?සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
මයන්ත දිසානායක
- මුදල් කාරක සභාවේ හිටපු සභාපතිගේ ක්‍රියාකාරීත්වය ගැන ආණ්ඩුවටයි විපක්ෂයටයි ගැටලුවක් තිබුණා.
රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරය සම්බන්ධයෙන් ඉකුත් දිනවල මතභේදාත්මක කතාබහක් ඇති වූයේ එහි සභාපති ධුරය සඳහා විපක්ෂයෙන් නම් කළ යුතු නාමයෝජනාව සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කර තිබියදී ආණ්ඩු පක්ෂය සමගි ජන බලවේගයේම පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ නම ඊට යෝජනා කරන ලද බවටත් ඒ අනුව දිසානායක මන්ත්‍රීවරයා එම සභාවේ සභාපති ධුරයේ වැඩ ආරම්භ කිරීමත් නිසාය. කෙසේවෙතත් මයන්ත දිසානායක මන්ත්‍රීවරයා පසුව මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ තමන් මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වන බවය. මේ සිදුවීම් දාමය අලළා මයන්ත දිසානායක මන්ත්‍රීවරයා සමග ඉරිදා ලංකාදීපය කළ සාකච්ඡාවක් මෙසේය.
?රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට යවන බව ඔබ මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වා. ඒක යවලද තියෙන්නෙ?
නිල වශයෙන් යවලා තියෙන්නෙ. කතානායකතුමා ඒක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරයි.
?ඔබ ආණ්ඩුවේ ඇමකට අහුවුණා කියලා හිතෙන්නෙ නැද්ද?
නෑ එහෙම හිතෙන්නෙ නෑ. මම මේ කාටවත් මඩක් එල්ල කරනවා නෙවෙයි. මුදල් කාරක සභාවේ හිටපු සභාපතිවරයගේ ක්‍රියාකාරීත්වය ගැන ආණ්ඩු පක්ෂයටයි විපක්ෂයටයි ගැටලුවක් තිබුණා. රජයේ නිලධාරීනුත් ඒ මතයේ හිටියා.
?එතුමාගෙ ක්‍රියාකාරීත්වය ගැන විපක්ෂයටත් ප්‍රශ්න තිබුණා කියලද ඔබතුමා කියන්නෙ?
විපක්ෂයටත් තිබුණා.
?ඒ ප්‍රශ්න මොනවද කියලා ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද?
ඒ ගැන දීර්ඝව කතා කරන්න දැන් අවශ්‍ය නෑ කියලයි මම හිතන්නෙ. හැබැයි එහෙම ගැටලුවක් තිබුණා. ඒ නිසා තමයි මම කිව්වෙ සියලුම පාර්ශවවල එකඟතාව මත මේ තනතුරට මාව පත් කරනවා නම් මම ඒක භාර ගන්න සූදානම් කියලා.
?ඔය කාරණාවෙදී කියවුණු දෙයක් තමයි කතානායකතුමා ඔය තනතුර භාර ගන්න කැමතිද කියලා ඔබෙන් ඇහුවා කියලා. ඒක ඇත්තද?
මම කතානායකතුමාට කතා කළා. මොකද මට ආරංචි වුණා ඇතුළේ ගැටලුවක් ඇති වෙන්න ඉඩ තියෙයි කියලා. කතානායකතුමා කියන්නෙ මගෙ අප්පච්චිගෙ දිගු කාලීන මිතුරෙක්. එතුමා මගෙන් ඇහුවා මේ කමිටුවෙන් ඔයාගෙ නම සභාපති ධුරයට යෝජනා කළොත් ඒක භාර ගන්න කැමතිද කියලා. මම ඒ වේලාවෙ කිව්වා පොදු එකඟතාවකින් මාව පත් කරනවා නම් මම ඒක භාර ගන්න සූදානම් කියලා.
?නමුත් ඒ වෙනකොටත් මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම යෝජනා කරලා තිබුණෙ. එහෙම නම් කරලා තියෙද්දි ඔබතුමා ඒ ගැන කතානායකතුමාට කතා කරපු එක වැරදියි කියලා හිතෙන්නෙ නැද්ද?
