වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන
- ආදායම් ලෙස සීයක් උපයලා 86 ක් වැටුප් ගෙවන ලෝකයේ එකම රට අපියි
වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ගුරුවරු මහමග උද්ඝෝෂණය කරති. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් ඇති විසඳුම කුමක්ද? රටේ ආර්ථික තත්ත්වය කෙබඳුද? මේ ඒ ගැන විමසමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- ගුරුවරු වැටුප් විෂමතා ඉවත් කරන්න කියලා පාරට බැහැලා. ආණ්ඩුවේ උත්තරය ‘සල්ලි නෑ’ කියන එකයි. ඇත්තටම රටේ ආර්ථිකය කොහොමද?
පිළිතුර:- ඇත්තම ඇත්ත ලෙස මේ රටේ මූල්‍ය තත්ත්වය ලංකා ඉතිහාසයේ නොවූ විරූ ලෙස භයංකර තැනක තියෙන්නේ. ඕනෑම ආණ්ඩුවක් පවත්වාගෙන යාම සඳහා ආදායම් ලබා ගන්නා ප්‍රධානම හා එකම මාර්ගය කියල කියන්නත් පුළුවන් බදු ගැසීම. ජනතාව මත පටවන බදු මගින් තමයි රජයට ආදායම් ලැබෙන්නේ. 2020 වසරේදී රජයේ බදු ආදායම රුපියල් බිලියන 1216 යි. රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවන්න බිලියන 1052 ක් යනවා. ඊට පස්සේ ඉතිරි වෙන්නේ බිලියන 164 යි.
ප්‍රශ්නය:-බදු ආදායම අහිමි කරගත්තෙත් ආණ්ඩුවමයි. ගජ මිතුරු ව්‍යාපාරිකයන්ට සහන දෙන්න බදු ගොඩක් අයින් කළා?
පිළිතුර:- නෑ. ඊට ඉස්සෙල්ලත් ඒකයි තත්ත්වය. මීට පෙර වැඩිම බදු ආදායම ලැබෙනකොටත් බිලියන 1700-1800 ඉක්මවලා ගිහින් නෑ. ආණ්ඩුවට පුළුවන් මිනී මරණ බදු ගහන්න. ජනතාව පෙළලා ඒක තමයි පහුගිය රජය කළේ. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී ඇඟ බද්ද, බලු බද්ද, තණ බද්ද වැනි බදු ගහලා තමයි ජනතාව පීඩාවට පත් කළේ. ඒ නිසා තමයි 1818 දී හා 1848 දී ජනතාව කැරැලි ගැහුවේ. ඒ කැරැලි ගහන තත්ත්වයටම තමයි යහපාලන ආණ්ඩුව බදු ගැහුවේ. මම මේ පිළිබඳව පොත් කිහිපයක්ම ලිව්වා. වැට් එක අසීමිත ලෙස ඉහළ දාපු වෙලාවේ රටේ ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කළා. තිස් අවුරුදු යුද්ධය කාලෙදිවත් පිටකොටුව තොග වෙළඳපොළ වැහුවේ නෑ. හැබැයි පහුගිය රජය සමයේදී බදු බර දරා ගන්න බැරිව තොග වෙළඳපොළ වැහුවා.
ප්‍රශ්නය: මගේ ප්‍රශ්නය වුණේ අද රටේ ආර්ථික තත්ත්වයයි?
