පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය දහසය දෙනෙක් තමාට හිමි තීරු බදු රහිත වාහන ඉල්ලා ඉහළ බලධාරීන් වෙත ලිපියක් යොමු කර තිබේ. පාර්ලිමේන්තු කමිටුවකින් අනුමත වූ එම ඉල්ලීම ඇතුළත් ලිපිය දැන් ඇත්තේ මුදල් ඇමැතිවරයා ද වන ජනාධිපතිවරයා ළඟය. ආණ්ඩු පක්ෂයේ ද විපක්ෂයේ ද මන්ත්‍රීවරුන් මෙම එකසිය දහසය දෙනා අතර වෙති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පමණක් දැනට ඇති රුපියල් දස ලක්ෂයක රක්ෂණය තම කුටුම්භය සඳහා ද ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබෙන බව ද මෑත කාලීන තවත් පුවතක් විය. මේ ඉල්ලීම් දෙකම තවමත් ඉටු වී නැති යෝජනා පමණක් බව ද සැලකිය යුතුය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද රජයේ සේවයේම කොටසකි. අනෙක් කොටස වන්නේ රජයේ නිලධාරියාය. රජයේ නිලධාරීන්ට රියැදුරු ද සමග නිල වාහනයක් රජයෙන් සැපැයේ. මෙම වාහන රජයේ සංචිතයෙනි. මන්ත්‍රීවරුන්ට ද රජයේ සංචිතයෙන් වාහනයක් ලබාදුන් ජේ.ආර්. රජය පසුව එම තීන්දුව වෙනස් කර තීරු බදු රහිත වාහනයක් ඔහුගේ පෞද්ගලික අයිතියට ලබා දෙන්නට තීරණය කළේ මුල් කාලයේ ලබා දුන් වාහනවල කෑලි මිස සම්පූර්ණ වාහන එකතු කිරීමට අපහසු වූ නිසාය. මැතිවරණ සමයේදී දේශපාලන ගැටුම්වලදී පළමුවෙන්ම කුඩු පට්ටම් වන්නේ මන්ත්‍රීවරයාගේ වාහනයය. තීරු බදු රහිතව වටිනා වාහනයක් ලබා දුන් විට පෞද්ගලික වස්තුවක් වන එය රැක ගැනීමට මන්ත්‍රීවරුන් උනන්දු වන බව එකල රජයේ නිගමනය විය.
2015න් පසු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නැත. 2019 ගෝඨාභය රජය පත් වන විට නවක මන්ත්‍රීවරුන් අති විශාල පිරිසක් පත්වූ අතර, ඒ සමහරුන්ට තමන්ගේම කියා වාහනයක් නැති බව මන්ත්‍රීවරුන් කියන කතාවය. එලෙසම 1982 සිට මේ දක්වා සෑම රජයක්ම මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ලබා දී තිබේ. ඒ නිසා මෙය තමන් අලුතෙන් ඉල්ලන වරප්‍රසාදයක් නොවන බව මන්ත්‍රීවරුන්ගේ මතය වේ. ඒ කතාව ඇත්තය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රජයෙන් වාහනයක් ලබා දීම හෝ ඉන්ධන දීමනාවක් ලබා දීම වැරැදි දෙයක් නොවේ. නූතන සංකීර්ණ සමාජයේ පා ගමනින් ගොස් දේශපාලනය කළ නොහැකිය. පොදු ජන සේවය සඳහා ද එම පහසුකම් ඔවුන්ට අවැසිය. එහෙත්, ප්‍රශ්නය වන්නේ, එම පහසුකම් ලබා ගෙන රට බලාපොරොත්තු වන යුතුකම ඉටු කරනවා ද යන්නය. ආණ්ඩුව කරන දේට විපක්ෂයේදී විරුද්ධ වීමත්, තමන් ආණ්ඩු බලය ගත් පසු එදා විරුද්ධ වූ දේම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමත්, එවිට එදා ආණ්ඩුව වූ වත්මන් විපක්ෂය එම යෝජනාවලට විරුද්ධ වීමත් හැර දේශපාලනය කරන අන් දෙයක් අපට නොපෙනේ.
ප්‍රශ්නය වන්නේ, මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා දීම නොව මේ දුෂ්කර මොහොතේ මන්ත්‍රීවරුන්ට පමණක් වාහන ආනයනයට ඉඩ ලබා දීමය.
