කොළඹ එතෙර (කළම්ඹු ඕවසීස්) විද්‍යාලයේ, කොළඹ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 23 සැසිවාරයේ ප්‍රධාන ආරාධිතා අමුත්තා ලෙස සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොල්තෙල් පහන දල්වමින් හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මිය ඒ අසල වෙයි. (ඡායාරූප ඉෂාන් සංජීව)
(හර්ෂණ තුෂාර සිල්වා)
බලාපොරොත්තු රහිතව එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටිනවාට වඩා එකට එක්වී සෙමෙන් සෙමෙන් ඉදිරියට යෑම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (3) ප්‍රකාශ කළේය.
සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජාතීන් බෞද්ධ, ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි ආගම් අදහන පුද්ගලයන් ඇතුළු සියලු පාර්ශව එක් ශ්‍රී ලංකාවක් යටතට ගනිමින් රට ඉදිරියට ගෙන යෑම සඳහා කටයුතු කරන්නේ යැයි සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා අනෙකාගේ අයිතිවාසිකම්වලට ගෞරව කළ යුතු යැයි ද අනෙකාගේ සාධාරණ ඉල්ලීම් පිළිගත යුතු යැයි ද කීවේය.
කොළඹ එතෙර (කළම්ඹු ඕවසීස්) විද්‍යාලයේ පැවැති කොළඹ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 23 සැසිවාරයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව පැවැසීය.
සෑම අවස්ථාවකදීම තම ආගම ජාතිය සම්බන්ධයෙන් ආඩම්බර වෙමින් ඒවා ආරක්ෂා කිරීමට කටයුතු කරන අතරේම අන් ආගම්, අන් ජාතීන්ට ගෞරව කළ යුතු බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
කිසිදු අවස්ථාවකදී කිසිවකුටත් වෛරය ආයුධයක් කර ගනිමින් තවත් අයෙක් පහත හෙළන්නට ඉඩ නොදෙන්නැයි ද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිසුන් හමුවේ කීය.
එහිදී සිසුන් ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
“වසර ගණනාවක් තිස්සේ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයක් සහ එක්සත් ජාතීන්ගේ ආදර්ශ සැසිවාර පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පාසලටත්, විදුහල්පතිවරයාටත්, ගුරුවරුන්, කාර්යමණ්ඩලය ඇතුළු සියලු පාර්ශවවලටත් මම කෘතඥ වෙනවා. එය පහසු කටයුත්තක් නෙමෙයි. එම නිසා එය ඇගයිය යුතුයි.
අද ඔබ දන්නා පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානයට විවිධ චෝදනා එල්ලවී තිබෙනවා. ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙන් දේශපාලනය තුළ සිදුව ඇති වර්ධනය නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩි වැඩියෙන් චෝදනා එල්ල වෙනවා. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකය තුළ සාමය පවත්වාගෙන යෑමට සමත්වූ බව අප සැවොම පිළිගත යුතුය. එයයි ප්‍රධාන කරුණ.
වසර 1945 සිට ප්‍රධාන යුද්ධයක් නොමැතිව ලෝකය තුළ සාමය පවත්වාගෙන යෑමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමත් වූ බව අප පිළිගත යුතුයි. පසුගිය කාලයේදී ලෝක බලවතුන්ගේ සටන්, නිරවි යුද්ධය, න්‍යෂ්ටික ආයුධ ආදිය මධ්‍යයේ ලෝකයේ සාමය පවත්වා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමත් වුණා.
කොළඹ එතෙර (කළම්ඹු ඕවසීස්) විද්‍යාලයේ ප්‍රධානි ෆිල් ජොස්ලින් මහතා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිරිනමමින්.
අද අපි මුහුණ දෙන ලෝකයත් 1945 තිබූ ලෝකයත් යනු දෙකක්. ජපානය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට විරුද්ධව යමින් සටන් කළා. ජර්මනිය, ඉතාලිය සහ ජපානයේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාකාරකම් නිසා දෙවැනි ලෝකය යුද්ධය ඇති වුණා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ නායකයන් පවා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රම අනුගමනය කළා. පැසිට්ස්වාදීන් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව සටන් කළා. ඊට එරෙහිව ලොව රටවල් එක්වුණා.
