(නාලක සංජීව දහනායක)
සහල් මිල හා පොල් මිල ඉහළ යෑමේ මාෆියාව පාලනය කිරීමට රජය වහාම ඉදිරිපත් විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (1) පැවසීය.
පැළැස්තර විසඳුම් මඟින් රටේ ආර්ථිකයේ ඇතිවී තිබෙන අර්බුද විසඳීමට හැකියාවක් නැතැයිද ඔහු කීය.
පුංචි බොරැල්ල වජිරාශ‍්‍රමයේදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඊයේ (1) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත සතොස ආයතනය භාණ්ඩ වර්ග විසිපහක මිල අඩු කර තිබෙනවා. මේක හිඟන්නන්ට පවුඩර් දානව වගේ වැඩක්. හිඟන්නන්ට පවුඩර් දැමීමෙන් හිඟන ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ වගේම පැළැස්තරවාදී විසඳුම් දෙන අයවැය ලේඛනයකින් මේ ප‍්‍රශ්න විසඳන්න බැහැ. ආර්ථික අර්බුද වලදී මෙහෙම විසඳුම් හොයන්න බැහැ. ආර්ථිකයේ විශාලතම අර්බුදයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුහුණදුන් ආකාරය එම යුගයේදී කෘෂිකර්ම අමාත්‍යධුරය දැරූ වර්තමාන ජනාධිපතිවරයා හොඳට දන්නවා. ඒ යුගයේදී මුදල් අමාත්‍යංශය, වෙළඳ අමාත්‍යංශය හා කෘෂිකර්ම අමාත්‍යංශය ඒකාබද්ධව තීරණ ගත්තා. විනාශව තිබූ සතොස ශාඛා රටපුරාම විවෘත කළා. නොසලකා හැරතිබූ සමුපකාර ව්‍යාපාරය සක‍්‍රීය කර කෝප්සිටි ශාඛා 1200ක් ආරම්භ කළා. විශේෂ ආර්ථික මධ්‍යස්ථාන දහතුනක් ආරම්භ කළා. උපරිම මිල ප‍්‍රතිපත්තිය නිවැරැදිව ක‍්‍රියාත්මක කළා. වී කිලෝවක් සඳහා රුපියල් 30ක සහතික මිලක් ලබාදුන්නා. සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 60 දක්වා වැඩි කළා. ඒ මිල ක‍්‍රියාත්මක කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය ඉතාම බරපතළ ලෙස මැදිහත් වුණා. මෙවැනි ක‍්‍රියාත්මකවීම් නිසා ඒවට රට මුහුණ දී තිබූ ආර්ථික අර්බුදයට මුහුණ දීමට අපිට හැකිවුණා. සහල් මිල, පොල් මිල ඉහළ යෑමේ මාෆියාව පාලනය කිරීමට මෙම රජය ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා නූල කැඩුණු සරුංගලයක් වගේ ඒ භාණ්ඩ මිල ඉහළ යනවා.
ලෝක ආර්ථික විද්‍යා දර්ශකය අනුව දුඛ සමාජයට ආර්ථික දුක ඇතිවීමට බලපාන්නේ උද්ධමනය හා සේවා ව්‍යුක්තිය ඉහළයෑම නිසයි. උද්ධමන අනුපාතිකයට සේවා ව්‍යුක්තිය අනුපාතිකය එකතුවීමෙන් හැදෙන දර්ශකය දුක්ඛිත බවේ දර්ශකය වශයෙන් හඳුන්වනවා. 1980 දි දුක්ඛිත බවේ දර්ශකය සියයට 40.9යි. 1990දි සියයට 37.4යි. පසුගිය රජය සමයේදී ලංකා ඉතිහාසයේ පළමුවතාවට දුක්ඛිතබවේ දර්ශකය සියයට දහයකට වඩා අඩු සංඛ්‍යාවකින් පවත්වා ගැනීමට හැකිවුණා. ඒ අනුව 2014 එම දර්ශකය සියයට 7.9 අගයක් ගත්තා. වර්තමාන රජය යටතේ මෙය සියයට 5.6 දක්වා අඩුවුණා. ලෝකයේ සියලූම ආර්ථික දර්ශකවල මිල අඩුවුණේ 2015 වසරේදියි. ඒ වසරේදී ලෝක වෙළෙඳපොළේ ගෑස්, ඛනිජතෙල්, රසායනික ද්‍රව්‍ය මිල අඩුවුණා. ඒ නිසා අපේ රටේත් තේ, රබර් මිල පහත වැටුණා. එහි ප‍්‍රතිඵලයක් ලෙස එම වසරේදී දුක්ඛිතබවේ දර්ශකය පහළ වැටුණා.
