මෙරට මීළඟ ජනාධිපතිවරවණයට තරග වදින අපේක්ෂකයන් හා ඔවුන් නියෝජනය කරන පක්ෂ ලැයිස්තුව - ඉකුත්දා ප්‍රකාශයට පත්විය. මෙරට පවතින සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කෙරෙහි ඇලී සිටින යම් පුද්ගලෙයකු, එම ලැයිස්තුවෙන් තමා කැමති පක්ෂය සොයා බැලුවේ නම්, ඔහු දැඩි අසීරුවකට පත්වෙනු නිසැකය. එයට හේතුව මෙරට ජනජීවිතයේ මුල් බැසගත් සම්ප්‍රදායික දේශපාලන පක්ෂ කිසිවක්, මෙම ජනාධිපතිවරණයට තරග නොකරන නිසාය.
ඩී.ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස වැනි අගමැතිවරුන් හා ජනපතිවරුන් බිහි කළ එක්සත් ජාතික පක්ෂය මෙවර තරග වදින්නේ නැත. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක වැනි අගමැතිවරුන් බලයට ගෙන ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද, මෙවර තරග වදින ලැයිස්තුවේ නැත. චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය වූ පොදුජන එක්සත් පෙරමුණ ද, මෙවර තරග වදින ලැයිස්තුවේ නැත. මහින්ද රාජපක්ෂ ජනපති කරවූ එක්සත් ජනතා නිදහස් සන්ධානය ද, මෙවර තරග වදින ලැයිස්තුවේ නැත. දශක අටක් මෙරට පාලනය කළ මහ පක්ෂ සියල්ලම ජනපතිවරණ සටන් බිමෙන් අතුගෑවී ගොසිනි. එසේ වූයේ ඇයි?
මෙරට ජනතාව දශක ගණනාවක්ම කටයුතු කළේ ප්‍රධාන පක්ෂ දෙකකට ඇලීගැලීමෙනි. පිරිසක් එක්සත් ජාතික පක්ෂයට ද, තවත් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද, පරම්පරාවෙන්ම බැඳී සිටියහ. එජාප පාක්ෂිකයන් සැලකුණේ - කපා බැලුවත් ඔවුන්ගේ ලෙය කොළපාට හැටියටය. ශ්‍රීලනිප පාක්ෂිකයන් - කැපුවත් ඔවුන්ගේ ලේ නිල්පැහැති ලෙස සැලකුණි. ඇතැම් ගම්මාන පිටින්ම එජාපයේ බලකොටු ලෙස සැලකුණේය. ඇතැම් ගම්මාන පිටින්ම ශ්‍රීලනිප බලකොටු විය. ඇතැම් ගමක එක ගෙයක් පරම්පරාවෙන්ම එක්සත් ජාතික පාක්ෂික වෙද්දී, අසල්වැසි නිවැසියෝ පරම්පරාවෙන්ම ශ්‍රීලනිප සාමාජිකයෝ වූහ. මහ සේනානායක හෙවත් ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායකවාදියකු වූ වැඩිහිටියෙක් - තම පුතුන්, පුතුන්ගේ පුතුන්, පමණක් නොව මී මුනුපුරන් පවා හැඩ ගැසුවේ, එජාපයට හා සේනානායකවරුන්ට පක්ෂපාතවය. එවැනි නිවෙසක බුදුන්ට මල් පුදන මලසුනේ මහසේනානායකගේ ඡායාරූපයක් ද, බුදුන්ට පහතින් එල්ලා තිබිණි.
බණ්ඩාරනායකට පක්ෂපාතී නිවෙස්වල බුදු පහන ළඟ ඒ තැන ගත්තේ බණ්ඩාරනායකගේ රූපයකිනි. පරම්පරාවෙන්ම සමසමාජ හා කොමියුනිස්ට් පාක්ෂිකයන් වූ ගෙවල් ද මේ හා සමානම තත්ත්වයක් පැවතිණි. එක්දහස් නවසිය හතළිහේ දශකයේ සිට එක්දහස් නවසිය අනුව පමණ වනතුරු, මෙරට දේශපාලනය පැවැතියේ එජාප හා ශ්‍රීලනිප යන ප්‍රධාන පක්ෂ දෙකට බරවය. සම සමාජ හා කොමියුනිස්ට් ඇතුළු කුඩා පක්ෂ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට ඈඳී දේශපාලනය කළා මිස, ඔවුන්ට කවදාවත් රටේ පාලන බලය තනිව ගතකළ නොහැකි විය.
