(අංජුල මහික වීරරත්න, අනුරාධපුර රෝහණ චන්ද්‍රදාස සහ අතුල බණ්ඩාර)
බුදු දහමට ප්‍රමුඛස්ථානය දී ආරක්ෂා කරන බවට වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද සඳහන් වන නමුත් මීට වසර පහ හයකට පෙර එම ආරක්ෂාව බුදු දහමට ලැබුණේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී සෙනසුරාදා (8) පැවැසීය.
ලෝකයේ සෙසු ආගමිකයන් තම ආගමික කේන්ද්‍රස්ථාන දිවි හිමියෙන් ආරක්ෂා කරද්දී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන මහා විහාරය ආරක්ෂා කිරීමටවත් කටයුතු නොකිරීම කනගාටුවට කරුණක් බවද රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ රුවන්වැලි මහා සෑ වැලි මළුවේ ප්‍රතිසංස්කරණ නිමවා පූජා කිරීම නිමිත්තෙන් පැවැති පුණ්‍යොත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රුවන්වැලිසෑ වැලි මළුවේ රන් තෙළඹු ගසක්ද රෝපණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා, රුවන්වැලිසෑයේ ප්‍රතිසංස්කරණය කරන ලද වැලිමලුව යළිත් සැදැහැවතුන් වෙනුවෙන් ලබාදුන්නා. මේ වැලිමලුව මට විවෘත කරන්න බැහැ. ඒ දුටුගැමුණු රජතුමා මුලින් විවෘත කර ඇති නිසා.
මේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජය මැදිහත් වුණා. ඊට පෙර 19 වැනි ශත වර්ෂයේ බෞද්ධයන්ගේ පෞද්ගලික මුදලින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවුණා. මුදල් ඉපැයූ හැම කෙනෙක්ම මේ පින්කම් සඳහා කොටසක් ලබාදුන්නා. අපේ මිත්තනියත් ඊට ආධාර කළා. මේ කටයුතු බාරගත්තේ ඩී.එස්. සේනානායක, ඩී.බී. ජයතිලක මැතිතුමන්ලාගේ කාලයේදීයි.
එදා පළාත් පාලන ඇමැතිවරයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඒ කටයුතු බාරගත්තා. ඉන්පසුව ජේ.ආර්. ජයවර්ධන මහතා ඒ කටයුතු කළා. අප ඉදිරියට ගෙනයන්නේ ඒ සිරිතයි.
රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු දැන් අප අවසන් කරමින් සිටිනවා. දුටුගැමුණු රජතුමා මෙහි එනවිට මහා විහාරය තිබුණා. තමන්ට එදා සහයෝගය දුන් මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා උදෙසා දුටුගැමුණු රජතුමා මහා සෑය ඉදිකළා. ථෙරවාද බුදු දහමේ කේන්ද්‍රස්ථානය වූයේ මහා විහාරයයි. මහා විහාරයේ ත්‍රිපිටකයට විවිධ රටවලින් ඉල්ලීම් ලැබුණා. අග්නිදිග ආසියාව, බුරුමය ආදී රටවලින් ඉල්ලීම් ලැබුණා. අග්නිදිග ආසියාවේ පැරණිම භික්ෂුන් වහන්සේලා අරගෙන දිඹුලාගල සිට තායිලන්තය, ලාඕසය, කාම්බෝජය, වියට්නාමයට ගියේ මහා විහාර සිරිතේ භික්ෂුන් වහන්සේලා බව කිව යුතුයි.
ලෝකයේ යුදෙව්වන්ට වඩා ථෙරවාද බෞද්ධයන් ඉන්නවා. යුදෙව්වන් තමන්ගේ විලාප තාප්පය යළි ප්‍රතිසංස්කරණය කොට ආරක්ෂා කරනවා. සික් ජාතිකයන් බෞද්ධයන්ට වඩා අඩුයි. ඔවුන් රත්තරන් දේවස්ථානය ආරක්ෂා කරගන්නවා. මුස්ලිම් ජනතාව මහමද්තුමන්ගේ සොහොන ආරක්ෂා කරනවා. එහෙත් බෞද්ධයන් හැටියට අපේ කේන්ද්‍රස්ථානයට කරලා තියෙන්නේ කුමක්ද? අපි මුකුත් කරලා නැහැ. බුදු දහම ගැන හැම කෙනෙක්ම කතා කරනවා. නමුත් බෞද්ධ කේන්ද්‍රස්ථානය ආරක්ෂා කරලා නැහැ. මහා විහාරය ප්‍රතිසංස්කරණය කළ යුතු බව 2003 වසරේදී අප කිව්වේ ඒ නිසයි. අප නව සංඝාවාසයක් ලබාදෙන්නම් යැයි කිව්වේ ඒ නිසයි.
මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා තිබුණත් ප්‍රගතිය ප්‍රමාණවත් නැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, විශ්වවිද්‍යාල පුරාවිද්‍යා ප්‍රධානීන්, මහාචාර්ය කනින්හැම් ඇතුළු ප්‍රවීණයන්ගෙන් යුතු කමිටුවක් පත් කර දිගුකාලීන සැලැස්මක් දෙන ලෙස අධ්‍යාපන ඇමතිතුමාගෙන් මම ඉල්ලා සිටියා. හැම වසරකම යම් මුදලක් වෙන්කර මෙම කැණීම් කටයුතු සිදුකළ යුතුයි. ඉතා ඉක්මනින් අදාළ සැලසුම මට ලබාදෙන්න. අප එතැන් සිට වැඩකටයුතු කරන්නම්. එමෙන්ම ලෝකය සමග එක්ව ථෙරවාදී බෞද්ධ ත්‍රිකෝණයක් නම් කරන ලෙස මා අධ්‍යාපන ඇමැතිතුමාට දැනුම් දුන්නා. ඒ සඳහා විදේශ ඇමැති තුමාගේද සහය ලබාගත හැකියි.
මියන්මාරය, තායිලන්තය සහ අපගේ අනුරාධපුරය එක්කරමින් එම ථෙරවාදී ත්‍රිකෝණය හදන්නැයි මා උපදෙස් දුන්නා.
දැන් මේ වැඩකටයුතු සඳහා අමාත්‍යවරුන් කැපවිය යුතුයි. තානාපතිවරුන්ට කතා කොට එම රටවල්වලට ගොස් කටයුතු කළ හැකියි. අවශ්‍ය නම් මට තායිලන්ත අගමැතිතුමාටත් අවුන්සාන් සුකී මියන්මාර් අගමැති තුමියටත් ලිපි ලබාදිය හැකියි. එසේ නම් අපි එම වැඩකටයුතු කරනවා. එම බෞද්ධ ස්ථාන සම්බන්ධ කරගෙන අප වැඩකටයුතු කළ යුතුයි.
මහා විහාරයට විශාලතම හානිය වුණේ සොලීන්ගෙන් නොවේ. විශාලතම හානිය වුණේ වෛතුල්‍යවාදීන්ගෙන් බව කිව යුතුයි. පළමුවෙන්ම අභයගිරියෙන්. ඉන්පසුව ජේතවනාරාමයෙන් fවෛතුල්‍යවාදීන් කටයුතු සිදුකළා. ජේතවනාරාමයෙන් කොපමණ හිරිහැර කළාද කිව්වොත් මහා විහාරය කඩා දැමුවා. ස්වාමීන් වහන්සේලා ඝාතනය කළා. අවසානයේ ජනතාවට මෙය එපා වුණා. මහසෙන් කියන්නේ ශ්‍රේෂ්ඨ රජකෙනකු වුණත් ඔහුට විරුද්ධව ජනතාව කැරලි ගැහුවා.
එසේ කැරළි ගසා ජනතාව එක්ව සෝණ ඇමැතිවරයා මරා දැමුවා. රජතුමා පැනලා ගියා. හමුදාපති රජුට විරුද්ධ වුණා. අවසානයේ රජුම පැමිණ මහා විහාරයේ සංඝයා වහන්සේලාගෙන් සමාව ඉල්ලා නැවත රට පාලනය කරනවිට ඒ ශ්‍රේෂ්ඨ රජුගේ බලයත් ක්‍රමයෙන් අඩුවී ගියා.
