මගෙ ආසනයෙ එක මනුස්සයකුටවත් රස්සාවක් ගන්න බෑ


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් 
පාර්ලිමේන්තු මන්ත්‍රී  ගීතා කුමාරසිංහ  

  • රස්සා ටික දෙන්නේ දිස්ත්‍රික් නායකයාමයි  
  • මේකෙ ඉන්නවනෙ හොරු රැලක්
  • ආසනයට යමක් ඉල්ලගන්නෙ බොහොම අමාරුවෙන්  
  • අරයගෙන් අහන්න මෙයාගෙන් අහන්න කියල බෝල පාස් කරනවා. දැන් ඒගොල්ලන්ට මතක නෑ   
  • දැන් ඉන්න ඇමැතිවරු ඉන්නෙ කාන්තාරෙ ඔටුවො වගේ  

 

වත්මන් දේශපාලන තත්ත්වය ගැන ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය සමග කළ සාකච්ඡාවක් මෙසේය.   


ප්‍රශ්නය: මන්ත්‍රීතුමිය මේ දවස්වල වැඩි කතාබහක් නැත්තෙ මොකද?   


පිළිතුර: මම නිශ්ශබ්දයි කියන කතාව වැරදියි. එහෙම නිශ්ශබ්දතාවක් නෑ. දේශපාලන වාද විවාදවලට මම වැඩිය යන්නෙ නෑ. 

 
ප්‍රශ්නය: කලකිරීමක් නිසා නෙවෙයිනෙ?   


පිළිතුර: මෙහෙමයි. රජයේ වැරැද්දක් දැක්කොත් ඒක පෙන්වලා දෙන්න ඕනෑ. ඒක තමයි අපි ආණ්ඩුවට කරන ලොකුම උදව්ව. ආණ්ඩුව කරන දේවල්වලට මිනිස්සු බණිනවා නම් අපි ඒ බව ආණ්ඩුවට ඒත්තු ගන්වන්නෙත් නැතිනම් එකම වැරැද්ද නැවතත් කරනවා නම් පිරිහෙන්නෙ මේ ආණ්ඩුවමයි.   


ප්‍රශ්නය: ආණ්ඩුව එහෙම එළිපිට වැරදි කරන බව ඔබටත් පේනවද?   