එවකට ලොව බලවත්ම ආර්ථිකය හිමිව තිබූ ඇමෙරිකා එක්සත් ජනපදය, එවකට විශාලම රාජධානිය හිමි බි්‍රතාන්‍යය අධිරාජ්‍යය, සෝවියට් සමූහාණ්ඩුව, චීනය එක්ව සටන් කළා. සෝවියට් සමූහාණ්ඩුව එවකට පැවැති විශාලතම සහ ප්‍රධානතම කොමියුනිස්ට් රාජ්‍යය වූවා පමණක් නොව විශාල බලයක් අධිරාජ්‍යයක් පවත්වාගෙන යෑමට ද සමත් වුණා. එවකට කඩා වැටෙමින් පැවැතිය ද චීනය ද ඇමෙරිකාව, රුසියාව හා බි්‍රතාන්‍යය සමඟ එක්ව සටන් කළා.
එවකට අපේ රට බි්‍රතාන්‍යය අධිරාජ්‍යය කොලනියක්ව පැවැතියා. එසේ වුවත් 1942 වන විට අපට සර්වජන ඡන්ද බලය හිමිව තිබුණා. මේ වන විට මැලේසියාව, සිංගප්පූරුව කඩා වැටෙද්දී මියන්මාරය පැසිස්ට් කඳවුරට සහාය දුන්නා. ඒ වන විට සර්වජන ඡන්ද බලයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ රාජ්‍ය සභාවක් පත්ව තිබුණු අතර ඇමෙරිකාව, සෝවියට් සමූහාණ්ඩුව සහ බි්‍රතාන්‍යයට සහාය දීමට රාජ්‍ය මන්ත්‍රණ සභාව තීරණය කළා. එවකට ආසියාවේ පාර්ලිමේන්තුවක් හිමි පළමු රට අප වූවා පමණක් නෙවෙයි දෙවැනි ලෝක යුද්ධයේදී පාර්ලිමේන්තුව ඔස්සේ එවැනි තීරණයක් ගත් පළමු රට වූයේත් අපියි. ලංකා සම සමාජ පක්ෂයේ සාමාජිකයන් සියලු යුද්ධවලට විරුද්ධ බව පවසමින් එම තීරණයට සම්බන්ධ වුණේ නැහැ.
කෙසේ වෙතත් නිදහස ලැබුවායින් පසුව අපි අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නා. අපට එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ වෙන්න බැරි වුණා. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ වීම නවතාලීමට සෝවියට් සමූහාණ්ඩුව කටයුතු කළා. අපි දෙවැනි ලෝක යුද්ධය සමයේ ඇමෙරිකාව සහ බි්‍රතාන්‍ය සමඟ සම්බන්ධව කටයුතු කළ බව පවසා සෝවියට් සමූහාණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපේ ඇතුළත්වීම නවතා දැමුවා. ඊට ප්‍රතිචාරයක් ලෙස ඇමෙරිකාව සහ බි්‍රතාන්‍ය මොංගෝලියාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දීම නවතා දැමුවා.
ඒ කාලයේදී සර් ජොන් කොතලාවල මහතා මගේ තාත්තා යැව්වා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. මගේ තාත්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගොස් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කළා. සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සෝවියට් සමූහාණ්ඩුව ඔවුන්ගේ විරෝධතා ඉවත් කර ගත්තා. ඒ වගේම ඇමෙරිකාව සහ බි්‍රතාන්‍ය ඔවුන්ගේ විරෝධතා ඉවත් කර ගත්තා. ඒ අනුව අපටත් මෝංගෝලියාවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය හිමි වුණා. මොන දේ වුණත් එදා සිට අප එක්සත් ජාතීන්ගේ සමීපතම සාමාජිකයෙක් සහ සෑමවිටම එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහාය දුන් රටක්.
