බෙදීම් මැද විපක්ෂය පණ ගහයි


එජාප-සජබ දීගය වැටඋඩ?

 

මහ මැතිවරණය කර ඇරිය ලක්ෂ 53ක ජනතාව ඡන්දපොළට ගැනීම 
විශාලම අභියෝගය

වර්තමාන පාර්ලිමේන්තුව පත්වීමට පෙර පැවැති පාර්ලිමේන්තුවල ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය ලෙස පැහැදිලිවම දෙපැත්ත හඳුනාගත හැකි විය. එහෙත් මෙවර ආණ්ඩු පක්‍ෂය පැහැදිලිව ඇතත් - විපක්‍ෂයක් ලෙස එක් තනි පක්‍ෂයක් පත්වූයේ නැත. මෙවර ඇත්තේ ශක්තිමත් තනි විපක්‍ෂයක් වෙනුවට බෙදීගිය කණ්ඩායම් කිහිපයකි. සමගි ජනබලවේගය විපක්‍ෂයේ ප්‍රධාන කණ්ඩායම ලෙසත් - නව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස තවත් පක්‍ෂ කිහිපයක් විපක්‍ෂයේ වෙයි. මේ නිසා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රී නොවන විපක්‍ෂ කණ්ඩායම් මේ දිනවල උත්සාහ දරන්නේ - පොදුවේ විපක්‍ෂ වේදිකාව ලෙස එකතු විය හැකි ස්ථානයක් බිහිකරගැනීමට ය. ඒ හේතුවෙන් මන්ත්‍රීවරුන් අතර විවිධ සාකච්ඡා මේ දිනවල පැවැත්වේ. 
සජබය සහ එජාපය එකතුවීම මේ මොහොතේ කළ යුතු ද? නැද්ද? යන කරුණු පිළිබඳ සංවාදයක් සමගි ජනබලවේගයෙ මන්ත්‍රීවරුන් අතර ඇතිවී තිබේ. මේ දිනවල දෙපාර්ශ්වය අතර එකතුවීමේ සාකච්ඡාවක් පැවතුණත්, එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී පක්‍ෂ දෙක පමණක් එකතු වී ප්‍රතිඵලයක් ලැබේ ද යන්න එම මන්ත්‍රීවරුන් ගේ සාකච්ඡාවට බඳුන්ව ඇත. 2019 ජනාධිපතිවරණයේ දී එජාපයෙන් තරග කළ අවස්ථාවේ ජයග්‍රහණය හිමි වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට ය. එම පරාජයෙන් පසු එළඹුණු මහා මැතිවරණයේ දී එජාප නියෝජ්‍ය නායකයා වූ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායමක් බිඳී ගොස් සමගි ජනබලවේගය පක්‍ෂය පිහිටුවා ගත්තේය. එම මහ මැතිවරණයෙන් ද දෙපාර්ශ්වයටම ජයග්‍රහණයක් අත් වූයේ නැත. පසුව ගණන් බලා තිබුණේ එජාප ඡන්ද ලක්‍ෂ 27ක් ඡන්ද පොළට නොගොස් මැතිවරණය වර්ජනය කළ බවය. ඉන්පසුව එළඹි මෙවර ජනපතිවරණය හා මහා මැතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකම එජාපය හා සජබ ලෙස වෙන් වෙන්ව තරග කළ ද අත් වූයේ පරාජයකි. මේ නිසා සජබ මන්ත්‍රීවරුන් අතර සකච්ඡා වෙමින් ඇත්තේ මීළඟ ජාතික මැතිවරණයට මුහුණ දීම සඳහා සන්ධානයක් මේ මොහොතේ හදනවා ද? නැතිනම් විවිධ කණ්ඩායම්වලට වෙන් වෙන්ව දේශපාලනය කිරීමට අවස්ථාව ලබා දී ජාතික මැතිවරණයක් ළංවනවිට සංධානයක් හදනවා ද? යන්න ගැනය. ජාතික මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් ලෙස විහිදුණු සන්ධානයක් අවශ්‍ය මුත් - මේ එයට අවස්ථාව නොවන බව හා සජබ එජාපය සමග එකතුවීමෙන් පමණක් මෙම මැතිවරණ ජයගත නොහැකි බව ඔවුහු කියති. 


