මම රටේ ප්‍රධානියා වී සිටියානම් මේ විදිහෙ විරෝධතා ඇති නොවෙන්න ඉඩ තිබුනා


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ

• අපි මේ ආර්ථික අර්බුදය ගැන කල්තියා කිව්වා
• මේ වෙලාවේ  හ මැතිවරණයකට යන්න බෑ
• මේ තත්ත්වය එන අවුරුද්දෙත් තියෙනවා.  අපි සත්‍ය දැනගෙන වැඩ  කරන්න ඕනෑ
 

සති අන්ත පුවත්පත් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් විශේෂ සම්මුඛ සකච්ඡාව ඉකුත් 04 වැනි දින පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සහ ඒවාට වික්‍රමසිංහ මහතා ලබා දුන් පිළිතුරු මෙසේය.

 

?වර්තමාන ආර්ථික අර්බුදයේ පසුබිම ඔබ හඳුනා ගන්නේ කොහොමද?   


මම හිතන්නෙ මුදල් අමාත්‍යවරයා 04 වැනිදා පාර්ලිමේන්තුවේදී වර්තමාන ආර්ථික අර්බුදයට බලපා තිබෙන හේතු ඉදිරිපත් කළා. ඔහු ණය වැඩිවී තියෙන ආකාරය ගැන කිව්වා. ඒ වගේම අපේ ජාතික ආදායම සියයට 13 දක්වා වැඩිකර ගැනීමට අපට හැකියාව ලැබී තිබුණත් මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු බදු අඩු කිරීම නිසා ජාතික ආදායම අඩු වූ බවත් මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා. ඉන්පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යෑමට ආණ්ඩුව තීරණය කළා. එම අරමුදලට මීට කලින් යා යුතුව තිබූ බව මා කිව්වා. ඒ වගේම රසායනික පොහොර භාවිතය තහනම් කිරීමේ තීරණය නොගත යුතු වූ බවත් මා ප්‍රකාශ කළා.   


?රාජපක්ෂ පාලනය අවසන් කළ යුතු බවට ජනතාව විරෝධය දක්වන අතරවාරයේදී මේ අර්බුදය විසඳන්න ආණ්ඩුව ගෙනෙන විසඳුම් ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?   


නෑ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වෙන විට සාකච්ඡා යනවා. ඒ සඳහා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම ගැන කතා වෙනවා. මම 20 වැනි සංශෝධනයට විරුද්ධයි. ඒ වෙනුවට 21 වැනි සංශෝධනය ගේන එක හොඳ දෙයක් හැටියට මම දකිනවා. ඒත් මේක ආර්ථික අර්බුදයට විසඳුමක් නෙවෙයි. මොකද අද මිනිස්සු හුඟක් අමාරුවෙන් ජීවත් වෙන්නෙ. පීඩනය වැඩියි. මිනිස්සුන්ගෙ රැකියා අහිමි වෙමින් තියෙනවා. ව්‍යාපාර කඩාවැටෙමින් තියෙනවා. ඒ නිසා අපි ආර්ථික අංශයට අවධානය යොමු කරන්න ඕනැ. ආර්ථික විසඳුමක් නැතුව මේ ඉදිරිපත් කරන විසඳුම් ප්‍රමාණවත් වෙන්නෙ නෑ. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවට එයින් මේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබෙන්නෙ නැත්නම් මිනිස්සු අපිට විරුද්ධව නැගී සිටීවි. ඒ නිසා ඒ දෙකම එකට යන්න ඕනැ.   


?ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් බිලියන එකක ක්‍රෙඩිට් ණය පහසුකම මේ වසරේ මැයි මාසයෙන් අවසන් වෙන බව ප්‍රකාශ වෙනවා. එතනින් එහාට අත්‍යවශ්‍ය ආනයන සිදුකරන එක ප්‍රශ්නයක් නෙවෙයිද? ආණ්ඩුවට ඒ සඳහා වැඩපිළිවෙළක් ඇති බවක් ඔබ දකිනවද?   


