ප්‍රභූ දේශපාලනයේ ප්‍රේමදාස උරුමය


අසූව දශකයේ සෑම ජුනි විසිතුන් වැනිදාවකම මෙරට වාසීන්ට මතක සිටින දවසක් වූයේ ගම් උදා සංවත්සරය එදින ඇරඹෙන නිසාය. ගම්උදා සංකල්පයේ නිර්මාතෘ රණසිංහ ප්‍රේමදාසගේ ජන්ම දිනය වූයේ ද එදිනය. අද ඔහුගේ සේවය නොසලකා හැර තිබුණත් ඔහුගෙන් උදාගමක ගෙයක් ලබා ගත් බොහෝ ජනතාව අදත් ඔහුගේ උපන් දිනය සමරනවාට සැක නැත.
ප්‍රේමදාසට මුල්ම ඇමැතිකම ලැබුණේ 1965-70 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ පළාත් පාලන උප ඇමැති තනතුරය. ගමින් ගම යා කෙරෙන පූට්ටු පාලම් තනමින් ප්‍රේමදාස ජාතික දේශපාලනය ඇරඹුවේය. එතැන් සිට 1968 දී පළාත් පාලන කැබිනට් ඇමැති වූ ඔහු දිවා රෑ නොතකා වේගවත් ජනතා සේවයක නියැළුණේය. පාන්දර  හතරට අවදි වී රාත්‍රී දහය හමාරට නින්දට ගිය මෙරට එකම  ජනාධිපතිවරයා ද ඔහුය.


ලංකාවේ ධනවාදී පක්ෂ දේශපාලනය තුළ එකම විප්ලවවාදියා වූයේ රණසිංහ ප්‍රේමදාසය. ප්‍රභූ නොවන දේශපාලන පංතියකින් බිහිවී මෙරට ප්‍රභූ නොවන දුප්පත් අසරණ ජනතාවට පිහිට වූ එකම දේශපාලනඥයා ඔහුය. ඔහුගෙන් පිහිට ලැබූ තරම් සෙනඟක් මේ රටේ අය කිසිම දේශපාලන පක්ෂයකින් පිහිට ලැබුවේ නැත. එහෙත් පොදු ජනතාවගේ විප්ලවකාරී දේශපාලකයා වූ තරමටම ඔහු තමාගේ භාවිතය තුළින් ප්‍රතිවිප්ලවයක් කැන්දා ගත්තේය.
ප්‍රේමදාස ජනාධිපති පුටුවට නැංගේ මේ රටේ පැවැති දුෂ්කරම කාල පරිච්ඡේදයේදීය. උතුරත්  දකුණත් ගිනි ගනිමින් තිබූ මොහොතක රටේ ඉහළම තානාන්තරය ලැබගත් ඔහු ඒ ගිනි ජාලාවටම හසුව ජීවන ගමන නිමා කළෙන් ඔහු කළ පොදු ජන සේවයට මෙරටින් නිසි ගෞරවාචාර නොලැබිණි.
ජේ.ආර්. ජයවර්ධන විසින් තනන ලද සර්වබලැති විධායක ජනාධිපති ධුරය නමැති තාරකාවේ ධ්‍රැවය වටා කරකැවුණු ප්‍රධාන ග්‍රහකය වූයේ අග්‍රාමාත්‍ය ප්‍රේමදාසය. එතෙක් ආණ්ඩුවේ ප්‍රධානියා වූ අගමැති තනතුර වෙනුවට ප්‍රේමදාසට හිමි වූයේ බල බිඳීගිය අගමැති තනතුරකි. එම තනතුර පැවැතියේ ජනාධිපතිවරයාගේ සහයෝගය ඇතිතාක් පමණකි. රාජ්‍යයේ සියලු විධායක බලය ජනාධිපතිවරයා යටතට ගෙන තිබූ අතර අගමැති තනතුර නමට පමණක් සීමා වූ තනතුරක් විය. ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විසින් හඳුන්වා දෙන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අගමැති ධුරය තැපැල් පියුන් කෙනෙකුගේ තත්ත්වයට පහත හෙළා ඇති බව එකල විචාරකයන්ගේ විවේචනයට ලක්විය. එහෙත් ජේ.ආර්. කළේ අගමැතිවරයාට යම් ශක්තිමත් භාවයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ සභානායක තනතුර ද නිවාස හා ඉදිකිරීම් ඇමැතිධුරය ද පිරිනැමීමය. එජාප නායක ඩඩ්ලි සේනානායකට එරෙහිව තමා සමග එක්ව සටන් කළ ගමන් සගයාගේ හිත සතුටු කිරීම පිණිස මේ තනතුරු පිරිනැමූ ජේ.ආර්. , ප්‍රේමදාසට නිදහසේ ඔහුගේ ප්‍රජා සේවය සඳහා ඉඩකඩ ද විවර කර දුන්නේය.  