2015 දී ද මෙවැනි අවස්ථාවකට එජාපය මුහුණ දුන්නේය. මහින්ද රාජපක්‍ෂ රජය ඒ වනවිට කොතරම් ශක්තිමත් වී ද යත්, එතෙක් පැවැති කිසිම මැතිවරණයකින් එජාපයට ජයගත නොහැකි විය. එක්සත් ජාතික පෙරමුණ ලෙස සුළු ජාතික පක්‍ෂ සමග සන්ධානගත වුවද, රාජපක්‍ෂ රජය පෙරළා දැමීමට එම සන්ධානය ශක්තිමත් වූයේ නැත. එජාප නම වෙනස් කර අලු‍ත් පුළුල් සංධානයක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව සන්ධාන නායකයන් තේරුම් ගත්තේ, එම අවස්ථාවේදී ය. ඒ අනුව රාජපක්‍ෂ රජයට එරෙහි සියලු‍ දේශපාලන පක්‍ෂ, බහුජන සන්ධාන, පුද්ගල චරිත, වෘත්තීය සමිති ඒකරාශී කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පිහිටුවා ගැනිණි. යහපාලන රජය ලෙස පොදුවේ හඳුන්වනු ලැබුවේ එම සන්ධානයයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ - එසේ පිහිටුවා ගත් සන්ධානයෙනි.
සජබ මන්ත්‍රීවරුන් පිරිසේ අදහස වන්නේ ද එවැනි පුළුල් සංධානයකි. එනිසා එජාපය සමග එක්වූ පමණින් සියල්ල විසඳෙන්නේ නැති බව කියන ඔවුහු - එහෙත් එජාපය සමග එක්ව පළාත් පාලන ආයතන කිහිපයක් හෝ ජයග්‍රහණය කළහොත්, එය අනාගත ජයග්‍රහණයේ පළමු පියවර බවට අර්ථ දක්වති. ආණ්ඩුව එපා වී සිටින ජනතාව එයට විකල්පය ලෙස සමගි ජනබලවේගය හෝ එජාපය හෝ පොහොට්ටුව හෝ සුදුසු යැයි තවමත් විශ්වාස කරන්නේ නැත. ගම් මට්ටමේ දී තවමත් ජනතාව කියන්නේ ආණ්ඩුවට වැඩ කර පෙන්වීම සඳහා තවත් කාලයක් ලබාදිය යුතු බවය. විපක්‍ෂයට ඉදිරි මැතිවරණ ජයගත හැකිබව ජනතාව තවමත් විශ්වාස කරන්නේ නැත. 
එක්සත් ජාතික පක්‍ෂය ද වාමාංශික බලවේග එකතු කර ගනිමින් පුළුල් පෙරමුණක් ගොඩ නැගීමට සූදානම් වෙයි. පක්‍ෂයට නව මුහුණුවරක් දියයුතු බව පක්‍ෂ නායකයාගේ සිට සියලු‍ නිලධාරීන් ගේ තීන්දුවය. ඒ අනුව ආණ්ඩුවට එරෙහි එකතු කරගත හැකි සියලු‍ බලවේග ඒකරාශී කිරීමට එජාපය තීන්දු කර ඇත. ඉකුත් සතියේ එජාප නායකයා ගේ සහභාගීත්වයෙන් විවිධ පක්‍ෂවල නායකයන්ගේ සාකච්ඡාවක් කැඳවූයේත් එම වැඩපිළිවෙළ අනුවය. පාර්ලිමේන්තුවේදී හා පාර්ලිමේන්තුවෙන් පිටතදී සියලු‍ පක්‍ෂ එක පෙරමුණකින් ආණ්ඩුවට එරෙහිව කටයුතු කළ යුතු බව එජාපයේ ද අදහසය. 