අනුරාධපුර අවසානයේ දිඹුලාගලටත් පසුව තෙත් කලාපයටත් පැමිණ අන්තිමට මහනුවරටත් පැමිණියා. ඒ වනවිට උපසම්පදා භික්ෂුන් නොමැතිවීම නිසා තායිලන්තයට යන්නට සිදුවුණා. තායිලන්තයට ගියවිට උපාලි ස්වාමීන් වහන්සේ ඇතුළු කණ්ඩායමක් උපසම්පදා ලබාදීමෙන් වැලිවිට සරණංකර සංඝරාජ වහන්සේ නැවත ශාසනය ආරම්භ කළා. ඒ අනුව මල්වත්ත අස්ගිරිය යනුවෙන් පාර්ශ්ව දෙකක් ආරම්භ කළා. අස්ගිරිය වනවාසී පාර්ශ්වයක් වශයෙන් පැවතුණා. උන්වහන්සේලාට වනාන්තරගතව භාවනා කිරීමට අවශ්‍ය වුණා. බෞද්ධ ප්‍රබෝධය ඇරඹුණේ එලෙසයි. ඊට පසුව අමරපුර සහ රාමඤ්ඤ නිකායන් පිහිටවනු ලැබුවා. ඉන්පසුව අපගේ දානපතියන් සැදැහැවතුන් එක්ව බුදු සමයේ විශාල දියුණුවක් ඇතිකළා. එයට බි්‍රතාන්‍යයේ සහයෝගයත් ලැබුණා.
මේ නිකාය තුන රැකගෙන එම පාර්ශ්ව රැකගෙන ඉදිරියට ගමන් කළා. ඒ සමගම ලංකාවට නිදහස ලැබුණා.
නිදහස ලැබීමෙන් පසුව 1972 ව්‍යස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන බවට සඳහන් කළා. ඒ වගන්තිය 1978 ව්‍යවස්ථාවේත් සඳහන් වෙනවා.
බුදු දහමට ප්‍රමුඛස්ථානය දුන්නාට බෞද්ධයින් රට පාලනය කළාට එම ආරක්ෂාව වසර පහ හයකට පෙර ලැබුණේ නැහැ.
තම විරුද්ධවාදියකුට දළදා මාලිගාවේ පූජාවක් කරන්නට ඉඩදුන් නිසා මල්වත්ත පාර්ශ්වය කඩා අලුත් පාර්ශ්වයක් හදන බවට මල්වතු මහානාහිමියන්ට තර්ජනය කළා. එදා සවස මල්වතු විහාරයේ පැවැති සාකච්ඡාව ගැන මා කිවයුතු නැහැ. මල්වතු පාර්ශ්වය කඩන බව කිව්වා. අලුත් නිකායක් හදන බව කිව්වා. මහසෙන් රජ්ජුරුවො වගේ කටයුතු කළා. ඒ විතරක් නොවේ. මේ පූජා භූමියේ දැන් තිබෙන්නේ අටමස්ථානයයි. අපට ඇති ප්‍රධාන එකම සෑය වන්නේ රුවන්වැලි මහා සෑයයි.
ජේතවනාරාමය සහ අභයගිරිය මේ තත්ත්වයට ගේන්න එපා. පුරා විද්‍යාත්මක වටිනාකම අනුව එම සිද්ධස්ථානත් සංරක්ෂණය කරමු යැයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පැවැසුවා. විශාල සෑය තුනක් ඒ අනුව තියෙනවා. වන්දනාමාන කරන්නේ මෙම මහා සෑයටයි.
අටමස්ථානාධිපති හිමියන්ටත් නොකියා කළේ කුමක්ද? රුවන්වැලි සෑයටත් වඩා උස තවත් මහා සෑයක් ඉදිකරන්න හැදුවා. රුවන්වැලිසෑයට වඩා උස සෑයක් හදන්න ලංකාවේ කොහේවත් බැහැ. ඒ සෑය හදලා ඊළඟට කරන්න හිටියේ කුමක්ද? මල්වත්ත නිකාය කඩා හදන්නට සිටි පාර්ශ්වය එතැනට ගෙන ඒමයි.
මේ අලුත් සෑයත් අභයගිරිය, ජේතවනාරාමය වගේ සංරක්ෂණය කරාවි. ලංකාවේ උසම ස්ථූපය මේක තමයි කියමින් බොහෝ අය සාදු කියමින් ඒ ස්ථූපයට වන්දනා කරාවි. මේ වගේ දේවල් ඉතිහාසයේ කරන්න බැහැ. අන්තිමට වුණේ මොකක්ද? මහසෙන් රජතුමාට වුණා වගේ සිද්ධියක් වුණා. අන්තිමට බලය නැතිව ගියා. මහසෙන් රජතුමා අඩුගානේ කරදර දැකලා එතැනින් ප්‍රශ්නය අවසන් කරගත්තා. සංඝයාවහන්සේලා මුණ ගැසුණා.
