වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු
- දීලා තියෙන පොල් පැලවලින් පලදාවක් නෑ
පොල් මිල එලොව පොල් පෙන්වන තරමට ගුවන්ගත වී තිබේ. මෙම පරිසරය තුළ දිළිඳු ජනතාවට දිවංගත වීමට සිදුවී ඇතැයි යන්න මුසාවක් නොවේ. රජයට මේ සම්බන්ධයෙන් ඇති වැඩපිළිවෙළ කුමක්ද? වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා සමග මෙම සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.
• ප්‍රශ්නය - ඔබ පොල්ගස් නගින පින්තූර දාලා මාධ්‍ය සංදර්ශන පවත්වනවා. පොල් ගෙඩිය රුපියල් සියයටත් වැඩියි. මැනල පොල් ගන්නත් වෙලා?
පිළිතුර - මුලින්ම කියන්න ඕනෑ මේ පොල් මිල සමහරු කෘත්‍රිමව පාලනය කරනවා. හැම සතියකටම වරක් පොල් වෙන්දේසියක් තියෙනවා. මේකට එන්නේ රාජ්‍ය වැවිලි සමාගම්වලට අයිති පොල්. ඒ වෙන්දේසිය තුළත් පොඩි මාෆියා එකක් ක්‍රියාත්මක වෙනවා.
• ප්‍රශ්නය - ඒක පාලනය කරන්න බැරිද?
පිළිතුර - මම මැදිහත් වෙලා ඇහුවා පොල් දෙන්න පුළුවන් ගාන කීයද කියලා. ඒ අය කිව්වා රුපියල් 55 කට වගේ පොල් දෙන්න පුළුවන් කියලා. රුපියල් 59 ට අපේ වැවිලි සමාගම්වලට පොල් දෙන්න පුළුවන්නම් අතරමැදියන්ට වෙළෙන්දන්ට කිසියම් ගානක් තියල මම රුපියල් 70 ක පාලන මිලක් දැම්මා. එතැනදි මම දැක්කා රජයේ සමහර වැවිලි සමාගම් ඒ පාලන මිල දාපු ගමන් වැඩිමිලට පොල් ටික විකුණන්න සුපර් මාර්කට්වලට ගිහින් දැම්මා. ඒකයි මම කිව්වේ මෙතැන මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා කියලා.
මේක වී වගේ තමයි. සමහරු පොල් තියාගෙන ඉන්නවා. ඊළඟ සතියෙ වැඩිවෙයි කියලා හිතලා පොල්ටික හංගගෙන ඉන්නවා. ඒ තත්ත්වය නැති කරන්න තමයි මම පාලන මිලක් දැම්මේ.
• ප්‍රශ්නය - එතකොට කවුද මේ මැනලා පොල් ගන්න කිව්වේ?
පිළිතුර - පාරිභෝගික සේවා අධිකාරිය තමයි ඒකට මැදිහත් වුණේ. ඇත්තටම පාරිභෝගික සේවා අධිකාරියට ඒකට ක්‍රමවේදයක් තියෙන්න ඕනෑනේ. වැඩි මිලට පොල් විකුණන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒක විද්‍යාත්මක ක්‍රමවේදයක් වෙච්ච එක හොඳයි. ඒක ඇත්තටම හොඳයි. ඒක අපිට අදාළත් නැහැ. හැබැයි ඒක ගිහිල්ල මාධ්‍යවල පෙන්වලා, වෙළෙඳ පොළට ගිහිල්ලා, ටේප් එකක් අරගෙන ගිහිල්ලා මැනලා, ඒ කරන කාරණා එක්ක තමයි අපි විවේචනයට ලක්වුණේ.
• ප්‍රශ්නය - ඒක නෙවෙයිනම් මොකද්ද කරන්න තිබුණේ?
පිළිතුර - ඇත්තටම පාරිභෝගික සේවා අධිකාරියට කරන්න තිබුණේ වෙළෙඳ ප්‍රජාව දැනුම්වත් කිරීමයි. ඒ අයට සතියක විතර කාලයක් දිය යුතුයි. මොකද ඒ අයත් වැඩි මිලට පොල් අරගෙන තියෙනවනේ. ඒවා විකුණා ගන්නත් සතියක විතර කාලයක් දීලා ඊට පස්සේ අපි මේ විදියට තමයි මේක කරන්නේ කියලා ඒක ක්‍රියාත්මක කළා නම් හොඳයි.
