මුදල් ඇමැති
මංගල සමරවීර
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳවත් දේශපාලන තත්ත්වය පිළිබඳවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා සමඟ කළ සාකච්ඡාවකි.
- මුදල් ඇමැතිකම 2015 දී මට භාර දුන්න නම් මීටත් වඩා ශක්තිමත්ව මේ වෙනකොට ආර්ථිකය ගේන්න තිබුණා.
- විදේශ සිගරට් විකුණන්න දෙනවා කියලා මම අයවැයේදීත් කීවා. මේක ප්‍රායෝගික අවශ්‍යතාවක්.
- රාජිත ඇමැතිතුමා මට හම්බවුණා. එහෙම දෙයක් කීවේ නෑ.
ප්‍රශ්නය:- රටේ ආර්ථිකය ඉතාම අසතුටුදායකයි. ඔබ ඒක පිළිගන්නවා ද?
පිළිතුර:- ආර්ථික අභියෝග රාශියකට අපේ රට මුහුණ දුන්නත් ආර්ථිකයෙ කඩා වැටීමක් නැහැ. ඒක මම පැහැදිලිව කියනවා විතරක් නොවෙයි. අපි විතරක් නොවෙයි මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් සිටින ජාත්‍යන්තර ආයතන පවා පිළිගන්නවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය පහුගිය වසර කිහිපය තුළ ශක්තිමත් පදනමක තියෙනවා කියලා.
ප්‍රශ්නය:- ඔය කියන දේවල් ජීවිතවලට දැනෙන්නේ නෑ. ඒකයි ප්‍රශ්නය?
පිළිතුර:- ඒක මෙහෙමයි. 2015 අපි ආණ්ඩුව බාර ගත්තට පස්සේ විශේෂයෙන්ම මම මුදල් ඇමැති වශයෙන් 2017 දී වැඩ බාර ගත්තට පස්සේ අභියෝග රාශියකට මුහුණ දෙන්න වුණා. එක පැත්තකින් 2015 දී අපි ආණ්ඩුව බාර ගත්තෙම අතිවිශාල ණය කන්දක් කරේ තියාගෙන. රටට අනවශ්‍ය ව්‍යාපෘති වෙනුවෙන් පවා ණය වෙලා තිබුණේ. ඒක රාජපක්ෂලාගේ ණය කියලා අයින් කරන්නේ නැතිව ඒ ණයත් කර තියාගෙන ගමන ආරම්භ කළා. ඊට පස්සේ අපට ස්වභාවික වගේම අස්වාභාවික විපත්වලට මුහුණ දෙන්න වුණා. 2017 දී මහා නියඟයක් ආවා. ඊට පස්සේ ගංවතුරක් ආවා. ඒවාට වන්දි පවා ගෙවමින් ඉදිරියට යනකොට ඔක්තෝබර් 26 ව්‍යවස්ථා කුමන්ත්‍රණය වුණා. ඒක හරහා විශාල ආර්ථික ප්‍රහාරයක් එල්ල වුණා. රුපියල අව ප්‍රමාණ වීම වේගවත් වුණා. ඒ කාලය තුළ දී රටට ඩොලර් බිලියනයක විතර පාඩුවක් වුණා. ඒත් අපි ඒකත් දරාගෙන ක්‍රම ක්‍රමයෙන් රට යථා තත්ත්වයට පත්කර ගනිමින් සිටිය දී තමයි අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වුණේ. එයිනුත් විශාල පසුබෑමක් වුණා. ඒත් මම රටට ශක්තිමත් ආර්ථික පදනමක් දමලා තිබුණ නිසා ඒ පසුබෑමටත් අපිට ඔරොත්තු දෙන්න පුළුවන් වුණා.
ප්‍රශ්නය:- නමුත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රටේ සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. ලක්ෂ ගණනක් ජනතාව පාරට වැටිලා ඉන්නේ?