සමගි ජනබලවේග නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මන්ත්‍රී කණ්ඩායම අතර පැවැති සාකච්ඡාවල දී බොහෝ දෙනා පෙන්වාදී ඇත්තේ එජාපය සමග එක්ව තරග වැදුණත් - තරග වැදිය යුත්තේ සමගි ජන සන්ධානය යටතේ ටෙලිපෝනය ලාංඡනයෙන් බවය. එසේ නොමැතිව, එජාපය ඉල්ලා සිටින ආකාරයට අලියා ලාංඡනයෙන් තරග නොකළ යුතු බව ඔවුන් පෙන්වා දී ඇත. ඒහා සමානම ප්‍රශ්නයක් මේ වනවිට එක්සත් ජාතික පක්‍ෂය තුළ ද උද්ගතව ඇත. එජාප නායකයා පෙන්වා දී ඇත්තේ පක්‍ෂයේ ශක්තිය ඇති කොළඹ මහ නගර සභාවට අලියා ලකුණ යටතේ හැර අන් ලකුණකින් තරග නොකළ යුතු බවය. වෙනත් පළාත් පාලන ආයතනවලයට දුරකථනය ලාංඡනයෙන් තරග කිරීමේ ප්‍රශ්නයක් නැති බව එජාප නායකයාගේ පාර්ශ්වය අතර සාකච්ඡාවට බඳුන්ව තිබේ. මේ නිසා නාමයෝජනා දෙන අවසන් මොහොත දක්වාම දෙපාර්ශ්වය සැබැවින්ම එකතුවේ ද? නැතිනම් පළාත් පාලන ඡන්දයත් පරාජයට පත්වීමෙන් පසු අනාගතයේ දී මෙම එකඟතාව ඇති කර ගනු ඇත්දැයි තවමත් නිගමනයකට එළඹීම අපහසුය. 


ඉකුත් මහා මැතිවරණයේ දී ඡන්දය වර්ජනය කළ ලක්‍ෂ 53 ක් වන ජනතාව ඡන්දපොළට ගෙන්වා ගැනීම, විපක්‍ෂයේ පක්‍ෂවලට ඇති ලොකුම අභියෝගය වේ. ජනතාව එදා ඡන්ද පොළට නොගියේ විපක්‍ෂය පරාජය වන බව ඔවුන්ට හොඳින්ම තේරුම් ගොස් තිබූ නිසාය. එයට හේතු වූයේ විපක්ෂයේ පක්‍ෂ තුළ පැවැති බෙදීමය. එම බෙදීම මේ වනතුරුත් සමනය වී ඇති බවක් දක්නට නැත. දැනට වෙන වෙනම දේශපාලනය කරන සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්‍ෂයේ පක්‍ෂ තුනම එකම වේදිකාවකට පැමිණීමෙන් පමණක් ඡන්දය වර්ජනය කළ ලක්‍ෂ 53 ක අති විශාල පිරිස පිබිදවීමට හැකිවනු ඇත. එහෙත් ප්‍රශ්නය වන්නේ පක්‍ෂ තුනේ නායකයන් ජනතාව පුබුදුවන එවැනි විස්මයජනක ප්‍රවෘත්තියක් රටට ලබාදීමට තවමත් සූදානම්ව නොසිටීමය. 


රාජ්‍ය සේවය තුළට මාලිමාවේ නියෝජිතයන්


ජාතික ජන ජනබලවේග රජය බලයට පත්වූ පසු පත් කරන ලද රාජ්‍ය ආයතන සභාපතිවරුන් ගෙන් පස්වැනියාත් ඉකුත් සතියේ ඉල්ලා අස්විය. 
ඉල්ලා අස්වූ සභාපතිවරුන් පස්දෙනා වන්නේ ජාතික රූපවාහිනි සභාපති සෙනේෂ් බණ්ඩාර දිසානායක, ලංගම සභාපති රමාල් සිරිවර්ධන, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජේමුණි , ජාතික තරුණ සේවා සභාවේ සභාපති චින්තක හේවාපතිරණ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මොන්ටි රණතුංග යන අයය. 
අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වූ පසු දිවුරුම් දුන් තුන්දෙනා ගේ කැබිනට්ටුවෙන් පත්වීම් ලැබූ සභාපතිවරුන් මේ ආකාරයට ඉල්ලා අස්වන බව පෙනෙන්නට තිබේ. 