අද වන විට අපිට හිට්ලර්, මුසලෝනි වැනි නායකයෝ දකින්න නැහැ. සදාම් හුසේන් කුවේට් රාජ්‍යය ආක්‍රමණය කිරීම වැනි අවස්ථා කිහිපයක් තිබෙනවා. එහෙත් අපි අද මුහුණ දෙන යුද වැදීම් ඊට හාත්පසින්ම වෙනස්. අද දකින්න තිබෙන්නේ ත්‍රස්තවාදීන් සමඟ කෙරෙන යුද වැදීම්. ත්‍රස්තවාදී සංවිධාන ඇති වීමට හේතුවී තිබෙන්නේ වැරැදි ආගමික හෝ ජාතික හෝ අර්ථකතන. අපිත් එවැනි අත්දැකීමකට මුහුණ දුන්නා. ජාතිකත්වය ජාතිය ගැන වැරැදි අර්ථකතන නිසා අපි වසර තිහක යුද්ධයකට මුහුණ දුන්නා.
සම්මුතිවාදයෙන් එය විසඳාගන්න කිසිවකුත් උත්සාහ කළේ නැහැ. එවැනි තත්ත්ව තුළ ගැටුම් ඇතිවීම වැඩි වෙනවා.
අපේ ප්‍රශ්නය ජාත්‍යන්තරයටත් ගියා. ජාතික ප්‍රශ්න ජාත්‍යන්තරයට ගියාම ප්‍රශ්න තවත් පුළුල් වෙනවා. එහිදී ප්‍රශ්නවලට විසඳුම් සෙවීම තව තවත් දුෂ්කර වෙනවා. එවැනි අවස්ථාවලදීත් ප්‍රශ්න තව තවත් වැඩි වෙනවා. රාජ්‍ය නොවන පාර්ශව මේ ප්‍රශ්නවලට සම්බන්ධ වෙනවා. රාජ්‍ය නොවන පාර්ශවයේ වපසරිය වැඩිය. ඔවුන් පුළුල් පරාසයක පැතිර තිබෙනවා. සමහර අවස්ථාවලදී හඳුනාගැනීම අපහසුයි. රාජ්‍ය නොවන පාර්ශව සමඟ කටයුතු කිරීම රටක් සමඟ කටයුතු කිරීමට වඩා දුෂ්කරයි. එවැනි අවස්ථාවලදී රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන පාර්ශව ලෙස ඔබ සැම නුවණක්කාරී ලෙස කටයුතු කළ යුතුයි. මෙවැනි අවස්ථාවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් විශාල අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. රාජ්‍යය සමඟත් රාජ්‍ය නොවන පාර්ශව සමඟත් කටයුතු කරන්න වෙනවා. එහිදී දෙපාර්ශවය පාලනය කර ගන්න, කළමනාකරණය කර ගන්න අපි දක්ෂ විය යුතුයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෙස ඔබ ජාතික නායකයන්, දේශපාලන නායකයන් මෙන්ම රාජ්‍ය නොවන පාර්ශව සමඟ කටයුතු කරන්න වෙනවා. එක්සත් ජාතීන්ගේ මුහුණ දෙන අභියෝගය එයයි. මූලික වශයෙන් ඔබට මිනිස්සු සමඟ කටයුතු කරන්න.
එවැනි අවස්ථාවලදී ජාතිකවාදීන් ආදී විවිධ පාර්ශවවල මිනිස්සු විවිධාකාර ආගම්වල, ජාතීන්වල මිනිස්සු සමඟ කටයුතු කරන්න ඔබට සිදුවෙනවා. අප රටට අත තබන්න දෙන්නේ නැහැ කියන පාර්ශව ඉන්නවා. අපේ ආගම අපේ ජාතිය අන් සියල්ලටම වඩා ඉහළින් තිබෙන බව කියන පාර්ශව සිටිනවා. මගේ රට තම උසස්ම රට, මේ භූමිය අපෙන් ගන්න බැහැ කියන පාර්ශව සිටිනවා. අද වන විට ඕනෑම රටකට ගියාම මේ දේවල්වලට මුහුණ දෙන්න වෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන විවිධතා තිබෙන රටවලදී ඔබට විවිධ පාර්ශව සමඟ කටයුතු කරන්න වෙනවා. වෛරය ගැන කතා කරන්න මිනිස්සු, අනෙක් අය නොසලකා හරින වෛරය පතුරුවන සමාජ කොටස් සමඟ කටයුතු කරන්න වෙනවා. වෛරය මත ආගමික, ජාතික, වෛරය පදනම් කර ගෙන කටයුතු කරන දේශපාලකයන් සමඟ කටයුතු කරන්න වෙනවා. මේ තත්ත්වය අපේ රටේ විතරක් නෙමෙයි අනෙක් රටවලත් දකින්නට ලැබෙනවා. දැන් මේ තත්ත්වය මෙය අපේ කලාපයේ පමණක් නෙමෙයි ඇමෙරිකාවේත්, යුරෝපයේ රටවලත් දකින්නට තිබෙනවා.