කොළ, නිල් හා රතු දේශපාලනය නිසා මැතිවරණ සමයට සෑම ගෙදරකම කොළ රතු හො නිල් හිස් වැසුමක් හෝ කොඩියක් දැකගත හැකිවිය. සේනානායකවරුන් හෝ ජේ.ආර්. මැතිවරණ රැස්වීමකට පැමිණි විට, පාක්ෂිකයන්ගේ අත පමණක් නොව, දරු මුනුපුරන් අතත් කොළ කොඩි සහ හිස්වැසුම් දින ගණනක් යනතුරු රැඳෙන්නේය .
බණ්ඩාරනායකවරුන් රැස්වීමකට පැමිණි කල, පාක්ෂික නිවෙසේ කුඩා උන් අත පවා නිල් කොඩි රැඳී තිබෙනු දැක ගත හැකිය. නිල් හා කොළ කඳවුරු වටා රැඳුණු මෙම දේශපාලන රටාව වෙනස් වන්නට පටන් ගත්තේ, 1970 හා 1977 පත් වූ ආණ්ඩු දෙකෙනි. 1970 මැතිනියගේ නායකත්වයෙන් පත් වූ සමගි පෙරමුණ ආණ්ඩුව 1977 දී පරාජය වී ගෙදර ගියේ, රටේ අති බහුතරයකට ශ්‍රීලනිපය එපා කරවමිනි. 1977 දී පත්වූ ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂය 1994 දී පරාජය වී ගෙදර ගියේ, රටේ අති බහුතරයකට එජාපය එපා කරවමිනි.
එතැන් සිට අද දක්වාම එජාපය සහ ශ්‍රීලනිපය එම නමින් ප්‍රධාන මැතිවරණවලට තරග කළේ නැත.
එජාපය එපාවීම
එක්සත් ජාතික පක්ෂයටද 1989 මහා මැතිවරණයෙන් පසු මැතිවරණයකින් ජයග්‍රහණයක් ලබාගත නොහැකි විය. 1994 ප්‍රධාන මැතිවරණ දෙකමත්, 1989 ජනපතිවරණයත් පරාජයට පත්වීමෙන් පසු - එජාපය තවත් පක්ෂ කිහිපයක් හවුල් කරගෙන එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා ගත්තේය. පක්ෂ කාර්යාලයේ එක්සත් ජාතික පක්ෂ පුවරුව ප්‍රදර්ශනය කළද , එතැන් සිට 2020 දක්වා එජාපය මැතිවරණවලට තරග කළේ, එක්සත් ජාතික පෙරමුණ නමිනි. 2020 දී එජාප නියෝජ්‍ය නායකයා පක්ෂය අතහැර ගොස්, සමගි ජන බලවේගය පක්ෂය පිහිටුවා ඉන් තරග කළ අවස්ථාවේ, එක්සත් ජාතික පක්ෂය තම නමින්ම තරග කළද, ඔවුන්ට හිමිවූයේ එක් ජාතික ලැයිස්තු ආසනයක් පමණය.