නෑ. පත්වීම දෙන්නෙ ඒ කමිටුවෙන්. මම ලක්ෂ්මන් කිර්ඇල්ල මන්ත්‍රීතුමාටත් කිව්වා මේක මගෙ ඇඟ උඩ පටවන්න එපා කියලා. මුදල් කාරක සභාව කියන්නෙ පාර්ලිමේන්තුවේ තියෙන වැදගත්ම කමිටුව. මුදල් පනත් වගේම ආණ්ඩුවේ ඇතැම් ප්‍රතිපත්තිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ මේ කාරක සභාව හරහා. ඒ වගේම අයවැය ලේඛනය හරිද වැරදිද කියලා බලන එකත් මුදල් කාරක සභාවේ වගකීමක්. ඒ නිසා මේ කාරක සභාව දෙස දේශපාලන කෝණයකින් නොබැලිය යුතුයි. 2021 දී මම පාර්ලිමේන්තුවේදී විවෘතවම කිව්වා මන්ත්‍රීවරුන් 225 දෙනාම එකට එකතු වෙන්න ඕන කියලා. එහෙම නොවුණොත් මේ රට විශාල ආර්ථික, දේශපාලන සහ සාමාජීය අගාධයකට ඇද වැටෙන්න පුඵවන් කියලා. ඒ කිව්වා වගේම 2022 වෙද්දි ඒක වුණා.
?ඔබ පැහැදිලි කරපු විදියට රාජ්‍ය මුදල් කාරක සභාව කියන්නෙ විශාල වගකීමක් පැවරෙන කමිටුවක්. ඔබ තරුණ දේශපාලනඥයෙක්. ඒ නිසා කෙනෙක්ට අහන්න පුළුවන් ඒ කමිටුවේ සභාපති ධුරය දරන්න ඔබට සුදුසුකම් තියෙනවද කියලා?
හොඳ ප්‍රශ්නයක්. 2015 - 2016 කාලේ මේ කාරක සභාව ආරම්භ කරපු කාලේ මමත් ඒකේ සාමාජිකයෙක්. ඒකේ සභාපතිවරයා වශයෙන් නම් කළේ සුමන්තිරන් මන්ත්‍රීවරයාව. මේ කමිටුවේ සභාපති ධුරය සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව පත් කරන්න ඕන කියන එක විතරයි මම ඒ වෙද්දි දැනගෙන හිටියෙ. ඒ කාලෙ අපි ආණ්ඩු පක්ෂයේ. මම පසුපෙළ මන්ත්‍රීවරයෙක්. මුදල් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් අතරින් සභාපති ධුරයට කෙනෙක්ගෙ නමක් යෝජනා කළ යුතුයි. ඊට පස්සෙ ඡන්දෙකටත් යන්න ඕන. ඒ බව ස්ථාවර නියෝගවල සඳහන් වෙලා තිබුණා. සභාපති ධුරය විපක්ෂයට හිමි විය යුතු නිසා කවුරුහරි එවෙලේ කිව්වා ආචාර්ය බන්දුල ගුණවර්ධනට ඒක දුන්නොත් හොඳයි කියලා. මමත් කිව්වා එතුමා හොඳයි කියලා. ඊට පසසෙ තමයි කියැවුණේ සුමන්තිරන් මන්ත්‍රීවරයාව සභාපතිවරයා හැටියට පත් කරන්න ආණ්ඩු පක්ෂයේ එකඟතාවක් තියෙනවා කියලා. ඊට පස්සෙ තමයි අපි සුමන්තිරන් මන්ත්‍රීවරයා නම් කරලා පත් කරගත්තෙ. ඒක ප්‍රසිද්ධ රහසක්.
මම දිගටම මේ කාරක සභාවේ හිටියා. සුමන්තිරන් මන්ත්‍රීවරයාට හදිසියේ මොකක්හරි වැඩක් යෙදිලා එන්න බැරි වුණොත් මට මැසේජ් එකක් එවලා කියනවා අද කමිටුවේ සභාපති ධුරයේ වැඩ කරන්න කියලා. විශේෂ මුදල් පනත් සාකච්ඡාවට ගන්නා අවස්ථාවලදීත් එතුමා මගේ නම සභාපති ධුරයට යෝජනා කරලා ගිය අවස්ථා තිබුණා. එතකොට මම මුදල් කාරක සභාව මෙහෙයවලා තියෙනවා. වැඩ බලන සභාපතිවරයා වශයෙන් කටයුතු කරලා තියෙනවා. අවුරුදු ගාණක් මේ කාරක සභාවේ සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. එහෙනම් මට යම්කිසි සුදුසුකමක් නැද්ද ඒකෙ සභාපති ධුරය දරන්න. මහවැලි ව්‍යාපාරය හදන්න මූලික වෙලා වැඩ කරපු මගේ පියා ගාමිණී දිසානායක ඉංජිනේරුවෙක් නෙවෙයි. ඒත් එතුමා අවුරුදු 30 කින් වැඩ නිම කරන්න සැලසුම් කරලා තිබුණු මහවැලි ව්‍යාපෘතිය අවුරුදු හයකින් අවසන් කරලා මේ රටට අලුත් සංස්කෘතියක් හඳුන්වලා දුන්නා. ලලිත් ඇතුලත්මුදලි මහත්තයා ඉංජිනේරුවෙක්වත් වරාය පිළිබඳ විශේෂඥයෙක්වත් නෙවෙයි.