ප්‍රේමදාස තමාට ලබා දුන් කුඩා ඉඩකඩ විශාල ඉඩකඩ ඇති තැනක් බවට පත් කරගත්තේ ඔහුගේම හැකියාවෙනි. නිවාස ඇමැති ලෙස මුළු ගම්උදා ව්‍යාපෘතිය යටතේ මුළු රටේම පොදු ජන හද ඇද බැඳ ගත්තේය. ප්‍රේමදාසගේ ගම්උදාව ජයවර්ධන රජයට ජනතා ආකර්ෂණය ගෙන ආ අතර දෙවැනියාගේ වැඩ කටයුතුවලින් පළමුවැනියා ද බැබළුණේය. මුල් කාලයේ සියලු උදාගම් විවෘත කිරීම් සඳහාද ගම්උදා සැණකෙළිය විවෘත කිරීම සඳහාද ප්‍රේමදාසගෙන් ආරාධනා ලැබුවේ ජනාධිපති ජේ.ආර්.ය. ජේ.ආර්. ට අතිවිශාල ජනතා විරෝධයක් තිබුණත් ඔහුගේ අගමැති වූ ප්‍රේමදාසට එවැනි විරෝධයක් තිබුණේ නැත. ඔහු යන යන තැන රොඳ බැන්දේ පොඩි මිනිසුන්ය, කම්කරුවන්ය, ගැමියන්ය. එහෙත් ජනාධිපති ප්‍රේමදාසට එහෙම ජනතා කැමැත්තක් තිබුණේ නැත. සිනහපිරි මුහුණින් යුතු අගමැති ප්‍රේමදාස වෙනුවට ජනාධිපති පුටුවේ සිටියේ රෞද්‍ර මුහුණකින් යුත් ප්‍රේමදාස කෙනෙකි. උතුරේත් දකුණේත් කැරලි දෙකෙන් තමන්ට එරෙහිව එජාපයේ ප්‍රභූ දේශපාලකයන්ගේ විරෝධතා ආකල්ප නිසා ප්‍රේමදාස වැනි පුංචි මිනිසකුට ජනාධිපති පුටුව බර වැඩි වෙන්නට ඇත. ඒ නිසාම නිතරම රෞද්‍ර මුහුණකින් යුතු වෙන්නටත් ඇත.


පූර්ව දේශපාලන අවදියේ ප්‍රේමදාස පුවත්පත්වලට කවි ලිව්වේය. නාගරික මන්ත්‍රී වරයෙකු සමයේ ඔහුම තමා ලියූ කවි පංති රැගෙන පුවත්පත් කාර්යාලවලට ගියේය. ඔහු තම කවි පළවෙනු බලා මහත් සතුටක් වින්දේය. ඔහු අගමැති වූ පසු පුවත්පත්වලින් පෙන්වන ගම්දනව්වල අඩුපාඩු ගැන වහා ප්‍රතිචාර දැක් වූ අතර පාන්දර පුවත්පත් මුද්‍රණයෙන් නිකුත්වෙන විට ඒවායේ පළවෙන අඩුපාඩු විමසා බලා ඒ අඩුපාඩුවට වගකිවයුතු නිලධාරියා අමතන කාර්යක්ෂම නිලධාරී පිරිසක් ඔහු ඇතිකර තිබිණි. එවැනි ජනාධිපතිවරයකු, අගමැතිවරයකු රටේ එතෙක් මෙතෙක් බිහිවී නැත. ඒ වෙනුවෙන් ඔහු අගයනු වෙනුවට ඔහුට දිගින් දිගටම ලැබුණේ ගල්මුල්ය.