එක්සත් ජාතික පක්ෂය දේශපාලන භූමියෙන් අතුගෑවී ගියේ, 1977 සිට 1994 දක්වා වසර දහහතක කාලයේ ඔවුන් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති නිසාය. සුවිශාල ජනවරමකින් ආණ්ඩුබලය ලැබූ පසු මෙම පක්ෂවල නායකයන්ට අමුතු රාජ ඌෂ්ණයක් මතුවෙයි. 1970 බණ්ඩාරනායක මැතිනියද, 1977 දී ජේ.ආර්. ජයවර්ධනද, එකවරම ලැබුණු සුවිශාල ජනවරමෙන් මහ පොළොවේ සිට ඈත ආකාශය දක්වා පාවී ගියහ. රුපියල් කීපයකින් පඩි වැඩි කරන්නට ඉල්ලා එය ඉටු නොවූ තැන පාරට බැස උද්ඝෝෂණ කළ කම්කරුවන්ට - රජයේ සේවකයන්ට ඔවුන්ගේ රැකියා අහිමි කෙරිණි. සමහරුන්ට ජීවිත ද අහිමි කෙරිණි. වැඩ වර්ජනය කළ කම්කරුවන් වැඩබිමට නොව, සොහොන් බිමට යවන බවට ජේ.ආර්. වහසි බස් දෙඩුවේය. රජයේ කම්හල් සමහරක් වසා දැමුණි. සමහර කම්හල් තම හිතවතුන්ට කුණු කොල්ලයට විකුණා දැම්මේය. මැච් එක ගසන්නට ලැබුණේ වසර හයක කාලයක් වුවත්, බලය ලැබු පසු ඔවුන් මැච් එක ගැසුවේ අවුරුදු හයකින් මැච් එක අවසන් වන බව නොතකමිනි. ජනතාව බලා සිටියේ අලුත් කණ්ඩායමක් තෝරා ගන්නට වසර හයකින් තමන්ට ලැබෙන ස්වර්ණමය අවස්ථාව එනතුරුය. 1989 භීෂණ සමයට මුවාවී ඝාතන, හොර ඡන්ද හා දූෂණ ක්‍රියා මැද ලබාගත් අසීරු ජයකින් 1994 දක්වා ආණ්ඩු කාලය දිගු වුවද, 1994 වෙද්දී එජාපය ජනතාවට කල් කදුරු තිත්ත වී තිබිණි. අදටත් ඒ තිත්ත එහෙමමය. එජාපයට ඉන්පසු පැවැති කිසිම මැතිවරණයක දී තම නමින් තරග වදින්නට නොහැකි විය.
ජේ.ආර්. ජයවර්ධන 1977 දී බලයට පත් වූයේ, රට නව නායකත්වයක් අවශ්‍යව තිබූ අවස්ථාවේය. එතෙක් රට පාලය කළ සමගි පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය ගෙනගිය ආර්ථික ප්‍රතිපත්ති නිසා, හාමතින් මෙන් සිටි ජනතාවට අවශ්‍ය වූයේ, ඉක්මනින් කන්න ලැබෙන ක්‍රමයකි. පැරැණි රජයේ පෝලිම් ක්‍රමය ඉවත් කර, ආහාරයෙන් රට ස්වයං පෝෂිත කරන බව ජේ.ආර්. කියද්දී, ඔහුට හයෙන් පහක ජනතා බලයක් ලැබීම පුදුමයක් වූයේ නැත. තමන් ආරම්භ කරන ආර්ථිකය ප්‍රතිපත්ති ගැනත්, අලුතෙන් ඇති කරන ව්‍යවස්ථාව සහ විධායක ජනපති ක්‍රමය ගැනත්, ජේ.ආර්. රැස්වීම් කිහිපයක පවසා - සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ද ජනතාවට ඉදිරිපත් කර තිබුණත්, ඒවා ජනතාවට තේරුණේ නැත. තේරෙන මිනිසා තේරුම් ගත්තේ ද නැත. ජනතාවට වුවමනා වූයේ - දරුවාට අවශ්‍ය කිරිපිටි ටික, රෙදි කැබැල්ල, පෝලිම්වල නොසිට ලබාගන්නය. සමුපකාරයෙන් දෙන කැඩුණු, ගඳ ගසන සහල් වෙනුවට හොඳ සහල් ටිකක් සිල්ලර කඩයෙන් ලබා ගන්නය. ජනතාව සිටියේ, තමන් පෝලිම්වල දුක් විඳිද්දී, පාලක පක්ෂය සුඛවිහරණයෙන් පිරුණු ජීවිත ගත කරන බවට කෝපාග්නියෙනි. ඒ සඳහා ඇස් පනාපිට දුටු සාක්ෂිද ජනතාව සතුව තිබිණි.
එහෙත් ජේ.ආර්. ඇති කළ ආර්ථිකය හා දේශපාලන සංස්කෘතිය තමාට නොගැළපෙන බව ජනතාවට තේරුණේ ජේ.ආර්. බලයට පත්වී වසර කිහිපයක් ගත වෙද්දීය. ඇත්ත වශයෙන්ම ජේ.ආර් ඇති කළ විවෘත ආර්ථිකය මුල් කාර්තුවේ නරකක් නොවු නමුත්, එම ආර්ථික සංකල්පය විනාශ වන්නට පටන් ගත්තේ - අලුතෙන් ඇති වූ ව්‍යාපාරික පන්තිය තමාට හිතුමතේ නැව් ගණන්, ටොන් ගණන් පුරවා භාණ්ඩ ආනයනය ඇරඹූ පසුවය. එම අලුත් ධනවතුන්ගේ සල්ලිකාරකම හමුවේ - මුදල් අමාත්‍යංශ නිලධාරීන් ද ස්වයං වාරණ ඇතිකරගෙන, නිෂ්ක්‍රීයව, ආනයන පාලනයට ප්‍රමාණවත් තරමේ කිසිදු උත්සාහයක් ගත්තේ නැත. රට ණය කන්දක ගිලී යාම ඇරඹුණේය.
