ප්‍රකට ගත්කතුවරියක වූ ඇනාස් නින් වරක් මෙසේ කීවාය. ‘‘අනෙක් අය මගෙන් සත්‍යය ගැන විමසූ විට මට තේරුම් ගියේ, ඔවුන්ට අවශ්‍ය සත්‍යය නොව ජීවත් වීම සඳහා දරාගත හැකි මිත්‍යාවක්,” බවයි. මෙම මිත්‍යාව බිඳනවාට බොහෝ දෙනෙක් අකමැත්තක් දක්වති. අපි මිත්‍යාවන් වල ලැගගෙන සිටින්නෙමු. මන්ද ඒවා අපට “නවාකාරයක ජීවයක්” ලබා දෙන අතර, ඇත්ත විසින් සිදුකරන වධහිංසාවට කදිම පිළියමකි. බොහෝ සමාජ සිදුවීම්වලට අප දක්වන ප්‍රතිචාරයද මේ හා සමානය. ප්‍රශ්න නොකරන විශ්වාසයන්, දෘඩ චින්තනයට සහ බුද්ධිමය කුතුහලයෙන් තොර වීමට හේතු වන්නා සේම, ස්වයං මුළාව තමා සහ අන් අය සමග අව්‍යාජ බැඳීම් වළක්වමින් මිත්‍යාවන් මත යැපෙන ව්‍යාජ සංස්කෘතියක් පෝෂණය කරන්නේය. එය පෞද්ගලික නිදහසට මෙන්ම ජාතික විමුක්තියට බාධකයකි.
මීට වසර පහකට පෙර, එනම් 2019 අප්‍රේල් මාසයේ පාස්කු දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන සමාජ කණ්ඩායම් දරන අදහස් නිසා, සමාජය දැවැන්ත ලෙස බෙදීමට ලක්වී තිබේ. මෙම ජාතික ඛේදවාචකය රාජ්‍යයේ ව්‍යුහයට දැවැන්ත බලපෑමක් සිදුකොට ඇතිවා පමණක් නොව, බොහෝ දෙනෙකු ආකූළතාවකට ඇද දමා ඇත. මෙම ප්‍රහාරය, වසර තිහක් පුරා රාජ්‍ය ව්‍යුහයට බලපෑම් සිදුකළ, දෙමළ සම්භවයකින් ආරම්භ වූ සන්නද්ධ ව්‍යාපාර මෙන්ම සිංහල සම්භවයකින් ආරම්භ වූ සන්නද්ධ ව්‍යාපාර වලින් සිදුකළ බලපෑමට වඩා එහා ගිය වෙනස් බලපෑමක් සිදුකර ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ. මීට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ, ඉස්ලාමීය අන්තවාදය පෝෂණය වීමේ විලාසයන් සහ ස්වභාවයන් ගැන අපට ඇති අල්ප අවබෝධයයි. මන්ද, වසර ගණනාවක් තිස්සේ රාජ්‍යය මුහුණ දුන් සන්නද්ධ ව්‍යාපාරවල ස්වභාවය, මෙම නව සතුරාට වඩා හාත්පසින්ම වෙනස්ය.
පැරණි සතුරා ලබා දුන් අත්දැකීම් හරහා නව සතුරාගේ ස්වභාවය සහ එහි මනෝභාවය තේරුම්ගැනීමට උත්සාහ කිරීම නිසා, බොහෝ මිත්‍යාවන්වල පැටලීමටත් ස්වයං මුලාවට පත්වීමටත් නිරන්තයෙන් සිදුවේ. විශේෂයෙන් පුද්ගලයෙකු කේන්ද්‍රකර ගත් ව්‍යාපාර සහ වසර සියගණනක් තිස්සේ සමාජය පුරා ව්‍යාප්ත කර ඇති දෘෂ්ටිවාදයක් මත පදනම් වෙමින් එක් අරමුණක් සඳහා පෙළගැසී සිටින අවිධිමත් සමූහයන් යනු එකිනෙකට හාත්පසින්ම වෙනස් සමාජ කණ්ඩායම්ය. මෙවැනි අවිධිමත් සමූහයන්වල මනෝභාවයන් තේරුම්ගැනීම අතිශය පරෙස්සමින් සිදුකළ යුතු සමාජ හැදෑරීම් වන අතර, පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා කරන සංවේදී ප්‍රචාරණ ඊට බාධා පමුණුවන්නේය.
පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කළ ජනාධිපති කමිටුවක් ලබාදුන් වාර්තාවක් ගැන බලවත් සමාජ විවාදයක් ඇතිවන්නේ මෙවැනි පසුබිමකය. අදාළ වාර්තාව ගැන නොයෙකුත් කණ්ඩායම් දැඩි දේශපාලන ආස්ථානයක ලැගුම් ගනිමින් විවිධ මට්ටමේ ප්‍රකාශ සිදුකරමින් සිටිති. එසේම, කිසිම වගකිවයුතු බලධාරියෙකු විසින් ප්‍රතික්ෂේප නොකළ නිසා, එම වාර්තාව සත්‍යය වාර්තාවක් ලෙස පිළිගත හැකිය. නමුත් එම වාර්තාවේ ඇති කරණු ගැන විමසා බැලීමට බොහෝ දෙනෙක් මැළිකමක් දක්වති. එබැවින්, විවිධ පුද්ගලයින්ට ලඝු නොවී එම වාර්තාවේ ඇති ව්‍යුහාත්මක කරණු ගැන විමසා බැලීම වැදගත් වේ. මෙම ජනාධිපති කමිටු වාර්තාව හඳුන්වා ඇත්තේ, “2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට අදාළ බුද්ධි සම්බන්ධීකරණය සහ විමර්ශන ක්‍රියාවලීන් පිළිබඳ විමර්ශන කමිටුවේ වාර්තාව” නමිනි. එනම්, මෙය මෙරට ප්‍රධාන ආරක්ෂක ව්‍යුහය තුළ සිදුවූ කටයුතු සහ එහි විධාන දාමය (චේන් ඔෆ් කොමාන්ඩ්) අදාළ ප්‍රහාර සිදුවූ වකවානුව තුළ දී කටයුතු කළ අයුරු විමර්ශනය කිරීමකි. ඒ සඳහා සහභාගී විය යුත්තේද විධාන දාමය තුළ සේවය කළ නිලධාරීන් මිස, බාහිර පිරිස් නොවන බව අදාළ කමිටුව විසින් තීරණය කිරීම වරදක් ලෙස දැකිය නොහැකිය.
ත්‍රි පුද්ගල ජනාධිපති කමිටුවක් වූ ඊට, සිය විමර්ශන කටයුතුවලට සහයෝගය දැක්වීම සඳහා දහහතර දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක්ද සහභාගී වී ඇත. පසුගිය සතියේදී ප්‍රසිද්ධ මාධ්‍යයට නිකුත් වූ වාර්තාව පිටු පනස් අටකින් යුක්තය. එහි මූලික වශයෙන් මෙරට ජාතික ආරක්ෂාවේ ව්‍යුහයට අදාළ කරුණු රාශියක් අවධාරණය කර තිබේ. කමිටුවේ විමර්ශනය ප්‍රධාන විධානයන් දෙකක් මූලික කරගෙන ඇති බව වාර්තාව සඳහන් කර ඇත. පළමු විධානය නම්, ‘‘2019 අප්‍රේල් 21 වැනි දින සිදුවීමට නියමිත ප්‍රහාරයක් පිළිබඳ පූර්ව තොරතුරු හෝ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍යය බුද්ධි සේවාව, ජාතික බුද්ධි ප්‍රධානියා සහ අනෙකුත් අදාළ බලධාරීන් විසින් ඉන්දීය ඔත්තු සේවා සහ වෙනත් මූලාශ්‍ර මගින් ලැබුණු තොරතුරු ප්‍රකාරව ක්‍රියාමාර්ග සහ/හෝ පියවර ගෙන තිබේද යන්න සහ එසේ නම්, රාජ්‍ය බුද්ධි සේවාව, ජාතික බුද්ධි ප්‍රධානියා සහ අනෙකුත් අදාළ බලධාරීන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග සහ/හෝ පියවරවල ප්‍රමාණවත් භාවය,” විමර්ශනය කිරීමයි. දෙවැනි විධානය නම්, ”හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය සහ/හෝ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මාස හතරක කාලයක් තිස්සේ, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම එල්.ටී.ටී.ඊ.ය සමග බැඳී ඇති බවට විශ්වාස කළේ ඇයි? ඉහත සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පරීක්ෂණවලින් හෙළිවූ කරුණු මොනවා ද?” යන්නයි.