දේශපාලනයේ පහළම තැන වන නාගරික මන්ත්‍රීධුරයක සිට පියෙන් පිය නැග ඉහළම හිණි පෙත්තට නැග ජනාධිපතිධුරය දක්වාම ගිය ගමනේ දී ප්‍රේමදාසට දේශපාලකයන්ගේ ගති සොබා චරිත ලක්ෂණ ඉතා හොඳින් තේරුම් ගැනීමට හැකි විය. ඒ නිසාම ඔහු තමා ජනපති වූ    පසු තනතුරුවලට පත්කර ගත්තේ තමාට හසුරුවාගන්නට පුළුවන් අයය. ප්‍රේමදාසගේ සමීපතමයකු වූ ඒ.ජේ. රණසිංහ ඇමැතිවරයා ඒ පිළිබඳ අපූරු සටහනක් තම ජීවන අත්දැකීම් කෘතියේ සටහන් කර ඇත.
‘‘මට මේ අවස්ථාවේ සිහියට නැගුණේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සිය අගමැති තෝරාගත් ආකාරයය. ඔහු මට කී පරිදි, තමාට දෙවැනියකු වශයෙන් තෝරා ගත යුත්තේ කිසිම කෙනෙකුට තර්ජනයක් නොවෙන, ඍජු නැති, පහසුවෙන් නැවෙන සුළු, කිසිදු වාද භේදයක් නොමැති අයකු බවය. ප්‍රභූ පංතියේ ලලිත් හා ගාමිණී අගමැති තනතුර බලාපොරොත්තුව සිටිය දී ප්‍රේමදාස ඒ දෙදෙනාම ඉවතලා තෝරා ගත්තේ ඉතා සාන්ත දාන්ත ඩී.බී. විජේතුංගය. ප්‍රේමදාස යටතේ පහසුවෙන් නැවෙන සුළු වූ විජේතුංග, තමාට ද ඍජුවිය හැකි බව රටට පෙන්නුම් කළේ ප්‍රේමදාසගේ හදිසි මරණයෙන් පසු වැඩබලන ජනාධිපති වූ පසුවය. ඔහු ප්‍රේමදාසගේ ගම්උදාව නතර කළේය. ඇමැතිවරුන්ට දමා තිබූ තහංචි ලිහිල් කළේය. කොටින්ම ප්‍රේමදාස යුගයක් එජාපයේ නොතිබූ ගානට ප්‍රේමදාස නාමය එජාපයෙන් මකා දමන්නට වැඩ කළේය. සත්‍ය වශයෙන්ම දේශපාලනය තුළ ප්‍රේමදාස නාමය මකා දැමුවේ ප්‍රේමදාසගෙන් පසු බලයේ සිටි එජාප නායකයන් විසිනි. ඒ යුගයේ සියලු වැරදි ප්‍රේමදාස පිට පටවමින් අනුප්‍රාප්තික එජාප නායකයන් අත පිස දා ගත් අයුරු රටේ ජනතාවට රහසක් වූයේ නැත.’’
ජවිපෙ සමග රහස් සබඳතා
රාජ්‍ය විරෝධී අවිගත් කැරැල්ලක දී සන්නද්ධ සංවිධානයට සමාන්තරව රජය ද අසීමාන්විත ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙයි. රජය ද රාජ්‍ය අනුග්‍රහය මත වෙනම සන්නද්ධ කණ්ඩායම් පිහිටුවයි. ඇතැම් රටවල විප්ලවයක් බිහි වීමට පෙර රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රතිවිප්ලවය අරඹා විප්ලවය විනාශ කර දමයි. ශ්‍රී ලංකාවේ 1987 – 89 භීෂණ සමය තුළ මේ සියල්ලම සිදුවිය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට එරෙහිව රජය වෙනම සන්නද්ධ කල්ලි බිහිකර ඒවා මනා ලෙස නඩත්තු කළේය. ඒවාට අවි සැපයිනි. පළපුරුදු කුලී මිනීමරුවන් සැපයිනි. එල්ටීටීඊයට එරෙහිව යොදාගත් හීලෑ වූ සටන්කාමී කල්ලිවල සන්නද්ධ සාමාජිකයන් දකුණේ ජවිපෙට එරෙහිව බිහිකළ සන්නද්ධ සංවිධාන තුළට ද බඳවා ගැනිණි. ජවිපෙ සහ දේශප්‍රේමී ව්‍යාපාරයට බැර වූ ඇතැම් ඝාතන සිදු කළේ මෙම සන්නද්ධ කල්ලි විසිනි. එහෙත් ඒවා කිසි දිනක හෙළිදරව් වූයේ නැත. ජවිපෙ මර්දනය කිරීමෙන් පසුව ද මෙම සන්නද්ධ කල්ලි රජයේ මැති ඇමැතිවරුන් යටතේම ක්‍රියාත්මක විය.