නමුත් මෙම වසරේ අගෝස්තු මාසය වනවිට එම දර්ශකය සියයට 12.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රටේ බඩුමිළ වේගයෙන් වැඩිවුණා. මේ දිනවලදී මිනිසුන්ට ජීවත්වීම සඳහා විශාල අරගලයක නිරතවීමට සිදුව තිබෙනවා. විශේෂයෙන්ම සහල්, එළවළු හා පළතුරු වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල කිලෝව රුපියල් සියයට වඩා වැඩිවෙලා තිබෙනවා. එමෙන්ම රැකියා අවස්ථාවන් විශාල වශයෙන් අහිමිවෙලා තිබෙනවා. ඒ නිසා ආර්ථිකයේ සමස්ත ක‍්‍රියාකාරීත්වය නතරවීම නිසා වැඩබිමක් වශයෙන් තිබූ රට මුඩු බිමක් බවට පත්වෙලා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හා ආර්ථික සැලසුම්කරුවන්ගේ අවධානය වහාම යොමුවිය යුතුයි.
නියඟය නිසා අපේ රටේ පවුල් දහස් ගණනක් දවසකට එක්වේලක් පමණක් යැපෙන බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සංවිධානය මෑතකදී නිකුත්කළ වාර්තාවක සඳහන් වෙනවා. අපේ රටේ ඉතිහාසයේ කවදාවත් එවැනි තත්ත්වයක් වාර්තාවී නැහැ. අපි ඉතිහාසයට එක්වී තිබෙන්නේ වේල්තුනම බත් කාපු ජාතියක් වශයෙනුයි. මහබැංකු බැඳුම්කර වංචාව නිසා ග‍්‍රාමීය ආර්ථිකයට දැඩි බළපෑමක් සිදුවුණා. රටේ පොළී අනුපාතය අසාමාන්‍ය ලෙස ඉහළ ගියා. ඒ නිසා මිනිස්සුන්ට ණය වාරික ගෙවාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා. ග‍්‍රාමීය ජනතාවගේ ණයගැති බව දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සංවිධානය මෑතකදී කළ සමීක්‍ෂණයකින් හෙළිවී තිබෙනවා. ඒ නිසා ණය ගෙවාගත නොහැකිව මියයන පිරිස ඉහළගොස් තිබෙනවා. මේ පීඩනය දරුවන්ටත් අසාමාන්‍ය ලෙස දැනෙන්න පටන්ගෙන තිබෙනවා. මේ නිසා මිනිස්සුන්ට ඉදිරි කාලයේදී තවත් ආර්ථික අපහසුතාවන් වනු ඇතැයිද පැවසීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා මෙසේ පැවසීය.
රජය සඳහන් කරන මිලට සතොස ආයතනවල භාණ්ඩ නැහැ. රජයේ මිලට භාණ්ඩ විකුණන්න බැහැ. රුපියල අවප‍්‍රමණය වෙලා ඇමරිකානු ඩොලරයේ මිළ ඉහළ යෑම නිසා ආනයනික සියලූම අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යනවා. අපනයන අංශය වැඩිදියුණු කිරීමට මේ රජයට කිසිම වැඩ පිළිවෙළක් නැහැ. පොහොර සහනාධාරය නැති නිසා කෘෂිකාර්මික නිෂ්පාදන අගයන් පහළ බැහැලා. පොල් සඳහා දුන් සහනාධාර නතර කළ නිසා පොල්මිල ඉහළ ගියා. ඒ නිසා ඉදිරියේදී පොල් පූජාභාණ්ඩයක් වශයෙන් පමණක් ප‍්‍රයෝජනයට ගැනීමට සිදුවනු ඇතැයි පැවසීය.