කමිටුවට හිමි බලතල අනුව, විමර්ශනය සඳහා ප්‍රධාන ආයතන සහ ඒවායේ ප්‍රධාන වගකිවයුතු තනතුරු ගැන කමිටුව කළ නිරීක්ෂණ අනුව සාක්ෂි කැඳවා ඇත. ඒ අනුව, රාජ්‍ය බුද්ධි සේවාව, හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය, ජාතික බුද්ධි ප්‍රධානී, පොලිස්පති, බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශය සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, අදාළ ප්‍රහාර සිදුවූ කාලය තුළදී කටයුතු කළ අයුරු විමර්ශන කටයුතු සඳහා යොදාගෙන ඇත. එහිදී, රාජ්‍ය බුද්ධි සේවාව ගැන මෙසේ සඳහන් වේ.
‘‘මෙය දිවයිනේ ප්‍රමුඛතම ඔත්තු සේවයයි. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ජාතික ආරක්ෂාවට ඇති තර්ජන හඳුනා ගැනීම සහ මෙම තර්ජනවලට එරෙහිව බුද්ධි තොරතුරු රැස්කිරීම, විශ්ලේෂණය කිරීම සහ බෙදා හැරීම එස්.අයි.එස්. වෙත පැවරී ඇත. එය ආරක්ෂක ලේකම්වරයාගේ විෂය පථය යටතේ පවතින ස්වාධීන ආයතනයකි. එස්අයිඑස් සඳහා පනතක් කෙටුම්පත් කරමින් සිටින බව නඩු විභාගයේදී කමිටුවට දැනුම් දෙන ලදී.” වසර අසූවකට වඩා ඉතිහාසයක් ඇති ආයතනයකට තවමත් පනතක් නැත. ව්‍යවස්ථාපිත රාමුවක් නැත.
එසේම වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත. ‘‘අදාළ කාල සීමාව තුළ (එනම්, 2019 අප්‍රේල් 21 වැනි දින සහ ආසන්න කාලවකවානුව), නියෝජිතායතනය අධ්‍යක්ෂවරයෙකුගේ භාරය යටතේ විය. තොරතුරු රැස් කිරීම සහ නිශ්චිත තර්ජන හඳුනාගැනීම සඳහා මෙම කාලය තුළ අංශ අටක් විය. එපමණක් නොව, ප්‍රහාර එල්ල වන විට ඒජන්සියට අතිරේක අධ්‍යක්ෂවරයෙකු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකුද ඇතුළත් විය. කොට්ඨාස කිහිපයකට සහකාර අධ්‍යක්ෂවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය අනුයුක්ත කර ඇත. එස්අයිඑස් තුළ කිසිදු තනතුරක් සඳහා නිශ්චිත යොමු නියමයන් (ටී.ආර්.ඕ.) නොතිබූ බව නිරීක්ෂණය විය.”
මේ අතර හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලයට අයත් විෂය පථය ගැන සඳහන් කරමින් කමිටුව සඳහන් කර ඇත්තේ, ‘‘අනෙකුත් ඔත්තු සේවා ආයතනවලට සමානව, හමුදා බුද්ධි අංශය වෙතද කිසිදු ව්‍යවස්ථාපිත පිළිගැනීමක් ලබා දී නොමැති බව” නීරීක්ෂණය වූ බවයි. එසේම, ‘‘එය දිවයින පුරා පැතිරී ඇති කොට්ඨාස අටකින් සමන්විත වන අතර, ඒවා ජාතික ආරක්ෂාවට ඇති තර්ජන සහ විය හැකි තර්ජන පිළිබඳ තොරතුරු රැස්කිරීම සඳහා ඔත්තු බැලීමේ නිරත වේ. නිලධාරීන් විසින් රැස් කරන ලද තොරතුරු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කරනු ලබන අතර, එය විශ්ලේෂණය කර යුද හමුදාපතිවරයා වෙත වාර්තා කරනු ලැබේ.”
