පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක
43 සේනාංකය ආණ්ඩු බලය අල්ලන උපක්‍රමයක්ද ?
- මධ්‍යම පන්තිය හැමදාම දේශපාලන උගුලකට රැවටෙනවා
- මහින්ද පැරදුණේ අපි එළියට ආ නිසයි
- 43 සේනාංකය මගෙ වැඩක් නෙවෙයි. මේක සාමූහික ප්‍රයත්නයක්
- වත්මන් අභියෝග ජයගන්න සමගි ජනබල වේගය ප්‍රමාණවත් වෙන්නෙ නෑ
අපි මේ සංවිධානය පිහිටෙව්වට පස්සේ බොහෝ දුරට මේ කොවිඩ් ප්‍රශ්නය බලපෑවා. නමුත් අපි අලුත් තාක්ෂණය පාවිච්චි කරලා වැඩකටයුතු කරගෙන ගියා. සූම් තාක්ෂණය ඔස්සේ තමයි ගොඩක් රැස්වීම් එහෙම පැවැත්වූවේ. අපි මේකෙදි තල තුනකින් වැඩ කළා. ක්ෂේත්‍ර කීපයක් ඉලක්ක කරගෙන ප්‍රතිපත්ති සභාවක් හැදුවා. ආර්ථිකය, ව්‍යවස්ථා සංශෝධනය, සෞඛ්‍යය, අධ්‍යාපනය, සංස්කෘතිය, පරිසරය වගේ කාරණා මෙහිදී සැලකිල්ලට ගත්තා. මේ සඳහා අපිට දායකත්වය දුන්නේ අත්දැකීම් බහුල වෘත්තිකයින්, විද්වතුන්, සමාජ ක්‍රියාකාරින් වගේ පිරිසක්. අපිට මේ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා විශාල අදහස් යෝජනා ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් වුණා. ඒ වගේම දිස්ත්‍රික්ක විසිදෙකේම ප්‍රාදේශීය වශයෙන් අපේ සංවිධානය පිහිටෙව්වා. ඒක තවදුරටත් ව්‍යාප්ත කරමින් මැතිවරණ ආසන එකසිය හැටෙන් එකසිය විස්සකට පමණ අපි මේක ගෙනිච්චා. අද ඔවුන් ඒක වට්ස්ඇප් ගෲප් බවට පරිවර්තනය කරල තියෙන්නේ. ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන්ගේ සංවිධාන ව්‍යූහයක් පිහිටුවල තියෙනවා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු විවිධ කණ්ඩායම් වල වට්ස්ඇප් ගෲප් දෙසීයතිහක් විතර මේ සඳහා පිහිටුවලා තියෙනවා. රට පුරා දසදහසකට වැඩි පිරිසක් සක්‍රීයව මේ වටා එකතුවෙලා ඉන්නවා.
• මේක දේශපාලන පක්ෂයක් එහෙම නෙවෙයිද?
නෑ. පැහැදිලිවම කියන්න ඕන මේක දේශපාලන පක්ෂයක් නෙවෙයි. අපේ අරමුණ 43 නිදහස් අධ්‍යාපනයෙන් මතුවෙච්ච මේ පිරිස විධිමත් සංවිධානයකට අරගෙන රටේ ඉදිරි මගට සක්‍රීයව දායක කරගැනීම. මේ රට මැදි ආදායම් රටක් බවට පත් වුණාට පස්සේ ලොකු මධ්‍යම පන්තියක් ඇති වුණා. මේ මධ්‍යම පන්තිය හුඟක් වෙලාවට ඉන්නේ පක්ෂවල නෙවෙයි. පාක්ෂිකයාය කියන පුද්ගලයට ප්‍රතිපත්තියක් නෑ. ඔහු පක්ෂයේ නායකයා මොකද කරන්නේ ඒ අනුව ක්‍රියා කරනවා. තවත් පිරිසක් තමන්ට ලැබෙන වරදාන වරප්‍රසාද මත ඡන්දය පාවිච්චි කරන නමුත් එහෙම නැති යම් මතයකට අදහසකට ගොනු වෙන පිරිසක් තමයි මේ මධ්‍යම පාන්තික පිරිස. මේක හොඳට මතුවෙච්ච අවස්ථාවක් තමයි 1993 දකුණු පළාත් සභා මැතිවරණය සහ 1994 මහ මැතිවරණය. ඒ අවස්ථාවේදී පරාජය කරන්න බෑ කියල ඉඳපු එක්සත් ජාතික පක්ෂය