1920 දශකයේ මැද භාගයේ බිහිවූ , ආරම්භයේ දී යාපන ශිෂ්‍ය කොංග්‍රසය නමින් හැඳින්වූ “යාපන තරුණ කොංග්‍රසය” එම යුගයේ බිහිවූ දේශපාලන සංවිධාන අතුරින් ඉතාමත් දියුණු දේශපාලන දැක්මක් තිබූ සංවිධානයක් ලෙස සැලකිය හැකිය. එය කුලභේදයට එරෙහිව ක්‍රියාකාරී ලෙස සටන් කළ සංවිධානයක් විය. එය වාර්ගික එකමුතු බව හා ආගමික එකමුතු බව වෙනුවෙන් පෙනී සිටියේය. යාපන තරුණ කොංග්‍රසය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී ලාංකේය ජාතික වාදයක් වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාරයක් වූ අතර, පරමාදර්ශි අරමුණු ඇති පරමාදර්ශීන්ගේ ව්‍යාපාරයක් විය.
1927 දී මෙරට සංචාරයක් සඳහා මහත්මා ගාන්ධිට ආරාධනා කළ ප්‍රථම සංවිධානයවීමේ ගෞරවය යාපන තරුණ කොංග්‍රසයට හිමිවිය. ලංකාවට පැමිණෙන ලෙස මහත්මා ගාන්ධිට ආරාධනා කිරීම සඳහා තරුණ කොංග්‍රසය වෙනුවෙන් මූලිකත්වය ගනු ලැබුවේ, හැන්ඩි පෙරිම්පනායගම් විසිනි.
මේ අවධිය වෙන විට මහත්මා ගාන්ධි “ඉන්දියානු කාඩි ව්‍යාපාරය” ගොඩනැගීමෙහි ලා එනම් ඉන්දියාවේ සාගින්නෙන් පසුවන දශලක්‍ෂ සංඛ්‍යාත ජනයාට ආහාර සහ වස්ත්‍ර සපයා දීම සඳහා අරමුදල් එක්රැස් කරමින් ද සිටියේය.
ගාන්ධි විසින් තාවකාලිකව හැන්ඩි පෙරිම්පනායගම් ගේ ආරාධනය පිළිගත් අතර, කාඩි අරමුදල සඳහා ශ්‍රී ලංකාව රුපියල් ලක්‍ෂයක් දිය යුතුය යන්න කොන්දේසියක් ද විය. ඒ අනුව කුමාරස්වාමිගෙන් පෞද්ගලික උපදෙස් ලබාගත් හැන්ඩි පෙරිම්පනායගම් අවසානයේ දී ගාන්ධිගේ ඉල්ලීමට එකඟ විය.
ගාන්ධිගේ සංචාරය අවසන් වන විට ලංකාව තුළ එකතු කරන ලද මුදල රුපියල් එක් ලක්‍ෂ පන්දහසක් පමණ වූ අතර, යාපනයේ පමණක් එකතු වූ මුදල රුපියල් දහඅට දහස ඉක්මවීය. ඒ අනුව වූ පොරොන්දුව ඉටුකරනු ලැබුණි.
1927 වර්ෂයේ දී ඩොනමෝර් කොමිසම මෙරටට සම්ප්‍රාප්ත වූ අතර, මහත්මා ගාන්ධි සහ ඩොනමෝර් යන දෙදෙනා ගේ පැමිණීම දින කීපයකින් වෙනස් විය. යාපනය බහු ජනතාව සුහදශීලි උද්යෝගයෙන් යුතුව ගාන්ධි පිළිගනු ලැබූහ.
තරුණ කොංග්‍රසය ඩොනමෝර් කොමිසම ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් සැලකිල්ලක් නොගත් අතර, ගාන්ධි යාපනයේ තරුණයන් මත පැතිර වූ - අනතුරුව පැමිණි ඩොනමෝර් කොමිසමේ නිර්දේශයන් යාපනයේ දේශපාලනය සම්බන්ධයෙන් බරපතළ ප්‍රතිඵල ගෙන දීමට නියමිතව තිබුණි.