පිළිතුර:- රජයට බදු ගන්නවත් බැරි තත්ත්වයකට පත් කරලා තිබුණේ. ඒ නිසා වැට් බද්ද සියයට 15 සිට 8 ට අඩු කරලා. උපයන විට ගෙවීමේ බද්ද ඉවත් කරලා. ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කරලා. ආදායම් බදු ප්‍රතිශතය අඩු කළේ මරණාසන්නව ජනතාව බදු බර උහුලගන්න බැරිව හිටපු නිසයි. ඕක තමයි. ඕනෑම දෙයක් වැඩි කරන්නට ජනතාවගෙන් ඒක හූරලා ගන්න ඕනැ. මේ තත්ත්වයට යහපාලන රජය පත්වුණේ ඔවුන් මැතිවරණ ජයග්‍රහණය සඳහා රජයේ සියලු සේවකයන්ගේ වැටුප රුපියල් දහදාහකින් වැඩි කරනවා කියලා පොරොන්දු වුණා. ඒ වැටුප් පොරොන්දුව නිසාම තමයි මහින්ද රාජපක්ෂ රජය පෙරළා දාන්න පුළුවන් වුණේ. රජයේ සේවකයා කල්පනා කළා නිවසේ දෙන්නෙක් වැඩ කරනවා නම් මේ රජය පත්වූදාට පහුවදා අලුතෙන් පවුලට රුපියල් විසිදාහක් ලැබෙනවා කියලා. ඡන්දෙ දුන්නේ ඒකට. එහෙම පොරොන්දු දෙන දේශපාලනඥයන් කවුරුවත් තමන්ගේ ගෙවල්වලින් සල්ලි ගේන්නේ නෑනේ. ඒ සල්ලි ගන්නේ ජනතාවට බදු ගහලා. දැන් වැටුප් බිල සියයට 86 ක්. රජයේ සේවකයන්ගේ ආදායම වශයෙන් සියයක් උපයලා 86 ක් වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවන ලෝකයේ තියෙන එකම රට අපේ රටයි. මෙහෙම රටක් ලෝකයේ නෑ. ඉතින් කොහොමද නිදහස් සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්න පුළුවන්ද? ගත්ත ණය වාරික හා පොළිය ගෙවන්න ඕනෑ. 2020 දී බිලියන 980 ක්. ඒක ගෙවන්න පුළුවන් ද බෑ. එහෙම නම් කොහොමද ඒක ගෙව්වේ. විශාල වශයෙන් දේශීය වශයෙන් ණය අරගෙන
.
ප්‍රශ්නය: විදෙස් ණය ලැබෙන්නෙත් නෑ?
පිළිතුර:- ඔව් ඒකේ උපරිමයට ඇවිත් තියෙන්නේ. තවදුරටත් ණය ගන්න බෑ. දේශීය වශයෙන් ණය අරන් වාණිජ බැංකුවලින් ණය අරන් තමයි 2020 දී ගෙව්වේ. ඊට වඩා තත්ත්වය නරක වුණා 2021 දී. 2020 දී නිදහසින් පස්සේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආර්ථිකය ඍණ 3.6 ට ගියා. ආර්ථීකය නතර වුණාට පස්සේ ඒ වන විට ගනිමින් හිටපු ආදායම ලබන්නත් බෑ. මේ තියෙන මුදල් තත්ත්වය මත ඕක තමයි චිත්‍රය.
ප්‍රශ්නය:- ඒ කියන්නේ ගුරුවරුන්ගේ ප්‍රශ්නයට උත්තරයක් ඇත්තෙම නෑ?
පිළිතුර:- විපක්ෂයට උත්තරයක් දිය යුතුයි. තමුන්නම් ආණ්ඩුව කරන්නේ තමුන් කොහොමද මේ මුදල් උපයා ගන්නේ කියන එක රටට කිව යුතුයි. මේ අය දන්නේ නෑ බද්දකින් කීයක් ද අයකර ගන්නේ කියලා. ප්‍රධානම වක්‍ර බද්ධ තමයි වැට් බද්ද. වැට් වලින් 2020 දී ලබපු ආදායම බිලියන 233 යි. ඔබ මතු කරන ගුරු වැටුප් ප්‍රශ්නය ගන්න. දැන් සටන් පාඨයක් තියෙනවනේ. දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6 ක් අධ්‍යාපනයට වෙන් කරන්න කියලා. සියයට 6 ක් නොවෙයි 16 ක් වෙන් කරනවා මම කැමැතියි. හැබැයි ඔය සියයට 6 වෙන්කරන්න වෙන්නේ බිලියන නවසීයෙන්. වැට් එකෙන් ලැබෙන්නේ බිලියන තිස්තුන නම් මේ බිලියන 900 ට ගෙනියන්න වැට් එක හතර ගුණයකින් වැඩි කරන්න ඕනැ. සියයට 8 ක් තියෙන වැට් බද්ද සියයට 32 ක් කළොත් අන්න අධ්‍යාපනයට සියයට 6 ක් වෙන් කරන්න පුළුවන්. අපි ජනතාවගෙන් අහන්න ඕනැ බදු ගෙවන ජනතාව කැමති නම් ගුරු වැටුප් විෂමතාව විසඳීම සඳහා ආදායම් මට්ටම් ප්‍රබේදයකින් තොරව සියලුම ජනතාව මත සමාජ සංරක්ෂණ බද්දක් වශයෙන් අධ්‍යාපනය සෞඛ්‍ය යනාදිය ලබා දෙන්නේ නොමිලෙනේ. ඒකට දායක වීම සඳහා සමාජ සංරක්ෂණ දායක මුදලක් වශයෙන් සෑම නිෂ්පාදන අලෙවි ක්‍රියාවලින්වලදී පිරිවැටුපෙන් සියයට 5 ක බද්දක් පැනෙව්වොත් ඒකට කැමැති ද කියලා. එහෙම කළොත් ඔය ඉල්ලන සියලු දේ දෙන්න පුළුවන්. මම දන්නෑ මේ වගේ මාරාන්තික ව්‍යසනයක් තුළ එවැනි බද්දක් බර අතිරේකව දරන්න ජනතාවට පුළුවන් කියලා.
