මන්ත්‍රීවරයකු ලෙස ලැබුණු විශ්‍රාම වැටුප ජනාධිපති තනතුරේදී ද ලැබෙන බව තමා මෙතෙක් දැන නොසිටි බවත් තමා ඒ බව දැනගත්තේ දින කිහිපයකට පෙර බවත් ඉකුත් සතියේ පාර්ලිමේන්තුව ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක කීවේය. තමාගේ එම විශ්‍රාම වැටුප වහාම අත්හිටුවන්නයි නිලධාරීන්ට දැනුම් දී ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව ඊයේ පෙරේදා දැනගත්තත් උසස් පෙළ කලා විෂය ධාරාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදාරන ළමෝ මේ බව ඉතා හොඳින් දනිති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. 36 වැනි වගන්තියේ ඒ බව ඉතා පැහැදිලිව සඳහන් වේ. ජනාධිපති වරප්‍රසාද ගැන ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ මේ ආකාරයටය. “හිටපු ජනාධිපතිවරයෙකුට විශ්‍රාම වැටුපක් ඇතුළු වරප්‍රසාද කිහිපයක් ලැබෙන්නේ 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අනුවය. ඒ අනුව නිල නිවසක්, කාර්යාලයක්, කාර්ය මණ්ඩලයක්, ලේකම්වරයෙක්, නිල රථ හා ආරක්ෂාව එයට අයත්ය.”
1986 පෙබරවාරි මස 21 වැනිදා නිකුත් කළ එම පනත අනුව ‘‘සෑම හිටපු ජනාධිපතිවරයෙකුටම හෝ වැන්දඹුවකටම ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය.
ජනාධිපතිවරයෙකු විශ්‍රාම ගිය පසුව ලේකම්වරයකු තෝරාගැනීමට ඔහුට අයිතියක් ඇත. ඒ පෙරකී ආඥා පනත අනුවය. පරිපාලන සේවයේ දිසාපතිගෙන් ඒ ආසන්න තනතුරට විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකු ඒ සඳහා තෝරා ගත හැකිය. තමා තෝරාගත් නිලධාරියාගේ නම අභිනව ජනාධිපතිවරයාට දැන්වූ පසු ඔහු එම නම ඇමැති මණ්ඩලයට යොමු කර එහිදී අනුමත වූ පසු හිටපු ජනාධිපතිවරයාගේ සේවයට යොමු කරයි. හිටපු ජනාධිපති ලේකම්වරයාට වැටුප් ගෙවන්නේ ශ්‍රී ලංකා රජයෙනි.
ජනාධිපතිවරයාට සහ විශ්‍රාමික ජනාධිපතිවරයාට නිශ්චිත වැටුපක් සහ නිශ්චිත විශ්‍රාම වැටුපක් හිමි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ. එයට අනුව පසුව ගන්නා යම් යම් නීතිවලින් පෙර ලබා දුන් වැටුප හා විශ්‍රාම වැටුප අහෝසි කළ නොහැකිය. වගන්තිය මෙසේය.
36 1. ‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භ වී මාසයක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිධූරය දරන තැනැත්තාගේ වැටුප් දීමනා හා විශ්‍රාම වැටුප් හිමිකම යෝජනා සම්මතයෙන් නිශ්චය කළ යුත්තේය. එම විශ්‍රාම වැටුප යම් පූර්ව සේවයක් හේතු කොට ගෙන ඒ තැනැත්තාට හිමිකම ඇති වෙනත් යම් විශ්‍රාම වැටුපකට අතිරේකව වන්නේය.
2. යම් තැනැත්තකු විසින් ජනාධිපතිධූරය භාරගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන පරිදි වූ වැටුප් සහ දීමනා ලැබීමට ද ඉන් පසුව එසේ නිශ්චය කරනු ලබන විශ්‍රාම වැටුප් ලැබීමට ද ඒ තැනැත්තා හිමිකම ලබන්නේය. පසුව මෙම ව්‍යවස්ථාව කරනු ලැබූ සංශෝධනයක් මෙම ව්‍යවස්ථාව පරිච්ජින්ත කිරීමක් නැතහොත් ප්‍රතියෝජනය කිරීමක් සහ මෙම ව්‍යවස්ථාව අනනුකූල වන පසුව පනවන ලැබූ යම් නීතියක් හෝ ඒ නීතියක යම් විධි විධානයක් අතීතයට බල නොපාන්නේය.