පිළිතුර:- ඔව්. ලංකාව ලෝකයේ හොඳම සංචාරක රට හැටියට නම් කරලා තිබිය දී හෝටල්වල කාමරවලට වඩා වැඩියෙන් සංචාරකයන් එමින් සිටිය දී කුඩා ගෙවල් පවා සංචාරක නිකේතන බවට පත් කරලා ඩොලර් උපයන තත්ත්වයට පත්වෙලා තිබිය දී තමයි මේ ප්‍රහාරය එල්ල වුණේ. පසුගිය අවුරුද්දේ අපට සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණ ආදායම ඩොලර් බිලියන 3.7ක් වුණා. දැන් ඒක ඩොලර් බිලියන 1.3ක විතර අඩුවීමක් වෙයි කියලා අපි හිතනවා. අනික් අතට නොසිතූ වියදම් ආවා. නැති වූ ජීවිතවලට රුපියල් ශතවලින් ගෙවලා අවසන් කරන්න බැරි වුණත් අපි ඒ ජීවිතවලට හා වෙනත් වන්දි සඳහා මේ වෙනකොටත් රුපියල් මිලියන 190 කට වඩා ගෙවලා තියෙනවා. මේක තවත් වැඩි වෙනවා. බෝම්බ ප්‍රහාරවලට ලක්වෙච්ච පල්ලි තුන සඳහා මේ වෙනකොට වැඩ පටන් ගන්න විතරක් රුපියල් මිලියන 25ක් දීලා තියෙනවා. මේකට එකතු වෙනවා සංචාරක ව්‍යාපාරය කඩා වැටීම නිසා සංචාරක ව්‍යාපාරයෙන් යැපුණා විශාල පිරිසක් ඉන්නවා. ලොකු ලොකු හෝටල් හිමියන්ට විතරක් නොවෙයි සංචාරක පොඩ්ඩන්ටත් අපි වන්දි දෙනවා. ඒ අයට අපි විශාල සහන මල්ලක් දීලා තියෙනවා. ඒ බෝම්බ ප්‍රහාරය නිසා මුළු රටම සති දෙකක් විතර හිස් වුණා. අපේ ප්‍රයිවට් බස් කර්මාන්තය කඩා වැටුණා. වෙසක් කාලයේ දී තොරණ ගහන අයත් විරිඳු කියන අයත් මාව හමුවුණා. ඒ අයටත් අපි සහන පැකේජයක් දුන්නා. ඒ වෙනුවෙනුත් අපිට විශාල බරක් දරන්න වුණා. අපි ඒ හැම ප්‍රශ්නයකටම මුහුණ දීලා ආර්ථිකය ඉදිරියට අරගෙන යනවා.
ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් ආදායමට වඩා වියදම වැඩි නිසා අමාත්‍යාංශවලට වෙන්කරපු මුදලින් සියයට 15ක් කපලා තියෙනවා.
පිළිතුර:- ඒක ඇත්ත වශයෙන්ම කළේ මොකද? අර දේශපාලන කුමන්ත්‍රණය නිසා නොවැම්බර් ඉදිරිපත් කරන්න තිබුණ අය වැය අප්‍රේල් මාසයෙ ඉදිරිපත් කළේ. එතකොට අපිට පෙනුණා බොහෝ ආයතනවලට අපි දීපු මුදල් ඉවර කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මොකද තවත් අයවැයක් නොවැම්බර් වෙනකොට ඉදිරිපත් කරන්න වෙනවා. ඒනිසා අපි ඒ තත්ත්වයත් එක්ක ඒවට කරගහන්න තියෙන උවමනාව නිසා අපේ සංවර්ධන කටයුතු මේ අභියෝග නිසා ආපස්සට නොයන්න අවශ්‍ය නිසා ගම්පෙරළිය වගේ දේවල් තවත් ශක්තිමත් කළ යුතු නිසා තමයි ඒක කළේ.
ප්‍රශ්නය:- අලුතින් සමෘද්ධිලාභීන් ලක්ෂ පහක් සොයාගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව උදම් අනනවා. නමුත් උදම් අනන්න ඕන සමෘද්ධිලාභී පවුල් අඩු වෙනවා නම් නේද?
පිළිතුර:- ඇත්ත වශයෙන්ම විපක්ෂයේ අය අද සමෘද්ධියට ලක්ෂ පහක් එකතු කිරීම මේ රටේ දුප්පතුන්ගේ සංඛ්‍යාව වැඩිවීමක් හැටියට පෙන්වන්නයි හදන්නේ.
ප්‍රශ්නය:- එහෙම නම් මොකක්ද වෙලා තියෙන්නේ?
