ලංකාවේ සෑම දේශපාලන පක්ෂයක්ම විපක්ෂයේ සිටියදී දේශපාලනය කරන්නේ ජනතාවගේ ‘බත් පත’ ඉලක්ක කරගෙනය. ජීවන වියදම ඉහළ නගිද්දී ඒ සමගම විපක්ෂයේ දේශපාලන පක්ෂ ද සක්‍රිය වීම සාමාන්‍ය ස්වභාවය ය. බත් පත අහිමි වීම මෙරට පොදු මහජනතාවගේ සංවේදී ඉන්ද්‍රියයක් නිසා,විපක්ෂයේ සිටියදී දේශපාලකයෝ මේ සංවේදී ස්නායුවට වැඩි තෙරපුමක් ලබා දෙති. බත් ඇටය දේශපාලන අවියක් ලෙස දසක ගණනාවක් තිස්සේම මෙරට දේශපාලන පක්ෂ විසින් භාවිත කර ඇත. ඉකුත් කාලයේ බත් ඇටය දේශපාලන අවියක් ලෙස පාවිච්චි කළ පක්ෂ අතර ජවිපෙ - ජාතික ජන බලවේගයද විය.
මෙරට නිපදවෙන සහල් ප්‍රමාණය පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොමැති විට, විදේශයෙන් සහල් ගෙන්වා වෙළෙඳපොළ සමතුලිත කිරීම සාමාන්‍යයෙන් සිදුවේ. සහල් හිඟයක් හෝ මිල ඉහළ ගිය අවස්ථාවක ගොවීන්ට බත ඇතත් බත නිපදවීමට හවුල් නොවෙන සෙසු රටවැසියන්ගේ කුස පිරවීම රජයක වගකීමය. ඒ නිසා යටත් විජිත යුගයේ සිට අද දක්වාම හිඟ පාඩු වෙලාවට රටින් සහල් ගෙන ඒමට සෑම රජයක්ම ක්‍රියා කළේය. එහිදී ආනයනය කෙරෙන්නේ අතිවිශාල සහල් ප්‍රමාණයකි. මෙට්‍රික් ටොන් ලක්ෂයක් හෝ එයටත් වැඩියෙනි. පැවැති ආණ්ඩුවල ඇතැම් වෙළෙඳ ඇමැතිවරුන්. කෘෂිකර්ම ඇමැතිවරුන් සහල් ආනයනයෙන් පරම්පරා ගණනකටම හරිහම්බ කරගත් බවට ද චෝදනා එල්ල විය. රජයේ වී ගබඩාවල සහල් කුණු කොල්ලයට විකුණා දමා, සහල් හිඟයක් මවා පෙන්වා අනවශ්‍ය ලෙස සහල් ආනයනය කළ බවට ද චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, ඇතැම් ඇමැතිවරුන් බත් ඇටයෙනුත් කොමිස් මුදල් උපයා ගත් බව අපට පිළිගැනීමට සිදුවෙයි. එවැනි තත්ත්වයක් නීතියෙන් ඔප්පු කිරීමට නොහැකි වෙන අතර, සහල් ආනයන ටෙන්ඩරය ලබාගැනීම සඳහා සහල් ආනයන ව්‍යාපාරිකයන් දේශපාලකයන්ට විශාල වශයෙන් කප්පම් මුදලක් දෙන බව රහසක් නොවේ.
බත්ඇටය දේශපාලන සටන් පාඨයක් වෙන්නේ එතැනදීය. සහල් ආනයනයට පක්ෂව රජයත්, ආනයනයට එරෙහිව විපක්ෂයත් පෙනී සිටින අතර එය දේශපාලන ගාලගෝට්ටියක් බවට පත්වේ. පසුගිය සමයේ වී අස්වනු විකුණාගැනීම සඳහා ද සහල් ආනයනයට එරෙහිවද ගොවි සංවිධාන හඬ නැගූ අතර එම ගොවි සංවිධාන අතරින් බහුතරයක් ජවිපෙට සම්බන්ධ ගොවි සංවිධාන වේ. පසුගිය මැතිවරණ වේදිකාවලදීත් මෙම ජවිපෙ දේශපාලකයන් මොර ගෑවේ තමන්ගේ රජයක් යටතේ සහල් ඇටයක්වත් රටින් ගෙන එන්නේ නැති බවය.
