පුතාලගේ දේශපාලනය


මෙරට දේශපාලනයේ ලොකුම අර්බුදය නායකත්ව ගුණයෙන් යුතු නායකයන් බිහි නොවීමය. අද රටේ සිටින්නේ දේශපාලකයන් මිස නායකයන් නොවේ. නායකයන් කිහිප දෙනකු හෝ සිටියේ රටට නිදහස ලැබෙන අවස්ථාවේ පමණය. ඉන්පසු රාජ්‍ය නායකයන්, විපක්ෂ නායකයන් මැති ඇමැතිවරුන් වූ සියලු දෙනාම පාහේ මුල්කාලීන නායකයන්ගේ දරු මුණුපුරන්ය. ඒ දරු මුණුපුරන් තම පරම්පරා උරුමය රැක ගැනීමට දේශපාලනයට පැමිණියා මිස රට හදන්න දේශපාලනයට පැමිණියේ නැත.
පරම්පරා දේශපාලනයේ නම් වැල බොහෝ දිගුය. මුල්ම අගමැති ඩී.එස්. සේනානායකගේ පුතා වූ ඩඩ්ලි සේනානායක පියාගෙන් පසු අගමැති වූයේය. අගමැති බණ්ඩාරනායකගේ ඝාතනයෙන් පසු බිරිය ද ඊටත් කාලයකට පසු දියණිය ද රාජ්‍ය නායකත්වයට පත් වූහ.


මෙරට දේශපාලනයේ දැන් ඇත්තේ පුතාලා අතර සටනකි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ පුතාය. නාමල් රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතාය. අගමැති දිනේෂ් ගුණවර්ධන අගමැතිකම අත පොවන මානයේ දී නැති වූ හිටපු ඇමැති පිලිප් ගුණවර්ධනගේ පුතාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැරැණි එජාපයේ රජුන් තනන්නා වූ පක්ෂ කඩා මන්ත්‍රීන් බාගැනීමේ අති ශූරයා වූ එස්මන්ඩ් වික්‍රමසිංහගේ පුතාය. ඉහළ පුටුවල සිටින මේ හැම දෙනාම දශක කිහිපයකට පෙර මෙරට දේශපාලනයේ පෙරැළිකාරයන් වූ අප්පලාගේ පුත්‍රයන්ය. ආණ්ඩුවෙන් බාගයක්මත් එහෙම පුතාලාය. ඇමැති මණ්ඩලයෙන් බාගයක්මත් එහෙම පුතාලාය. පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට අවනත කරගන්න බැරි වී ඉන්නේත් අප්පලාගේ උරුමය සොයා ආ පුතාලා ටිකකි. රාජපක්ෂ පවුලේ දිගුකාලීන හිතවතකු වන ලොහාන් රත්වත්තේත් මෙම අවස්ථාවේ ඉන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට මෙම ජනපතිවරණයේ දී සහයෝගය දැක්විය යුතුය යන පදනමේය. ඉකුත් සති කිහිපයේ නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ ජාතික සංවිධායක ධුරයට පත් වූ පසු රනිල්ගේ ආණ්ඩුවෙන් ඉවත්ව යාමේ වෑයමක් දැරූ අවස්ථාවේත් ලොහාන්  සිටියේ නාමල්ගේ මතයට විරුද්ධවය.  ලොහාන්ගේ පියාවන හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති   ජනරාල් අනුරුද්ධ රත්වත්තේ චන්ද්‍රිකා ජනපතිනිය සහ අනුර අතර තිබූ අර්බුදයේ දී ගත්තේ රාජ්‍ය නායිකාව වූ චන්ද්‍රිකාගේ පැත්තය. අනුර සහ රත්වත්තේ සමීප ඥාතීවරුන් වුවත් රත්වත්තේ තම පක්ෂ නායිකාව වූ චන්ද්‍රිකා ආරක්ෂා කළේය. අනුරුද්ධ රත්වත්තේට එරෙහිව අනුරගේ කඨෝර ​චෝදනා එකල ජනමාධ්‍යයන්     සිරස්    තල සැරසුවේය. ලොහාන් ද තම පියා මෙන්ම මහින්දගේ පක්ෂ නායකත්වයට අතිශය සමීපව දේශපාලනය කළේය. රාජපක්ෂලා සහ ලොහාන් අතර ඇති බැඳීම රටට රහසක් වූයේ නැත. වර්තමාන ජනාධිපතිවරයාට සහාය පළකිරීමේ දී පොහොට්ටුවේ කැපී පෙනෙන අයකු වන්නේ මහනුවර ස්ථාවර ඡන්ද පදනමක් ඇති ලොහාන් රත්වත්තේය. නාමල් ඇතුළු මන්ත්‍රීවරුන් කණ්ඩායමකට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය වුවත් ලොහාන් ඇතුළු රාජ්‍ය ඇමැතිවරුන් එම අදහසට සහාය ලබා දෙන්නේ නැත.


