මම පොහොට්ටුවේ අපේක්ෂකයා පිළිගන්නවා


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත් කළ මන්ත්‍රී 
සරත් අමුණුගම  

 

 

ජනාධිපතිවරණ වඩදිය රැල්ල නැගෙමින් තිබෙන පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සිදුකරන සාකච්ඡාවල ප්‍රගතිය විමසා දැන ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රී සරත් අමුණුගම මහතා සමග කළ සාකච්ඡාවකි.

 

 ප්‍රශ්නය  - ඔබ දැන් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද? පොහොට්ටුවද?  


පිළිතුර - මම සම්පූර්ණයෙන්ම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මම 1999දී එක්සත් ජාතික පක්ෂයෙන් අස්වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගත්තා. ඊට පස්සේ කිසිම දවසක මම ඒ සාමාජිකත්වය වෙනස් කළේත් නෑ. ඒ සාමාජිකත්වයට ඇති ගරුත්වයට හානිකර විදියට කටයුතු කරලත් නෑ. මම දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක්.  


 ප්‍රශ්නය  - එහෙම පක්ෂයක් දැන් පොළොවෙ නෑ කියලත් සමහරු කියනවා?  


පිළිතුර - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙනවා. ලංකාවේ ඉතාම හොඳ ඉතිහාසයක් තියෙන පක්ෂයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එක්සත් ජාතික පක්ෂයට තිබුණු එකම විකල්පය මේ පක්ෂයයි. වාමාංශික පක්ෂ තිබුණා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගීමත් එක්කම ඒ හා සමාන්තරව වම වැටිලා දැන් නැතිවෙලා ගිහින් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ තිබිය යුතුයි. ශ්‍රී ලංකා එකේ ඉන්න අයත් පොහොට්ටුවේ ඉන්න හුඟ දෙනෙකුත් එකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අය. මං හිතන්නෙ නෑ පොහොට්ටුවේ කවුරුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම මහ පොළොවෙන් අතුගා දැමිය යුතුයි කියලා හිතනවා කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පක්ෂ විශාල සංඛ්‍යාවක් සන්ධානගතව ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් තමන්ගේ අනන්‍යතාව රැකගෙන එතැන ඉන්න පුළුවන්.  

 

එජාප විරෝධී ජනාධිපති කෙනෙක් බිහිකර ගැනීම අපේ අරමුණයි


 ප්‍රශ්නය  - පක්ෂ දෙක අතර සන්ධානගතවීමකට දැන් සාකච්ඡාවක් යනවා. වැඩේ සාර්ථක වෙයිද?  


පිළිතුර - ඔව්! එහෙම සාකච්ඡාවක් දැන් යනවා. යම් යම් ප්‍රශ්න තියනවා නම් අපට ඒවට මුහුණ දෙන්න පුළුවන්. අපේ අරමුණ තමයි එජාප විරෝධි ජනාධිපති කෙනෙක් බිහිකරගැනීම. ඒක අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ගමන් ඉටුකර ගන්න පුළුවන්.  


 ප්‍රශ්නය  - එතකොට මේ සාකච්ඡා කෙරෙන්නේ මොනවා ගැනද?  


පිළිතුර - අපේ මධ්‍යම කාරක සභාව තීරණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක වැදගත් සාකච්ඡාවක් කළ යුතුයි කියලයි. එහෙම සාකච්ඡා කිහිපයක්ම ගිහින් තියෙනවා නිල වශයෙන්. ඊට අමතරව ජනාධිපතිතුමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමයි අතරත් නිරන්තර සාකච්ඡා ඇතිවෙලා තියෙනවා. ඊට අමතරව අපි දීර්ඝ කාලයක් එකට හිටපු අයනේ. අපි හතුරු බලවේග නොවෙයි. වෙන මට්ටම්වලිනුත් අපි සාකච්ඡා කරනවා. නිල සාකච්ඡා වගේම නොනිල සාකච්ඡා යනවා. අපේ අරමුණ තමයි පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම.  


 ප්‍රශ්නය  - දැන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා තියෙනවනේ. පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ?  


පිළිතුර - ඔව්! ඔහු තමයි අපේක්ෂකයා.  


 ප්‍රශ්නය  - ඒ අපේක්ෂකත්වය ඔබ පිළිගන්නවද?  


පිළිතුර - අනිවාර්යයෙන්ම ඔව්!  


