දූෂණය තුරන් කරන බවට කළ ප්‍රකාශයත් ඉතා වැදගත්
ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමට අවධානය යොමු කිරීම ඉතා වැදගත්.
මීළඟ වසර පහ සඳහා ආර්ථික සැලැස්මක් ඉදිරිපත් නොකිරීම අඩුපාඩුවක්
ආණ්ඩුවේ ජනප්‍රියත්වය තියෙන මුල් කාලයේදීම රැඩිකල් ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු වුවත් ආණ්ඩුව ඒ අවස්ථාව මග හැර ඇති බව පෙනෙනවා
ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය ලේඛනය පසුගිය 9 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. වැඩි අවධානයට ලක් වූ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, සමාජ ආරක්ෂණ වියදම් ඉහළ නැංවීම ආදිය ද ඇතුළත්ව ආකර්ෂණීය යෝජනා ගණනාවක් ද එයින් ප්‍රසිද්ධ කෙරිණි. එම යෝජනාවලින් ඔබ්බට ගොස්, අයවැයෙහි අන්තර්ගතය හා හරය පිළිබඳ සාකච්ඡා කිරීම වැදගත් ය. මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියක් මෙසේ ය.
වසර 2025 සඳහා වන අයවැය සකස් කිරීමට සිදු වූයේ බොහෝ සීමාවන්ට යටත්ව යැයි ජනාධිපතිවරයා පැවසීය. එයින් හැඟෙන ප්‍රධාන කාරණය නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්ව අයවැය ඉදිරිපත් කිරීමට සිදුව ඇති බව ය. සමාජයේ ආර්ථිකමය වශයෙන් තෙරපුමකට ලක්ව සිටින, අවදානම්සහගත පිරිස්වලට නොයෙක් සහන ලබා දීමට යෝජනා කර තිබේ. අයවැය පිළිබඳ ගැඹුරු විග්‍රහයකට යෑමට මත්තෙන්, ඒ පිළිබඳ සාවධාන වීම වැදගත් ය. අස්වැසුම දීමනා, වැඩිහිටි දීමනා, රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, වකුගඩු දීමනා මේ ආදිය සම්බන්ධයෙන් කර ඇති යෝජනාවලින් ඒ බව පැහැදිලි වේ. සුබසාධන වියදම් පැත්තෙන් යම් මට්ටමක හෝ සහනයක් ලබා දීමට උත්සාහ කර ඇත. එය රජයේ වාමාංශික නැඹුරුව පෙන්වන එක් පැතිකඩක් ලෙස මම දකිමි. එහෙත් අයවැයෙහි සෙසු අංශ ගත් විට, විශාල වාමාංශික නැඹුරුවක් සහිත යෝජනා දක්නට නොමැති බව මගේ අදහසයි.
අපනයන අභිමුඛ කාර්මීකරණයක් පිළිබඳ කතා කළ ද, ආනයන ආදේශන කාර්මීකරණයක් ගැන සඳහන් නොවේ. අයවැය පිළිබඳ ගැඹුරින් විමසීමේ දී, එහි අන්තර්ගත මූලික මූලධර්ම කිහිපයක් හඳුනාගත හැකි ය. පළමුවැන්න, වෙළෙඳපොළ බලවේග ඔස්සේ ඉල්ලුම හා සැපයුම හා මිල තීරණය කරන තරගකාරී වෙළෙඳපොළ යි. එහි අදහස තරගකාරී වෙළෙඳපොළ නමැති සංකල්පය පිළිගන්නා බව යි. දෙවැන්න, ජර්මානු මාදිලියේ සමාජ ආර්ථික වෙළෙඳපොළ ක්‍රමයෙහි දැකිය හැකි වෙළෙඳපොළ නියාමනය පිළිගැනීම යි. නියාමන ආයතන ඔස්සේ වෙළෙඳපොළ නියාමනය කිරීමට අපේක්ෂා කරන බව රජය කියයි. නිෂ්පාදනයෙන් ලැබෙන ප්‍රතිලාභ හා වර්ධනයන් සමාජය වෙත සාධාරණව බෙදී යා යුතු බව තුන්වැනි මූලධර්මය යි. මේ මූලධර්ම තුන ඉතා වැදගත් හා ආර්ථික විශ්ලේෂකයන් වශයෙන් අප විසින් කාලයක් තිස්සේ පෙන්වා දෙනු ලැබූ ඒවාය. සමස්තයක් ලෙස ගත්විට, මෙවර අයවැයෙහි වාමවාදී ඇතැම් ලක්ෂණ අන්තර්ගත වුව ද, පෙර සඳහන් කළාක් මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කොන්දේසිවලට යටත්ව ඉදිරිපත් කළ අයවැයක්ය යන්න ප්‍රතික්ෂේප කළ නොහැකි ය.