දැන් ඇත්තේ ජවිපෙ පෙරටු කරගත් සමිති සමාගම් විසි එකකින් සැදුණු ජාතික ජනබලවේග රජයකි. එම රජයේ වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ, වෙළෙඳපොළේ මතුවෙමින් ඇති සහල් හිඟය වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක් වහාම ආනයනය කිරීමට කැබිනට්ටුවේ අවසරය ලබාගත්තේය. ‘ස්වර්ණා’ නමැති ඉන්දියානු නාඩු සහල් වර්ගය දෙසැම්බර් වෙද්දී වෙළෙඳපොළට නිකුත් කිරීම ඇමැතිවරයාගේ බලාපොරොත්තුවය. කිලෝව රුපියල් 220 ක මිලකට සතොස සහ සමුපකාර වෙළෙඳසල් මගින් ජනතාව වෙත නිකුත් කරන බව ද ඇමැතිවරයා පැවසීය. ඔහු කියා සිටියේ සහල් වෙළෙඳුන්ගේ ඒකාධිකාරය නැති කර සහල් මිල අඩු කිරීම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය බවය. විපක්ෂයේ සිටියදී සහල් ආනයනයට එරෙහි වූවාට ආණ්ඩුවක සිටියදී එසේ කළ නොහැකි බව ජාතික ජන බලවේගය තේරුම් ගෙන ඇති බව ඉන් පෙනෙයි. තමන්ට තර්ජනයක් විය හැකිව තිබූ පළමු කඩුල්ල සාර්ථකව පැන ගෙන ඇති බවද ඉන් වටහා ගත හැකිය.
මහ පැරකුම් රජ දවස ගැන අප නිවැරැදිව නොදනිතත්, පරංගි ලන්දේසි හා ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණ හේතුවෙන් නටබුන් වී, පිට්ටනි බවට පත්වූ මහා වැව් අමුණු හේතුවෙන් මෙරට ආහාර හිඟයක් ඇතිවිය. පරංගි සමයේත් ලන්දේසි සමයේත් ඇතිවූ යුද්ධත් නොරටුන් යුද අවියක් ලෙස වැව් අමුණු බිඳ දැමීමත් හේතුවෙන් එකල ද සහල් ගෙන්වීමට සිදුවූයේ භාරතයෙනි. ඇතැම් විටක බුරුමයෙනි. ඉංග්‍රීසීන් 1818 උඩරට කැරැල්ලේදී වෙල්ලස්ස නමැති මෙරට ධාන්‍යාගාරය සියලු වැව් වනසා ඵලදරන ගහකොළද කැපූ පසු, ඉංග්‍රීසි ආණ්ඩුකාරයාටම සහල් හිඟයට හා සාගතයට මුහුණ දීමට සිදුවිය. ඉන්පසුව ඉන්දියාවෙන් අඩු මිලට සහල් ගෙන ඒමට ඉංග්‍රීසි පාලකයන්ද පෙලඹුණු අතර, එතෙක් වවාගෙන කෑ ගොවියෝද රට බතට හුරුවූහ.
රටේ උපදින වී අස්වැන්න කෑමට පමණක් නොව තවත් කර්මාන්ත ගණනාවක් සඳහා යොදා ගන්නා බව සාතිශය බහුතරයක් පොදු මහජනතාව නොදන්නා අතර දේශපාලකයෝ ඒ බව අමතක කරති. දේශීය බීර නිෂ්පාදනයටත්, කුකුළු ආහාර සඳහාත් වී අස්වැන්න යොදා ගැනේ. මහා පරිමාණ වී මෝල් හිමියෝ, අස්වනු කැපෙන කාලයට අඩු වියදමකින් විශාල වී තොග රැස් කරගනිති. වී සුලබ කල මිල අඩුවෙන වාසිය ලබා ගන්නා ඔව්හු, තම සුවිසල් ධාන්‍යාගාර අඩු මිල වී ඇටයෙන් පුරවති. අතීතයේ මෙරට ජනයාගේ ආහාර රටාවට බත පමණක් නොව අල, බතල, කොස්, දෙල් ආදිය ද අයත් විය. තුන්වේලටම බත් කන සිරිතක් මෙරට තිබුණේ නැත. අද බොහෝ ගෙවල් තුන් වේලටම ආහාරයට ගන්නේ බත්ය.
