සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න
- මිනිස්සුන්ට එන්න කියන්න ඕනෑ නෑ. පාරට බහින්න මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නේ
- මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැනීමට හිමිකම ලැබෙන්නේ වසර 10 කින් කීවා. ඒක හොඳ තීරණයක්
2022 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මේ අයවැය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- ලෝක තත්ත්වයත් රටේ තත්ත්වයත් දිහා බැලුවම මේ වගේ අයවැයක් ඉදිරිපත් කරන්න ලැබීමත් සතුටක් කියලා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කිව්වා. ඔබත් එකඟද?
පිළිතුර:- එතුමා කියන්න ඇත්තේ කොවිඩ් එක ගැන වෙන්නැති. ඒක මේ අපේ රටට පමණක් අදාළ තත්ත්වයක් නොවෙයි. ලෝකෙටම බලපාන දෙයක්. කොවිඩ් කළමනාකරණය එක එක රටවල් එක එක විදියට කරලා තියෙනවා. හැබැයි ආර්ථික කළමනාකරණය පැත්තෙන් නම් එක එක රටවලට එක එක ප්‍රතිලාභ ලැබිලා තියෙනවා. නමුත් ලංකාව ඇවිල්ලා, මෙතැනදී කියන්න ඕනැ අවාසනාවකට අපට බැරිවෙලා තියෙනවා ඒක හරියට කරගන්න.
ප්‍රශ්නය:-ඒකට හේතුවක් ඔබට කියන්න පුළුවන් ද?
පිළිතුර:- ඉතාම අවාසනාවන්ත විදියට කොවිඩ් එන්න පෙර ඉඳලම මේ රජය ආර්ථික අර්බුදයක් ඇති කළා. කොවිඩ් ආවම ඒක උග්‍ර වුණා. දැන් අපිට ඒකෙන් එළියට එන්න බැරිවෙලා තියෙනවා. බදු සහන දීම හරහා ආණ්ඩුව විශාල අර්බුදයක් හදා ගත්තා. 2014 අපේ ආදායම රුපියල් බිලියන දාහයි. 2019 දී ආදායම රුපියල් බිලියන එක්දහස් නවසිය අනූහතයි සීයට සීයකින් විතර වැඩිවුණා.
ප්‍රශ්නය:-ඒ යහපාලන ආණ්ඩුව කාලේ?
පිළිතුර:- ඔව්. ඒ තත්ත්වය ඊළඟ වසරේදීම එක පාරින්ම කඩා වැටුණා. මොකද මේගොල්ලෝ ඊනියා න්‍යායකට අනුව සටන් පාඨයක් හැදුවා විපක්ෂයේ ඉන්න කාලේ යහපාලන ආණ්ඩුව බදු ගහනවා කියලා. එහෙම කියමින් රට වටේම ගියා. ඒ සටන් පාඨය හදන්න ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා.
ප්‍රශ්නය:-ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ?
පිළිතුර:- ඔව් එයා තමයි. ඒ කතාව මිනිස්සු විශ්වාස කළා. ව්‍යාපාරික ප්‍රජාවත් ඒක විශ්වාස කළා. ඒ නිසා මේගොල්ලෝ බලයට ආගමන් බදු අයින් කිරීමෙන් රාජ්‍ය ආදායමෙන් තුනෙන් එකක් අහිමි වුණා. ලෝකයේ කිසිම රටක ආදායමෙන් තුනෙන් එකක් කඩා වැටිලා නෑ. මේ අර්බුදය නිර්මාණය කළේ කොවිඩ් එන්නට පෙර. ලංකාව ඉතින් වැරැදි වැඩක් කළොත් උඩට යන රටක්නේ. බැසිල් රාජපක්ෂ කියන කෙනා තමයි ඒ විදියට රටට ආදායම් අහිමි කළේ. හැබැයි එයාව මේ රටේ මුදල් ඇමැති කළා. තව ඉන්නවා අපේ අධිකරණ ඇමැති මට පේන විදියට එයා හදනවා හොඳ වැඩ කරන්න. නමුත් ඒ හොඳ වැඩ කරන කෙනාව උඩට යවන්නේ නැතිව පහළට යවනවා. එයා කරන වැඩේට ඇඟිලි ගහන්න ජනාධිපති කාර්ය සාධක බළකා හදනවා. රටේ ආදායම නැති කළ කෙනාව මුදල් ඇමැති කළා.