දඹුල්ලේ ටී.බී. තෙන්නකෝන්ගේ පුත් ජනක තෙන්නකෝන් ද ඔහුගේ පුත් වර්තමාන ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ද දඹුල්ලේ පවුල් පරම්පරාවේ බල කඳවුරක් ගොඩ නැඟූහ. මහින්ද රාජපක්ෂ සමග එක්ව දේශපාලනය කළ දෙවිනුවර මහින්ද විජේසේකරගේ පුත් කංචන විජේසේකර ද, අනුරාධපුරයේ සේමසිංහගේ පුත් ෂෙහාන් සේමසිංහ ද, කෑගල්ලේ මහීපාල හේරත්ගේ පුත් කනක හේරත් ද අක්මීමන රිචඩ් පතිරණගේ පුත් රමේෂ් පතිරණ ද, අනුරුද්ධ රත්වත්තේගේ පුත් ලොහාන් රත්වත්තේ ද, දේශපාලනයට ආවේ තමන්ගේ පියවරුන් නිසාය. මේ පියවරුන් මහින්ද රාජපක්ෂ සමඟ ඉතාම සමීප උදවියය. මේ පුතාලා රාජපක්ෂ ආණ්ඩුවේ පසු පෙළේ සිට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඉදිරිපෙළට පැමිණියේ රනිල් ඔවුන්ගේ වටිනාකම තේරුම් ගත් නිසාය. ඒ නිසාම මේ පුතාලාට පොහොට්ටුවේ තවත් පිරිසක් කියන්නේ රනිල්ගේ පුතාලා කියාය. මොන නමකින් හැඳින්වුව ද මේ හැම පුතාලාට දේශපාලනයටය පැමිණියේ අප්පා ඇරඹූ ගමනේ ඉතිරි අඩ සම්පූර්ණ කරන්නය. අන් රටවල මෙන් නොව ලංකාවේ දී බලය යනු අසීමාන්තික ධනෝපායන මාර්ගයකි. ඒ නිසාම දශක හය හතක් තිස්සේම මෙරට මැතිවරණ ආසන පවුලක හෝ දෙකක බූදල් බවට පත්ව තිබේ. ඒ නිසාම රටට නැවුම් දේශපාලන සිතිවිලි අවමය. අප්පලාගේ යල් පැනගිය සිතිවිලිම පුතාලාගේ නව සිතුවිලි බවට පත්ව තිබේ. රට එකතැනය. අලුත් මල් පිපෙන්නේ නැත.
නිදහස් ලංකාවේ පළමු අගමැති දේශපාලනය කළේත්, තම පුත්‍රයාට තමාගෙන් පසු අගමැතිකම ලැබෙන හැටියටය. අගමැති සේනානායක තම පුත්‍රයා වූ ඩඩ්ලි සේනානායකට නිරන්තරයෙන්ම අවවාද ලබා දුන්නේත්, නායකත්ව ගුණමග ගැනය.


