වර්තමාන රජයට රාජ්‍ය පාලන අත්දැකීම් නොමැති බව විපක්ෂය නිරතුරුව කියා සිටියත් එම ප්‍රචාරය වැරදි බව භාවිතය විසින්ම වර්තමාන ආණ්ඩුව පෙන්වා දෙමින් සිටියි. එයට හොඳම උදාහරණයක් වන්නේ “හොරු” අල්ලන වැඩපිළිවෙළය.
ආණ්ඩුව විකල්ප මත මර්දනයට කටයුතු කරමින් සිටින බවද පෙනෙන්නට තිබේ. ආසන්නතම අවස්ථාව වූයේ ජවිපෙන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගොවි අරගල සංවිධානයද ඇතුළත් ගොවි සංවිධාන කිහිපයක් අඟුණකොළපැලැස්සේදී සංවිධානය කළ උද්ඝෝෂණයට එල්ල කළ බාධා කිරීමය.
සැබෑ ලෙසම රට පාලනය කරන්නේ ජාතික ජන බලවේගයද ජනතා විමුක්ති පෙරමුණද එසේත් නැතිනම් ජවිපෙ අභ්‍යන්තර කවය වන “බෝල්ෂෙවික් පිල” දැයි දේශපාලන අංශ අතර කතාබහක් මතුව තිබේ. එයට හේතුව වන්නේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය තුළ මාලිමාව ක්‍රමයෙන් පසෙකට කරමින් ජනතා විමුක්ති පෙරමුණ ඉස්මතු කරමින් තිබීමය. මැතිවරණයට තරග කළේ ජාතික ජන බලවේගයෙන් වුවත් මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජාතික ජන බලවේගය පසෙකට කරමින් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව තුළ ප්‍රධාන ස්ථාන අත්පත් කරගන්නා අයුරු දැකගත හැකි විය. විපක්ෂය පවසන්නේ මේ වනවිට සෑම අමාත්‍යාංශයකටම ජවිපෙ පූර්ණකාලීනයන් සිව්දෙනකු රිංගවා ඇති බවය. මේ පිරිස ජවිපෙ ආධාරකරුවන් නොව ජවිපෙ පූර්ණකාලීනයන්ය. ජවිපෙ වැනි වාමාංශික පක්ෂ මෙහෙයවන්නේ පූර්ණකාලීනයන් විසිනි. පක්ෂයෙන් එක් අයකු වෘත්තීය සමිතිවලින් එක් අයකු, පක්ෂයට සමීප වෘත්තියවේදියකු ඇතුළු සිව්දෙනකු මෙසේ අමාත්‍යංශ තුළට
රිංගවා ඇත.
ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවීම සඳහා 1971 කැරැල්ල සමයේ සිටම ඉහළම අභ්‍යන්තර කවයක් පිහිටුවා තිබිණි. නායකත්වය ඇතුළු සියලු තනතුරු මෙහෙයවන්නේ මෙම අභ්‍යන්තර කවයෙනි. 1994 වනවිට ජවිපෙ පුනර්ජීවය සඳහා සුවිශාල සේවයක් කළ ප්‍රේමකුමාර් ගුණරත්නම්ද මෙම කවයේ අයකු වූ අතර ගුණරත්නම් ජවිපෙන් බිඳී ගිය පසු ජවිපෙ නායකයන් පැවසුවේ එවැනි අයකු තම පක්ෂයේ නොසිටි බවය. 1988 වසරේ පල්ලෙකැලේ සිර කඳවුරේ රඳවා සිටි ගුණරත්නම් ඇතුළු පිරිස සිරගෙය බිඳ පලා ගිය අතර එතැන් සිට ඔහුට ප්‍රසිද්ධ දේශපාලනයේ නිරත වීමට හැකියාවක් නොවීය. ගුණරත්නම් යළි ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණියේ විසි වසරකට පසු යළිත් නඩු පැවරිය නොහැකි කාලාවරෝධ නීතිය හේතුවෙනි. ජවිපෙ අභ්‍යන්තර කවය සැකසී ඇත්තේ දශක කිහිපයක පක්ෂ ඉතිහාසය තුළ පක්ෂයේ උන්නතිය වෙනුවෙන් ලේ කඳුළු දහදිය හැලූ එවැනි පූර්ණකාලීනයන්ගෙනි. දේශපාලන ක්ෂේත්‍රය තුළ ජවිපෙ මෙම අභ්‍යන්තර කවය හැඳින්වෙන්නේ “බෝල්ෂෙවික්” කණ්ඩායම යන නමිනි. රුසියානු