 ප්‍රශ්නය  - ගෝඨාභයගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගැටලුවක් නෑ?  


පිළිතුර - කිසිම ගැටලුවක් නෑ. ඒ ප්‍රතිපත්ති මම පිළිගන්නවා.  


 ප්‍රශ්නය  - එහෙනම් ඉතින් සන්ධානගතවීම විතරයිනේ ඉතිරි වෙලා තියෙන්නේ?  


පිළිතුර - මමත් මේවා දකින්නේ මාධ්‍යයෙන්. අපේක්ෂකයාගේ ලකුණ ගැන ප්‍රශ්නයක් තියෙනවලුනේ. අපෙන් සාකච්ඡාවලට යන අය කියනවලු පොදු ලකුණකින් එන්න ඕනෑ කියලා. ඒක විශාල අර්බුදකාරී ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා.  


 ප්‍රශ්නය  - ඔබ කියන්නේ එහෙම අර්බුද හදාගන්න අවශ්‍ය නෑ කියලයි?  


පිළිතුර - එහෙම අර්බුදයක් තියෙනවානම් ඒකට මම ළඟ හොඳ උත්තරයක් තියෙනවා. අපි දැන් යන්නේ ජනාධිපතිවරණයට. ජනාධිපතිවරණයට එජාපයෙන් අපේක්ෂකයෙක් එනවද, එක්සත් ජාතික පක්ෂ විරෝධි පිලෙන් කිසිම සැකයක් නෑ ගෝඨාභය රාජපක්ෂ එනවා. ඒ නිසා මෙතැන ලකුණ ප්‍රශ්නයක් කරගත යුතු නෑ. ඒ ජනාධිපති අපේක්ෂකයාට අවශ්‍ය පරිදි ඒ ලකුණ තෝරාගන්න ඉඩ දෙන්න ඕනෑ.  


 ප්‍රශ්නය  - පොහොට්ටුව තමයි ලකුණ?  


පිළිතුර - එතුමාගේ තීරණය ඒකනම්, ඒක සාධාරණයි. මේ ජනාධිපතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය එනවා. ඒ ඡන්දය තවම නෑනේ. ඒ ඡන්දයට යනකොට අපිට පුළුවන් සාකච්ඡා කරලා පොදු ලකුණක් ලබාගන්න. අපි බැලුවොත් ඉතිහාසය, 1956 ඉඳන්ම මහ මැතිවරණවලට පොදු ලකුණුවලින් ඉදිරිපත් වෙලා තියෙනවා. 56දී ගියා, මැතිනිය 1970දී ගියා. ඒ නිසා මහ මැතිවරණයේදී උපක්‍රමශීලීව පොදු ලකුණක් ගැනීම ගැන සාකච්ඡා කළ හැකියි. ඒ නිසා මෙතැන මුහුද හත් ගව්වක් තියෙද්දී අමුඩ ගහගෙන ජනාධිපතිවරණයත් මේකට පටලවා ගන්න එක මගෙ අදහසේ හැටියට නම් එච්චර හොඳ වැඩක් නොවෙයි. මම කියන විසඳුම තේරුණානම් අර්බුදයකින් තොරව ඉදිරියට යන්න පුළුවන්. මේ විසඳුමට පොහොට්ටුවත් විරුද්ධ නොවේවි.  


 ප්‍රශ්නය  - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගණන් නොගෙන, දෙකේ කොළයට දාලා පොහොට්ටුව කටයුතු කරන නිසා නේද මෙහෙම ප්‍රශ්න මතුවෙන්නේ?  


පිළිතුර - මම හිතන්නේ නෑ ඒක එච්චර පිළිගත යුතු දෙයක් කියලා. සාකච්ඡාවෙදි ගන්න කරුණු තියෙනවනේ. ඔය එක කරුණක් ගැනනේ කතා කරන්නේ. ඒකට මම විසඳුම කිව්වනේ. අනික් ඒවා එච්චර ලොකු ප්‍රශ්න කියලා මම හිතන්නේ නෑ. මොකද මේ දෙගොල්ලොම ආවේ බණ්ඩාරනායක චින්තනයෙන්. බණ්ඩාරනායක මහත්තයාත් එක්ක දකුණු අත වගේ හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පියා. ඩී.ඒ. රාජපක්ෂ මහත්තය. මහින්ද රාජපක්ෂ මහත්තයත් දෙවරක් ජනාධිපති වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලින්නේ. ඒ නිසා මමනම් විශ්‍වාස කරන්නේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. පොදුජන පෙරමුණයි අතර විශාල ප්‍රතිපත්තිමය වෙනස්කම් තියෙනවා කියලා. එදා වියත් මග වැඩසටහනේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමන්ගේ ප්‍රතිපත්ති ගැන කිව්වනේ. ඒවා ඉතා ප්‍රගතිශීලි ඉදිරි දැක්මක් තියෙන, මේ රට දියුණු කරන්න හොඳ පදනමක් තියෙන ප්‍රතිපත්ති.  

