බටලන්ද පැටලුණු සතියක්


ඉමිටියාස්ගේ ඉල්ලා අස්වීම සජිත් භාර නොගනියි

පළාත් පාලන මැතිවණයේ නාම යෝජනා සැකසීමේ කටයුතු හේතුවෙන් ඉකුත් සතිය පුරාම සමගි ජනබලවේගයේ නායකයන් සහ මන්ත්‍රීවරුන් සිටියේ පාර්ලිමේන්තුවේ සහ පක්ෂ මූලස්ථානයේ ය. වෙනත් බාහිර ක්‍රියාකාරකම් කිසිවක් මේ නිසා සිදු කෙරුණේ නැත. එහෙත් සජබය පිළිබඳ දේශපාලන ක්ෂේත්‍රය කතා කරන්නට වූයේ සජබ සභාපති ඉමිටියාස් බාකීර් මාකර් එම තනතුරින් ඉල්ලා අස්වන බව ජනමාධ්‍යයට දැනුම් දුන් නිසා ය. මෙම ඉල්ලා අස්වීමට හේතු විමසූ අයට ඉමිටියාස් බාකීර් මාකර් පැවසුවේ තමා පෞද්ගලික හේතු මත ඉල්ලා අස්වන බව ය. ඉල්ලා අස්වීමේ ලිපිය මන්ත්‍රීවරයා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ නිලධාරීන්ට යවා තිබිණි.

මෙම ඉල්ලා අස්වීම තමාට ලැබී ඇති බව පක්ෂයේ සෙසු ප්‍රධානීන්ට දැනුම් දුන් පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහෙත් තමා මෙම ඉල්ලා අස්වීම පිළිනොගන්නා බව කියා සිටියේය. ගෞරවණීය දේශපාලනඥයකු වන ඉමිටියාස්ගේ සේවය දිගටම පක්ෂය වෙනුවෙන් අවශ්‍ය කරන බවද විපක්ෂනායකවරයා කීවේය. ඉදිරියේ දී පැවැත්වෙන කළමනාකරණ කමිටු රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් තවදුරටත් කතා කළ යුතු බවද විපක්ෂ නායකවරයා පැවසීය.

මාස කිහිපයකට පෙර සිටම සජබය තුළ හීන් සීරුවේ ලියලූ අර්බුදයක කොටසක් ලෙස ඉමිටියාස් බාකීර් මාකර්ගේ ඉල්ලා අස්වීම සිදුවිය. ජනපතිවරණ හා මහමැතිවරණ පරාජයෙන් පසු පරාජයට හේතු සහ අනාගත ජයග්‍රහණ සඳහා වැඩ පිළිවෙළ ගැන විවිධ සාකච්ඡා ගණනාවක් පැවැත්වුණු අතර සජබය සහ එජාපය එක්ව තරග කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය සාකච්ඡා කළහ. එහිදී පක්ෂයේ පිරිසක් චෝදනා කර සිටියේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ සභාපති ඉමිටියාස් බාකීර් මාකර් පක්ෂ දෙක එකතු කිරීම සඳහා ඕනෑවට වඩා උත්සාහ ගන්නා බවටය. එහෙත් එම මත ගැටුමේ අභ්‍යන්තරය දෙපාර්ශ්වය විසින් ම එළියට දැම්මේ නැත. මෙයට පෙර ජාතික සංවිධායක තිස්ස අත්තනායක ද සාකච්ඡා කණ්ඩායමෙන් ඉවත් වූ අතර මෙවර සභාපති ඉම්ටියාස් ඉවත් වීමේ ලිපිය පක්ෂ නායකත්වයට යොමු කිරීමත් එම අර්බුදයේම කොටසක් දැයි සැක මතුව තිබේ. එහෙත් ඉමියාස් කිසිම ජනමාධ්‍යයකට අදහස් පළ කළේ නැත.