දැන් ඒ වැඩ කටයුත්ත නතර කර තිබෙනවා. දැන් මහසෙන් රජු කළ දේ කළ යුතුයි. එසේ නම් අපේ මල්වත්තේ මහා නාහිමියන් මුණගැසී බැගෑපත්ව බිම වැතිරිලා ඊට පසුව ඉරටු තියන ඉදලක් ගෙන මාසයක් උදේ සවස මල්වතු විහාර භුමිය ශුද්ධ කළ යුතුයි. ඒක පුණ්‍ය ක්‍රියාවක්. ඊට පසුව අටමස්ථානයේ නාහිමිට ඒ ආකාරයටම වැඳලා මාසයක් උදේ සවස ශ්‍රී මහා බෝධිය වටා ශුද්ධ පවිත්‍ර කළ යුතුයි. ඊට පසුව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමියන්ට වැඳ මාසයක් උදේ සවස රුවන්වැලිසෑය ශුද්ධ පවිත්‍ර කළ යුතුයි. එතකොට නම් සමාව දෙන්න පුළුවන්.
අලුත් සෑයත් අටමස්ථානයට බාරදෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවීමෙන් පසු අපි පැමිණ සංඝයා වහන්සේට දැනුම් දුන්නා.
මෙහෙම තර්ජනය කරන්න බැහැ. ඒ ආකාරයට වැඩ කටයුතු කරන්න බැහැ. අප නව ව්‍යවස්ථාවක් හදනවා. තවම සකස් කරන්නේ අතුරු වාර්තාවක් පමණයි. ප්‍රධාන මූලධර්මවලට අමතරව සමහර ස්ථානවලට විකල්ප දෑ යෝජනා ඉදිරිපත් කරනවා. ජනතා අදහස් ලබාගත් පසුව ව්‍යවස්ථාදායක සභාවේදී එම අදහස් සාකච්ඡා කළ හැකියි. ඉන්පසුව අපි ප්‍රධාන වාර්තාවක් හදා ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරනවා.
මේ සාකච්ඡාවේදී මමත් අලුත් යෝජනාවක් ඉදිරිපත් කරනවා. ආණ්ඩුවකට ආගමික සංවිධානයකට ඇඟිලි ගහන්න බැහැ යන යෝජනාවයි. ඒ අනුව නිකාය සහ පාර්ශ්වවල සංයුතිය වෙනස් කරන්නට හැකියාවක් නැහැ.
මෙම සම්ප්‍රදායන් පිළිනොගන්නා ආණ්ඩුවක් එනවා නම් හැමදාම බුදු දහම අනතුරේ. එමනිසා මේ ගැන සංඝයා වහන්සේලා සමග කතා කළා. ව්‍යවස්ථාදායක සභාවට අතුරු වාර්තාව පැමිණි පසු මා මෙම යෝජනාව ඉදිරිපත් කරනවා. ඒ සඳහා ඔබවහන්සේලාගේ සහයෝගයත් අවශ්‍යයි.
බුදු දහමට තිබෙන අනතුරුවලින් ආරක්ෂා කරගත යුත්තේ ඒ ආකාරයටයි. එමෙන්ම මේ ස්ථාන දියුණු කරන්නට අපට අමාත්‍යාංශ ගණනාවකින් උදව් කරනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශය ඒ කටයුතු කරනවා. එමෙන්ම සංස්කෘතික අමාත්‍යාංශය ඒ කටයුතු කරනවා. ජනපති මා ඇතුළු හැම කෙනෙක්ම අවශ්‍ය උපකාර කරනවා. බෞද්ධ පිරිවෙන් අධ්‍යාපනය දියුණු කිරීමටත් අප කටයුතු කරනවා. මහා විහාරය කේන්ද්‍රස්ථානය කරන වැඩසටහන් අපි ආරම්භ කරමු.
නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක රුවන්වැලි චෛත්‍යාරාම විහාරාධිකාරි පල්ලේගම හේමරතන නාහිමියෝ මෙසේ පැවැසූහ:- මහා විහාර භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදය අගමැතිතුමන්ට පිරිනමනවා. අගමැතිතුමන් අඛණ්ඩව 40 වසරක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා. ශ්‍රී මහා බෝධියේ ආශිර්වාදයත්, රුවන්වැලිසෑයේ බලයෙන් ඔබතුමන්ට නිදුක් නිරෝගී බව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
රුවන්වැලි මහා සෑය යනු සර්වඥ ධාතු ද්‍රෝණයක් පමණ නිදන්ගත වූ මහා සෑයක්. මේ වැලි මලුවේ වැඩ ඇරඹීමට මගේ ගුරුදේවයන් වහන්සේලා උත්සාහ කළා. නමුත් එය සාර්ථක වුණේ නැහැ.