මේක අවසන් වුණහම ආණ්ඩුව බලන්නෙ ඉන්දියාවෙන් තව ඩොලර් මිලියන 500 ක මුදලක් ඉන්ධන වෙනුවෙන් ලබා ගන්න. ඒක සමහරවිට ලැබෙන්න පුළුවන්. ඒ වගේම ජූනි මාසෙ දක්වා තව ඩොලර් බිලියනයක් ඉල්ලනවා. මට පේන විදියට ඉන්ධන සඳහා ලැබෙන ඩොලර් මිලියන 500 ජූනි මාසෙ මැද වෙනකන් ප්‍රමාණවත් වෙයි. ඩොලර් බිලියනය ජූනි අග වෙද්දි ඉවර වෙයි. මේවා ලැබුණත් අගහිඟකම් තියේවි. මොකද ඩොලර් මිලියන 500 ක මුදල පවතින ඉන්ධන හිඟය සඳහා ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ඒ මුදලින් අපිට උපරිම මිලදී ගන්න පුළුවන් වෙන්නෙ තෙල් නැව් 10 ත් 12 ත් අතර ප්‍රමාණයක්. ඒ වගේම ඉන්දියාවෙන් ලැබෙන මුදල්වලින් අපිට අවශ්‍ය හැම දෙයක්ම ගන්නත් බෑ. ඉන්දියාවෙන් ලැබෙන මුදල් ආහාර බෙහෙත් සහ පොහොරවලට යොදවන්න තියෙනවා.   

 

ආණ්ඩුව බලන්නෙ ඉන්දියාවෙන් තව ඩොලර් මිලියන 500 ක මුදලක් ඉන්ධන වෙනුවෙන් ලබා ගන්න. ඒක සමහරවිට ලැබෙන්න පුළුවන්. ඒ වගේම ජූනි මාසෙ දක්වා තව ඩොලර් බිලියනයක් ඉල්ලනවා. මට පේන විදියට ඉන්ධන සඳහා ලැබෙන ඩොලර් මිලියන 500 ජූනි මාසෙ මැද වෙනකන් ප්‍රමාණවත් වෙයි. ඩොලර් බිලියනය ජූනි අග වෙද්දි ඉවර වෙයි.


?මේ ආර්ථික අර්බුදය දිගටම පැවතියහොත් 2025 වසර ​ෙවන විට ඇති විය හැකි තත්ත්වය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?   


මේ තත්ත්වය දිගටම පැවතිය හොත් ආර්ථිකය තවත් කඩාවැටෙනවා. එවිට ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම මීට වඩා දුෂ්කර වෙන්න පුළුවන්. ණය තවත් ඉහළ යාවි. ව්‍යාපාර කඩාවැටෙන ප්‍රමාණය වැඩි වේවි. රැකියා වියුක්තික පිරිස තවත් ඉහළ යාවි. එතකොට තත්ත්වය වෙනස් කිරීම ඉතාම අසීරු වෙනවා. අප දැන්ම ක්‍රියාත්මක වුණොත් අවම තරමින් 2023 වෙද්දි තත්ත්වය ස්ථාවර කරගන්න පුළුවන් වේවි.   


?ඔබ මේ වේලාවේ රටේ පාලකයා නම් මේ මහජන විරෝධයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? පොලිසිය යෙදවීම, අධිකරණ නියෝග ගැනීම වැනි ක්‍රියාමාර්ගවලට යනවද? එසේත් නැත්නම් ඔවුන් සමග සාකච්ඡා කරනවද?   


මම මේ අවස්ථාවේ රටේ පාලකයා වෙලා හිටියා නම් මේ විදියෙ විරෝධතා රටේ ඇති නොවෙන්න ඉඩ තිබුණා. මොකද මට හැකියාව ලැබෙනවා ආර්ථික තහවුරු කරන්න.   


?මෙවැනි ආර්ථික අර්බුදයක් රටේ ඇතිවෙන බවට ඔබ කල්තියා දැන සිටියද?   