විප්ලවයට මුල්වූ “බෝල්ෂෙවික්” හෙවත් “සුළුතරය” යන අරුතින් මෙම නාමය භාවිත වේ. රාජ්‍ය නායකයා වුවත් ජනාධිපති අනුර කුමාර දිසානායකටවත් පක්ෂයේ මෙම අභ්‍යන්තර කවයේ තීන්දුවලට පිටුපෑ නොහැකිය. ජනාධිපතිවරයා චීන නිල සංචාරයට පෙර “සූම්” තාක්ෂණය මගින් “බෝල්ෂෙවික්” කණ්ඩායම සමග කතා කළේය. මෙම අභ්‍යන්තර කවයේ පූර්ණකාලීනයන් වෙහෙස මහන්සි වී දුව ඇවිදිමින් පක්ෂය නගාසිටුවීමට මහන්සි වන මුත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතමයන් හැර අන් කිසිවකුටත් මේ පිරිස ගැන දැනුමක් නැත. විදේශගත ජවිපෙ හා මාලිමාවේ පක්ෂ ශාඛා සමග ද ජනාධිපතිවරයා මෙම “සූම්” හමුවේදී කතා කළේය. එහිදී මේ සියලු දෙනාම පැවසුවේ ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගය අනුව ගමට යා නොහැකි බවය. විදේශගත ශාඛා සමිතිද තමන් සමග සිටි බොහෝ දෙනා ඉවත්ව ගොස් ඇති බව පැවසූහ. ආර්ථික දුෂ්කරතා තේරුම්ගත හැකි මුත් සොරු ඇල්ලීම සිදු නොවීමට හේතු මොනවාදැයි පූර්ණකාලීනයන්ගේ ප්‍රශ්නය විය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ තමා චීනයට ගොස් පැමිණි වහාම සොරු ඇල්ලීමේ කටයුතු අරඹන බවය. අවසානයේ දේශපාලකයන් කිහිප දෙනකුම යම් යම් චෝදනා මත අත්අඩංගුවට ගත්තද ඒ සෑම දෙනාටම උසාවියෙන් ඇප ලැබුණේ චෝදනා ඔප්පු කර නැති බව පවසමිනි. කලින් මැතිවරණවලදී ජවිපෙට ඡන්දය නොදුන් ජනතාව ලක්ෂ ගණනින් ඡන්දය ප්‍රකාශ කළේ මෙම අභ්‍යන්තර දේශපාලනය නොදන්නා නිසාය. එහෙත් ක්‍රමයෙන් ආණ්ඩුව ස්ථාවර කරගත් පසු ජවිපෙ අභ්‍යන්තර කවය රාජ්‍ය පාලනයේ බොහෝ තීන්දු තීරණවලට මැදිහත් වී ඇති බව හෙළිදරව් වෙමින් තිබේ. ආණ්ඩු බලය ලැබී ඇමැති මණ්ඩලය තෝරාගත් අවස්ථාවේ සිටම මාලිමාව පසෙකට කර ජවිපෙ උඩට ගනිමින් සිටින බව වඩාත් සියුම්ව නිරීක්ෂණය කළ අයට දැකගත හැකි විය. ජාතික ජන බලවේගයේ සභාපති දොස්තර නිහාල් අබේසිංහට ඇමැති ධුරයක් නොලැබිණි. රෝහණ විජේවීර සමග සමීපව ඇසුරු කළ ජවිපෙ සාමාජිකයකු වන දොස්තර නිහාල් අබේසිංහ 1981 සංවර්ධන සභා මැතිවරණයට තරග කළ පැරණිතම ජවිපෙ සාමාජිකයෙක් වෙයි. ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍යවරයකු ලෙස සේවයේ යෙදී සිටින අවස්ථාවේ සංවර්ධන සභා මැතිවරණයට තරග වැදුණේය. මාලිමාවේ සභාපතිවරයා ලෙස ඔහු තෝරාගැනීමට එම ජ්‍යෙෂ්ඨත්වයද හේතු විය. ජවිපෙ සාමාජිකාවක නොවන හරිනි අමරසේකර මෙනවිය ජාතික ජන බලවේගයට ගෙන මන්ත්‍රී ධුරයක් ලබාදීමේ ක්‍රියාවලියේ සිට අගමැති ධුරය දක්වා ඇය ආ ගමනට තල්ලුවක් ලැබුණේ දොස්තර නිහාල් අබේසිංහගෙනි. එහෙත් ජාතික ජන බලවේගය යටතේ ආණ්ඩුවක් බලයට පත්වූ පසු ඇමැති මණ්ඩලය තේරීම සිදුවූයේ ජවිපෙ පූර්ණකාලීනයන්ගෙන් යුතු අභ්‍යන්තර කවයෙනි. එහිදී නිහාල් අබේසිංහ කැපී ගියේය.