ප්‍රශ්නය:ආණ්ඩුව සල්ලි අච්චුගහනවා. එහෙම කරලා මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් ද?
පිළිතුර:- ඔය හුදු නොදැනුවත්කමනේ. ඔය ඕනෑ විදියට සල්ලි අච්චු ගහන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද? බියගම නිදහස් වෙළඳ කලාපයේ තියෙනවා සමාගමක් තෝමස් දිලානෝ කියලා. සල්ලි කොළයට අත්සන් දෙකනේ තියෙන්නේ. මුදල් ඇමැතිවරයා වන බැසිල් රාජපක්ෂගේ හොඳට ඇඟිලි වැඩ කරනවනේ. ඒ නිසා අත්සනත් ගහනවා. මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. අල්විස් අනික් අත්සන ගහනවා. අත්සන් ගහලා අලුත්ම පන්දාහේ නෝට්ටු අච්චු ගහලා වෙළෙඳපොළට දානවා. ගුරුවරුන්ගේ ගෙවල්වලට පෝර බෑග්වල දාලා නගර සභාවේ කුණු ලොරියෙන් ඒ සල්ලි ගිහින් දෙන්න පුළුවන්. රටක එහෙම කරන්න පුළුවන්ද? මුදල් පිළිබඳ අබමල් රොණක තරම්වත් අවබෝධයක් නැති අය තමයි පාර්ලිමේන්තුව තුළ මේ මූල්‍ය විෂය ගැන කතා කරන්නේ. මට පුදුමයි. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියෙන් මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. හැබැයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයෙ මහත්වරු මුදල් පිළිබඳව මොනවද දන්නේ කියලා මම දන්නේ නෑ. එක්කෝ තමන්ගේ කාර්ය මණ්ඩලවලට, විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යාව, බැංකු පිළිබඳ උපාධියක් ලත් සංවර්ධන සහායකයෙක්වත් අරගෙන ඔහුගෙන් දැනගන්නවත් ඕනැ මේ විදියට මුදල් අච්චු ගහන්න පුළුවන්ද කියලා. මේ ගැන අපට කතා කරන්නවත් අයිතියක් නෑනේ. මුදල් නීති පනත අනුව කාසි හා නෝට්ටු නිකුත් කිරීම පිළිබඳ ඒකාධිකාරි බලය ශ්‍රී ලංකා මහ බැංකුවට පමණයි තියෙන්නේ. ඒ මුදල් කොළය පිළිබඳ ඇති විශ්වසනීයත්වය මත තමයි මුළු රටම දුවන්නේ. ආලයටත් වඩා මිනිස්සු උද්දාමයට පත් කරන්නේ මුදල් කියලත් කියන්නේ. මුදල් ලේසියෙන් අච්චු ගහන්න පුළුවන් නම් අච්චුගහන එකනේ තියෙන්නේ. ඔය විපක්ෂනායකතුමාගෙන් අහන්න ඕනැ එතුමා ආවොත් මොනවද කොහොමද කරන්නේ කියලා. ඕනෑම කෙනෙකුට කටට එන දෙයක් කියන්න පුළුවන්. භාෂණයේ හා ලේඛනයේ නිදහස තියෙනවනේ. වගකිවයුතු විපක්ෂනායකයෙක් නම් මුළු ලෝකයම දැවැන්ත වසංගතයක් ඇතිවෙලා රාජ්‍ය මූල්‍යයේ මේ විදියේ අර්බුදයක් ඇති වුණාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනුත් පාර්ලිමේන්තුවට පැවරෙන වගකීම මුදල් නම් එතුමට මේකට විකල්ප විසඳුමක් කියන්න පුළුවන්නේ
.