පරාජය කළා. ඒකට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මව් පෙරමුණ වගේ සංවිධාන සහ සංවිධානය වෙච්ච මධ්‍යම පන්තිය තීරක කාර්යභාරයක් කළා. හැබැයි ප්‍රතිඵලය වුණේ් ටික දවසක් යනකොට ඒ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ගැන ඒ පිරිස අතරෙම විශාල කලකිරීමක් ඇතිවුණා. විශේෂයෙන්ම 1997 වයඹ ඡන්ද කොල්ලය වගේ සිද්ධි මේකට බලපෑවා. ආපහු මේ වගේ බලවේගයක් ගොඩනැගුණා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් පිහිටුවල එල්.ටී.ටී.ඊ. එකත් එක්ක සාම ගිවිසුම අත්සන් කළාට පස්සේ ජාතිකවාදී කඳවුරේ. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි මහින්ද රාජපක්ෂ බලයට ආවේ 2005 දී. 2015 මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණයටත් මේ මධ්‍යම පන්තිය දැඩි බලෑමක් වුණා විශාල වශයෙන් සංවිධානගත නොවුණත් ඒකෙදි විවිධ සිවිල් සංවිධාන ලොකු කාර්යයක් කළා. ඒ ආණ්ඩුවත් ඉතාම කෙටි කාලයකින් පිරිහීමට ලක්වුණා. ගෝඨාභය රාජපක්ෂටත් විවිධ සිවිල් සංවිධාන සහ මධ්‍යම පාන්තික සහයෝගය ලැබුණා. ඒත් ඒ අයත් මේ වන විට අන්තෙටම කලකිරිලා. ඒක කොච්චරද කියනව නම් තමයි ඒ පැත්තට ඡන්දය දුන්නා කියලා අද කියන්න තරම් ලැජ්ජාවක් ඇතිවෙලා තියෙනවා ඒ අයට. මෙතනදී පේන පොදු කාරණය තමයි අසංවිධානාත්මකව ඉන්න මේ මධ්‍යම පාන්තික පිරිස හැමදාම දේශපාලන නායකයින්ගේ උගුලකට අහුවෙලා රැවටෙන එක. ඔවුන් මේ පිරිස ඡන්දයට පාවිච්චි කරල විසිකරලා දාන බවක් තමයි පේන්නේ. ඡන්දයෙන් පස්සේ මේ පිරිස දේශපාලන නායකයෝ විසින් ගණන් ගන්නේ නෑ. අපි කල්පනා කළේ මේ පිරිස දේශපාලන නායකයින්ට පාවිච්චි කරන්න නොදී ඒ සමාජ කණ්ඩායම්වල ප්‍රබල බලපෑම් කණ්ඩායමක් කරපු සමාජ දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒකෙ ආරම්භක පියවර වසරක් ගතවෙද්දි සාර්ථකයි කියල අපි හිතනවා.
• ඔබ කියපු විදියට විටින් විට දේශපාලන නායකයින් ‘මිස්යූස්’ කරපු ඒ මධ්‍යම පන්තිය ඔබලත් කරන්නේ ඔබලගේ ව්‍යාපාරයට ‘යූස්’ කරන එක නෙවෙයිද?
නෑ. එහෙම දෙයක් වෙන්නේ නෑ. ඒකෙන් අපේ වැඩේ වෙනස් වෙන්නෙම මේක අපි කරන්නේ කිසිම යටි අරමුණකින් නොවන නිසා. විවිධ මතවාද දරණ අය මේකෙ ඉන්නවා. විවිධ කඳවුරුවල ඉඳපු අය මේකෙ ඉන්නවා. ඒ හැමෝම ඒ අයගේ අනන්‍යතා හඳුනගෙන, සීමා සහිතකම් අඳුනගෙන හොඳ අවබෝධයෙන් තමයි මෙතන වැඩ කරන්නේ. මේක අලුත් මගක්. අපි මේකට සම්බන්ධ කරගෙන ඉන්නෙම රටට යමක් කරපු මිනිස්සු. වැඩක් කරල පෙන්නපු අය. අපේ මේ වෑයම හුදු පක්ෂයක් හෝ පුද්ගලයෙක් රජ කරවන්න එහෙම නෙවෙයි. ඒක හරි පැහැදිලියි.
• මේකෙ මැතිවරණ ඉලක්කයක් ඇත්තෙම නෑ කියල ද කියන්නේ?
