එතනෝල් ස්ප්‍රිතුව යොදා මත්පැන් නිපදවන මන්ත්‍රීවරුන් හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටින බවද රවී කරුණානායක ඇමැතිවරයා එදා පැවසුවේය.
මිනිසුන්ගේ මත්පැන් බීම නවත්වන්නට පාලකයකුට නුපුළුවන. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මත්පැන් විකිණීමෙන් සහ ප්‍රවර්ධනයන් වැළැක්වීමට පාලකයන්ට පුළුවන. පසුගිය දශක ගණනාවක මෙරට මත්පැන් ශාලා හිමිකරුවන් බවට පත් වූ මන්ත්‍රීවරුද සිටිති. සාමාන්‍ය ව්‍යාපාරිකයන් ලෙස කටයුතු කර මන්ත්‍රීධුරයකට පිවිස මත්පැන් කර්මාන්ත ශාලා ආරම්භ කළ මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙක් ද ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළහ. වර්තමාන ජනාධිපතිවරයාගේ සහ එම පක්ෂයේ විවේචනය එවැනි මන්ත්‍රීවරුන්ට නිරතුරුවම එල්ල විය. බාර් හිමියන්ට මෙන්ම මත්පැන් කම්හල් හිමියන්ට ද ජනාධිපතිවරයාගේ පක්ෂයේ දොර නෑරෙන බව පැහැදිලිය.
ආණ්ඩු පක්ෂයට සම්බන්ධ වී මන්ත්‍රී ආසනයක් දිනාගත් මත්පැන් කර්මාන්තශාලා හිමි දේශපාලකයෝ, එම දේශපාලන බලය විදේශයෙන් මධ්‍යසාර ස්ප්‍රීතු ආනයනය සඳහා යොදා ගත්හ. බොහෝ විට ඒ සඳහා යොදාගන්නේ එතනෝල් ස්ප්‍රීතුවය. රේගුවට එතනෝල් බව ප්‍රකාශ නොකර හොර රහසේ වෙනත් බඩු භාණ්ඩ භාවිතයට ගෙන එන එතනෝල් කන්ටේලර් රේගුවෙන් මුදා ගැනීම සඳහා දේශපාලන බලය යොදාගත් අතර එම කටයුතු හෙළිදරව් වූ පසු මෙම මන්ත්‍රීවරුන්
හැඳින්වූයේ එතනෝල් ජාවාරම්කාරයන් වශයෙනි.
එතනෝල් යනු මධ්‍යසාරය පෙරීමට ගන්නා තනුක නොකළ ස්ප්‍රීතුවකි. බියර්, වයින්, අරක්කු, විස්කි, බ්‍රැන්ඩි ආදියෙහි එතනෝල් යම් අනුපාතයක් අඩංගුවේ. ධාන්‍ය සහ උක් වැනි ශාකවලින් එතනෝල් නිපදවේ.
ඩුබායි දේශයේ සැඟවී සිටි, එතනෝල් ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරිකයකු 2022 වසරේ දී මෙරටට පැමිණි පසු, රාජ්‍ය ඇමැතිවරයකු සහ මන්ත්‍රීවරයකුගේ මැදිහත්වීමෙන් ඔහු ප්‍රභූ පර්යන්තය හරහා හොර රහසේ රැගෙන ඒමට කටයුතු කළැයි චෝදනා එල්ල විය. මේ සම්බන්ධයෙන් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත විමර්ශනයක්ද අරඹා තිබුණත් එතැනින් එහාට පියවරක් නොගැනිණි.
එවකට යහපාලන රජයේ මුදල් ඇමැති, රවී කරුණානායක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විමසූ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් කියා සිටියේ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් එතනෝල් ජාවාරමට සම්බන්ධවී ඇති බවය. එතනෝල් මෙරටට ගෙන්වීමේ දී මන්ත්‍රීවරුන් සිවු දෙනකු එයට සම්බන්ධවී සිටි යැයි ද මුදල් ඇමැතිවරයා එකල සඳහන් කළේය.