ඒ 1938 වර්ෂය විය. ලෝකය පුරාම බ්‍රිතාන්‍ය යටත් විජිත ඒ වන විට තිබුණාට වඩා වැඩි නිදහසක් හිමි ආණ්ඩු ක්‍රමයක් පතා සටන් කරමින් සිටියහ. 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණවලින් ද තෘප්තිමත් නොවූ මෙරට දේශපාලකයෝත් බ්‍රිතාන්‍ය යටත් විජිත කාර්යාලයෙන් වැඩි බලතල ඉල්ලා සිටියහ. 1938 දී කැල්ඩිකොට් කොමිසම ලාංකිකයන්ට අර්ධ ස්වයං පාලන බලතල නිර්දේශ කරමින් ඒ සමගම ආණ්ඩුකාරයාට තිබූ බලතල තවත් වැඩි කළේය. ලංකාවේ තරුණ දේශපාලකයෝ ආණ්ඩුකාරයාට වැඩි බලතල දෙන යෝජනාවට දැඩි ලෙස විරුද්ධ වූහ. ඇමැති තනතුරු හෙබ වූ වැඩිහිටි දේශපාලකයෝ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ යෝජනාව කාරුණිකව පිළිගත්හ.


බ්‍රිතාන්‍ය යෝජනාවට පක්ෂ වූවන් අතර ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, ඩී.ඇස්. සේනානායක, ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක වැනි ඇමැතිවරු වූහ. විරුද්ධ වූ තරුණ දේශපාලකයන් අතර ජේ.ආර්. ජයවර්ධන, ඩඩ්ලි සේනානායක, ඇන්.ඇම්. පෙරේරා, ස්ටැන්ලි ද සොයිසා ඇතුළු පිරිසක් වූහ. ඇමැති ඩී.එස්. සේනානායකගේ පුත්‍රයා වූයේ තරුණ ඩඩ්ලි සේනානායකය. ආණ්ඩුකාරයාට බලතල වැඩි කරන යෝජනාව ගැන මන්ත්‍රණ සභා විවාදයට කලින් දවසේ ඇමැති ඩී.එස්. සේනානායක අතට තැපෑලෙන් ලියුමක් ලැබුණේය. ලිපිය අතට ගත් ඩී. එස්ගේ මුවගට සිනාවක් නැඟුණේ ලිපියේ අත්අකුරු හඳුනාගත් නිසාය. ඒ වුඩ්ලන්ඩ්ස් මන්දිරයේ තමා සමගම වෙසෙන තම පුත්‍රයා වන ඩඩ්ලිගේය. ලිපිය කියවූ ඩී.එස්. සේනානායක ඇමැතිවරයා කඳුළු පිසින අයුරු දුටු ලේකම්වරයාට පුදුම සිතුණේය.
‘මොකද හාමු......’ ලේකම් විමසුවේය.
‘මේ බලාපං..... පුංචි හාමු ලියුමක් එවලා.....’ ඩී.එස්. තමා අත තිබූ ලිපිය තම ලේකම් අතට දුන්නේය. එහි තිබුණේ අපූරු වචන ටිකකි.
ආදරණීය පියාණෙනි; මෑතකදී ඇතිවූ විවිධ දේශපාලන ප්‍රශ්නවල දී ඔබතුමන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය මට එකහෙළා අනුමත කළ නොහැකි බව දන්වන්නේ කනගාටුවෙනි. ඔබ ආණ්ඩුකාරයාගේ පක්ෂය ගැනීම ගැන මට එකඟ විය නොහැකිය. ඔබට විරුද්ධව දේශපාලනය කරන්නට ද මටම නොහැකිය. ඒ නිසා පියාණනි, දේශපාලන කටයුතුවලින් ඉවත්වීමට මට අවසර දෙන්න.
මීට කීකරු පුත්‍ර....
ඇමැති සේනානායක කඳුළු සැලුවේ පුත්‍රයාගේ ලිපියේ අරුත තේරුම් ගැනීමෙනි. බොහෝ වේලා කල්පනා කළ සේනානායක ඇමැතිවරයා තවත් ලිපියක් ලියා තම ලිපිකරු අතේ ඩඩ්ලිගේ කාමරයට යැවීය.
‘ප්‍රිය පුත්‍රය....