එක්සත් හෙද සංගමය ජනපති හමුවෙයි

අයවැයෙන් වැඩිකළ වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නැතිබව කියමින් සෞඛ්‍ය ​සේවයේ වෘත්තීය සමිති ගණනාවක් ඉකුත් සතියේ සංකේත වැඩ වර්ජනයක් පැවැත්වීය. රවි කුමුදේශ්, උපුල් රෝහණ, ​ෙද්විකා කොඩිතුවක්කු ඇතුළු වෘත්තීය සමිති නායකයෝ එම වර්ජනය සංවිධානය කළහ.

එහෙත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම වැඩවර්ජනයට සහභාගී නොවීය. වර්ජනය කිරීම වෙනුවට තම ප්‍රශ්න ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවක දී ඉදිරිපත් කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු එම සංගමයේ නිලධාරීහු පියවර ගත්හ.

සාකච්ඡාව පැවැත්වුණේ ඉකුත් බදාදා ජනාධිපති කාර්යාලයේදීය. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් ලබාදීම තම රජය විසින් සිදුකර තිබියදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බවය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙහි දී කියා සිටියේ මෙම වැටුප් වැඩිවීම රාජ්‍ය ​සේවයේ විශාල පිරිසකගේ ඇගැයුමට ලක්වන බවය. වර්තමානයේ හෙද සේවයේ පවතින ගැටලු කිහිපයක් විසඳා දීමට මැදිහත් වන ලෙස ද උන්වහන්සේ එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියහ.


“මම ඉන්දියාවට ගිහින් ආණ්ඩුව ගැන කිසිම දෙයක් ප්‍රකාශයට පත් කළේ නෑ.ඒ වගේම මම ධුරයෙන්  ගියාට පස්සේ නිවේදනයක් නිකුත් කළේ, අනුර ජනාධිපති අයි.එම්.එෆ්. ගමන පිළිගැනීම ගැන ප්‍රශංසා කිරීමට පමණයි”‍ රනිල් කීවේ ආණ්ඩුව තමාට කොතරම් බිය වී තිබේදැයි කල්පනා කර බලමිනි.


 

ජනපති  රවුප් හකීම් සුහද පිළිසඳරක

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වන ලද විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 14 වැනිදා අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. ඉස්ලාම් ආගමික නායකයන් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලකයන් ගණනාවක් ද එම උත්සවයට ඇරියුම් ලැබ සිටියහ.

මෙම උත්සවය සංවිධානය කර තිබුණේ එදින නෝම්බි අවසන් කිරීම නිමිත්තෙනි.

එම උත්සවයට පැමිණ සිටි සියලු දෙනා ළඟටම ගොස් වචන කිහිපයක් හෝ කතා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක පියවර ගත්තේ ය.

මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ නායක පාර්ලි​මේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ හිස්බුල්ලා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සිටි  ස්ථානයට   සිනාමුසු මුහුණින් ජනාධිපතිවරයා පැමිණියේ රවුෆ් හකීම් මහතාට කතා කරමිනි.

“කොහොම ද?” ජනාධිපතිවරයා  හකීම් මහතාගෙන් විමසීය.

‘“හොඳින් ඉන්නවා ජනාධිපතිතුමා ඔබතුමාට බොහොම ස්තුතිය මගේ ඉල්ලීම පිළි අරගෙන පක්ෂ නායකයෙක් හැටියට පාර්ලිමේන්තු කමිටුවලට මාව නම් කළාට...’’ හකීම් ජනාධිපති අනුර කුමාර දිසානායකට පැවසීය.

පාර්ලිමේන්තුවේ පවතින ගෘහ කාරක සභා ඇතුළු පාර්ලිමේන්තු කමිටු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජනය කරන ඒ ඒ පක්ෂ නායකයන්ගේ නියෝජනයක් මෙතෙක් පැවැති පාර්ලිමේන්තුවල ලබා දී තිබුණ ද මෙවර එම අවස්ථාව ලබා දී නොතිබිණි. විපක්ෂයේ  පක්ෂ නායකයෝ අවස්ථා ගණනාවක්ම කතානායකවරයා සමග ද ​මේ ගැන සාකච්ඡා කළත් එම   නියෝජනය ලැබුණේ නැත.    මුස්ලිම්කොංග්‍රස් නායකයා ජනාධිපති  වරයාගෙන් එම නියෝජනය ඉල්ලා තිබිණ.