ප්‍රශ්නය:ගුරුවරුන්ගේ ප්‍රශ්නයට මට තවම ඔබෙන් නිශ්චිත පිළිතුරක් ලැබුණේ නෑ?
පිළිතුර:- ලෝකයේ පිළිගත්ත න්‍යායක් තියෙනවා වැටුප් දඟර උද්ධමනය කියලා. ඒ කියන්නේ වැටුප් පහළ මට්ටමක තියෙනවා. ජීවන වියදම වැඩිවෙන කොට වැටුප් වැඩි කරපියව් කියලා උද්ඝෝෂණය කරනවා. එහෙම වුණාම ආණ්ඩුව වැටුප් වැඩි කරනවා. වැඩි කළාම ක්ෂය ශක්තිය ඇතිවෙලා ඉල්ලුම වැඩි වෙනවා. පඩි වැඩි කරලා ඉල්ලුම වැඩි කළාට ඒ හා සාපේක්ෂව ඵලදායිතාව වැඩි වුණේ නැත්නම් ඒ සමහර ඉල්ලුමට සාපේක්ෂව සැපයුමක් ඇතිවෙන්නේ නෑ. එතකොට මිල මට්ටම ඉහළ නගිනවා. ආයිත් සැරයක් ඇතිවෙනවා උද්ඝෝෂණ. බඩු මිල වැඩියි. පඩි වැඩි කරපියව්’ කියලා මේක දඟර ගැහි ගැහී වැටුප් පසුපස බඩු මිලත් බඩු මිල පසුපස වැටුපත් ඔවුනොවුන් පරයා හඹා යාම තුළින් පැවතුණ මට්ටමට වඩා විශාල වශයෙන් මිල මට්ටම් හා වැටුප් මට්ටම ඉහළ යනවා. ඒකට තමයි කියන්නේ වැටුප් දඟර උද්ධමනය කියලා. මගේ තරුණ කාලයේ හිටියා ශිෂ්‍ය ගුරු කියලා ගුරුවරු වර්ගයක්. වැටුප රුපියල් සීයයි. සියලුම දේ කරන්නේ ඒ රුපියල් සීයෙන්. අපි හිතමු අද වැටුප් පනස්දාහයි කියලා. හැබැයි අර රුපියල් සීයෙන් ගත කළ ජීවිතයට වඩා අද ජීවිතය අමාරුයි. හෙට දවසේ අපි මේ වැටුප රුපියල් ලක්ෂය කළා කියලා හිතමු. එතකොට අදට වඩා හෙට අමාරුයි. මේ ඇත්ත අමිහිරි ආර්ථික යථාර්ථය පිළිගන්න දේශපාලනඥයෝ අද්‍යතන ශ්‍රී ලංකාවේ නෑ.
ප්‍රශ්නය: ඔබ ඔය මතු කරපු කාරණා යථාර්ථය තමයි. නමුත් මෙයින් විඳවන්නේ ජනතාව විතරයි. ඔබ ඇතුළු මැති ඇමැතිවරුන් සුර සැප විඳිනවා. ප්‍රශ්නය තියෙන්නේ එතැනයි?
