‘නමින් කපුරු හාමි වුවත් කට ගඳ’ යැයි ගැමි වහරේ කතාවක් තිබේ. එවැනි කපුරුහාමිලා දේශපාලනයේ ද සිටිති. කතා කරන්නේ සුපිරිසුදු ප්‍රජාතන්ත්‍රවාදය ගැන වුවත් භාවිතය එයට හාත්පසින්ම වෙනස්ය. එවැනි කපුරුහාමිලා බලන්නේ ජනවරමට වඩා එක දවසක් හෝ වැඩියෙන් බලයේ ඉන්නටය. එජාපය හා ශ්‍රීලනිපය යන පක්ෂ දෙකේම මෙවැනි කපුරුහාමිලා සිටියහ. මහජන නියෝජිතයන්ගෙන් කපුරුහාමිලාගේ පන්නයේ වැඩ මහජනතාව බලාපොරොත්තු නොවෙති.
මහජන නියෝජිතයා යන වචනයේ තේරුමවත් අද දේශපාලනයේ නිරත බොහෝ දෙනා දන්නවාදැයි සැක සහිතය. එක්දහස් නවසිය තිස්ගණන්වල මුල වෙද්දී මෙරට ඉංග්‍රීසි ජාතිකයන් ලාංකිකයන් සඳහා ඇතිකර තිබූ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා ක්‍රමය යටතේ එයට නියෝජිතයා පත් කෙරෙන ක්‍රම කිහිපයක් විය. එම සභාවට තිදෙනෙක් පත් වුණේ ආණ්ඩුකාරයාගේ නිර්දේශ මතය. රජයේ සේවකයන් වූ ඔවුන් සැලකුණේ මන්ත්‍රණ සභාවේ නිලධාරීන් ලෙසය. ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද තවත් පිරිසක් වූයේ ජනවාර්ගික පදනම හා තවත් විශේෂිත හේතු මත මන්ත්‍රීධුරයට නම් වූවන්ය. මේ සියලු දෙනාම බ්‍රිතාන්‍ය රජයට මෙරට යටත් විජිතය පවත්වාගෙන යාමට උදව් කරන පිරිස්ය. එයට අමතරව ජනතා ඡන්දයෙන් පත් වූ තවත් සීමිත පිරිසක්ද වූහ. මහජන නියෝජිතයන් නමින් හැඳින්වූයේ එම පිරිසය. ආණ්ඩුක්‍රම වෙනස්වී පසුව සියලුම මන්ත්‍රීවරුන් ජනතා ඡන්දයෙන් පත් කරන ක්‍රම භාවිතයට පැමිණි පසු පොදුවේ සියලු මන්ත්‍රීවරුන්ට ‘‘මහජන නියෝජිත’’ යන නාමය ව්‍යවහාර වේ. එහෙත් එදා වැටුපක් නොලැබූ සහ විශේෂ වරප්‍රසාද නොලැබූ මහජන නියෝජිතයන් සහ අද සිටින මහජන නියෝජිතයන් අතර අහසට පොළොව වැනි වෙනස්කමක් ඇති බව ද සැලකිය යුතුය.
මහා මැතිවරණයෙන් පැරදුණත් අගමැති ඉල්ලා අස්නොවී අලුත් ආණ්ඩුවට අවහිර කරන්නට යන බවට රාවයක් ලංකාවේ මුලින්ම පැතිර ගියේ පනස් හයේ මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව සම්බන්ධයෙනි. අගමැති සර් ජෝන් කොතලාවලගේ නායකත්වයෙන් මැතිවරණයට මුහුණ දුන් එජාපය ආසන අටක් පමණක් දිනා අන්ත පරාජයක් ලබා සිටියේය. රැජිනගේ නියෝජිතයා හෙවත් අග්‍රාණ්ඩුකාරයා වූයේ සර් ඔලිවර් ගුණතිලකය. ඔහු පත් කළේ අගමැති සර් ජෝන්ගේ ඉල්ලීම උඩය. ඒ නිසා සර් ජෝන් සහ සර් ඔලිවර් එකතුවී බණ්ඩාරනායකට ඉඩ නොදෙන බවට මතයක් ඇති වෙමින් තිබිණි. අගමැති සර් ජෝන් ද ඉල්ලා අස්වීමේ ලිපිය යවා තිබුණේ නැත.
