මරණය අතින්ගෙන කතිර සටන කළ හැටි



දකුණු ආසියාවේ සර්වජන ඡන්ද බලය ලැබූ ප්‍රථම රට බවට  ශ්‍රී ලංකාව පත්වූයේ 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ  රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය ඇරඹීමත් සමගය. ඒනිසා මෙරට ඡන්දදායකයා දේශපාලන අත්දැකීම් බහුල පුද්ගලයෙක් බවට පත්ව සිටී. ඒ බව එක් එක් පාර්ලිමේන්තු මැතිවරණයේදී හා ජනාධිපතිවරණයේ දී පාවිච්චි කර ඇති ඡන්ද ප්‍රතිශතයෙන් පෙනීයයි. 
 
1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දදායකයන් 3048145 අතරින් 1701150 ක් හෙවත් 55.8% ක් ඡන්ද භාවිත කළ අතර එතැන් පටන් 2020 දක්වා අවස්ථා තුනකදී හැර ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 70% ඉක්මවා ඇත. පැවැති ජාතික මැතිවරණ 22 ක දී මේ තත්ත්වය පැහැදිලි වේ. ලංකාවේ වැඩිම ඡන්දදායක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කළ මැතිවරණය 1977 මහ මැතිවරණයයි. එම මැතිවරණයේදී ඡන්දය භාවිත කළ ප්‍රතිශතය 86.7% ක් විය. දකුණු ආසියාවේ මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීමේ ප්‍රතිශතය මෙතරම් ඉහළ මට්ටමක පවතින වෙනත් කිසිදු රටක් නොමැත. 
 
ජනාධිපතිවරණ ඉතිහාසයේ 1988 හැර අනෙකුත් සෑම මැතිවරණයකදීම ඡන්දදායකයා 70% ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබුණද 1988 දී එම ප්‍රතිශතය 55.32%ක් විය. 
 
ජනාධිපති වරණය ලියාපදිංචි  ඡන්ද දෙනලද ඡන්ද ප්‍රතිශතය
1982 8145015 6602617 81.10%
1988 9375742 5186223 55.32%
1994 10945065 7713232 70.47%
1999 11779180 8635290 73.31%
2005 13327160 9826778 73.73
2010 14088500 10495451 74.04
2015 15044490 2264377 81.52%

ඉහත දැක්වෙන දත්ත සටහන අනුව 1982 දීත් 81.10% වූ ඡන්ද ප්‍රතිශතය 1988 දී කැපී පෙනෙන ලෙස 56.32% වීමට ප්‍රධාන හේතුව වූයේ 1988/89 වර්ෂවල පැවැති භීෂණයයි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ගෙනගිය භීෂණය වඩාත් තීව්‍ර කරමින් රජයේ මෙන්ම වෙනත් කල්ලි කණ්ඩායම් ගෙනගිය ඝාතන රැල්ල නිසා භීෂණය උග්‍ර කරමින් ඡන්ද විමසීම වර්ජනය කිරීමේ ක්‍රියාදාමයද මේ තත්ත්වයට බලපෑවේය. 

1987 අත්සන් කළ උතුරේ ප්‍රශ්නයට විසඳුම් ලෙස ඉන්දියාව ලංකාව පිටපැටවූ පළාත් සභා ක්‍රමය අඩංගු වන ජේ.ආර්. රජිව් ගිවිසුමට රට තුළ ඇතිකළ විරෝධය උග්‍ර තත්ත්වයට පත් වූයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ බළකාය ගෙනගිය ව්‍යාපාරයයි. එක් තුණ්ඩු කැබැල්ලකින් ජාතික ශෝක දින ප්‍රකාශ කිරීමටත්, කඩසාප්පු හා ව්‍යාපාරික ස්ථාන වසා දැමීමටත්, ප්‍රවාහන සහ රාජ්‍ය සේවා අඩපණ කිරීමටත්, ඔවුනට හැකි වූයේ තුවක්කුවේ සහ වෙඩි උණ්ඩවල බලයෙනි. 
 
 
තමන් අනුමත නොකරන දේශපාලන මතවාද දැරූවන් අනුකම්පාවකින් තොරව ඝාතනය කර ඔවුනගේ අවසන් කටයුතු කළ යුතු ආකාරය ගැන පවා නියෝග පැනවීම් සිදුවිය. වාර්තා වූ අන්දමට ජනාධිපතිවරණය පැවැති 1988 දෙසැම්බර් 19 වැනිදා මේවනවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකයින් ඇතුළු ක්‍රියාකාරීන් 104 ක් මරා දමා තිබුණි. 
 
ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයන් ඡන්දය දීමේ ප්‍රතිශතය ඉතා අඩු මට්ටමකට පැවැතීමට මැතිවරණ කොමසාරිස් ප්‍රකාශ කළ පරිදි කරුණු ගණනාවක් බලපා ඇත. ‘‘මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කරන පළමු පස්දෙනාට මරණය’’ බව සඳහන් පෝස්ටර් රට පුරා ප්‍රදර්ශනය කළ අතර, මොනරාගල දිස්ත්‍රික්කයේ භීෂණය නිසා ඡන්ද මධ්‍යස්ථාන 49ක ඡන්ද විමසීම් පැවැත්විය නොහැකි විය. ඡන්දපොළවල් 207ක ඡන්ද පෙට්ටිවල එකම ඡන්ද පත්‍රිකාවක්වත් නොවූ බවත්, ඉන් 79ක් මාතර දිස්ත්‍රික්කයේ බවත් වාර්තා කර තිබුණි. ඡන්ද මධ්‍යස්ථාන 50 පමණ බෝම්බ පිපිරීම් සිදුවී තිබිණි. ඡන්දපොළ අවට වෙඩි තැබීම් හා බෝම්බ පිපිරීම් සිය ගණනක් සෑම දිස්ත්‍රික්කයකින්ම වාර්තා කර තිබිණ. ශ්‍රී ලංකාවේ කිසිදු මැතිවරණයක සිදු නො වූ ලෙස මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද නිලධාරීන් දෙදෙනෙක්ද බදුල්ල දිස්ත්‍රික්කයේ එක් අයෙක්ද වෙඩිතබා ඝාතනය කර තිබුණි. 
 
අවසානයේ සිදුවූයේ මෙතෙක් කිසිම ඡන්ද විමසීමකදී සිදු නොවූ අන්දමට ඡන්දදායකයා 1988 හැර අනෙක් සියලු ජනාධිපතිවරණයකදීම 70% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ජනාධිපතිවරණයේදී ඡන්දය දී තිබූ අතර 2015 අවසන් ජනාධිපතිවරණයේදී එය 81.52% තරම් ඉහළ අගයක් ගත්තේය. 2024 යෝජිත ජනාධිපතිවරණයේ දී මෙම ප්‍රතිශතය තවත් ඉහළ යාමට ඉඩ ඇත්තේ වඩාත් සාමකාමී වාතාවරණය නිසාය. 
 

  • බණ්ඩාරගම  සමරසේන මුදලිගේ