පිළිතුර:- මොකක්ද විඳින සුර සැප කියලා පෙන්වලා දෙන්න ඕනෑ නේද? මම නම් හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙක් නර දුක්නේ විඳින්නේ. උදේ එළිවෙච්ච වෙලේ ඉඳන් රෑ වෙනකම් යම්කිසි ක්‍රියාවක් කරන කෙනෙක් මෙච්චර දුක් විඳින්නේ මොන වැටුපකටද? ඔය ප්‍රශ්නය මට අදාළ නෑ. මම වැටුප ගන්නේ නෑ. යුද්ධය තියෙන කාලේ මගේ වැටුප අපි වෙනුවෙන් අපි අරමුදලට බැර කළා. මම හිතන්නේ මම විතරයි මන්ත්‍රී වැටුප දිගටම ඒ අරමුදලට බැර කරපු එකම මන්ත්‍රීවරයා. අපේ අම්මා මිය ගියාට පස්සෙ අම්මා සමාජ සත්කාරක අරමුදලට’ බැර කළා. මං දැන් ළඟදී කල්පනා කරලා තියෙනවා ජනාධිපතිතුමාට මේ වැටුප් අර්බුදය ගැන ලියලා කොවිඩ් 19 නිමවන තෙක් ඊළඟ මාසේ ඉඳන් මගේ වැටුප හරවන්න කොවිඩ් මර්දන අරමුදලට. ඒ නිසා මට ඔය චෝදනාව අදාළ නෑ. බිලියන පහක දහයක මුදල් හසුරුවන ආයතනයක තීන්දු තීරණ ගන්න ප්‍රධානියාට ගෙවන මුදල ගත්තොත් මේ පාර්ලිමේන්තුවේ මුදල් හසුරුවන අයට ගෙවන්නේ සොච්චම් මුදලක්. ඒක ජනතාවට තේරෙන්නේ නැත්තේ පාර්ලිමේන්තුවේ මොකක්ද කරන්නේ කියන එක ජනතාව දන්නේ නෑ. පාර්ලිමේන්තුව මාස තුනක් කැඳවා ගන්න බැරි වුණොත් කාටවත් වැටුප් නෑ. කවුරුවත් ජීවත් වෙන්නෙ නෑ. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රජා සේවා ඔක්කොම නතර වෙනවා. ඒකට තමයි ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් තියෙන්නේ. අවාසනාවකට ජනතාවට මේක තේරෙන්නේ නෑ.
ප්‍රශ්නය:බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති වුණා. ආර්ථිකයේ යම් වෙනසක් වුණාද?
පිළිතුර:- වෙනසක් තියෙනවා. එතුමාට ප්‍රාතිහාර්ය පාන්න බෑ. වෙනසක් කරන්න පුළුවන්. මේ සල්ලි තියෙන තත්ත්වය තුළ එතුමාට කරන්න පුළුවන් එකම ක්‍රමය එතුමා කැමැති නම් මං හිතන්නේ නෑ එතුමා කවදාවත් කැමැති වෙයි කියලා සියලු ජනතාව මත අඩුම තරමේ තියෙන බදුවලට අතිරේකව තව බද්දක් පැනෙව්වොත් අර මම මුලින් කිව්වේ සමාජ සංරක්ෂණ බද්ද කියලා. එහෙම බදු විශේෂයක් රට රටවල්වල තියෙනවා. සියයට 5 ක බද්දක් පැනෙව්වොත් මේ අධ්‍යාපනයයි සෞඛ්‍යයෙයි ප්‍රශ්න විසඳන්න පුළුවන්.
ප්‍රශ්නය:ඔබ ඔය යෝජනාව ආණ්ඩුවට කරනවද?
පිළිතුර:- මම යෝජනා කරන්නේ නෑ. මම යෝජනා නොකරන්නේ මම දන්න නිසා. මේකේ අවසන් ප්‍රතිඵලය. වැටුප් දඟර උද්ධමනය ගැන මම දන්න නිසා මට ඒක කියන්න බෑ. මුකුත් නොදන්නවා නම් මට යෝජනා කරන්න පුළුවන්.
ප්‍රශ්නය:ආණ්ඩුව එහෙම සූදානමකද ඉන්නේ?
පිළිතුර:- එහෙම සූදානමක නෑ. මුදල් ඇමැතිතුමා කියලා තිබුණේ මටත් පුළුවන් වැටුප් විෂමතා ඉවත් කිරීමේ බද්දක් පැනෙව්වොත් මේ ප්‍රශ්නය විසඳන්න කියලා ඒක තමයි ඇත්ත.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්