එතනෝල් ස්ප්‍රිතුව යොදා මත්පැන් නිපදවන මන්ත්‍රීවරුන් හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටින බවද රවී කරුණානායක ඇමැතිවරයා එදා පැවසුවේය. විවිධ ජාවාරම්වලට ගෑවී සිටි මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන්නට පටන් ගත්තේ 2015-2022 කාලවකවානුව ඇතුළතය. මත්පැන් කර්මාන්තයේ නියුතු දේශපාලකයන්ට ‘‘එතනෝල් මන්ත්‍රී’’ නමැති අගරු නාමය ජනතාවගෙන් ලැබුණේ එකලය.
රනිල් වික්‍රමසිංහ රජය යටතේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ද පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ද මත්පැන් අලෙවි බලපත්‍ර පන්සීයකට වැඩි ප්‍රමාණයක් ලබාදී ඇති බවට චෝදනා එල්ල විය. සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ, මත්පැන් අලෙවිසල් වැඩි කිරීම පිළිබඳ ගැසට් නිවේදනය වසර 15කින් නිකුත්වී නොමැති බවය. මත්පැන් අලෙවිසල් ප්‍රමාණය 470 කින් වැඩි කිරීමටද සුරා බදු දෙපාර්තමේන්තුව ඉකුත් කාලයේ තීරණය කර තිබිණි. ඒ අනුව, මෙරට දැනට ඇති මත්පැන් අලෙවිසල් ප්‍රමාණය 1578 ක් ලෙස සැලකේ. එයින් සැලකියයුතු ප්‍රමාණයක හිමිකාරීත්වය ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වුවත් කිසිදු මන්ත්‍රීවරයකුගේ නමට සුරාසැලක හිමිකාරිත්වය ලියාපදිංචිවී නැත. මන්ත්‍රීවරුන් කරන්නේ බලපත්‍රය ලබාගෙන එය විශාල මුදලකට ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමය. පසුගිය කාලයේ මත්පැන් හලක බලපත්‍රය රුපියල් ලක්ෂ 400 දක්වා ඉහළ නැග තිබූ බව දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්විය.
මෙරට මත්පැන් ශාලා අති බහුතරයක අයිතිය ඇත්තේ දේශපාලකයන් සතුවය. පසුගිය දශක හතරකට නොවැඩි කාලයේ මත්පැන් ශාලා පවත්වාගෙන යාමේ බලපත්‍ර හිමිකරුවන් වූයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ය.1977 හයෙන් පහක ජනවරමකින් බලයට පත්වූ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාට, විශාල පිරිසක් වූ තම මන්ත්‍රීවරුන්ට ඇමැතිධුර ලබාදී ඔවුන්ගේ සිත සතුටු කිරීමෙන් පමණක් ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකිවූයේ නැත. ජනාධිපතිවරයා යොමු වූයේ ඇමැතිධුර නොලැබූ මන්ත්‍රීවරුන්ට ආර්ථික ශක්තියක් ලබාදී ඔවුන්ගේ සිත් සතුටු කිරීමේ ප්‍රතිපත්තියක් කෙරෙහිය. ඒ නිසා ඒ වෙනවිට විශාල ආදායමක් ලැබුණු මත්පැන් ශාලා බලපත්‍ර මෙන්ම ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමේ බලපත්‍රද සිමෙන්ති බෙදා හැරීමේ බලපත්‍රද පෞද්ගලික බස්රථ ධාවනය කිරීමේ මාර්ග බලපත්‍රද මන්ත්‍රීවරුන්ට ලබා දුන්නේය. සංචාරක කර්මාන්තය වේගයෙන් වර්ධනය වෙද්දී එතෙක් පැවති මත්පැන් ශාලා ප්‍රමාණය මදිවිය. ඒ වෙනුවෙන් අලුත් බලපත්‍රද ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. අලුතෙන් ලබා දෙන මත්පැන් ශාලා බලපත්‍ර ලැබුණේ අදාළ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටය. ඔහු එම බලපත්‍රය යටතේ එක්කෝ තම ඥාතියකු මගින් මත්පැන් ශාලාව පවත්වාගෙන ගියේය. නැතිනම් ධනවත් ව්‍යාපාරිකයකුට බලපත්‍රය විකුණා විශාල මුදලක් උපයාගත්තේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මත්පැන් ශාලා බලපත්‍ර හිමියන් බවට පත්වූයේ එපරිදිය.