3. ජනාධිපතිවරයෙක් වැටුප් දීමනා සහ විශ්‍රාම වැටුප ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන්නේය.
4. ජනාධිපති ධූරය දරන තැනැත්තාගේ වැටුප් දීමනා හෝ විශ්‍රාම වැටුප් හිමිකම පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයෙන් වැඩි කළ හැක්කේය. එහෙත් එම වැටුප් දීමනා හෝ විශ්‍රාම වැටුප් හිමිකම් අඩු නොකළ යුත්තේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ එපරිද්දෙනි. ඒ අනුව එම වගන්තිවල සරල තේරුම මෙසේය. ජනාධිපතිවරයා ලෙස පත්වන තැනැත්තා එයට පෙර රජයේ සේවයේ යම් විශ්‍රාම වැටුපක් ලැබුවේ නම් එම විශ්‍රාම වැටුප ද ජනාධිපති තනතුරේ විශ්‍රාම වැටුපද යන දෙකටම හිමිකම ඇත. එලෙසම ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව විශ්‍රාම වැටුප් ලැබීනම් එම වැටුප ද ලැබීමට හිමිකම ඇත. 36 - 2 වගන්තිය අනුව විශ්‍රාම ලැබූ ජනාධිපතිවරයෙකුට ගෙවූ විශ්‍රාම වැටුපක් සහ එයට අදාළ අන් දීමනා පසුව ගන්නා තීන්දු අනුව අත්හිටුවිය නොහැක්කේය. වත්මන් රජය – හිටපු ජනාධිපතිවරුන්ගේ වැටුප් සහ දීමනා ගෙවීම නතර කරන බව ජනාධිපතිවරණයට පෙර පැවසුව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එසේ අත්හිටුවිය නොහැකි බව ඉහත කී ව්‍යවස්ථා වගන්ති අනුව මැනවින් පෙනී යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විශ්‍රාම වැටුප් හිමිකම ද නිල නිවස කාර්යාලය, ලේකම්වරයෙකු නිල රථ සහ ආරක්ෂාව යන පහසුකම් ද අනුමත වූයේ පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේය. විශ්‍රාම වැටුප් හිමිකම 1978 ව්‍යවස්ථාව පනවද්දීම එයට ඇතුළත් කළ අතර නිල නිවස ඇතුළු පහසුකම් පනවන ලද්දේ 1986 දීය. එතැන් සිට මේ දක්වාම හිටපු ජනාධිපතිවරුන් තමන්ට හිමි වරප්‍රසාද අඩු වැඩි වශයෙන් ලබා ගෙන තිබේ.
වත්මන් ආණ්ඩුව පසුගිය මැතිවරණ සමයේ හිටපු ජනාධිපති වැටුප් දීමනා සහ මන්ත්‍රීවරුන්ගේ දීමනා පිළිබඳව විශාල විරෝධාකල්පයක් පවත්වාගෙන ගිය අතර බලයට පැමිණ මාස හයක් ඉකුත්ව ගියද එම වරප්‍රසාද නොලබන දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට රජය සමත්ව නැත.
සෙසු නායකයන්ගේ වරප්‍රසාද අඩු කිරීම වෙනුවට පළමුව තමාට ලැබුණු මන්ත්‍රී විශ්‍රාම වැටුප ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් පියවර අගය කළ යුතුය. තමා තනිව හෝ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතු බව ජනාධිපතිවරයා තීන්දු කිරීම ආණ්ඩුවේ අනාගත අපේක්ෂා පිළිබඳ සාධනීය බලාපොරොත්තුවක් ජනිත කරවයි. එහෙත් ප්‍රශ්නය වන්නේ මෙතෙක් ගෙවන ලද දීමනාවක් අහිමි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රජයට හැකියාවක් තිබේද යන්නය. නීතියෙන් එසේ කළ නොහැකි නම් විපක්ෂයේ ද සහාය ලැබ මෙම රජයේ ධූර කාලය තුළ හෝ මන්ත්‍රී විශ්‍රාම වැටුප රජයට ආපසු ගෙවන සංස්කෘතියක් ඇති කිරීමට රජයට හැකියාව තිබේනම් ජනතාව එම තීන්දුව අගය කරනවා නිසැකය.