ඉදිරි ජනාධිපතිවරණයක විපක්ෂ අපේක්ෂකයා වෙතැයි සැලකුණු ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය, ප්‍රේමදාස හිතවාදී පිලට හිසරදයක් වූ ආරක්ෂක රාජ්‍ය ඇමැති රන්ජන් විජේරත්න ඝාතනය, ලලිත් ඇතුළත් මුදලි ඝාතනය මෙන්ම ඇතුළත්මුදලි ඝාතනය කරවූවන් ගැන ප්‍රසිද්ධියේ රටට හෙළිකරන්නට සූදානම් වූ ජනාධිපති ප්‍රේමදාස ඝාතනය ආදිය අදටත් කවුරුන් විසින් කරවූයේ දැයි විවාදාපන්නය. අවි රහිතව යටත් වූ විජේවීර ඝාතනයද දේශපාලන රහස් සබඳතාවක ජයග්‍රාහකයාගේ අනිවාර්ය ප්‍රතික්‍රියාවය.
අපගේ වෘත්තීය මාධ්‍ය ජීවිතය තුළ ප්‍රේමදාස සහ විජේවීර ඝාතන ගැන ඔවුන්ගේ සමීපතමයන්ගේ අත්දැකීම් අපට ලබාගත හැකිවිය. අසූ නවයේ භීෂණ සමය තුළ මේ දෙදෙනාම එකිනෙකා හමුවීමට ආසන්නව සිටිය දී අබිරහස් හස්තයකින් ඒ හමුව සිදු නොවිණි. ඉන්පසු විජේවීරගේ ඝාතනය සිදුවිය. ප්‍රේමදාස හා විජේවීර අතර කුමක් හෝ අප්‍රකාශිත සබඳතාවක් තිබුණ ද ඒ අබිරහස් හස්තය අතට පත් වූයේ එම සබඳතාව ඇතිවීම වළක්වන්නය. ප්‍රේමදාස, විජේවීර හා ගමනායක තම රජයට හවුල්කරගෙන ඔවුන්ට ඇමැති තනතුරු ද දෙන්නට තරම් පැහැදීමෙන් සිටි බව ඒ.ජේ. රණසිංහ රාජ්‍ය ඇමැතිවරයා අප සමග පවසා තිබේ. ජවිපෙ සහ ප්‍රේමදාස අතර සාකච්ඡා සම්බන්ධීකරණය කළේ ඒ.ජේ. රණසිංහ සහ රුක්මන් සේනානායක ය.


ප්‍රේමදාස ඝාතනයද එවැනි සැක සංකා ගණනාවක් ජනිත කරන්නේය. ඔහු ඝාතනය වූ සමයේ ප්‍රේමදාස සහ එල්.ටී.ටී.ඊ.ය අතර අතිශය සමීප මිත්‍රත්වයක් පැවැතුණේය. එනිසා බොහෝ දෙනා ප්‍රේමදාස ඝාතනය එල්.ටී.ටී.ඊ. ගිණුමට බැර කරන්නට මැළි වෙති. ජවිපෙ විනාශ කිරීම සඳහා එකල එජාප රජය යටතේ විවිධ පාතාල කල්ලි බිහිකර තිබූ අතර ජවිපෙ හිටපු තුවක්කුකරුවන්ගේ සිට එල්.ටී.ටී.ඊ. විරෝධී ඊළාම් කල්ලිවල තුවක්කුකරුවන් දක්වා විවිධ කණ්ඩායම් අගනුවර සක්‍රීයව සිටියහ. මේ ඇතැම් කල්ලියකට විදේශීය ඔත්තු සේවාවල උදව්ව ද තිබිණි. ප්‍රේමදාසගේම කැබිනට් සහයෝ ද මේ කල්ලිවල සිටියහ. ලලිත් ඇතුළත්මුදලි ඝාතනය සහ ප්‍රේමදාස ඝාතනය අතර ඇත්තේ සතියක වෙනසකි . ප්‍රේමදාසගේ ජීවිතය අහිමි වූයේ මේ ඇතැමුන් ගැන ඔහු රටට ප්‍රකාශයක් කරන්නට නියමිතව සිටියදීය.