 

ලකුණ ගැන ප්‍රශ්නයක් කරගත යුතු නෑ. අපේක්ෂකයාට අවශ්‍ය පරිදි ඒ ලකුණ තෝරාගන්න ඉඩදෙන්න ඕනෑ.


 ප්‍රශ්නය  - මේ මොහොතේ රටේ දේශපාලනය තුළ ව්‍යාකූලත්වයක් දකින්න තියෙන්නේ. මොනවා වෙයිද?  


පිළිතුර - ව්‍යවස්ථානුකූලව බැලුවමත් අගමැතිතුමයි, ජනාධිපතිතුමයි දෙපැත්තට අදිනවානම් රට ඉස්සරහට යන්නේ නෑ. පහුගිය අවුරුදු හතරාමාරේ ඛේදවාචකය තමයි මේ නායකයෝ දෙන්නගේ දෙපැත්තට ඇදීම. ඒ නිසා කරන්න තිබුණ වැඩවලින් බොහොම සුළු ප්‍රමාණයයි කරන්න පුළුවන් වුණේ. තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවා. කොමිෂන් සභා පත් කළා. ඒවා ගත්තොත් කරන්න තියෙන වැඩවලින් අංශුමාත්‍රයක් පමණයි. මුල ඉඳලම ජනාධිපතිතුමා එක පාරක යනවානම් අගමැතිතුමා තව පාරක ගියා. මම පහුගියදා සෑම් විජේසිංහ දේශනය කළා. එතැනදීත් මම මේ කතාව කිව්වා. මේ ව්‍යවස්ථාව යටතේ කිසිම විදියකින් රට දියුණු කරන්න බෑ. දියුණු කරන්න නම් ජනාධිපතිතුමයි, අගමැතිතුමයි අත්වැල් බැඳගත යුතුමයි. හැම මාතෘකාවක් යටතේම දෙදෙනාට තියෙන්නේ මත දෙකක් නම්, කැබිනට් මණ්ඩලය වාද පිටියක් හරි යුද පිටියක් හරි වෙනවා නම් රටට ඉස්සරහට යන්න බෑ.  


 ප්‍රශ්නය - ඒ කියන්නේ ජාතික ආණ්ඩු සංකල්පයම ප්‍රයෝගික නෑ?  


පිළිතුර - ඒක සංකල්පීය වශයෙන් මොනවා වුණත් අපේ පහුගිය අවුරුදු හතරාමාරේ අත්දැකීම් තියෙනවනේ. රජයකට අවශ්‍ය ඒකමතික හා අධිෂ්ඨානශීලී ඉදිරි ගමනක් තිබුණේ නැහැ කියලා පැහැදිලියිනේ. ගැටුම් තමයි මුල් තැන ගත්තේ. 

 
 ප්‍රශ්නය  - ඇත්තටම ඒක එහෙම වුණේ?  


පිළිතුර - ඒකට දැන් හේතු හොයලා වැඩක් නෑනේ. ඒ නිසා තමයි රටේ ප්‍රශ්න උග්‍රවුණේ. අපි මෙහෙම හිතමු. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවෙලා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වුණොත් අර යුද්ධ කාලේ වගේ ඉතාම ප්‍රබල රාජ්‍යයක් ව්‍යවස්ථානුකූලව මේ රටේ ඇතිකරගන්න පුළුවනි.  

 ප්‍රශ්නය  - එතකොට ඒක පවුල්වාදය. සහෝදර සමාගම් නොවෙයි?  