පිළිතුර: මට ඉස්සෙල්ලම මේ කතාව කියන්න දෙන්න. මම ජනප්‍රිය වෘත්තියකින් මුළු රටේම අවධානය දිනා ගත්ත කෙනෙක්. ඒක මුළු ලංකාවම දන්නවා. මම දේශපාලනයට ආවේ ලොකු බලාපොරොත්තුවක් ඇතිව. මගෙ දරුවව තානාපති කාර්යාලයකට යවා ගන්නවත් එහෙමත් නැත්නම් මගෙ සහෝදරයෙක්ට උදව් කරන්නවත් එහෙම බලාපොරොත්තු මම ළඟ නෑ. මගෙ පවුලෙ කිසි කෙනෙක්ට ආණ්ඩුවේ තනතුරු අරන් දීලා නෑ. මම ඒක දිවුරලා කියනවා. මම නිල නිවාස ප්‍රතික්ෂේප කළා. හැම මන්ත්‍රීවරයෙක්ම රුපියල් ලක්ෂ 100 ගාණෙ ණය ගත්තා. ඒත් මම ගත්තෙ නෑ. ගමේ පදිංචි වෙලා ජනතාවට උදව් කළ යුතුයි කියන අරමුණින් මම ගමේ ලොකු ගෙයක් හැදුවා. කුරුවල් දේශපාලනඥයන් වගේ නැතුව ජනතාව මාව පිළිගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දුන්නෙත් ඒ නිසා. මොකද එතුමා දේශපාලනයෙ ඉඳලා කුරුවල් වෙච්ච කෙනෙක් නෙවෙයි. මිනිස්සු නැවුම් බලාපොරොත්තුවලින් ඉන්නවා. ජනාධිපතිවරණයෙදි මම ගෝඨාභය මහත්තයා වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ රැස්වීම් 100කට වැඩි ගාණක කතා කරලා තියෙනවා. මම දේශපාලනයට ආවේ මහින්ද රාජපක්ෂ මහත්තයගෙ අසීරු කාලෙ. ඒ වෙලාවේ රටේ කාන්තාවෝ හිටියෙ නෑ දේශපාලනය කරන්න. අද පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් මන්ත්‍රීවරියන් වුණත් පාර්ලිමේන්තුවට ඇවිත් තියෙන්නෙ එක්කෝ එයාලගෙ දේශපාලනය කරපු මහත්තයා මැරුණු නිසා. නැත්නම් කවුරුහරි ඥාති වෙන කෙනෙක් මැරුණු නිසා. නමුත් මම එහෙම කෙනෙක් නෙවෙයි. මම වෙන ක්‍ෂේත්‍රයකින් ආවේ. එතුමා මට බලෙන්ම වගේ කතා කරපු නිසා මම දේශපාලනයට ආවා. අනික අපේ දේශපාලන ක්‍රමයෙ බරපතළ වැරැද්දක් ඡන්ද කාලෙට වෙනවා. ඒ තමයි දිස්ත්‍රික් නායකයන් පත් කිරීම. ඡන්දයක් ආපුවහම ඒ අය ඡන්දදායකයන්ට කියනවා එක මනාපයක් එයාටත් ඉතිරි මනාප දෙක උප දිස්ත්‍රික් නායකයටයි අනික ගමේ ඡන්දෙ ඉල්ලන කෙනාටයි දෙන්න කියලා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක සිද්ධ වෙන ඉතාම අසික්කිත වැඩක්. තව ඒ අය ඉහළට බොරු හද හද කියනවා.   


ප්‍රශ්නය: ඔබ සම්බන්ධයෙනුත් එහෙම ඉහළට කේලම් කියන අය ගාල්ල දිස්ත්‍රික්කයෙ ඉන්නවද?   


පිළිතුර: මගෙ ආසනයෙ එක මනුස්සයෙක්ට රස්සාවක් ගන්න බෑ. මම බෙන්තර - ඇල්පිටිය ආසනයෙ සංවිධායක හැටියට අවුරුදු 12 ක් ඉන්නවා. ඒ කාලෙදි මම කොච්චර මුදලක් වියදම් කරන්න ඇතිද?   


ප්‍රශ්නය:ඔබ කාටද ඔය චෝදනා කරන්නෙ?   


පිළිතුර: වැදෙන තැනකට වැදෙද්දෙන් කියලා. මේ දිස්ත්‍රික් නායක කතන්දරේ මුළු රටේම දේශපාලනයෙ තියෙන වැරැද්දක්. දිස්ත්‍රික් නායකයා තමයි රස්සාවල් ටික දෙන්නෙ. එතකොට කොහොමද අපි වැඩ කරන්නෙ. බෙන්තර-ඇල්පිටිය ආසනයට මම ඇවිත් දවසින් දවස ඡන්ද ගොඩ වැඩි කරගත්තා. අන්තිමට වැඩි ඡන්ද විසිදහස් ගාණකින් අපේ පක්ෂය දිනෙව්වා. ජනාධිපතිවරණයට කලින් තිබුණු බෙන්තර-ඇල්පිටිය තීරණාත්මක ප්‍රාදේශීය සභා ඡන්දය දිනෙව්වා.   


ප්‍රශ්නය:ඔබට තියෙන මේ ප්‍රශ්න ගැන ජනාධිපතිට හරි අගමැතිට හරි කිව්වෙ නැද්ද?   