ජාතික ජන බලවේගය විසින් ප්‍රභූ පක්‍ෂ ලෙස හංවඩු ගැසූ එජාප, ශ්‍රීලනිප, පොදුජන පෙරමුණු, ආණ්ඩුවල දී එක් ඇමැතිවරයකු විසින් රාජ්‍ය ආයතන සභාපති පුටුවකට පත් කරන තැනැත්තා එම රජයේම මීළඟට පත්වන ඇමැතිවරයා විසින් ඉවත්කරන ආකාරයක් පසුගිය දශක කිහිපය පුරාම දැකගත හැකි විය. ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ ආකාරයට ඔවුන් එසේ කරන්නේ නැත. ඔවුන්ගේ රජයක් යටතේ පත්කිරීම් කරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකටය. එවැනි මතයක් ගෙන ගිය ජාතික ජනබලවේග රජයක් යටතේ ද පැරණි ප්‍රභූ දේශපාලන පක්‍ෂවල කටයුතු කළ ආකාරයටම එම රජයේ හිටපු ඇමැතිවරුන් විසින් පත්කළ සභාපතිවරුන් එම රජයේම වෙනත් ඇමැතිවරයකු යටතේ ඉවත් කරමින් යන ආකාරය දැකගත හැකිය. එයින් පෙනී යන්නේ ජාතික ජනබලවේග රජයද විද්‍යාත්මක ක්‍රමවේදයකින් සභාපතිවරුන් පත් කිරීම වෙනුවට ඒ ඒ ඇමැතිවරයාට හිතවත් පුද්ගලයන් සභාපති තනතුරුවලට පත් කරමින් යන බවය. මෙය ඉතා පැහැදිලිවම ආණ්ඩුව තුළ මාලිමා හා ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ මිස අන් දෙයක් නොවේ. පළමු ජයග්‍රහණය ලැබූ පසු රජයේ මධ්‍යස්ථ බව පෙන්වීම සඳහා පත්කළ ආයතන ප්‍රධානීන් ඉවත් කරමින්, පක්‍ෂයේ හිතෛෂී සාමාජිකයන්ගෙන් රාජ්‍ය ආයතන මුල්පුටු පුරවන ආකාරය මෙයින් පෙනේ. 
ආණ්ඩුවක් කටයුතු කරන්නේ ඒ ආකාරයටය. 1970න් පසු මෙරට සෑම ආණ්ඩුවක්ම රාජ්‍ය ආයතන මුල් පුටු පිරවූයේ තම පක්‍ෂයේ සාමාජිකයන් හෝ හිතවතුන් ගෙනි. එහෙත් ජාතික ජන බලවේගය එම ක්‍රමය විවේචනය කරමින් බලයට පැමිණ පැරණි ආණ්ඩු ගිය මාර්ගයේම ගමන් කිරීම ඇතැමුන්ගේ විවේචනයට ලක්ව තිබේ. 
වත්මන් ආණ්ඩුව පත්වීමේ තිරය පිටුපස මෙන්ම ඉදිරිපස ද වීරයා ජනාධිපති අනුර කුමාර දිසානායක ය. ආණ්ඩුවක් ලැබුණේ අනුරගේ කට නිසා මිස - සදාකාලිකවම ජනතාව අතර පිරිහෙමින් සිටි ජවිපෙ නිසා නොවේ. ජනතාව ගේ ආදරණීය චරිතය වූයේ අනුර ය. 
වත්මන් ආණ්ඩුව බලය පිහිටුවා ගත්තේ අනුර පත්වීමේ ඓතිහාසික සාධකය අනුවය. රාජ්‍ය ආයතන සභාපතිවරුන් ගේ පත්වීම සිදුවන්නේ ද, ජනාධිපතිවරයා ලෙස අනුර දිවුරුම්දීමෙන් පසුවය. මේ වනවිට ඉල්ලා අස්වී ඇති සභාපතිවරුන් පස් දෙනාම අනුර ජනාධිපතිවීමත් සමග එම ආයතනවල මුල්පුටු වලට පත් කළ අය වෙති. මාලිමාව ට රටේ බලය හිමිවූ පසු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පෙන්වා සිටි මැදහත්භාවය - මාලිමා ආණ්ඩුව බලයට පත්වූ පසු සෙමෙන් ඉවත් කරමින් යන ආකාරය ඉල්ලා අස්වූ සභාපතිවරුන් ගේ ප්‍රශ්නයෙන් අපට තේරුම් ගැනීමට හැකිවෙයි. දැන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇත්තේ තමන්ට ලැබුණු බලය මත පක්‍ෂය ශක්තිමත් කිරීම විය හැකිය. 