අපි ඒ ගැන කල්තියා කිව්වා. ඇත්තටම රටේ මේ ආකාරයේ ආර්ථික අර්බුදයක් ඇති වෙනවා කියලා අපි 2020 දි කිව්වා. 2020 මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කරපු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ ගැන කරුණු ඉදිරිපත් කළා. ඒකෙදි අපි කිව්වා 2021 සහ 2022 වසර සඳහා අපිට ඩොලර් බිලියන 7 ක මුදලක් අවශ්‍යයි වසරකට බිලියන 3 බැගින් කියලා. ඒ නිසා අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යා යුතුය කියලත් අපි කිව්වා. ඒ වගේම මිත්‍ර රටවල් සමග සාකච්ඡා කළ යුතු බවත් කිව්වා. මම අපේ පක්ෂය වෙනුවෙන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන් පසුවත් 2021 දි මම මේ ගැන පාර්ලිමේන්තුවේදී කිව්වා. 2022 වසරට ඉදිරිපත් කරපු අයවැය පිළිබඳ විවාදයේදීත් මම මේ ගැන කරුණු ඉදිරිපත් කළා.   


?වත්මන් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් වී නව සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කළ යුතු බවට සාකච්ඡා වෙනවා. අලුතින් පිහිටුවන අන්තර්කාලීන ආණ්ඩුවක අගමැති ධුරය සඳහා ඔබට ආරාධනා කළොත් ඔබ එය පිළිගන්නවාද?   


විපක්ෂය හැමතිස්සෙම කියන්නෙ ජනාධිපති හා අගමැති ඉවත් විය යුතුයි කියලා. ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමත් අද පාර්ලිමේන්තුවේදී ඒ බව පැහැදිලිව කිව්වා. එය සිදු වෙන තුරු හෝ මේ අර්බුදය විසඳන්නෙ කොහොමද කියන එක සම්බන්ධයෙන් ආණ්ඩුව හා විපක්ෂය අතර පොදු එකඟත්වයක් ඇති නොවන තෙක් මම හිතන්නෙ නෑ විපක්ෂය කිසිදු මාදිලියක ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකඟ වෙයි කියලා. මෙතන විය හැකි තත්ත්වයන් තුනක් තියෙනවා. එකක් තමයි රාජපක්ෂලා ඉවත් වීම. නැත්නම් ඔවුන් තවදුරටත් රැඳී සිටීම. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළතින් ඉදිරිපත් වෙන විසඳුමක් වශයෙන් ජනාධිපතිවරයා තවදුරටත් රැඳී සිටින අතරෙ අගමැතිවරයා ඉවත් වීම. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කරලා තියෙන යෝජනාමාලාවත් තවත් විසඳුමක් හැටියට මම දකිනවා. මම හිතන්නෙ අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඒ මත පොදු එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා.   


?විදෙස් ණය ගෙවීම අත්හිටුවන බව නිවේදනය කළාට පසු ආණ්ඩුව ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒ ප්‍රවේශය ගැන ඔබේ අදහස මොකක්ද?   


ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී විශේෂයෙන්ම ලන්ඩන් ක්ලබ් එකෙන් ලැබෙන පෞද්ගලික ණය ගැන අපිට පළපුරුද්දක් නෑ. ඒ නිසයි අපි විදේශ උපදෙස් ලබාගන්නෙ. මෙතනට යන්න කලින් අපි පාර්ලිමේන්තුවේදී ණයවල ස්ථාවරභාවයක් ඇති කරන්නෙ කොහොමද ඒ සඳහා අනුගමනය කරන කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම් මොනවාද කියන ඒවා ගැන සාකච්ඡා කරන්න ඕනැ. මේ සාකච්ඡාවලදි අපි මතක තියාගන්න ඕනැ එක් එක් රටවලට විවිධ අදහස් තියෙනවා. ඒවා විසඳ ගන්නත් කල් යනවා. සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න මාස 6 ක් විතර ගියා. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සියලු රටවල් එක මේසයේ වාඩි වූ පමණින්ම ඒක විසඳුමක් වෙන්නෙ නෑ. සාකච්ඡා කරන්න ඕනැ.   


?සමගි ජන බලවේගය මේ වෙන කොට ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනා දෙකක් බාර දීලා තියෙනවා. ඡන්ද විමසීමක් පැවැත්වුවොත් එජාපය ඒවාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනවද?   