ජේ.ආර්. ජයවර්ධන ජනාධි-පතිවරයාගෙන් පසු බලයේ සිටි සෑම ජනාධිපතිවරයෙක්ම තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ විපක්ෂයෙන් තමාගේ සහයෝගයට පැමිණෙන මන්ත්‍රීවරුන්ට මත්පැන් ශාලා බලපත්‍ර ලබා දුන්හ.
ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන් මෙසේ මත්පැන් ශාලා බලපත්‍ර ලබාදී ඇත. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාලනයේ අවසාන සමයේ විපක්ෂය වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ගණනාවකටම මත්පැන් ශාලා බලපත්‍ර ලබාදුන් බව සාධක සහිතවම හෙළිදරව් කෙරිණි. එහෙත් මේ ජනාධිපතිවරුන් සියලු දෙනාටත් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් සියලු දෙනාටත් මෙරට දේශපාලන ක්‍රමය බිහිවූයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් රට පුරා ආරම්භ කර තිබූ මත්පැන් ශාලාවලට එරෙහිව පැන නැගුණු අමද්‍යප සටනේ ප්‍රතිඵලයක් ලෙස බව නොදන්නවාට සැකයක් නැත. නිදහස් ලංකාවේ පළමු අගමැති ඩී.එස්.සේනානායක ඇතුළු මුල්කාලීන දේශපාලනඥයන් අමද්‍යප සටනින් ඉදිරියට ආ, දෑ හිතකාමීන් බව වත්මන් දේශපාලකයන් නොදන්නවාට සැකයක් නැති බව යළිත් කියමු.
පැරැණි ලංකාවේ සුරාව තහනම්ව තිබුණේ නැත. එකල ලාංකිකයන් පොල්, තල් හා කිතුල් ශාකවලින් පෙරාගත් රා පානය කළේ මත්වීමට මෙන්ම ඖෂධයක් ලෙසද සලකමිනි. එහෙත් ඉංග්‍රීසීන් මෙරට පාලනය කොල්ලකාගත් පසු විදේශීය මත්පැන් ශාලා රට පුරාම බිහි කළේ එය සටන් ආයුධයක් ලෙස සලකමිනි. ඉංග්‍රීසීන් හඳුන්වා දුන් විස්කි ඇතුළු රටබීම දේශීය රා මෙන් නොව ඉතා ඉක්මනින් මත්වීමටත් ශරීරය අකර්මන්‍ය වීමටත් සමත්ය.
මත් වූ සිංහලයන් හේතුවෙන් ඉංග්‍රීසීන්ට රට පාලනය පහසු විය. ගමින් ගම බිහි වූ මත්පැන් හල් නිසා සිංහලයාගේ සටන්කාමීත්වය දියාරු වී ගියේය. දහඅට වැනි සියවසේ අගභාගයේදී මෙරට බෞද්ධ පුනර්ජීවනයක් ඇතිවිය. ඒ යටතේ මත්පැනට විරුද්ධව ප්‍රබල ව්‍යාපාරයක් ඇරැඹිණි. විදේශිකයකු වූ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාද, අනගාරික ධර්මපාලතුමාද, මත්පැන් ආදීනව කියාදෙමින් සිංහල බෞද්ධයන් පිබිදවීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබිණි. 1003දී මෙරට ප්‍රථම අමද්‍යප රැස්වීම පවත්වා තිබේ. ඒ වෙනවිටත් මෙරට දේශපාලන පක්ෂ හෝ දේශපාලන ව්‍යාපාරයක් හෝ බිහිවී නොතිබිණි.1904 ජුලි 12 වැනිදා කොළඹ අමද්‍යප සංවිධානයක් පිහිටුවාගෙන ඇත. එයට සහභාගි වූ පිරිස 3000 ක් පමණ වූ බව වාර්තාවල සඳහන් වේ.