මෙම පළාත් පාලන මැතිවරණයේ දී ඉතා පැහැදිලිවම ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය අඩුවන මුත් ආණ්ඩුවෙන් ඉවත් වන ඡන්ද විපක්ෂයට ලැබේ යැයි සිතිය නොහැක්කේය.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ද ජන්දදායක උනන්දුව ඇත්තේ ඉතාම දුර්වල මට්ටමකය. දේශපාලනය එපා වූ ජනතාවට තවමත් දේශපාලනය අවශ්‍ය වී නැත. බොහෝ දෙනා ආණ්ඩුවට තවමත් කල් දෙමින් සිටියි. තවත් මාස කිහිපයක් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය දෙස බලා සිටිය යුතු බව ඇතැමුන්ගේ අදහසය. එයින් ඇඟවෙන්නේ පවතින පාලනයෙන් වෙනස්කමක් ගම් මට්ටමින් හෝ මේ මොහොතේ සිදු නොවන බවය. රට වැසියන් ඡන්ද පොළට යාම ඉකුත් මහ මැතිවරණයටත් වඩා අඩු විය හැකිමුත් එම ඡන්ද ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් ආණ්ඩු පක්ෂයට ලැබීම වැළැක්විය නොහැකිය.
මෙම පළාත් පාලන මැතිවරණයේ දී ඉතා පැහැදිලිවම ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය අඩු නමුත් ආණ්ඩුවෙන් ඉවත් වන ඡන්ද විපක්ෂයට ලැබේ යැයි සිතිය නොහැක්කේය. එවැනි තත්ත්වයක දී බ්‍රිතාන්‍ය රජය පැනවූ සම්බාධක නිසා නිද්‍රාසහගතව ඇති විපක්ෂ ඡන්ද ව්‍යාපාරයට යම් උත්තේජනයක් ඇති වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී සිටි දේශපාලන ව්‍යාපාරවලට ජීවන හුස්මක් පිඹීමක් යුද අපරාධ චෝදනා මඟින් ඇතිවීම බලාපොරොත්තු නොවූ වාසියකි.
බ්‍රිතාන්‍යයෙන් මෙරට හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන් තිදෙනකුට සහ එල්ටීටීඊයට එරෙහිව ශ්‍රී ලංකා රජයට සහාය පළකළ කරුණා අම්මාන්ට සම්බාධක පැනවීම නිසා වඩාත්ම අමාරුවේ වැටෙමින් පවතින්නේ ජාතික ජන බලවේග රජයයි. එයට හේතුව නම් පළාත් පාලන මැතිවරණය එළැඹෙමින් තිබිය දී රණවිරු දඩයම පිළිබඳව විපක්ෂයට යළිත් ජනමතයක් ඇති කිරීමට අවස්ථාව ලැබී තිබීමය. ජාතික ජන බලවේගය පසුගිය කාලය පුරාම පෙනී සිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නියෝග මත යුද්ධයට සක්‍රීයව සහභාගී වූ හමුදා ප්‍රධානීන්, පසෙකට කර රාජපක්ෂවරුන්ගේ විරෝධයට ලක් වූ හමුදා ප්‍රධානීන් සමඟය. එම තත්වය නිසා ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයේ දී ජාතික ජන බලවේගයට ගැඹුරු ජනතා සහායක් නොමැත.
2019 වසරේ මාර්තු මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ලංකාව සම්බන්ධ නිර්දේශ ගණනාවක් නිකුත් කළාය. එහිදී විශේෂයෙන්ම ඉල්ලා සිටියේ යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවන්, නීතීඥයන්, නීතිවේදීන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කරන ලෙසය.
ජාත්‍යන්තරය මෙවැනි තීන්දු තීරණවලට එළැඹුණේ ශ්‍රී ලංකාවේ ජන සමාජය අබියස පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ විමසිල්ලෙන් නොවේ. මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ මෙම ඉල්ලීම එවකට පැවැති ශ්‍රී ලංකා රජයට බලවත් අභියෝගයක් බවට පත්විය. එම රජය බලයට ආවේ රණවිරුවන්ට එරෙහි මතවාද ප්‍රචාරය කරමිනි. බලයෙන් ඇද වැටී සිටි රාජපක්ෂ කඳවුරට යළි බලය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තරය මතු කළ එම යෝජනාව රාජපක්ෂ කඳවුර ඉතා සුරුවිරු ලෙස යොදා ගත්තේය.