සර් ජෝන්ට අගමැති තනතුරෙන් ඉල්ලා අස් නොවන ලෙස ඉල්ලමින් ඔහුගේ සගයෝද ඇවිටිලි කළහ. කෙසේ හෝ සර් ජෝන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය කලට වේලාවට නොලැබුණෙන් සර් ඔලිවර් ගුණතිලක ටෙලිෆෝනයෙන් මෙසේ පැවසීය.
‘‘අගමැතිතුමනි... මා දැන් ඔබට කතා කරන්නේ අග්‍රාණ්ඩුකාරයා හැටියට නොවෙයි. කුඩාකල සිටම ඔබ හොඳින් දන්නා හිතවත් මිතුරකු හැටියටය. මැතිවරණයේ තීරණය ජනතාව විසින් නිකුත් කර ඇත. මෙම තීරණය අසාධාරණ විය හැකියි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන රටක ජනතා තීරණය පිළිගත යුතුය. ජනතා තීන්දුව විවේචනය කිරීමට අපට අයිතියක් නැත. තීන්දුව හරි හෝ වැරදි හෝ වේවා අප එය පිළිගත යුතුය.’’ සර් ඔලිව් ගුණතිලකට කියන්නට ලැබුණේ එපමණකි.
‘‘හරි හරි, මගේ ඉල්ලා අස්වීමේ ලිපිය අරගෙන මම මේ දැන්ම එනවා’’. අගමැති සර් ජෝන් කීවේය.
රාජ්‍ය නායකයන් ප්‍රජාතන්ත්‍රවාදයට අනුව කටයුතු කළේ එහෙමය. ඔවුන් ජනතාවට ඡන්දය පාවිච්චි කිරීමට ඇති අයිතියට ගරු කළා සේම ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නියමිත මැතිවරණ නොපවත්වා සිටියේ නැත. ජනතාවට තීන්දුව ගැනීමට ඔවුහු මැතිවරණ ලබා දුන්හ. ජනතා තීන්දුව තමන්ට විරුද්ධව ලැබී ඇතිනම් ඔවුහු ඉවත්ව ගියහ. රට සංවර්ධනය වෙනතුරු හෝ කරන්නට බැරි වූ ඉතිරි වැඩ ටික කරන තුරු හෝ අනීතික ලෙස පුටුවේ රැඳී සිටින්නට ඔවුන් උත්සාහ දැරුවේ නැත.
මැතිණිත් වසර දෙකක් වැඩිපුර හිටියා
මැතිවරණ කල් දැමීමේ වාර්තා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් නොවේ. ශ්‍රීලනිපය ද එවැනි දැවැන්ත වාර්තාවකට හිමිකම් කියන්නේය. මේ වාර්තාව තැබුවේ 1970 පිහිට වූ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවය. 1975 දී එම ආණ්ඩුවේ නිල කාලය අවසන්ව යළිත් මහා මැතිවරණයක් කැඳවිය යුතුව තිබුණ ද මැතිනිය 1975 දී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එමින් තවත් වසර දෙකකින් පාර්ලිමේන්තුවේ කාලය දිගු කර ගත්තාය. 1972 සම්මත කරගත් ‘ජනරජය’ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ දින සිට වසර පහක කාලයක් රජය පවත්වාගෙන යා යුතු බවට රටට පෙන්වා දෙමින් එම ආණ්ඩුව කරන ලද්දේ අමතර වසර දෙකකින් පාර්ලිමේන්තු කාලය දිගු කර ගැනීමය. එජාපය රට පුරා විරෝධතා ව්‍යාපාර පටන් ගත්තේය. ආණ්ඩුවට දැඩි පීඩනයක් දැනිණි. අන්තිමේ ආණ්ඩුව මාස හතරකට පාර්ලිමේන්තු සභාවාරය කල් දැමුවේය. මන්ත්‍රීවරුන්ගෙන් ලැබෙන විරෝධය එමගින් සමනය කර ගැනීමට උත්සාහ කළද විපක්ෂය මහ පාරේ උද්ඝෝෂණවලට යොමු වුණේය. කල්දැමූ මැතිවරණය වෙනුවට අතුරු මැතිවරණයක් හෝ ගැනීම අරමුණු කරගෙන විපක්ෂනායකවරයා වූ ජේ.