පිළිතුර - එහෙම කිව්වට ඒකේ තියෙන ප්‍රධාන සාධකය මොකද්ද කියලනේ බලන්න ඕනෑ. එන අවුරුදු පහේ අනිවාර්​යයෙන්ම ජනාධිපතිතුමා හා අගමැතිතුමා අත්වැල් බැඳගෙන...... මේක බලන්න...... දෛවයේ සරදමක් වගේ..... සහෝදරයන් දෙන්නෙක් වගේ ඒ දෙන්නා වැඩ කරන්න ඕනෑ. ඇත්ත වශයෙන්ම සහෝදරයෝ දෙන්නෙක් වීම වෙනම කතාවක්. නමුත් එහෙම නොවුණත් අපේ ව්‍යවස්ථානුකූල අවශ්‍යතාව තියෙන්නේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි එකට වැඩකරන්න ඕනෑ. ව්‍යවස්ථාවේ බලතල එක්කෙනෙකුට සීමාකරලා නෑනේ. යම් යම් බලතල තියෙනවා ජනාධිපතිතුමාට. යම් යම් බලතල දුන්නා 19වැනි සංශෝධනය යටතේ අගමැතිතුමාට. 19වැනි සංශෝධනය කියන්නෙම අවුල් ජාලයක්.  


 ප්‍රශ්නය  - නමුත් පාර්ලිමේන්තුවේදී ඔබත් ඒකට ඡන්දය දුන්නා?  


පිළිතුර - ඔව්! නමුත් මේක සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක්. ජනාධිපතිතුමාට යම් යම් බලතල දීලා තියෙනවා. අගමැතිතුමාට බලතල වැඩිකරලා තියෙනවා. එතකොට තීරණ ගන්නේ කවුද කියලා නිශ්චිතභාවයක් නෑ. ගැටුම් ඇතිවෙනවා. ඒ නිසා මේ රටේ පුරවැසියෙක් හැටියටත්, දීර්ඝ කාලයක් දේශපාලනයේ නියැළෙන කෙනෙක් විදියට මම හිතනවා අත්‍යවශ්‍යයි, අවුරුදු පහක් අපි එකාමෙන් වැඩ කරන රජයක්. මේ වගේ තත්ත්වයක් යළිත් රටේ ඇතිවුණොත් මේ රට විනාශවීම වළක්වන්න බෑ. මේ රටේ මේ තියෙන ව්‍යවස්ථානු ව්‍යාකූල තත්ත්වය තුළ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි එකට වැඩ කරන්න ඕනෑ. ඒ පදනම තුළ ඉඳගෙන තමයි අපි යුද්ධය දිනුවේ.  


 ප්‍රශ්නය  - ඔය ඉතිහාසය ගැන සමහරු මහා භීතියකින් කතා කරනවා?  


පිළිතුර - ඒ කාලෙත් මම කැබිනට් එකේ හිටියා. ජනාධිපතිතුමයි, අගමැතිතුමයි අතර ප්‍රශ්න නෑ. වාසනාවට ආරක්ෂක ලේකම් වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවා. මේ තුන් දෙනා එක යාන්ත්‍රණයක් විදියට වැඩ කළා. දැන් බේද වෙලා ඉන්න ෆොන්සේකායි, ගෝඨාභයයි හිටපු හමුදා ප්‍රධානීන්, සෙබළුන් මේ ඔක්කොම අය එකම යාන්ත්‍රණයක් විදියට වැඩකළානේ. අපි ඒක ඇහැට දැක්කනේ. ගැටුම් ඇතිව යාන්ත්‍රණයක් විදියට වැඩ කළේ නැත්නම් යුද්ධය දිනන්න බෑ. ඒක මම නොවෙයි කියන්නේ. එක පැත්තකින් මම ගරු කරනවා සරත් ෆොන්සේකා මැතිතුමාට. එතුමා කියලා තියෙනවා ‘මේ දේශපාලන කටයුතු වෙනයි. ඒ කාලේ හිටපු ජනාධිපතිතුමයි, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමයි, මමයි ඉතාම සුහදව වැඩ කළා. ඒකයි මේ සාර්ථකත්වය ලැබුණේ’ කියලා. මේ ඊයේ පෙරේදා කිව්වා. ඒ කාලේ මෙහෙ හිටපු ඇමෙරිකන් තානාපති රොබට් බ්ලේක්, එතුමා කිව්වා ‘ඉතාම හොඳට මේ කණ්ඩායම වැඩ කරපු නිසා, උපාය මාර්ග ඉතාම හොඳට තිබුණ නිසා තමයි යුද්ධය දිනන්න පුළුවන් වුණේ’ කියලා. ලංකාවේ මිනිසුන්ටත් අමතක වෙලා තියෙනවා. මේ යුද ජයග්‍රහණය අහම්බයෙන් වෙච්ච දෙයක් නොවෙයි. ඉතාම සැලසුම්සහගතව නොයෙක් වංගු පහුකරගෙන ගිහින් තමයි ඒ යුද ජයග්‍රහණය ලැබුවේ. දෙමළ ඩයස්පෝරාව පුළුවන් තරම් මහන්සි ගත්තේ ප්‍රභාකරන් බේරාගන්න. ඇමෙරිකන් නැව් ඇවිත් තිබුණා ඉන්දියන් සාගරයට ප්‍රභාකරන්ව අරන් යන්න. ඒ යුද ජයග්‍රහණය ලේසි වැඩක් නොවෙයි.  