මෙම ආණ්ඩුවද සෑම ආණ්ඩුවක්ම බලයට පැමිණි මොහොතේ හිස උදුම්මා ගන්නා උද්ධච්චභාවයෙන් තොර වූයේ නැත. 1970 දී මැතිනියද 1977 දී ජේ.ආර්. ද 1994 දී චන්ද්‍රිකාද 2019 දී ගෝඨාභයද තමන්ට ලැබුණු ජන වරමෙන් හිස උදුම්මාගත් අයුරින්ම මේ ආණ්ඩුවද හිස උදුම්මා ගත්තේය. මෙරට කරුමයකට දෝ රටේ ඉහළම පුටුවට නගින තැනැත්තාට විපක්ෂයේදී තමා සමග එක ලෑලි තට්ටුවේ රැය පහන් කරමින් එකට තේ කහට වීදුරුව පානය කළ දේශපාලන සගයන් අමතක වෙයි. බලයට පත්වූ පසු තනතුරු බෙදන්නේ නාමල්ගේ ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන් ලැබුණු ආකාරයටය. පොලිසිය භාර ඇමැති මම යැයි මැතිවරණ සමයේ කියා සිටි ලාල් කාන්තට මඩ වගුරේම ගිලෙන්නට සිදුවන කෘෂිකර්ම ඇමැති ධුරය ලැබෙන්නේත් ජවිපෙ නායකයා වෙනුවෙන් 2015 දී මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර වූ ආනන්ද විජේපාලට පොලිසිය භාර ඇමැති ධුරය ලැබෙන්නේත් 1994 දී ජවිපෙ පළමු මන්ත්‍රීවරයා වූ නිහාල් ගලප්පත්තිට ජවිපෙ රජයක් බිහිවූ පසු කිසිදු ඇමැති තනතුරක් හෝ පාර්ලිමේන්තුවේ කාරක සභා සභාපති ධුරයක් හෝ නොලැබෙන්නේත් ඒ අනුවය. පැවැති සෑම රජයක් සමගම හැප්පෙමින් ජවිපෙ වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු ලෙස කටයුතු කළ සේපාල අමරසිංහ ඉවතට විසිවන්නේත් ඒ අනුවය. නුදුරුම දිනක එවැන්නකු තම පක්ෂයට සේවය නොකළ බව ආණ්ඩුවේ බලධාරීන් පැවසුවද පුදුම වන්නට දෙයක් නැත. මේ ලංකාවේ දේශපාලනයේ හැටිය. ආණ්ඩුකරණයේ හැටිය. 1989 මර්දනයෙන් පසු විසිරී බිඳී පැවති ජවිපෙ කාර්යධරයන් ඒකරාශි කරමින් ජවිපෙ නගාසිටුවීමට අතිමහත් සේවයක් කළ ප්‍රේමකුමාර් ගුණරත්නම්ට ජවිපෙ කිසිම තනතුරක් කිසිදා නොලැබුණේත් එම න්‍යාය ධර්මය අනුවය. එවැන්නකු තම පක්ෂයේ කිසිදා සිටියේ නැතැයි ජවිපෙ නායකයන් පසුව කියා සිටියේද එම නිසාය.