ආර්. තම මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් වූයේ රජයට අතුරු මැතිවරණයක් තැබීමට සිදුවෙන නිසාය. ජේ. ආර්. එදා විපක්ෂනායක ලෙස නිවේදනය කළේ රජයකට පාර්ලිමේන්තු කාලය දිගු කරගත හැකි වෙන්නේ යුද්ධයක් හෝ රටේ ජාතික අර්බුදයක් ඇති අවස්ථාවක පමණක් බවය. නොඑසේනම් මැතිවරණයක් කල් දැමිය යුත්තේ ජනමත විචාරණයක් පවත්වා ජනතාවගෙන් අවසරය ලැබුණොත් පමණක් බව ද ජේ.ආර්.ගේ මතය විය. එහෙත් රජය ඒ මග අතහැර පාර්ලිමේන්තු බහුතරයෙන් පමණක් යෝජනා සම්මත කර මැතිවරණය කල් දැමුවේය. ජේ.ආර්. මැතිවරණයක් සඳහා තම අසුනින් ඉල්ලා අස් වූයේ ඉන් පසුවය. ඉන්පසු පැවැත් වූ අතුරු මැතිවරණයේ දී ජේ. ආර්. යළි ආසනය දිනා ගත්තේය.
ශ්‍රීලනිපය පාර්ලිමේන්තු යෝජනාවකින් මහ මැතිවරණය කල් දැමුවේ 1977 දක්වා වසර දෙකකිනි. පසුව අගමැතිනිය හැත්තෑ හතේදී මැතිවරණය පවත්වන බව පාර්ලිමේන්තුවේදීද පවසා තිබිණි. එහෙත් ඉන් පසුව ශ්‍රීලනිපය තවත් උත්සාහයක් දැරුවේ හැත්තෑ හතේදීත් මැතිවරණය නොපවත්වන්නටය. ඒ සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන් සමග රහසේ සාකච්ඡා වාර ගණනාවක් ද පවත්වා තිබිණ. ඒ සඳහා ජනතාව දැනුවත් කරන දේශපාලන රැලි ද ශ්‍රීලනිපය විසින් පවත්වන ලදී. එහෙත් එහිදී ප්‍රසිද්ධියේ විරෝධය පෑ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වූ කොමියුනිස්ට් පක්ෂය, ඡන්දය නිසි පරිදි පැවැත්විය යුතු බව කියා සිටියේය. අවසානයේ ශ්‍රීලනිපය හැරුණේ උතුරේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙතය. දිගු සාකච්ඡා මාලාවකට පසු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඡන්දය කල් දැමීමට සහාය පළ කළත් ඒ වෙද්දී ආණ්ඩුව ඇතුළතින් දෙදරා යාමක් පටන් ගෙන තිබුණේය. කොමියුනිස්ට් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වූ අතර ඡන්ද කල් දමන යෝජනාව සම්මත කිරීමට අවශ්‍ය තුනෙන් දෙකේ බහුතර බලය නොමැති වූයෙන් ආණ්ඩුව තම වෑයම අකුලා ගත්තේය. 1977 ජුලි 21 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ශ්‍රීලනිපය අන්ත පරාජයක් ලැබූ අතර එජාපය පාර්ලිමේන්තුවේ ආසන අති බහුතරයක් හෙවත් හයෙන් පහක බලයක් දිනාගත්තේය. එහෙත් එදා ශ්‍රීලනිපය ඡන්ද කල් දමන වෑයමට එරෙහි දැඩි සටනක් කළ එජාපය තමන්ට බලය ලැබුණු පසු 1982 දී පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හයකින් දිගු කර ගත්තේ කිසිම ලජ්ජාවකින් තොරවය. ‘ලාම්පු කළගෙඩි සෙල්ලම’ යනුවෙන් හැඳින්වෙන මෙම ජනමත විචාරණය අන්ත දූෂිත ඡන්ද විමසීමක් බව මැතිවරණ කොමසාරිස්වරයා තම වාර්තාවෙන් කියා සිටීමෙන්ම එවකට රජයේ මැතිවරණ ක්‍රියාවලියට දැඩි පහක් එල්ල විය. එහෙත් එම වාර්තාව ලියැවුණේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණකි. එනිසා බහුතර සිංහල ජනතාව අතරට මෙම වාර්තාව කාන්දු වූයේ නැත.