අපි මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද ගැන දොස් නොකියමු. විවේචනය නොකරමු. එහෙත්, ප්‍රශ්නය වන්නේ, රට බංකොලොත් වී තිබියදී ඔහුට මෙවැනි විශේෂිත පහසුකම් ලැබීමේ සදාචාරාත්මකභාවයයි. ආර්ථික වශයෙන් බංකොලොත් නොවූ යුගයේ ගරු සේවයක යෙදුණු මන්ත්‍රීවරයා කළ සේවය බංකොලොත් රටේ මන්ත්‍රීවරයා ඉටු කරනවා ද යන්න අපේ පැනයයි.
හැත්තෑ පහට පෙර මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහනයක් ලැබුණේ නැත. එකල දුප්පත් පොහොසත් භේදයකින් තොරව බොහෝ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ආවේ දුම්රියෙනි. යාපනයේ මන්ත්‍රීවරුන් මෙන්ම උඩරට යමක් කමක් ඇති මන්ත්‍රීවරුන් ද මෝටර් රථය දුම්රියේ පටවා කොළඹට රැගෙනවිත් කොළඹ ගමන් බිමන්වලට එම මෝටර් රථය පාව්චිචි කළේය. ආසනයට ගිය විට බොහෝ විට බොහෝ මන්ත්‍රීවරුන්ට ගමන් බිමන් යාමට උදව් කළේ ආසනයේ සිටින ධනවත්ම ව්‍යාපාරිකයාය.
හැත්තෑ හතේදී හයෙන් පහක අති විශාල ජනවරමක් ලබාගත් ජනාධිපති ජේ.ආර්.ට මේ තත්ත්වය පෙන්වා දුන් ලලිත් ඇතුළත්මුදලි මන්ත්‍රීවරයා, මන්ත්‍රීවරුන්ට වාහනයක් ලබා දීමට යෝජනා කළ බව එ.ජා.ප.යේ හිටපු ඇමැතිවරයකු වන ලක්ෂ්මන් සෙනෙවිරත්න සිහිපත් කරයි.
“ඉස්සර බොහොමයක්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආසනේ දිනපු ගමන් පාර්ලිමේන්තු එන්නේ ගමේ ධනවත්ම මුදලාලිගේ වාහනයේ. ඒ කාලෙ ගම්වල වාහන නෑ. හැත්තෑවේ අවුරුද්දට කලින් මුළු මහියංගණයටම තිබුණේ එක වාහනයයි. හැම මන්ත්‍රීවරයාම ධනවත් නෑ. ඉතින් දිනුවම එන්න වාහනයක් නෑ. ධනවත්ම මුදලාලි එක්ක කොළඹ එනවා. මේක මුදලාලිටත් ලොකු ආඩම්බරයක්. අද මහියංගණයේ ගත්තොත් ධනවත් මුදලාලිලා පන්සියයක් විතර ඉන්නවා. එදා හිටියෙ එක්කෙනයි. මේ ගැන ලලිත් ඇතුළත්මුදලි ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කිව්වා. රටේ ලොකු සංවර්ධන ජාලයක් පටන් අරගෙන තියෙද්දී විවිධ කොන්ත්‍රාත් එහෙම මන්ත්‍රීවරුන් හරහා කරන්න සිදු වෙනවා.
එතකොට මන්ත්‍රීවරුන් තමන්ගේ හිතවත් මුදලාලිට කොන්ත්‍රාත් දුන්නා කියලා චෝදනා එන්න පුළුවන්. ඒ නිසා මන්ත්‍රීවරුන්ට ගෞරවනීය විදිහට වැඩ කරන්න පසුබිමක් හදලා දෙන්න ඕනෑ කියලා තමා ලලිත් ඇමැතිතුමා වාහනයක් දෙන යෝජනාව ඉදිරිපත් කළේ. ඒකට ජනාධිපතිතුමත් එකඟ වෙලා තමා රජය ගණනේ වාහනයක් දුන්නේ. මගේ පියා කපිතාන් සී.පී.ජේ. සෙනෙවිරත්නට මුලින්ම ලැබුණේ ජේ.44 මිට්සුබිෂි ජීප් එකක්.” හිටපු ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා සිහිපත් කරයි.