ප්‍රශ්නය:-බදු සහන තීන්දුව ගන්නකොට රටේ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ?
පිළිතුර:- නමුත් බැසිල් රාජපක්ෂනේ මෙහෙයුම් ප්‍රධානියා මෙයාගෙන්නේ ඔය අදහස එන්න ඇත්තේ. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට අපි රට බාර ගන්නකොට සියයට 10 යි. 2019 වෙනකොට ඒක 33 ට ගිහින් තිබුණා. 2020 දී ඒක සියයට 9 ට බැස්සා. ලංකා ඉතිහාසයේ අඩුම ආදායම. භයානක තැනකට රට පත්වෙලා තියෙන්නේ. ලොකු ගැප් එකක් තියෙන්නේ. අයවැය පරතරය ලොකුවට තියෙනවා.
ප්‍රශ්නය:-මේ වෙනකොට ඩොලර් ප්‍රශ්නය ලොකුවට තියෙනවා?
පිළිතුර:- ඔව්. විදේශ විනිමය ගත්තොත් අපි රට බාරදෙන කොට ඩොලර් බිලියන 7 කට වැඩියි. අද ඒක ඩොලර් බිලියන 2 යි. ඉතින් කොහොමද මේ අය පම්පෝරි ගහන්නේ අපි ණය ගෙව්වා කිව්වා. එය ණය ගෙවලා තියෙන්නේ විදේශ විනිමය ශේෂය පහළටම වට්ටලා. ණය දුන්න විදේශිකයාව බලාගෙන තියෙනවා. රටේ ගොවියා නැති කළා. පොහොර ගෙනාවොත් ඩොලර්වලින් ගෙවන්න ඕනැ. ඩොලර් ඒක බේරාගත්තා ණය ගෙවන්න. ගොවියාට අත්වෙන ඉරණම ගැන බැලුවේ නෑ. ඉතින් ගොවියගේ ආදායම සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. අස්වැන්න අඩුවෙනවා. වල් පැලෑටි හැම තැනම. ගොවි මහත්වරු පාරට බැහැලා. සාගතයකට පාර කපලා බොහොම භයානක ප්‍රශ්නයක් ඇති කරලා තියෙන්නේ.
ප්‍රශ්නය:- විරෝධතා දක්වලා මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලා ඔබ හිතනවද?
පිළිතුර:- අද රැස්වීම්වලට මිනිසුන්ට එන්න කියන්න ඕනැ නෑ. පාරට බහින්න මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නේ. මේක පාලනය කරන්න බැරි තැනට තල්ලු වෙලා. ඒ කියන්නේ මේක මෝඩ ප්‍රතිපත්තියක්.
ප්‍රශ්නය:-රසායනික පොහොර වෙනුවට කාබනික පොහොරට මාරුවීම ඔබ දකින්නේ කොහොමද?
පිළිතුර:- මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂතුමාට කිව්වා ‘අපි පෝර නිකම් දෙනවා’ කියලා කියන්න. ඒක මහින්ද මහත්තයාගේ ප්‍රතිපත්තිය වෙන්නැති. ගෝඨාභයත් කිව්වා ‘පොහොර නිකම් දෙනවා’ කියලා. මොකක්ද වුණේ? එක රැයකින් කිව්ව ‘හෙට ඉඳලා රසායනික පොහොර ගේන්න දෙන්නේ නෑ. ඊළඟ කන්නය කාබනික පොහොරට යනවා’ කියලා. මහින්ද රාජපක්ෂ නිකම් දෙන්න කිව්වේ රසායනික පොහොරනේ. අයියා එක ප්‍රතිපත්තියක, මල්ලි තව ප්‍රතිපත්තියක. පවුලේ දෙන්නෙක් ප්‍රතිපත්ති දෙකක්. අන්තිමට රටට විපත. ඔක්කොම කඩා වැටිලා. අපි පැහැදිළිව කියන්න ඕනැ ඔය තීරණයට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මෝඩ තීරණයක්. අස්වැන්න නැතිවුණොත් පිටරටින් ආහාර ගෙන්වන්න ඕනැ. ඒ ආහාර කාබනික පොහොරවලින් ද නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම ඒ ආහාර ගේන්න විදශ විනිමය ඕනැ.
ප්‍රශ්නය:-කාබනික පොහොරවලට ප්‍රතිපත්තියක් වශයෙන් ඔබ විරුද්ධයි?
පිළිතුර:- නෑ. අපි ඒකට විරුද්ධ නෑ. හැබැයි අපි රසායනික පොහොර ගෙන්වන එක නතර කරන්නෙත් නෑ. මේක ඕනෑම ළදරුවෙකුට වුණත් තේරෙන දෙයක්. ලෝකයේ බිලියන හතක් ජනතාව ඉන්නවා ආහාර නිෂ්පාදනය විතරක් නොවෙයි අඳින්නේ පළඳින්නෙත් කෘෂි කර්මාන්තය හරහා. මේ නායකයන්ට මේ සුළු දේවත් තේරෙන්නේ නෑ. මීට අවුරුදු සීයක් දෙසීයක් අතීතයට ගියොත් සාගත වසංගත ගැන තොරතුරු තියෙනවා. අද ඒවා ආහන්නේ කලාතුරකින්. ඒ කෘෂිකර්ම විප්ලවය නිසා. කාබනික පොහොරට යන්න ඕනෑ දීර්ඝ සැලසුම් එක්ක. පළමු අදියරයට විතරක් අවුරුදු 10 ක් විතර යනවා. මේ අයට ඒකවත් තේරෙන්නේ නෑ.
ප්‍රශ්නය:-‘අපි වෙළඳ හා සේවා ආර්ථිකයකට යා යුතුයි. එයට අවශ්‍ය පදනම අයවැයෙන් දැම්මා.’ කියලයි ආණ්ඩුව කියන්නේ?
පිළිතුර:- ඒකත් මම පෙන්වන්නම්. 2020 දී මේ අය කිව්වෙත් ‘නිෂ්පාදන ආර්ථිකයක් හදනවා’ කියලයි. සහල් ආනයනය තහනම් කරනවා කිව්වා. කහවලින් ස්වයංපෝෂිත කරනවා කිව්වා. මතකයිනේ. අන්තිමට කහ කිලෝව රුපියල් හත්දාහට ගියා. ඔන්න නිෂ්පාදන ආර්ථිකය හැසිරවීම. ඒ විතරක් නොවෙයි සීනි කිලෝවක බද්ද අපේ කාලයේ තිබුණේ රුපියල් 35 ට. ඒක රුපියල් 50 ට වැඩි කළා. එහෙම කියලා සීනිවලිනුත් රට ස්වයංපෝෂිත කරනවා’ කිව්වා. 2021 දී එක පාරටම සීනි බද්ද ශත 25 ට අඩු කළා. ගජ මිතුරන්ට රුපියල් බිලියන 10 කට කිට්ටු අධික ලාභයක් ලැබුණා. එතකොට 2020 දී කිව්වේ ‘නිෂ්පාදන ආර්ථිකයකට යනවා’ කියලනේ. එහෙම කිව්වේ මහින්ද රාජපක්ෂනේ. එයානේ එතකොට මුදල් ඇමැති. 2021 දී කියනවා ‘වෙෙළඳ හා සේවා ආර්ථික ප්‍රතිපත්තියකට යනවා’ කියලා. 2020 දී අයියා කියනවා එකක්. මල්ලී දැන් අපට කියනවා මිශ්‍ර ආර්ථිකයකට යනවා කියලා. වම් අත දන්නේ නෑ දකුණු අත මොනවද කරන්නේ කියලා. මේක පවුලක ප්‍රශ්නයක් නොවෙයිනේ. මේක රට පාලනය කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. එක එක ප්‍රතිපත්තිවලට ගියාම ජනතාවට මොකද වෙන්නේ?
ප්‍රශ්නය:-ඔබ මේ අයවැය තුළ කිසිම හොඳක් දකින්නේ නැද්ද?
පිළිතුර:- හොඳක් දකිනවා. මන්ත්‍රීවරුන්ට විශ්‍රාම පඩිය ගන්න අවුරුදු 10 ක් ඉන්න ඕනෑ කිව්වනේ. ඒක හොඳයි රජයේ සේවකයන්ට වගේම මන්ත්‍රීවරුන්ටත් ඒක එක සමානයි.
ප්‍රශ්නය:-කෝටි 200 කට වඩා ආදායම් ලබන සමාගම්වලට සියයට 25 ක බද්දක් දැම්මා?
පිළිතුර:- රටක් ගොඩ නගන්න පෞද්ගලික අංශයත් ඉතාම වැදගත් වෙනවා. රාජ්‍ය අංශයෙන් විතරක් රටක් ගොඩ නගන්න බෑ. ශ්‍රී ලංකන් ගුවන් සේවාව ගන්න. ශ්‍රී ලංකන් ගුවන් සේවාව 1997 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය එමිරේට්ස් සමාගම සමග ඒකාබද්ධ වෙලා පාලනය කරන්න තීරණයක් ගත්තා. ගිවිසුම ගැහුවා. සියයට 43 ක අයිතිය එමිරේට්ස් සමාගමට දුන්නා. අපිට පාඩුවක් වුණේ නෑ. ඊට පස්සේ ලන්ඩන්වල ඉඳලා කොළඹට එන්න මහින්ද මහත්තයා ඇතුළු කණ්ඩායමකට ආසන ඕනැ කියලා කිව්වා. එමිරේට්ස් එක කිව්වා ඔක්කොම ආසන මුදල් ගෙවූ මගීන්ට දීලා තියෙන්නේ කියලා. දැන් මේක ලොකු ප්‍රශ්නයක් වුණා. මේගොල්ලෝ ව්‍යාපාර කරන අයට ඒවා කරගෙන යන්න දෙන්නේ නෑ. එමිරේට්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ වීසා කැන්සල් කළා. ඒ සමාගම කිව්වා ‘අපි අයින් වෙලා යනවා’ කියලා. එහෙම කියලා එමිරේට්ස් එක ගියා. එදා ඉඳලා අද වෙනකම් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අලාභය රුපියල් බිලියන 250 කට වඩා වැඩියි. පුහු අභිමානය ඒක දෙනකොට කිව්වේ වෙන කතාවක්. ගන්නකොට කිව්වේ රාජ්‍ය සම්පත් රාජ්‍ය සතු කරනවා’ කියලයි. ඇත්තටම ඒකට ගෙවන්නේ මැදමුලන කාබනික පොහොරින් හදපු අස්වැන්න විකුණලා ගත්ත මුදල් නොවෙයි. ඕවට ගෙවන්නේ කවදාවත් ගුවන් ගමනක් ගිහින් නැති දුප්පත් ජනතාව. ඕක තමයි ඇත්ත. ඒ එක ආයතනයක අලාභය තරම් මුදලක් තමයි මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයටම දාන්නේ. මුළු අධ්‍යාපන ක්ෂේත්‍රයකටම යොදවන්නේ. ඒක වැරැදි තීරණයක් ගත්තාම ඇතිවෙන ප්‍රශ්න බලන්න. දැන් අර බද්ද ගැන කතා කළොත් එමිරේට්ස් වගේ ප්‍රශ්න දැනගත්තම ආයෝජකයෝ රටට එයිද? ඔය විදියට හිර කරනකොට ආයෝජකයෝ එන්නේ නෑ.
ප්‍රශ්නය:-මේ මොහොතේ මුදල් ඇමැති ඔබ නම් මොනවගේ අයවැයක් ද ඉදිරිපත් කරන්නේ?
පිළිතුර:- ඉස්සෙල්ලාම කියන්න ඕනැ ලේසි පිළිතුරක් නෑ කියලා. නමුත් වෙෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ මූල්‍ය විශ්වාසය මතයි. කියන දේ කරන්න ඕනැ. ශ්‍රේණිගත කිරීම්වල පල්ලෙහාට දැම්මා මහ බැංකුවේ අධිපති ශ්‍රේණිගත කිරීම් සමාගම්වලට බණිනවා. එහෙමකරලා හරියනවද? ඒ මූල්‍ය විශ්වාසයක් ඇති කරන්න ඕනැ. ඒ විශ්වාසය එන්නේ නීතිමය ආධිපත්‍යය තිබුණොත් පමණයි. ගිවිසුමක් ගැහුවොත් ඒක ඒ විදියටම ක්‍රියාත්මක කරන බවට සහතිකයක් දිය යුතුයි. ඒ වගේම රටේ මූල්‍ය ස්ථාවර භාවය තිබිය යුතුයි. මේ අයවැයේ එහෙම කිසිම දෙයක් නෑ. සියයට 52 ක් වන අපේ රටේ කාන්තාවන් දෙස මේ අයවැය අවධානය යොමු කරලම නෑ. අපට ආයෝජකයන් අවශ්‍යයි. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් දිය යුතුයි. තහංචි දාලා මේවා කරන්න බෑ. අයවැයක් කියන්නේ දර්ශනයක්. එහෙම දර්ශනයක් නැති කෙනෙකුට අයවැයක් හදන්න බෑ.