පිළිතුර: ඇයි මේ ආසනයෙ මිනිස්සුන්ට මෙහෙම කරන්නෙ. බොහොම අමාරුවෙන් තමයි මේ ආසනයට යමක් ලබාගන්නෙ. හොරවල පාලම ඉල්ලලා දැන් ගොඩක් කල්. මේ ආසනයෙ මිනිස්සුන්ට වතුර ඉල්ලලත් දැන් හුඟක් කල්. වාසුදේව නානායක්කාර ඇමැතිතුමා කිව්වා කොහොමහරි මගෙ ආසනයට වතුර ටික දෙනවා කියලා. එතුමා ගැන මට ලොකු විශ්වාසයක් තියෙන නිසා වතුර ටික දෙයි කියලා මම හිතනවා. මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් නැතුව මම කොහොමද ආසනයට යන්නෙ.   


ප්‍රශ්නය:මේ ආණ්ඩුව බලයට ගේන්න වැඩ කරලත් අඩුම තරමෙ නියෝජ්‍ය ඇමැතිකමක්වත් ඔබට ලැබුණෙ නෑ. ඇයි ඒ?   


පිළිතුර: එහෙම එකක් දුන්නෙ නැති එක ගැන අද මම සතුටු වෙනවා. 

 
ප්‍රශ්නය:ඇයි ඒ?   


පිළිතුර: නැත්නම් ඉතින් කාන්තාරෙ ඔටුවා වගේනෙ ඉන්න වෙන්නෙ. දැන් ඉන්න ඇමැතිවරුත් ඉන්නෙ කාන්තාරෙ ඔටුවො වගෙ. වැස්සත් හෙණ ගැහුවත් කාන්තාරෙට දැම්මට පස්සෙ ඔටුවා යන්න එපැයි. මේ දේශපාලනයෙන් අයින් වුණාට පස්සෙ මට කියන්න ලොකු කතාවක් තියෙනවා. නමුත් මම ඒක අද කියන්නෙ නෑ. ඒ ඇත්ත කතාව කියලා දැන් ඉන්න රාජ්‍ය නායකයන්ව අපහසුතාවට පත් කරන්න මම කැමති නෑ. මේ දේශපාලනය තුළ වෙච්ච භයානක දෙයක් මට තියෙනවා. ඒ නිසා තමයි මට ඇමැති ධුරයක් නොදුන්නෙත් කියන්න මම දන්නවා. ඒක මම කියන්නෙ වෙලාවට. මට ස්විට්සර්ලන්තෙ පිරිසිදු පුරවැසිභාවය තිබුණා. ඒකත් තියාගෙන ජාතික ලැයිස්තුවෙන් මාව පාර්ලිමේන්තුවට දාලා දෙන්න කියලා ඉල්ලුවා නම් මටත් හොඳට ඉන්න තිබුණා.   


ප්‍රශ්නය: ස්විට්සර්ලන්ත පුරවැසිභාවයත් නැති කරගෙන පාර්ලිමේන්තුවට පැමිණීම ගැන අද ඔබ දුක් වෙනවද?   


පිළිතුර: මම මිනිස්සු ගැනයි රට ගැනයි හිතලා කරපු දේ ගැන සතුටු වෙනවා. හැබැයි මේකෙ ඉන්නවනෙ හොර රැලක්. ද්විත්ව පුරවැසිභාවය තියෙන අය ඕන තරම් ඉන්නවා.   


ප්‍රශ්නය: කවුරු ගැනද ඔය කියන්නෙ?   


පිළිතුර: ඒක පත්තරේකට කියන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි.   


ප්‍රශ්නය:වසංගතය මැද්දෙ බාර් විවෘත කිරීමත් හරියට විද්‍යාත්මක ඇමැති මණ්ඩලය පත් කළා හා සමාන වැඩක් කියලා ඔබ පහුගිය දවසක කියලා තිබුණා. ඇයි එහෙම කිව්වෙ?   