කමිටුව, ජාතික බුද්ධි ප්‍රධානියා ගැන මෙසේ සඳහන් කර ඇත. ‘‘ජාතික බුද්ධි ප්‍රධානියා (සී.එන්.අයි) තනතුර පිහිටුවන ලද්දේ 2006 දී යුද්ධය පැවති සමයේ යෝජනාවක් අනුව ය. ඒ, මූලික වශයෙන් ත්‍රිවිධ හමුදාවේ බුද්ධි අංශ සහ ඒකාබද්ධ මෙහෙයුම් අතර සම්බන්ධීකරණ බුද්ධියේ අවශ්‍යතාව විසඳීම සඳහා ය. මීට අමතරව, අග්නිදිග ආසියාතික රටවල ස්ථානගත කර ඇති ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීම සහ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් වෙත ඒවා ඉදිරිපත් කිරීමට අවශ්‍ය පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා මෙම තනතුර නිර්මාණය කරන ලදී.”
‘‘මුලදී, සී.එන්.අයි. හි කාර්යභාරය යුද සමයේදී විශේෂිත අවශ්‍යතා සඳහා ස්ථාපිත කරන ලද නමුත්, යුද්ධය අවසන් වූ පසු, එය සියලු බුද්ධි අංශ අතර බුද්ධි සම්බන්ධීකරණය කිරීම සඳහා පරිණාමය විය. කෙසේ වෙතත්, අනෙකුත් බුද්ධි අංශ මෙන්, සී.එන්.අයි. කාර්යයන් සඳහා නිශ්චිත ව්‍යවස්ථාපිත පිළිගැනීමක් හෝ නියාමනයක් නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස, අවශ්‍ය යැයි සැලකෙන ප්‍රායෝගික ක්‍රියාමාර්ග අනුව ක්‍රියාත්මක වීමට සී.එන්.අයිට කළ හැකිය.”
මේ අතර කොමිෂන් වාර්තාව සඳහන් කරන පරිදි, ”සී.අයි.ඩී. යනු ශ්‍රී ලංකා පොලිසියේ විශේෂිත විමර්ශන අංශයකි. පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කරයි. මීට අමතරව, මූල්‍ය වංචා සහ සයිබර් අපරාධ සම්බන්ධ ලිඛිත පැමිණිලි මත පදනම්ව රහස් පොලිසියට පරීක්ෂණ ආරම්භ කළ හැකිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අත්අඩංගුවට ගැනීමේ බලතල ද ලබා දී ඇත.”
මෙම කමිටුව මෙරට බුද්ධි සේවා මුහුණ දෙන දුර්වල නෛතික ව්‍යුහයන් පෙන්වා දී ඇත. රටේ කිසිදු බුද්ධි සේවයකට කිසිවකු අත්අඩංගුවට ගැනීමේ බලයක් නැත. ඔවුන්ට පැවරී ඇත්තේ ලැබෙන තොරතුරු ලබාදීම පමණි. ව්‍යවස්ථානුකූලව කිසිදු ප්‍රතිපාදනයක් නැති මෙවැනි ආයතන ගැන සිදුකරන අතාර්කික විවේචනවලට වඩා මෙම මූලික කාරණය ගැන සලකා බැලිය යුතු නොවේද? බොහෝ රටවල් ඔවුන්ගේ ඔත්තු සේවා ආයතන සහ මෙහෙයුම් නියාමනය කිරීම සඳහා බුද්ධි පනත් පනවා ඇත. එක්සත් ජනපදයේ, 1947 ජාතික ආරක්ෂක පනත මගින් සී.අයි.ඒ. සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ (ඩී.එන්.අයි.) ස්ථාපිත කරන ලද අතර, විදේශ බුද්ධි නිරීක්ෂණ පනත (එෆ්.අයි.එස්.ඒ.) අධිකරණ අධීක්‍ෂණය යටතේ නිරීක්ෂණ වේ. එක්සත් රාජධානියේ බුද්ධි සේවා පනත 1994 සහ විමර්ශන බලතල නියාමන පනත 2000 (RIPA) MI5, MI6 සහ VLAHQ සඳහා නීතිමය රාමු සපයයි. ඕස්ට්‍රේලියාව සතුව ASIS සහ ASIO වැනි ආයතන ආවරණය වෙන 21 බුද්ධි සේවා පනත ඇත. එසේම, කැනඩාවේ 1984 LASIS පනත සහ 2019 බුද්ධි සමාලෝචන නියෝජිතායතන පනත මගින් කැනේඩියානු ආරක්ෂක බුද්ධි සේවය (LASIS) අධීක්‍ෂණය කරන්නේය. ජර්මනියේ BBD නීතිය විසින් එරට විදේශීයව සිදුකරන බුද්ධි කටයුතු නියාමනය කරන අතර දේශීය ඔත්තු සේවය (BFV) නියාමනය වෙන්නේ Bundesamt für Verfassungsschutz Act නමැති පනතෙනි.
