මතු පිටින් අතගාන ලාබ දේශපාලනය


අයවැය විවාදයේ දී විපක්‍ෂය වටහා ගත් කරුණක් වූයේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය සහ ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපත්ති අතර බොහෝ වෙනස්කම් පවතින බවය. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන් අයවැය විවාදයේ දී කළ කතා අනුව ඔවුන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති පිළිනොපදින බවක් පෙනී යන බව විපක්‍ෂය පවසයි. අයවැය විවාදය සමයේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ පැමිණීම ද දුර්වල බව විපක්‍ෂය නිරීක්‍ෂණය කර ඇත. ඇතැම් අවස්ථාවල සභාවේ සිටියේ මන්ත්‍රීවරුන් විසිපහක පමණ පිරිසකි.

වත්මන් ආණ්ඩුව බලයට ආවේ සමාජ මාධ්‍යයේ කළ අති දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක ආධාරයෙනි. මැතිවරණ සමය තුළ ෆේස්බුක් සමාජ ජාලය පිරී පැවැතුණේ ඡන්දය දිනූ විගසම ඉටු කරන අති මහත් විශ්වකර්ම පොරොන්දු ජාලයකින්. ජාතික ජන බලවේගයට ඡන්දය පාවිච්චි කිරීම සඳහා පෙලඹවීම් කළ එම පෝස්ටුවලින් අනුර කුමාර දිසානායක මහතා ජනපතිවරණය ජයගත් දිනට පසුදින සිටම විදුලිය බිල අඩු කරන බවට රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දමන බවට ප්‍රභූ දේශපාලකයන් රජයේ නිල නිවාස වලින් ගෙදර යවන බවට තදබද වී ගමන් කරන දුම්රිය මැදිරි වෙනුවට එක් මගියකුට එක් අසුනක් හිමිවන නවීණ පන්නයේ දුම්රිය මැදිරිවලින් දුම්රිය මාර්ග පිරීයන බවට පෝස්ටු හුවමාරු විය. මෙවැනි මතවාද අතිවිශාල ප්‍රමාණයක් හුවමාරු කළේ රජයේ සේවකයන්ය. සැබැවින්ම ඉන් බොහොමයක් අහිංසක බලාපොරොත්තු බවට සැකයක් නැත. හිමිදිරි පාන්දර නැගිට බස් රථයක සිටගෙන විශාල දුර ප්‍රමාණයක් ගෙවා දුම්රිය පොළට පැමිණ එතැන් සිට තදබදවී සිටගෙනම කොළඹ රාජකාරියට යන දුම්රිය මගීන්ට තමන් විසින් වරම ලබා දෙන නව රජය යටතේ සුවපහසු දුම්රිය ගමනක් ගැන සුබ සිහින මතුවීම සාධාරණය. එහෙත් අප දන්නා පරිදි එවැනි නව රජයක් බලයට පත් වුවද තවමත් රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් රැකියාවට යන්නේ පැරණි දුම්රියේමය. මහින්දගේ රනිල්ගේ ආණ්ඩු වලින් තදබදවී ගිය දුම්රිය මගීන්ට අනුර දිසානායකගේ රජය යටතේත් එම තදබදය මගහැරුණේ නැත. සිදු වූයේ ජනතා අපේක්‍ෂාවක් ලාබ දේශපාලනය විසින් තම මැතිවරණ පොරොන්දුවක් බවට පත්කර ගැනීමය. බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ හෝ වෙනත් සැඟවුණු කාරක සභාවක අරමුණු ඉටු කිරීමට රජය මේ වනවිට පියවර තබා තිබෙන්නේදැයි සැක මතුවෙමින් තිබේ. 