මහ මැතිවරණයක් නොපවත්වා එතෙක් පැවැති පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හයකින් දිගුකර ගැනීම අරමුණු කරගනිමින් පැවැත් වූ ජනමත විචාරණය නීතියට අනුකූල වුවත් එමගින් රට මහා භීෂණ සමයකට ඇද දැමුවේය. දකුණේ ජවිපෙ හා උතුරේ දෙමළ ඊලාම් සංවිධානවලට පාර්ලිමේන්තු ගමන අහුරා දැම්මේ මෙම මැතිවරණය මගිනි.
ජේ ආර් තුන් වතාවක්ම ඉන්න හැදූ වෑයම
අවුරුදු දොළහක් රට පාලනය කළ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයට තරග කිරීමට උත්සාහ කළ මුත් එම වෑයම අසාර්ථක වූ හැටි අද බොහෝ දෙනා නොදන්නා කතාවකි. ජේ.ආර්. හැදූ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුට ධුරය දැරිය හැක්කේ අවස්ථා දෙකකි. 1988 වෙද්දී ජේ.ආර්. දෙවැනි ධුරකාලයේ අවසාන සමයට එළඹ සිටියේය. එහෙත් 1987 අත්සන් කළ ඉන්දු - ලංකා ගිවිසුම සමග උත්සන්න වූ ජවිපෙ ප්‍රචණ්ඩ ක්‍රියා ඒ වෙද්දී උච්ච අවස්ථාවකට පත් වෙමින් තිබුණේය. ගිවිසුම යටතේ කැඳ වූ ඉන්දීය හමුදා, එල්ටීටීඊය විනාශ කරන සටනක නිරතව සිටියේය. අලුත් ජනාධිපතිවරයකු යටතේ ඉන්දීය හමුදාවට යළිත් සියරට බලා යන ලෙස ඉල්ලීම් කෙරෙනු ඇතැයි ඉන්දියාව ද බියවී සිටියේය. උතුරේ ප්‍රශ්නය සමනය කිරීම සඳහා ජේ.ආර්. සමග කටයුතු කිරීම ඉන්දීය රජයට ද පහසුවක් විය. ඉන්දියාවේ අපේක්ෂාව වූයේ ද ජේ.ආර් ම තවදුරටත් සිටිනු ඇත, යන්නය. ජේ.ආර්. ජයවර්ධන චරිතාප්‍රදානයේ ඒ පිළිබඳ මෙසේ සඳහන් වෙයි.
‘‘තමන් මේ කාලය අවසාන දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ සැලැස්ම ජේ.ආර්. විසින් රජීව්ට හඟවා තිබිණි. මින් රජීව් පසුබෑමට පත්විය. ඉන්දු-ලංකා සාම සම්මුතියේ සාර්ථක නිමාව සඳහා තම අදහස වෙනස් කරන ලෙස ජේ.ආර්. එකඟ කර ගැනීමට රජීව් වෑයම් කළේය. 1989 වසරෙන් ඔබ්බට ජේ.ආර්. බලයේ සිටීම මේ සඳහා අත්‍යවශ්‍ය යැයි සලකන ලදී. රජීව්ගේ තර්කය නිසා ජේ.ආර්. අදහස් වෙනස් කර ගත්තේය. ජේ.ආර්. ඉන්දියාවේ සිට ආපසු පැමිණියේ තුන්වැනි වරටත් ජනාධිපති ලෙස කටයුතු කිරීමේ අදිටනනි.