පිළිතුර:- නෑ. ඒක නොවෙයි ඇත්ත කතාව. සමෘද්ධිය කියන එක මමත් හොඳට දන්නවා. සමෘද්ධි ව්‍යාපාරය කියන නම 1993 දී අපි විපක්ෂයේ ඉන්න කාලේ චන්ද්‍රිකා මැතිනියගේ රොස්මිඩ් නිවෙසේ දී දාන්න තීරණය කළේ එතුමියයි, රත්නසිරි වික්‍රමනායකයි, එස්.බී. දිසානායකයි, මමයි කරපු සාකච්ඡාවක දී. එතැන දී තමයි අපි තීන්දු කළේ ජනසවියට වඩා විධිමත්ව ජනතාවගේ දුගී දුප්පත්කම නැති කරන ව්‍යාපාරයක් අවශ්‍යයි කියලා. ජනසවිය ඉතාම හොඳ සංකල්පයක් වුණත් 1993 වෙනකොටත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක විතරයි පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක වුණේ. බොහෝ දෙනෙකුට සහතිකයක් ඇරෙන්න වෙන මොකවත් ලැබුණෙත් නෑ. ඒනිසා අපි සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරලා ආණ්ඩුවේ පළමුවැනි පනත හැටියට ඉදිරිපත් කළේ සමෘද්ධි පනත. ජනාධිපතිවරණයට පෙර ලංකාව පුරාම සමෘද්ධි නිලධාරින් අපි පත් කළා. ඇත්තම කියනවා නම් එදා ඒ සමෘද්ධි නිලධාරින් ලෙස පත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දපොළ නියෝජිතයකුගේ දරුවෙක් හෝ ඉතා කිට්ටු කෙනෙක්. අන්න ඒ අය තමයි මේක බාරව අදත් ඉන්නේ.
ප්‍රශ්නය:- ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල නම් කිව්වේ මේ පාර සමෘද්ධිය දෙන්නේ යූඑන්පී පාක්ෂිකයන්ට කියලයි?
පිළිතුර:- මම මේ කියන්නේ ඒ ගැන තමයි. මේ අවුරුදු 200 ට අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමෘද්ධි නිලධාරින් ලවා සමෘද්ධි ව්‍යාපාරය දුප්පත්කම දුරු කිරීමේ ව්‍යාපාරයක් නොවෙයි දේශපාලන වාසිය සඳහා දුප්පත්කම පෝෂණය කිරීමේ ව්‍යාපාරයක් බවට පරිවර්තනය වුණා. අන්තිමට ආණ්ඩුවට පක්ෂ නම් රාජපක්ෂලාගේ රැස්වීම්වලට එනවා නම් ඒ අයට සමෘද්ධිය ලැබුණා. සමෘද්ධිය නොලැබිය යුතු විශාල පිරිසකටත් ඒ සමෘද්ධිය ලැබුණා. ඒ අයට තිබුණ එකම සුදුසුකම දේශපාලන ළැදියාව විතරයි. ඇත්ත වශයෙන්ම ඒක නිසා තමයි අපි අැත්ත සමෘද්ධිලාභීන් තෝරලා මේ පාර සමෘද්ධිය දුන්නේ. සමෘද්ධිය ලබන්න සියලුම සුදුසුකම් තිබුණත් එක්සත් ජාතික පාක්ෂිකයකු වීම නිසා සමෘද්ධිය නොලැබුණ විශාල පිරිසක් ඉන්නවා. ඒ අයටත් අපි සමෘද්ධිය දෙනවා. මේක වැඩි වුණා කියලා පේන්නෙ අර ලැබුණ අයත් තාම ඉන්න නිසයි. ඒ ගැන මම මුදල් අමාත්‍යාංශයෙනුත් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය:- ආණ්ඩුව ඇතුළේ තියෙන ගිනිකෙළි සංදර්ශන රටේ ආර්ථිකයට බලපාන්නේ නැද්ද?
පිළිතුර:- ඇත්ත වශයෙන්ම ආර්ථිකයට ඒවා බලපාන්න නැතිවෙන්න මම වග බලාගෙන තියෙනවා. මොකද මම මේ අමාත්‍යාංශය තුළට දේශපාලනය ගේන්නේ නැහැ.
ප්‍රශ්නය:- ඔබ කියන්නේ ඔබ එන්න කලින් දේශපාලනය ගෙනල්ලා තිබුණා කියල ද?