පිළිතුර: ඇමැති මණ්ඩලයෙ ඉන්න අය විද්‍යාත්මකව පත් කරනවා කියලා කිව්වට එහෙමද කරලා තියෙන්නෙ. පියල් නිශාන්ත මහත්මයා මගෙ හොඳ යාළුවෙක්. නමුත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය බාර දෙන්න මේ ආණ්ඩුවට කාන්තාවක් හොයා ගන්න බැරිද. රට ලොක්ඩවුන් කරලා තියෙද්දි නින්දෙන් ඇහැරිලා තීන්දු ගන්නවා වගේ එකපාරටම බාර් අරිනවා. මෙහෙම ගියොත් බාර් පොකුර කියලා එකක් හැදෙයිද දන්නෙ නෑ. රජය එන්නත්කරණය ඉතාම හොඳින් කරනවා. ඒකෙන් ලෝකයේ ඉහළම ස්ථානයක රට ඉන්න එක ගැන අපි සතුටු වෙනවා. මිථ්‍යාවයි විද්‍යාවයි පටලවා ගන්නෙ නැතුව කටයුතු කළා නම් මීට කලින්ම අපිට මේ තැනට පත් වෙන්න තිබුණා. 

 
ප්‍රශ්නය:ආණ්ඩුවේ ඇමැතිවරුයි පසුපෙළ මන්ත්‍රීවරුයි එළිපිට ගැටෙනවා. රාජ්‍ය අමාත්‍යවරයෙක් හිර ගෙවල්වලට ගිහින් සිරකරුවන්ට මරණ තර්ජනය කරනවා. ආණ්ඩුව යන ගමන මොකක්ද? 

 
පිළිතුර: ඕක හැම ආණ්ඩුවකටම වෙන දෙයක්. මේ ආණ්ඩුවට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි. ආණ්ඩුවේ එකෙක් දෙන්නෙක් පෝරිසාදයො බිහි වෙනවා. 2010 ජනාධිපතිවරණයේදී මම පොලොන්නරුවට ගිය වෙලාවෙ ඒ මිනිස්සු මම ළඟට ඇවිත් කිව්වා අපි ආවේ ඔබතුමියව බලන්න කියලා. අපි මොනතරම් බර පැනක් දරලා තියෙනවද මේ ආණ්ඩුව ගේන්න. අපිට තිබුණු ඒ කීර්තිනාමය නැති කරගන්න එක කොයිතරම් භයානකද. ඒ කීර්තිනාමය මට ආපහු දෙන්න ආණ්ඩුවට පුළුවන්ද?   


ප්‍රශ්නය: ඔබලා බලයට ගෙනාපු ආණ්ඩුව ඔබලා කියන දෙයක්වත් කනකට ගන්නෙ නැති තත්ත්වයක්ද තියෙන්නෙ?   


පිළිතුර: අපි කියනවා. ජනාධිපතිතුමා අපිට එන්න කියලා තියන රැස්වීම්වලදිත් අපි කියනවා. ලියනවා. ඒත් හරිම අමාරුයි. ප්‍රාදේශීය දේශපාලනයෙ තියෙන බරපතළම වැරැද්දක් තමයි පාරවල් හදලා කොමිස් ගන්න එක. ඒක නවත්තන්න ඕන. ප්‍රාදේශීය දේශපාලනයට ගේන්න ඕන සල්ලි හම්බ කරන්න බලන් එන හිඟන්නො නෙවෙයි. යමක් කමක් තියෙන රටට වැඩ කරන්න කැමති අය ගේන්න ඕන. ඒවට විරුද්ධව අපි කතා කළොත් අපිත් එක්ක වෛර බැඳ ගන්නවා. පහුගිය මහා මැතිවරණයෙදි ඇල්පිටිය පැත්තෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ටිකක් මට වැඩ කළේ නෑ. දිස්ත්‍රික් නායකයා ඒ අය යොද‌ාගෙන මට ගැහුවා. ඒක හිතාමතාම කළාද කියන්න මම දන්නෙ නෑ. මේ දේශපාලනයෙන් මගෙ කාලය කාගත්ත එක ගැන මට කනගාටුවක් ඇති වෙන්නෙ. පාර්ලිමේන්තුවෙත් මාව දාලා තියෙන්නෙ පසුම පෙළට.   