1927 නොවැම්බර් 13 වැනි දින සිංහල, දමිළ, මුස්ලිම් හා ඉන්දියානු සම්භවයකින් යුත් පුද්ගලයන්ගේ උද්යෝගිමත් පිළිගැනීම් මධ්‍යයේ මහත්මා ගාන්ධි කොළඹට සම්ප්‍රාප්ත විය. කොළඹ, මහනුවර, ගාල්ල සහ තවත් ස්ථානයන්හි දී ඔහු වෙනුවෙන් ප්‍රදානය කරන ලද පිළිගැනීම්වලදී ද ගාන්ධි කථා කීපයක්ම පැවැත්වීය. ඒ අතර ලංකා ජාතික කොංග්‍රසය, සමස්ත ලංකා බෞද්ධ සංගම් සම්මේලනය සහ තරුණ බෞද්ධ සංගමයේ නියෝජිතයෝ ද, කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමයේ නියෝජිතයෝ ද කම්කරු සංගමයේ අනුග්‍රහය යටතේ පැවැත්වුණු මහජන රැස්වීම් ද, බදුල්ල, නුවරඑළිය, ගාල්ල සහ කොළඹ සහිරා විද්‍යාලයේ ද පැවති රැස්වීම් අමතා කතා කළහ. එසේම ඩී. බී. ජයතිලක, ඩබ්ලිව්. ඒ. ද සිල්වා සහ ශ්‍රීමත් පී. රාමනාදන් වැනි එකල කැපී පෙනෙන පුද්ගලයන් ද හමුවිය. කොළඹ දමිළ සංගමය විසින් සූදානම් කර තිබූ පිළිගැනීමේ උත්සවයේ සභාපතිත්වය දැරුවේ ශ්‍රීමත් පී. රාමනාදන් ය.
මහත්මා ගාන්ධි සිය කථා කිහිපයක දී ම ලංකාවේ වැවිලි කර්මාන්තයේ යෙදී සිටි අතිවිශාල දමිළ කම්කරුවන් කෙරෙහි අවධානය යොමු කළේය. එසේම මෙම කම්කරුවෝ ගාන්ධි පිළිගැනීම සඳහා බදුල්ල, නුවරඑළිය හා හැටන් යන නගර කරා දස දහස් ගණනින් පැමිණියහ.
මහත්මා ගාන්ධි නොවැම්බර් 26 වැනිදා යාපන තැපැල් දුම්රියට යා කෙරුණු ආණ්ඩුකාරයා ගේ ගමන් මැදිරියක යාපනයට සම්ප්‍රාප්ත විය. ගාන්ධි හරසරින් පිළිගනු ලැබුණු අතර, එදින සන්ධ්‍යාවේ එළිමහන් ක්‍රීඩාංගණයට රැස්වූ පිරිස යාපන ඉතිහාසය තුළ පෙර නොවූ විරූ අතිවිශාල මහජන සමුළුවක් බඳු විය.
ගාන්ධි පිළිගැනීමේ කමිටුව විසින් දින කිහිපයකට පෙර ගාන්ධි මහජනයා අමතන රැස්වීම්වල දී කදාර් වස්ත්‍රයෙන් සැරසී එන ලෙසත් අත්පොළසන් දීමෙන් හා “ගාන්ධි කී ජායි” යනුවෙන් කෑගැසීමෙන් වැළකී සිටින ලෙසත් මහජනයාගෙන් ඉල්ලා සිටින ලදී. එමෙන්ම ගාන්ධි පැමිණෙන සෑම ස්ථානයකදී ම ඔහු වෙත මුදල් ආධාර තෑගි කරන ලෙසද නිවේදනය කරන ලදී.
යාපනයේ පැවැත්වුණු ඔහුගේ ප්‍රථම රැස්වීමේ දී ඔහු ප්‍රකාශ කර සිටියේ “යාපනයට පැමිණි පසු මා ලංකාවේ සිටින බවක් මට දැනෙන්නේ නැතත්, මා ඉන්දියාවේම කුඩා කොටසක සිටින බවක් මට දැනේ. ඔබගේ මුහුණු වත් ඔබගේ භාෂාව වත් මට ආගන්තුක නොවේ. ඔබ අතුරින් හැම කෙනෙකුම අංග ලක්ෂණ මගින් හඳුනා ගැනීමට මට නොහැකි වුවද ඔබගෙන් බොහෝ දෙනෙකු ඉන්දියාව තුළදීම මට මුණගැසී ඇති බව මම දනිමි” යන්නය.