ජේ.ආර්. ඒ සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කටයුතු ද සූදානම් කර තිබිණි. මෙම තීන්දුවෙන් වඩාත් කම්පනයට පත්වුණේ අගමැති ප්‍රේමදාසය. ජේ.ආර්. විසින්ම මෙයට පෙර තමාගේ අනුප්‍රාප්තිකයා ලෙස ඉඟිකර තිබූ ප්‍රේමදාසගේ තැන ඇහිරීමක් මෙයින් සිදුවෙන බව කාටත් පෙනුණි. ඒ අස්සේ ජවිපෙ ප්‍රචණ්ඩ ක්‍රියා තව තවත් ඉහළ නැග්ගේය. පළාත් සභා මැතිවරණය ද පවත්වා ජවිපෙ තර්ජනයට මුහුණ දීමට ජේ.ආර්. අදහස් කරගෙන සිටි අතරවාරයේ විජය කුමාරතුංග ඝාතනය කෙරිණි. එය තමාගේම ආරක්ෂාව ගැන සිතන්නට ජේ.ආර්. පොලඹ වූ අවස්ථාවක් විය. ඉන්පසු එජාප සභාපති සහ ලේකම්වරු ද ඝාතනය කෙරිණි. ජේ.ආර්. තවත් පයක් ආපස්සට ගත්තේය.
ජේ.ආර්. තම තීරණය වෙනස් කිරීමට තවත් සුවිශේෂි හේතුවක් බලපා තිබිණි. ඒ ජයවර්ධන ආර්යාවය. ඇය ජේ.ආර්ට පවසා ඇත්තේ තුන්වැනි වතාවට තරග කිරීම ගැන තමාගේ කැමැත්තක් නැති බවය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට ගෙදරින් එවැනි බලපෑමක් එන්නේ සුවිශේෂි අවස්ථාවක පමණය. ඔහු තෙවැනි වතාවට තරග කිරීමේ අදහස ඉවත් කරගෙන අගමැති ප්‍රේමදාසට ඒ අවස්ථාව ලබා දුන්නේය.
වසර පහක් වාඩිවීම සඳහා ලැබුණු පුටුවෙන් බැස නොයෑමේ රෝගය ඊළඟට හැදුණේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියටය. චන්ද්‍රිකා 1994 දී බලයට ආවේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට පොරොන්දු වෙමිනි. එහෙත් පුටුවේ වාඩි වූ පසු ඇයට විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ පොරොන්දුව අමතක විය. පළමු ධුර කාලය අවසන් වෙමින් තිබූ 1999 වෙද්දී ඇයට ඒ බව මතක් වූ අතර ඇය දෙවැනි වතාවටත් තරග කළේ අලුත්ම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවට පොරොන්දු වෙමිනි.
චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ නියමයෙන් ඇගේ රජයේ අධිකරණ හා ව්‍යවස්ථාව සම්පාදක ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු කමිටුවක් විසින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරන ලදී. මෙම ව්‍යවස්ථාව සැකසුවේ උතුරේ ප්‍රශ්නය විසඳීමේ ‘‘පැකේජය’’ යනුවෙන් හඳුන්වන ලද දේශපාලන විසඳුම් යෝජනාවලියක කොටසක් හැටියටය. එය වෙනත් පක්ෂ විසින් හඳුන්වන ලද්දේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් හැටියටය. මෙම ව්‍යවස්ථා කෙටුම්පත මගින් විධායක ජනාධිපතිධුරය අහෝසි වෙන අතර ජනාධිපතිවරණයකින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම ද නවතී. ඒ වෙනුවට විධායක නොවන ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරා පත්කර ගැනෙයි. ජනාධිපතිවරයා කටයුතු කළ යුතු වෙන්නේ අගමැතිවරයාගේ උපදෙස් පරිදිය. එමෙන්ම රටේ සැබෑ පාලකයා වෙන්නේ අගමැතිවරයාය. නව ව්‍යවස්ථා කෙටුම්පත යටතේ උප ජනාධිපතිවරුන් දෙදෙනෙකුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරා පත්කර ගැනේ. ඒ දෙදෙනා වෙන් වෙන්නේ දමිළ හා ඉස්ලාමීය ප්‍රජාවන් වෙනුවෙනි.