‘මගේ අදහස්වලට ඔබ දේශපාලන වශයෙන් විරුද්ධ වීම ගැන මම ප්‍රීතිවෙමි. ඔබගේ සිතට එකඟව ගන්නා තීන්දු මා වෙනස් කරන්නේ නම් එය මා ඔබටත් රටටත් කරන අපරාධයකි. මගේ අදහස්වලට ප්‍රති විරුද්ධ දේශපාලන අදහස් ප්‍රතිපත්ති ඔබ තුළ වීම ගැන මම කිසිසේත් කනගාටු නොවෙමි.
මේ ඔබගේ ආදරණීය පියා, යනුවෙන් එම ලියුමේ ලියා තිබුණේය.
තාත්තලා පුතාලා දේශපාලනය කළේ එහෙමය. මගේ අදහස් පසු පසම එන්නැයි පසුව රටේ අගමැති වූ සේනානායක තම පුත්‍රයාට කීවේ නැත. තාත්තා ඇමැති වූ නිසාම පුතා තාත්තාගේ අදහස්ම අනුමත කළේත් නැත. ඩී.එස්. තම පුතාට ඉගැන්වූවේ ඉහළ නායකත්වයට කීකරුව දේශපාලනය කරන අන්දමය.
ලෝක ඉතිහාසයෙන් උදාහරණ එයට වෙනස්ය. සුද්ධෝදන රජතුමාටත් තිබුණේ තම පුතා තමාගෙන් පසු රජකරවන සිහිනයය. එහෙත් ඒ පුතා රජකම අතහැර බුද්ධ රාජ්‍යයේ රජකම සොයා ගියේය. අවිහිංසාවාදයේ පියා මහත්මා ගාන්ධිගේ පුතා බේබද්දෙක් විය. පිදෙල් කැස්ත්‍රෝගේ පුතා පමණක් නොව දියණියටත් දේශපාලනයට ගෑවුණේවත් නැත. චේගුවේරාගේ දියණිය දේශපාලනයට නෑවිත් නිරූපණ ශිල්පිනියක් වූවාය. ස්ටාලින් තම පුතා දේශපාලනයට නොව රට රකින්න යුද පෙරමුණට යැව්වේය. ඔහු රාජ්‍ය නායකයා වී සිටියදීම පුතා නාසීන්ට හසුව යුද පෙරමුණේ දී මිය ගියේය. මාවෝ සේතුංගේ කිසිම දරුවකු දේශපාලනයට වැද්ද ගත්තේවත් නැත. ඒ දිය පිරුණු කළගෙඩි නොසෙල්වෙන හැටිය.
මේ හැම පුතාලටම වඩා අගනා පුතකු වූයේ රට අලුත්ම දේශපාලන ගමන් මගකට යොමුකළ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවි ජයවර්ධනය. ඔහු අගනා පුතකු වූයේ අන් කිසිම හේතුවක් නිසා නොව පියාගේ උරුමය රැගෙන දේශපාලනයට නොපැමිණි නිසාය. ඔහු ගුවන් නියමුවකු විය. අතිශූර වෙඩික්කරුවකු ද විය. තාත්තා ජනාධිපති වූ පසු ඔහු රට අතහැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට ය. ඔහු යළි මෙරටට ආවේ 1983 ජූලි කලබලවලින් පසු තම පියාගේ ජීවිතය අනතුරේ බව දැනගෙනය. ඔහු පිටරට සිටම ලංකා හමුදාවේ දුර්වලකම් දැක්කේය. යළි රටට ආ ඔහු උතුරේ ඊළාම්වාදීන්ට එරෙහිව ලංකා හමුදාව නවීන ගිනි අවියෙන් සන්නද්ධ කිරීමේත් පිටරට පළපුරුදු යුද හමුදා විශ්‍රාමිකයන් ලවා නවීන සටන් ක්‍රම ගැන පුහුණුවක් ලබා දිය යුතු බවත් දැක්කේය. ඊළාම් අන්තවාදීන්ගේ තුවක්කුවට නිතර බිලිවන මායිම් ගම්මානවල අසරණයන් රැකගැනීම සඳහා ඊශ්‍රායලයේ ක්‍රමයට ගැමියන්ට ආයුධ ලබාදිය යුතු බව දැක්කේය. දැක ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය. පසුකාලීනව ග්‍රාමාරක්ෂක බළකාය බවට පරිවර්තනය වූයේ රවි ජයවර්ධන ඇරඹූ මෙම ස්වෙච්ඡා සේනාංකයයි. ජනාධිපති පුත්‍රයා තම පිටරට මිතුරන්ගෙන් මුදල් එකතුකරගෙන විදේශයෙන්ම තුවක්කු මිල දී ගත්තේය. ඒවා පදවිය, යාන්ඔය තැනිතලාවල සිංහල ගැමියන් අතර බෙදා දුන්නේය. ඒ ගැමියන්ට ඊශ්‍රායල – බ්‍රිතාන්‍ය පුහුණු සොල්දාදුවන්ගේ පුහුණුවත් ලබා දුන්නේය. යුද සමයේ වැලිඔය පදවිය හා යාන්ඔය තැනිතලාව කොටින්ගෙන් රැකගත් ආරක්ෂක පවුර හැදුවේ ජනාධිපති පුත්‍රයාය.