අධ්‍යාපනය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉකුත් දිනල එවැනි තත්ත්වයක් වාර්තා විය. අධ්‍යාපන ඇමැතිනිය වන අගමැතිනිය ඉකුත් කාලයේ ප්‍රකාශ කළේ දේශපාලකයන් පාසල්වල පැවැත්වෙන උත්සව සඳහා කැඳවීම වැරදි බවය. එසේ තිබිය දී දවස් කිහිපයකට කථානායකයා වූ අශෝක රන්වල මහතා පාසල් ක්‍රීඩා උත්සවයකට සහභාගී වී සිටින ඡායාරූප දැකගත හැකි විය. ජවිපෙ සාමාජිකාවක නොවන අගමැතිනිය ගත් තීන්දුවක් පක්‍ෂයේ යම් කණ්ඩායමක් විසින් තම සගයන්ට වාසිදායක ලෙස වෙනස් කරනු ලැබුවේ ද යන්න මෙහිදී මතුවන පැනයයි. මේ වනවිට රට පාලනය කරන්නේ මැතිවරණයේ දී ජනතා කැමැත්ත ලැබුණු පිරිස නොවන වෙනත් පිරිසක් ද? ආණ්ඩුවේ කටයුතු තුළින් ජනතාවට එවැනි සැකයක් මතුවේ නම් එය දුරැලීම රජයේ වගකීම ය. 

සංගණනයට මුවාවී පෞද්ගලික දත්ත එකතු කිරීම 

මේ ආණ්ඩුවද අන් සෑම මෑතකාලීන ආණ්ඩු සේම දුවන්නේ “එදාවේල ටුවර්ස්” එකකි. සැලැස්මක් නැත. ඒ ඒ වෙලාවට මතුවන ප්‍රශ්නවලට වෙලාවේ හැටියට උත්තරයකි. රිළව් ප්‍රශ්නය මතුවෙද්දී රිළවුන්ට වඳ සැත්කම් කිරීමේ සිට රිළවුන් ජනශූන්‍ය දූපතකට ගෙන ගොස් දැමීම දක්වා කතා පවත්වා අන්තිමට ආවේ “රිළ​ා” සංගණනයකි. මෙම වනසත්ව සංගණන පත්‍රිකාව සමග ලබාදුන් නිවැසියන්ගේ පෞද්ගලික දත්ත එකතු කරන පත්‍රිකාව මෙම සංගණනයට අදාළ වන්නේ කෙසේදැයි රජයේ කිසිවකුත් පැහැදිලි කළේ නැත. එම පත්‍රිකාවේ රිළවුන් ගැන කිසිවක්ම අසා නැත්තේය. විමසා ඇත්තේ නිවැසියන්ගේ නම ගම, උපාධි අධ්‍යාපන සුදුසුකම්, නිවසේ ඇති වාහන සංඛ්‍යාව, වාහන අංක, නිවැසියන්ගේ ආදායම, වැටුප, ඉවුම් පිහුම් කරන්නේ දර භාවිතයෙන් ද ගෑස් භාවිතයෙන්ද වැනි පෞද්ගලික විස්තරයකි. මේ දත්ත පද්ධතිය පැලවත්තේ ජවිපෙ මූලස්ථානයේ ෆයිල් එකකට ගොනු වෙනවා දැයි සැක සිතෙන තරම්ය. 

ඒ මොහොතට ගැළපෙන ලාබ දේශපාලනය අද පමණක් මෙරට තිබූ තත්ත්වයක් නොවේ. 1994 බලයට ආ පොදුජන එක්සත් පෙරමුණ මැතිවරණ සමයේදී එතෙක් පැවැති එජාප ආණ්ඩුවට එරෙහිව බරපතළ දූෂණ චෝදනා ගණනාවක් මතු කළේය. එයාර් බස් ගනුදෙනුව, හිල්ටන් හෝටල් වංචාව, බොරතෙල් මගඩිය, සෙවණ ලොතරැයි වංචාව, නිවාස අමාත්‍යංශයේ දූෂණ සහ වංචාව, එම දූෂණ චෝදනා අතරින් කිහිපයකි. එහෙත් ඔවුන් බලයට ආ පසු මේ කිසිවක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ නොකෙරිණි. 

