මහජනතාවට තමන් කැමති නියෝජිතයා තෝරාගැනීමේ අවස්ථාවනේ අපි ඉල්ලන්නේ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු රාජ්‍ය ඇමති 
ෂෙහාන් සේමසිංහ 

ආණ්ඩුවේ වගකීම නිසිපරිදි ඉටුකරලා තියෙන අවස්ථාවක ඇයි මැතිවරණ කොමිෂන් සභාව තමන්ගේ වගකීම ඉටු කරන්නේ නැත්තේ? 

 

රටේ අලුත් දේශපාලන තත්ත්වයකි. කුමක් වෙයිද? මේ ඒ ගැන විමසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි. 


ප්‍රශ්නය - මහ මැතිවරණය කවදා වෙයිද? 


පිළිතුර - ඡන්දය දැනටම ප්‍රමාදයි. ඡන්දය අත්‍යවශ්‍ය සාධකයක්. අනික මේ වගේ තත්ත්වයක් තුළ අලුත් ජනාධිපතිතුමාට අලුත් ජනවරමක් ඇති ආණ්ඩුවක් අවශ්‍යයි රටේ පාලනය ගෙනියන්න. ඒ නිසා ඡන්දය අත්‍යවශ්‍යයි. මැතිවරණ කොමිසම හිතාමතා මේක කඩාකප්පල් කරනවා කියන සැකය ජනතාව තුළ තියෙනවා. 


අනික මැතිවරණ කොමිසම උත්සාහ කරනවා ජනාධිපතිතුමාගේ අවුරුදු පහක ධුර කාලය කුමන්ත්‍රණකාරීන්ට අවශ්‍ය විදියට ක්‍රියාත්මක වීම අඩු කරන්න. අද ජනතාව හිතන්නේ එහෙමයි. මැතිවරණ කොමිසන් සභාවේ තුන්දෙනා රටේ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා කියලයි අපට හිතෙන්නේ. 


ප්‍රශ්නය -රාජපක්ෂ ආණ්ඩු හැමදාම ස්වාධීන ආයතනත් එක්ක ගැටෙනවා. ඇයි එහෙම වෙන්නේ? 


පිළිතුර - අපි කිසිම ආකාරයේ අසාධාරණ හේතු මත මැතිවරණ කොමිසන් සභාව සමග ගැටෙන්නේ නැහැ. අපට එහෙම ගැටීමේ කිසිම අවශ්‍යතාවක් පවා නෑ. දැන් ඕකේ අනික් පැත්ත බලන්න. මොකටද මේ ගැටෙනවා කියලා කියන්නේ. මහ ජනතාවට තමන් කැමති නියෝජිතයා තෝරා පත්කර ගැනීමට අවස්ථාවනේ අපි ඉල්ලන්නේ. අපි අපේ වගකීම ඉහළින්ම ඉටු කරලා තියෙනවා. කොවිඩ් - 19 මර්දන මෙහෙයුම ජනාධිපතිතුමයි අගමැතිතුමයි ආණ්ඩුව කරලා තියෙනවා. 


අාණ්ඩුවේ වගකීම නිසි පරිදි ඉටු කරලා තියෙන අවස්ථාවක ඇයි මැතිවරණ කොමිසන් සභාව තමන්ගේ වගකීම ඉටු කරන්නේ නැත්තේ. මුලින් කිව්වා දවස් 35 ක් ඕනෑ කියලා. අද වෙනකොට එහෙම කිව්වා කියලා මැතිවරණ කොමිසන් සභාවට අමතක වෙලා ඇති. ඒ නිසා මෙතැන මේ කුමන්ත්‍රණකාරයන්ගේ අවශ්‍යතාවයි මේ ඉෂ්ට කරන්නේ. මැතිවරණ කොමිසන් සභාවේ හා මැතිවරණය එපා හෝ කල් දාන්න කියලා ඉල්ලූ විපක්ෂයේ මතයයි එක හා සමානයි. 


මැතිවරණ කොමිසම නියෝජනය කරන නීතිඥවරුනුත් ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන නීතිඥයෝමයි. ඊළඟට එන්.ජී.ඕ. නඩ නියෝජනය කරන නීතිඥයෝ ඉතින් අපට පේන්න තියෙන්නේ බරපතළ කුමන්ත්‍රණයක් මෙතැන ක්‍රියාත්මක වෙනවා කියලයි. 