මේ අතර, ප්‍රංශයේ 2015 අභ්‍යන්තර ආරක්ෂක කේතය සහ බුද්ධි දරන නීතිය මගින් RVSI සහ RVSE වැනි ආයතන නියාමනය කරයි. ඉන්දියාවේ 1985 බුද්ධි සංවිධාන පනත ඔස්සේ රෝ සහ අයි.බී. නියාමනය වන්නේය. ඊශ්‍රායලයේ මොසාඩ් සහ ෂින් බෙට් සඳහා 2002 බුද්ධි ප්‍රජා නීතිය ඇති අතර දකුණු අප්‍රිකාවේ ජාතික උපාය මාර්ගික බුද්ධි පනත 1994 සහ බුද්ධි සේවා පනත 2002 එහි ඔත්තු සේවා නියාමනය කරයි. GLASB සහ NZSIS වැනි ආයතන අධීක්‍ෂණය කරමින් 2017 බුද්ධි හා ආරක්‍ෂක පනත යටතේ නවසීලන්තය සිය බුද්ධි රාමුව ඒකාබද්ධ කළේය.
ලංකාවේ මේ කිසිවක් නැති බව අල්විස් කමිටු වාර්තාව පෙන්වා දී ඇත. විශේෂයෙන් බුද්ධි සේවයකට කටයුතු කිරීමට හැකි පරාසය මෙන්ම අපරාධ විමර්ශන අංශයකට පැවරෙන වගකීම සහ රාජකාරී පරාමිතිය එහි පැහැදිළි කර ඇත. පාස්කු ප්‍රහාරය, මෙය සමස්ත ධුරාවලිය තුළ සිදුවූ සාමූහික බිඳවැටීම සහ නොසලකා හැරීම නිසා මුහුණදීමට සිදුවූ ඛේදවාචකයක් ලෙස පැහැදිළි කරයි. ඒ නිසා කිසිවෙකුට එම සාමූහික වගකීමෙන් නිදහස් වී තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට හැකිද යන්න ගැටලු සහගතය. එසේම ප්‍රහාරය සිදුවීමෙන් පසු තෝරාගත් කිහිපදෙනෙකු පමණක් ඉලක්ක කරගෙන සිදුකළ විවේචනය කෙතරම් සාධාරණ ද යන්න මෙම සමස්ත සිදුවීම දෙස ස්වාධීනව බලන ඕනෑම අයෙකුට නිතැතින්ම ඇතිවෙන මූලික ගැටලුවකි. එමඟින් අධිකරණමය ක්‍රියාවලීන්වලට පවා බලපෑම් සිදු වී ඇතැයි ඇතැමුන් දරන මතය හිතලුවක් නොවේ. බොහෝ රටවල, අධිකරණ තීන්දු නිවැරදි නොවන බව (ජුඩිසියල් මිස්කැරේජ්) හැඟෙන විට ඒවා හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට සමාලෝචන ආයතන හෝ අභියාචනා ක්‍රියාවලීන් ස්ථාපිත කර ඇත. නමුත් මෙරට එය එක්තරා සීමාවකින් ඔබ්බට කළ නොහැකිය. මේ නිසා රාජ්‍යය ආයතනවල සේවය කරන නිලධාරීන්ට, නිශ්චිත ව්‍යවස්ථාපිත රාමු නැති කම නිසා පමණක් නොව අධිකරණ කටයුතු වලදී ද මුහුණදීමට සිදුවෙන කටුක යථාර්ථය, දේශපාලන අභිලාෂයන් සහ පෞද්ගලික කෝන්තර වලින් ඔබ්බට ගොස් තේරුම් ගත යුතු නොවේද? මොවුන් කිසිවකු සර්වබලධාරීන් නොවන අතර ඔවුන්ගේ සාර්ථකත්වය රඳාපවතින්නේ සමස්ත ධුරාවලීයේ හැසිරීම සහ වගකීම් ගෙන කටයුතු කිරීමේ කෞෂල්‍යය මතය.
