මත ගැටුම් ප්‍රබල වී මැති සබය විසිරෙයි


ඩඩ්ලි සේනානායක

බණ්ඩාරනායක

සර් ජෝන් කොතලාවල

අගමැතිකම දරන්නට ඔහුට කිසි අයිතියක් නැහැ’’ කියමින් සර් ජෝන් මහත් පෙරළි කළේය. මේ සිදුවීම් දෙස උපේක්‍ෂාවෙන් බලා සිටි ඩඩ්ලි සේනානායක නියම ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් කැඳවන ලෙස අග්‍රාණ්ඩුකාරවරයාට උපදෙස් දුන්නේය. ඒ අනුව 1952 වසරේ පැවැති මහා මැතිවරණයේදී අති බහුතර බලයක් සහිතව එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඩඩ්ලි සේනානායක මහතා සමත්වූවේය. ඒ ආකාරයෙන් තමා සඳහා ජනවරමක් ලබාගත් ඔහු නැවතත් අගමැති ධුරයට පත්විය.
 
ඉතා ජනප්‍රිය රාජ්‍ය නායකයෙකු ලෙස කටයුතු කරගෙන ගිය ඔහු තමාට කෙබඳු හිරිහැර බාධක ඇතිකළද සර් ජෝන්ගෙන් පළිගැනීමට කටයුතු නොකළේය. නොයෙක් වෙනස්කම් සිදුකරන්දීත් සර් ජෝන් තම ඇමැති මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන්ද පත්කර ගත්තේය.
 
ලෝක පරිමාණයෙන් මෙම යුගයේ පැනනැගුණු ලෝක ආර්ථික අර්බුදයක් හේතුකොටගෙන ලංකාවේ වාමාංශික ව්‍යාපාරය මගින් මෙහෙයවූ හර්තාල් සටන් ව්‍යාපාරය නිසා ඩඩ්ලි සේනානායක අගමැති තනතුරින් ඉල්ලා අස්වූ අතර සර් ජෝන් කොතලාවල අගමැති තනතුරට පත්වූවේය. 
 
ඔහුගේ බොහෝ දේශපාලන ක්‍රියාකාරකම් ජනප්‍රිය නොවූ අතර එම යුගය ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ ස්වර්ණමය යුගය වූයේය. වමේ බලවේග සියල්ල බණ්ඩාරනායක සමග අත්වැල් බැඳගෙන සිටියේය. රටේ සාකච්ඡාවට බඳුන්වූ ප්‍රධානම මාර්තෘකාව වූවේ භාෂා ප්‍රශ්නයයි. 
 
‘‘පැය විසි හතරෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්නෙමි’’යි පොරොන්දු දී ජනතාව අතර මහත් ජනප්‍රියත්වයට පත්ව සිටි බණ්ඩාරනායකට සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයේද සහයෝගය ලැබෙමින් තිබුණි. මෙම පසුබිම හමුවේ සර් ජෝන් කොතලාවල පාර්ලිමේන්තුව විසුරුවාහරින ලෙස අග්‍රාණ්ඩුකාර සර් ඔල්වර් ගුණතිලකට උපදෙස් දුන්නේය. ඒ අනුව 1956 පෙබරවාරි 18වැනිදා ශ්‍රී ලංකාවේ දෙවැනි පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදුව නැවතත් මැතිවරණයක් පැවැත්වීමට නියමිත විය. 
 
එය යෙදුණේ 1956 වසරේ අප්‍රේල් මස 05, 07 සහ 10 යන දින තුනටය. ප්‍රතිඵල නිකුත්ව අවසාන වනවිට සිදුව තිබුණේ මහා පෙරළියකි. පැවති රජයට විශාල පරාජයක් අත්ව තිබුණි. ඔවුන්ට හිමිවූවේ ආසන අටක් පමණි. බණ්ඩාරනායකගේ පාර්ශ්වයට විශාල ජයග්‍රහණයක් ලැබී රජයක් පිහිටුවීමට වරම් ලැබීය.
 