කොහොම වුණත් මම සීයට සීයක් පිළිගන්නවා පාරිභෝගික සේවා අධිකාරියට මේ වැඩේට විද්‍යාත්මක ක්‍රමවේදයක් තිබිය යුතුයි කියලා.
• ප්‍රශ්නය - පොල්මිල මෙහෙම ඉහළ ගියේ ඇයි? ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
පිළිතුර - අපේ රටේ පොල් නිෂ්පාදනය වාර්ෂිකව සාමාන්‍යයෙන් බිලියන 2.8 ක්. එයින් අපි ස්වයංපෝෂිතයි. පරිභෝජනයේදී බිලියන 1.8 ක් පරිභෝජනයට යනවා. එතකොට අපිට ඉතිරිවෙනවා තව බිලියන 1 ක්. හැබැයි බිලියන 2 ක අවශ්‍යතාවක් තියෙනවා. මේ රටේ පොල් ආශ්‍රිත කර්මාන්තවලට.
එකක් තමයි පොල්තෙල් කර්මාන්තය. ඒකට පොල් අවශ්‍ය වෙනවා. පොල්තෙල් කර්මාන්තය ගත්තාම සමහර අය පාම් ඔයිල් ගේනවා. හැබැයි පාම් ඔයිල් කියලා ගේන්නේ සම්පූර්ණයෙන්ම ජරාව. ඒ නිසා රජය කරපු දේ තමයි පාම් ඔයිල් වලට බද්දක් දැම්මා. ඒ නිසා පාම් ඔයිල් ගේන එක සීමාවුණා. එහෙම වුණාම පොල්තෙල් අවශ්‍යතාව තව වැඩි වෙනවා. පොල්තෙල් නිෂ්පාදනයට තව පොල් ඕනෑ වෙනවා. ඒ තත්ත්වය මගහරවා ගන්න පොල් අවශ්‍ය වෙලා තියෙනවා.
ඒ වගේම අද ලෝකය ගත්තාම පොල් ආශ්‍රිත නිර්මාණවලට දැවැන්ත ඉල්ලුමක් තියෙනවා. එකක් තමයි පොල් කිරි අද ඇමෙරිකාව වගේ රටවල කෝපි බොන තැන්වල පවා පාවිච්චි කරන්නේ එළකිරි වෙනුවට පොල්කිරි. අද ලෝකයේ නිර්මාංශිකයන් අතර කිසිම සත්ව ආහාරයකට සම්බන්ධ වෙන්න කැමති විශාල පිරිසක් ඉන්නවා. ඒ අයගේ වැඩිවීමත් සමග පොල්කිරිවලට විශාල ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. පොල්කිරිවලින් කරන නොයෙක් ආහාර ද්‍රව්‍ය වලට විශාල ඉල්ලුමක් තියෙනවා.
• ප්‍රශ්නය - ඒකද රටේ පොල් ගණන් ගියේ?
පිළිතුර - මම මේ කියාගෙන එන්නේ එයට බලපාලා තියෙන හේතු තමයි. ඒ වගේම පොල්වතුර පිටරට යැවීම වේගවත් වෙලා තියෙනවා. අද ලෝකයේ පිළිගන්නා කාරණයක් තමයි පොල්වතුර ඉතාම පෝෂ්‍යදායි කියලා. පොල්වතුර පිටරට යැවීමත් අද වැඩි වෙලා තියෙනවා. ඒ විදියට පොල්වලට දැවැන්ත ඉල්ලුමක් පොල්වලට ලැබිලා තියෙනවා.
ඒ වගේම තමයි කොහු කර්මාන්තය ඩොලර් මිලියන 150 ක් පසුගිය අවුරුද්දෙ කොහු කර්මාන්තය නිසා ලැබුණා. කොහු කෙඳි හා කොහු බත් හරහා කරන නිෂ්පාදවලට විශාල ඉල්ලුමක් ලැබිල තියෙනවා. මේ ආශ්‍රිත කර්මාන්තවල වැඩිවීමත් එක්ක තව බිලියන 1ක වර්ධනයක් අවශ්‍යයි.
එහෙමනම් තියෙන පොල් ප්‍රමාණය අපි ආරක්ෂා කර කරගත යුතුයි. අපේ රටේ ගෘහස්ථ පරිභෝජනයේදී පොල් විශාල වශයෙන් නාස්ති වෙනවා. ඒ වෙනුවෙන් ජනතාව දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක් අපි ආරම්භ කළා. ඒ වගේම පොල් වගාව වැඩි කළ යුතුයි.