පක්‍ෂයේ සියලු‍ මහජන නියෝජිතයන් ගේ වැටුප් සහ දීමනා පොදු අරමුදලකට බැර කරන ප්‍රතිපත්තිය මාලිමා ආණ්ඩුව දිගටම පවත්වාගෙන එයි. වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 100 දෙනාගේ වැටුප ද බැර වන්නේ පොදු අරමුදලට ය. ඒ අනුව මසකට රුපියල් කෝටි 5ක් එම අරමුදලට බැර වෙයි. වාර්ෂිකව බැරවෙන ප්‍රමාණය රුපියල් කෝටි 60 කි. සියලු‍ මන්ත්‍රීවරුන් සඳහා රජයෙන් නිල වාහනයක් සැපයීමට රජය තීන්දු කර ඇති අතර, ඒ යටතේ වාහන 160ක් ජාතික ජනබලවේගයට හිමිවේ. ඇමැතිවරයකුට නිල වාහන දෙකක් සපයන බව රජය ප්‍රකාශයට පත්කර තිබේ. 
ඒ අනුව ඇමැතිවරුන් විසිදෙනා සඳහා වාහන හතළිහකි. එම වාහනවලට ඉන්ධන ද රජයෙන් සැපයේ. වාහන සහ මැති ඇමැති දීමනා ලබාදීමට ඉකුත්දා රජය නිකුත් කළ චක්‍රලේඛයේ ඇත්තේ 2016 දී රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් නිකුත් කළ චක්‍රලේඛයේ ඇති ප්‍රතිපාදනමය. වත්මන් රජය එම චක්‍රලේඛය ම පාවිච්චි කරයි. ඒ අනුව වසරකට කෝටි 60ක මුදලක් ද, වාහන දෙසීයක ප්‍රමාණයක් ද, තම පක්‍ෂ යාන්ත්‍රණය ප්‍රතිසංවිධානය කිරීම සඳහා රජය යොදා ගනියි. ඒ සමගම පක්‍ෂ කාර්යධරයෝ 600 දෙනෙක් අමාත්‍යංශවල රාජකාරියට එකතුවෙති. ඇමැතිවරයෙකුට පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස 15 දෙනකු ලැබෙන අතර නියෝජ්‍ය ඇමැතිවරුන්ට 12 දෙනකු ලැබේ. මේ සියලු‍ දෙනාම පක්‍ෂ ක්‍රියාකාරීහු ය. ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සේවයට මේ අයුරින් එකතුවන 600ක පක්‍ෂ කාර්යධරයන් පක්‍ෂයේ පූර්ණ කාලීය සේවය සඳහා විශාල සේවයක් ඉටුකර ඇත.


මෙතෙක් කාලයක් එජාප ශ්‍රීලනිප හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හිතවාදීන් ගෙන් පිරවුණු ආණ්ඩුවේ ආයතනවල ඉහළ කළමනාකාරීත්වය මාලිමාවට හිතැති පුද්ගලයන් ගෙන් පිරවීම ආණ්ඩුවේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් කිහිප දෙනකුටම දූෂණ චෝදනා නැගී ඇති අතර, ඒ අනුව ඉහළ නිලධාරීන් ගේ පසුබෑමක් ඇතිවෙයි. එම පසුබෑම අතරතුර අමාත්‍යංශ පාලනයට තමන්ගේම පිරිසක් රිංගවා ගැනීමෙන් ජාතික ජන බලවේගයට දීර්ඝ කාලීන වාසියක් අත්වනු ඇත. 