ඒ සඳහා පෙරට වඩා විශාල වී අස්වැන්නක් අවශ්‍ය වේ. අතීතයට වඩා මෙරට පස අද නිසරුය. ඒ නිසා වී වගා කළද අස්වනු හොරය. අද බීජ වී ගෙනෙන්නේ විදේශයෙනි. බොහෝ බීජ වී අභිජනනය කළ ඒවාය.
අභිජනනය කළ වී වැඩි අස්වනු දෙන්නේ මැනවින් පොහොර හා කෘෂි රසායන යෙදූ පසුවය. පොහොර මිල අධිකය. නියමිත පොහොර ප්‍රමාණය යෙදීමට ගොවි අත මුදල් නැත. මේ නිසා අස්වනු අඩුය. මෙවැනි විවිධාකාර හේතු නිසා අස්වනු අඩුවෙද්දී වෙළෙඳපොළේ වී මිල ඉහළ යයි. කෘත්‍රිමව සහල් මිල ඉහළ යැවීම සඳහා මහා පරිමාණ මෝල් හිමියෝ වී තොග හංගති.
රජය මැදිහත් විය යුත්තේ එතැනදීය. එතෙරින් ගෙනැවිත් වෙළෙඳපොළේ සහල් සුලබ කළ විට, හැංගූ සහල් ද එළියට එයි. එවිට මිල බසී. මේ චක්‍රය වසරකට වරක් සිදුවෙන ක්‍රියාදාමය ය.
එම ක්‍රියාදාමයට අනුගත නොවී, ජවිපෙ ප්‍රතිපත්ති අනුව ගොවියා වී වගාකර සරු අස්වනු ලැබෙන මතු අනාගතය තෙක්, සහල් ආනයනය නොකර සිටියොත්, ගෝඨාභය බලයේ සිටි අවුරුදු දෙකවත් බලයේ සිටින්නට අනුර කුමාර ජනාධිපතිවරයාට හැකි වෙන්නේ නැත. ඒ නිසා පක්ෂ ප්‍රතිපත්ති පසෙකට කර, සෑම ආණ්ඩුවක්ම කළ අයුරින් සහල් ආනයනයට පෙලඹීම ගැන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සමස්ත රටවැසියාගේම කෘතඥතාවට ලක්විය යුත්තේය.
දැඩි නියං තත්ත්වය නිසා, සත්ව ආහාර සහ බියර් පෙරීම සඳහා සහල් තොග යොදාගැනීම තහනම් කිරීමට ඉකුත් වසරේ ජූලි මාසයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගත්තේය. එහෙත් තහනම් වූයේ සැමදාටම නොවේ. එකී මාසයකට හෝ දෙකකටය. ඒ වෙන විට සමහර දිස්ත්‍රික්කවල ගොයම් පීදෙමින් තිබූ අතර සමහර දිස්ත්‍රික්කවල ගොයම් කිරිවැදෙමින් පැවතිණ. අස්වනු නෙළූ පසු පෙරකී තහනම ද ඉවත් විය. සත්ව ආහාර සඳහා බඩඉරිඟුද බියර් පෙරීම සඳහා සහල් ද විදේශයෙන් ගෙන්විය යුතු මුත් බියර් සමාගම් දෙකක් නිරතුරුවම කරන්නේ මෙරට වී අස්වැන්න කැපෙන සමයට අඩු මිලට වී තොග රැගෙන ගබඩා කිරීමය.
