මන්ත්‍රී හාමුදුරුවන්ගේ කතා වස්තුව


 

අතීතයේ පටන්ම මෙරට පාලකයන් හා භික්ෂූන් වහන්සේ අතර තිබී ඇත්තේ පුදුමාකාර වූ බැඳීමකි. රාජ්‍ය පාලනය හා සබැඳි සියලුම ගැටලුවල දී රජුට උපදෙස් දීම භික්ෂුන් වහන්සේලා විසින් සිදුකරනු ලැබ ඇති අතර,  ඉතිහාසය ද ඊට දෙස් දෙන අවස්ථා බෙහෙවි. ථෙරපුත්ථාභය  තෙරුන් වහන්සේ වැනි භික්ෂුන් වහන්සේලා පවා මහණදම් පිරීම පසෙක ලා රට වෙනුවෙන් රජුගේ සේනාව  හා අත්වැල් බැඳගැනීමක්  බොහොමයක් පිරිස් අර්ථකථනය කරන්නේ රාජ්‍ය පාලකයා සහ භික්ෂුව අතර තිබුණාවූ බැඳීම දෙගුණ තෙගුණ වූ අවස්ථාවක් ලෙසිනි. 
 
අතීත කියුම් කෙරුම් එසේ වුවද මෑත ඉතිහාසය තුළ භික්ෂුන් වහන්සේලා දේශපාලනය හා සම්බන්ධවීමක් සිදුවුණි නම් ඊට බලපෑ ප්‍රධානතම සාධකයක්  ලෙස 1956 වර්ෂයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීම පෙන්වාදිය හැකි බව ද ඇතැම්හු සඳහන් කරති. එහි පංචමහා බලවේගය වූ  සඟ, වෙද, ගුරු, ගොවි හා කම්කරු යන කණ්ඩායම් අතර  භික්ෂූන් ප්‍රමුඛත්වයෙහි ලා තිබීම ම ඊට එක් හේතුවක් වන්නට ඇත. බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ද භික්ෂුවකගේ නමක් ඈඳී ඇති අතර, ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලකම පාහේ භික්ෂු සංවිධාන බිහිවීම හා ජාතික භික්ෂු පෙරමුණ වැනි සංවිධාන බිහිවීම ද මෙරට භික්ෂු දේශපාලනයේ  වැදගත් සංධිස්ථාන ලෙස පෙන්වා දිය හැක.
 
ඉනික්බිති රට පාලනය කරන තැන  පටන් පුංචි ආණ්ඩුව හෙවත් පළාත් පාලන ආයතන දක්වා ද භික්ෂුන්ගේ නියෝජනය දැකගත හැකි වූ අතර කලින් කලට ඒ හා සම්බන්ධව මතුවූ පක්ෂ විපක්ෂ  කතාබස් ද විවිධාකාර බැව් මෙහිලා කිවමාන ය.
 
මැති සබය හෙවත් පාර්ලිමේන්තුවට පිවිසි භික්ෂුන් වහන්සේලා  පිළිබඳව කතා  කරද්දී  අමතක කරනු  අසීරුම චරිතයකි, ආචාර්ය බද්දේගම සමිත හිමි. සමසමාජ  පක්ෂයෙහි විධායක සභිකයකු    වූ     උන්වහන්සේ  2001-2004 වකවානුව තුළ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අතර, ඉනික්බිති පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණ කිහිපයකටම ඉදිරිපත් වුවද ඒ එකකිනිඳු ජයග්‍රහණය කිරීම උන්වහන්සේට නොහැකි විණි. වර්ෂ 2019 දී පමණ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස ද සමිත හිමියෝ කටයුතු කළහ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පරාජයෙන් අනතුරුව කරළියට ආ ‘මහින්ද සුළඟේ’ වේදිකාවේ ද ප්‍රමුඛතම කථිකයකු වූ  උන්වහන්සේ පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ 2019 අප්‍රේල් මස 21 වැනිදා තවත් භික්ෂුන් වහන්සේලා පනස් නමක්ද සමඟින් කටුවපිටිය ගම්මානයට වැඩම කර  සහෝදර කතෝලික ජනතාවගේ දුක සැප ද විමසූහ. 2020 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ‘පොහොට්ටුව’ ලකුණින්  උන්වහන්සේ තරග කළ ද ඉන් පරාජයට පත්වූ අතර, 2021 වර්ෂයේ මැයි මස 30 වැනිදා  උන්වහන්සේ අපවත් වූයේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙනි.
 