මන්ත්‍රීවරුන් පස්දෙනකු සිටින එජාපයට කාරක සභා නියෝජනය ලැබී තිබුණ ද මුස්ලිම් කොංග්‍රසයට අවස්ථාව ලැබී තිබුණේ නැත. ඉකුත් සතියේ කථානායකවරයා මුස්ලිම් කොංග්‍රසයට ද එම අවස්ථාව ලබා දීමට තීන්දුකර ඇති බව විපක්ෂයට දැනුම් දී තිබුණේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදිය. වර්තමාන ආණ්ඩු පක්ෂය එදා විපක්ෂයේ මන්ත්‍රීවරුන් තුන්දෙනකුව සිටිය දී පාර්ලිමේන්තුවේ සියලු කමිටුවලට නියෝජනය ලැබී තිබුණ ද වර්තමාන විපක්ෂයට එම අවස්ථාව නොදීම අසාධාරණයක් බව විපක්ෂයේ පක්ෂ නායකයන් ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබුණේ ය. ජනාධිපතිවරයා සාධාරණව එම ප්‍රශ්නය විසඳුවේ ඉන් අනතුරුවය.

බටලන්ද විවාදය 10 වැනිදාටම ඕනෑ ආණ්ඩුව කියයි

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම ඉකුත් සතියේ පැවැත්වුණේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම බණ්ඩාර, රවි කරුණානායක, ගයන්ත කරුණාතිලක, රාසමානික්කම් ඇතුළු මන්ත්‍රීවරු රැසක් පක්ෂ නායක රැස්වීමට සහභාගි වුණි. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සකස් කිරීම ගැන සාකච්ඡා වූ අවස්ථාවේ විපක්ෂය ඉල්ලා සිටියේ බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබඳ විවාදය පළාත් පාලන මැතිවරණයට පසුව යොදාගන්නා ලෙසය. එහෙත් ආණ්ඩු පක්ෂය පැවසුවේ අප්‍රේල් 10 වැනිදා විවාදය පැවැත්වීම් අවශ්‍යම බවය.

‘‘මේ කොමිසමෙන් එජාපයට පමණයි දොස් නගන්නේ. ​මේක එදත් අසාධාරණ ලෙස එජාපයට මඩ ගැනීම අරමුණු කරගෙන ගෙනාපු කොමිසමක්. මේ පාරත් පළාත් පාලන මැතිවරණය ඉදිරියෙන් තබා ගෙන විවාද කරන එක අසාධාරණයි’’ රවි කරුණානායක කියා සිටියේය. මෙතරම් ඉක්මන් නොවී මැතිවරණයට    පසුව විවාද කළ හැකි බව විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. එහෙත් ආණ්ඩු පක්ෂය පැවසුවේ පළාත් පාලන මැතිවරණයට පෙර මෙම වාර්තාව විවාද කළ යුතු බවය. ඒ අනුව විවාදයේ පළමු දිනය සිංහල අලුත් අවුරුද්දට පෙර අප්‍රේල් 10 වැනිදාට  යොදා ගැනිණි.

රනිල්ට ආණ්ඩුව මෙච්චර බය ඇයි? 

විධායක, පාර්ලිමේන්තු හෝ අධිකරණ බලය බින්දුවක් වත් නොමැතිව දැන් ගෙදරට වී සිටින රනිල් වික්‍රමසිංහ ගැන, ආණ්ඩුවට තුන් බියක් පහළ වී ඇතැයි, කිසිදු පැත්තක් නොගෙන නිදහසේ දේශපාලන වාතාවරණය ගැන බලා සිටින ඇතැම්හු කියති. 