 ප්‍රශ්නය  - ඔබ කියන්නේ ඒ අතීත සුසංගයෝගය යළිත් රටට අවශ්‍යයි කියලයි?  


පිළිතුර - ඔව්! ඒකේ ප්‍රතිඵල තියෙනවනේ. ඒ සම්බන්ධීකරණයම ඉතිරි අවුරුදු පහට මේ රටට අවශ්‍යයි. ඇමෙරිකන් ජනාධිපතිතුමා ඊයේ පෙරේදා කෙළින්ම එයාගේ විදේශ උපදේශකවරයා අයින් කළා. තනි තීන්දු ගන්න ඕනෑ. අනාගතයේ අපේ රටට ඒ තත්ත්වය අවශ්‍ය වෙනවා. ලෝකයේම එන්න එන්නම ත්‍රස්තවාදය වැඩිවෙනවා. ජාතිවාදී ගැටුම් ඇතිවෙනවා. ජාත්‍යන්තර බලපෑම් වැඩිවෙනවා. මේවා ගැන හොඳට හොයලා බලලා බුද්ධිමත් තීරණ ගන්න වෙනවා. ඒකට අවශ්‍ය එඩිතර නායකත්වයක් තමයි අවශ්‍යවෙන්නේ. මේ අවුරුදු 70ටම රටේ ප්‍රශ්න දිහා බුද්ධිමත්ව බලන්න පුළුවන් කණ්ඩායමක් අපි හදලා නෑනේ. හැම වෙලාවෙම බැලුවේ සුළු ගුණාකාරයෙන් ඡන්ද දිනන්න. ඒ වෙලාවේ තියෙන තත්ත්වය පාවිච්චි කරලා ඡන්ද දිනන්න බලනවා. තමන්ගේ ප්‍රතිරූපය හදාගන්න තවත් කෙනෙක් එක්ක ගැටෙන්න ඕනෑ. මේක මානසික ව්‍යාධියක්. ඒ මට්ටමෙන් රටකට ඉදිරියට යන්න බෑ. ඉහළ මට්ටමේ බුද්ධි මණ්ඩල තියෙන්න ඕනෑ. ඒ ගමනට සහාය දෙන මාධ්‍ය, විශ්වවිද්‍යාල, බුද්ධිමය සමාජයක් ඇතුළු සහායක බළඇණි තියෙන්න ඕනෑ. ඒ අය අතර මනා සම්බන්ධිකරණයක් හදලා වැඩපිළිවෙළක් තුළ ක්‍රියාත්මක විය යුතුයි. ඉන්දියාව - චීනය ගොඩනැගුණේ එහෙමයි. ඒ ආදර්ශ අපි තේරුම් ගත යුතුයි.  

 

ශ්‍රීලනිපයටත් තමන්ගේ අනන්‍යතාව රැකගෙන පොහොට්ටුවේ පක්ෂ අතර ඉන්න පුළුවන්.  

 


 ප්‍රශ්නය  - මේ මොහොතෙදී ජනාධිපති මෛත්‍රී කුමක් කරයිද?  


පිළිතුර - අපි දන්නේ නෑ එතුමාගේ අදහස මොකද්ද කියලා අපි දන්නේ නෑ. හැබැයි එතුමා කියන්නේ ‘මම ස්වාධීන තීන්දු ගන්නේ නෑ. මම පක්ෂයෙන් දෙන උපදෙස් අනුව මධ්‍යම කාරක සභාව මට කියන දේ අනුව තමයි මම කටයුතු කරන්නේ’ කියලා.  


 ප්‍රශ්නය  - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් දානවද?  


පිළිතුර - මම හිතන්නේ නෑ.  


 ප්‍රශ්නය  - නමුත් ශ්‍රී ලංකා එකේම සමහරු එහෙම කියනවා. විශේෂයෙන්ම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර?  