යහපාලන රජය බලයට පත්වූයේ රාජපක්ෂ කඳවුරට එරෙහි මතවාදයක් රට තුළ පතළ කරමිනි. ඒ සඳහා උතුරේ දෙමළ ජනතාවගේ ඡන්ද ද විශාල ශක්තියක් විය. එහෙත් බලයට පැමිණීමෙන් පසුව විදේශීය සංවිධාන මෙරට රණවිරුවන්ට එරෙහිව විවිධ චෝදනා නැගීම ආරම්භ කළ අවස්ථාවේ යහපාලන රජය රණවිරුවන් රැකගැනීම සඳහා උනන්දුවක් දැක්වූයේ නැත. එවක රජය රාජපක්ෂවරුන්ට එරෙහි දේශපාලන ප්‍රචාරවලින් රණවිරුවන්ට එරෙහි ප්‍රචාර වෙන්කර හඳුනාගැනීමට අපොහොසත් විය. පමණට වඩා ආරක්ෂ හමුදා අපකීර්තියට පත් කිරීමට එම රජය ගත් පියවර අවසන් වූයේ සහරාන් කණ්ඩායමේ ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව ගැන ජනතාව තුළ බරපතළ කනස්සල්ලක් ඇති වීමය. එහි තාර්කික අවසානය ලෙස 2019 දී රාජපක්ෂවරුන් අති විශාල ජන බලයකින් යළිත් බලයට පත් වීමට පාර කැපුණේය.
මෙරට බ්‍රිතාන්‍ය සම්බාධක එල්ල වී ඇති පසුබිම වත්මන් ජාතික ජන බලවේගය රජය සෙමින් වුවත් ජනතාවගෙන් ඈත්වෙමින් යන අවස්ථාවක් වීම අපට සිහිපත් කරන්නේ විදේශීය රාජ්‍යයන් සහ සංවිධාන මෙරට පොදු විඥානය තේරුම් ගෙන නොමැති බවයි.
යුද සමයේ නාවික හමුදාවේ තීරණාත්මක කාර්ය භාරයක් ඉටුකළ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර එම තත්ත්වය මේ ආකාරයට විග්‍රහ කරයි.
මෙම සම්බාධක දාලා තියෙන්නේ, ඒක පාර්ශ්විකව නම් කරලා තියෙන හතර දෙනාගෙන් කිසිදු සාක්ෂි විමසීමකින් තොරව. ඒ අයගේ නිදහසට කරුණු කියන්න අවස්ථාව දෙන්නේ නැද්ද? අපි යුද්ධ කරල තියෙන්නේ කොටි ත්‍රස්තවාදීන් එක්ක විතරක් නෙවෙයි, සමස්ත දෙමළ ජනතාව එක්ක කියන එක පෙන්වන්නයි මේ හදන්නේ. මේකට රජය නිහඬව ඉඳලා හරි යන්නේ නෑ. රජය මේ සම්බාධකවලට එකඟද? නැද්ද? කියන එක ප්‍රකාශ කරන්න ඕනෑ.’’ වීරසේකර සඳහන් කරයි.
මෙරට යුද අපරාධ චෝදනා එල්ල වූ සෑම විටම ඒ ඒ දේශපාලන පක්ෂ එය තමන්ගේ වාසියට යොදා ගත්තා මිස රටක් ලෙස පොදුවේ යුද අපරාධ චෝදනාවලින් ගැලවීමට උත්සාහ ගත්තේ නැත. රාජපක්ෂවරුන් තමන්ට අහිමි වූ ජනමතය යළි ඇති කර ගැනීමට ද එජාප සජබ හා ජවිපෙ වැනි පක්ෂ රාජපක්ෂවරුන්ට එරෙහිව ජාත්‍යන්තරයේ සිත දිනා ගැනීමට ද යුද අපරාධ චෝදනා පාවිච්චි කළේය. මේ කණ්ඩායම් දෙකේම මතවාදවලින් රටට යහපතක් වූයේ නැත. ශ්‍රී ලංකා ජන සමාජය කළ යුත්තේ එම මතවාද දෙකම ප්‍රතික්ෂේප කර රටක් ලෙස තමන් ත්‍රස්තවාදයෙන් විඳි ගැහැට පිළිබඳව ලෝකයට පෙන්වා දීමය. වසර තිහකට අධික කාලයක් අසරණ ගැමියන් ගම්මානපිටින් සංහාරය කළ බස් බෝම්බ දුම්රිය බෝම්බ සිය ගණනක් පිපිර වූ ත්‍රස්තවාදයක් මෙරට තිබූ බව ලෝකයට පෙන්වාදීමය. ලෝකය අද දකින්නේ ඊළාම්වාදීන් ලොවට පෙන්වා දී ඇත්තේ මෙරට යුද ගැටුමේ චිත්‍රය මිස සාධාරණ චිත්‍රයක් නොවේ. ශ්‍රී ලංකා ආණ්ඩු සෑම විටම ඊලාම් මතවාදයට පිළිතුරු දුන්නේ තමන් නියෝජනය කළ දේශපාලන පක්ෂයේ රාමුව මතය.