‘‘රනිල්ට ආණ්ඩුව මෙච්චර බය ඇයි? ඒ මනුස්සයත් කිසිම බාධාවක් නොකර තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නකොටත් මෙච්චර බය වෙලා මොකද?”‍ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද එජාප නායකයන්ටද මෙය ප්‍රශ්නයක් විය.

‘‘අපි විතරක් නෙමෙයි, මිනිස්සුත් අහන ප්‍රශ්නයක් ඕක. රනිල්ට ඇයි ආණ්ඩුව මෙච්චර බය?’’ චාමර කීවේ ඇත්තටම ඔහුට ඒ ගැටලු‍වට විසැඳුමක් නොතිබූ බැවිනි.

”‍දැන් විපක්ෂ නායකයෙක් එක්ක, විපක්ෂයක් කියලා දෙයක් තියෙනවානේ. ඒකට ආණ්ඩුවෙන් කිසිම පහර ගැහීමක් නැහැ. ඊයේ පෙරේදා සංස්කෘතික අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය තිබුණා. සංස්කෘතික  අරමුදලෙ වංචා ගැන එක කෙළ බිංදුවක් වැටුණේ නෑ. ඇත්තටම ස.ජ.බ සහ ජේ.වී.පී එක අතරේ මොකක් හරි ඩීල් එකක් තියෙනවා කියන කාරණේ එතනින් තහවුරු වෙනවා’’ තලතා කීවාය.

‘‘ඔව්, සමහර විට සජබ සභාපති බාකීර් මාකර් ඉවත් වුණෙත් ඔය ඩීල් එක දිරවා ගන්න බැරුව වෙන්න ඇති.සජබෙ සභාපති විදිහට හෘද සාක්ෂියට එකඟව මේවා දරාගෙන ඉන්න බැරි වෙන්න ඇති’’ අනුරාධ පැවසීය.

රනිල් බටලන්ද ගැන කියයි

මේ අතර හිතවත් මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ රනිල් බටලන්ද ගැන කතා කළේය.

“ඇත්තටම ජවිපෙ බටලන්ද ඇද්දට පස්සේ මම ඒකට උත්තරයක් දුන්නා.ඊට පස්සේ, නලින්ද ජයතිස්ස ආපහු වතාවක් ඒ ගැන කිව්වට පස්සේ වජිර, තලතා දෙන්නා ඒකට උත්තර දුන්නා. මේව කතා නොකර හිටියා නම් ඒ අයගේ පරණ කුණුගොඩවල් ඇවිස්සෙන්නේ නෑ. අනෙක, ටිල්වින් මේක බාර ගත්ත ඒකෙන් 1988 ක්‍රියාවලිය එළියට එනවා”‍

‘‘ඒ කියන්නේ දැන් ඔවුන් කරපු හානි ඔක්කොම  හොයා බලන්න වෙනවා’’. වජිර කීවේ බටලන්ද කොමිෂන් සභා වාර්තාවද ගෙනහැර පාමිනි.

බිමල් ලා, කථානායකලා කඳුළු සළමින් පාර්ලිමේන්තුවේ ගෙනහැර පෑ බටලන්ද වාර්තාවේ 29 වැනි පිටුවේ සඳහන් වෙන‘‘ජනතා විමුක්ති පෙරමුණ රජයේ දේපළවලට සිදුකරන ලද හානිය බිය උපදවන තරමින් විශාල බව’’ යන ප්‍රකාශය අනුව ඒ අතීතයට ගොස් සිදුවූ හානිය ගැන කල්පනා කරන විට මුළු ජාතියටම ඇඬෙන බව වජිර කීවේ වාර්තාවේ පැහැදිලිව සඳහන් වාක්‍ය ඛණ්ඩ දක්වමිනි.