මධ්‍යම සංස්කෘතික අරමුදල මේ සත්කාරය සිදුකළත් මෙහි මූලික අත්තිවාරම දැමුවේ අගමැතිතුමායි. මහා විහාරය පිළිබඳව එතුමාට දැක්මක් තියෙනවා. ඒ දැක්ම තුළ අපට බොහෝ දේ කිරීමට හැකියාව තිබෙනවා.
අගමැතිතුමාට නැවත මහා විහාර ව්‍යාපෘතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය වුණා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු ඇරැඹුණේ ඒ අනුවයි. තිස්දාහක් පමණ දෙනා මීට ශ්‍රම දායකත්වය ලබාදී තියෙනවා. තාමත් අපේ මිනිස්සු මේ සිද්ධස්ථානවලට ආදරය කරනවා. ඒ පුරාවිද්‍යාව නිසා නොවේ.
අද අගමැතිතුමන් රෝපනය කළ මෙම රන් තෙළඹු ගස ගෙනාවේ සිංහරාජ වනාන්තරයේ සිටයි. ඒ ගස මේ මලුවේ සිටුවීම ඓතිහාසික සිද්ධියක් බව කිව යුතුයි. තව වසර පහක් ඇතුළත මේ භූමියේ පුරාවිද්‍යා හා ආගමික කටයුතු අවසන් කරන බව මා ප්‍රතිඥා දෙනවා.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා:- රුවන්වැලි මහා සෑයේ මළුවට වැලි අතුරා පූජා කිරීමට ලැබීම අපේ භාග්‍යයකි. අගමැතිතුමන් නිරන්තරවම වෙහෙර විහාර සංරක්ෂණය ගැන උපදෙස් දෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල අරඹන විට අගමැතිතුමන්ගේ පියා යුනෙස්කෝ සංවිධානයේ මෙරට නියෝජිත ලෙස කටයුතු කළා. එතුමාගේ මැදිහත්වීම මත මේ සිද්ධස්ථාන සංරක්ෂණයට විදේශ මුදල් ලබාගත්තා.
මධ්‍යම සංස්කෘතික අරමුදලට මුදල් ලැබෙන්නේ විදේශ සංචාරකයන්ට ටිකට් විකුණා ලැබෙන මුදලින්. සීගිරියේ අන්තර්ජාලය හරහා ටිකට් මිලදී ගැනීමේ ක්‍රමයක් ඇති කළා. ඉදිරියේදී පොළොන්නරුව ඇතුළු සිද්ධස්ථානවලටත් ඒ ක්‍රමය අනුගමනය කරනවා.
පුරාණ රජමහා විහාර 150ක් සඳහා මිලියන 400ක් පමණ ලබාදීමට අප කටයුතු කරනවා. ඒ කටයුතු විධිමත් අයුරින් සිදු කිරීම අපේ අරමුණයි. දුප්පත් පන්සල් ගොඩනැගීම සඳහා මිලියන 100ක් වෙන්කර තිබෙනවා.
කූරගල වැනි ප්‍රදේශවල ගොස් අපේ මායිම් ලකුණු කර අපේ උරුමය රකිනවා. අප මේ හැම දෙයක්ම කරන්නේ මේ උරුමය ඉදිරියට ගෙන යාමටයි. අපටත් ඒ ගැන වගකීමක් තියෙනවා.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ක්‍රිෂාන්ත ගුණසේකර මහතා:- අපේ ප්‍රධාන උරුමයක් වන රුවන්වැලි මහා සෑය ප්‍රමුඛ මහා විහාරයේ සංරක්ෂණ කටයුතු අනුව මේ වැලිමලුව සංරක්ෂණය කෙරුණා. මේ මහා සම්ප්‍රදාය සියවස් 25ක් තිස්සේ රැකගෙන ඉදිරියට ගෙන ගියා. වැලිමළුව බැතිමතුනට ප්‍රයෝජන ගත නොහැකි තත්ත්වයක තිබුණා. මහා විහාර සංකල්පය රැකගැනීමේ වැදගත්කම පිළිබඳව අගමැතිතුමා මධ්‍යම සංස්කෘතික අරමුදලට දැනුම් දුන්නා. ඒ අනුව මහා විහාර සංවර්ධන ව්‍යාපෘතිය වසර දෙකකට පෙර ඇරඹුණා.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, මැතිඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
(ඡායාරූප - ඉෂංක සුනිමල්)