• ප්‍රශ්නය - එහෙම වැඩි කරන්නේ කොහොමද? පොල් ඉඩම් කට්ටි කරලා විකුණනවනේ.
පිළිතුර - ඔව්, එහෙම දෙයක් තියෙනවා. පොල් ඉඩම් කට්ටි කිරීම හරහා මෙන්ම සංවර්ධන ව්‍යාපෘතිවලට විශාල වශයෙන් පොල්ගස් කැපෙනවා. අවශ්‍යතාව අනුව පොල්ගස් කැපිය යුතුයි. පොල් ඉඩම් කැබිලි කිරීම වුණත් අපි ගත්තොත් සමහර විට අති මානුෂික හේතු නිසා ඒවා කරනවා. දරුවකුට උගන්වන්න, රෝගයකට බෙහෙත් ගන්න සමහරු පොල් ඉඩම් විකුණනවා. කොහොම වුණත් ව්‍යාපාරයක් හැටියට පොල් ඉඩම් කට්ටිකර විකුණන එක නතර කිරීමට කාලය ඇවිත්. එ් වගේම ඒ නැතිවන පොල්ගස් ටික අපි අනිවාර්යයෙන්ම හිටවන්න ඕනෑ.
දැන් රජය බලාපොරොත්තුවනවා රජයට අයිති ඉඩම්වල පොල් වගාකරන්න. ජනාධිපතිතුමා කිව්වා හෙක්ටයාර් ලක්ෂයක් වගා කළ නොහැකි කුඹුරුවල, ගංගා, ඇළ-දොළවල රක්ෂිතවල පොල් වගාකිරීම ආරම්භ කරන්න කියලා. පසුගිය අවුරුදු පහේ වෙච්ච ලොකුම ඛේදවාචකය තමයි පොල්වගාවට අවශ්‍ය වතුර හා පොහොරවලට ඒ රජය සහනාධාර දුන්නේ නෑ. ඉස්සර පොල් පැළය ගන්න සහනාධාර දුන්නා. පොල් වළවල් කපන්න. පොල් පොහොර දාන්න. වතුර දාන්න සහනාධාර දුන්නා. පසුගිය අවුරුදු පහ තුළ ඒ සහනාධාරය දුන්නේ නෑ.
• ප්‍රශ්නය - අද රටේ පොල් ප්‍රශ්නයට තියෙන විසඳුම මොකද්ද?
පිළිතුර - ක්ෂණික විසඳුම් අපි දීලා තියෙනවා. ඒ වගේම මෙතැනදි විශේෂම අවධානය යොමු කළ යුතු කාරණය තමයි බීජ තවාන්, මේ රටේ කොච්චර පොල් පැළ බෙදලා තියෙනවද? ඒ පොල් පැළ වලින් හරියට පලදාව ලැබුණානම් අද වෙනකොට මුළු රටම පොල්වලින් වැහිලා තියෙන්න ඕනෑ, දීලා තියෙන පොල් පැළ වලින් පලදාවක් නෑ. ඒ නිසා හරි බීජ තෝරාගෙන හරියට පරීක්ෂණ කරලා හොඳ පැළ මිනිසුන්ට දිය යුතුයි. පසුගිය කාලේ බීජ පැළ තවාන් කෙරෙහි අපි අවධානය යොමු කරලම නෑ. ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.
• ප්‍රශ්නය - රට රැකගන්න ආපු ආණ්ඩුවෙන් වනාන්තර ටික රැක ගන්න වෙලා කියලා විපක්ෂය කියනවා.
පිළිතුර - ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ජනාධිපතිතුමා පරිසරයට ආදරය කරන නායකයෙක්.
• ප්‍රශ්නය - නමුත් සිංහරාජය ආසන්නයෙ පාරක් කපන්න ජනාධිපතිවරයා අවසර දුන්නා!
පිළිතුර - ලංකාගම ප්‍රශ්නය ගත්තොත් ඒක ඇත්තටම ඒ මිනිසුන්ගේ අතිශයින්ම මානුෂික ඉල්ලීමක්. ඒ මිනිසුන් කොළඹ ඉඳන් බොරුවට කෑගහන අයට වඩා පරිසරයට ආදරය කරන පරිසරය ආරක්ෂා කරන මිනිස්සු. ඒ මිනිස්සු නිසා තමයි අද සිංහරාජය ආරක්ෂා වෙලා තියෙන්නේ.