“බටලන්ද කාරණා ගැන හොයන්න කමිටුවක් දානවා කියලා නලින්ද ජයතිස්ස කියලා තිබුණා.එහෙනම් ඒ අය කරපු දේවලු‍ත් මේ කමිටුවලින් හොයන්න වෙනවා. කමිටු දාලා එක පැත්තක් ගැන හෙව්වොත් ආණ්ඩුව හිර වෙනවා.දෙපැත්තම ගැන හෙව්වොත් තවත් හිර වෙනවා. බටලන්ද ඇදගැනීමෙන් ආණ්ඩුවට වුණේ හරියට කොටේකට ගහලා තිබුණු කුඤ්ඤය ගලවපු වඳුරට වෙච්ච වැඩේ. දැන් ආණ්ඩුවේ වලිගෙම හිරවෙලා තියෙන්නේ’’ තලතා කීවාය.

“මම ඉන්දියාවට ගිහින් ආණ්ඩුව ගැන කිසිම දෙයක් ප්‍රකාශයට පත් කළේ නෑ.ඒ වගේම මම ධුරයෙන්  ගියාට පස්සේ නිවේදනයක් නිකුත් කළේ, අනුර ජනාධිපති අයි.එම්.එෆ්. ගමන පිළිගැනීම ගැන ප්‍රශංසා කිරීමට පමණයි”‍ රනිල් කීවේ ආණ්ඩුව තමාට කොතරම් බිය වී තිබේදැයි කල්පනා කරබලමිනි.

ජේ.වී.පී කියන්නේ ලංකාවෙ වැඩිපුරම මිනී මරපු පක්ෂය ද? ශෙහාන් විමසූයේ ඇත්තටම ඒ කාරණය ගැන සැක හැර දැන ගැනීමටය.

‘‘ඔව් එල්.ටී.ටී.ඊ එක පාර්ලිමේන්තුවේ නැහැ නේ.එල්.ටී.ටී එක හමුදාව සමඟ සටන යන අවස්ථාවේ ජවිපෙත් හමුදාවට වෙඩි තියපු අවස්ථා තිබුණා’’ වජිර කීවේ ඒ අතීතය සිහිපත් කරමිනි.

‘‘ජේ.වී.පී එකේ තරුණ පරපුර දැනගෙන හිටියේ නෑ මේ අය මේ තරම් අපරාධ වලට සම්බන්ධ බව.පස්සෙ ඉපදුණ පරපුර මේ දේවල් ගැන කිසිම දෙයක් දැන්නේ නෑ’’. රුවන් පැවසීය.

‘‘මාර්තු පටන් ගන්නකොට විපක්ෂයට කතා කරන්න කිසිම මාතෘකාවක් තිබුණේ නෑ.දැන් මාර්තු අවසන් වෙනකොට ඕනෑ තරම් මාතෘකා ආණ්ඩුව විසින් සපයලා තියෙනවා”‍ රනිල් කීවේ කට කොනකට සිනාවක් නඟා ගනිමිනි.

”‍ඇත්තටම, ගම්වල හැම පවුලකටම ජවිපෙ ගැන බිහිසුණු අත්දැකීමක් තියෙනවා”‍ මන්ත්‍රීවරු කීහ.

සජබ වෙනස කුමක්දැයි රනිල් පාර්ශ්වයට ප්‍රශ්නයක් 

එජාප, සජබ ඇතුළු සෙසු පක්ෂ එකතු වී ඉල්ලු‍වානම්, කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට හැකියාව තිබෙන  බව දේශපාලක විචාරකයන්ගේ මතයයි. එසේ ඡන්දය ඉල්ලු‍වානම්, පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වෙන්නට ඉරාන් කැමැත්ත පළ කර තිබිණි. එජාපය මෙන්ම සජබත් ඊට කැමැත්තෙන් සිටියේය. නමුත් එක්ව ඉල්ලන්න එපා යැයි කිව්වේ කවුද? මෙය ජවිපෙ සමග ඩීල් එකක් නොවේදැයි අඩු දේශපාලන ඥානයක් ඇති කෙනෙකුට වුවද වැටහෙන කාරණයකි.
‘‘සජිත්, රනිල්ගේ ආණ්ඩුව තියෙද්දි සභා කටයුතු ගෙනියන්න ඉඩ දුන්නේම නෑ.නැගිට නැගිට බාධ කරනවා.දැන් සජිත්ට දණිස් අමාරුවක් වත් හැදිලද?’’ චාමර කීවේ සියල්ලෝම සිනහ සයුරේ ගිල්වමිනි.