අර කරු ජයසූරිය මහතා ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුව තුළම විනාශ කරපු කතානායකවරයා ලෙස ඉතිහාසගත වුණා වගේ මහින්ද දේශප්‍රිය මැතිතුමා එබඳුම ලෙස ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරපු සභාපතිවරයා ලෙස ඉතිහාසයට එක්වීමට කැමති වෙන්නේ නැත්නම් හොඳයි කියලා මම හිතනවා. 


ප්‍රශ්නය - මැතිවරණ කොමිසන් සභාවත් විපක්ෂයත් ගේන තර්කය බැහැර කරන්න බෑ. කොරෝනා රෝගීන් තවමත් බුරුතුපිටින් මතුවෙනවා. ඔවුන් කියන්නේ රට යථාතත්ත්වයට පත්වුණාට පස්සෙ ඡන්දයට යන් කියලයි. 


පිළිතුර - පරණ පාර්ලිමේන්තුව කැඳවා ගැනීමනේ විපක්ෂයේ ලොකුම උත්සාහය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ කොවිඩ් මර්දනය නොවෙයි. පුළුවන්නම් අපට පෙන්වන්නකෝ එක තැනක එක වචනයක් කොවිඩ් මර්දනය සඳහා විපක්ෂය කියනවා. විපක්ෂය එහෙම කළේ නෑ. ඒ වෙනුවට ඔවුන් කියන්නේ පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කියලයි. අපිත් පිළිගන්නවා, විපක්ෂයත් පිළිගන්නවා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතුයි කියලා. ඒකට අවකාශය දෙන්න කියලා තමයි රජය ඉල්ලන්නේ. නමුත් විපක්ෂය ඉල්ලන්නේ පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කියලයි. 


ඒ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට සුදුසු පාර්ලිමේන්තුවක් නොවෙයි. ඒ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයකුත් නෑ. එහෙම කැඳවන එකේ සාධාරණත්වයකුත් නෑ. ඒ පාර්ලිමේන්තුව ජනතාව ගැන හිතුවෙත් නෑ. ඒ පාර්ලිමේන්තුවෙන් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට වුණෙත් නෑ. ඒ නිසා ඒ පරණ පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතිව අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගන්න ඉඩදෙන්න කියලා ජනතාව ඉල්ලන එක සාධාරණයි. 


ප්‍රශ්නය - ඔබ ජනතාව කියලා කිව්වට ඒ අවශ්‍යතාව තියෙන්නේ ඔබලාටයි. ඔබලා බැලුවේ ජනාධිපතිවරණ ජයග්‍රහණයේ වාසියත් එක්ක මහ මැතිවරණයට ගිහින් තුනෙන් දෙකක බලය ගන්නයි. 


පිළිතුර - එදා තුනෙන් දෙකේ බලයක් අපට ලැබෙයි කියලා යම්කිසි කෙනෙක් සැක කළා නම් දැන් ඊටත් එහා ගිය බලයක් දෙන්න ජනතාව සූදානමින් ඉන්නවා. 


ප්‍රශ්නය -ඔබට එහෙම හිතෙන්න හේතුව? 


පිළිතුර - එහෙම හිතෙන්න හේතුව මේ ඇතිවෙච්ච ලෝක ව්‍යසනය තුළ අපේ රට කුඩා දිවයිනක් වෙලත් අපේ ජනාධිපතිතුමා දීපු නායකත්වය ගැන විශාල ප්‍රසාදයක් තියෙනවා. ඒවගේම තමයි අපේ රටේ අනෙකුත් ප්‍රශ්නවලට විසඳුම් දෙන්න අපි අද කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා රට ඉදිරියේ තියෙන ප්‍රශ්න විසඳීමේ ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාවයක් අපට තියෙනවා. 


මතක තියාගන්න මේ මැතිවරණ කොමිසන් සභාවෙන් කරන දෙයින් ජනාධිපතිතුමාට අවුරුදු පහක් පුරා තමන්ට අනුමැතිය ලැබුණු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න තියෙන අවකාශය අවුරුදු හතරකට අඩු කරන්න දරන උත්සාහයක් තමයි මේ. 


ප්‍රශ්නය -අපි මේ සාකච්ඡාව කරන මොහොත වනවිටත් දිනකට හමුවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 30 ක් 40 ක් වෙනවා. එහෙම පරිසරයක කොහොමද මැතිවරණයක් තියන්නෙ? 