එයාර් බස් ගනුදෙනුව ගැන අතිමහත් ප්‍රචාරයක් ලබාදීමට පොදුජන එක්සත් පෙරමුණ පියවර ගත්තේය. එයාර් ලංකා සමාගම 1991 වර්ෂයේ දී ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් ගුවන් යානා පහක් මිල දී ගැනීමේ ගිවිසුමකට එළඹුණේය. මෙය එවකට රටට අවශ්‍ය මිලදී ගැනීමක් නොවූ බව විපක්‍ෂයේ චෝදනාව විය. ගුවන් යානයක සැබෑ මිල ඩොලර් හය කෝටි හැට ලක්‍ෂයක් වුවත් මෙම ගිවිසුම අනුව ගුවන් යානයක් මිලදී ගත්තේ ඩොලර් නව කෝටි හැට ලක්‍ෂයකටය. එක් ගුවන් යානයක් වෙනුවෙන් ඩොලර් කෝටි තුන බැගින් වැඩිපුර ගෙවා ඇතැයි විපක්‍ෂය චෝදනා කළේය. ලෝක බැංකුවේ විරෝධය නිසා රජය මිලදී ගත්තේ ගුවන් යානා තුනකි. මේ අනුව ඩොලර් කෝටි නවයක අයථා ලාබයක් රජයේ බලවතුන් ලබා ඇතැයි විපක්‍ෂය චෝදනා කළේය.

දාහත් වසරක එජාප පාලනයට එරෙහිව එවකට විපක්‍ෂය මතු කළ තවත් දූෂණයක් වූ හිල්ටන් හෝටල වංචාව වසර ගණනාවක් තිස්සේ මහා පරිමාණයෙන් හඬ නැඟූ මාතෘකාවක් බවට පත්විය. හෝටලය ඉදිකිරීමේ දී රුපියල් කෝටි 1100 ක වංචාවක් සිදුවූ බව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී තහවුරු කෙරිණි. එවකට ජනපති සහ අගමැතිගේ මැදිහත්වීමෙන් හෝටලය ඉදිකිරීම සඳහා ජපාන සමාගමකට ඉඩම් පැවරීමේ දී අඩු මුදලකට තක්සේරුකර ලබාදීම සහ සැලසුම් කළ මහල් ප්‍රමාණය සහ කාමර ගණන අඩුකර ඉදිකිරීමෙන් මෙම කෝටි 1100ක අලාභය සිදුකළ බවට චෝදනා කෙරිණි. 1994 මැතිවරණ සමයේ විපක්‍ෂය නිරතුරුව මතු කළ වංචාවක් වූයේ හිල්ටන් හෝටලය වංචාවයි. නව රජය බලයට පත්වූ පසු වංචාව පිළිබඳ උණුසුම ටිකෙන් ටික යට ගියේය. වංචා කළ බව කී මුදල යළි අයකර ගැනීමක් සිදු නොවීය. ඔවුන්ට එරෙහිව නඩු පැවරීමක්ද සිදු නොවීය. 

මීළඟට නම් දැරූ වංචාවක් බවට පත්වූයේ ආර්ජන්ටිනාවෙන් පුකාරා ප්‍රහාරය යානා මිලදී ගැනීමේ ගනුදෙනුවය. මිලදී ගන්නා මොහොත වනවිට නිෂ්පාදනය නතර කර වසර හයක් ගතව තිබූ සමාගමකින් රුපියල් කෝටි 96ක කොමිස් වංචාවක් මත යානා හතරක් මිලදී ගත් බවට චෝදනා නැගුණි. අමතර කොටස් පවා නොමැති මෙම යානා මිලදී ගැනීමට ගුවන් හමුදාපති විරුද්ධ වූ බවද කියැවිණි. එහෙත් නව රජය යටතේ එම වංචාව පිළිබඳ පරීක්‍ෂණයද යට ගියේය. 