පිළිතුර - හැම පක්ෂයක්ම තමන්ගෙ සාමාජිකයා තියාගන්න කියන්න ඕනනේ අපේක්ෂකයෙක් දානවා කියලා. මේ ඡන්ද උණුසුම තියෙන කාලයකදී අපේක්ෂකයෙක් දානවා කිව්වම තමයි කුතුහලයක් ඇතිකරගන්නේ.  


 ප්‍රශ්නය  - ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් දාන්නේ නෑ?  


පිළිතුර - දේශපාලන විචරකයෙක් හැටියට ඔය අපේක්ෂකයෙක් දාන කතාව දේශපාලන තුරුම්පුවක් හැටියට තමයි පාවිච්චි කරන්නේ. පොහොට්ටුවේ බියක් තියෙනවා අපට අවශ්‍ය සියයට 50 කඩඉමට යන්න පුළුවන්ද, බැරිද කියලා. ඒක සංඛ්‍යාලේඛන ප්‍රශ්නයක්. මේ පාර මීට පෙර ආපු නැති ගේමක් එනවා. මගේ අදහස හැටියටනම් දිනන කවුරු වුණත් සියයට 50 කඩුල්ලෙන් ඉදිරියට යන්න ඕනෑ. එහෙම නැත්නම් දෙවැනි මනාපය ගණින්න ගියොත් තවත් ව්‍යවස්ථාමය අර්බුදයක් ඇතිවෙනවා. ඒ නිසා රටේ අනාගතය ගැන හිතන පුරවැසියන් හැටියට අපි හිතන්න ඕනෑ දිනන අපේක්ෂකයා සියයට 50න් එහාට යා යුතුයි කියලා. ඒ අරමුණෙන් තමයි ඡන්දය දිය යුත්තේ.  


 ප්‍රශ්නය  - ආපහු සැරයක් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්කරලා සජිත් ප්‍රේමදාස අගමැති කරලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ජනාධිපති මෛත්‍රීගේ සැලැස්මක් තියෙනවා කියලත් කියනවා.  


පිළිතුර - ඒක ගැන මම නම් දන්නේ නෑ. මම හිතන්නේ නෑ එහෙම දෙයක් වෙයි කියලා.  


 ප්‍රශ්නය  - ජනාධිපතිවරයා ජාතික රූපවාහිනිය පවරා ගත්තේ?  


පිළිතුර - ඒක ගැන මමත් ගොඩාක් කල්පනා කරපු දෙයක්. මම කතාකරන්නේ ජාතික රූපවාහිනිය ගැන විතරක් නොවෙයි. පොදුවේ රාජ්‍ය මාධ්‍ය ගැන. අද ලංකාවේ විශාල කලකිරීමක් තියෙනවා රාජ්‍ය මාධ්‍ය ගැන. ඔය හැම එකකටම මම සම්බන්ධවෙලා හිටියා. රූපවාහිනිය මේ රටට ගෙනාවේ මම. ජනාධිපති ​ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කිව්වම මම තමයි ජපානයට ගිහිල්ලා ඒ අයත් එක්ක සාකච්ඡා කරලා මේක ගෙනාවේ. රූපවාහිනිය කියන්නේ අපේ රටට ලැබුණ තෑග්ගක්. මම අධ්‍යක්ෂ වෙන්න කලින් තමයි ලේක්හවුස් එක රජයට පවරා ගත්තේ. ඉස්සර තිබුණා වගේ නොවෙයි දැන් ලොකු තරගයක් තියෙනවා, රාජ්‍ය මාධ්‍ය හා පෞද්ගලික මාධ්‍ය අතර. නමුත් රාජ්‍ය මාධ්‍යයට ඒ තරගයට යන්න බෑ. ඒවායේ වැඩිපුරම ඉන්නේ දේශපාලන අතවැසියෝ. රබර් සංස්ථාව, ලංගම වගේ තමන්ගේ හිතවතුන් පුරවන තැනක් බවට ඒ තැන් පත්වෙලා. හරියට පක්ෂ කාර්යාල වගේ. ඉතින් මේ තත්ත්වයෙන් මේ ආයතන ගොඩගන්න ඕනෑ.  


 ප්‍රශ්නය - නමුත් මේ පවරාගැනීම යට දේශපාලන අරමුණක් තියෙන බව තමයි කියන්නේ?  


පිළිතුර - මම එහෙම හිතන්නේ නෑ. එහෙම දෙයක් වෙන්න විදියක් නෑ.

 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්