මෙහෙමයි. මැතිවරණ පිළිබඳ දැනට අපිට අදහසක් නෑ. නමුත් දේශපාලන අරමුණක් තියෙනවා. ඒ දේශපාලන අරමුණ තමයි මේ රට දැන් පත්වෙලා තියෙන දරුණු ආර්ථික ව්‍යසනය ඇතුළු සියලු ආකාර ප්‍රශ්නවලින් රට මුදා ගැනීම සහ රටට ඔරොත්තු දෙන, ගැලපෙන, කල්පවතින සමාජ ආර්ථික වැඩපිළිවෙලක් රට තුළ ස්ථාපිත කිරීම, ඒ වගේම මේක මෝරා ගිය අවස්ථාවක දේශපාලන ක්‍රියාකාරිත්වයකට මේකෙ ඉන්න පුද්ගලයින් යොමුවෙන්න පුළුවන්.
• මේකත් අවසානයේ සිංහල උරුමය හරි හෙළ උරුමය වගේ තැනකින් නවතිනව කියල නෙවෙයි ද ඔය නොකිය කියන්නේ?
නෑ. හෙළ උරුමය පිහිටුවීම කාලීන අවශ්‍යතාවයක්නේ. සිංහල උරුමයත් එහෙමයි. ඒව ඒ මොහොතේ රට පැවතුණු තත්ත්වයට අනුව සිද්ධවුණු ප්‍රතික්‍රියාවක ප්‍රතිඵල. නමුත් 43 සේනාංකය මේ මොහොතේ රට ආර්ථික අතින් වැටිලා තියෙන තත්ත්වයට වෘත්තීය ප්‍රවේශයකින් විසඳුම් සෙවීමට මුල පිරීමක්. ඒ වෙනුවෙන් සක්‍රීය මැදිහත් වීමක් බලාපොරොත්තුවෙන් සිදුකෙරෙන පුළුල් ව්‍යාපාරයක්. මේකෙ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාම ඉන්නවා.
• 43 ගැන හෝඩුවාව එළියට ආපු ගමන් කතාබහ ඇවිස්සුණෙ ඔන්න චම්පික සුපුරුදු සෙල්ලම පටන් අරගෙන කියල. ඉන්න තැන වැඩේ අල කරල සද්දයක් දාගෙන එළියට බහින්න හදන්නෙ කියල තමයි සමහරු හිතුවෙ. ඇත්තටම එහෙම ද වෙන්නේ?
මේ රටේ පක්ෂවල ඉන්නවනෙ පක්ෂවලටම ඇලිච්ච අය. ඒ අය හිතන්නේ ඒ අය ඒ පක්ෂවල අවුරුදු විසිතිස් ගණනක් ඉන්න එක හරි ලොකු ප්‍රතිපත්තියක් කියලා. එහෙම නෑ. ඒ නායකයින්ගේ ප්‍රතිපත්ති තමයි පක්ෂයෙත් ප්‍රතිපත්තිය. එහෙම නැතුව මේ රටේ පක්ෂවලට ප්‍රතිපත්ති නෑ. අපි නම් එහෙම හිත හිත ඉන්නේ නෑ. අපි හැම වෙලාවෙම නිශ්චිත අරමුණු ඉෂ්ඨප්‍රාප්ත කරගැනීමට කටයුතු කරල තියෙනවා. සමගි ජනබලවේගය කියන්නේ ඓතිහාසික ප්‍රතිඵලයක්. 2015 දී එක්සත් ජාතික පක්ෂයට අවස්ථාවක් ලැබුණා රට කරන්න. ඔවුන්ට ඒක කරගන්න බැරිවුණා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි සමගි ජනබලවේගය බිහිවෙන්නේ. ඒත් අපි හිතනවා වත්මන් අභියෝගය ජයගන්න සමගි ජනබලවේගය ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඒකෙ ශක්තියත් එක්ක අපිට අවශ්‍යයි පුළුල් දැනුවත් සමාජ ව්‍යාපාරයක්. සමාජය වෙනස් කළ හැකි සමාජ ව්‍යාපාරයක්. නැත්නම් නැවතත් සිද්ධවෙන්නේ හුදු පිල් මාරුවකින් වැඩේ කෙළවර වීම. හුදු පිල් මාරුවකින් මේක ජයග්‍රහණය කරන්න බෑ කියන අදහසේ තමයි අපි ඉන්නේ.
• 43 සේනාංකය නිසා සමගි ජනබලවේගයේ සමගිය දෙදරල ගියා කියල ආණ්ඩුව නම් කියනවා.