පිළිතුර - කොහෙන්ද මේ කොරෝනා රෝගීන් මතුවන්නේ. මේ සාකච්ඡාව කරන මොහොත වනවිට දින 33 ක් පුරා බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් හමුවෙලා නෑ. කොරෝනා රෝගීන් හමුවෙන්නේ විදේශගතව සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්. එතකොට විපක්ෂය කියන්නේ එහෙම කොරෝනා රෝගීන් ගෙන්වන්න එපා කියලද? 


ඊළඟට මේ නාවික හමුදාවේ පොකුර. ඒ අනුව නිරෝධායනය වෙමින් සිටින කණ්ඩායම් වලින් තමයි රෝගීන් හමුවන්නේ. ඒක අපි නිවැරැදි විදියට කළමනාකරණය කරලා තියෙනවා. සමාජගත වීම වැළැක්වීමට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. ඒ නිසා විපක්ෂයේ තර්කය බිඳවැටෙනවා. විපක්ෂයට ඕනෑ ඡන්දය ප්‍රමාද කරගන්න. එහෙම ප්‍රමාද කරගැනීමේ අවාසියත් ඔවුන්ටමයි. ඔවුන් බලාපොරොත්තු වුණේ මේ අධිකරණ තීන්දුව ලැබෙයි කියලා එයාලගේ වාසියට. එයාලා හිතුවා අධිකරණය කියයි කියලා නාම යෝජනා අහෝසි කරන්න කියලා. නමුත් අධිකරණය ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ග අනුමත කරලා තියෙනවා. 


ප්‍රශ්නය -කොරෝනා මර්දන මෙහෙයුම් සාර්ථකයි කියලා කිව්වාට නිරෝධායන නීති පවා කඩමින් තොණ්ඩමන් අවමගුල කරන්න ආණ්ඩුව ඉඩ දුන්නා. දැන් එතැනිනුත් කොරෝනා ආසාදිතයන් මතුවෙනවා කියලා පුවත් පළවෙනවා. 


පිළිතුර - අපි බලන්න ඕනෑ එතැනින් කොරෝනා රෝගීන් වාර්තා වෙනවද කියලා. ඒ අවමඟුල් උත්සවය නිරෝධායන නීතිරීති යටතේ පවත්වන්න රජය උත්සාහ කළා. ඇඳිරි නීතිය පවා පැමිණෙව්වා. නමුත් සිදුවූ ආකාරයට වෙනස්ව එය සිදුවුණා නම් හොඳයි කියලා අපි විශ්වාස කරනවා. 


ප්‍රශ්නය - එක රටක්. එක නීතියක් කියලා කිව්වා. එක රට ඇතුළේ නීති දෙකක් කියල ඒකෙන් ඔප්පු වුණා? 


පිළිතුර - එහෙම නොවුණ නම් වඩාත් හොඳයි කියලයි අපි විශ්වාස කරන්නේ. 


ප්‍රශ්නය -දැන් කවුද ඒකේ වගකීම බාරගන්නේ. 


පිළිතුර - රජය හැටියට අපට වගකීමෙන් මිදෙන්න බෑ. අපි රජයක් විදියට ගත්ත ක්‍රියාමාර්ග තියෙනවා. නිලධාරීන් ගත්ත ක්‍රියාමාර්ග තියෙනවා. නමුත් ඔව් ඔබ කියන විදියේ ප්‍රශ්නයක් තියෙනවා. කොහොම වුණත් රජය වගකීම බාරගන්නවා. හොඳ දේ විතරක් නොවෙයි පාලනය කරගන්න බැරි තත්ත්වයන් තුළ සිද්ධ වෙච්ච දේවලුත් රජය බාරගන්නවා. 


ප්‍රශ්නය - අවමඟුල් උත්සවයක් තියන්න බැරි රටේ මැතිවරණ ව්‍යාපාරයක් කරන්නේ කොහොමද කියලයි විපක්ෂය අහන්නේ? 