පිළිතුර:- මම කියන්නේ මම ගැන ඇත්ත වශයෙන්ම මේ අමාත්‍යාංශයෙ නිලධාරින් එක්ක මම යම්කිසි වැඩපිළිවෙළක් හා දැක්මක් ඇතිවයි යන්නේ. ඇත්තෙන්ම කිව්වොත් මේ මුදල් අමාත්‍යාංශයට පූර්ණ කාලීනව ඉන්න ඇමැති කෙනෙක් 2019 වෙනකම් හිටියේ නෑ. 94 ඉඳලම මුදල් අමාත්‍යාංශය බාරව කටයුතු කළේ මේ රටේ ජනාධිපතිවරයයි. 94 දී චන්ද්‍රිකා මැතිනිය මුදල් ඇමැතිවරිය වශයෙන් හිටියා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයා වශයෙන් හිටියා. ඒ නිසාම පී.බී. ජයසුන්දරලා වැනි ලේකම්වරු තමන්ට උවමනා විදියට මේක රාජධානියක් කරගෙන හිටියා. ඇත්ත වශයෙන්ම මෙතැන මම කවදාවත් දැකලා නැති දක්ෂ කැපවුණ නිලධාරින් පිරිසක් හිටිය. ඒත් ඒ අයගෙවත් අදහස් විමසන්නේ නැතිව මේක ඒකාධිකාරයක් හැටියට ගෙනිච්චා.
ප්‍රශ්නය:- හිටපු මුදල් ඇමැති රවීත් එහෙම ද?
පිළිතුර:- ඇත්තෙන්ම මගේ තියෙන එකම කනගාටුව මුදල් ඇමැතිකම මට පහුවෙලා ලැබීමයි. මුදල් ඇමැතිකම මට 2015 දීම බාර දුන්නා නම් මීටත් වඩා ශක්තිමත්ව මේ වෙනකොට ආර්ථිකය ගේන්න තිබුණ කියලා.
ප්‍රශ්නය:- නමුත් හිටපු මුදල් ඇමැති කියනවා ‘බැරිනම් යන්න මම කරලා පෙන්වන්නම්’ කියලා.
පිළිතුර:- මම රවි කියන දේවල්වලට උත්තර දෙන්න කැමැති නෑ. එතුමා කරපු දේවල් අපි දන්නවා. අද කරන දේවලුත් අපි දන්නවා.
ප්‍රශ්නය:- මොනවද ඒ?
පිළිතුර:- ඒවා අවශ්‍ය නෑ. එතුමා කරපු දේවලුත් කරන දේවලුත් අපි දන්නවා.
ප්‍රශ්නය:- ඇමැති රවි ලෝකයේ හොඳම මුදල් ඇමැති හැටියට සම්මානයට පාත්‍ර වුණා?
පිළිතුර:- බොහොම හොඳ ඇති. මම නම් ඒ වගේ දේවල් කිය කියා යන්නේ නෑ. ඉතිහාසය විසින් තීන්දු කරාවි කවුද හරි කවුද වැරැදි කියලා. නමුත් මම අද යළි වතාවක් මේ අමාත්‍යාංශයෙ මේ ඉන්න දක්ෂ නිලධාරින්ට හිමිවිය යුතු තැනක් ලබා දීලා අනික් පැත්තෙන් ඉතාමත්ම කුඩා උපදේශක මණ්ඩලයක් සමග මේ කටයුත්ත කරගෙන ගියායින් පස්සේ මම නොවෙයි ඇත්තෙන්ම මම ඉදිරිපත් කරපු අයවැය දෙක ගැනම මම සතුටු වෙනවා. ආර්ථික විශේෂඥයන් කියලා තිබුණ ලංකාවේ මෑත ඉතිහාසයේ ඉදිරිපත් වුණු හොඳම අයවැය දෙකක් කියලා. ඒ වගේම මම දැක්කා විශේෂයෙන්ම මගේ සංකල්පයක් අනුව ආරම්භ කරපු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හා ගම්පෙරළිය ගැන ලෝක බැංකුව කියනවා. ලෝක බැංකුවේ ටීම්ස් එනවා මේ ගැන හොයලා බලලා අපට ආධාර කරන්න. මොකද ඇත්ත වශයෙන්ම මට ඒ එක නිලධාරියෙක් කිව්වා ‘මේ අයවැය යෝජනා ලෝකයෙ දැකපු ඒවායින් හොඳම දෙකක් තමයි මේ සංකල්ප’ කියලා. ඉතින් මීට වඩා මම ගැන මම කතා කරන්න කැමැති නෑ. නමුත් අද මේ තරම් අභියෝග මැද්දෙන් මේ කුඩා කණ්ඩායමක් එක්ක නිලධාරින් එක්ක මම මේ වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යනවා. පහුගිය යුගයේ රාජපක්ෂ යුගයේත් ඊට පස්සෙත් අපිට ආරංචියි මේක ජාවාරම්කාරයන්ගේ තිප්පොළක් කියලා. උපදේශකයෝ හිටියා බුරුතු පිටින්. නමුත් අද මම උපෙද්ශකයෝ දෙන්නෙක් එක්ක ඒ වගේම තවත් අමතර උපදේශකයන් කිහිප දෙනෙක් එක්ක. විශේෂයෙන්ම මේ ක්ෙෂ්ත්රයෙ ඉන්න ඉහළම අය. බිස්නස්කාරයෝ, ව්‍යාපාරිකයෝ, ඩීල්කාරයෝ නොවෙයි. ඉහළම විශේෂඥයන් පිරිසක් සමග ඉහළම තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා. ඒ ස්ථාවරත්වය සංඛ්‍යාලේඛනවලිනුත් බලන්න පුළුවන්.
ප්‍රශ්නය:- නමුත් ආර්ථික වර්ධන වේගය ගත්තොත්?
පිළිතුර:- පොඩ්ඩක් ඉන්න. ඒකෙන් විතරක් මේක මනින්න බෑ. වර්ධන වේගය ගැන කතා කළත් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසය වෙනකොට අර දේශපාලන කුමන්ත්‍රණය නිසා අපේ වර්ධනය 1.8 දක්වා වැටුණා. නමුත් මට ඊයේ මහ බැංකුවෙන් ආරංචි වුණා 2019 පළමු කාර්තුවේ දී වර්ධන වේගය 1.8 ඉඳන් 3.5 දක්වා වැඩි වෙනවා කියලා. ආයෙමත් දෙවැනි කාර්තුවෙදි අඩුවෙන්න පුළුවන් පාස්කු ප්‍රහාරය නිසා. නමුත් ඒ ආර්ථික වර්ධන වේගයටත් අමතරව අපේ ප්‍රාථමික ගිණුම් අතිරික්තයක් පෙන්නුම් කළේ මේ කාලේ. ඉතින් මේවා අපිට ෙබර ගහගෙන ලයිට් දාගෙන තොරණ ගහගෙන කියන්න ඕන ඒවා නොවෙයි. මම ලෝකයේ ඉන්න හොඳම මුදල් ඇමැතිවරයා කියලා කියාගෙන නොගියත් දන්නෝ දන්නවා. අද දශක දෙකකට විතර පස්සේ මේ මුදල් අමාත්‍යාංශය ඉතාමත්ම විධිමත්ව ආර්ථිකය මෙහෙයවනවා කියලා. ඒක අමාරු ගමනක්. මම කියන්නේ නැහැ හෙට වෙනකොට මේ රට මහා සුරපුරයක් වෙනවා කියලා. ඒ සුරපුරය කවදාහරි දවසක ඇති කරන්න අවශ්‍ය පදනම මේ රටේ මම ඇති කරලා තියෙනවා.
ප්‍රශ්නය:- ඔබ චීන සිගරැට් ගෙන්නුවොත් ආණ්ඩුවෙන් යනවා කියලා ඇමැති රාජිත කිව්වා?
පිළිතුර:- ඇත්ත වශයෙන්ම..... මෙතැනදී මම කියන්න ඕනෑ රාජිත ඇමැතිතුමා මට ඊයේ කැබිනට් එකේදීත් හමු වුණා. පෙරේදාත් හමු වුණා. නමුත් ඒ කොයි වෙලාවක දීවත් එවැනි දෙයක් මට කියලා නැහැ.
ප්‍රශ්නය:- නමුත් ඇමැති රාජිත බොහොම විවෘතව මාධ්‍යයට කිව්වා?
පිළිතුර:- මාධ්‍යයට කිව්වද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් මටනම් කියලත් නැහැ. ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී කතා කළෙත් නැහැ.