මන්ත්‍රීවරුන් අති විශාල පිරිසක් සමග ආණ්ඩු පක්ෂයක කටයුතු කිරීමේදී ජනාධිපතිවරයාට ද විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වේ. ඇමැති, නියෝජ්‍ය ඇමැති ආදි ලෙස සියලු ආකාරයෙන් ඇමැති මණ්ඩලයට ඇතුළත් කරගත හැක්කේ ද පනහකට ආසන්න පිරිසකි. මන්ත්‍රී ආසන 168න් 144ක්ම දිනා ගත්තේ එ.ජා.ප.යයි. මේ නිසා කලකිරෙණ මන්ත්‍රීවරුන් සතුටින් තබාගත යුතු බව ද ජේ.ආර්. දැන සිටියේය. ඒ නිසා මන්ත්‍රීවරු සඳහා පළමු වතාවට රජයේ මුදලින් මෝටර් රථ නොමිලේ පිරිනැමිණි.
ස.ජ.බ. මහලේකම්, හිටපු ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර පාර්ලිමේන්තුවට පැමිණියේ සිය බාප්පා වූ බිබිලේ ධර්මදාස බණ්ඩා ඇමැතිවරයාගේ අනුප්‍රාප්තිකයා ලෙසය. 1982 පිහිටුවූ මොනරාගල දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සභාපතිවරයා වූයේ ද රංජිත් මද්දුම බණ්ඩාරය. රජයෙන් ලැබුණු වාහනය ගැන ඔහුගේ මතකය මෙබඳුය.
“මට කලින් පාර්ලිමේන්තුවට ආවේ මගේ පියාගේ සහෝදරයා වූ ධර්මදාස බණ්ඩා ඇමැතිතුමා. එතුමාට මුලින්ම ලැබුණේ මිට්සුබිෂි ජීප් එකක්. ඒ සමගම ක්ෂය වීමේ පදනම මත මෝටර් රථයකුත් මන්ත්‍රීවරුන්ට ලැබුණා. පසුව අසූ ගණන්වල මැද හරියේ තමා ඩියුටි ෆ්‍රී පර්මිට් එක ලැබුණේ. එක්දහස් නවසිය අසූ දෙකේදී මම දිස්ත්‍රික් සංවර්ධන සභා සභාපති වුණා. මටත් රජයෙන් ජීප් රථයක් ලැබුණා. පළාත් සභා පිහිටුවූ පසුව මුලදී පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් ක්ෂය වීමේ පදනම මත රජයෙන් වාහනයක් දුන්නා. පසුව එය තීරු බදු රහිත වාහන බලපත්‍රයක් බවට වෙනස් වුණා.” ස.ජ.බ. මහලේකම්වරයා කියයි.
දේශපාලකයන්ට විවිධ වරප්‍රසාද ලැබීම වර්තමානයේ ජන හද කලඹන්නට හේතුවකි. ගෙවුණු හැත්තෑහය වසරක කාලය තුළ මේ රට විනාශය කරා ගියේ දේශපාලකයන් නිසාය යන්න ජනතාව විශ්වාස කිරීම එයට හේතුවය. මෑත කාලයේ සිටින දේශපාලකයන් ගැන පැහැදීමකින් කතා කරන කෙනකු සොයා ගැනීමටත් අසීරු තත්ත්වයක් මතුව තිබේ. සියලුම දේශපාලකයන් සොරු නොවූව ද දේශපාලකයන් අතර සොරු ද සිටිති. රට වෙනුවෙන් ජීවිතයම කැප කළ අතීත දේශපාලන පරම්පරාවේ නායකයන්ගේ අවසන් ගමනේදී දස ලක්ෂ ගණන් ජනතාවකගේ ආචාරය ලැබුණේ ඒ නායකයන් රටට කළ අවංක සේවය ජනතාව හොඳින්ම දැන සිටි හෙයිනි.
ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ, දිවංගත අගමැති ඩඩ්ලි සේනානායකගේ අවමඟුලය. ආණ්ඩුව පැරැදී විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස සිටියදී මිය ගියේ වුවත්, ඩඩ්ලිගේ අවමඟුලට දස ලක්ෂයක සෙනගක් පැමිණි බව ප්‍රකාශ වී තිබේ. ඩඩ්ලි ජනතාව අතර ප්‍රකට වී සිටියේ ‘බත් දුන් පියා’ ලෙසටය.