එතුමා නීතිඥයෙක්. ඒත් ලෝකයේ තියෙන හොඳම වරායවල් ලංකාවේ හදන්න එතුමා මූලික වෙලා කටයුතු කළා. එතුමා හඳුන්වලා දුන් මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමයට අදටත් විශ්වවිද්‍යාල දරුවො පින් දෙනවා. ඒ වගේම තමයි ප්‍රේමදාස මහත්තයා. එතුමා ගෘහ නිර්මාණ ශිල්පියෙක්වත් ඉංජිනේරුවෙක්වත් නොවුණට දුගී දුප්පත් ජනතාව සඳහා නිවාස ලක්ෂ ගාණක් හදලා දුන්නා. මුදල් කාරක සභාවේ හිටපු සභාපති හර්ෂ ද සිල්වා මැතිතුමා ආර්ථිකය පිළිබඳ විශේෂඥයෙක්. එතුමට මට වඩා දැනුම තියෙන්න පුළුවන්. මම ඒක පිළිගන්නවා. නමුත් මුදල් කාරක සභාවක සභාපතිවරයෙක්ට පුළුවන් වෙන්න ඕන කමිටුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් ගැටුමක් ඇති නොවෙන විදියට එක මතයකට අරගෙන ක්‍රියා කරන්න. ඒ වගේම කමිටුවට ඉදිරිපත් කරන මුදල් පනත්වලින් ආණ්ඩුව අපේක්ෂා කරන අරමුණු සහ ඒවා ළඟා කර ගත හැකිද යන්න ගැන විශේෂඥයන්ගෙ මත විමසමින් සහ කමිටුව හමුවට කැඳවන ඉහළ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කරන අතරෙ ඔවුන්ගේ දැනුම සහ හැකියාව අරගෙන කටයුතු කිරීමේ හැකියාවත් තිබිය යුතුයි. මම තව එක උදාහරණයක් කියන්නම්. නීති කටයුතු පිළිබඳ පහුගිය ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පත් වුණේ අජිත් මාන්නප්පෙරුම මැතිතුමා. එතුමා නීතිඥයෙක් නෙවෙයි. ඉංජිනේරුවෙක්. ඒ කමිටුවෙ අජිත් පී. පෙරේරා මැතිතුමාත් හිටියා. එතුමා නීතිඥයෙක් නිසා අපි හිතුවෙ සභාපති ධුරය එතුමට ලැබෙයි කියලා. නමුත් ඒක ලැබුණෙ අජිත් මාන්නප්පෙරුම මැතිතුමාට. අන්තිමට මොකද වුණේ 2020 පාර්ලිමේන්තුව විසුරුවන්න ඔන්න මෙන්න කියා තිබියදී පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවලින් හොඳම කාරක සභාවට හිමි සම්මානය අජිත් මාන්නප්පෙරුම මැතිතුමාට එවකට කතානායක කරු ජයසූරිය මැතිතුමා අතින් ලැබුණා. මම පිළිගන්නවා අපේ පක්ෂය ඇතුළෙ ඉරාන් වික්‍රමරත්න මැතිතුමා, හර්ෂ ද සිල්වා මැතිතුමා සහ කබීර් හෂීම් මැතිතුමා යන අය තමයි ආර්ථික කමිටුවේ ඉන්න ප්‍රධානීන්. මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි. හැබැයි මම ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගෙන තියෙනවා. මම හිතන්නෙ හොඳ කල්පනා ශක්තියක් තියෙනවා නම් අනිත් අය සමග සුහදව වැඩ කරන්න පුළුවන් නම් නිලධාරීන්ව අඩු තක්සේරු කරන්නෙ නැතුව කටයුතු කරන්න පුළුවන්නම් ඕන වැඩක් කරන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙන්නෙ ගාමිණී දිසානායක මැතිතුමාගේ අඩි පාරේ ගමන් කරන්න.
