බටලන්ද වාර්තාවෙන් රනිල් වික්රමසිංහට මුකුත් වෙන්නේ නෑ


එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  වජිර අබේවර්ධන

බටලන්ද කොමිසන් සභා වාර්තාව ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ඒ සමගම රටේ අලුත් කතිකාවක් නිර්මාණය වී තිබේ.

මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සමග කළ සාකච්ඡාවකි.

Q බලන්ද කොමිසන් සභා වාර්තාව ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි නීතිමය තත්ත්වය ගැන ඔබේ අදහස.

හොඳින් මතක තබාගත යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන තත්ත්වයන් දෙකක් තියෙනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලනය අපේ රටේ පමණක් නොවෙයි වෙනත් රටවලත් දකින්න තියෙනවා. නිදහසට කරුණු ලෙස මොනවා කියන්න උත්සාහ කළත් ප්‍රජාතන්ත්‍ර විරෝධී කණ්ඩායම් ඒක සාධාරණිකරණය කරන්න බෑ. ඒ අය නිදහසට කරුණු හොයා ගන්නවා. ඒක නොවෙයි විය යුත්තේ කොමිසන් සභාවේ නීතිමය පැත්ත ගත්තොත් යම් යම් දේ ගැන සොයා බැලීම් කරන්න පුළුවන්. කොමිසන් සභා වාර්තාව සකස් වෙන්නේ රටේ ඇඳිරි නීතිය, හදිසි නීතියය පනවා තිබියදී සිදු කෙරුණු ක්‍රියාවලියක් ආශ්‍රය කරගෙනයි. කොමිසන් සභාවකට එහෙම කළාට එම කොමිසන් සභා  මා දන්නා නීතිමය තත්ත්වය තමයි, ‘‘එයින් අතීතය පිළිබඳව කරුණු කාරණා  සොයා බලා වාර්තාවකට ඇතුළත් කළ හැක. එහෙත් ඊට එහා කිසිවක් කළ නොහැක’’ යන්න.

Q කොමිෂන් සභා වාර්තාවේ තියෙනවා ‘පැවැති තත්ත්වය කුමක් වුවත් ආණ්ඩුව එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ පිළිගත්  නීත්‍යනුකූලව වලංගු වන සම්මතයන්ට අනුකූලව බව’ නමුත් බටලන්ද එවැනි තැනක්  නොවෙයි.?

එහෙම වාක්‍යයක් තියෙන බව ඇත්ත. මාත් ඒක පිළිගන්නවා. ඒ ඔබ කියපු වාක්‍යයට උඩින් තියෙනවා ‘‘කිසිසේත්ම අපි අනුමත කරන්නේ නෑ ප්‍රජාතන්ත්‍ර විරෝධී ත්‍රස්තවාදී ක්‍රියා’’ කියලා. ඊට අමතරව කියනවා ‘‘ජනතා විමුක්ති පෙරමුණ සහ දේශ ප්‍රේමී ජනතා ව්‍යාපාරය කරන ලද තුච්ඡ ම්ලේච්ඡ ක්‍රියා කිසිසේත් අපි අනුමත නොකරමු’’ කියලා.

Q නමුත් කොමිසන් සභා වාර්තාවේ තියෙනවා ඔය ඔබ කියන කණ්ඩායම් ‘‘ප්‍රතික්ෂේප කරනු ලැබූ ප්‍රමාණය කොපමණ වුවත් වගකිවයුතු රජයක් ක්‍රියා කළ යුත්තේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව  සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි’’ කියලා.