නෑ. ඒක ආණ්ඩුවෙ අය සහ මේ ගැන හරි අවබෝධයක් නැති පිරිස් පතුරුවන පට්ටපල් බොරුවක්. කිසිම දෙදරීමක් සිදුවෙලා නෑ සමගි ජනබලවේගය ඇතුළෙ. අපේ සමුළුවටත් අපි සමගි ජන බලවේගයට ආරාධනා කළා. ඒකට එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරත් තලතා අතුකෝරලත් සහභාගි වුණා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඒ හැම කෙනාටම දුන්නා. තවත් දේශපාලන පක්ෂ ගණනාවක් මේ අවස්ථාවට සහභාගි වුණා. අපි ඒ හැම කෙනා එක්කම සාකච්ඡා කරන්න සූදානම් මේ ගැන.
• මේ වගේ සංවිධාන මොන කතන්දර කියාගෙන ආවත් අවසානයේ ඉස්මතු වුණේ එක නායකයෙක්. මේකත් චම්පික උස්සන වැඩක් තමයි කියලත් සමහරු කියනවා.
තව ජනාධිපතිවරණයක් එන්න අවුරුදු කීපයක් තියෙනවා. අවුරුදු කීපයක් නෙවෙයි සුමාන කීපයක්වත් රට තියෙයිද කියල සැකයි මේ යන හැටියට. එහෙම වුණොත් කාටවත් මේ රටේ දේශපාලනය කරන්න හම්බවෙන්නෙ නෑ. ඒක නිසා තමයි ‘ගොඩ එමු’ කියන තේමාව යටතේ මේ වැඩේ දියත් කරන්නේ. මේක චම්පික රණවකගෙ වැඩක් නෙවෙයි. මේක රටේ වැඩක්. රටේ අවශ්‍යතාවය උඩ මට සිද්ධ වුණා මේකට මූලිකත්වයක් ගන්න. නමුත් මේක සාමුහික ප්‍රයන්තයක්.
• ඇත්තටම මේක ඇතුළෙ චම්පිකගෙ රෝල් එක මොකක්ද?
මම දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක්නෙ. මම පවුල් පරම්පරාවක් නිසා නෙවෙයිනෙ මෙතන ඉන්නේ. අපි නිතරම රටේ අර්බුද හමුවේත් අර්බුද ජයගැනීම සඳහා ප්‍රායෝගික කටයුතු කරපු, කටයුතු කරන අය. අපි අපිම උපයා ගත් දේශපාලන ශක්තියක් තියෙන උදවිය. අපි වැඩ කරපු තැන් සාර්ථකත්වයේ ඉහළටම ගෙනාවා. අවුරුදු 13 ක් අමාත්‍යාංශවල වැඩ කළා. ඒවයි කිසිම අර්බුදයක් සිද්ධ වෙන්න දුන්නේ නෑ. මම කරපු වැඩ අසාර්ථකයි කියන්න කාටවත් ඉඩක් නැ. විරුද්ධවාදීන් එක එක කෙඳිරිගෑම් කළාට අපි වැඩ කළේ කොහොමද කියල රටම දන්නවා. ඒ හැම අවස්ථාවකම ඒව මම තනියම කරපු විප්ලව නෙවෙයි. මාත් එක්ක හොඳ කණ්ඩායමක් හිටියා. මම ඒකට නායකත්වය දුන්නා. මෙතැනත් එහෙම තමයි.
• 43 වැඩේ ගැන සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිචාරය එහෙම කොහොමද?
ඇත්තටම ඒක එතුමගෙන් ඇහුවොත් මට වඩා හොඳට පිළිතුරු දෙයි.
• නෑ මම අහන්නේ මේ ගැන සජිත් ප්‍රේමදාස ඔබට දක්වපු ප්‍රතිචාරය කොයි වගේද කියලා. මේ ගැන ඔහුත් එක්ක කතාබහ කළාද?
