පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න


(අංජුල මහික වීරරත්න)

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේ අද (11) පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.

මීට මාසයකට පමණ පෙර අපි පළමු අයවැය සම්මත කළා,

එමගින් අධ්‍යාපනයට, සෞඛ්‍යට, ජනතා සුභසාධනයට, යටිතල පහසුකම්වලට, පොදු ප්‍රවාහනයට මේ හැමදේටම සියලුම පළාත් පාලන ගිණුම්වලට විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කර තිබෙනවා. නමුත් ඒ මුදල් බුද්ධිමත්ව වියදම් කළ යුතුයි.

ඒ සඳහා දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් පළාත් පාලන ආයතනවලටත් අවශ්‍යයි. ඒ නිසා මෙවර මැතිවරණයෙන් දුෂණ වංචා වලින් තොර ජනතාව වෙනුවෙන් කැපවෙන පිරිසක් අපි තෝරාගත යුතුයි. 2024 මේ රටේ ජනතාව රට වෙනුවෙන් තීරණය ගත්තා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. යළිත් වතාවක් ගම වෙනුවෙන් කල්පනාකාරීව තීරණයක් ගන්න අවස්ථාවක් ජනතාවට මැයි 6 වන දින එළඹෙන බව හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.