ඒ නිසා තමයි 1971 කැරැල්ල එදා ආපු අවස්ථාවේදී බණ්ඩාරනායක මැතිනිය එම කැරැල්ල මඩින ලද පිරිස ආරක්ෂා කිරීම සඳහා වගවීමේ පනතක සංශෝධනයක් සේ ගෙනාවේ. එහෙම කළේම ඒක සාමාන්‍ය අවස්ථාවක් නොවෙයි. රාජ්‍යයට විරුද්ධව විනාශකාරී තත්ත්වයක් ඇතිවන අවස්ථාවක්. ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ මහජන නියෝජිතයන් මරා දමන අවස්ථාවක්. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අවි උදුරාගත්ත අවස්ථාවක්.

එවැනි අවස්ථාවක ආරක්ෂක අංශ ගන්නා තීන්දු තීරණ ආරක්ෂා කිරීම සඳහායි 87-89  ගත්තොත් රටේ සාමාන්‍ය තත්ත්වයක් නොවෙයිනේ තිබුණේ. ඇඳිරි නීතිය, හදිසි නීතිය පණවල තිබුණේ. එහෙම නම් තිබුණේ සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. එහෙම අවස්ථාවකදී ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට එරෙහිව ත්‍රස්තබලය පාවිච්චි කරන කොට ප්‍රජාතන්ත්‍රවාදය ආක්ෂා කිරීම රජටේ වගකීමක්. එහෙම තැත්නම් ඔබ කියන්නේ ත්‍රස්තවාදීන්ට ඉඩ දීල ආණ්ඩුවක් පැත්තකට වෙන්න ඕනැ කියලා.

Q එවකට සිටි නිලධාරීන් මෙන්ම දේශපාලනඥයන් බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළා කියලත් වාර්තාවේ තියෙනවා.’’

ඔව්. ඉන්නේ බෙල්ල කපලා බෙල්ල වැටක එල්ලුවම මානව හිමිකම් උල්ලංඝනය වෙනවනේ. ‘‘එජාප සාමාජිකයෙක්නම් දඬුවම මරණයයි’’ කිලා කිව්වම මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවනෙ. පළාත් පාලන පළාත් සභා මන්ත්‍රීවරුන් පනහක් විතර මරා දැම්මාම මානව හිමිකම් උල්ලංඝනය වෙනවනේ. ඒ නිසා මතක තබා ගත යුතුයි පුද්ගල ආරක්ෂාව කියන එකත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන බව. මේ සම්බන්ධයෙන් වාර්තාවක් නොවෙයි. මහා වංශය වගේ පොතක් ලියන්න පුළුවන්. දහස් ගණනක් මිනිස්සු නාඳුනන තුවක්කුකරුවාට බිලි වුණා. ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ අනතුරක් ඇති වුණා. ඒ නිසා ඒවා ගැඹුරින් විග්‍රහ කරගත යුතුයි. බටලන්ද විතරක් නොවෙයි රටේ පොදුවේ ඇති වූ තත්ත්වයන් නැවත සමාජගත කිරීම ජාතික අපරාධයක් වශයෙන් තමයි මම සලකන්නේ.

Q බටලන්දේ චූදිතයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ඇතුළු සුදුසු දඬුවම් දිය යුතුයි කියලා වාර්තාව නිර්දේශ කරනවා.

ඇත්ත වශයෙන්ම වාක්‍යවල නොයෙක් කාරණා සඳහන් වෙන්න පුළුවන්. ඒක නීතියක් නොවෙයි. අදහසක් මතයක් පමණයි.

Q ඔබ කියන්නේ මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට පමණක් නොවෙයි කාටවත් දඬුවම් නොකළ යුතුයි කියලද?

දඬුවම් දෙන්න ගියොත් දෙපාර්ශ්වයටම දඬුවම් දෙන්න වෙනවනේ. මිනී මැරුම්වලට කාල සීමාවක් නෑනේ. එහෙම නම් අපි නැවතත් වෛරය මුලට ගෙනල්ලා දෙපාර්ශ්වයටම  දඬුවම් කරගන්න ගියොත් කොහෙන් කෙළවර කරන්නද? ලංකාවේ බන්ධනාගාර, උසාවි, නීතිඥ මහත්වරුන් මදි වෙයි.