බොරතෙල් මගඩිය සහ පාසල් නිල ඇඳුම් වංචාව ලෙස ප්‍රකට වූ තවත් සටන් පාඨ දෙකක් 1994 නව රජය බලයට පත්වූ පසු හීන් සීරුවේම දියාරු වන්නට ඉඩ හැරියේය. ටෙන්ඩර් කැඳවීමකින් තොරව දකුණු කොරියාවේ “ඩායිවු” ආයතනයෙන් ඛනිජ තෙල් මිලදී ගැනීම බොරතෙල් වංචාව ලෙස හැඳින්විණි. මෙම ගනුදෙනුව රජය දැනුම්වත් කළ වංචාවක් බව පොදුජන එක්සත් පෙරමුණ විපක්‍ෂයේදී හඬ නැඟුවේය. ඉතා වාසිදායක මිලට ඉස්තරම්ම බොරතෙල් මැලේසියාවෙන් සහ ඉරානයෙන් ද්වි පාර්ශ්වික ගිවිසුම් යටතේ සැපයෙද්දී කොරියාවේ “ඩායිවු” කෝපරේෂන් ආයතනයෙන් වැඩි මුදලකට මිලදී ගත් බවට මෙමගින් චෝදනා නැඟුණි. එහෙත් නව රජය යටතේ පරීක්‍ෂණ යටපත් විය. මහජන චීනයෙන් පාසල් නිල ඇඳුම් රෙදි මිලදී ගැනීමේදී ආණ්ඩුවට හිතවත් සමාගමක් මගින් ගෙන්වා රුපියල් ලක්‍ෂ 450 ක කොමිස් මුදල් එම සමාගමට ලබාදීම පාසල් නිල ඇඳුම් වංචාව ලෙස විපක්‍ෂය හඬ නැඟුවේය. එහෙත් එයද මැතිවරණයෙන් පසු නව රජය බලයට පත්වූ පසු ක්‍රමයෙන් දියාරු වී ගිය සටන් පාඨයක් බවට පත්විය. 

වර්තමානයේ මතුපිටින් මතුපිටින් අතපත ගාන ලාබ දේශපාලනයට බිලිවී තිබෙන බටලන්ද කොමිසම මේ වනවිට විත්තිකරුවන් සහ සාක්‍ෂිකරුවන් බහුතරයක් මියගිය දිරාපත්වූ වාර්තාවකි. සැබෑ ලෙසම 1987-89 භීෂණ සමයේ වැරදිකරුවන්ට දඬුවම් කළ යුතු මුත් එදා මෙදාතුර එය සිදු වූයේ නැත. බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කිරීමෙන් පමණක් සාධාරණය ඉටු වන්නේ නැත. වසර 37ක් ගෙවී ඇති එම අපරාධ ගැන නීතියෙන් සාධාරණය ඉටුකිරීමට හැකි සෑම උත්සාහයක්ම රජය දැරිය යුතුය. 


2015 දී එවකට විපක්‍ෂය පැවැති ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ වංචා සිදුවී ඇතැයි මහත් සෝෂාවක් කරමින් ඡන්දදායක ආකර්ෂණය තමන් වෙත ඇද ගත්තේය. 1994 දී දාහත් වසරක පාලනය සාපයක් බවට නැඟුණු ජනතා චෝදනා මැද පරාජිතව ගෙදර ගිය පක්‍ෂයේ ඉතුරු බිතුරු සුන්බුන් සහ නවක දේශපාලකයෝ 2015 ආණ්ඩුව පෙරළා දමමින් බලයට පත් වූයේ ජාතික වීරයන් ලෙසය. 