බලසම්පන්න ජනාධිපතිවරයාගේ පුත්‍රයා වුවත් ඔහු කිසිදු දිනයක දේශපාලනයට පා තැබුවේ නැත. මැති ඇමැතිවරුන් කිසිවකු ආශ්‍රය කළේ ද නැත. එකල රටේ පොලිසියට  ජනාධිපති වූ තම තාත්තා ආරක්ෂා කිරීමේ හැකියාව අඩු බව පෙනුණු හෙයින් ඔහු පොලිසියේ ඉහළ නිලධාරීන් පිරිසක් රැගෙන ජනාධිපති ආරක්ෂක අංශය හැදුවේය. ඉන්පසු පොලිසියෙන්ම විශේෂ පිරිසක් තෝරාගෙන  විශේෂ ප්‍රහාරක ඒකකයක් වූ එස්.ටී.එෆ්. බළකාය හැදුවේය. ඉන්දු ලංකා ගිවිසුම අවස්ථාවේ තනිවම ගොස් රජිව් ගාන්ධි හමුවී ත්‍රස්තවාදයේ සැබෑ හැඩරුව විස්තර කළේය. රජිව් ගාන්ධි එල්ටීටීඊයට එරෙහිවීම දක්වා පොලඹවා ගැනීමේ කටයුත්තේ සෑහෙන දායකත්වයක් දැරුවේ රවි ජයවර්ධනය. එහෙත් ඒ ජනාධිපති පුතා කිසිදු දවසක තාත්තාගේ දේශපාලනයේ උරුමය සොයාගෙන දේශපාලන බිමට පා තැබුවේ නැත. එහෙම පුතාලා ලංකා දේශපාලනයේ දී මුණ ගැසෙන්නේ ඉතා විරලවය. ජේ.ආර්. හැත්තෑ හතේ වැඩ පටන් ගත්තේත් තමා රකින්න පරපුරක් ඔටුනු පලඳවන්න කුමාරවරුන් නැති බව කියමින්ය. ඒ කී ලෙසම තමාගෙන් පසු තම පුතුට නොව තමාගෙන් පසු තමාගේ දෙවැනියා වූ අගමැතිට ඔටුනු පලඳා ජේ.ආර්. දේශපාලන බිමෙන් සමු ගත්තේය.
ජේ. ආර්. ගේ පුතා
කිසිදු දවසක ජනාධිපති පියාගේ බලතලවලින් දළදා මාළිගාව ඉදිරිපිට කාර් රේස් තරග පවත්වන්නට ගියේ නැත. රටේ නීති කඩා තමාගේ මිතුරන්ට මිල අධික ලැම්බෝගිනි කාර් ගෙනත් දුන්නේ නැත. තාත්තාගේ කැබිනට්ටුවේ අහවලා අයින් කරන්න යැයි උපදෙස් දුන්නේ නැත. ත්‍රස්තවාදය නැඟ එද්දී ඔහු ජනාධිපති තාත්තාට අලුත් ආරක්ෂක උපක්‍රම කියා දුන්නේය. අනුරපුර ජයශ්‍රී මහා බෝධිය ඉදිරිපිට මහා මිනිස් ඝාතනයෙන් පසු රවි ජයවර්ධන ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයක් පිහිටුවීමට තම පියා උනන්දු කළේය. ඒ සඳහා අත්දැකීම් පිරි සෙන්පතියකු වූ ජනරාල් සිරිල් රණතුංග පත්කර ගත්තේ ද රවි ජයවර්ධනගේ කැපවීමෙනි. හමුදාව ත්‍රස්තවාදීන්ට පහර දෙමින් ඉදිරියට යන්න පටන් ගත්තේ ජනරාල් රණතුංග මෙහෙයුම් ප්‍රධානියා වූ පසුවය. රටට වුවමනා එවැනි ජනාධිපති පුතාලාය.