Q 87-89 කාලේ යූ.එන්.පී. මැති ඇමැතිවරුන් පවත්වාගෙන ගිය බධකාගාර නිල සහ නොනිල හමුදාව පවත්වාගෙන ගිය වධකාගාර රට පුරා තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදයට පළමු වෙඩිල්ල එල්ල කළේ ඔවුන්?

විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් වධකාගාර තිබුණා. මගේ මතකයෙ හැටියට බොල්ගොඩ ගඟේ භික්ෂූන් වහන්සේලා කීප නමක් මරලා දැම්මා. ඒ මරාදැමීම සිදුකළේ විශ්වවිද්‍යාල ඇතුළේ තිබුණ වධකාගාර තුළදී.

Q ඒ කාලෙ විශ්වවිද්‍යාලත් හමුදා කඳවුරු, වධකාගාර බටව පත් කරලා තිබුණේ.

නෑ නෑ මම කියන්නේ මේ ඊට ඉස්සෙල්ලා වෙච්ච දෙයක්. විශ්වවිද්‍යාල ඇතුලේ ජවිපෙ කණ්ඩායම් හා ස්වාධීන කණ්ඩායම් මරා ගත්තා. ඒක කවුරුත් දන්නවනේ. ඔවුනොවුන්ගේ මරා ගැනීමත් ඔය ඔබ කළා වගේම  ආණ්ඩුවේ එකවුන්ට් එකට දැම්මා. අද ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන අය කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ මරා දැම්මා. තමන්ගේ මතය පිළිනොගැනීම තමයි ඒ මරණයට හේතුව. ඒ හේතුව නිසා ඔවුන්නොවුන් එකිනෙකා මරා ගත්තා. ඒකට ඉඩ නොදිය යුතුයි.

Q 88-89 ශාපලත් යුගය බිහිවෙන්නෙ ජවිපෙ තහනම් කරපු නිසා?

සම්පූර්ණ බොරුවක්. 71 කැරැලි ගහන කොට බණ්ඩාරනායක මැතිනිය පත්වෙලා මාස 8යි. ඒකෙදි අවි අතට ගත්ත දහස් ගණන් තරුණ ජීවිත විනාශ වුණා. ජවිපෙ එහෙම කළේ ඒ පක්ෂය තහනම් කරපු හින්දද. නෑ. ලංකාවට ආයුධ සන්නද්ධ දේශපාලනය කියලා දුන්නේ 1971 දී. මේ වෙනකොට මැතිනිය පත්වෙලා මාස 8යි. ඒ වෙනකොට  මැතිනිය සාර්ථක වෙලත් නෑ. අසාර්ථක වෙලත් නෑ. ඔය ආයුධ හරඹය අද පාතාලය දක්වා දුර ගිහින් තියෙනවා. ඒ ආයුධ තවමත් රටේ තැන් තැන්වල හංගලා ඇති. මොකද ඒ අයුධ බාරදුන්නේ නෑ. පොදු සමාකාලයක් දුන්නම සමහරු අවි බාර දුන්නා. සමහරු දුන්නේ නෑ. මම කියන්නේ නැවත සමාකාලයක් දීලා ඒ අයුධ බාරගැනීම පටන් ගන්න  ඕනැ කියලයි. ජවිපෙ විතරක් නොවෙයි තවත් පක්ෂ දෙකක් ඔහු තහනම් කළා. ඒ පක්ෂ දෙක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට කතා කරලා තහනම අයින් කරගත්තා. රටක් ගිනි තියන ව්‍යාපාරයක් තියෙනකොට ප්‍රජාතන්ත්‍රාවාදී රජයකට  යම් යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ඒ නිසා පක්ෂ තහනම ආයුධ සන්නද්ධ කැරැල්ලට හේතුව කියලා මම නම් පිළිගන්නේ නෑ.