අපි මේ තත්ත්වය නැවැත්විය යුතුයි. පුද්ගලයකුගේ ජාතිය, ආගම, සමාජ තත්ත්වය හෝ අන් යමක් යොදාගෙන වෛරය පතුරුවමින් ඔවුන් පහත් කිරීමට ඔබ ඉඩ නොදිය යුතුයි. කිසිවකුත් වෛරය යොදා ගනිමින් පහත් කිරීමට ඔබ ඉඩ නොදිය යුතුයි. ඔබේ දෛනික කටයුතුවලදී, ලංකාවේ හෝ වෙනත් රටක හෝ සිටියදී වෛරය ආයුදයක් කර ගන්න කිසිවකුටත් ඉඩ දෙන්න එපා. අපි ලංකාවේදී මේ තත්ත්වයට මුහුණ දුන්නා. කැරලි ගැසීම් ඇතිවෙයි කියලා අපි හිතුවේ නැහැ. අපේ රටේ කැරලි ගැසීම්, ආගමික, ජාතික බෙදුම්වාදය ඇති වුණා. ආගම්වලට ජාතීන්වලට එරෙහිව ප්‍රචණ්ඩත්වය දියත් වුණා. රටේ විවිධ පැතිවල ආගමික සහ ජාතික ප්‍රචණ්ඩත්වය, ජාතිකත්වය, ජාතිවාදී ගැටුම් ඇති වුණා.
යුද්ධයෙන් පසු අපේ රටේ මිනිස්සු එකතු වේවි කියලා අපි හිතුවා. එහෙත් එය සාර්ථක වුණේ නැහැ. අපි 2015 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය දිනා ගනිමින් අපි රට එක්සත් කරන්න, සියලු පාර්ශව එක ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි කටයුතු කරමින් සිටිනවා. එය පහසු නැහැ. අද අපේ සමහර දේශපාලකයන් තමන්ගේ වාසිය උදෙසා මිනිසුන් කෝප ගන්වනවා. ලේ වැගිරීම් සිදු කිරීමට උත්සාහ කරනවා. ඔවුන් දිනපතා එය සිදු කරනවා.
අපි අපේ ආගම, ජාතිය ගැන ආඩම්බර විය යුතුයි. තවත් අයෙකුට දෙවැනි විය යුතු නැහැ. එහෙත් අපි අනෙකාගේ ආගමට, අනෙකාගේ ජාතියට ගෞරව කළ යුතුයි. ඔවුන්ගේ අයිතිය පිළිගත යුතුයි. එය සිදු විය යුත්තේ ජාතික එකමුතුකම, ජාතික සංහිඳියාව තුළයි. අද මෙතැන විවිධ රටවල්වල, විවිධ ආගම්වල, විවිධ ජාතීන්වල සිසුන් ඉන්නවා. ඔබ අද මෙතැන ඉගෙන ගන්නා දේවල් ඉතා වැදගත්.