මෙම ව්‍යවස්ථා කෙටුම්පත එකල ලංකාව වෙලාගෙන තිබූ උතුරේ යුද ගැටලුවට විසඳුමක් ලෙස බොහෝ දෙනා පිළිගත්ත ද එහි එක් වගන්තියක චන්ද්‍රිකා කුමාරතුංගගේ දේශපාලන අනාගතය ද රැඳී තිබුණි. මෙම ව්‍යවස්ථා කෙටුම්පත 2000 දී සම්මත වුවද එය ක්‍රියාත්මක වෙන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වූ පසුව බව ව්‍යවස්ථාවට අන්තර් කාලීන වගන්තියක් ද ඇතුළත් කර තිබුණි. ව්‍යවස්ථාව ඒ මොහොතේ සිට සක්‍රීය වූයේ නම් චන්ද්‍රිකාට 2005 දක්වා ලැබී තිබූ ජනවරම 2000 දී අවසන් වෙන අතර එම අන්තර් කාලීන විධිවිධාන යෙදුවේ ඒ නිසාය. එලෙසම ඇයට වුවමනා වූයේ නව ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමේ ගෞරවය රැගෙන 2005 දී අගමැතිනිය ලෙස යළිත් පාර්ලිමේන්තුවට පැමිණීමටය. එජාපය සහ විපක්ෂනායක රනිල්, චන්ද්‍රිකාගේ සැලසුම දුටුවේ තමාට ඇති මීළඟ නායකත්වය අහිමි කරන සැලසුමක් හැටියටය. එතෙක් ව්‍යවස්ථා කෙටුම්පතට පක්ෂව සිටි එජාපය එය පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට සහාය නොදුන් අතර කෙටුම්පත ඉතිහාසයේ කුණු බක්කියට විසිවිය. ඒ වෙද්දී වසර හයකට ආසන්න කාලයක් තිස්සේ පාර්ලිමේන්තු තෘතියික සභා වාර හැත්තෑ හයක් පවත්වා සැකසූ කෙටුම්පත වෙනුවෙන් රුපියල් කෝටි ගණනක වැය බරක් දරා තිබිණි.
2005 දී චන්ද්‍රිකා ජනාධිපතිවරණය නොපවත්වා තවත් වසරක් වැඩිපුර කාලයක් ජනාධිතිධුරය හෙබවීමට අවසාන මොහොතේ තවත් වෑයමක් දැරුවාය.
චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියට ඇගේ දෙවැනි ධුර කාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2006 වසරේ වුව ද ඇය 1999 ජනාධිපතිවරණයේ කාලය අවසන් විමට තිබිය දී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ සිටි අවස්ථාවේම ප්‍රතිඵල නිකුත් වූ පසු දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දී තිබිණ. එම නිසා ඇයගේ දෙවැනි ධුර කාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2005 දීය. එහෙත් 1994 දී බලයට ආ චන්ද්‍රිකාට යළිත් ජනාධිපතිවරණයක් පැවැත්වීමට තිබුණේ 2000 වසරේ වුවත් ඇය වසරකට කලින් 1999 දී ජනාධිපතිධුරය කැඳවා තමාට හිමි වසරක නිල කාලය අහිමි කරගෙන තිබුණි. ඇය අවසන් මොහොතේ උත්සාහ කළේ මෙම අහිමි වූ වසරක ධුර කාලය දෙවැනි ධුර කාලය අග ලබා ගැනීමට වුවත් එය නීති ගැටලුවකට මුහුණ පෑවේය. හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම්ව සිටි උදය ගම්මන්පිල මේ සම්බන්ධයෙන් ව්‍යවස්ථා නීති විශාරද මනෝහර ද සිල්වා සමග සාකච්ඡා කළ අතර ඔවුන්ගේ තීරණය වූයේ චන්ද්‍රිකාගේ ජනවරම 2005 දී අවසන් වෙන හෙයින් ඇයට 2006 වෙනතුරු සිටීමේ නීතිමය හිමිකමක් නැති බවය. මේ සම්බන්ධයෙන් හෙළ උරුමය නායක චම්පික රණවක, උදය හා මනෝහර එක්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවේ ජනාධිපතිවරණයට හිමි දිනය පිළිබඳ පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිමිනි. අගවිනිසුරු සරත් එන් සිල්වා ඇතුළු පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව වූයේ චන්ද්‍රිකාගේ ධුර කාලය 2005 දී අවසන් වෙන බවය. ඒ අනුව චන්ද්‍රිකා තම වෑයම අකුළා ගත්තාය. ඉක්බිතිව එළඹි ජනපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේය.
මෙකී දේශපාලන ඉතිහාසය අනුව මහජනතාව සිතන පතන විදිහට මැතිවරණ ඉබේ පහළ නොවෙන බව වටහා ගත යුතුය. නීතියේ කුමන ආකාරයට අර්ථකථනය කර තිබුණත් මැතිවරණය පවත්වනවාද? නැද්ද? යන්න තීන්දු කරනුයේ පාලකයාය. මැතිවරණය පවත්වන දිනය පවා තීන්දු කරනුයේ රටේ පාලකයා වෙන අතර එයට හොඳම උදාහරණය වෙන්නේ අතුරුදන් කරනු ලැබූ පළාත් පාලන ඡන්දයයි.
විවිධ අවස්ථාවල මුට්ටි දමමින් ජනාධිපතිවරයා තමන්ට ඇති ජනප්‍රියතාව උරගා බලමින් සිටින බව අප මෙයට පෙර ලිපියක දී සඳහන් කළෙමු. ඒ කී විලසින්ම මේ වෙනවිට ආණ්ඩුවේ ඉහළම බලධාරීන් අතර සාකච්ඡාවට බඳුන්වී ඇත්තේ පාර්ලිමේන්තුවේ හා ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට දිගු කිරීම ගැනය. මෙම ආයතන දෙකේම නිල කාලය වසර පහකට දිගු කිරීම සඳහා තවත් මාස දෙකකින් පමණ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒම පිණිස සැලසුමක් ඇති බව දැන ගන්නට ඇත. එසේ වුවහොත් ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකක සහායක් ලැබිය යුතුය. මේ වෙනවිට තේරී පත් වූ පක්ෂයෙන් ඉවත්ව කණ්ඩායම් ගණනාවකට ගොනුවී සිටින මන්ත්‍රීවරුන්ගෙන් එවැනි යෝජනාවකට සහාය ලබා ගැනීම අපහසු නොවනු ඇත්තේ ඔවුන් බොහෝ දෙනා මීළඟ මහා මැතිවරණයේ දී තේරී පත් නොවන නිසාය. මේ ඔවුන් බොහෝ දෙනාගේ අවසන් මැති සභා සංචාරයය. ජනප්‍රියත්වයෙන් පිරිහී ඇති කැබිනට් මණ්ඩලයක් සේම පාර්ලිමේන්තුවක් ද තම පැවැත්ම වෙනුවෙන් රාජ්‍ය නායකයාගේ ඕනෑම යෝජනාවකට අත උස්සන බව තේරුම් ගැනීමට අපගේ දේශපාලන ඉතිහාසයට එබී බැලීම ප්‍රමාණවත්ය.
ප්‍රේමකීර්ති රණතුංග