වර්තමාන රජයට රාජ්‍ය පාලන අත්දැකීම් නොමැති බව විපක්ෂය නිරතුරුව කියා සිටියත් එම ප්‍රචාරය වැරදි බව භාවිතය විසින්ම වර්තමාන ආණ්ඩුව පෙන්වා දෙමින් සිටියි. එයට හොඳම උදාහරණයක් වන්නේ “හොරු” අල්ලන වැඩපිළිවෙළය.
වර්තමානයේ ආණ්ඩුවක් පිහිටුවා ඇති ජාතික ජන බලවේගයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ 2015 දී පිහිටුවන ලද යහපාලන රජයේද ප්‍රධාන හවුල්කරුවෙක් විය. මහින්ද රාජපක්ෂ රජයට එරෙහිව ගෙන යන ලද මතවාදයක් ජයග්‍රහණය කිරීමෙන් බිහිවූ එම ආණ්ඩුවේ සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. රාජපක්ෂ යුගයේ හොරු ඇල්ලීමේ අරමුණින් පිහිටුවන ලද දූෂණ මර්දන කොමිසම හෙවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය බිහි කිරීමට ජවිපෙද දායක විය. අරලියගහ මන්දිරයේ ක්‍රියාත්මක වූ දූෂණ මර්දන බළකායේ දේශපාලන කාර්යාංශයෙහි ප්‍රධානියා වූයේ එවක ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම්වරයා වූ වර්තමාන අභ්‍යන්තර කටයුතු ඇමැති ආනන්ද විජේපාලය. එම කාර්යාංශයේ ප්‍රමුඛ තෝරා ගැනීම් බවට පත්වූයේ රාජපක්ෂ පාලනයේ ප්‍රධාන පෙළේ පුද්ගලයන්ය. 2019 දී යහපාලන රජය ඇදවැටීමෙන් පසු හොරු අල්ලන වැඩපිළිවෙළ අඩාළ විය. එතෙක් “හොරු” යැයි සම්මත වූ අය වීරයන් ලෙස ජනතා කරපිටින්ම පාර්ලිමේන්තු එන ආකාරය දැකගත හැකි විය. වර්තමාන රජය යළිත් එකී පැරණි නඩු ලිපිගොනු මත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ආකාරයද දැකගත හැකිය. ඒ අනුව කිව හැක්කේ වර්තමාන රජය ළදරු ආණ්ඩුවක් හෝ එල් බෝඩ් ආණ්ඩුවක් හෝ නොවන බවය.
විනිසුරුවරුන් ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ට ලබා දී තිබූ පොලිස් ආරක්ෂකයන් සිව්දෙනා නව රජය යටතේ දෙදෙනකු දක්වා අඩු කිරීමද දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ. ඒ සමගම එම ආරක්ෂක නිලධාරීන්ට රජයෙන් යවා ඇති චක්‍රලේඛයකින් තමා සේවය කරන තැනැත්තාගේ කිසිම පෞද්ගලික කටයුත්තක් කිරීමද තහනම් කර ඇත. අතිශය රහස්‍යයි යනුවෙන් සලකුණු කර යවා ඇති එම චක්‍රලේඛය අධිකරණ ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රධානීන්ගේ නෙත ගැටී ඇති බවද සඳහන් වේ. විපක්ෂය කියන්නේ මෙවැනි නියෝග අධිකරණ ක්ෂේත්‍රයේ නොසන්සුන්තාවක් ඇති කරනු ඇති බවය.