බත් දුන් පියාගේ අවමඟුල දා කරත්තවලින්, ලොරිවලින්, පා ගමනින් දස ලක්ෂයක ජනතාවක් කොළඹට පැමිණ ඔහුට ගෞරව දැක්වූහ. මේ සෙනග කන්දරාවෙන් කොළඹ නගරය පිරී ඉතිරී ගිය බවත්, මෘත දේහය දැක බලා ගැනීමට පෙළ ගැසුණු මහජනතාවගේ පෝලිම සැතැපුම් ගණනක් දුරට වංගු ගැසී තිබුණු බවත් එකල පුවත්පත්වල පළව තිබේ. මේ ජනතාව එකම තැන පැය 8ක් 9ක් රැඳී සිටියේ ඉදිරියට යා නොහැකිවය.
තමනට සේවය කළ ජන නායකයන්ට මැති ඇමැතිවරුන්ට මියගිය පසුත් ජනතා ගෞරවය ලැබේ. අදත් අප්‍රේල් 13 වැනිදාට ඩඩ්ලිගේ වියෝව සිහිපත් කරන වැඩිහිටි ජන කොටසක් මෙරට සිටිති. මේ හෘදයාංගම සිහිපත් කිරීමට හේතුව ඒ ජන නායකයන් සැබැවින්ම ජන නායකයන් වූ නිසාය. ගරු මන්ත්‍රීවරුන් වූ නිසාය. දේශපාලනය වෘත්තියක් ලෙස නොසැලකූ නිසාය. තමන්ගේ අතේ ඇති මුදල රටට දී තමන්ගේ වියදමින් ප්‍රවාහන වියදම් දරාගෙන රටට සේවය කළ නිසාය.
ගරු සේවය අතුරුදන් වීම
මන්ත්‍රීතුමා යන වචනයේ තේරුම අද අවභාවිත වන්නේ මන්ත්‍රීවරයා ගරු සේවයක් නොකර වැටුපට සේවය කරන්නකු වී තිබෙන නිසාය. සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකරට අනුව, දේශපාලනය වෘත්තියක් බවට පත්වූයේ එක්දහස් නවසිය අසූවෙන් පසුවය. හැත්තෑ හතේ ජේ.ආර්.ගේ පළමු මන්ත්‍රීන් පිරිස ගරු සේවයක් සඳහා වූ කැපවීමෙන් වෙනස් වන්නට පටන්ගත්තේ හැත්තෑ නවය අසූව පමණ වෙද්දී බව මහාචාර්යවරයාගේ අදහසය. හයෙන් පහක උපරිම බලයක් ලැබී තමාට ගැහැනියක පිරිමියකු කිරීමත්, පිරිමියකු ගැහැනියක කිරීමත් හැර අන් සියල්ලම කළ හැකිය යන ජනාධිපතිවරයාගේ වහසි බස්ම අනුගමනය කළ මන්ත්‍රී කණ්ඩායම අන් රටවැසියන්ට වඩා ‘අඩියක් ඉහළින්’ ජීවත් වන්නට පටන්ගත්හ.
රටේ කෙරෙමින් තිබූ සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත් ලැබුණේ මන්ත්‍රී හිතවතුන්ටය. එතෙක් රටේ නොතිබූ විවෘත ආර්ථිකයක් බිහි වූ අතර, ඒ හා සමගම රාත්‍රී වෙළෙඳපොළක් නගරවල අලුතෙන් ඇරැඹිණි. නියොන් එළියෙන් මේ නගර දහවල් සේ එළිය වන්නට පටන්ගත්තේය. මත්පැන් ශාලා ජැක්පොට් ආදි සූදු ක්‍රීඩා අලුතෙන් ඇරිණි. මේ සියල්ල පිටුපස සිටියේ ‘ගරු මන්ත්‍රී’තුමාය.
නිදහස් ලංකාවේ ප්‍රථම ආග්‍රාණ්ඩුකාරවරයා වූ සර් හෙන්රි මුවර් 1949 ජුනි මාසයේ තම සේවා කාලය අවසන් කර ආපසු එංගලන්තයට යද්දී කළ මේ කතාව අදටත් වලංගුය.
“දක්ෂ පාලකයන් දැන් මේ රටේ සිටිනවා. ඔවුන් එකතු වී වැඩ කළහොත් සමෘද්ධිමත් ස්වාධීන ලංකාවක් ගොඩනගාගත හැකියි.”