ඝාතකයා බාබු නොව වෙන කෙනෙක්
අගමැති ප්‍රේමදාසගේ ලේකම්වරයා වූ ද ප්‍රේමදාස ජනාධිපති වූ පසු ඔහුගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක වූ ද බ්‍රැඩ්මන් වීරකෝන් තම ජීවන අත්දැකීම් ඇතුළත් කෘතියේ මෙවැනි ජේදයක් සටහන් කර ඇත.
‘‘මගේ සිත කලඹවන තවත් කරුණු කිහිපයක් ඇත. ජනාධිපතිගේ ඡායාරූප ශිල්පී සුදත් සිල්වාට එම ප්‍රහාරයෙන් හානි නොවුව ද ඔහු වහා බිම වැටී තිබූ මළ සිරුරුවල ඡායාරූප රැසක් ගෙන ඇත. එම ඡායාරූපවල රැලි කෙසින් යුත් කළු උස තරුණයකුගේ සිරුර ද ඒ අසලම පොඩි පට්ටම් වූ පාපැදියක් ද පෙනුණි. ඔහුගේ පපුවට බැඳ තිබූ සෙයක් පෙන්වූ පටිගත කිරිමේ යන්ත්‍රයක් වැනි දෙයක්ද, ගැලවුණු වයර් කැබලිද එම ඡායාරූපයේ පැහැදිලිව හඳුනා ගත හැකිය. ඔහු කව්ද? පයින් ගමන් කරන රැලියකට පාපැදියක් රැගෙන අවුත් මරණය සිදුවෙන මොහොත වෙනවිට ඔහු ප්‍රේමදාසට එතරම් කිට්ටු වූයේ ඇයි? ඒ ජනමාධ්‍ය මගින් පෙන්නුම් කළ බාබුගේ මුහුණ නොවේ. එසේ නම් එම තරුණයා කවුද?’’
ප්‍රේමදසා ඝාතනය පිළිබඳ එවැනි රහස් ගණනාවක්ම තිබිණි. සාමාන්‍යයෙන් අපරාධයක් සිදුවූ තැනක් වටකොට පොලිස් මුර දැමීම සාමාන්‍යයෙන් සිදුවෙන පොලිස් ක්‍රියාවලිය වෙන නමුදු රටේ සන්නද්ධ සේනා අණදෙන ප්‍රධානියා මෙන්ම රටේ ජනාධිපතිවරයා ද වූ ප්‍රේමදාස ඝාතනය වූ ස්ථානය එම පිපිරීමෙන් පැයක් ගතවෙන්නටත් පෙරම සෝදා දමා තිබිණි. එය ද  රටේ ඉහළම තැනක නියෝගයෙනි. ඒ සුන්බුන් යොදා නොදමා මහාමාර්ගය වසා දමා පරීක්ෂා කළේ නම් බොහෝ රහස් එළිවෙන්නට තිබිණි.
ප්‍රේමදාස සහ ප්‍රභූ පංතිය අතර පාලම ඇති කළේ රන්ජන් විජේරත්නය. රන්ජන් ප්‍රභූ පංතියෙන් ආ වැවිලිකරුවකු වුව ද ඔහුගේ ඍජු ප්‍රතිපත්ති යටතේ සියලු කණ්ඩායම් එකතු කරගෙන එජාපය  රැකගැනීමට උත්සාහ කළා මිස එජාපයේ ප්‍රභූ පංතියට බලය රැක දීමට රන්ජන් උත්සාහ කළේ නැත. ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට රන්ජන්ගේ අතිමහත් කැපවීම හේතු වූයේ එහෙයිනි. ප්‍රේමදාස ජනපති වූ පසු ද ප්‍රේමදාස රජයේ ආරක්ෂකයා වූයේ රන්ජන් විජේරත්නය. ඔහු සිටින තුරා ප්‍රභූ පංතිය ප්‍රේමදාසට එරෙහි නොවූ අතර දෝෂාභියෝගයක් එළි දක්වමින් ප්‍රේමදාසට එරෙහිව එජාපයේ ප්‍රභූ පංතිය එළියට බැස්සේ  රන්ජන්ගේ මරණයෙන් පසුවය.