ප්‍රශ්නය:- ඔබ ඇමැති රාජිතගේ විරෝධය ගණන් ගන්නෙත් නෑ?
පිළිතුර:- සෞඛ්‍ය ඇමැති විදියට රාජිත ඇමැතිතුමා ඔය ප්‍රශ්නය ගැන විශේෂ උනන්දුවක් පෙන්වනවා. ඒක බොහොම හොඳයි.
ප්‍රශ්නය:- මම අහන්නේ රාජිතගේ විරෝධය ගණන් ගන්නවද නැද්ද කියන එකයි?
පිළිතුර:- ඒක බොහොම හොඳ විරෝධයක් වුණත් ප්‍රායෝගිකව ගත්තොත් මම මේ කරන්න හදන්නේ අලුත් දෙයක් නොවෙයි. විදේශ සිගරැට් මේ රටේ විකුණන්න අවසර දෙනවා කියලා මම අයවැයේදීත් කිව්වා. මේක ප්‍රායෝගික අවශ්‍යතාවක්.
ප්‍රශ්නය:- ආණ්ඩුවේ හිටපු මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වුණා. නමුත් කබීර් හෂීම් හා අබ්දුල් හලීම් යළිත් ඇමැති ධුරයේ දිවුරුම් දුන්නා. ඒ බව ඔබ කලින් දැනගෙන හිටියද?
පිළිතුර:- ඇත්ත වශයෙන්ම අපට ඒක ආරංචි වුණා. ඒ ආරංචිය ලැබුණා. ඇත්ත වශයෙන්ම මේ අය අස්වෙන්න ගිය වෙලාවෙත් මම නම් ප්‍රසිද්ධියේම නැගිටලා අපේ කණ්ඩායම් රැස්වීමේත් තවත් රැස්වීම් කිහිපයකත් මෙහෙම කරන්න එපා කියලා කියපු කෙනෙක්. නමුත් අනික් පැත්තෙන් ඒ අය ඒ තීන්දුව අරගෙන තීන්දුව ක්‍රියාත්මක කළා. කණ්ඩායමක් හැටියට එහෙම තනි තීරණයකට ඇවිත් එක තැනක හිටගැනීම ගැන අපි අගය කරන්න ඕනෑ.
ප්‍රශ්නය:- එතැන චෝදනාවට ලක් වෙලා හිටියේ ඇමැති රිෂාඩ් බදුර්දීන් පමණයි. හැබැයි සියලුම මුස්ලිම් මැති ඇමැතිවරු ඉල්ලා අස්වුණා. ඒක ‘ඇහැට ඇහැක්’ න්‍යාය නොවෙයිද?
පිළිතුර:- නෑ. මුළු ලෝකයම දන්නවා රිෂාද් බදුර්දීන් ඇමැතිතුමාට ඇඟිල්ල දිගු කරන අය එහෙම කරන්නේ එයා වරදක් කළ නිසා හෝ අන්තවාදී නිසා හෝ නොවෙයි. මේ තුළින් මුස්ලිම් විරෝධී රැල්ලක් මේ රටේ නිර්මාණය කරන්නයි කියලා. ඉතින් මේ වගේ වෙලාවක මගේ නම් හැඟීම තිබුණේ එකට ගිය එකේ ඔක්කොමලා එකටම ආවා නම් ලස්සනයි කියලයි.
ප්‍රශ්නය:- කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් දිවුරුම් දෙනවා අගමැති රනිල් දන්නෙත් නෑ?
පිළිතුර:- ඇත්ත වශයෙන්ම එතැනදී යම්කිසි අඩුවක් වෙලා තියෙනවා. ව්‍යවස්ථානුකූලව දිවුරුම් දෙන්න නම් අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් එවැනි ඉල්ලීමක් කරලා තියෙන්න ඕනෑ. එසේ නොකිරීමේ යම් වරදක් තියෙනවා.
ප්‍රශ්නය:- ආණ්ඩුව විතරක් නොවෙයි. පක්ෂයත් අයාලේ යනවා වගෙයි?