පිළිතුර - සුපුරුදු දේවල්වලින් වෙනස් වෙන්න සිදුවෙයි. කොරෝනා මාරාන්තික වයිරසය මුළු ලෝකයේම සුපුරුදු තත්ත්වය වෙනස් කරලා තියෙන්නේ. ඒ නිසා මැතිවරණ ව්‍යාපාරයත් අපට සිදුවෙයි, සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන මගපෙන්වීම යටතේ ඒ වැඩකටයුතු සිදුකරන්න. එහෙම වෙනස් වෙන්න අපට සිද්ධ වෙනවා. සෑම පුරවැසියකුටම මේ අලුත් තත්ත්වයට හැඩ ගැහෙන්න වෙනවා. 


ප්‍රශ්නය - ආණ්ඩුවට නම් රාජ්‍ය මාධ්‍ය වගේම රාජ්‍ය සම්පත් පාවිච්චි කරමින් මැතිවරණ ව්‍යාපාරයක් කරන්න පුළුවන්. නමුත් ඔබ දන්නවා විපක්ෂයේ ඉන්නකොට එහෙම කරන්න බෑ කියලා. 


පිළිතුර - රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුව පාවිච්චි කරනවා කියන කාරණාව අපි ප්‍රතික්ෂේප කරනවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන්නෙත් රාජ්‍ය මාධ්‍ය විවේචනය කරන්නෙත් ආණ්ඩුව විතරමද කියලා. ඒ නිසා ඔබේ චෝදනාව මම පිළිගන්නේ නෑ. 
අපේ රටේ මාධ්‍යයට ස්වාධීනත්වයක් තියෙනවා. ඒ ස්වාධීනත්වය ඇතුළේ සියලු මාධ්‍ය ක්‍රියා කරාවි. ඒ කාරණය මත පදනම් වෙලා ඡන්දයක් පවත්වන්න එපා කියන එක බංකොලොත් අයගේ ඉල්ලීමක්. මාධ්‍යයට ඇඟිල්ල දිගු කරලා ඡන්දෙන් පැනලා යන්න හදන්නේ තමන්ගේ පරාජය. නින්දා සහගත පරාජය කල් දමා ගන්නයි. ඒකට අපි ඉඩ දෙන්නේ නෑ. 


ප්‍රශ්නය - ආණ්ඩුව දිගින් දිගටම ඉල්ලා සිටින්නේ තුනෙන් දෙකක බලයක්. මේ අසීමිත බලය කුමකටද? 


පිළිතුර - තුනෙන් දෙකක බලයක්ද. වැඩි බහුතරයක්ද කියන කාරණාව ගත්තොත් ඔව් අපිට සැලැස්මක් තියෙනවා. බලන්න අපේ ව්‍යවස්ථාවට එක් කරලා තියෙන යම් යම් කාරණා අපේ රටට ගැළපෙන්නේ නෑ කියලා ඒ සංශෝධන ගෙනාව අය පවා අද ප්‍රකාශ කරනවා. ඒ නිසා රටට හිතකර සංශෝධන ගේන්න අපි ඒ බලය බලාපොරොත්තු වෙනවා. ජනතාව ලබාදෙන බලය තුළ රැඳෙමින් අපි කටයුතු කරනවා. 


අපි ඒක අපේ ජනාධිපතිවරණ වේදිකාවෙත් කිව්වා. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයම තමයි අපි මහ මැතිවරණයට ගේන්නෙත්. ඒ කියන්නේ මේ වනවිටත් රටේ සාතිශය බහුතරයක් ජනතාව අනුමත කරලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තමයි අපි ගේන්නේ. 


ප්‍රශ්නය -රටට හිතකර සංශෝධන ගේන්නද එහෙම නැත්නම් එක පවුලකට එක පරම්පරාවකට එක දිගට බලයේ ඉන්න ගහන ගේමක්ද? 


පිළිතුර - පවුල් පාලනය කියන එක යල් පැන ගිය කතාවක්නේ. 2015 ජනාධිපතිවරණයේදී ඔය බොරුව ජනතාව පිළිඅරගෙන මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව ඡන්දය දුන්නා. හැබැයි අවසානයේ රාජපක්ෂවරුන්ට විරුද්ධව ඡන්දය දුන්න ජනතාවම රාජපක්ෂවරුන් රට බාරගත යුතුයි කියලා පළාත් පාලන ඡන්දෙදි ප්‍රකාශ කළා. 