සජිත් ප්‍රේමදාසට තිබූ අභියෝගය
මේ මොහොතේ රටේ දේශපාලනය වඩාත් ළංව ඇත්තේ එදා ප්‍රේමදාස ජනාධිපතිවරණය දිනූ මොහොතේ රටේ තිබූ දේශපාලන තත්ත්වයටය. එදා ආණ්ඩුවට එරෙහිව බලවත් විපක්ෂ දෙකක් රටේ පැවතුණි. ඒ එජාප ආණ්ඩුවට එරෙහිව ශ්‍රීලනිප නිල විපක්ෂය හා ජවිපෙ නිල නොවන විපක්ෂය ලෙසය. අද ද වත්මන් රජයට එරෙහිව සජබෙ හා ජවිපෙ ලෙස ජනප්‍රිය විපක්ෂ දෙකක් පවති. ශ්‍රීලනිපය හා ජවිපෙ වටා විශාල ජනතාවක් රොක්ව සිටියදීත් එදා ප්‍රේමදාස ජනාධිපතිවරණය ජය ගත්තේ ආණ්ඩුවට නොවැටෙන විපක්ෂයේ ඡන්ද විපක්ෂයට ද නොවැටෙන ලෙස කළමනාකරණය කර ගැනීමෙනි. මේ සඳහා ඔවුන්ගේ දේශපාලන උපක්‍රමශීලීභාවය මෙන්ම ජවිපෙ භීෂණය ද අනියම් ලෙස යොදාගත්තේය.
ජනාධිපතිවරණය දිනාගැනීම සඳහා ප්‍රේමදාසට අංශ කිහිපයක දායකත්වය බලපෑවේය. ඉන් පළමු වැන්නා වූයේ එජාප මහලේකම් සහ සභාපති වූ රන්ජන් විජේරත්නය. දෙවැන්නා මුස්ලිම් ප්‍රජාවේ ඡන්ද ඒකරාශීකර දුන් අෂ්රොෆ් සහ මුස්ලිම් කොංග්‍රසයය. තෙවැන්නා ශ්‍රීලනිප අපේක්ෂිකාවට හිමිවීමට නියමිත වූ වාමාංශික ඡන්ද ඇයට අහිමි කළ වාමාංශික අපේක්ෂක ඔසී අබේගුණසේකරය. සිව්වැන්න එජාපයට එරෙහිව පැවැති ජවිපෙ කැරැල්ල ශ්‍රීලනිපයට ද එරෙහිව හරවමින් සිරිමාවෝගේ ඡන්ද ව්‍යාපාරයට මාරක පහරක් එල්ලකිරීම සඳහා ජවිපෙ අනියම්  ලෙස මෙහෙයවීමය. ප්‍රේමදාසගේ ජයග්‍රහණය උදාවූයේ මේ අංශ කිහිපය කළමනාකරණය කර ගැනීමෙනි. දේශපාලනඥයන්, හමුදා විශේෂඥයන්, බුද්ධිමතුන් මෙන්ම පාතාල සාමාජිකයන්ද ඒකරාශී කරගැනීමට ප්‍රේමදාසට අපූරු හැකියාවක් තිබූ අතර පැරදෙන්නට තිබූ ජනපතිවරණය ජය ගත්තේ මේ සියලු අංශ මනාව සංකල්පය කර ගැනීමෙනි.