ඊළඟ ප්‍රශ්නය වූයේ ජවිපෙ මර්දනය කරමින් එජාපය ගෙන ගිය බිහිසුණු පාලනයයි. තහනමින් පසු ජවිපෙ ආරම්භ කළ සන්නද්ධ කැරැල්ල මර්දනය කළ තිරශ්චීන ආකාරය නිසා පරම්පරා ගණනාවකටම එජාපය එපා විය. අවි නොගත් හා අවි ගත් තරුණයන් පුනරුත්ථාපනය කරනු වෙනුවට, මහ මග මරා දමා ටයර් සෑවල යැවූ හැටි, අදටත් ජනතාවට හොඳටම මතකය. හතළිස් දහසක් තරුණ තරුණියන් එකී සමයේ රජයේ හමුදා හා අතුරු හමුදා අතින් ඝාතනය වූ බව සැලකෙයි. එජාපය ජනතාවට එපාවීමට මෙම මහා භීෂණ සමයද හේතුවක් විය.
ශ්‍රීලනිපය එපාවීම
ශ්‍රීලනිපය ජනපතිවරණයකට තරග කළ අවසන් අවස්ථාව වන්නේ, 1988 ජනාධිපතිවරණයයි. එජාපයේ ප්‍රේමදාසට එරෙහිව බණ්ඩාරනායක මැතිනිය තරග කළේ, ශ්‍රීලනිපයෙනි. ඉන් පසුව 1989 මහ මැතිවරණයට ද ශ්‍රීලනිපය තරග කළ අතර , 1994 මහ මැතිවරණයට හා ජනාධිපතිවරණයට ශ්‍රීලනිපය තරග කළේ , අලුතෙන් පිහිටුවාගත් පොදුජන එක්සත් පෙරමුණෙනි. එතැන් සිට ශ්‍රීලනිපය පොදු හවුල්කරුවන් බවට පත් වූවේය. එසේ වූයේ, ශ්‍රීලනිපයෙන් තරග කර ජයගත නොහැකි බව පක්ෂ නායකයන්ටත් තේරුම් ගිය නිසාය . 1970 – 77 සමයේ ශ්‍රීලනිප රජයේ ප්‍රතිපත්තිවල ජනතාව විඳි කටුක ජීවිතයත්, ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් විඳි සැප පහසුවත්, ජනතා සිත් සතන්වලින් තුරන් වී නොතිබිණි. ඒ නිසා ශ්‍රීලනිපයට ජනතා ආකර්ෂණයක් ලැබුණේ නැත. ශ්‍රීලනිපය හැර දමා ගොස් සිටි පැරැණි වමේ පක්ෂ ද යළි ශ්‍රීලනිපයට එක් වී සිටියත්, ඒ සියලු දෙනාගේම අදහස වූයේ ශ්‍රීලනිපයෙන් තරග වැදීම අවාසි සහගත බවය. ඒ නිසා අලුත් නමක් යටතේ පක්ෂයක් බිහි කරගත යුතු විය. පොදුජන එක්සත් පෙරමුණ බිහි වූයේ ඒ අනුවය.
සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් 1970 දී බලයට පැමිණි ශ්‍රීලනිපය ප්‍රමුඛ සමගි පෙරමුණ, පළමුව 1971 ජවිපෙ කැරැල්ලට මුහුණ දුන්නේය. එය මැඩපැවැත්වීමේ දී හාරදහසේ සිට අටදහස දක්වා තරුණ පිරිසක් ඝාතනය වූ බවට ඇස්තමේන්තු කර ඇත. මැතිනිය මවක වුවත්, තරුණ තරුණියන් ඝාතනය කළ ආකාරය ඉතා තුච්ඡ හා ම්ලේච්ඡ බවට චෝදනා එල්ල විය. පොදුජන මතකයට ගංගාවල පාවූ තරුණ සිරුරු, මහ මග ඝාතනය වූ තරුණ පිරිස්, අතවර කර තිරශ්චීන ලෙස මරා දැමූ ප්‍රේමවතී මනම්පේරි අවුරුදු කුමරිය පිළිබඳ තතු, යනාදිය වසර ගණනාවක් යනතුරු අමතක කළ නොහැකි විය.