පිළිතුර:- පක්ෂය අයාලේ යාමක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම ඕනෑම පක්ෂයක් තුළ විවිධ මත තියෙනවා. අර්බුද බල පොර තියෙනවා. ඒකෙන් පේන්නේ අයාලේ යෑමක් නොවෙයි. අපේ ශක්තියයි. මොකද අද එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඊළඟ පිම්මට ලෑස්තියි. මේ ජනාධිපතිතුමාගේ පාලන කාලයේ අවසාන මාස කිහිපයයි මේ යන්නේ. මේ කාලය ගැන මොන මොන මත තිබුණත් අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කරපු කැපවීම අගය කරනවා. ඒ ගමන්ම අපි ඊළඟ පිම්මට ලෑස්ති වෙන්න ඕනෑ. මහා තර්ජන තියෙද්දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පරාජය වුණා නම් එතුමා විතරක් නොවෙයි මුළු පවුලම පෙති ගහලා මරන්න පුළුවන් බව දැනගෙනත් ඒ පරිත්‍යාගය කිරීම ගැන මේ රටේ ජනතාව මෛත්‍රීපාල ජනාධිපතිතුමාට සදහටම ණය ගැතියි.
ප්‍රශ්නය:- නමුත් ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීට යූඑන්පීයෙන් ‘ඇඩ්‍රස් නෑ’?
පිළිතුර:- රට ඉල්ලන්නේ යූඑන්පීයෙන් ජනාධිපති කෙනෙක්.
ප්‍රශ්නය:- ඔබ හිතන විදියට යූඑන්පීයෙන් කවුද හොඳ?
පිළිතුර:- මට ඒක තීරණය කරන්න බෑනේ. ඇත්ත වශයෙන්ම ඒක තීරණය කරන්න ඕනෑ අපේ පක්ෂය. පක්ෂයක් හැටියට මේ වෙලාවේ දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි.
ප්‍රශ්නය:- ඔබට ඒ ගැන අදහස් ඇතිනේ. කවුද ඒ?
පිළිතුර:- මෙතැන මගේ පෞද්ගලික මතයට වඩා අපි හිතන්න ඕන දේවල් තියෙනවා. 2015දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ගේන්න තීන්දු කළේ ඒ තිබුණ පැසිස්ට්වාදී ජාතිවාදී හා දුෂ්ට පාලනය පරාජය කිරීමටයි. දැන් තියෙන අභියෝගය තමයි යළිත් වතාවක් ඒ හොර නඩය බලයට එන එක වළක්වන එක. මේ වෙලාවේ වෙන මුකුත් ප්‍රතිපත්ති ඕන නෑ. මේ හොර නඩය එන එක වැළැක්වීම තමයි කළ යුත්තේ.
ප්‍රශ්නය:- ඔබ නොකීවත් ඔබත් මලික් සමරවික්‍රමත් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී ඉන්නවා?
පිළිතුර:- නෑ. නෑ. මම නම් කවුරුවත් වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ. නමුත් එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමේ උත්සාහයේ අපි ඉන්නවා. ඒ සඳහා අවශ්‍ය වන හොඳම අශ්වයා අපි තෝරා ගන්න ඕනෑ.
ප්‍රශ්නය:- “මේ රට සිංහල බෞද්ධ රටක් නොවෙයි” කියමින් ඡන්ද දිනන්න පුළුවන් කියලා ඔබ හිතනවද?
පිළිතුර:- මම දැනුත් යළිත් වතාවක් කියනවා. මේක සිංහල බෞද්ධ රටක් නොවෙයි. මේ ශ්‍රී ලාංකිකයන්ගේ රට කියලා.
ප්‍රශ්නය:- සංස්කෘතියට ගරහමින් එහෙම කතා කරන්නේ ඔබලා විජාතික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන නිසා බවයි විපක්ෂය චෝදනා කරන්නේ?
පිළිතුර:- ඔබ මට වාක්‍ය අවසන් කරන්න දුන්නේ නැහැනේ. මේක සිංහල බෞද්ධයන්ගේ රට නොවෙයි. නමුත් මේ ශ්‍රී ලාංකිකයන්ගෙ දූපත පෝෂණය වුණේ, අපේ සංස්කෘතිය පෝෂණය වුණේ, අපේ සාහිත්‍ය පෝෂණය වුණේ, අපේ ඉතිහාසය පෝෂණය වුණේ බෞද්ධ සංස්කෘතියෙන්. ඉන්දියාවෙන් අපට ලැබුණ බුදු රජාණන්වහන්සේ හරහා ලැබුණු ඒ සංස්කෘතියෙන් පෝෂණය වෙච්ච රටක්. ඒකෙන් විතරක් නොවෙයි හින්දු හා ඉස්ලාම් සංස්කෘතියෙනුත් මේ රට පෝෂණය වුණා. මෙතැන දී අපි සිංහල බෞද්ධ රටක් කියලා කීම තුළින් සිංහල බෞද්ධ නොවන සියලු දෙනාම දෙවැනි පංතියේ පුරවැසියන් කියලයි. ඒකට මම එකඟ නෑ.