1977 න් පසු බලයට ආ සෑම ආණ්ඩුවක්ම අධිකරණය තමන්ට ඕනෑ පරිදි නවා හීලෑ කර ගත්තේය. 1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සකස් කළ නව ව්‍යවස්ථාව අනුව අධිකරණයට හිමි නිශ්චිත වගකීම් වෙන්කර අධිකරණ ක්‍රියාවලිය විධිමත් කෙරුණි. එහෙත් ජේ.ආර්.ට එතෙක් බණ්ඩාරනායක අගමැතිනියගේ රජය සමයේ සිටි ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන් සමග කටයුතු කිරීමේ යම් මට්ටමක මදිකමක් හට ගත්තේය. ඒ නිසා අධිකරණයේ හිස හෙවත් අග්‍රවිනිශ්චයකාර ධුරයට තෝරා ගත්තේ සේවයේ නිරතව සිටි විනිශ්චයකාරවරයකු නොව ජේ.ආර්.ගේත් මිතුරකු වූත් එමෙන්ම එකල ක්ෂේත්‍රයේ වඩාත් ගරු බුහුමන් ලැබුවාවූත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු වූ නෙවිල් සමරකෝන්ය. ඔහු පත්කර ගැනීමට ජේ.ආර්. තීන්දු කළේ අගවිනිසුරුවරයාගෙන් තමන්ට කීකරු තීන්දු ටිකක් බලාපොරොත්තුවෙනි. එහෙත් අගවිනිසුරුවරයා නැවෙන පුද්ගලයකු නොවීය. තමන්ට අවශ්‍ය තීන්දු උසාවියෙන් නොලැබෙන විට ජේ.ආර්. පාලනය සිදු කළේ විනිශ්චයකාරවරුන්ගේ නිවාසවලට ගල් ගැසීම සහ එම නිවෙස් ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමය. එසේ කළත් බොහෝ තීන්දු ජේ.ආර්.ගේ වුවමනාව පරිදි ලැබුණේ නැත. එහි අවසාන ප්‍රතිඵලය වූයේ තමන් විසින්ම පත් කරගත් අගවිනිසුරුවරයාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමය. 1984 අගභාගයේ අගවිනිසුරුවරයා ඉල්ලා අස්වූයේ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙරය.
1988 ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස මහතාද අගවිනිසුරු ලෙස තෝරා ගත්තේ විනිසුරුවරුන්ගෙන් ජ්‍යෙෂ්ඨයා වූ විනිශ්චයකාරවරයා නොවේ. පාරින්ද රණසිංහ (ජ්‍යෙෂ්ඨ) විනිසුරුතුමාය. 1994 බලයට ආ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් ජ්‍යෙෂ්ඨයා වූ මාක් ප්‍රනාන්දු නොසලකා හැර අගවිනිසුරු ලෙස තෝරා ගත්තේ සරත් නන්ද සිල්වාය. මාක් ප්‍රනාන්දු විනිසුරුතුමා 1977 දී ජේ.ආර්. යටතේ වර්තමාන ව්‍යවස්ථාව කෙටුම්පත් කළ නීතිඥයා හෙයින් චන්ද්‍රිකා ඇතුළු ශ්‍රීලනිපය මාක් ප්‍රනාන්දුගේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැරියේය.
ජේ.ආර්. විවර කළ මාවත දිගේ අලුතෙන් බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම පියමැන්නේ අධිකරණයේ මුදුන තමන්ගේම කරගැනීමේ අරමුණෙනි. එහෙත් ඒ සෑම අවස්ථාවක්ම පාහේ ආරම්භයේ කෙසේ වෙතත් අවසානයේ අවුල්සහගත විය. වර්තමාන ජාතික ජන බලවේග රජයද ජේ.ආර්. විවර කර දුන් මාවතේම පියමනිමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉල්ලා අස්විය. හේතුව කුමක් හෝ වේවා තමන්ට අභිමත නොවන විනිසුරුවරයකු ඉවත් කළ ආණ්ඩුවක් ලෙස වත්මන් ආණ්ඩුවද ඉතිහාසයේ සටහන් වීම වැළැක්විය නොහැකිය. එතැනින් නොනැවතී ආණ්ඩුව මීළඟට අත තබමින් සිටින්නේ නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාගේ තනතුර සම්බන්ධයෙනි. ප්‍රේමදාස රජයේ අගවිනිසුරු ලෙස පත්වීම් ලැබූ පාරින්ද රණසිංහගේ පුත්‍රයා වන වත්මන් නීතිපති පාරින්ද රණසිංහට එරෙහිව නැගෙන චෝදනා ඔහුගේ අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක ලෙස බලපානු ඇත.
සේවයේ නිරතව සිටින නීතිපතිවරයාගේ මීළඟ උසස්වීම ලෙස සැලකෙන්නේ අගවිනිසුරු ධුරයය. එහෙයින් වත්මන් නීතිපතිගේ අනාගතය ගැන කතා කිරීමට තවම වේලාසන වැඩිය.