මේ සඳහා මුල්වූයේ බෞද්ධ නායකයන්ය. එම වසරේම නොවැම්බර් මාසය වෙද්දී රටපුරා අමද්‍යප සමිති 500ක් පිහිටුවා තිබිණි. එහි සාමාජිකයන් ගණන එක් ලක්ෂ අනූ දහසක් විය.
අමද්‍යප සටනේ තවත් ඉදිරි පියවරක් වූයේ 1912 දී ආණ්ඩුව ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේදී රා පනත සම්මත කර ගැනීම නිසා එයට එරෙහි වීමය. අනගාරික ධර්මපාලතුමා ‘සිංහල බෞද්ධයා’ පත්‍රයෙන් එයට එරෙහිව විරෝධතාවක් දියත් කළේය. මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ දී රා පනතට විරුද්ධව 1912 මැයි මස 8 වැනිදා මහා සභා රැස්වීමක් ද පැවැත්විණි. එම සභාවේ දී රට පුරාම අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කිරීමට තීන්දු විය. මැයි 25 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයේ දී තවත් රැස්වීමක් පැවැත්විණි. එහි දී මත්පැන්හල්වලට විරුද්ධව ලාංකික ජනමතයක් එංගලන්ත රජයට දැනුම් දීමට ද තීරණය විය. ශ්‍රීමත් බාරොන් ජයතිලක, ජෝන් ෆර්ගසන් යන මහත්වරුන් ඇතුළු නියෝජිතයන් සිවුදෙනකු එම තීන්දුව යටතේ එංගලන්තයට ගොස් එංගලන්ත රජයට ද කරුණු පැහැදිලි කළේ ලංකාවේ දුප්පත් ජනතාවට මත්පැනෙන් ඇතිවෙන විනාශය ගැනය. 1913 වෙනවිට කොළඹ අමද්‍යප සමිතිය සාමාජිකයන් විශාල පිරිසකගෙන් යුතු විය. ඩබ්ලිව්.ඒ. ද සිල්වා, ශ්‍රීමත් බාරොන් ජයතිලක, එඩ්මන් හේවාවිතාරණ, එෆ්.ආර්.සේනානායක, ඩී.ඒ. හේවාවිතාරණ, ඩී.එස්.සේනානායක වැනි බෞද්ධ නායකයන් නැගී ආවේ එම කාලය අතරතුරය. ඩී.එස්.සේනානායක, එෆ්. ආර්. සේනානායක සොහොයුරන්ගේ මැදිහත්වීමෙන් මීරිගම දී 1913 වසරේ අගෝස්තු 13 වැනිදා පැවැත් වූ අමද්‍යප රැස්වීමට විසිදහසකට අධික ජනතාවක් රැස්ව සිටි බව වාර්තා ගතව තිබේ.
අනගාරික ධර්මපාලතුමා ද රට පුරාම ගෙන ගියේ මත්පැන් විරෝධී සටනකි. සිංහල බෞද්ධයා උදාසීනව සිටින්නේ මත්පැනේ බලය නිසා බව කී ධර්මපාලතුමා, තමා රට පුරා ගමන් කළ ‘‘සෝබන මාලිගාව’’ නමැති රථයේ ‘‘සුරාපානය කරන්නා වසලයෙකි’’යි ලොකු අකුරින් ලියා තිබුණේය. 1913 වෙද්දී සේනානායක සහෝදරයන් කළ දැඩි බලපෑම නිසා හාපිටිගම් කෝරලයේ සියලු තැබෑරුම් වැසී ගොස් තිබිණි.