ප්‍රශ්නය: ඔබට දේශපාලනයට එන්න කියපු මහින්ද රාජපක්ෂ මහත්තයවත් ඕවා ගැන අහන්නෙ බලන්නෙ නැද්ද?   


පිළිතුර: මම එතුමට ඒ ගැන කිව්වම එතුමා කියනවා බැසිල් රාජපක්ෂට කියන්න කියලා. මම ගියෙ නෑ එතුමව හම්බ වෙන්න. අරයගෙන් අහන්න මෙයාගෙන් අහන්න කියලා බෝලෙ පාස් කරනවා. දැන් ඒගොල්ලන්ට මතක නෑ.   


ප්‍රශ්නය:ඔබේ අනාගත දේශපාලනයට මොකක් වෙයිද?   


පිළිතුර: අනාගතය ගැන ඔයාටවත් මටවත් කියන්න බෑ. මගේ දවස අද. මට ඕන වැරදි තීරණ ගන්න එපා කියන එක පවතින රජයට තේරුම් කරලා දෙන්න. ආණ්ඩුවේ වැඩත් හරියට ඉස්සර තිබුණු සතිපතා විකාශය වූ ටෙලිනාට්‍යයක් වගේ. අලුත් අලුත් දේවල් එනවා. එක් කෙනෙක් හිර ගෙදරට ගියා කියලා කතාවක් එනවා. තව කෙනෙක් යට ඇඳුම් ගැන කතා කරන කතා එනවා. මුට්ටි දාන කතා එනවා. ඊළඟට බාර් අරින කතා එනවා. පහුගිය කාලෙම මාසෙකට මොකක්හරි එක කතාවක් ආවා. මේවා දාලා ටෙලිනාට්‍යයක් කළා නම් මාසික ප්‍රසංගයක් විදියට පෙන්වන්න පුළුවන්. එහෙමද වෙන්න ඕන. රටට ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. මම ජපාන රජයෙන් යුරෝ මිලියන ගාණක් වටින ව්‍යාපෘතියක් බෙන්තර-ඇල්පිටියට ගෙනාවා. නමුත් ඒක තවම ක්‍රියාත්මක කරන්න ඉඩ ලැබුණෙ නෑ. මම ඇමැති කෙනෙක් නොවුණට මට ඒ වගේ දේවලුත් කරන්න පුළුවන් හැකියාව තිබුණා. දැන් විද්‍යාත්මක පදනම මත ඇමැතිකම් දීපු අය කතා කරන්නෙත් නෑ. ඒ අතර හොඳ ඇමැතිලත් ඉන්නවා. සරත් වීරසේකර කියන්නෙත් ඒ වගේ හොඳ ඇමැති කෙනෙක්. සුදු ලූනු, පොහොර, වී, තේ මේ හැම දේකම ප්‍රශ්න. මට දැන් මේ දේවල් ගැන ස්වාධීන කෙනෙක් වගේ කතා කරන්න පුළුවන්. මම අතිගරු ජනාධිපතිතුමාට වැඳලා වගේ කිව්වා රන්ජන් රාමනායක මහතාට සමාව දෙන්න කියලා. කලාකාරයො වගේම එතුමට ආදරේ කරන හැම කෙනෙක්ම මේ ඉල්ලීම කළා. රන්ජන් රාමනායක ස්ත්‍රී දූෂණයක් හරි කුඩු සම්බන්ධ වැරැද්දක් හරි කරලා තිබුණා නම් අපි එයාගෙ පැත්තවත් බලන්නෙ නෑ. එතුමත් එක්ක එකට රඟපාපු කෙනෙක් හැටියට ඔහුව නිදහස් කරන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා. මම හිතනවා ජනාධිපතිතුමා ඒ ඉල්ලීමට සාධාරණයක් කරයි කියලා.   

 

 

 

සාකච්ඡා කළේ 
උපුල් වික්‍රමසිංහ