Q කළු ජූලියට සම්බන්ධයි කියලනේ ජවිපෙ තහනම් කළේ. නමුත් කළු ජූලිය යු.එන්.පීයේම නිර්මාණයක්?

ඔය විහිළු කතාව මම මීට පෙරත් අහලා තියෙනවා. වගේ ඒවා කියන්න එපා කියලයි මම කියන්නේ.

Q 71 කැරැල්ලෙන් පස්සේ ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලනයට ඇවිත් ජනාධිපතිවරණයටත්, සංවර්ධන සභා මැතිවරණයටත් ඉදිරිපත් වෙලා සිටියදී තමයි ජවිපෙ තහනම් කරන්නේ?

මම ඒකයි ඇහුවෙ මාස 8ක මැතිනියගේ ආණ්ඩුවට පහර දුන්නේ ඇයි. විශ්වවිද්‍යාලවල තියෙනවනේ බහුතරයේ කැමැත්ත නිවැරැදි නෑ කියලා මතයක්. එහෙනම් හරි දේ සුළුතරය කැමැත්තයි. කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක එහෙම වෙන්නෙ. කැරැලි මතු වුණේ ඒ හරහානේ.

Q  දේශපාලන චෝදනාවක් තිබුණා අනුර කුමාර දිසානායක හා රනිල් වික්‍රමසිංහ අතර ඩීල් එකක් තියෙනවා කියලා. එහෙම නම් ඉතින් බටලන්ද වාර්තාවට මුකුත් වෙන එකක් නෑ.

බටලන්ද වාර්තාව නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මුකුත් වෙන්නේ නෑ. ජවිපෙ කියන ව්‍යාපාරය පටන් ගත්තේ පැරැණි වමට එරෙහිවයි. එහෙම පටන් ගත්ත ඔවුන් අද රට පාලනය කරනවා. ඒක බොහොම හොඳයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාම හොඳයි. ජවිපෙ පාලනය තුළ හොඳ ප්‍රවණතා තියෙනවා. දැන් දේශපාලනයට පැමිණෙන අය ස්වයං විනයකින් කටයුතු කළ යුතු වෙනවා. ඒක ඉතාම හොඳයි.

Q මගේ ප්‍රශ්නය වුණේ ‘අනුර- රනිල් ඩීල් ’එක ගැනයි.

ඩීල්. නැත්තේ කොතැනද මැතිනිය 71 දී බලයට එන්නේ ජවිපෙ සහායෙන්. 77 දී ජේ.ආර්. බලයට එන්නේ ජේ.වී.පී. එකේ සහයෝගයත් ඇතිව. ප්‍රේමදාස බලයට එන්නෙත් ඒ විදියටම තමයි. 94 චන්ද්‍රිකා කුමාරතුංග බලයට ආවෙත්, මහින්ද රාජපක්ෂ බලයට ආවෙත් ජේ.වි.පෙ එකේ  සහයෝගය ඇතිව. සරත් ෆොන්සේකා විතරයි මිස් වුණේ.

මෛත්‍රීපාල සිරිසේන වුණත් ජේවිපෙ එකේ සහය නිසා. රනිල් වික්‍රමසිංහ මැද්දෙන් ජනාධිපති වුණෙත් ජේවීපී එකේ තිබුණ දුර්වලකම නිසා. වර්තමානයේ අනුර කුමාර ජනාධිපතිවෙලා තියෙනවා. ඒ නිසා විවේචනාත්මකව බලනවා වගේම කෙනෙකුට කියන්න පුළුවන්  ඩීල් එකක් කියලා. පොලිටික්ස් කියන්නෙම ඩීල් තමයි. ඩීල් කියන්නේ ලෝකයේ තියෙන හොඳ වචනයක්. ඩීල් බැරිනම් දේශපාලනය කරන්න බෑ. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරාම ඩීල් තමයි.
ප්‍රසන්න සංජීව   තෙන්නකෝන්.