?ලක්ෂ්මන් කිරිඇල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මාධ්‍ය ආයතනයකට ප්‍රකාශයක් ලබා දෙමින් කියලා තිබුණා මේ ප්‍රශ්නය ඇති වුණාට පස්සෙ එතුමා ඔබතුමාට දුරකථන ඇමතුමක් දීලා සභාපතිකමෙන් අයින් වෙන්න කැමතිද කියලා ඇහුව බවත් ඔබ එවෙලෙ ඊට අකමැත්ත ප්‍රකාශ කළ බවත්. නමුත් ඔබ පසුව මාධ්‍ය හමුවේදී කිව්වා අයින් වෙන්න සූදානම් කියලා. පක්ෂෙන් ආපු බලපෑම් නිසාද ඒ තීරණය ගත්තෙ?
කිරිඇල්ල මැතිතුමා මට කතා කරපු වෙලාවෙ මම කිව්වෙ සර් කරුණාකරලා මේක මගෙ ඇඟට හරවන්නෙ නැතුව ඔබතුමාලා මේ ප්‍රශ්නය ගැන තේරීම් කාරක සභාව ඇතුළෙ සාකච්ඡා කරලා කැමති ඕනෑම කෙනෙක් සභාපතිකමට නම් කරන්න කියලා. ඒ ඕනෑම කෙනාගෙ නම මම වුණොත් මම ඒක පිළිගන්න බවත් එතුමට කිව්වා. මම එතකන් මගේ නම ඉවත් කරගන්නෙ නෑ කියලත් කිව්වා. මොකද ඒ කමිටුවෙ ඉන්නෙ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු. ඒ අය අතරවත් එකඟතාවක් ඇති කර ගන්න බැරි නම් අපි රටක් වශයෙන් කොහොමද ඉස්සරහට යන්නෙ. හැම දෙයක්ම පක්ෂ දේශපාලන කෝණයෙන් බලන එක වැරැදියි. කවුරුත් හිතන්නෙ නැද්ද මේ රටට හෙණ ගහලා තියෙන්නෙ ඇයි ද කියලා.
?ඔබගේ නම විපක්ෂයෙන් නේද යෝජනා වෙන්න තිබුණෙ?
ඒක හරි. ඒක මම පිළිගන්නවා. මම හිතපු දෙයක් තමයි කමිටුව රැස් වෙලා කාවද සභාපතිකමට පත් කරන්නෙ කියන එක ගැන එකඟතාවකට එන්න බැරි වෙයි කියලා. එහෙම වුණොත් කතානායකතුමා පක්ෂවලට දැනුම් දෙනවා හර්ෂ ද සිල්වා මැතිතුමාගේ නමට එකඟ වෙන්න බැරි නිසා වෙනත් නමක් යෝජනා කරන්න කියලා. මේකෙදි එහෙම තීන්දුවක් ලේසියෙන් ගන්න තිබුණා. හැබැයි එහෙම වුණේ නෑ. මුදල් කාරක සභාවේ රැස්වීමට මම ගියාට පස්සෙ කමිටුවෙ ලේකම්වරයා කිව්වා සභාපති ධුරයට මගෙ නම නම් කරලා තියෙනවා කියලා. ඊට පස්සෙ මම මූලාසනයට ගිහින් න්‍යාය පත්‍රයෙ මොනවද තියෙන්නෙ කියලා බැලුවා. වැදගත් පනත් මොකුත් තිබුණෙ නෑ. ඊට පසසෙ මම කිව්වා මම මේ සභාපති ධුරය භාර ගන්නවා වගේම මට තේරෙනවා මේ කාරක සභාවේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර එකඟත්වයක් නෑ කියලා. මේ ධුරය කොපමණ කලක් හොබවයිද කියන්න මම දන්නෑ. ඒ නිසා මට හෘද සාක්ෂියට එකඟව තීරණයක් ගන්න වෙයි කියලත් මම කිව්වා. ඒ රැස්වීමෙන් පස්සෙ කාරක සභාවේ සියලු මන්ත්‍රීවරුන්ට ස්තුති කරලා පක්ෂ නායකත්වයෙන් විමසීමක් කරලා සභාපති ධුරය ගැන අවසන් තීන්දුවක් දෙන්නම් කියලා තමයි රැස්වීම අවසන් කළේ.