පියාගේ අභාවයෙන් පසු හිරිමල් යොවුන් වියේ දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ මහින්ද රාජපක්ෂ ආරම්භයේදීම එකතු වුණේත් පුතාලා තුන් කට්ටුවකටය. එක් අයකු වූයේ බණ්ඩාරනායක අගමැති යුවළගේ එකම පුත්‍රයා වූ අනුර බණ්ඩාරනායකය. අනෙක් තැනැත්තා වූයේ කැකිරාව හිටපු ශ්‍රීලනිප මන්ත්‍රී ඒ.එම්. ජිනදාසගේ පුත් ජනක් මහේන්ද්‍ර අධිකාරිය. එවකට මේ තුන්දෙනාම හිරිමල් යෞවනයේය. තුන්දෙනාම අප්පලාගේ උරුමය සොයාගෙන පාර්ලිමේන්තු ආ තරුණයන්ය. තිදෙනාගේම සෙල්ලක්කාර වයසය. තිදෙනාම මදුවිතට පෙම් කළ උදවියය. එක්දහස් නවසිය අසූ ගණන්වල මුල් භාගයේ මේ තිදෙනා පාර්ලිමේන්තුවේ අපූරු ‘බඩු තුනකි’ බණ්ඩාරනායක පවුලේ දේශපාලන ප්‍රශ්නවල දී මහින්ද ගත්තේ තම අඹයහළුවා වූ අනුරගේ පැත්තය. අනුරට ප්‍රශ්න තිබුණේ අක්කා එක්කය. මස්සිනා වූ විජය එක්කය. ශ්‍රීලනිපයේ සුළිසුළං සමයේ අනුරත් සමගම සිට ඒ සුළිසුළං ප්‍රවාහයෙන් යමක් කමක් ඉගෙන ගත් මහින්ද තමන්ගේම දේශපාලන ගමනක් ඇරඹුවේය. අනුර සහ ජනක් මහේන්ද්‍ර දිගින් දිගටම මදුවිතට පෙම් බැන්දෝය. ඒ තමන්ගේ දේශපාලන ගමනේ අග්‍රඵලය ලෙස 2005 දී ජනපති පුටුවට මහින්ද නැඟගත් විට අනුර බණ්ඩාරනායක සිටියේ අක්කා සමග යළිත් මිතුරු වී මහින්දට විරුද්ධවය. ඒ නිසාම මහින්ද ජනපති වෙද්දී අනුරට අගමැති තනතුර හිමිවූයේ නැත. මහින්ද ජනපති පුටුව දක්වා ගිය ගමන නවක දේශපාලකයකුට ඉගෙන ගැනීමට අගනා පාඩම් මාලාවකි. නාමල් දැන් උත්සාහ කරන්නේත් පියාගේ ඒ පාඩම් මාලාව හදාරන්නය. විපක්ෂයේ සිට අරගලකාරී දේශපාලනයක යෙදීම මහින්දගෙන් ඉගෙන ගත හැකි හොඳම පාඩමය.