සර් හෙන්රි මුවර් කී ඒ කතාව අදටත් වලංගු වන්නේ, ලංකාවේ දේශපාලකයන් එකතු වී වැඩ කළේවත්, සමෘද්ධිමත් ස්වාධීන ලංකාවක් ගොඩනගා ගත්තේවත් නැති හෙයිනි. බ්‍රිතාන්‍ය පාලකයන් මෙරටින් ගිය දා පටන් පළමුව එ.ජා.ප.ය තුළත්, අනතුරුව ඒ ඒ පක්ෂවලත් එකිනෙකා අතර ගැටුම් ඇති කරගත්තා මිස රට ගොඩනගන්නට කිසිවකුත් උනන්දු වූයේ නැත.
ලෝකයේ සුපිරි ධනවතුන් පාවිච්චි කරන මෝටර් රථ අද මෙරට මැති ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් සතු වුවත්, අදින් වසර හැටපහකට පෙර අගමැති බණ්ඩාරනායක සමයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ තිබුණේ මෝටර් රථ දෙකකි. එකල අගමැති ලේකම්වරයා වූ බ්‍රැඩ්මන් වීරකෝන් තම පනස් වසරක අත්දැකීම් කෘතියේ මෙවැනි සටහනක් තබා ඇත.
“රොස්මිඩ් පෙදෙසේ නිවෙසෙහි අගමැතිගේ පෞද්ගලික සහායක ඩී.පී. අමරසිංහ දුරකතනයෙන් කතාකොට ‘කවුද ලොක්කට වෙඩි තිබ්බා’ යැයි කීය. මම ලිපිගොනු පසෙක දා කාරය වෙත දිව ගියෙමි. එකල අගමැති කාර්යාලයට තිබුණේ අගමැතිට එකකුත්, ලේකම්ට එකකුත් වශයෙන් මෝටර් රථ දෙකකි. ඒ අවස්ථාවේ නිල රියැදුරන් හොයන්නට වෙලාවක් නොතිබිණ. මම මගේ පියට් 1100 රිය පදවාගෙන වහාම ගියේ රොස්මිඩ් පෙදෙසේ නිවෙසටය.”
අදින් වසර හැටපහකට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයටම තිබුණේ මෝටර් රථ දෙකකි. එයිනුත් අගමැතිවරයාට වෙන්ව තිබුණේ එක මෝටර් රථයකි. එකල දේශපාලනය ගරු සේවයක් වූ ලෙසම ජාතික අයවැයට වැය බරක් පමණක් වන අනවශ්‍ය වියදම්වලට රටේ නායකයන් පෙලැඹී තිබුණේ නැත. එමෙන්ම, අමාත්‍යාංශවලට පමණක් නොව අගමැති කාර්යාලයට පවා වාහන හා බඩු භාණ්ඩ මිලදී ගන්නා ලද්දේ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයාය. අද මෙන් ඇමැතිවරයාගේ වුවමනාව මත අමාත්‍යාංශ වාහනවලින් සුඛෝපභෝගී බඩු භාණ්ඩවලින් පුරවන්නට ඇමැතිවරුන්ට බලතල නොතිබිණි.
ශ්‍රී ලංකාව මේ වන විට ගෙවන්නේ ආර්ථික වශයෙන් අති දුෂ්කර කාල පරිච්ඡේදයක් බව සැබෑවක් නම්, මහජන බදු මුදලින් නඩත්තු වන ප්‍රභූවරුන්ගේ සුව පහසු ජීවන රටාව වෙනස් විය යුතුය. රටවැසියන්ට අලුත් වාහන නැති නම් මහජන නියෝජිතයාට ද අලුත් වාහන අවැසි නැත. දැනට රජය සතුව ඉතාම හොඳ තත්ත්වයේ වාහන ඇති බව ජනතාව හොඳින් දනිති.
මේ වන විට ජීවිතයෙන් සමුගෙන ඇති මෙරට අතීත දේශපාලන පරපුර ගත කළේ අතිශය සරල ජීවිතයකි. ඔවුන්, ජනතාව දුප්පතුන්ව සිටියදී එකතු කරන බදු මුදලින් තමන්ගේ සුඛවිහරණයට සුපිරි වාහන, සුපිරි නිවාස, සුපිරි කාර්යාල ලබා ගත්තේ නැත. ගැමියකු වූ ගාල්ලේ දහනායක තමන් අගමැති වූ පසු ද ගෙවූයේ ඒ ගැමි ජීවිතයමය.