අපි කියලා තියෙනවනෙ ජනාධිපතිතුමාට විරුද්ධව දෙමළ ජාතික සන්ධානය සකස් කරලා තියෙන යෝජනාවට අපි සහාය දෙනවා කියලා. දෙමළ සන්ධානය මට කිව්වා ඒගොල්ලො ඒක සමගි ජන බලවේගයට බාර දුන්නා කියලා. ආණ්ඩුවට විරුද්ධව ගේන අනික් විශ්වාසභංග යෝජනාවටත් අපි විරුද්ධ නෑ.   


?පවතින අර්බුදය විසඳීම සඳහා වහාම මහ මැතිවරණයකට යා යුතු බවටත් අදහස් පළ වෙනවා. ඒ ගැන ඔබ දරන අදහස මොකක්ද?   


මේ අවස්ථාවේ මහ මැතිවරණයකට යන්න බෑ. මොකද ආර්ථික අර්බුදය එන්න එන්නම දරුණු වෙමින් තියෙන්නෙ. ඉස්සෙල්ලම අපි ආර්ථිකය ස්ථාවර කරගන්න ඕනැ. අවසාන මහා මැතිවරණය සඳහා රුපියල් බිලියන 10 ක පමණ මුදලක් වැය වෙලා තියෙනවා. දැන් මැතිවරණයක් පැවැත්වුවහොත් රුපියල් බිලියන 20 ත් 25 ත් අතර මුදලක් අවශ්‍ය වෙයි. මැතිවරණයක් තිබ්බොත් තරග කරන එක් අපේක්ෂකයෙක්ට අවම වශයෙන් රුපියල් මිලියන 25ක් වත් ඕනැ වෙයි. ඒ අනුව මුළු වියදම හැටියට රුපියල් බිලියන 65 ක් වත් යයි. මේ අවස්ථාවේ ඒ තරම් මුදලක් අපිට වියදම් කරන්න බෑ. මේ නිසා මේ අවස්ථාවේ ඡන්දයකට යන එක ප්‍රායෝගික නෑ.   


?පාරට බැහැලා විරෝධය දක්වන ජනතාව කියන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම ගෙදර යා යුතුයි කියලා. එය ප්‍රායෝගිකයි කියලා ඔබ හිතනවද? 

 
ජාතික ලැයිස්තුවෙන් පත් වෙලා ඉන්න මන්ත්‍රීවරුන් 29 හැර සෙසු ඡන්දයෙන් පත් වුණු මන්ත්‍රීවරුන් 196 දෙනා ගෙදර යැව්වොත් මනාප ලැයිස්තුවල ඔවුන්ගේ නම්වලට පහළින් සිටින අය ඉබේම මන්ත්‍රීවරුන් වශයෙන් පත් වෙනවා. එහෙනම් අපි ඒ ලිස්ට් එකත් අහෝසි කරන්න ඕනැ. මහජනතාව කලකිරිලා ඉන්නෙ පාර්ලිමේන්තුව මේ අර්බුද විසඳීම සඳහා කටයුතු නොකරනවාය යන පදනමින්. මේ අර්බුද විසඳන්න මැදිහත් වෙන්නෙ නැත්නම් ඇයි ඔබලා තවත් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ කියලයි ජනතාව ප්‍රශ්න කරන්නෙ.   


?ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡාවලදි ලංකාව සඳහා ණය වැඩසටහනක් අනුමත කිරීමට නම් ලංකාව ණය ගෙවීමේ හැකියාව හා සාර්ව ආර්ථික ස්ථාවරභාවය ඇතිකර ගත යුතු බව නිර්දේශ කර තිබෙනවා. මේ සඳහා ආණ්ඩුව කවර ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි කියලද ඔබ හිතන්නෙ?   


මම දන්නෙ නෑ. ආණ්ඩුව ඒ ගැන කියනකන් අපිත් ඉන්නෙ. ණය ගෙවීමේ හැකියාව තියෙන ප්‍රතිපත්ති රාමුවක් අපි හදන්න ඕනැ.   


?ඒ සඳහා ඔබ ඉදිරිපත් කරන යෝජනා මොනවද?   


