බෙදුම්වාදී දොළපිදේනිය තීරණාත්මකව පරදවන්න ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් ඉවත්වෙන්න


(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)

බෙදුම්වාදී දොළ පිදේනිය සමග සම්බන්ධ නොවී එය තීරණාත්මකව පරාජය කිරීමට ව්‍යවස්ථා සම්පාදක අනුකමිටුවලින් හා මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (9) පිටකෝට්ටේ දී පැවසීය.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් විරවංශ මහතා මේ බව පැවසූ අතර එහි දී ඔහු මෙසේ ද පැවසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්න ආණ්ඩුවට ජනවරමක් නැහැ කියලා මහා සංඝරත්නය ඉදිරිපත් කළ සංඝ විධානය පිළිබඳව අද විවිධ කතා බහ ඇති වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව හදන්න උදේ පාන්දරම නැගිටලා වැඩකරපු රතන හාමුදුරුවොත් කියනවා නව ව්‍යාවස්ථාවක් හදන්න ආණ්ඩුවට ජනවරමක් නැහැ කියලා. එහෙම කියද්දි රතු අලිපැටියා කියනවා ආණඩුවට ජනවරමක් තිබෙනවා. මහානායක හිමිවරුන්ට තමන්ගේ අදහස දක්වන්න අයිතියක් තිබෙනවා. නමුත් ආණුඩුව වැඩ කළ යුත්තේ ජනවරමට අනුව කියලයි.

හරිම පුදුමයි ජනතා විමුක්ති පෙරමුණේ මේ වෙනස. ඉස්සර ජවිපෙ තමයි ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේනකොට මුලින්ම ඒකට විරුද්ධව පාරට බැස්සේ. දැන් ඒ අය ෆෙඩරල් ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටිනවා.

ජනාධිපතිවරයා බලය ඉල්ලා සිටි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එහෙම ජනවරමක් ඉල්ලා නැහැ. සමහර විට එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ එවැනි දෙයක් ඇති. නමුත් ඔවුන්ට එකසිය දහතුනක් ලැබිලා නැහැ. ඒ නිසා ඒ අයටත් ජනවරමක් ලැබිලා නැහැ.

සමහරු කියනවා දරුවා බිහිවෙන්න කලින් දරුවාගේ කේන්දර කියනවා කියලා. එහෙම නැහැ. මේ දරුවා තාම ඇවිදින්න පටන් අරන් නැතිවෙන්න පුලුවන්. නමුත් ඉපදිලා ඉන්නේ. මෙහෙයුම් මණ්ඩලයේ අතුරු වාර්තාව කියලා අගමැතිවරයා වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් මේකේ සාමාජිකයෝ දෙන්නෙක්ම කියනවා මේ වාර්තාවේ තිබෙන්නේ මෙහෙයුම් කමිටුවේ කතා කරපුවා නෙවෙයි කියලා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන මහතාත් ප්‍රසන්න රණතුංග මහතාත් මේ කමිටුවට සහභාගී වුණා. ඔවුන් මේ පිළිබඳව මෙහෙයුම් මණ්ඩලයේ සභාපතිට ලිපියක් නිකුත් කර තිබෙනවා. ඒ වගේම අකුකමිටු වාර්තා පදනම් කරගෙන ප්‍රධාන අතුරු වාර්තාව සකස් කළ යුතු වුවත් අගමැතිවරයා තනිව කෙටුම්පතක් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ උපලේඛනයක් ගැන සඳහන් වුණත් එවැනි උපලේඛනයක් නැති බවද මෙහෙයුම් කමිටුවත් නොදන්නා, කාටවත් පෙන්වා නැති උපලේඛනය මොකක්ද? එහි අඩංගු වන්නේ මොනවාද කියලා නොදැන මේ කමිටුවල ඉදිරියට වැඩ කරන්නේ කෙසේද?

මහානායක හිමිවරුන් ඉල්ලා සිටිනවා ව්‍යවස්ථාවේ ඒකීය භාවය කියන වචනය ඉවත් කරන්න එපා කියලා. ඒ වගේම බුදුදහමට හිමි තැන නැති කරන්න එපා කියලා. සුද්දා මේ රට පාලනය කරන කාලයේ පවා බුදුදහම ආරක්ෂා කරන බවට පොරොන්දු වුණා. දැන් මේ කළු සුද්දන්ට ඒක කරන්න බැරි ඇයි? රටේ නායකයා මහානායක හිමිවරුන් හමුවී සාකච්ඡා පවත්වනකොට ආණ්ඩුව තමන්ගේ බල්ලෝ ටික ලෙහා දාලා මහානායක හිමිවරුන්ට එරෙහිව බුරවන්න පටන් අරන්. ත්‍රාඩ ප්‍රතිචාර දැක්වීමකට පෙළඹී තිබෙනවා. මේ රට බෙද්ධ සංස්කෘතියක් සහිත රටක්. අපේ රජවරු පවා මහා සංඝරත්නයට ඇහුම් කන් දුන්නා. මේ විදිහට අපහාස කළේ නැහැ. අද මේ පොළොවට මුල් ඇදලා නැති නායකයෝ කරන මේ කාර්යය වහා නවත්වන්න. දැන් සඳහිරු සෑය හදපු එකේ වැරැද්ද ගැන කතා කරනවා. ඒ පාපය නැති කරන්න හිටපු ජනාධිපතිතුමාට ඉරටු තිබෙන කොස්සකින් මහමළු අතුගාන්නලු. එතුමාට ඒක කොහොම හරි කරන්න බැරියෑ. ඒත් මේ කතා කියන්නේ මේ රටේ හැම තැනම ටයර් සෑයවල් හදපු අය. ඒ සෑයවල් හදපු එකේ පාපය ඉරටු කොස්සකින් අතුගාලා දුරු කරන්න බෑ.