ආණ්ඩුව මාලිමා පක්‍ෂය ප්‍රවර්ධනය කරනවිට ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු දිනෙන් දිනම කඩවෙමින් තිබේ. මැතිවරණයට පෙර තම රජයකින් කුඩා ප්‍රමාණයේ ජපන් මෝටර් රියක් ලක්‍ෂ දහතුනක මිලට ලබාදෙන බව කී මාලිමා අපේක්‍ෂකයා මේ වනවිට ඇමැතිවරයකු ලෙස කටයුතු කළත් , ඔහු එදා කී ජපන් වාහනය රටට එන්නේ රුපියල් ලක්‍ෂ හැත්තෑවක මිලකටය. ඉතිහාසයේ ඉහළම වාහන මිල නැගීම සටහන් වන්නේ - වර්තමාන රජය යටතේය. එමගින් මධ්‍යම පංතියේ බලාපොරොත්තු කඩ වූ අයුරින්ම තිබූ මිලට වඩා රුපියල් එකසිය විස්සකින් පෙට්‍රල් මිල අඩුකර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කළ ත්‍රීරෝද වෘත්තිකයන් ගේ බලාපොරොත්තු ද කඩවී ඇත්තේ , ඉන්ධන මිල එදා කී ලෙස අඩු නොවූ නිසාය. ආහාර ද්‍රව්‍ය මිල අඩු නොවීමත්, ඉහළ මිලකට හෝ සහල් ලබාගැනීමට වෙළෙඳසල් තුළ නොමැති වීමත්, තදබල ලෙස බලපාන්නේ - අප්‍රේල් මාසයේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට පක්‍ෂව ඡන්දදායකයන් ගෙන්වා ගැනීම සඳහාය. ආණ්ඩුවල පැවැත්ම සඳහා තීරණාත්මක සාධකයක් වන අතර ප්‍රශ්නය මෙතරම් උග්‍රවීමට පෙර විසඳාගැනීමේ හැකියාවක් රජයට නොතිබුණේ ද යන්න විවාදාත්මක ප්‍රශ්නයකි. 


අනුර දිසානායක ජනාධිපතිවරයාගේ මාලිමා ආණ්ඩුවට වගේම බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුවටත් ඊට පෙර ඩඩ්ලි සේනානායකගේ හත් හවුල් ආණ්ඩුවටත් ආහාර ප්‍රශ්නය තදින්ම බලපෑවේය. 
අටුකොටු පුරවන්නට අස්වනු නොලැබෙන අවුරුද්දේ මාස කිහිපයක් ඇති බව මේ කිසිම දේශපාලකයකු විපක්‍ෂයේ සිටිය දී සිහියට ගන්නේ නැත. තමන් විපක්‍ෂයේ සිටිය දී අතට අසුවන හැම දෙයකින්ම ආණ්ඩුවට ගහන පුරුද්ද නිසා ඩඩ්ලිගේ ආණ්ඩුවට මැතිනි පහර දුන්නේ ආහාර හිඟයෙනි. ඩඩ්ලි පැරදී මැතිනි අගමැති වූ විට මැතිනියගේ ආණ්ඩුවට ඩඩ්ලි පහර දුන්නේ ද ආහාර හිඟය මතු කරමිනි.
1970 දී ඩඩ්ලි සේනානායක ගේ එජාප රජය පරාජය වීමට මෙන්ම 1977 දී බණ්ඩාරනායක මැතිනිය ගේ රජය පරාජය වීමටත් ආහාර හිඟය බලපෑවේය. අනුර කුමාර දිසානායක විපක්‍ෂයේ සිටිය දී - සියලු‍ ආණ්ඩුවලට පහර දුන්නේ, ගොවීන් ගේ අස්වැන්නට නිසි මිලක් තම රජයක් යටතේ ලබාදෙන බව කියමිනි. මේ වනවිට ගොවීන් පමණක් නොව පාරිභෝගිකයන් පවා සිටින්නේ, ආහාර ප්‍රශ්නය පිළිබඳව රජයේ දායකත්වය ප්‍රමාණවත් නොමැති බව කියමිනි. ආණ්ඩුවේ හැසිරීම මේ ලෙසම සිදුවේ නම් පළාත් පාලන ඡන්දයේ දී ඡන්දය නොදුන් සංඛ්‍යාවට ජාතික ජන බලවේග ඡන්ද දායකයන් ද එක්වීම වැළැක්විය නොහැකිය.
ප්‍රේමකීර්ති රණතුංග