 අපි ඒ ගැන යෝජනා මොකුත් ඉදිරිපත් කරලා නෑ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු අංශ අපි පෙන්වා දී තියෙනවා. ආණ්ඩුවයි මේක කරන්න ඕනැ. මම අලුතින් කිව්වෙ බැංකු ගැන ක්‍රියාකරන්න කියලා. ඒ වගේම තමයි සංවර්ධන අයවැයේ ඉඳන් සහන අයවැයකට යන්න ඕනැ. ඔය වැඩේ මුදල් අමාත්‍යාංශය කළොත් ඒක හරියට වෙන්නෙ නෑ. ඒ නිසා මම කියන්නෙ ඒක පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුවට බාර දෙන්න කියලා. අනවශ්‍ය වියදම් මොනවද කියලා එතනින් තීරණය කරයි. රාජ්‍ය ගිණුම් සහ රාජ්‍ය ව්‍යවසාය කොමිටි එක්කත් සාකච්ඡා කරලා කටයුතු කළොත් දැනට තියෙන අයවැයෙන් විශාල මුදලක් ඉවත් කරලා සහන විදියට දෙන්න පුළුවන්.   


?පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහන සැලසීම වෙනුවෙන් මේ වසරේ ඉදිරි කාලය සඳහා සහන අයවැයක් ඉදිරිපත් කළ යුතු බවටත් සාකච්ඡා වෙනවා. ඒ ගැන එජාපයේ ස්ථාවරය කුමක්ද?   


මමනෙ ඉස්සෙල්ලම ඒක යෝජනා කළේ. 2022 හා 2023 වසර දෙක සඳහා සහන ලබා දිය යුතු බව මම කිව්වා. අනිත් අය ඒකට සහයෝගය දෙන එක ගැන මම සන්තෝෂ වෙනවා. දැන් බලන්න ඕනැෙ මේ ආණ්ඩුවේ අනවශ්‍ය අයවැය ඉවත් කරන්නෙ කොහොමද කියලා. මම කලිනුත් කිව්වා වගේ ඒක කරන්න නම් පාර්ලිමේන්තුවට බාර දෙන්න ඕනැ.   

 

අපි ඒ ගැන කල්තියා කිව්වා. ඇත්තටම රටේ මේ ආකාරයේ ආර්ථික අර්බුදයක් ඇති වෙනවා කියලා අපි 2020 දි කිව්වා. 2020 මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කරපු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ ගැන කරුණු ඉදිරිපත් කළා. ඒකෙදි අපි කිව්වා 2021 සහ 2022 වසර සඳහා අපිට ඩොලර් බිලියන 7 ක මුදලක් අවශ්‍යයි වසරකට බිලියන 3 බැගින් කියලා.


?විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවටත් යෝජනා ඉදිරිපත් වෙනවා. ඔබ ඒ ගැන මොකද කියන්නෙ?   


ඊට කලින් මේ ආර්ථික අර්බුදය විසඳ ගන්න ඕනැ. විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කරනවා නම් ජනමත විචාරණයකට යන්න වෙනවා. අපි ඉස්සෙල්ලම බලන්නෙ පාර්ලිමේන්තුව හරහා 21 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න. ඉන් පසු ඉතිරි ක්‍රියාමාර්ග ගැන බලන්න පුළුවන්. නමුත් ඒ සියල්ල කළ යුත්තෙ දෙවනුව. ඊට කලින් අපි මේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න ඕනැ.   


?දැනට සාකච්ඡා මට්ටමේ තියෙන සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව සඳහා එකතු වීමට ඔබට ආරාධනාවක් ලැබුණද?   


නෑ. එහෙම ආරාධනාවක් නෑ.   


?ලංකාවේ උද්ධමන තත්ත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තියෙනවා. බොහෝ ආර්ථික විශේෂඥයන් කියන්නෙ ලංකාව තවත් ලෙබනනයක් හෝ වෙනිසියුලාවක් බවට පත්වීමේ විශාල ඉඩක් තියෙනවා කියලා. මහ බැංකු අධිපතිවරයා පොලී අනුපාත ඉහළ නංවමින් මේ උද්ධමනය පාලනය කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් ඉන්න බවකුත් අපි දකිනවා. මේ උද්ධමන තත්ත්වය පාලනය කිරීම සඳහා ආණ්ඩුව ගත යුතු ක්‍රියාමාර්ග හැටියට ඔබ යෝජනා කරන්නෙ මොනවාද?   