මහා පරිමාණ මෝල් හිමියන්ද වී ගබඩා කරගන්නා අතර බොහෝ දෙනාගේ විරෝධය එල්ල වෙන්නේ මහා පරිමාණ වී මොල් හිමියන්ට මිස බියර් සමාගම්වලට නොවේ. සහල් හිඟය සෑම වසරකම ඇතිවෙන ප්‍රශ්නයකි. එහිදී රජය කළ යුත්තේ සත්ව ආහාර සහ බියර් පෙරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය විදේශයෙන් ගෙන ඒම සහතික කිරීමය. මහා පරිමාණ වී තොග රැස් කරන්නේ කවුදැයි රාජ්‍ය නිලධාරීන් ලවා නියාමනය කිරීමය. විශේෂයෙන්ම බියර් සමාගම් සහල් රැස්කිරීම නැවැත්වීමට රජය මැදිහත් විය යුතුය.
බත් ඇටයේ දේශපාලනය වැරැදි බව ජවිපෙ - ජාතික ජනබලවේග දේශපාලකයන් තේරුම් ගැනීම වැදගත් ප්‍රවණතාවකි. විපක්ෂයේදී මොනවා කීවත් ආණ්ඩුකරණයේදී එසේ කළ නොහැකි බව තේරුම් ගැනීම ද එයටත් වඩා හොඳ ප්‍රවණතාවකි. විපක්ෂයේදී කතා පෙට්ටියක් විය හැකිය. එහෙත් ආණ්ඩුකරණයේදී කතාව නොව අවශ්‍ය වෙන්නේ ක්‍රියාවය. වසර ගණනාවක් ආණ්ඩුවලට එරෙහි විවේචකයන් වී සිටි ජවිපෙ - ජාතික ජන බලවේගයට දැන් තමන්ගේ විවේචන අනුව ආණ්ඩුව හොඳින් කර පෙන්වීමේ මහඟු අවස්ථාව ලැබී තිබේ. බත් ඇටයේ දේශපාලනයේදී ඔවුන්ගේ භූමිකාව වෙනස් වී ඇත්තේ මේ නිසාය.
බත් ඇටයේ දේශපාලනය තීරණාත්මක සාධකයක් වූයේ අද පමණක් නොවේ. 1953 දී බෝධිසත්ව ගුණෝපේත දේශපාලකයකු ලෙස එකල ජනතාව අතර හැඳින්වුණු, ඩඩ්ලි සේනානායකට අගමැති ධුරය අතහැර ගෙදර යන්නට සිදුවුණේත් බත් ඇටයේ දේශපාලනය නිසාය. බ්‍රිතාන්‍ය යටත් පාලනයෙන් ලාංකික ප්‍රභූ පන්තිය අතට පාලන බලය මාරුවූ පසු, රටේ ජාතික ආදායම අඩුවෙන්නට පටන්ගත්තේය. බලයේ සිටි එජාප ආණ්ඩුව ආදායම් වැඩිකර ගැනීමට බදු වැඩි කළේය.
ජනතාවගේ ආදායම අඩු වුණේය. බදුත් වැඩි කළ ආණ්ඩුවට තවත් ආදායම් මදි වුණේය. ආණ්ඩුව ආහාර සඳහා එතෙක් ලබාදී තිබූ සහනාධාරය ඉවත් කළේය. ශත විසි පහේ අඩු මිලට දුන් සහල් සේරුවක මිල සත හැත්තෑපහ දක්වා ඉහළ දැම්මේය. එකල මුදල් ඇමැති ජේ.ආර් ය. ජේ.ආර්ට නොව විරෝධය ආවේ අගමැති ඩඩ්ලිට ය. ජනතා විරෝධය පැතිර ගියේ පාරවල් වසා දුම්රිය, බස්රිය ගමන නතර කරමින් සිදුකළ මහා හර්තාලයෙනි. පොලිස් වෙඩි පහරින් අහිංසකයන් 12 දෙනකුගේ ජීවිත බිලිගත් පසු අගමැති ඩඩ්ලි ඉල්ලා අස්විය. දිගින් දිගටම අපකීර්තියට පත් ආණ්ඩුවට අන්ත පරාජයක් අත්කර දෙමින් 1956 මැතිවරණයෙන් ජය ගත්තේ බණ්ඩාරනායක අගමැතිවරයාය.