අසල්වැසියන්, ඔබේ මිතුරන් සමඟ කටයුතු කිරීමේදී, ඔබේ ප්‍රජාව සමඟ කටයුතු කරද්දි අනෙකාගේ භාෂාව පිළිගත හැකි නම් අනෙකාගේ සාධාරණ ඉල්ලීම් අනුමත කළ හැකි නම් එය ඉතා වැදගත්. ඔබ කොතැනක කටයුතු කළත් පිරිස අතරේ පොදු එකඟතාවක් ඇති කර ගැනීමට හැකි නම් එයින් ප්‍රශ්න රැසක් විසඳෙනවා. පොදු එකඟතාවක් සොයාගැනීමට හැකි නම් ඔබට ඉදිරියට යා හැකියි. එය ඉතා වැදගත්. පුද්ගල වර්ධනයට, ප්‍රජාවේ වර්ධනයට, ජනතාවගේ වර්ධනයට හේතු වෙනවා.
ජනාධිපති සිංහල, බෞද්ධ, මුස්ලිම්, ඉස්ලාම්, ක්‍රිස්තියානි, දෙමළ ආදී අපේ රටේ ආගම් සහ ජාති එකතු කර ගැනීම ඉතා දුෂ්කර කාර්යයක්. සියලු පාර්ශව එක් කර ගත් ප්‍රශ්නවලින් අඩක් විසඳෙනවා. ඒ අතින් බලද්දි එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කර ගැනීම ඊටත් වඩා දුෂ්කර කාර්යයක්. එහෙත් පක්ෂ දෙක එකතු කර ගැනීමට අප සමත් වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ අපේ ආණ්ඩුව ඉදිරියට ගමන් කරමින් සිටිනවා. අද අපි සෙමෙන් ඉදිරියට යනවා. සමහර අවස්ථාවලදී ඉක්මන් තීරණ ගැනීමටත් අවස්ථාව ලැබෙනවා වගේම සමහර අවස්ථාවලදී තීරණ ගැනීම ප්‍රමාද වෙනවා. ඒ කෙසේ වුවත් අපි ඉදිරියට යනවා. කිසිවක් නොකර, දෙපැත්තකට බෙදී චෝදනා කර ගනිමින් බලාපොරොත්තු රහිතව සිටිනවාට වඩා මෙම ක්‍රමය හොඳයි.
එම නිසා ඔබ සැමට කාර්යයක් තිබෙන බව අමතක නොකළ යුතුයි. එක්සත් ජාතීන්ගේ මේ ආදර්ශ ක්‍රමය ඉතා වැදගත්. මෙහිදී සාකච්ඡා කෙරෙන පරිසර, ආර්ථික, දේශපාලන, සෞඛ්‍ය ක්ෂේත්‍ර ආදිය ඉතා වැදගත්. ඔබ ඉගෙනා ගන්නා සමාජ අගනාකම් මේ ප්‍රශ්නවලට අභියෝගවලට ඔබටත් අප සැමටත් ඉදිරි වසර විස්සක කාලයේදී මුහුණ දීමට සිදුවෙනවා. ඒ වන විට මේ අර්බුද සම්බන්ධයෙන් ඔබ අධ්‍යාපනය ලබා තිබෙනවා. ප්‍රශ්න ගැන දැනුමක් තිබෙනවා. ඒ නිසා මේ කාර්යය සම්බන්ධ වූ සියලු පාසල්වලට, සියලු සිසු සිසුවියන්ට මම සුබ පැතුම් එක් කරනවා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීය.
මෙහිදී ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා, ආදර්ශ එක්සත් ජාතීන්ගේ සැසිවාරයේ සභාපතිවරයා, අනෙකුත් ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානවල තනතුරු සඳහා සිසුන් පත් කිරීම සිදු කළ අතර සැසිවාරද පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතර ඔහු ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සැසිවාරය ආරම්භ කරමින් සභාව ඇමැතීමද සිදු කෙරිණි.
කොළඹ එතෙර (කළම්ඹු ඕවසීස්) විද්‍යාලයේ ප්‍රධානි ෆිල් ජොස්ලින් මහතා විසින් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිරිනමනු ලැබිණි.
මෙම අවස්ථාවට කොළඹ එතෙර (කළම්බු ඕවසීස්) විද්‍යාලයේ ගුරුවරුන්, සිසුවියන්, ඇතුළු පිරිසක් එක්වූහ.