බටලන්ද කොමිසමක් පමණක් නොවේ. 1987-89 මෙරට පැවැති අවිචාරවත් භීෂණ සමයේ දී අතුරුදන් වූ දහස් ගණනක් තරුණ පරපුරේ සමීපතම ඥාතීන්ගේ බලාපොරොත්තු කඩකළ කඩදාසි කොළ මිටියකි. භීෂණ සමයට වගකිව යුත්තා සෙවීමට උත්සාහ කිරීම මගින් එවකට රජය සුණු විසුණු කර දැම්මේ අතුරුදන්වූවන් සහ මහමග මියගිය දහස් ගණනකයේ ඥාතීන් තුළ තිබූ බලාපොරොත්තු ගොන්නය. භීෂණ සමයේ දී ජවිපෙ පමණක් නොව රජයේ පාර්ශ්වයේත් එම පාර්ශව දෙකටම සම්බන්ධ නැති අහිංසකයනුත් දහස් ගණනක් මිය ගියහ. බටලන්ද කොමිසම, අතුරුදන්වූවන් පිළිබඳ කොමිසම වැනි කොමිෂන් සභා තුළින් තම ඥාතියා පිළිබඳ තොරතුරක් හෝ ඝාතන සිදු කළවූන්ට දඬුවමක් හෝ ලැබෙනු ඇතැයි ජනතාව බලා සිටියද ඒ කිසිවක් ඉටු නොවීය. ඉතිරි වූයේ ඇල් වූ බලාපොරොත්තු මිලින කර දැමූ කඩදාසි පත් ඉරු දහස් ගණනකි. සුසානයක් හෝ පාංශුකූලය හෝ අහිමිව අඥාත බිම් කඩක නිදන දහස් ගණනකට සාධාරණය ඉටුකරන බව පවසමින් 1994 මැතිවරණයේදී අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ ඡන්දයෙන් බලයට ආ අය ඉතිරි කළේ වැරදිකරුවන් නම් නොකළ කොමිෂන් සභාවල කඩදාසි ගොනු පමණි. 

ලංකාවේ 1987-89 භීෂණ සමය ආණ්ඩුවක් පෙරළීමට ද නව ආණ්ඩුවක් බලයට ඒමට ද යොදා ගත් වාද බයිලා පිටියක් බවට පත්විය. එකල විපක්‍ෂය භීෂණ සමය අවසන්වීමෙන් පසු රට පුරා මිනී කඳු හෑරුවේය. මිනී කඳු සෙවූයේ මළවුන්ට සාධාරණය ඉටු කිරීමට නොව තමන්ට බලයට ඒමට මාර්ගය පාදාගැනීම සඳහාය. එම රජයට බලයට පැමිණීම සඳහා අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ ඡන්ද විශාල වශයෙන් ලැබුණි. එහෙත් බලයට පැමිණි පසු අතුරුදන්වූවන් සෙවීමේ කොමිෂම පත්කර අතුරුදන්වූවන්ගේ පවුල්වලට වන්දි ලබා දුන් අතර වැරදිකරුවන් සෙවීමේ කටයුතු ක්‍රමානුකූලව දියාරුවන්නට ඉඩ හැරියේය. ඒ සමගම යළි සක්‍රිය වූ උතුරේ ඊළාම් යුද ගැටුමේ දී ආරක්‍ෂක අංශ සහාය ලබා ගැනීම සඳහා මෙම පරීක්‍ෂණ දියාරුවන්නට ඉඩ හැරියේය. ඒ සමඟම අතුරුදන්වූවන් සහ මහමග දැවුණු තාරුණ්‍යයට සාධාරණය ඉටුකිරීම සම්පූර්ණයෙන්ම යටපත් විය. මතුපිටින් අතපත ගාන ලැබ දේශපාලනයේ හැටි එහෙම ය. 