එදා බත් ඇටයේ දේශපාලනය කළ සමසමාජ පක්ෂය එමගින් එජාප ආණ්ඩුවට තිබූ පවරු පදනම් සුනුවිසුනු කර දැම්මේය.
බත්පත යනු මෙරට ජනතාවගේ සංවේදී ඉන්ද්‍රියයන් කිති කවන්නට හැකියාව ඇති දේශපාලන ආයුධයකි. ජවිපෙ දේශපාලකයන් බත් ඇටයෙන් පැවැති ආණ්ඩුවල සංවේදී ඉන්ද්‍රියයන් විනාශ කළ ආකාරය මැනවින් වටහා ගෙන ඇති ජනාධිපතිවරයා, තම ආණ්ඩුව බලයට පත්වූ වහාම පිටරටින් සහල් ගෙන ඒමට තීරණය කරමින් ජනතාවගේ සංවේදී ස්නායුව තෙරපීමට විපක්ෂයට ඉඩ අහුරා තිබේ.
රාජ්‍ය නායකයකු වූ විට ලෙහෙසියෙන් තෙරපෙන ජනතාවගේ සියුම් ස්නායු ඇති තැන් වටහාගත යුතුය. වටහා ගෙන ඒ ස්නායු තෙරපෙන වැඩ නොකර සිටිය යුතුය.
යටත් විජිත යුගයේ සිංහල පුවත්පතක් වූ ‘ලක්රිවි කිරණ’ 1866 ඔක්තෝබරයේ මෙවැනි ලිපියක් පළකර ඇත.
‘මේ සතියේදී කොළඹ කෝලාහල සහිතව තිබුණාය. එයින් නොයෙක් දෙනාට අලාබහානි පැමිනුණු බව කනගාටුවකි. ලංකාවට මෙවැනි අනතුරු පැමිණෙනවා විස්මය නොවෙයි. විස්මය නම් මෙවැනි අනතුරු නිතර නිතරම සිද්ධ නොවෙන කාරණාව ගැනයි. ඒ මක්නිසාද කීවොත් හාල් මෙරට වාසී හැමදෙනාගේම ප්‍රධාන ආහාරයක්ව තිබියදී මෙහි වැස්සන්ට සෑහෙන තරම් මෙහි උපදවා ගන්ට බැරි නිසයි.
ඉන්දියාවේ ගොවිතැන් පැහෙනකල් මෙහි ඇත්තන්ට බත් කන්ට බලා ඉන්නට ඕනෑය. පසුගිය මෝසමේ ඉන්දියාවේ ගොයම් පැහුණේ නැති බැවින් මෙරට වැසියන්ට බත නැතිවෙන්ට ආවා. කොළඹ හාල් සේරුවක් පැන්ස අටහමාරට වික්කා. මහනුවරදී සිලිමටත් සේරුවක් වික්කා. කුරුණෑගල බුසලක් සිලිම් විසි දෙකහමාරට වික්කා. මාතලේ සිලින් විසිපහයි. මේවා කොහොම වුණත් බඩ අහන්නේ නෑ. ඉන්දියාවේ හාල් පැහුණත් නොපැහුණත් බත් නොකා ඉන්ට බෑ.’
ඒ 1866 දීය.1866 දීත් මෙරට වැසියන්ගේ බඩ පිරුණේ ඉන්දියාවේ ගොයම් පැහුණු නිසාය. ඉන්දියාවේ ගොවීන් ගොවිතැන් සරු කරගත් නිසාය. ඒ කියන්නේ එකලත් මෙරට ජනගහනයට සාපේක්ෂව වී අස්වනු මදි බවය. ඉන්දියාවට නිසි කලට වැසි නොවැස්සොත් වගා පාළුවීම ලංකාවේ ජනතාවගේ කුස පිරීම දක්වාම බලපාන්නේය.
ඉන් වසර එකසිය පනහකට පසුවද ඉන්දියාවේ ‘ස්වර්ණා’ සහල් එනතුරු අපේ බඩගින්දර නිවාගැනීම අඩමානය.