ඊළඟට ඒකට බය වෙච්ච ආණ්ඩුව පළාත් සභා ඡන්දය අතුරුදන් කළා. ජනාධිපතිවරණය හංගන්න බැරිවුණා. ඒක තියන්නම වුණා. එතැනදී මේ රටේ ජනතාව ඔය එල්ල කරන විවේචන ප්‍රතික්ෂේප කරන බවට සහතිකයක් දීලා තියෙනවා. ඕනෑම කෙනෙකුට විවේචනය කිරීමේ අයිතියක් දීලා තියෙනවා. 


ඒ වගේම අපි ළඟ හිටපු යම් යම් පිරිස් සම්බන්ධයෙන් තීන්දු ගත්තා. අපි ළඟ තිබුණු වැරැදි නිවැරැදි කරගනිමින් තමයි අපි බලයට ආවේ. ඒකට හොඳම උදාහරණය තමයි මර්වින් සිල්වා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීම. 


ප්‍රශ්නය - මේ මොහොත වනවිට එක්සත් ජාතික පක්ෂය පැහැදිලිවම දෙකට බෙදිලා. ඒ වාසියත් ගන්න ඕනෑ නිසා නේද කොරෝනා අස්සෙත් මහ ඡන්දෙට මෙච්චර මහන්සි වෙන්නේ? 


පිළිතුර - ඔය විපක්ෂය කවදද එකමුතුව තිබුණේ? ආණ්ඩු බලය තියෙද්දිත් ඔය දෙගොල්ලෝ මරාගත්ත එකනේ කළේ. විරුද්ධ පක්ෂයට ආවම ඒ බෙදීම පුළුල් වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ ඔවුන්ට නායකත්වයක් නොතිබීමයි. ඒ අයට නායකයෙක් නොමැති වීමත් අපට ශක්තිමත් නායකයන් දෙදෙනෙකුගේ ආශිර්වාදය තිබීමත් අතර වෙනස ඕකයි. ඒ නිසා අපි ශක්තිමත් කණ්ඩායමක්. ඔය විපක්ෂයේ බෙදීම අපට නවත්වන්න බෑනේ. ඒ අය බලාපොරොත්තු වෙච්ච අන්තිම තුරුම්පුවත් පුස්සක් වුණා. 


ඒ අය හිතුවා නාම යෝජනා අවලංගු කරයි. එහෙම වුණොත් නැවත එකට එකතු වෙන්න අවස්ථාවක් පාදාගන්න ලැබෙයි කියලා. ඉතින් එකට එකතු වෙලා තරග කළත් බෙදිලා තරග කළත් ඒ අයට හිමිවන්නේ නින්දාසහගත පරාජයක්. ඒ අය එකිනෙකාට ඇඟිල්ල දිගු කරගන්නවා. සජිත් කියනවා රනිල්ගේ පැත්තේ ඉන්නේ හොරු කියලා. රනිල් කියනවා සජිත්ගේ පැත්තේ ඉන්නේ හොරු කියලා. 


ප්‍රශ්නය - ඔබට අනුව ඇත්ත හොරු කවුද? 


පිළිතුර - අවසානයෙදි අපට පේන කාරණය තමයි දෙපැත්තෙම ඉන්නේ හොරු කියලා. 


ප්‍රශ්නය - මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කිව්වේ රුපියල් 5000 බෙදීම දේශපාලනීකරණය කරන්න එපා කියලයි. ඒ වචනේ එල්ලිලා ආණ්ඩුව එක පාරටම රුපියල් 5000 දීම නැවැත්තුවා. 


පිළිතුර - මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ ඒ ලිපියේ සඳහන් වෙනවනේ මේ තත්ත්වය බලලා බෙදන්න අවශ්‍යද කියලා තීරණය කරන්න කියලා. රටේ ආර්ථික ප්‍රශ්න තියෙනවා. රටක් මාස දෙක හමාරක් වහලා තියෙද්දී, ලෝකයත් මාස තුනක් වහලා තියෙද්දී ආර්ථික ගැටලු නිර්මාණය වීම වළක්වන්න බෑ. ඒ අතරවාරයේ රජය පඩි ගෙව්වා. අනෙකුත් සුබසාධන කටයුතු කළා. රුපියල් 5000 දුන්නා. විශ්‍රාම වැටුප් දුන්නා. ආබාධිත දීමනාව දුන්නා. වැඩිහිටි දීමනාව දුන්නා. ඒ විදියට රජය කළයුතු සියලු දේවල් කළා. එහෙම කළේ රජයට ආදායමක් නොලැබෙන අවස්ථාවක. මහජනයා පීඩාවට පත්වෙච්ච වෙලාවක ඒ ජනතාවට යම් සහනයක් සැලසුවාම ඒක දේශපාලනයක් කිරීමක් කියලා අර්ථගන්වන්නේ කොහොමද? 