එමගින් මෙරට තිබූ ත්‍රස්තවාදයේ සැබෑ හැඩරුව ලොවට නිරාවරණය වූයේ නැත. විවිධ රාජ්‍ය නොවන සංවිධාන ද ලොවට පෙන්වා දුන්නේ දෙමළ ජනතාව සිංහල ජනතාවගෙන් පීඩාවට පත් වූ ජනවාර්ගික ප්‍රශ්නයක් ලෙසය. එම මතවාදය ද වැරදි බව කිසිවකුත් ලෝකයට පෙන්වා දුන්නේ නැත.
ඓතිහාසිකව සිදු වූ මෙම වැරදි දැන් හෝ නිවැරදි කිරීමට පොදුජන මතවාදයක් රට තුළ ඇති විය යුතුය. පොදුවේ සිංහල ජනතාව දෙමළ ජනතාවට පහර නොදුන් බව ලෝකයට පෙන්වා දිය යුතුය. 1983 අපකීර්තිමත් කළු ජුලිය දේශපාලන කල්ලි කිහිපයක කටයුත්තක් මිස සිංහල ජනතාව විසින් දෙමළ ජනතාව වෙත මුදාහළ භීෂණයක් නොවන බව ලොවට පෙන්වා දිය යුතුය. දේශපාලකයන් මෙරට වැපිරූ අවස්ථාවාදී දේශපාලනයේ ගොදුරු බවට පත් දෙමළ ජනතාව මෙරට තුළ සිංහල ජනතාව සමග සාමයෙන් ජීවත්වනව බව ලෝකයට පෙන්වා දිය යුතුය. එවිට බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපීය ජාතීන් මෙරට ඇති සැබෑ ප්‍රශ්නය තේරුම් ගනු නිසැකය.
බ්‍රිතාන්‍ය තුළ ලාංකිකයන්ට එරෙහිව මතවාදය පතුරුවන එක් තැනැත්තියක වන්නේ ඇන්ටන් බාලසිංහම්ගේ ඕස්ට්‍රේලියානු ජාතික බිරිඳ වූ ඇඩෙලා ඈන් බාලසිංහම්ය. ඇය මෙරට දෙමළ ජනතාවට කිසිදු ඥාති සබඳතාවක් නොමැති සුදු ජාතික කාන්තාවකි. ඇය බාලසිංහම් ජුගෝ ඇන්ටන් බාලසිංහම්ගේ බිරිඳවීමෙන් පමණකි. එවැනි කාන්තාවක දේශපාලන අරමුණු සඳහා තම සුදු ජාතික හිතවතුන් ලාංකික විරෝධි මතවාදයකට ගොදුරු කර ඇත. ලංකා සමාජය ලෝකයට පෙන්වා දිය යුත්තේ මෙරට කෙටි කාලයක් ගත කළ එවැනි චරිත ගෙනයන මතවාද වැරදි බවය. ඒ සඳහා ඉස්මතුවිය යුත්තේ දේශපාලන පක්ෂ නොව පොදු සාමකාමි මහජනතාවය. පොහොට්ටුව හෝ ජවිපෙ හෝ සජබය හෝ මතු කරන තර්ක අවස්ථාවාදී බව බ්‍රිතාන්‍යය ජනතාවට පෙන්වා දෙන පොදු ජන බලවේගයක් රටට අවශ්‍යය.
ප්‍රේමකීර්ති රණතුංග