2015 දී එවකට විපක්‍ෂය පැවැති ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ වංචා සිදුවී ඇතැයි මහත් සෝෂාවක් කරමින් ඡන්දදායක ආකර්ෂණය තමන් වෙත ඇද ගත්තේය. 1994 දී දාහත් වසරක පාලනය සාපයක් බවට නැඟුණු ජනතා චෝදනා මැද පරාජිතව ගෙදර ගිය පක්‍ෂයේ ඉතුරු බිතුරු සුන්බුන් සහ නවක දේශපාලකයෝ 2015 ආණ්ඩුව පෙරළා දමමින් බලයට පත් වූයේ ජාතික වීරයන් ලෙසය. එහෙත් ඉන් වසරකට පසු අලුත් ආණ්ඩුවේ දූෂණ වංචාවලින් පැරණි ආණ්ඩුවෙ දූෂණ වංචා සියල්ල වැසී ගියේය. එය යළිත් මතු වූයේ ගාලුමුවදොර අරගලයේදීය. ගාලු මුවදොර අරගලයේ දී උතුරා පිටාර ගැලුවේ එකී ව්‍යාපෘති සඳහා රටේ අනාගත පරම්පරාවම උගසට තබා ඇති බවට ජනතාව තුළ මතු වූ කෝපයයි. ණය කන්ද අහස උසට නැඟ ඇත්තේ ජනතාව නොඉල්ලූ ඉදිකිරිම් වෙනුවෙන් පැවැති රජයයන් ගත් විදේශ ණය නිසාය. ඉන් වැඩි ප්‍රමාණයක් ඉදිකර ඇත්තේ හම්බන්තොට ප්‍රදේශය ආශ්‍රිතවය. ලෝකෙට ණයවී රටේ ජනතාවට සත පහක වටිනාකමක් නැති ඉදිකිරීම් කරමින් කාබාසිනියා කර ඇති මුදල ඩොලර් මිලියන සිය ගණනකි. හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මත්තල ගුවන් තොටුපොළ, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය හා කොළඹ පිහිටි නෙළුම් කුලුන ප්‍රධාන සුදු අලි කිහිපය අතර වේ. 

දශක ගණනාවක් තිස්සේම ලංකා දේශපාලනයේ දූෂණ වංචා සහ අපරාධ හෙළිදරව් කර ගැනීම මතුපිටින් අතපත ගාන ලාබ දේශපාලනයේ තුරුම්පු බවට පත්වූවා මිස සොයාගත් දූෂණයක් වංචාවක් හෝ දේශපාලන අපරාධයක් නොවීය. දූෂණය වංචාව පිළිබඳව විපක්‍ෂයේ දී නඟන හඬ ආණ්ඩු බලය ලබා ගත් පසු ක්‍රමයෙන් දියාරු වෙයි. යළිත් මීළඟ මැතිවරණ සමයේදී පවතින ආණ්ඩුවට එරෙහිව දූෂණ වංචා චෝදනා නැගෙයි. මෙම සටන් පාඨ දේශපාලනයේ දී උඩට පැමිණ යළි යට යනවා මිස දූෂණ වංචා ඔප්පුකර විනාශ කළ මහජන මුදල් යළි අයකර ගැනීමක් හෝ වැරදිකරුවන්ට දඬුවම් දීමක් කිසිදාක අපට දැකගත නොහැකිය. වර්තමාන රජයද යමින් සිටින්නේ ඒ පාරේම ද? යටගිය කොමිෂන් වාර්තා උඩට ගත් පමණින් බටලන්ද වැනි ඝාතන සිදුවීම්වල වින්දිතයන්ට සාධාරණය ඉටුවේ ද? වත්මන් ආණ්ඩුවද කුමක් හෝ මාතෘකාවක් එදිනෙදා ජනසමාජයට ලබාදී ආණ්ඩුවේ නිල කාලය ගෙවා ගන්නට සැරසෙනවා ද? ප්‍රශ්නය වන්නේ තවත් වසර පහකින් මේ කතාවම යළි කතා කිරීමට අපට සිදුවේ ද යන්නය. 

ප්‍රේමකීර්ති රණතුංග