ඒ අතරම ආණ්ඩුව විකල්ප මත මර්දනයට කටයුතු කරමින් සිටින බවද පෙනෙන්නට තිබේ. ආසන්නතම අවස්ථාව වූයේ ජවිපෙන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගොවි අරගල සංවිධානයද ඇතුළත් ගොවි සංවිධාන කිහිපයක් අඟුණකොළපැලැස්සේදී සංවිධානය කළ උද්ඝෝෂණයට එල්ල කළ බාධා කිරීමය. “ගොවිතැනේ කූඩිත්තෝ සහ අම්බරුවෝ” යන මැයෙන් ගොවීන් බහුල ප්‍රදේශවල පවත්වාගෙන යාමට සූදානම් කළ පළමු සම්මන්ත්‍රණය යොදාගෙන තිබුණේ අඟුණකොළපැලැස්සේදී පැවැත්වීමටය. සංවිධායකයන් කියන්නේ මෙම සම්මන්ත්‍රණය ආණ්ඩුවට පහරදීමේ උත්සාහයක් නොව ලංකාවේ කෘෂිකර්මයේදී බහුජාතික සමාගම්වල දායකත්වය ඉහළ ගොස් ඇති බවත් ඒ පිළිබඳව සහ වී මෝල් හිමියන්ගේත් සහල් ආනයනකරුවන්ගේත් ඒකාධිකාරය හමුවේ ගොවියාට ඇති විකල්පයක් ගැන සාකච්ඡා කරන සම්මන්ත්‍රණයක් බවය. මෙම සම්මන්ත්‍රණය ආරම්භ වීමටත් පෙර ජවිපෙ කණ්ඩායමක් කඩා වැදී තර්ජනය කළ බව සංවිධායකයෝ කියා සිටියහ. දෙපිරිසම කාලයක් එකට දේශපාලනය කළ අය වීම මෙහි ඇති විශේෂත්වයයි. කෙසේ හෝ එම සම්මන්ත්‍රණය නොපැවැත්වූ අතර මෙම මතගැටුමෙන් රටට ලැබුණු පණිවිඩය වන්නේ ආණ්ඩුවට එරෙහි මතවාදවලට ඉඩක් නොලැබෙන බවය. මෙයට පෙර සමාජවාදී සමානතා පක්ෂය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයද ආණ්ඩුවට හිතවත් කණ්ඩායමක් විසින් නවත්වා දමන ලදී.
රජයේ පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් සංවිධානය කළ උද්ඝෝෂණයට එල්ල කළ පහරදීමද මනුෂ නානායක්කාර හිටපු ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් කොරියා රැකියා සඳහා තෝරාගත් පිරිස කළ උද්ඝෝෂණයට කළ පහරදීමද මෙයට පෙර වාර්තා විය. තමන් “චණ්ඩි බව” ආණ්ඩුව පෙන්වන්නට හදන්නේ එම සිදුවීම්වලිනි.
මෙම චණ්ඩි බව වත්මන් රජයට පමණක් උරුම වූවක් නොවේ. ලංකාවේ බලයට ආ සෑම රජයක්ම චණ්ඩි ආණ්ඩු විය. තමන්ගේ රජයේ මතය පමණක් රට තුළ තිබිය යුතු බව ඒ සෑම රජයක්ම කල්පනා කළේය. ඩඩ්ලිලාගේ, මැතිනිලාගේ, ජේ.ආර්.ලාගේ, ප්‍රේමදාසලාගේ, චන්ද්‍රිකාලාගේ පමණක් නොව එතැනින් පසුව බලයට ආ සියලු ආණ්ඩුද “චණ්ඩි” බව පෙන්වන්නට උත්සාහ කළෝය. විරුද්ධ පක්ෂ හා ජනමාධ්‍යද මර්දනය කළේය. පහර දුන්නේය. එහෙත් ඒ කිසිවකින්වත් වසර පහකින් හෝ දහයකින් හෝ එම ආණ්ඩුව ඇදවැටීම නතර කළ නොහැකි විය. ඉහළ ගිය ඉනිමග දිගේම යළි පහළට ඒමට සිදුවන බව බලයේ සිටින විට දේශපාලකයන් තේරුම් ගන්නේ නැත. ඒ බව තේරුම් ගන්නේ මැතිවරණයෙන් පැරදී ගෙදර ගිය පසුවය. නැතිනම් වැලිකඩ සිරගෙදර කූරු ගනිද්දීය.
ප්‍රේමකීර්ති රණතුංග