?ඔය සිද්ධිය වුණාට පස්සෙ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඔබට කතා කරලා වුණේ මොකක්ද කියලා ඇහුවෙ නැද්ද?
නෑ. එතුමා කළේ මේකටත් මටත් ගහලා පාර්ලිමේන්තුවේ කතාවක් කරපු එක. මම ඒක තරයේ හෙළා දකිනවා.
?ඔබට ඔහුත් සමග අමනාපයක් තියෙනවද?
මට කාත් එක්කවත් අමනාපයක් නෑ. අපි එක පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු. මුදල් කාරක සභාවේ සභාපති ධුරය දරන්න පුළුවන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට. ඉතින් මමත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. මම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙලා ඉද්දි මේ සභාපති ධුරයට මාව පත් කළොත් ඒක වැරැදියි. නමුත් මම ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් නෙවෙයි. ගිය පාර මුදල් කාරක සභාවේ සභාපතිකමට හර්ෂ ද සිල්වා මැතිතුමාව පත් කරපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමට ආශිර්වාද කළා. එතකොට කාටහරි අහන්න පුළුවන් එතන ඩීල් එකක් නැද්ද කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වුණට පස්සෙ මුදල් ඇමැතිකම් එහෙම ලබා ගන්න ඒ අය බලාගෙන හිටියා. එහෙම කට කතා ගියා. මට විරුද්ධව ට්විටර් පණිවුඩ ගහපු අයගෙ නමුත් ඒ ඇමැතිකම් ගන්න ලිස්ට් එකේ තිබුණා. නමුත් මගෙ නම ඒකෙ තිබුණෙ නෑ. මම කිසිම කෙනෙක්ට මඩ ගහන්න යන්නෙ නෑ. ඒක මගේ දේශපාලන ගමනට සුදුසු නෑ. මුදල් කාරක සභාවේ සභාපතිකම තනි පුද්ගලයෙක්ට හිමි බූදලයක්ද කියලා මම අහන්න කැමතියි.
?දිසානායකලාගෙ දේශපාලන මහගෙදර යූඇන්පිය. මේ සිද්ධිය අල්ලපනල්ලෙ ඔබ යූඇන්පියට යන බවටත් කතා ගියා. ඒවා ඇත්තද?
ඒකත් ඉතා හොඳ ප්‍රශ්නයක්. මම සජබෙ ඇතැම් වේදිකාවල සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරිපිටම කියලා තියෙනවා මම තවමත් කැපුවත් කොළ කියලා. සජබෙ පාටත් කොළ තමයි. මම උපදිනකොට මගේ පියා එජාපයේ ළාබාල මන්ත්‍රීවරයෙක්. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති ධුරයටත් පත් වුණා. එහෙම නම් සජිත් ප්‍රේමදාස මහත්තයගෙත් කැපුවත් තියෙන්න ඕන කොළ පාට ලේ. අපේ ප්‍රතිපත්ති සීයට 99.9 ක්ම ගැළපෙන්නෙ එජාපයේ ප්‍රතිපත්තිවලට. මම කල්පනා කළා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වුණාට පස්සෙ එජාපයයි සජබෙයි එකට වැඩ කිරීමේ අරමුණින් යම් එකඟතාවකට එයි කියලා. මම කියන්නෙ නෑ පක්ෂ දෙක එකට එකතු වෙයි කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් විපක්ෂ නායක. අපි එතුමගෙ දේශපාලන ගමන ගැන බලන්න ඕන. මම 2010 ඉඳන් එතුමත් එක්ක මේ දේශපාලන ගමනෙ හිටියා. සජබෙ ආරම්භ කරන්නත් මම විශාල කැප කිරීමක් කළා.
?දැන් ඒ ගැන කලකිරීමක් තියෙනවද?
කිසිම කලකිරීමක් නෑ. හැබැයි මම සමහර වෙලාවට කල්පනා කරනවා මේ දේවල් මේ විදියට නොවී වෙන විදියකට වුණා නම් හොඳයි කියලා. මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය මම ප්‍රතික්ෂේප කරනවා. උද්ඝෝෂණ කරන අයට ගහන එකට මම විරුද්ධයි. ඒ උද්ඝෝෂණයෙදි සිදු වුණු මරණයේ වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි. ආණ්ඩුවක් රටේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව ගැන වගකිව යුතුයි.
සාකච්ඡා කළේ
උපුල් වික්‍රමසිංහ