මේ උද්ධමනය තවම වේගයෙන් පටන් ගත්තා විතරයි. අධිඋද්ධමනයකට රට යමින් ඉන්නෙ. සමහර වෙලාවට මේ ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්මේ මාර්ගය ඒ විදියෙ අධි උද්ධමනයකට රට ගෙනියන එක වෙන්න පුළුවන්. ඒක එහෙමද කියන්න මම නම් දන්නෙ නෑ. මේ යන විදියට අපි ලෙබනනය අල්ලන්න පුළුවන්. අනිත් ආණ්ඩු නොකරපු දේවල් මේ ආණ්ඩුව කරනවා. ලෝකයේ තියෙන උද්ධමන වේගය බැලුවහම අපි ලෙබනනය අල්ලයි. ලෙබනනය ඒ තත්ත්වයට පත් වෙන්න අවුරුදු 4 ක් 5 ක් විතර ගියා. ඒත් මේ ආණ්ඩුව ඒ තත්ත්වය මාස 6 කින් රටේ ඇති කරලා තියෙනවා.   


?මේ ආර්ථික අර්බුදය විසඳන්න ඔබ ඉදිරිපත් කරන යෝජනා මොනවාද?   


මම ඒවා මේ වෙන කොටත් ඉදිරිපත් කරලා තියෙන්නෙ. මේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ක්‍රියාමාර්ග කීපයක් එකට ගත යුතු වෙනවා. පළමුව ස්ථාවර ණය මට්ටමක් පවත්වා ගත යුතු වෙනවා. බැංකු පද්ධතිය ආරක්ෂා කළ යුතු වෙනවා. ජනතාවට සහන ලබා දීමත් කළ යුතුයි. ආධාර ලබා ගැනීම සඳහා විදේශ රටවල් සමග කොන්සෝර්ටියම් එකක් ඇතිකර ගැනීමට ක්‍රියා කිරීමත් වැදගත්. ඒ වගේම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. ඉහළ තරගකාරීත්වයක් සහිත අපනයන ප්‍රමුඛ වූ ආර්ථිකයකට අප යා යුතුයි.   


?ගාලුමුවදොර විරෝධය ගැන ඔබේ අදහස කුමක්ද?   


මම හිතන්නෙ ඒකෙන් ජනතාවගේ කලකිරීම සංකේතවත් කරනවා. සියලු දෙනාම ඒ විරෝධතාකරුවන්ට උපකාර කරනවා. මධ්‍යම පන්තිය වැඩ කරන ජනතාව ආදී සියලුම තරාතිරම්වල පුරවැසියන් මේ උද්ඝෝෂණයට සම්බන්ධ වෙලා ඉන්නවා. රඹුක්කනදි පැවැත්වුණෙත් සාමකාමී විරෝධතාවක්. ඒකට පොලිසියෙන් වෙඩි තිබ්බා. මම හිතන්නෙ ආණ්ඩුව මේ විරෝධතාකරුවන්ගෙ හඬට කන් දිය යුතුයි. ආණ්ඩුව ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතැබිය යුතුයි. ආහාර ඉන්ධන ඖෂධ නැති වෙන කොට ජනතාව විරෝධය දක්වනවා.   


?මහ පාරේ නැගෙන විරෝධයෙන් ප්‍රකාශ වෙන තව කාරණයක් තමයි රටින් පිට කරපු ඩොලර් බිලියන ගණන් වන ධනය නැවත රටට ගෙනා යුතු බව. ඒ ගැන සාකච්ඡා වෙන බවකුත් පෙනෙන්නට තියෙනවා. ඒ සඳහා හැකියාවක් තිබෙනවාද? ඒ සම්බන්ධයෙන් ඔබ දරන අදහස මොකක්ද?   