රාජ්‍ය ආදායම් වියදම් පරතරය අයි.එම්.එෆ්.හි නිර්දේශවලට අනුව පවත්වා ගෙන යෑමට යෝජනා වී තිබුණේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5.2 ක මට්ටමකය. එහෙත් අයවැයේ ඇතුළත් රාජ්‍ය ආදායම් හා වියදම් පිළිබඳ සංඛ්‍යාවලට අනුව, එම අගය සියයට 6.7 ක් පමණ වේ. අයවැය හිඟය පහත දැමිය යුතු බව රාජ්‍ය මූල්‍යයට අදාළව ප්‍රකාශ විණි. ඒ අර්ථයෙන් ගත් විට, අයවැය හිඟය පහත හෙළීමට ආණ්ඩුව අසමත් වී තිබේ. රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 21.8 ක් පමණ වේ. එය සියයට 20.2 ක මට්ටමක පවත්වා ගෙන යෑම මූල්‍ය අරමුදලෙහි එක් නිර්දේශයකි. දේශීය වශයෙන් ණය ගැනීම් ඉහළ දැමීමට සිදු වන අතර, 2025 වසර සඳහා රුපියල් බිලියන 2,000 ක පමණ ණය ප්‍රමාණයක් ගැනීමට රජය අපේක්ෂා කරයි.
රාජ්‍ය සේවක වැටුප් රුපියල් 15,000 ඉක්ම වන අගයකින් ඉහළ දමන බව ද ජනාධිපතිවරයා අයවැය කතාවේදී කීවේය. එසේ වුවද, රාජ්‍ය සේවක මාසික මූලික වැටුප් වැඩි වෙන්නේ රුපියල් 8,250 කිනි. හේතුව, එම වැටුප් වැඩිවීමට දැනටමත් ගෙවනු ලබන ජීවන වියදම් දීමනාව හා සෙසු දීමනා ඇතුළත් හෙයිනි. එකී දීමනා මූලික වැටුපට එකතු කිරීමෙන් මෙම 15,000 ඉක්මවන මුදල ගණනය කර තිබේ. එම 8,250 ක මූලික වැටුප් වැඩි වීමෙන් 5,750 ක් පමණ 2025 දීත් 2026 දී 1,250 ක් හා ඉතිරි 1250 2027 දීත් වැඩි වී රාජ්‍ය සේවක මාසික මූලික වැටුප රුපියල් 40,000 ක් බවට පත්වෙන්නේ 2027 දී ය. මෙවර අයවැයේ දැකිය හැකි සාධනීය තවත් යෝජනාවක් වෙන්නේ, ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමට අවධානය යොමු කර තිබීම ය. එය යහපත් ප්‍රවේශයකි. දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් සමග සැසඳීමේදී, ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පසුගාමී තැනක පසුවේ. විශේෂයෙන් ම, ඉන්දියාව ඩිජිටල් ආර්ථික කටයුතුවලින් ඉදිරියට ගමන් කර ඇති රටකි. රාජ්‍ය සේවයේ කටයුතු ඩිජිටල්කරණය කිරීම, ගෙවීම් ආදිය ඩිජිටල් ක්‍රම ඔස්සේ සිදු කිරීම වෙනුවෙන් පහසුකම් සැලසීම වැනි කටයුතුවලට මේ යටතේ වැඩි අවධානයක් යොමු වේ. ඒ වෙනුවෙන් අයවැයෙන් රුපියල් මිලියන 3,000 ක් වෙන් කර ඇතත් එය ප්‍රමාණවත් ද යන ප්‍රශ්නය මතු වේ. හේතුව, ක්ෂේත්‍ර කිහිපයකට අදාළව ඩිජිටල්කරණය සඳහා විශාල මුදලක් වෙන් කළ යුතු බැවිනි.
Fiber Optics තාක්ෂණය වෙනුවෙන් සෑහෙන මුදලක් වැය වීම එක් හේතුවකි. එමෙන් ම, ලංකාවේ බොහෝ ප්‍රදේශවල තවමත් තිබෙන්නේ 2G හා 4G අන්තර්ජාල පහසුකම් ය. ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කරන්නේ නම් 5G හා 6G තාක්ෂණයන්ට යා යුතු ය. ප්‍රමාද වීමකින් පසුව හෝ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත් පියවර පැසසිය යුතු ය. එය සංචාරක කර්මාන්තයට ද වැදගත් ය. මන්ද, සංචාරකයන් මුදල් රැගෙන පැමිණීම ක්‍රමයෙන් අඩු වෙමින් තිබීමත් ඒ වෙනුවට ඩිජිටල් ගෙවීම් ක්‍රම ඔස්සේ ගෙවීම් කිරීමට ඔවුන් පුරුදු වී සිටීමත් ය. කාසි හා නෝට්ටු භාවිතය අවම කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අයවැය කතාවේ දී අවධාරණය කළේ ය. එය බදු එකතුකරණයට ද හොඳ පියවරකි. ඩිජිටල් ආර්ථික කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් නොවන බැවින් පෞද්ගලික අංශය මැදිහත් කරගැනීම අවශ්‍ය වේ. ආර්ථිකයේ ඵලදායීතාව ඉහළ නැංවීමටත්, ලෝක ආර්ථිකය සමග අර්ථවත් ලෙස සම්බන්ධ වීමටත් ඩිජිටල් ආර්ථිකය ඉතා වැදගත් වෙයි.
දූෂණය තුරන් කරන බවටත්, දූෂණයෙහි යෙදෙන නිලධාරීන්ට රැකවරණය නොදෙන බවටත් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉතා වැදගත් ය. ශ්‍රී ලංකාවේ වංචා දූෂණ ඉහවහා ගොස් ඇති බව විවිධ වාර්තා මගින් පෙන්වා දී තිබේ. අයි.එම්.එෆ්. හි තාක්ෂණික සහාය සමග සකස් කළ ආණ්ඩුකරණයට අදාළ වාර්තාවෙනුත් ඒ බව පෙන්වා දී ඇත. එය ආයෝජනවලට බාධා ඇති කරයි. එබැවින් ඒවාට එරෙහිව ක්‍රියා කිරීම යහපත් ය. තුන්වැනි පාර්ශ්ව හවුල් කර ගැනීමකින් තොරව, කෙළින්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට යන ලෙස ජනාධිපතිවරයා විදෙස් ආයෝජකයන්ගෙන් ඉල්ලීමක් කළේ ය. එහෙත් ප්‍රශ්නය වෙන්නේ, එම ආයතනය කොතෙක් දුරට කාර්යක්ෂම ද යන්න ය. ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අදාළ ‘ඉන්වෙස්ට් %ශ්‍රී ලංකා’, ‘%සෝන් ශ්‍රී ලංකා’ නමින් වෙනම ආයතන පිහිටුවීමට යෝජනා වී තිබිණි. පවතින ආයතනික ව්‍යුහයේ ඇති අකාර්යක්ෂමතාව හා දූෂිතභාවය නිසා යෝජනා වූ එම නව ආයතන ගැනත් රජයේ අවධානය යොමු වෙන්නේ නම් වැදගත් බව මගේ අවබෝධය යි. වංචා දූෂණ තුරන් කිරීමට සමගාමීව ආයෝජන දිරිගැන්වීම වෙනුවෙන් සක්‍රීය කණ්ඩායමක් පත් කළ යුතු ය.
අයවැය කතාවේදී නව පනත් කෙටුම්පත් කිහිපයක් ගෙන එන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. එය ඉතා යහපත් ය. කාර්මීකරණය වේගවත් කිරීම, අපනයන දිරිමත් කිරීම, දේශීය හා විදේශීය ආයෝජන දිරිමත් කිරීම යනාදිය පවතින ආයතනික ව්‍යුහයෙන් සපුරාගත නොහැකි හෙයින් අලුතින් නීතිරීති හඳුන්වා දී ඒ අරබයා පියවර ගැනීම හොඳ දෙයකි. ආණ්ඩුවට ශක්තිමත් ජනවරමක් ද තිබෙන නිසා නව රේගු ආඥා පනත සහ ආයෝජකයන් ආරක්ෂා කිරීමට අදාළ නීති කඩිනමින් පැනවිය යුතු ය. 2025 වසර ඇතුළත මේ සියලු දේ කරන්නට නම් රජය මෙතැන් සිට සක්‍රීයව ඒ වෙනුවෙන් මැදිහත් වී කටයුතු කළ යුතු ය. වෙළෙඳ හා ආයෝජන කලාප ඇති කිරීමට පෞද්ගලික අංශයට ඉඩ ලබා දෙන බවට කළ ප්‍රකාශයත් පැසසිය යුතු ය. ලොව හොඳම ආයෝජන ප්‍රවර්ධන ආයතනය ඇත්තේ කොස්ටරිකාවේ වන අතර ආයෝජන රටට රැගෙන ඒම අරබයා එම ආයතනයට විශාල බලයක් ද ලබා දී තිබේ. විදේශ ආයෝජකයන් ද සම්බන්ධ කරගෙන ආයෝජන කලාප ඇති කිරීමට ඉඩ දීම ඉතා වැදගත් ය. ආයෝජන කලාප අතර තරගයක් ඇති වුවහොත් එය ආයෝජන ඉහළ යෑමට හේතුවක් වේ. එබැවින් ආයෝජන කලාප පිහිටුවීමට පෞද්ගලික අංශයට ඉඩ ලබා දීම හොඳ යෝජනාවක් වන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අමතරව පිහිටුවීමට යෝජනා වූ අනෙක් ආයතන ස්ථාපනය කිරීම ඉතා වැදගත් ය.
ආර්ථිකය කඩා වැටුණු පසු යම් මට්ටමකට යථා තත්ත්වයට පත්වීම සාමාන්‍ය තත්ත්වයක් වුව ද, වඩාත් වැදගත් වෙන්නේ එතැන් සිට ආර්ථිකය ස්ථාවර කිරීමට අදාළ පියවර ගැනීම ය. 2025 වසරේ දී සියයට 5 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා කීවේය. එය අභියෝගාත්මක ඉලක්කයකි. එය කළ හැක්කේ ඵලදායීතාව ඉහළ නැංවීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම, කාන්තා ශ්‍රම දායකත්වය වැඩි කිරීම වැනි අංශවලට ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දීමෙනි. වෙසෙසින්ම අපනයන ක්ෂේත්‍රය පුළුල් කිරීම අත්‍යවශ්‍ය වේ. 2025-2029 කාලසීමාව සඳහා අපනයන ප්‍රතිපත්තියක් එළිදැක්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ. එසේම 2030 වනවිට අපනයන ආදායම ඩොලර් බිලියන 36 දක්වා ඉහළ නංවා ගැනීම ද රජයේ අරමුණකි. මේ ඉලක්ක හඹා යෑම අතිශය වැදගත් ය.
ප්‍රවාහන සේවා දියුණු කිරීමට අවධානය යොමු කර තිබීම ඉතා හොඳ ප්‍රවේශයකි. මගී බස් සහ දුම්රිය සේවා වෙනුවෙන් මීට වඩා වැඩි මුදලක් වෙන් කළ හැකිව තිබිණි නම් හොඳ බව මගේ අදහසයි. රජයේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් යම් අදහසක් අයවැයෙන් ලබා දී තිබුණ ද මීළඟ වසර පහ සඳහා ආර්ථික සැලැස්මක් ඉදිරිපත් නොකිරීම අඩුපාඩුවකි. ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කරන බවට කළ ප්‍රකාශය ද ඉතා වැදගත් ය. අධ්‍යාපන, සෞඛ්‍ය සහ ප්‍රවාහන සේවාවලට මීට වඩා වැඩියෙන් මුදල් වෙන් කළ ද එම අංශ පරිවර්තනයකට ලක් කිරීම අසීරු ය. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සාතිශය බහුතර බලයක් තිබෙන හෙයින්, ඉහත කී අංශ විප්ලවීය වෙනසකට බඳුන් කිරීමට අවස්ථාව තිබූ බව මගේ අදහස යි. ආණ්ඩුවේ ජනප්‍රියත්වය තිබෙන මුල් කාලයේ දීම අමාරු ප්‍රතිසංස්කරණවලට ගමන් කළ යුතු ය. මෙවර අයවැයෙන් එවැනි ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම මගහැරී ඇත්ද යන්න සැකසහිත ය. සරලව කියන්නේ නම්, මෙම අයවැයෙහි රැඩිකල් බවක් පෙනෙන්නට නැත. සාම්ප්‍රදායිකව අයවැයෙන් සිදු වෙන පරිද්දෙන් මුදල් වෙන් කිරීම්, ඒවාට අදාළ ව්‍යාපෘති හඳුනා ගැනීම් පමණක් සිදු කර ඇති බව පෙනේ. ඇතැම් අයවැය යෝජනා නිශ්චිත බවකින් තොර වීම ද ප්‍රශ්නයකි. නිදසුනක් ලෙස, උපායමාර්ගික හවුල්කරුවන් සමග ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම් ජාලය පුළුල් කරන බවට අයවැයෙන් ප්‍රකාශ කළ ද එය කරන්නේ කෙසේ ද යන්න නිශ්චිතව පැහැදිලි කර නොතිබී ම අඩුපාඩුවකි. අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට තවත් ඉතිරිව ඇත්තේ මාස දහයකටත් අඩු කෙටි කාලයකි. එවැනි සන්දර්භයක, යෝජනා නිශ්චිත ලෙස ඉදිරිපත් කළේ නම් රජය කරන්නට යන දේ ගැන ජනතාවට පැහැදිලි අදහසක් ලැබේ. එසේ වූයේ නම් රජයේ ආර්ථික වැඩපිළිවෙළ මීට වඩා පැහැදිලි වීමට ඉඩ ඇත.