ඔව්. අපි මේ ගැන සාකච්ඡා කරල තියෙනවා. අපි අපේ අදහස එතුමට කියල තියෙනවා. දැන් තවදුරටත් මේ රට ඉදිරියට ගෙනියන්න සාම්ප්‍රදායික පැරණි මතවලට බෑ. මේ රට අද තියෙන තත්ත්වය 48 ඉඳන් හිටපු හැම දේශපාලකයම වගකියන්න ඕනෑ කියල අපි කියන්නේ නෑ. ඒ කාගෙ කාගෙත් හොඳ දායකත්වයක් වගේම අයහපත් දේත් තියෙනවා. අපි 48 ඉඳන් රටට ලබා ගත්තු ජයග්‍රහණ රාශියකුත් තියෙනවනේ. හැබැයි අද මේ තියෙන ආර්ථික අර්බුදය නම් සම්පූර්ණයෙන්ම 2005 - 2015 මහින්ද රාජපක්ෂ සමයේ ගිනි පොළියට වැල් පොලියට ණය අරගෙන කරපු විශම ආයෝජනයක ප්‍රතිඵල හා ඒ හරහා සිද්ධවෙච්ච දැවැන්ත මුදල් කොල්ලයක ප්‍රතිපල.
• 2005 - 2015 කාලයේ චම්පිකත් ප්‍රබල ඇමැතිවරයෙක් ඔය ටික එදා දැක්කෙ නැද්ද?
මොකද නැත්තේ? මම මේක කල්තියා අනතුරු අඟවලා තියෙනවා. මම වැඩ කරපු අමාත්‍යාංශ එකකවත් ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තිබ්බෙත් නෑ. මගේ අමාත්‍යාංශ සියල්ලම ලාභ උපයන තත්ත්වයට මම ගෙනාවා. මම කිසිම විශම ආයෝජනයකට අපේ වපසරිය ඇතුළෙ ඉඩ තියල නෑ. අනික මේ රට පාලනය කරන්නේ කැබිනට් මණ්ඩලය කියල කිව්වට එහෙම එකක් නෑ. මේ රට හැම තිස්සෙම පාලනය කරන්නේ නායකයා සහ ඔහු වටා ඒකරාශි වෙන සුළු කණ්ඩායමක්. කැබිනට් මණ්ඩලයට සාමූහික වගකීමක් තියෙනවා කියල තිබුණට එහෙම එකක් නෑ. හැබැයි අපිට පුළුවන් හැම ආකාරයකින්ම රට හොඳ අතට ගන්න අපි බලපෑම් කරල තියෙනවා. මහින්ද රාජපක්ෂ ප්‍රභාකරන් එක්ක යුද්දෙකට යයිද අපි බල කළේ නැත්නම්. ඔහු එතෙන්ට තල්ලු වුණේ අපි නිසා. ඒ නිසා තමයි රටට අද නිදහස ලැබුණේ. ඒ වගේම 2015 මහින්ද රාජපක්ෂ පරදියි කියල හිතනවද අපි එළියට ආවෙ නැත්නම්, රනිල්ල ඉබේම දිනුව කියලද හිතන්නේ? එහෙම නෑ. අපි හැම වෙලාවෙම හරි තීන්දු ගත්ත. හැබැයි නායකයෝ වැරදි පාරවල් වල ගියා දිගින් දිගටම.
• 43 සේනාංකය ඇතුළෙ ප්‍රබල සෝෂල් මීඩියා බළකායක් ඉන්නවනේ. චම්පික ඔවුන් ඉදිරි දේශපාලන මතය හසුරුවන්න යොදා ගන්නවද?
අද වෙනකොට සමාජ මාධ්‍ය විසින් සමාජය බලාත්මක කරල තියෙනවනේ. තවදුරටත් පත්තරේක කර්තෘ කෙනෙකුට ටී.වී. චැනල් වල අයිතිකරුවන්ට රේඩියෝ චැනල්වල අයිතිකරුවන්ව හසුරුවන්න බෑ ඔවුන්ට ඕනැ ඕනෑ හැටියට. පහුගිය කාලේ සමාජ මාධ්‍ය මේ තරම් ප්‍රබල තැනක නොතිබුණා නම් මේ රටේ තත්ත්වය කොහොම වෙන්න තිබුණාද. එහෙනම් ජාවාරම්කාරයින්ට අයිති මාධ්‍ය නාළාකා කරපු දේවල් එළියට එන්නේ නෑ. සමාජ මාධ්‍ය නිසා තමයි ජනතාව අද ඇත්ත නැත්ත ඇත්තටම දැන ගන්නේ. ඒක ඇතුළෙ ඕන කෙනෙකුට අදහස් පළ කරන්න අවස්ථාව තියෙනවා. ඇත්ත දැනගන්න අවස්ථාව හිමිවෙලා තියෙනවා. අපිත් ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා. හැබැයි ඒක කැත විදියට පාවිච්චි කරන සමහරු වගේ අපි වැඩ කරන්නේ නෑ. සමාජ මාධ්‍ය අවභාවිතා කරන අය ඕනැ තරම් අද ඉන්නවා. ඒවට අපි කවදත් විරුද්ධයි. ඒවා නියාමනය කළ යුතුයි. මේ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අපි අපේ වැඩවලට පාවිච්චි කරනවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ.
• 43 සේනාංකය වටා ඉන්නවා කිව්වෙත් විද්වතුන් වෘත්තිකයන් ප්‍රගතිශීලි සමාජ ක්‍රියාකාරිකයින්, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය වටා ඉන්නෙත් එහෙම පිරිසක් ඉදිරියේදී මේ දෙක හැප්පෙයිද?
එහෙම හැප්පෙන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නෑ. NPP එක තියා කා එක්කවත් අපිට තරගයක් නෑ. අපි අපේ වැඩපිළිවෙළට අනුව අපේ ගමන යනවා. ඒ අය ඒ අයගෙ ගමන යයි. රටේ ජනතාව මේ ගැන අවබෝධයක් ලබා ගනීවි.
• ඔබට විරුද්ධව අදහස් පළ කරන සමහරු කියන්නේ තමන්ගේ අතින් වෙච්ච රිය අනතුරක්වත් නිසි පරිදි කළමනාකරණය කරගන්න බැරි මිනිස්සු කොහොමද රටක් කරන්නේ කියලා.
ඒක ඇත්ත කතාව නෙවෙයිනේ. ඒ රිය අනතුර සමහර මාධ්‍ය රටට පෙන්නපු විදියෙ විශාල වැරැද්දක් තියෙනවනේ. ඔය ජඩ මාධ්‍ය කිව්වේ රාජගිරියේදී තරුණයෙක් යටකොට පලා ගියා කියලනේ. මේ ගැන නඩුවක් ගියානේ. නඩුවෙන් ඔප්පු වෙච්ච දෙයක් තියෙනවනේ. ඒක අර ජඩ මාධ්‍ය උලුප්පපු දේ නෙවෙයිනේ. මේ ආණ්ඩුව පුද්ගලයෙක් සහ මාධ්‍ය කීපයක් එක්ක එකතුවෙලා වෙනම නාට්‍යයක් හදලා මේ සිද්ධිය වෙනම පැත්තකට ඇදගෙන ගියා. ඒ නඩුව ඉවර කරල විසඳුමක් දුන්න. ඒ නඩු නිමිත්තම පදනම් කරගෙන තවත් නඩුවක් දාන්න බැ කියලා. අපිත් නඩුවක් දාල තියෙන්නේ. මට දේශපාලන වශයෙන් කරන්න චෝදනාවක් නැති වුණාම ගහන මඩක්නේ මේ.
• හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළියෙ කියල කතාවක් තියෙනවනේ. ඔබ මොනව කිව්වත් ඊළඟ ජනාධිපතිවරණ සටනට ඔබේ නමත් කියවෙනවනේ. අවංකවම කියන්න එහෙම හීනයක් නැද්ද?
මම කලිනුත් කිව්ව වගේ මම අද මෙතන ඉන්නේ දේශපාලන පවුල් පසුබිමකින්වත් ප්‍රධාන දේශපාලන පක්ෂයක කාලයක් තිස්සේ ඉඳලවත් නෙවෙයි. කාලීන දේශපාලන අවශ්‍යතා උඩ ප්‍රායෝගික දේශපාලන පියවර අරගෙන හැම විටම තීරණාත්මක බලවේගයක් බවට පත්වීමෙන්. අපි මේ රටේ නිර්මාණශීලි දේශපාලනයක් කරුපු අය. අපි ඉන්න ඕනැ තැන ඉදිරි සමාජ දේශපාලන තත්ත්වය තීරණය කරාවි. මම ජනාධිපති වෙනවද නැද්ද කියල කියන්න මේක අවස්ථාව නෙවෙයි.
• බැරිවෙලාවත් ඔබ රටේ නායකයා වුණොත් ඇත්තටම ‘ඉන්න හිතෙන රටක්’ හදන්න පුළුවන් ද මේ යන තාලෙට?
මොකද බැරි. අපිට පුළුවන් ඒකට හරි වැඩපිළිවෙලක් සහ දැක්මක් අවශ්‍යයි. ඉන්න හිතෙන රටක් හදන්න ඕනැ. ඊට කලින් රට මේ තියෙන බංකොලොත් තත්ත්වයෙන් වහාම මුදා ගන්න ඕනැ.
ප්‍රියන්ත කොඩිප්පිලි