ප්‍රශ්නය:- ඔබට දැන් සංඝ ආඥාවකුත් පනවලා තියෙන්නේ?
පිළිතුර:- මට සංඝ ආඥා පනවපු පළමු වැනි අවස්ථාව නොවෙයි. මගේ දේශපාලන ජීවිතය තුළ මේ තියෙන දෙබිඩි පිළිවෙත වෙනස් කරන්න සටන් කරපු එක්කෙනෙක්. අපි සුදු නෙළුම් ව්‍යාපාරය කරගෙන යනකොට ඔය වගේම ස්වාමීන් වහන්සේලා පිරිසක් එකතුවෙලා සිංහල කොමිසම කියලා එකක් අටවගෙන වැඩ කරගෙන යන වෙලාවේ මම කිව්වා ‘ඔය සිංහල කොමිසම ඉතිහාසයේ කුණු බක්කියට සීමා වෙන්න ඕනෑ’ කියලා. ඒ වෙලාවෙත් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ මට විරුද්ධව මහා සංඝ විරෝධයක් පැවැත් වූවා. ඊට පස්සේ මාතර බෝධියට ඇවිල්ලා මට විරුද්ධව වස් කවි කිව්වා. වස් කවි කිව්ව එක්කෙනාත් අවාසනාවකට සතියක් ඇතුළත නැති වුණා. ඒනිසා මට මේ වගේ දේවල් අලුත් දේවල් නොවෙයි.
මගේ හැඟීම නම් මේ ගෙවුණු වසර 70 තුළ මේ රටට ලැබිය යුතු දියුණුව නොලැබීම ගැන රට පාලනය කරපු දේශපාලන පක්ෂවලට දොස් කියනවා. නමුත් අපි මතක තබාගත යුතුයි මේ රටේ ඉන්න ප්‍රතිගාමී පසුගාමී චීවරධාරී පිරිසක් හැමදාමත් මේ රට ආපස්සට ඇද්දා? දේශපාලනයෙන් පෝෂණය වන චීවරධාරීන් පිරිසක් හැමදාමත් මේ රට ආපසස්ට ඇද්දා. 47 ඉඳලම මේ ඉන්න චීවරධාරීන්ගේ තාත්තලා මුත්තලා ද දන්නෑ රට ආපස්සට ඇද්දා? මේ අය රට ආපස්සට අදිනකම් රටට අනාගතයක් නෑ. අදත් මේ චීවරධාරීන් උත්සාහ කරන්නේ කළු ජූලියක් හදන්න. පාස්කු ප්‍රහාරයෙන් පසුවත් මුස්ලිම් ජනතාවට එරෙහිව මහා සංහාරයක් ඇති කරන්න මේ චීවරධාරීන්ගේ අදහස. ඒ අය ඒ උත්සාහය අත්හැරලා නෑ. හැම මුස්ලිම් ජාතිකයෙක්ම ත්‍රස්තවාදියෙක් හැටියට හංවඩු ගහන්න හදනවා. ඔය පීඩනය නිසා සමහර අය අන්තවාදයට යන්නත් බැරි නෑ. ඒ නිසා ලංකාව බේරා ගන්න නම් බුදු රජාණන් වහන්සේගේ සැබෑ ධර්මය අදහන අය එකතු වෙන්න ඕනෑ.
ප්‍රශ්නය:- ඔබ බෞද්ධයෙක්?
පිළිතුර:- මම බුද්ධාගමේ නොවෙයි. මම බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට ගරු කරන කෙනෙක්. බුද්ධ ආගමක් නෑ. තියෙන්නේ බෞද්ධ දර්ශනයක්. මේ චීවරධාරීන්ට එරෙහිව මම අරගල කරන්නේ මම පිළිපදින්නේ බෞද්ධ දර්ශනය නිසයි.
සාකච්ඡා කළේ -
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්