එක් අත්තක වහන්නේ එක ජාතියේ කුරුල්ලෝ යැයි කියමනක් තිබේ. එහෙත් බණ්ඩාරනායක සමග සමගි සන්ධානගතව සිටියේ විවිධ මතධාරී විවිධ වර්ණයන්ගෙන් හැඩගැන්වුණු කුරුල්ලන් සමූහයකි. කොටින්ම කියතොත් ඔවුහු එක් අත්තක වැසීමට සුදුසු කුරුල්ලෝ නොවූහ. 
 
මෙම ගැටලුව ආරම්භයේ සිටම එම රජය තුළ දලු ලමින් තිබෙනු ප්‍රසිද්ධ රහසක් විය. ජාති භේදවාදී කලබල, මහා වැඩවර්ජන ඇතුළු අර්බුද රාශියක් මධ්‍යයේ ඉදිරියට ඇදෙමින් තිබුණු එම රජය මහා ඛේදවාචකයකින් ඉමහත් අසීරුවකට පත්වූවේය. එහි ප්‍රතිපලය වූයේ අගමැති බණ්ඩාරනායක 1959 සැප්තැම්බර් 26 වැනිදා ඝාතනයට ලක්වීමයි. එහිදී අගමැති ධුරයට පත්වූවේ එවකට අධ්‍යාපන ඇමති සහ සභානායකව සිටි විජයානන්ද දහනායක ය. පාලන බලය හිමිව තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයන් සමග උග්‍ර මත ගැටුම් හටගැනීම නිසාත් දහනායකගේ දේශපාලන න්‍යාය පත්‍රය ශ්‍රී.ල.නි.ප.ය සමග ගැටුණු නිසාත් ආණ්ඩුව අවුලෙන් අවුලට ගියේය. රජයට බහුතර බලය අහිමිවී යන වාතාවරණය හමුවේ 1959 දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අග්‍රාණ්ඩුකාරවරයාට ඔහු උපදෙස් දුන්නේය. එය එසේම සිදුවිය.
 
මෙසේ නැවතත් මැතිවරණයක් කැඳවීම සිදුවන විට ඡන්ද ක්‍රමය බොහෝ සෙයින් වෙනස්ව පැවතුණි. බණ්ඩාරනායක රජය විසින් පත් කරන ලද වෝල්ටර් තල්ගොඩපිටිය කොමිෂන් සභාව මගින් අලුතින් මැතිවරණ කොට්ඨාස නිර්ණය කර තිබුණි. එතෙක් බහු මන්ත්‍රී ආසනද ඇතුළුව මන්ත්‍රීවරු 95ක් තෝරාගැනීම වෙනුවට ආසන 145 කින් මන්ත්‍රීවරුන් 151 ක් පත්කිරීමට නියමිතව විය. 
 
එහි තවත් වැදගත් වෙනස්කමක් වූවේ රට පුරා මැතිවරණය එක් දිනකදී පැවැත්වීමට කටයුතු යෙදීමය. එය ඉතා යෝග්‍ය ක්‍රමයක් විය. නැතිනම් කලින් දිනවල ජයග්‍රහණය කරන පක්‍ෂවලට වාසිසහගත තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවක් ඊට පෙර පැවති බැවිනි. ගුවන් විදුලිය මගින් ජනතාව ඇමතීම සිදුකිරීමට පක්‍ෂ නායකයන්ට අවස්ථාව සලසාදීමටද කටයුතු සිදුවිය. නිවෙස්වල සිට ඡන්ද පොළට ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීමට වාහන පහසුකම් සැලසීම තහනම් කරනු ලැබුවේ මේ වතාවේය. පක්‍ෂවල පාට අනුව කොඩි එල්ලීමත් ප්‍රතිවාදීන් ඒවා බොහෝ විට කපාදැමීමත් නිසා මිනීමැරුම් පවා සිදුවී තිබුණි. ඒවාද තහනම් විය. මෙවැනි නව ක්‍රමයකට මැතිවරණය පැවැත්වීම 1960 මාර්තු 19 වැනිදාට නියමවිය. 
 