අමද්‍යප රැස්වීම්වලට එක්වෙන පිරිස් ගැන යටත් විජිත ආණ්ඩුවේ ද අවධානය යොමුවී තිබිණි. එකල යටත් විජිත පොලිස්පතිවරයා වූයේ ඩව්බිහින් නමැත්තෙකි. ඔහු කිසිදු බුරුලක් නැති, සැර පරුෂ සුදු ජාතිකයකු ලෙස ප්‍රකට වී සිටියේය. ඔහුගේ වාර්තාවක මෙවැනි ඡේදයක් ඇතුළත්ය. ‘‘මේ අමද්‍යප රැස්වීම්වල දී සාමාන්‍ය වශයෙන් ජාතිකවාදය සහ දේශපාලනය ප්‍රධාන තැනක් ගන්නා බව පෙනෙන්නට තිබේ. ඇත්ත වශයෙන්ම මේවා අමද්‍යප ව්‍යාපාරයේ මුවාවෙන් පවත්වන ලද දේශපාලන රැස්වීම්ය’’. යටත්විජිත පොලිස්පති එසේ සඳහන් කර ඇත.
1915 දී ඇති වූ සිංහල - මුස්ලිම් කෝලහාලයේ දී ඉංග්‍රීසින් කළේ අමද්‍යප නායකයන් සියලු දෙනාම අල්ලා සිරගත කිරීමය. ඩී.එස්. සේනානායක, එෆ්.ආර්.සේනානායක සොහොයුරන්ද, බාරොන් ජයතිලක, ඩී.ඒ.හේවාවිතාරණ ඇතුළු සියලු බෞද්ධ නායකයන් කූඩුවට ගාල් කරන ලද්දේ ඔවුන් කෝලාහලයට සම්බන්ධ බව බොරුවට රටට පෙන්වමිනි. සැබෑ හේතුව වූයේ අමද්‍යප සටන යටතේ යටත්විජිත ආණ්ඩුවට එරෙහි ජන බලයක් මතුවෙන බවට ඉංග්‍රීසීන්ගේ පැවැති සැකයය. මෙම සිරගත කිරීමේ ප්‍රතිඵලය වූයේ, බෞද්ධ නායකයන් තව තවත් මතට මෙන්ම ඉංග්‍රීසි පාලනයට ද එරෙහි වීමේ අදහසක් ඇතිකර ගැනීමය. පසුව මෙරට මුල්ම අගමැති වූ ඩී.එස්.සේනානායක මහතා පූර්ණකාලීනව සමාජ සේවයට යොමුවූයේ ඉන් ඉක්බිතිවය. එකලද දේශපාලනයක් නොවූ අතර සියලු දෙනාම පෙනී සිටියේ සමාජ සේවය කෙරෙහිය.
1915 සිංහල – මුස්ලිම් කෝලාහාලවලින් පසුවද අමද්‍යප කටයුතු පිළිබඳ උද්‍යෝගය දිගටම පැවතිණි. අමද්‍යප සමිතිවලට මුල්වූ බොදු නායකයන් සිරගත කළද, තමන් වටා විශාල ජන පිරිසක් ඒකරාශි වී සිටින බව ඔවුන්ට තේරුම්ගත හැකි විය. මෙම බොදු නායකයෝ උතුරේ දී දමිළ නායකයන්ගේ සහයෝගය ද ලබා ගත්හ. ඔවුන් කිසිවෙකුත් මත්පැන් බීවේ නැත. අමද්‍යප සමිති ටිකෙන් ටික මහජන සභා බවට පරිවර්තනය කෙරිණි.