යාපනයේ ඉන්දියානු ප්‍රජාව ද, යාපනයේ හින්දු ලබ්ධිකයෝ ද, ධර්ම ප්‍රචාරක කණ්ඩායම්වල රැස්වීම් හා රාමනාදන් ආර්යාවගේ නායකත්වය යටතේ වැඩිම වශයෙන් රාමනාදන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන්ගෙන් සැදුණු සයිවාමංගයාර් කලහම් සංවිධානය ද අමතා දේශන පවත්වන ලදී. මේ රැස්වීම් අතරතුර යාපනයේ ප්‍රධාන පෙළේ පාසල් කීපයක් වෙතද ගාන්ධි කැඳවාගෙන යනු ලැබීය. ඒ අනුව ගාන්ධි යාපනයේ ප්‍රධාන හින්දු හා ක්‍රිස්තියානි විද්‍යාලවලට ගියේය. රෝමානු කතෝලික පාසල් කීපයක් පමණක්ම ගාන්ධි නිල වශයෙන් පිළිගැනීම ප්‍රතික්‍ෂේප කළේය.
මේ සියලු ස්ථානවල දී කාඩි අරමුදලට මුදල් එකතු කරන ලදී. යාපන ජනයාට මහත්මා ගාන්ධි යාපනයේ ප්‍රදේශ ගණනාවක දී දැකගැනීමට හා ඔහුට උපහාර දැක්වීමට අවස්ථාව සැලසුණි.
යාපනයේ හින්දු ලබ්ධික ජනයා අමතමින් ගාන්ධි භික්‍ෂූන් හා ක්‍රිස්තියානුවන් අතර පැනනැගි තිබුණු මතභේද පිළිබඳව සාකච්ඡා කළේය. හින්දු ආගම අන් හැම ආගමක් කෙරෙහිම ත්‍යාගශීලි හා සහනශීලි ආකල්පයක් දරන බව ගාන්ධි අවධාරණය කළේය.
හින්දු ලබ්ධිකයන් අතර ආගම් අදහන ජනතාවන්ට තමන්ගේම සහෝදරයන් ලෙස නොසලකන්නේ නම්, “ඔබ අවශ්‍යව තිබෙන සැබෑ ජාතික ජීවගුණය කිසිදාක ඇතිකර නොගන්නා අතර, ඒ නිසා ඔබ කිසිදාක අවශ්‍යව තිබෙන හින්දු හා මානව හිතවාදී ජීවගුණ ද ඇතිකර නොගන්නේ යැයි” ගාන්ධි වැඩිදුරටත් පැවසීය. හින්දු ක්‍රිස්තියානි මතභේද “තේ කෝප්පයක කුණාටුවක්” ලෙස සඳහන් කළ ගාන්ධි මේ දෙකොට්ඨාසය එකමුතු කරවීම සඳහා සිය කාරුණික සේවාවන් ලබාදුනි.
ගාන්ධිගේ සංචාරයෙන් හටගෙන තිබෙන එක් යහපත් ප්‍රතිඵලයක් වන්නේ, ඊට පෙර භේදභින්න වී සිටි හින්දු හා ක්‍රිස්තියානි ලබ්ධිකයන් මහත්මා ගාන්ධිට ගෞරව දැක්වීමේදී එක්ව කටයුතු කර තිබීම යැයි ‘මෝර්නින් ස්ටාර්’ පුවත්පත සඳහන් කළේය.
ගාන්ධි ලංකාවෙන් පිටත්වීමට ප්‍රථම යාපනයේ පිළිගැනීමේ කමිටු සම ලේකම්කරුවන් වෙත මෙම පණිවුඩය එවීය.
“සමස්ත ලංකාව සඳහා මෙන්ම යාපනය සඳහා ද මට තබා යා හැකි පණිවුඩය නම් - දර්ශන පථයෙන් ද, සිතින්ද, බැහැර වන්නට ඉඩනොදෙන්න යන්නයි. සාගින්නෙන් පෙළෙන දශලක්ෂ සංඛ්‍යාත ජනයා පිළිබඳව මා ඔබට සපයා තිබෙන විස්තරය ඔබේ සිත් තුළ හොල්මන් කරන්ට හා ඔවුන් ගැන විමසිල්ලෙන් සිටින්නට සිත්වලට ඉඩදෙන්න, එසේ කරන අතරම ඔබ ද චාම් දිවි පෙවෙතක් පවත්වා ගන්න. ඔබගේ යහපත සඳහා නොවේ නම් අඩුතරමින් ඔවුන්ගේ යහපත වෙනුවෙන් මත්පැනින් හා අස්පර්ශනීයත්වයෙන් මුළුමනින්ම තොරවන්න.”
දින දහ හතක කාලයක් ලංකාවේ ගත කිරීමෙන් අනතුරුව, මහත්මා ගාන්ධි තලෙයිමන්නාරම හරහා ඉන්දියාව බලා පිටත්විය.
එම්. තාරික්