ඉන්පසු ඇය ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති අනුව, විදේශීය භාණ්ඩ ආනයනය සීමා කෙරිණි. එයට ආදේශක භාණ්ඩ මෙරට නිෂ්පාදනය වූයේ ද නැත . උඩරට රජ කාලයේ පවා මෙරටට පිටරටින් සහල් ගෙනැවිත් ඇත්තේ, මෙරට නිපැයෙන සහල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසාය. මැතිනිගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා, සහල් හිඟයක් ඇතිවිය. පාන් පෝලිම්, කිරිපිටි පෝලිම්, රෙදි පෝලිම් ඇතිවිය. එය ආර්ථික වශයෙන් රටේ විනිමය විදේශයට ඇදී යාම පිණිස ගත් මහඟු පියවරක් වුවද ජනතාව වින්දේ අපා දුකකි. රැකියා අවසන් වී පෝලිම්වල දුක් විඳින ජනතාව, කුඹුරට යාම අතපසු කර හාල් පාන් පෝලිමට යන ජනතාව, තීන්දු කළේ - තම තීන්දුව ඊළඟ මැතිවරණයේ දී ගන්නා බවටය. ඒ ලෙසට 1977 මහ මැතිවරණයේ දී, ශ්‍රීලනිපය අන්ත පරාජයක් ලැබුවේය. ඉන් වසර ගණනාවකට පසු, එජාපය බලයට පත් වී ගෙන ගිය පාලනයට එරෙහිව ශ්‍රීලනිපය කුමන අයුරින් ජනතාව පෙළගස්වන්නට උත්සාහ කළත්, බොහෝ ඡන්දදායකයන්ට මැතිනියගේ හත් අවුරුදු පාලනය මතකයේ තිබිණි. ශ්‍රීලනිපයට ඔවුන්ගේ ඡන්ද නොලැබුණේ ඒ නිසාය.
ජවිපෙ එපාවීම
ජනතා විමුක්ති පෙරමුණ එම පක්ෂයේ ආරම්භයේ සිට මෑතක් වනතුරුම පෙනී සිටියේ, තරුණ කොටස් ආකර්ෂණය කර ගන්නා පක්ෂයක් හැටියටය. ආරම්භය වාමාංශික පදනමක් වූ එකී ආරම්භයේ සිට, කැරැලි සමය දක්වාම සිටි බොහෝ මුල්පෙළේ ක්‍රියාකාරිකයෝ , සරසවි සිසුහු සහ තරුණ ප්‍රජාව වූහ. එනිසාම එම පක්ෂයට සටන්කාමී පැහැයක් නිරතුරුවම ලැබී තිබුණේය. මෙම සටන්කාමී පැහැය නිසාම, එම පක්ෂය නිරතුරුවම තරුණ ක්‍රියාකාරිකයන්ගෙන් පිරී තිබුණා මිස , වැඩිහිටි සමාජය ආකර්ෂණය කර ගැනීමට සමත් වූයේ නැත. 1971 කැරැල්ලේ දීද එම පක්ෂයේ ශක්තිය වූයේ , තරුණ පරම්පරාවය. 1987 කැරැල්ලේ ද එම පක්ෂයේ ශක්තිය වූයේ , තරුණ පරම්පරාවය. වාමාංශික හා සටන්කාමී ගතිය නිසාම තරුණ වියේ දී එම පක්ෂයේ ආධාරකරුවකු වන තැනැත්තා මැදි වයසට පිවිසෙද්දී -පක්ෂය හැර යන්නේ , සමාජයේ සෙසු පරිභෝජන අවශ්‍යතා සමඟ බද්ධ වී ජීවත්වීමට නොහැකි බව තේරුම් ගැනීමෙන් පසුවය. 1971 සිට මෑතක් වනතුරුම ජවිපෙ ඡන්ද සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා නොගියේ , මෙකී එකම චක්‍රය විෂම චක්‍රයක් වී කැරකුණු නිසාය. 1982 ජනාධිපතිවරණයේ දී ජවිපෙ නායක රෝහණ විජේවීරට ලැබුණු ඡන්ද ප්‍රමාණය දෙලක්ෂ හැත්තෑ තුන්දහසක් විය. ප්‍රතිශතය වූයේ සියයට හතරයි දශම එකකි.