අල්විස් වාර්තාව මඟින් අදාළ ප්‍රහාරය වළක්වාගැනීමේ වගකීම පැවරී තිබූ ආයතන වලින් දිස්වූ සාමූහික නොසලකා හැරීම බරපතළ ලෙස ප්‍රශ්න කර ඇත. එය සිය නිගමනයන් ගැන මෙසේ සඳහන් කරන්නේය. ‘‘ඉහත විස්තර කර ඇති නිලධාරීන් කිහිප දෙනෙකුට අපරාධ නඩු පැවරීම සඳහා කමිටුව නිර්දේශ කරයි. මෙම නිලධාරීන්ගේ නොසැලකිල්ල සම්බන්ධයෙන් අධිචෝදනා ඉදිරිපත් කළ යුතු බව කමිටුවේ අදහසයි. ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් වගවීම සහතික කිරීම සඳහා ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගය මෙය බව කමිටුව විශ්වාස කරයි. තවද, අපරාධ නඩු පැවරීම පූර්වාදර්ශයක් වන අතර ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය වැදගත් තනතුරු භාර ගනිමින් අනාගත නිලධාරීන් හිතාමතාම නොසැලකිලිමත් ලෙස හැසිරීමට එරෙහි අදාර්ශයක් ලෙස එය සේවය කරනු ඇත.”
වඩාත් වැදගත් වන්නේ වාර්තාව අවසානයේ ජාතික වශයෙන් ක්‍රියත්මක වියයුතු බුද්ධි ප්‍රතිපත්තියක් තිබීමේ අවශ්‍යතාව පැහැදිළි කර තිබීමයි. ‘‘රට අරාජිකත්වයට ඇද දැමීමේ තර්ජනයක් වූ 1971 කැරැල්ල ශ්‍රී ලංකා පොලිසිය සහ හමුදාව විසින් ව්‍යර්ථ කරන ලද්දේ ප්‍රදේශයේ ඔත්තුකරුවෙකු විසින් ලබා දුන් තොරතුරක් මත ය. වර්තමානයේ බලධාරීන්ට පවතින ක්ෂණික හා ඒකාබද්ධ පද්ධති සමග සසඳන විට, එකල භාවිතයේ පැවති, සාපේක්ෂව ප්‍රාථමික සන්නිවේදන පද්ධති නොතකා, සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන දැනුවත් කිරීමෙන් නියෝජිතායතන ක්‍රියාත්මක විය. එබැවින් බුද්ධි අංශ ජාතික ආරක්ෂාවේ තීරණාත්මක කුලුනක් බව අවිවාදිතය. 2019 අප්‍රේල් 21 වැනි දින සිදු වූ ව්‍යසනකාරී ප්‍රහාරය බුද්ධි තොරතුරුවලට ප්‍රමුඛත්වය දීමේ සහ එය සැහැල්ලුවට නොගැනීමේ තීරණාත්මක වැදගත්කම පිළිබඳ මනා සිහිගැන්වීමක් ලෙස සේවය කරයි.”
මේ සම්බන්ධයෙන්, “ප්‍රහාරය වැළැක්වීමට රාජ්‍යයේ අපොහොසත්කමට, අනුකූලතාව සහතික වන ආකාරයෙන් අදාළ බලධාරීන් වෙත බුද්ධි තොරතුරු බෙදා හැරීම සඳහා ව්‍යුහගත, වගවීම සහ පැහැදිලි ක්‍රමවේදයක් නොමැති වීම හේතු වී ඇති බව කමිටුව නිරීක්ෂණය කර ඇත. ඩීඑම්අයි සහ එස්අයිඑස් යන ආයතන දෙකම අන්තවාදය තර්ජනයක් ලෙස හඳුනාගෙන විශේෂ අවධානයක් යොමු කර ඇති අතර කොතෙකුත් වාර්තා ලබා දුන්නද අදාළ බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වීමට පොලිසිය අසමත් වී ඇත. සී.එන්.අයි. එකල ඔහුගේ කාර්ය භාරය සහ යුතුකම් සම්බන්ධයෙන් අවිනිශ්චිතව සිටි ආකාරයෙන් බලධාරීන් අතර සංහිඳියාව නොමැතිකම පැහැදිලි විය.”
