිදියුණු කළා. අපි මේ පනත් කෙටුම්පත ගෙනාවේ නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමතය ලැබෙන්නෙත් නෑ. ඒ අයත් මේ පනත් කෙටුම්පත ගැන සැලකිලිමත් වුණා. මේ සඳහා ඒ ආයතනයේ අදහසුත් දුන්නා. අපි ඒවත් මේකට ඇතුල් කළා. අපි එහෙම කළේ අයිඑම්එෆ් එකේ ණය කොන්දේසි කතන්දරය නිසා නෙවෙයි. මගේ මතය නම් මේ පනත් කෙටුම්පත ගැන ඒ ආයතනය ඉදිරිපත් කරපු යෝජනා රටේ ජනතාවගේ පැත්තෙන් හොඳ ඒවා නම් දැම්මට කමක් නෑ කියන එකයි.   


ප්‍ර:මේ පනත් කෙටුම්පත කවදා දිහාටද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ? 

 
මේක මේ සතිය ඇතුළත ගැසට් වෙනවා. මේ මාසෙ 25 ත් 28 ත් අතර කාලයේදී පළමුවර කියැවීමේ විවාදය පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

 

 

සාකච්ඡා කළේ
උපුල් වික්‍රමසිංහ