මහජන සභා ව්‍යාපාරයේ නායකයා ලෙස ඉස්මතු වූයේ එෆ්.ආර්. සේනානායක ය. ඔහුගේ ධනය මෙම සභා දිගටම පවත්වාගෙන යාම සඳහා වැය කෙරිණි. ඩී.එස්. සේනානායක හා බාරොන් ජයතිලක දෙදෙනද දිගටම මෙම මහජන සභාවල ක්‍රියාකාරීව සිටියහ. ඉන්පසුව උදා වූයේ මෙරටට ස්වරාජ්‍ය ලබාගැනීම සඳහා ලංකා ජාතික සංගමය පිහිටුවීමය. ඒ සඳහා අමද්‍යප ව්‍යාපාරයෙන් ඉදිරියට ආ නායකයන්ගේ එකමුතුවක් ඇතිවිය. මෙම එකමුතුවේ දී මහජන සභා ගොනු වී තිබුණේ සිංහල බෞද්ධ නායකයන් වටාය. පසුව 1930 හා 1940 දශකවල බණ්ඩාරනායක වටා ක්‍රියාත්මක වු සිංහල මහ සභාවත් එහි අග්‍රඵලය වූ 1956 පංච මහා බලවේගයත් මහජන සභාවල අවසාන ප්‍රතිඵලය විය. ඩී.එස්.සේනානායක 1924 දී මන්ත්‍රණ සභාවට තේරී පත්වී 1948 දී මෙරට පළමු අගමැතිවරයා ලෙස පත්වීම දක්වා දේශපාලන ගමන් මග වැටී තිබුණේ අමද්‍යප සටනේ පන්නරයත් සමගය.
එකල කොළඹ නගර සභාව හැඳින්වූයේ පළාත් ආණ්ඩු සභාව හැටියටය. පළාත් ආණ්ඩුවට සභිකයන් තෝරාගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්විණි. 1926 දී පළාත් ආණ්ඩු ඡන්ද විමසීමට සුදුසුකම් ලැබූ ඡන්දදායකයන් සංඛ්‍යාව දහසය දාහක් විය. 1924 දී පැවැති එම මැතිවරණයේ එක් යෝජනාවක් වූයේ. මරදානේ පැවැති රා සහ මත්පැන් ‘‘මඩම්’’ විශාල ප්‍රමාණයක් වසා දැමීමය. එයට පක්ෂව හා විපක්ෂව ජනතාව ඡන්දය ප්‍රකාශ කළහ. 1926 වසරේ ‘සිංහල බෞද්ධය’ පත්‍රය පළ කළ චාර්තාවක මෙම මත්පැන් ශාලා වැසූ හැටිත් ඒ සඳහා ඡන්ද දායකයන්ගෙන් සියයට හැට පහක වැඩි ඡන්දයක් ලැබී ඇති බවත් සඳහන් වේ.
1931 දී මෙරට අවුරුදු 21ට වැඩි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ඡන්ද බලය ලැබීමත් සමග පැවැති මැතිවරණයට ඉදිරිපත් වූ බොහෝ දෙනා අමද්‍යප ව්‍යාපාරයේ කැපී පෙනෙන නායකයන්ව සිටි අයය. ජනතාවගේ ආකර්ෂණය ලැබුණේ ඔවුන්ටය. එකල මන්ත්‍රීවරයා ජනතා සේවකයකු විය. ජනතා ද්‍රෝහියකු වූයේ නැත. මන්ත්‍රීවරයා යන වචනය පවා මේ වෙනවිට බොහෝ ජනතාවට අප්‍රසන්න වචනයක් වී ඇති බව බොරුවක් නොවේ. බාර් හිමියන්, එතනෝල් ජාවාරම්කාරයන් පාර්ලිමේන්තු නොයැවීමෙන් හා සියලුම ආකාරයේ දුෂ්චරිතවත් තැනැත්තන්ට පාර්ලිමේන්තු දොර වැසීමෙන් යළිත් ‘‘මන්ත්‍රීවරයා’’ යන වචනය පිරිසුදු කරගත හැකිය. මෙවරත් ජනතාව එම වගකීම ඉටුකරනු ඇතිදැයි අපට පැහැදිලි නැත.
ප්‍රේමකීර්ති රණතුංග