ප්‍රහාරයෙන් පසුව සිදුවී ඇති ආයතනික වෙනස්කම් ගැන කමිටුව මෙසේ සඳහන් කර ඇත. ‘‘යෝග්‍ය බුද්ධිමය පනතක් ප්‍රකාශයට පත් කරන තෙක්, වත්මන් සී.එන්.අයි. ජාතික ආරක්ෂාවට තර්ජන වැළැක්වීම සඳහා තොරතුරු සහ බුද්ධි තොරතුරු බෙදා හැරීමට පහසුකම් සැලසීම සඳහා පුළුල් ක්‍රියාවලියක් සකස් කර ඇත. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, ආරක්‍ෂක සහ බුද්ධි විශ්ලේෂණ රැස්වීම සාමාන්‍යයෙන් සතියේ නිශ්චිත දිනකදී සිදුවන අතර, එහිදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ජාතික ආරක්‍ෂක කරුණු පිළිබඳව දැනුවත් කෙරේ.”
‘‘බුද්ධි තොරතුරු බෙදා හැරීම සඳහා අලුතෙන් හඳුන්වා දී ඇති සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියේ ව්‍යුහයට විධිමත් පිළිගැනීමක් ලබා දිය යුතුය. ස්ථාවරත්වය සහතික කිරීමට සහ තවදුරටත් සංවර්ධනය සඳහා පදනමක් සැපයීම සඳහා පුළුල් බුද්ධි ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය වේ. ඩීඑම්අයි, එස්අයිඑස් සහ අනෙකුත් ආයතන දැනටමත් එම ක්ෂේත්‍රයේ ප්‍රවීණ බැවින්, සීඑන්අයි තවත් ඔත්තු රැස් කිරීමේ සේවාවක් ලෙස ක්‍රියා නොකළ යුතුය. බුද්ධි ප්‍රජාවට අවශ්‍ය වන්නේ වත්මන් සීඑන්අයි විසින් ක්‍රියාත්මක කරන පරිදි, බුද්ධි තොරතුරු බෙදා හැරීමට පහසුකම් සපයන පරිපාලන ආයතනයකි,” කම්ටුව වැඩිදුරටත් නිරීක්ෂණය කර ඇත.
මේ සම්බන්ධයෙන්, බුද්ධි පනතක් බලාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීමට නියමිත බව කමිටුවට දන්වා ඇති අතර, මෙම පනත කඩිනමින් සම්මත කරන ලෙස කමිටුව නිර්දේශ කර ඇත. දශක ගණනාවක ගැටුම්කාරී කාල පරිච්ඡේදයකින් පසු රට ”පශ්චාත් යුද අවධියකින් සංක්‍රමණය වන විට, එහි ආරක්ෂාවේ තීරණාත්මක කුලුනක් ලෙස ඔත්තු සේවා කෙරෙහි අවධානය යොමු කරමින් ආරක්ෂාව සඳහා නව ප්‍රවේශයක් ගැනීම අවශ්‍ය වේ.” මේ නිසා එකිනෙකාට ඇඟිල්ල දිගුකරමින් , තමන් සුදනා වීමට උත්සාහ කිරීමට වඩා වැදගත් වන්නේ, මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සිදුවීම් සඳහා බලපෑ සාමූහික ගරාවැටීම තේරුම් ගැනීමය. අනෙකුත් සියලුම කුමන්ත්‍රණ සහ මවාපෑම් සිහිබුද්ධියෙන් කල්පනා කොට විසඳිය හැක්කේ එවිටය. රාජ්‍යයක් දියුණු වීම යනු එම රාජ්‍යය පුද්ගල කේන්ද්‍රයෙන් වියුක්ත වී ආයතනික රාමුවකට අනුගත වීමය. අපේ එකම ගැලවුම්කරුවා වන්නේ එලෙස නිවැරදි ලෙස නියාමනය වන ආයතන රාමුව මිස, තම සිතැඟියාවන් පරම සත්‍යය යැයි ඔප්පු කිරීමට උත්සාහ කරන පුද්ගලයින් නොවේ. මෙම අල්විස් කමිටු වාර්තාව මෙරට ප්‍රධාන රාජ්‍යය ආයතන මුහුණදෙන ව්‍යුහීය ගැටලුව සහ ඉන් ඇතිවෙන සාමූහික නොසලකා හැරීම නිසා ජනතාවට මුහුණදීමට සිදුවෙන අබැද්ධිය පැහැදිළිව නිරීක්ෂණය කර ඇත.
නිලන්ත ඉලංගමුව