පුත්තලමේ සිද්ධිය ගත්තොත් දෙපැත්තටම කතා තියෙනවා. ඉස්සර වගාව කියන දේ ගත්තොත් ඒකටත් ඉඩම් ඕනෑ. එහෙම නැතිව පරිසර සංහාරයක් ආණ්ඩුවේ අනුදැනුම ඇතිව සිද්ධ වෙන්නේ නෑ.
• ප්‍රශ්නය - 20 නිසා ආණ්ඩුව පුපුරයි කියලා ගණන් බලන අයෙක් ඉන්නවා?
පිළිතුර - ඇත්තටම ගත්තොත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව වෙනුවෙන් තමයි ජනාධිපතිවරණයේදී මිනිස්සු ඡන්දය දුන්නේ. පාර්ලිමේන්තුව පළාත් සභාවට ප්‍රාදේශීය සභාවට හරි ඡන්දය ඉල්ලන්න ලොකු සල්ලියක් නැතිව බෑ. මේ මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ නැද්ද? දුප්පත් කෙනෙකුට ඉගෙන ගත්ත කෙනෙකුට සමාජ පිළිගැනීමක් තියෙන නමුත් දුප්පත් කෙනෙකුට මේ ක්‍රමය යටතේ ඡන්දයක් ඉල්ලන්න පුළුවන්ද? ඒ නිසා මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි.
ඒ වගේම තමයි මේ රටේ දෙකෝටි තිස් ලක්ෂයක පමණ ජනතාවක් ඉන්නවා. ඒත් තාමත් ලක්ෂ 70 ක මිනිස්සු උදේට වේලක් කාලාහරි දවල්ට වේලක් කාලා හරි ඉන්නේ. ඒ කියන්නේ දවස ඇතුළත එක වේලක් කන්නේ නෑ. අපි ලජ්ජාවෙන්න ඕනෑනේ.
ඒ මිනිසුන්ට නීතිය හරස් වෙන හැටි අපි දකිනවා. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය ගත්තොත් අපි ජනතාවට සේවය කරන්න ගියාම නීතිය හරස් වෙනවා. මේ පැරැණි නීති පද්ධතියක් එක්ක අපි ඉන්නේ. පරිපාලන සේවයේ විශාල වෙනසක් වෙන්න ඕනෑ.
සංචාරක කර්මාන්තය ගත්තත් එහෙමයි. මේ සැම ක්ෂේත්‍රයකම දැවැන්ත වෙනසක් අවශ්‍යයි. ඒකේ මූලික පියවර තමයි මේ සිද්ධ වෙන්නේ. මේ රජය විවේචන ඉවසන්නේ නැතුව නොවෙයිනේ. මේක පාර්ලිමේන්තුවට එන්න කලින් අධිකරණයේ දවස් 21 ක් විභාගකරලා, එතැනින් පස්සේ පාර්ලිමේන්තුවේදී විවාදකරලා එතැනත් සංශෝධන තියෙනවානම් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් තියෙනවා. එතැනදි ඒකට ඉදිරිපත් කරලා සංශෝධන කරලා තමයි සම්මත කරන්නේ. ඒ නිසා මේක මේ ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න විපක්ෂය කරන චෝදනාවක් තමයි ඔය ඔබ කිව්වේ.
• ප්‍රශ්නය - විපක්ෂයෙ මන්ත්‍රීවරු පිරිසකුත් ආණ්ඩුව සමග එකතු වෙන්න ඉන්න බව ආණ්ඩුව කියනවා. ඒක ඇත්තක්ද?
පිළිතුර - අපිට තියෙන ප්‍රශ්නයක් තමයි සුළු පක්ෂ ගොඩාක් කතා කරනවා එන්න. නමුත් සමහර සුළු පක්ෂවල අය පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි. ඒ අයව ගන්න කිසිම විදියකින් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ වගේම සමහරු එන්න අහන්නේ තනතුරක් දෙනවානම්. නමුත් ජනාධිපතිතුමා ඒකට කොහොමටවත් කැමති වෙන්නේ නෑ. ඒ දේශපාලන සංස්කෘතිය නැවත මේ රටේ ඇති වෙන්නේ නෑ.
නමුත් ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ, අපේ රජයේ රට ගොඩනගන වැඩපිළිවෙළට අවංකවම සහය දෙන්න සූදානම් පිරිසක් ඉන්නවා. ඒ අයත් සමග අපි සාකච්ඡා කරනවා. ඒ අය අනිවාර්යයෙන්ම එයි.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්