අද මේ රටේ මහජන නියෝජිතයන් දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් තමයි ජනාධිපතිතුමා. එතුමා මහජන වරමින් පත්වෙලා ඉන්නේ. අනික් කෙනා තමයි පළාත් පාලන මන්ත්‍රීවරයා. ඒ මහජන නියෝජිතයා සම්බන්ධ කරලා තියෙනවා. තවත් රාජ්‍ය නිලධාරීන් පස් දෙනෙකු සිටින කමිටුවකට. කොහේද අපි සඳහන් කරලා එහෙම සම්බන්ධ කරගත යුත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයා විතරයි කියලා. 


ඒ නිසා තමන්ගේ බංකොලොත් භාවය වහගන්න එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය තමයි ඔය චෝදනාව කරන්නේ. ඔය රුපියල් 5000 දෙනවාට විරුද්ධව වැඩියෙන්ම කතා කළේ සජිත් ප්‍රේමදාස මහත්තයා. 


ප්‍රශ්නය - කොරෝනා වසංගතය මැඩලීමේ මෙහෙයුමට ලැබුණු විදේශ ආධාරවලට මොකද වුණේ? 


පිළිතුර - විදේශාධාර මුදල් වශයෙන් ලැබුණේ නෑනේ. විදේශාධාර අපට ලැබුණේ යම් යම් ප්‍රධාන කරුණු වලට. සෞඛ්‍ය උපකරණ මිලදී ගන්න. අනෙකුත් කටයුතුවලට ඒ වගේම කොරෝනා නිසා පීඩාවට පත්වෙච්ච ළමුන් සහ ගැබිනි මව්වරුන්ගේ සුබසාධනයට මේවගේ සුවිශේෂී කාරණාවන් වෙනුවෙන් තමයි එකඟතාවන් ඇතිවුණේ. 


ඒ එකඟතාවන් ක්‍රියාත්මක වෙන්න තව මාස කිහිපයක් ගතවෙනවා. නමුත් විපක්ෂය හිතාගෙන ඉන්නවා ඒගොල්ලන්ගේ ආණ්ඩුවට ලැබුණු විදේශාධාර ඒගොල්ලො කොල්ල කෑවා වගේ අපේ ආණ්ඩුවට ලැබුණු විදේශාධාර අපිත් කොල්ල කනවා කියලා. එහෙම විදේශාධාර ලබාදෙන ක්‍රමවේදයක් අපි දැකලා නෑ. 


විපක්ෂය නම් ඒ කාලේ එහෙම ක්‍රමවේද අනුගමනය කරනවා අපි දැක්කා. ව්‍යාපෘති වෙනුවෙන් ලැබුණු මුදල් වියදම් කරලා ගිණුම්ගත නොකරපු බිලියන 11 ක් තියෙනවා කියන කාරණය අගමැතිතුමා පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කළා. අපට ලැබෙන විදේශාධාර කොවිඩ් අරමුදලට ලැබෙන මුදල් මේ සියල්ල අලුත් පාර්ලිමේන්තුව තුළ විගණනයට ලක්කරලා ඉදිරිපත් කරන්න අපි සූදානමින් ඉන්නේ. ඒ ගැන අලුත් පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කිරීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තියෙනවා. ඒවාට උත්තර දෙන්නත් අපි සූදානමින් ඉන්නවා. 


ප්‍රශ්නය - එ් ප්‍රශ්නය ඔබෙන් පවා විමසන්න වුණේ මේ තොරතුරු ලබාගන්න තැනක් නැති නිසයි. පාර්ලිමේන්තුවක් නෑ. මේ තුළ රට අරාජික වෙලා කියලා පේන්නේ නැද්ද? 


පිළිතුර - දැන් බලන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නායකයන් වරින්වර මුණගැහුණා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සර්ව පාක්ෂික කමිටුවක් පත්කළා. ඒවගේම පැවැති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කැඳවලා මේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. කොතැනකදීවත් මේ ආපු කට්ටිය ඔය ගැන ප්‍රශ්න කළේ නෑ. ප්‍රශ්න කළයුතු දෙදෙනා කැඳවපු අවස්ථාවල ප්‍රශ්න කරන්නේ නැතිව මාධ්‍ය සංදර්ශන පැවැත්වූවාට වැඩක් නෑ. 