තඩි බඩා කීවාට චාමර කථානායකට පැමිණිලි කරයි

විපක්ෂයේ මන්ත්‍රී චාමර සම්පත් දිසානායකගේ බඩ පිළිබඳ ප්‍රශ්නයක් නිසා ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ සිනා සාගරක් ඇති විය. පාර්ලිමේන්තු කමිටු රැස්වීමක දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු ‘‘බදුල්ලේ තඩි බඩා’’ යනුවෙන් කර තිබූ ප්‍රකාශයක් මෙයට හේතු විය. චාමර සම්පත් මන්ත්‍රීවරයා ඉකුත් සතියේ කථානායකවරයාට වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.’’ බලන්න කථානායකතුමනි මගේ බඩ ගැන අපහාස කරලා... බදුල්ලෙන් බඩක් තියෙන මන්ත්‍රී කෙනකුට ඉන්නෙ මම විතරයි. සමන්ත විද්‍යාරත්න ඇමැතිතුමාටත් බඩක් නෑ. මාලිමාවෙන් ඇවිත් ඉන්න අනිත් අයටත් බඩක් නෑ. කථානායකතුමනි ඇඟපත මහත එකෙකුට ඉන්නෙ මම විතරයි. මේක මට දෙයියො දුන්න බඩ... මං  මොකද  කරන්නෙ...’’ චාමර සම්පත් මන්ත්‍රීවරයා කියද්දී කථානායක ඇතුළු මුළු සභාවටම සිනා ගියේය.

එම වරප්‍රසාද ප්‍රශ්නය මතු කර ටික වෙලාවකින් චාමර දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ළඟට පැමිණියේය.

‘‘බලපං ලොක්කා බඩා කියල මට බණිනවනෙ..’’ චාමර දයාසිරිට කීවේය.

‘‘ඉතිං නොකා හිටපං... කිව්වට වැඩක් නෑනෙ. ලේසි වැඩක් නෙවෙයි... දුවපං... ඊළඟට නොකා ඉන්න ඕනෑ. අර ප්‍රසන්න රණතුංග බඩ අඩුකර ගත්තා. අර්ජුන රණතුංග බඩ අඩුකර ගත්තා. ඔයාටත් තියෙන්නෙ පොඩි වැඩයි. නොකා ඉන්න. දුවන්න.. ප්‍රසන්නල දැං අපූරුවට ලස්සනට ඉන්නෙ..’’ දයාසිරි කීවේය.

‘‘ඒක තමයි ලොක්කා... ඒකවත් කරල බලමු.’’ චාමර සම්පත් කියද්දී දයාසිරි කීවේ’’ ඔයා නොකා ඉඳීද කියල නම් මට ෂුවර් නෑ...’’ කියාය.

රුසියානු මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂය හමුවෙයි

රුසියානු පාර්ලිමේන්තුව වන ඩුමාවේ මන්ත්‍රී කණ්ඩායමක් ඉකුත් සතියේ මෙරට පාර්ලිමේන්තුවට පැමිණියේය. එම කණ්ඩායම විපක්ෂනායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දයාසිරි ජයසේකර, සුජිත් පෙරේරා, ජේ.සී. අලවතුවල ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් සමග පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව සාකච්ඡාවක නිරත විය. එම කණ්ඩායමේ වැඩිපුර සිටියේ රුසියානු කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන්ය. ‘‘අපි අන්ත දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක් නොවෙයි. අපි මානවවාදී දේශපාලනයක් කරන්නේ අපි අන්ත වාමාංශිකත් නෑ. මැද මාවතේ දේශපාලනය කරන පක්ෂයක් දයාසිරි ජයසේකර එහිදී කීවේය.