බණ්ඩාරනායක මැතිනිය යටතේ ශ්‍රීලනිපයට 1977 පරාජයෙන් පසු යළි පාලන බලයක් ලබාගත නොහැකි වූයේද ඇගේ රජය යටතේ ආහාර සොයාගැනීම සඳහා ජනතාව විඳි දුෂ්කරතා පරම්පරා ගණනාවකටම හොඳින් මතක තිබූ නිසාය. ඇගේ රජයට සමාජ සුබසාධනය සඳහා වැය කළ යුතු වූ මුදල අති විශාල හෙයින් ඒ සඳහා මුදල් සොයා ගැනීමට විශේෂ ක්‍රියාමාර්ග ගණනාවක් ගන්නා ලදී. එයින් එක් ක්‍රියාමාර්ගයක් වූයේ ආනයන භාණ්ඩ සීමා කිරීමය. සහල්, ධාන්‍ය වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය නතර කිරීමද එයට අයත් විය. මේ නිසා රටේ ආහාර හිඟයක් ඇතිවිය. එය තවත් වැඩි වූයේ රජයෙන් ලබා දුන් ආහාර සලාකය අඩු කිරීම නිසාය.
ඇය රට පාලනය කළ උද්ධච්ච ක්‍රමවේදය නිසා ඇයට ඉන්පසු කිසි දිනක පාලන බලය ලබා දීමට ජනතාව පෙලඹුණේ නැත.1994 දී ශ්‍රීලනිපය පෙරටු කරගෙන පාලන බලයට පැමිණියේ ඇගේ දියණියයි. ඇය අම්මාගෙන් පාඩම් ඉගෙන ගෙන සිටියාය. ජේ.ආර්. අරඹා තිබූ පාලන ක්‍රමයේ ඇයද ඉදිරියට ගමන් කළා මිස තම මව කළ දේශපාලන වැරැද්ද ඇය කළේ නැත.‘බත් පත’ පිළිබඳව අත්හදා බැලීම් නොකරන ලෙස 1977 දී ජනතාව මැතිනියට උගැන්වූ පාඩම දියණිය හොඳින් අවබෝධ කරගෙන සිටියාය.
ඉකුත් ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපතිවරයාට සියයට පනහක බහුතර බලය ලබා ගැනීමට නොහැකි වූයේ ජවිපෙ සහ ජාතික ජන බලවේගයද බණ්ඩාරනායක මැතිනිය මෙන් ආහාර සීමා කිරීම් වැනි ක්‍රියාමාර්ගවලට ගමන් කරයි දෝ යන සැකය නිසාය. මැතිනිය ඉදිරියට දමාගෙන එදා එම තීන්දු ක්‍රියාත්මක කළේ පැරැණි වාමාංශික පක්ෂ විසිනි. ජවිපෙද වාමාංශික පක්ෂයක් හෙයින් ජනතාව ජවිපෙ ප්‍රතිපත්ති දෙස බැලුවේද සැකයෙනි.
තම රජයක් යටතේ සහල් ඇටයක්වත් පිටරටින් නොගෙනෙන බව ජවිපෙ ඇතැම් දේශපාලකයන් කළ මොරගෑම් නිසා ජනතාව ජවිපෙ දෙස සැකයෙන් බැලීම සාධාරණය. ජනපති ධුරයට පත් වූ පසු අනුර කුමාර දිසානායක ගත් ක්‍රියාමාර්ග අනුව ජනතාව ජනාධිපතිවරයා මැනවින් වටහාගෙන ඇති බව පැහැදිලි වෙන්නේ ලබා දී ඇති අතිවිශාල ජනවරම දෙස බලන විටය. සහල් ආනයන තීන්දුවෙන් පෙනෙන්නේ පක්ෂ ප්‍රතිපත්ති එකවරම රාජ්‍ය පාලන ප්‍රතිපත්ති සමග මුසුකිරීමට වත්මන් රජය උනන්දු නොවන බවය. ගෙවී ගිය කාලයේ ආණ්ඩු කළ ආනයන තහංචි වැනි අත්හදා බැලීම් නිසා පීඩාවට පත්ව සිටි ජනතාවට තමන් කබලෙන් ළිපට වැටුණේ නැති බව තහවුරු වීමම සතුටට කරුණකි.
ප්‍රේමකීර්ති රණතුංග