මැතිවරණ ක්‍රමය වෙනස්වූවාක් මෙන්ම එහි ප්‍රතිඵලයද මුළුමනින්ම වෙනස් ස්වරූපයක් ගත්තේය. තම පක්‍ෂ සතු ජනතා බලය ගැන නිසි තක්සේරුවක නොසිටි බැවින් බොහෝ දේශපාලන පක්‍ෂ බලය පතා අපේක්ෂකයන් ඉදිරිපත් කර සිටි බව පෙනුණි. මේ හේතුව නිසා ජනමතය විකෘති වී ගියේය. බහුතර බලයක් ලබාගැනීමට කිසිදු දේශපාලන පක්ෂයකට හැකියාවක් නොලැබුණි. එහි ප්‍රතිඵලය වශයෙන් 
 
පක්‍ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයන් සහ දිනූ ආසන
 
එක්සත් ජාතික පක්‍ෂය 127 50
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය  108 46
ෆෙඩරල් පක්‍ෂය 19
15
මහජන එක්සත් පෙරමුණ 89 10
ලංකා සමසමාජ පක්‍ෂය 101 10
ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය  (දහනායක)
101 04
කොමියුනිස්ට් පක්‍ෂය 53 03
ජාතික විමුක්ති පෙරමුණ (රාජරත්න) 02 02
ලංකා ද්‍රවිඩ සංගමය 08 01

සමාජවාදී මහජන පෙරමුණ (ඊරියගොල්ල)

40 01
ශ්‍රී ලංකා ජාතික පෙරමුණ (සෝමවීර චන්ද්‍රසිරි)
01 01
බෝසත් බණ්ඩාරනායක පෙරමුණ  (ඇස්. ඩී. බණ්ඩාරනායක)
02 01

ස්වාධීන
167 07
වෙනත් පක්ෂ  80 0

සර් ඔල්වර් ගුණතිලක

ඉතිහාසයේ පළමුවරට අගමැති තම ආසනයෙන් පරාජයට පත්විය. ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක විජයානන්ද දහනායකගේ ගාල්ල ආසනයේදී ලැබූ පරාජය එසේ සටහන් විය. ඔහුගේ ඇමැති මණ්ඩලයෙන්ම තම ආසන රැකගත්තේ දෙදෙනෙකු පමණි. 

අග්‍රාමාත්‍ය ධුරයට පත්  එ.ජා.ප. නායක ඩඩ්ලි සේනානායකගේ රජය පැවතියේ දින තිහක් පමණි. රාජාසනයේ කතා විවාදය පරාජයවීම නිසා 1960 අප්‍රේල් 22 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. 
 
එය කෙටිම මැතිසබය විය. මෙම විපරීත ප්‍රතිඵලය නිසා රට අස්ථාවරව ගිය බව අවබෝධ කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සමගි සම්මුතියක් මත නිතරග ගිවිසුමකට අත්සන් තබා ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා ආසන බෙදාගත්තේය. 
 
සී. පී. ද සිල්වා නායකත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එකඟකරවා ගැනීමට එහි අවශේෂ නායකයෝ සමත්වූහ. 
 
එම ආකර්ෂණීය වෙනසද හේතුකොට ගෙන 1960 ජූලි 20 වැනිදින පැවැති මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත්විය. නොයෙකුත් වෙනස්කම්වලට භාජනයට වෙමින් ඉදිරියට ගිය එම රජය අර්බුද මත 1964 දෙසැම්බර් තුන්වැනිදා මැතිසබයේදී රාජාසන කථා විවාදය එක් වැඩි ඡන්දයකින් පරාජයට පත්වීම නිසා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ උපදෙස් පරිදි අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. ඊළඟ මැතිවරණය 1965 මාර්තු 22 වැනි දිනට නියම විය. 
 
 
 
 

විලියම් ගොපල්ලව

සිරිමාවෝ බණ්ඩාරනායක


  • සෝමසිරි වික්‍රමසිංහ