ගංගොඩවිල සෝම හිමිගේ අපවත්වීමත් සමගම මෙරට තුළ යම් බොදු පිබිදීමක් ඇතිවූ බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. එහි උච්චතම              අවස්ථාවක් ලෙස ‘ජාතික හෙළ උරුමය’ නමැති දේශපාලන බලවේගය බිහිවීම පෙන්වාදිය හැකි අතර 2004  වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට ද එම කණ්ඩායම ඉදිරිපත් විය. 1990 වර්ෂයේදී පමණ ආරම්භ වූ‘ ජනතා මිතුරෝ’ නමැති සංවිධානය ඉනික්බිති ‘සිංහල වීර විදහන’ හා ‘සිහළ උරුමය’ යනාදි වශයෙන්ද විවිධ මුහුණුවර ඔස්සේ  පෙරට පැමිණියේය. ‘සිහළ උරුමය’ නමැති දේශපාලන පක්ෂය 2004 වසරේදී සඟ සතුකර පිදීමක් සිදුවූ අතර, පක්ෂයේ සමාරම්භයම බොහෝ විරෝධාකල්ප සමාජය තුළ මතුකළ එකක් ම විය. 
 
එවකට ඔවුන්ගේ සටන් පාඨය වූයේ ‘ධර්ම රාජ්‍යයක් උදෙසා පාරමිතා පෙළහර’ යන්නයි. පක්ෂයේ සමාරම්භය මෙන්ම භික්ෂුන් දේශපාලනයට පිවිසීම ද බොහෝමයක් අයවලුන්ගේ විවේචනයට  පවා ලක්වූත් උගත් මධ්‍යම පාන්තිකයන් බහුතරයකගේම සහයෝගය එම බලවේගයට ලැබුණු බව ද අමතක කරනු බැරි කරුණකි.   2004  අප්‍රේල් මස 02වැනිදා පැවැති මහ මැතිවරණයේ දී එම පක්ෂයට හිමිවූ  මන්ත්‍රී  ආසන ගණන 9කි. ඇතැම් තැන්වලදී ප්‍රධාන දේශපාලන පක්ෂ පවා අබිබවා යමින්  ඡන්ද දිනාගැනීමට ‘ජාතික හෙළ  උරුමය’ සමත්කම් පෑවේය. එදවස හිමිවූ මන්ත්‍රී ආසන නවයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ද ඇතුළත් වූ අතර ඕමල්පේ සෝභිත හා එල්ලාවල මේධානන්ද යන හිමිවරු ජාතික ලැයිස්තුවෙන් මැතිසබයට පිවිසියහ.   
 
2004 මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමයෙන් තේරී පත්වූ මන්ත්‍රී හිමිවරුන් හා එකී හිමිවරුන් ලබාගත් මනාප ඡන්ද ගණන් මෙසේය.
 
  • උඩුවේ ධම්මාලෝක හිමි - 42,850
  • කොටපොළ අමරකිත්ති හිමි 26,539
  • කතලුවේ රතනසීහ හිමි - 10,512
  • කොලොන්නාවේ සිරි සුමංගල හිමි - 25,154
  • අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි - 7389
  • අතුරලියේ රතන හිමි - 10,772
  • උඩවත්තේ නන්ද හිමි - 10,846
 
මේ අතුරින් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිසබයට පිවිසි රතනසීහ හිමියෝත් ගම්පහින් මැතිසබයට පිවිසි කොලොන්නාවේ සිරි සුමංගල හිමියෝත් පසුකාලීනව  මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්වූහ. එවකට කතානායකවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්දයේ දී හෙළ උරුමයේ භික්ෂුන් වහන්සේලාගේ ඡන්දය අතිශය තීරණාත්මක  එකක් විණි. එහිදී භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගනිමින් තාඩන පීඩන පවා එල්ල වූ බව ප්‍රකට කරුණක් වූ අතර, පසුකාලීනව එම පක්ෂ අභ්‍යන්තරයේ ද විවිධ මත ගැටුම් හටගත් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ‘සිහළ උරුමයේ’ නායක තිලක් කරුණාරත්න එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැඳගත් බවත් තතු දන්නෝ කියති.
 
ඉනික්බිති මෙරට දේශපාලන ධාරාව තුළ භික්ෂුවගේ නියෝජනය තව තවත් පුළුල්ව දැකගත හැකි පරිසරයක්ද නිර්මාණය විණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනපතිනියගේ නිල කාලය අඩුකර ගැනීම සම්බන්ධයෙන් වූ පෙත්සමක්ද ඉදිරිපත් කෙරුණේ ජාතික හෙළ උරුමයේ මැදිහත්වීමෙනි. 
 
2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂට සහයෝගය දැක්වීමට ද එම පක්ෂය තීරණය කළ අතර, ඉකුත් ජනාධිපතිවරණයේ දී අක්මීමන දයාරතන සහ බත්තරමුල්ලේ සීලරතන වැනි හිමිවරුන් ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීම ද භික්ෂු දේශපාලනයේ දිගුවකැයි යන්න බහුතරයකගේ අදහස වී තිබේ.
 

අමිල දොළපිහිල්ල