නාමල්ට වඩාත් වාසිදායක වන්නේ රනිල්ගේ ජයග්‍රහණය නොවේ. සජිත්ගේ ජයග්‍රහණයය. සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවහොත් විපක්ෂනායකවරයා ලෙස පත්වීම නාමල්ගේ ඉලක්කයය. එය දේශපාලනික වශයෙන් නිවැරදි තීන්දුවකි. විපක්ෂයේ සිට දේශපාලන අනාගතයක් ගොඩ නගා ගැනීමට ඔහුට පුළුවන. ඔහුගේ පියා වන මහින්ද රාජපක්ෂ දේශපාලන අනාගතය ගොඩ නඟා ගත්තේ ද විපක්ෂයේ සිටය. නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක තනතුර ලබා ගත්තේ ද මෙම අරමුණෙන් වුවත් පක්ෂයේ බොහෝ දෙනා ආණ්ඩුවෙන් එළියට යාමට කැමැත්තක් නැත. ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවන දවස දක්වාම පොහොට්ටු නායකයන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළේ මේ ගැනය. පොහොට්ටුව දෙදරීම වළක්වා ජනාධිපතිවරයාට සහාය දී ලබන මහා    මැතිවරණ​ෙය් දී      වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් පත්කර ගන්නා ආකාරය ගැන පැවැති මෙම සාකච්ඡා සාර්ථක වූයේ නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ස්වාධීනව තරග වදින ජනාධිපතිවරයාට සහාය දීමට පොරොන්දු වීමෙනි. රාජපක්ෂවාදීන් ජනාධිපතිවරයාට සහාය දීමේ සහ නොදීමේ වාසි අවාසි රාජ්‍ය ඇමැතිවරුන් කණ්ඩායමකගේ නිරීක්ෂණයට ලක්ව ඇත්තේ මේ අන්දමිනි.
‘රාජපක්ෂවරුන් ඉවත්ව ගියේ නම් ජනාධිපතිවරයාට සුළු ජාතික සහාය වැඩි වේ. එමෙන්ම සමගි ජන බලවේගයේ පැරැණි එජාප මන්ත්‍රීවරුන්ට ජනපති සමග එකතුවීමේ ලොකුම බාධාව රාජපක්ෂවාදීන්ය. එම බාධාව ඉවත් වේ. 
අවාසි වන්නේ සිංහල දිස්ත්‍රික්කවල ඇති පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ජනාධිපතිවරයාට නොලැබීමය. ගම් මට්ටමේ පොහොට්ටු ඡන්ද රැඳී ඇත්තේ මහින්ද රාජපක්ෂ මූලික කරගනිමිනි. එම ඡන්ද ප්‍රමාණය මෙම ජනාධිපතිවරණයේ දී ඉවත දැමිය නොහැකි විශාල කොටසකි.


පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ප්‍රසිද්ධියේම කියා සිටියේ ජනාධිපතිවරයා පක්ෂ කැඩීමට දක්ෂ​ෙයකු බවය. එලෙසම තම පක්ෂය ද කඩන්නට උත්සාහ කළ බවය. ඔහු ඒ බව පවසමින් පොහොට්ටුවට අගමැති ධුරය ද ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වය අතර දිගු කාලයක් පැවැති සාකච්ඡා වාරවල දී අගමැති ධුරය ප්‍රධානම ඉල්ලීමක් ලෙස පවතින්නට ඇත. ඉකුත් දිනවල දෙපාර්ශ්වය සාකච්ඡා කළේ තම තමන්ගේ පක්ෂවලට ලැබෙන මන්ත්‍රී කෝටාව ගැන මිස රට හදන ඉදිරි වැඩපිළිවෙළ ගැන නොවේ. දිගින් දිගටම සිදුවන්නේ මේ දේශපාලන ගනුදෙනුවය. මේවා දේශපාලන ගනුදෙනු මිස රට හදන ප්‍රතිපත්ති නොවේ. ගනුදෙනු න්‍යාය පත්‍රය ළඟ තබාගෙන රට හදන ප්‍රතිපත්ති ටිකක් දමා ප්‍රතිපත්ති ප්‍රකාශන මුද්‍රණය කළාට ආණ්ඩු හැදූ පසු පාවිච්චි කරන්නේ තම තමන්ගේ ගනුදෙනු න්‍යාය පත්‍රයය. කවුරු බලයට ආවත් මේ ක්‍රියාවලිය නවතින්නේ නැත.