බුදුදහමට හිමි තැන වෙනස් කරන්නේ නැත්නම් බුදුදහමට ප්‍රමුඛත්සථානය දෙන බව කියමින් තවත් විකල්ප හතක් යෝජනා කර තිබෙන්නේ ඇයි? දළදාව හිමිකරගත් අයට තමයි එදා රටේ නායකත්වය හිමිවුණේ. ඒ ඉතිහාසය මත තමයි අදත් මේ රට ගමන් කරන්නේ. ඒ ඉතිහාසය වෙනස් කරන්න කාටවත් බැහැ. කාටවත් මේක දිරවන්නේ නැහැ කියලා ඒ අයට අවශ්‍ය විදිහට මේවා වෙනස් කරන්න දෙන්න බැහැ. මෙහෙයුම් කමිටුව සිටිය දී එළියේ ඉන්න කණ්ඩායමක්  අතුරු වාර්තා සකස් කරන්නේ නම් මොකට ද එවැනි තැනක තවත් ඉන්නේ? ඒ නිසා මේ අනුකමිටුවලිනුත්, මෙහෙයුම් මණ්ඩලයෙනුත් ඉවත් වෙන්න කියලා අපි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ජාතික නිදහස් පෙරමුණේ එකම මන්ත්‍රීවරයෙක්වත් මේ කමිටුවල නැහැ. අපි මේවාට සම්බන්ධ වෙන්නේ නෑ කියලා මුල සිටම හිටියා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන් බවටත් අපි පත් වන්නේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්වන්නේ නැහැ. දැන් අපි ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ගෙන් මේ ඉල්ලිම ඉදිරිපත් කර තිබෙනවා. තවදුරටත් මේ බෙදුම්වාදී දොළපිදේනිය සමග සම්බන්ධ නොවී එය තීරණාත්මකව පරාජය කිරීමට කටයුතු කරන්න කියා.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකර මහතා ද සහභාගී විය. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට වීරවංශ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.


ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කියනවා මීළග මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දෙන්නේ නෑ කියලා.
පිළිතුර - එහෙම බලාපොරොත්තුවකුත් නැහැ. ඉල්ලන්නේ නැති දෙයක් දෙන්නේ නෑ කියලා කියනවා. කිසිම තේරුමක් නැති කතාවක්.


ප්‍රශ්නය - ඔබතුමන්ලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මේ ඉල්ලීම මීට පෙර කර තිබෙනවාද?
පිළිතුර - අපි මේක අවස්ථා කීපයකදී කතා කර තිබෙනවා. පක්ෂ නායකයින් සමග මහින්ද රාජපක්ෂ මහතා මේ ගැන කතා කළාම පක්ෂ තුනක නායකයෝ තවත් ටික කලක් ඉමු කියලා අදහස් දැක්වුවා. මහින්ද රාජපක්ෂ මහතා මේ තීරණය ඒකමතිකව ගන්න අදහස් කරන නිසා තමයි තවම පක්ෂයක් හැටියට මේ තීරණය ඇවිත් නැත්තේ.


ප්‍රශ්නය - මේ පක්ෂ තුන පාර්ලිමේන්තුව නියෝජනය කරන අය ද?
පිළිතුර - එක් පක්ෂයක් පාර්ලිමේන්තුවේ නැහැ. දෙකක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.


ප්‍රශ්නය - ආණ්ඩුව යළිත් වතාවක් ඇමතිවරුන්ට වාහන ගන්න ලක්ෂ දෙදාහක් වෙන්කරගන්න පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා.
පිළිතුර - මම ඒ වෙලාවේ හිටියේ නැහැ. නමුත් සාමසර කන්ද නායයාමෙන් විපතට පත් ජනතාව, සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතාව තවමත් ඉන්න තැනක් නැතිව දුක් විඳිනවා. වන්දි නැතිව දුක් විඳිනවා. එහෙම තියෙද්දී තමයි මේ විදිහට අමැතිවරුන්ට වාහන ගන්න මිලියන ගණනින් මුදල් වෙන්කරන්නේ. අද පොල් පවා පිටරටින් ගේන තත්ත්වයක් ඇති වෙලා. කලින් ආණ්ඩුවත් පොල් ගේන්න හැදුවා. නමුත් එයින් සිදුවිය හැකි හානිය අපි පෙන්වා දුන් පසු ඒක නැවැත්තුවා. දැන් මේ ආණ්ඩුව පොල් ගෙන්වනවා. මෙයින් අපේ තිබෙන වගාවටත් හානිකර උපද්‍රව එන්න පුලුවන්.


ප්‍රශ්නය - උමාඔය ප්‍රශ්නය ගැන මොකද හිතන්නේ?
පිළිතුර - මේක කරගෙන ආපු වැඩ කොටස නවත්තලා බොහොම කලක් නිකම් තිබුණා. ඒකෙන් තමයි මේ අනතුර වැඩිවුණේ. මේක අවශ්‍ය ව්‍යාපෘතියක්. වෙල්ලස්ස අස්වද්දන්න පුලුවන් මේ ව්‍යෘපෘතිය නැති කරනවා වෙනුවට මේ විෂය පිළිබඳ දැනුමක් ඇති විශේෂඥයන්ගෙන් යුත් කමිටුවකින් පර්යේෂණ වාර්තාවක් සකස් කර ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුයි කියන අදහසේ තමයි අපි ඉන්නේ.