රාජ්‍ය බලය සඳහා තරග වැදීමේ දී ප්‍රභූ පංතියෙන් ප්‍රේමදාසට එල්ල වූ අභියෝගයට ඔහු පුත් සජිත් ප්‍රේමදාසට ද එල්ලවී තිබේ. පළමුවෙන්ම මේ ප්‍රශ්නය මතු වුණේ සජිත් එජාපයේ සිටියදී පක්ෂනායක රනිල්ට එරෙහිව සජිත් සහ ඔහුගේ පිරිවර අභියෝග කළ අවස්ථාවේය. එහිදී නායකත්ව තනතුරු සඳහා කෘත්‍යාධිකාරි මණ්‍ඩලයේ ඡන්ද විමසීමේ දී සජිත් හැර අන් සියලු සජිත් හිතවාදීන් පරාජය විය. දිනුවේ රනිල්ය. එහෙත් රනිල්  හිතවාදී මලික් සමරවික්‍රම ඇතුළු එජාප පාරම්පරාවක ජ්‍යෙෂ්ඨයන් ඡන්දය පාවිච්චි කර තිබුණේ සජිත්ට පක්ෂවය. එහි පණිවිඩය වූයේ ‘ඉවසන්න. රනිල්ගෙන් පසු තැන ඔබමය’ යන්න වුවත් රනිල් ජීවිතාන්තය දක්වාම පක්ෂ නායකත්වය හොබවන බව පෙනුණ නිසා සජිත්ට සිදු වූණේ එළියට යන්නටය.
අද සජිත්  විපක්ෂ නායකයාය, රනිල් ජනාධිපතිය. රනිල් වටා සිටි බොහෝ දෙනා අද ඉන්නේ සජිත් සමගය. ඒ සජිත්ට ඇති ආදරයක් නිසා නොව රනිල්, රාජපක්ෂවාදී වෙද්දී රටේ ජනතාව අතර රනිල්ට ඡන් ද නැති වූ නිසාය. අවසානයේ රනිල් සමගම සිටි මංගල සමරවීරත් නාම යෝජනා භාර දී තිබියදීත් තරග බිමෙන් අස් වූයේ එජාපය පරාජය වෙන බව ඔහුටත් ඉවෙන් මෙන් තේරුම් ගිය නිසාය. ඒ ලෙසම එජාපය 2020 දී අන්ත පරාජයක් අත්කර ගත්තේය. රාජපක්ෂවරුන් මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක සුවිශාල ජනවරමක් ලබද්දී සජිත් ඇතුළු සජබයට ලැබුණේ ආසන හැටපහකට ආසන්න ගණනකි. එයින් සිංහල ප්‍රදේශවලින් ලැබුණේ ආසන තිස් අටක හතළිහක පමණ ප්‍රමාණයකි. රනිල්ගේ එජාපය කටුගෙට යද්දී සජිත්ගේ නවපක්ෂය ටිකෙන් ටික රට තුළ ස්ථාවර වෙන්නට ගත්තේය.
දේශපාලනයේ විෂම චක්‍රය කරකැවීමෙන් කටුගෙට ගිය එජාපයේ රනිල් අද රටේ ජනාධිපතිය. රනිල් නිතරම අතදිගු කරන්නේ සජිත් සමග සිටින තම පැරණි සගයන්ටය. ඒ සගයන්ගෙන් බොහෝ දෙනෙක් රොනී ද මැල්ගේ වාර්තාවත් කඩපු අයය. රොනී කියන්නේ වැඩිම වාරයක් පිල්මාරු කළ මන්ත්‍රීවරයාය. නුදුරු දිනකදීම කරළියට පැමිණෙන රනිල් වික්‍රමසිංහගේ දේශපාලන අනාගතය තහවුරු කෙරෙන පාර්ලිමේන්තු බල පෙරැළියේ දී දැනට සජිත් ළඟ සිටින රනිල්ගේ පැරණි සගයන්ගේ භූමිකාව රට වැසියන්ට දැකගත හැකිවෙනු ඇත. රනිල් තවදුරටත් පවතින බව පෙනෙයි නම් රනිල්ගේ අත වැනීමට සජිත් ළඟ සිටින පැරණි හිතවතුන්ගේ ද ප්‍රතිචාර ලැබෙනු ඇත.
ප්‍රභූ දේශපාලකයන් තවත් කුමන්ත්‍රණයක් වන මැතිවරණ නොතබා බලයේ දිගටම රැඳී සිටීමට ගන්නා උත්සාහයේ අරමුණ වෙන්නේ ද සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණයක් වළක්වාලීමය. ඒ සඳහා නිල්, කොළ, සාටක සියලු පක්ෂවල අනුමැතිය ද හිමිය. එදා ප්‍රේමදාසට තිබූ අභියෝගයම අද සජිත්ටත් ඇති බව අප කියන්නේ ඒ නිසාය.