‘‘ඔව් අපේ ලයින් එක මැද මාවත’’ විපක්ෂ නායක සජිත් ද කියා සිටියේය.

ඉහළ රජයේ නිලධාරීන් ආණ්ඩුවේ දේශපාලනයේ සජබ මහ ලේකම්

විපක්ෂයේ කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් මෙවර පළාත් පාලන ඡන්දයට තරග වැදීම නිසා සෑම අපේක්ෂකයාටම පාහේ තරගවැදීමට වේදිකාවක් ලැබීම මෙවර විශේෂත්වයකි. ඒ නිසාම නාම යෝජනා පොරකෑම් සහ නාම යෝජනා අවලංගු වීම් ද අඩුය. එහෙත් ස්ථාන පහක හයක පමණ නාම යෝජනා පත්‍ර අවලංගු වී තිබේ.

එජාපයෙන් සහ සජබයෙන් නාමයෝජනා ඉල්ලා එම පක්ෂ දෙකෙන් නොලැබුණු කණ්ඩායමක් කළුතර දිස්ත්‍රික්කයේ සභාවකට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විය. මෙම කණ්ඩායම ඉදිරිපත් වූයේ ස්වාධීන කණ්ඩායමක් ලෙසය.

කළුතර දී නාම යෝජනා භාර ගැනීම දහවල් දොළහට අවසන් වූ පසු විරෝධතා ඉදිරිපත් කරන කාලය තුළ ඇතැම් පක්ෂයක නාම යෝජනා ලැයිස්තුව ප්‍රදර්ශනය නොකිරීම නිසා තවත් අමතර විනාඩි දහයක කාලයක් විරෝධතා සඳහා ලබාදීමට නිලධාරීන්ට සිදුවිය. සජබ මහලේකම්වරයා චෝදනා කළේ මෙවර ඇතැම් ඉහළ මට්ටමේ රජයේ නිලධාරීන් ප්‍රසිද්ධියේම විපක්ෂයට අවාසිදායක ලෙස හැසිරුණු බවය.

ලබන ජුනියේ ආණ්ඩුවෙන් පුළුල් සංධානයක්ල

බන ජුනි මාසය වන විට ආණ්ඩුව තවත් පක්ෂ සමග හවුල් වී පුළුල් සන්ධානයක් ඇති කිරීමට සූදානම් වෙමින් ඇතැයි දේශපාලන අංශ අතර කතාබහට ලක්ව තිබේ. එයට හේතු වී ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ කිහිපයක නායකයන්ට ආණ්ඩුවේ ඉහළම ප්‍රධානියකු කර ඇති බව කියන ප්‍රකාශයකි. ලබන ජුනි වන විට ජනාධිපතිවරයා ජාතික ජනබලවේගයෙන් සහ අගමැතිවරයා ජවිපෙන් නියෝජනය වන පුළුල් පෙරමුණක් ගොඩනඟා රජය ඉදිරියට ගෙන යන බව ආණ්ඩුවේ ප්‍රධානියා පවසා ඇතැයි දේශපාලකයන් අතර කතාබහට ලක්වී ඇත. ඔවුන් අගමැති ධුරය ජවිපෙට වෙන් වූ විට අගමැති වන්නේ වත්මන් විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ය. ජනාධිපතිවරයා ජවිපෙන් ඉවත් වී ජාතික ජනබලවේගයේ නායකයා බවට පත්වන බවත් ජවිපෙ නායකා ලෙස විජිත හේරත් ඇමැතිවරයා පත්වන බවත් ආණ්ඩුවේ ඉදිරි පියවර ඒ අනුව සැලසුම් කෙරෙමින් ඇති බවත් දේශපාලකයන් අතර කතා බහට ලක්ව ඇත.

රාජ දූත