එක්දහස් නවසිය පනස් තුන පමණ වන විට මන්ත්‍රීවරයකුගේ මාසික දීමනාව වූයේ රුපියල් පන්සියයකි. සියලු වියදම් පියවා ගැනීමට සිදු වූයේ එම මුදලිනි. එයට අමතරව දුම්රියේ පළමු වැනි පන්තියේ ගමන් කිරීමට ප්‍රවේශපත්‍රයක් ද මන්ත්‍රීවරුන්ට ලැබිණි. දහනායක කිසිදු දවසක දුම්රියේ පළමු පන්තියේ ගමන් නොකළේය. ගාල්ලේදී ඔහු නැග්ගේ තුන් වැනි පන්තියේ මැදිරියකටය. එහි සිට කොළඹට එනතුරුම ඔහු දුම්රිය මගීන් සමග දේශපාලනය කතා කරමින් ඔවුන්ට නොදන්නා දෙයක් උගන්වමින් ජනතාව සමගම ගත කළේය.
බණ්ඩාරනායක අගමැතිවරයාගෙන් පසුව අගමැති වූ ගාල්ලේ විජයානන්ද දහනායකගේ අවසාන රාජකාරි දවස ගැන ද බ්‍රැඩ්මන් වීරකෝන් මෙසේ සටහන් කර ඇත.
“එදින සවස මා අරලියගහ මන්දිරයට යන විට දහනායක දිගු හාන්සි පුටුවක වාඩි වී සිටියේ ඔහුගේ සුපුරුදු කබල් සූට්කේස් දෙක ද පසෙකින් තබාගෙනය. ඔහුට මගෙන් ඉල්ලීමක් කරන්නට තිබිණි. ඒ, අගමැති කාර්යාලයේ හම්බර් හොක්ස් නිල රථ දෙකෙන් එකකින් ඔහුට ගෙදර යන්නට අවසර ලබා දීමය. ඔහු සූට්කේස් දෙක ද රැගෙන පිට වී යනු දැකීම කනගාටුදායක විය.”
ඒ, අගමැතිවරයකුගේ නික්ම යාමය. දේශපාලකයා සැබැවින්ම ගරු කටයුතු සේවයක යෙදුණු ඒ යුගයේ ඔහු අගමැති වී සූට්කේස් දෙකක බඩු පුරවා අරලියගහ වලව්වට ආ ලෙසම තනතුරෙන් සමුගත් දින ද නික්ම ගියේ ඒ සූට්කේස් දෙක පමණක් රැගෙනය. රටේ ආර්ථික තත්වය එදාට වඩා මෑත භාගයේ අතිශය දුර්වල මට්ටමක පැවැතියත්, දේශපාලක පන්තියට ලැබෙන සුපිරි ගණයේ වරප්‍රසාදවල නම් අතිශය වර්ධනයක් දැකිය හැකිය.
දෙදහස් පහළොවේ ජනවාරියේ ජනාධිපතිවරණයෙන් පැරැදුණු අවස්ථාවේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ලේ තම නිවෙසට ගියේ ගුවන් හමුදා හෙළිකොප්ටරයකිනි. එක්දහස් නවසිය අනූ හතරේ මහ මැතිවරණයෙන් චන්ද්‍රිකා ජයග්‍රහණය කළ අවස්ථාවේ ආණ්ඩුවක් හැදීමේ අසාර්ථක උත්සාහයක නියැළුණු ජනාධිපති ඩී.බී. විජේතුංග ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා කල්මුණේ තම නිවෙසේ සිට මුස්ලිම් කොංග්‍රස් නායක අෂ්රොෆ් කැඳවාගෙන එන්නට ගුවන් හමුදා හෙළිකොප්ටරයක් යැව්වේය. රටේ බංකොලොත් බව ලෝකයට පෙන්වා සිඟා කන රාජ්‍ය නායකයන් ඒ සිඟා කාගත් මුදලින් වර්දනය කළේ රටේ ඩොලර් සංචිතය නොව දේශපාලකයාගේ සුඛවිහරණයය.
දේශපාලනය නිසා රටට බරක් නොවූ උදවිය දේශපාලනය කළ කාලයේ ඔවුන්ගේ හැසිරීම් රටාව පවා රටවැසියන්ට රසයක් ගෙන ආවා මිස වර්තමානයේ මෙන් වෛරයෙන් සාප කිරීමක් සිදු වූයේ නැත. ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීමට දේශපාලකයාට යළිත් බොහෝ දේ සිතන්නට සිදුවනු ඇත.
ප්‍රේමකීර්ති රණතුංග