ප්‍රශ්නය - සජිත් පාර්ශ්වය කියනවා රනිල් කියන්නේ ආණ්ඩුවේ රනිල් පාර්ශ්වය කියලා. මොකද්ද මේ ඩීල් එක? 


පිළිතුර - අපේ ආණ්ඩුවත් එක්ක කවුරුවත් ඩීල් නෑ. ඩීල් ගහපු අය හිතනවා අපිත් එහෙම ඩීල් ගහනවා කියලා. 2015 - 2019 කාලයෙ නිල විපක්ෂය මෙහෙයැව්වෙත් එක්සත් ජාතික පක්ෂය. ආණ්ඩුව මෙහෙයැව්වෙත් එක්සත් ජාතික පක්ෂය. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි සියලුම සහයෝගය ලබාදුන්නා. එහෙම ඩීල් ගහන්න අපි සූදානම් නෑ. 
මතක තියාගන්න අපි චෝදනා රාශියක් යටතේ පැමිණිලි ගොනු කරලා තියෙනවා හිටපු රජයේ මැති ඇමතිවරුන්ට එරෙහිව. ඒ කිසිම කෙනෙක් අපේ රජයට එකතු කරගන්න අපේ සූදානමක් නෑ. 


ප්‍රශ්නය - එහෙම ඉල්ලීම් තියෙනවද? 


පිළිතුර - සමහර අය තුළ එහෙම බලාපොරොත්තුවක් තියෙන බව අපට පේනවා. ඒ බව ඇඟවෙන විවිධ මත ඔවුන් ප්‍රකාශ කරනවා. හැබැයි ඒ අයට අපි කියන ඒ බලාපොරොත්තුව ගෝඨාභය රාජපක්ෂ - මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ ඉටු කරගන්න බෑ. ඒ අයට සිදුවෙයි ස්වාධීන පරීක්ෂණවලට මුහුණ දීලා පවතින අධිකරණ පද්ධතිය තුළ ඒ විනිශ්චයට බඳුන් වෙන්න.

 
ප්‍රශ්නය - රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය කියනවා සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායක කාර්යාලය දෙන්න අගමැති මහින්ද රාජපක්ෂ විශේෂ කැබිනට් පත්‍රිකාවක් දැම්මා කියලා. ඒ ඩීල් එක මොකක්ද? 


පිළිතුර - කැබිනට් මණ්ඩලය තුළ යම්කිසි ගෙවීමක් කරලා විපක්ෂයේ අයට නිල රථ හා නිල වාහන භාවිත කරන්න 2015 අගෝස්තු මාසයේ පැවැති මහ මැතිවරණයට තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව තමයි ඒ. ඒ පත්‍රිකාවම තමයි මේ මැතිවරණයටත් වලංගු වෙන්නේ. එහෙම නැතිව ඔය කියන චෝදනාව වැරැදියි. 


ප්‍රශ්නය -ඔබලා මේ මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක ජන වරමක් අපේක්ෂා කරනවා. ලැබෙයිද? 


පිළිතුර - අපි හිතනවා එතැනින් එහාට ගිය ජනවරමක් ලැබේවි කියලා. 


ප්‍රශ්නය -යම්හෙයකින් එහෙම ජනවරමක් නොලැබුණොත් හැදෙන පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි එහාට මෙහාට කරලා අපි ගන්නෙම නෑ කියලා කියපු අයත් අරගෙන ඔබලා තුනෙන් දෙක හදාගන්නේ නැහැ කියලා ඔබට සහතිකයක් දෙන්න පුළුවන්ද? 


පිළිතුර - අනිවාර්යයෙන්ම සහතික වෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච. නමුත් නීතිය ක්‍රියාත්මක නොවීම නිසා සැඟවී හිටපු කිසිම කෙනෙක් අපේ ආණ්ඩුවට සම්බන්ධ කරගන්නේ නෑ. ඒක ඉතාම පැහැදිලියි. ඒ වගේම මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ අය සම්බන්ධ කරගන්නෙත් නෑ.

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්