1999 ජනපතිවරණයේ දී ජවිපෙ අපේක්ෂක නන්දන ගුණතිලකට ලබාගත හැකි වූයේ ද ඡන්ද තුන්ලක්ෂ හතළිස් හතර දහසකි. 2019 ජනපතිවරණයේ දී අනුර කුමාර දිසානායක ලබාගත් ඡන්ද ප්‍රමාණය හාරලක්ෂ දහඅට දහසක් විය. ජවිපෙට ඡන්ද මෙතරම් අඩුවීමට ප්‍රධාන හේතුව වූයේ , 1987 – 1989 භීෂණ සමයේ මතකය ජනතාව අතර තවමත් රැඳී පැවතීමයි. එජාප රජයේ වැරැදි ප්‍රතිපත්ති නිසා ජවිපෙ තහනම් කළ පසු, ජවිපෙට යම් ජනතා ආකර්ෂණයක් තිබුණ ද, භීෂණ සමයේ දී ඒ ආකර්ෂණය සහමුලින්ම නැතිව ගියේය. පියවරෙන් පියවර සෙමින් ජවිපෙ යළි නැගිට්ටද , ඡන්ද ලක්ෂ පහකට වඩා ලබාගැනීමට ඔවුන්ට නොහැකි විය. සැමදාම සිදුවන පරිදි තරුණ පරම්පරාව ජවිපෙට ඇදී ආවද , වැඩිහිටි ඡන්දදායකයන් ජවිපෙට ආකර්ෂණය නොවීම එයට හේතුවය. මේ නිසා මෙවර ජවිපෙ තරග වදින්නේ අලුත් නමකිනි. ජාතික ජන බලවේගය ලෙස විවිධ සමාජ ස්ථර සහ වෘත්තිකයන් පෙරමුණු ගන්වමින් මෙවර තරග කරන අතර, එම උත්සාහය සාර්ථක වේද යන්න ඉදිරියේ දැකගත හැකිය.
ජනතාවට ප්‍රධාන පක්ෂ එපා වූයේ ඇයි? පසුගිය දශක දෙක තුනේදීම මෙරට දේශපාලන පක්ෂ මැති ඇමැතිවරුන්, රාජ්‍ය නායකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හැසිරුණේ - ඔවුන් පොදු ජනතාවගෙන් වෙනස් වූ සුවිශේෂ පෙළැන්තියක් බව පෙන්නුම් කරමිනි. ජනපති පුතුන් විසින් සංවිධානය කරන ලද මෝටර් රථ තරග සමාජයේ දැඩි විරෝධයට ලක් විය. දැඩි විරෝධය මධ්‍යයේ වුවද, පොදුජන මතය කනකට නොගෙන එම තරග පැවැත්වූයේ, ජනතාවට දේශපාලකයා පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද එපා කරවමිනි. දේශපාලන පුතුන්ගේ විවාහ මංගල්‍ය සඳහා වියදම් කෙරුණේ, රුපියල් කෝටි ගණනිනි. ඒ සඳහා ඔවුන්ට වත්කමක් නොමැති බවත්, ඒ වෙනුවෙන් යොදාගත්තේ රජයේ වත්කම් විකුණා ලබාගත් මුදල් සහ සංවර්ධන ව්‍යාපෘති හරහා ලැබුණු කොමිස් මුදල් බවටත්, චෝදනා එල්ල විය. දේශපාලකයා මගින් ඔවුන්ගේ දරුපවුල්වලට ලැබෙන රාජ්‍ය රක්ෂණ ක්‍රම ආදියත් ජනතා පිළිකුලට ලක් විය. මෑතකාලීනව වඩාත් දියුණු වෙමින් පැතිරුණු සමාජ මාධ්‍ය නිසා බොහෝ සමාජ මාධ්‍ය ජාලාවල දේශපාලකයන්ගේ ප්‍රතිරූප හෑල්ලුවට ලක් විය. මේ නිසා දේශපාලකයන් ද, ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ ද, ජනතාව අතරින් ප්‍රතික්ෂේප වී ගියේ - යළි ගොඩගන්නට බැරි ආකාරයෙනි.