අපේ ආණ්ඩුව කාලෙදි අපි දූෂණ විරෝධී ලේකම් කාර්යාලය පත් කළා. ඒ කාර්යාලයට තමයි වංචා දූෂණ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සියල්ලම යොමු කළේ. ඒවා විභාග කරලා එතනින් පොලිසියටයි අල්ලස් කොමිසමටයි යැව්වා. පොලිසියෙන් පැමිණිලි 100කට වැඩි සංඛ්‍යාවක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරලා තිබුණා. ඒ වෙනුවෙන් අපි අලුතින් මහාධිකරණ පවා සකස් කරලා දුන්නා. මේ සියල්ලම සිදු වුණේ ලංකාවේ තිබුණු දූෂණ සම්බන්ධයෙන්. ඊට අමතරව හිටපු ජනාධිපතිතුමාගේ කාර්යාලයේ වෙනම කාර්යසාධක බළකායක් පිහිටුවලා තිබුණා. සොරකම් කරලා විදේශ ගත කරපු මුදල් නැවත අත්පත් කර ගැනීමට අදාළව තමයි ඒක පිහිටුවලා තිබුණෙ. ඒක කළේ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මම දන්න හැටියට එතන ලොකු ප්‍රතිඵලයක් තිබුණෙ නෑ. මොකද එතන විදේශ මුදල් පිළිබඳව ප්‍රශ්න ගණනාවක් තිබුණා. එකක් තමයි රටින් පිට කරපු මුදල් ගැන විමර්ශනය කරද්දි ඒ ඒ රටවල නීති අනුව අපිට කටයුතු කරන්න සිද්ධ වුණා. සමහර රටවල් රහසිගතභාවය ආරක්ෂා කරනවා. විදේශ ආයතනවල ආධාර ඇතුව ඒ විදියට විදේශ රටවලට ගෙනිච්ච මුදල් ගැන විස්තර හොයාගෙන නඩු දාන්න තවත් කාලයක් යනවා. ඒ විදියට රටින් පිටකරපු මුදල් තියෙනවා නම් ඒවා ලංකාවට ගේන්න අවුරුදු හයක් හතක් නැත්නම් දහයක් වත් යන්න පුළුවන්. ඒ ගැන අපේ පක්ෂයෙන් හෙට හරි අනිද්දා හරි කරුණු ඉදිරිපත් කරයි.   

 

මේ උද්ධමනය තවම වේගයෙන් පටන් ගත්තා විතරයි. අධිඋද්ධමනයකට රට යමින් ඉන්නෙ. සමහර වෙලාවට මේ ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්මේ මාර්ගය ඒ විදියෙ අධි උද්ධමනයකට රට ගෙනියන එක වෙන්න පුළුවන්. ඒක එහෙමද කියන්න මම නම් දන්නෙ නෑ. මේ යන විදියට අපිට ලෙබනනය අල්ලන්න පුළුවන්.


?ඒ විදියට රටින් මුදල් පිට කළ බවට ඔබතුමාලට තොරතුරු තියෙනවද?   


මෙතන තියෙන්නෙ තොරතුරු නෙවෙයි. එක එක අය ඇවිත් ඒ ගැන කියනවා. ඒත් සාක්කි හොයාගන්න ඕනැ. ඒක ඇත්තටම ඒ කාර්යසාධක බළකායෙන් අහන්න ඕනැ. 

 
?අපේ ප්‍රධාන විදේශ විනිමය ඉපැයීම් මාර්ගවල පවතින බිඳවැටීම හමුවේ අපට තවත් ඒවා ගැන පමණක් විශ්වාසය තබමින් ආර්ථික කටයුතු හැසිරවිය හැකිද? නැතිනම් මේ අර්බුදයෙ ස්වභාවය තේරුම් අරන් අලුත් ආදායම් මාර්ගවලට යොමු විය යුතුද?   


අලුත් තැන්වලට යන්න ඕනැ. ඒත් අවුරුදු පහකට මෙහා ඒ විදියෙ අලුත් තැන්වලට යන්න අමාරුයි. ඒක ඕනැම රටකට අදාළයි. දැන් තියෙන ප්‍රශ්නය තමයි විශ්වාසය නැති වෙලා තියෙන එක. විදේශ ආදායම් මෙහෙට එවන්නෙ නෑ. උණ්ඩියල්වලින් එවන්නෙ. සංචාරකයන් එන්නෙත් නෑ. මේ තත්ත්වය එන අවුරුද්දෙත් තියෙනවා. අපි සත්‍ය දැනගෙන වැඩ කරන්න ඕනැ.

 

 

සටහන : උපුල් වික්‍රමසිංහ
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි