මහපොළොවේ යථාර්ථය හා මැතිවරණ ප්‍රකාශන


මෙවර ජනාධිපතිවරණයේ ප්‍රමුඛ අවධාරණය ආර්ථිකය බව විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. උද්ගත වූ ආර්ථික අර්බුදයත් සමග එයින් ගොඩ ඒමට තවත් කාලයක් ගතවෙන බවට ආර්ථික විද්‍යාඥයෝ මත පළ කරති. එම පසුබිමේ මේ දක්වා එළිදක්වා ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් ආර්ථිකය පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇත. එහෙත් ඒවායෙහි ප්‍රායෝගිකත්වය සමහරු ප්‍රශ්න කරති. මහාචාර්ය වසන්ත අතුකෝරළ  පවසන්නේ දැනට ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශනවල ආර්ථිකය පිළිබඳ ඇතුළත් බොහෝ දේවල සුන්දර වදන් හා අලංකාරෝක්ති සහිත නවකතා ශෛලියෙන් ලියා ඇති දේවල් බවය. මේ ඒ සම්බන්ධයෙන් ඔහු සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියකි.


කොවිඩ් 19 වසංගතය, රුසියා - යුක්රේන යුද්ධය හේතුවෙන් රටවල් කිහිපයක ආර්ථිකයන් අර්බුද රැසකට මුහුණ පෑවේය. මෙරට ආර්ථිකයට ද එයින් අහිතකර බලපෑම් එල්ල විය. 2022 වෙනවිට ලෝකයේ සෙසු රටවල් ධන ආර්ථික වර්ධන වේගයන් වාර්තා කර තිබිණි. එහෙත් එම වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෘණ සියයට 7.35 කින් හැකිළිණි. 2023 දී ද ආර්ථිකය සෘණ සියයට 2.3 කින් කඩාවැටුණි. විදේශ විනිමය හිඟය, රසායනික පොහොර තහනම, බදු සහන මේ ආදී වැරදි ප්‍රතිපත්ති තීන්දු තීරණ හේතුවෙන් 2022 වෙද්දී ආර්ථිකයේ දරුණු පරිහානියක් හටගත් අතර එය අරගලයකට ද මග විවර කළේය. අරගලයෙන් පසු රටේ සිදුවූ දේශපාලන සහ ආර්ථික වෙනස්කම් සමග ආර්ථිකය යථා තත්ත්වයට පත්ව ඇතැයි සමහරු තර්ක කරති.
ද්වීපාර්ශ්වීය ණය සහ වාණිජ ණය ගෙවීම පැහැර හරිමින් බංකොලොත්භාවය ප්‍රකා‌ශයට පත්කළ පසු ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ අරමුදල් පහසුකම නමැති ණය වැඩසටහනට ඇතුළු විය. ඒත් සමගම ආර්ථිකයේ විශේෂයෙන්ම මූල්‍ය අංශයේ ඇතැම් සංරචකවල වර්ධනීය තත්ත්ව සිදුව ඇති ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව, උද්ධමන අනුපාතිකය සියයට 2.5 දක්වා අඩු වී ඇත. වෙළෙඳපොළ පොලී අනුපාතිකයන් සියයට 9-10 දක්වා අඩු වී තිබේ. උණ්ඩියල්, හවාලා වැනි අවිධිමත් අංශයේ මුදල් හුවමාරු කටයුතු සෑහෙන දුරට පහළ ගොස් බැංකු ක්‍රමය ඔස්සේ එම කටයුතු වැඩි වශයෙන් සිදු වෙන තත්ත්වයක් නිර්මාණය වී ඇත. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ගත් විට විදුලි සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත. මේ වෙනවිට විදුලිය කප්පාදුවක් සිදු නොවේ. එමෙන්ම ගෑස්, ඉන්ධන බාධාවකින් තොරව මිලදී ගත හැකිය.
එමෙන්ම 2023 වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය සමග සැසඳීමේදී 2024 වසරේ සමාන්තර කාලයේදී රජයේ ආදායම සියයට 41 කින් ඉහළ ගොස් තිබේ. 2023 වර්ෂයේ මුල් මාස හයේදී වාර්තා වූ රුපියල් බිලියන 1,242 ක් වූ අයවැය හිඟය මෙම වසරේ අදාළ කාලයේදී රුපියල් බිලියන 598 කි. එසේම 2024 වසරේ පළමු කාර්තුවේදී කාර්මික, කෘෂිකාර්මික සහ සේවා අංශ පිළිවෙළින් සියයට 11.8 ක්, 1.1 ක් සහ 2.6 ක් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කළේය. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඔස්සේ සිදුවූ ධනාත්මක වර්ධනයන් හැටියට මේවා සැලකිය හැකිය.
මේවාට අමතරව අපට නොපෙනෙන දේවල් ප්‍රමාණයක් ද ආර්ථිකයේ තිබේ. 2021 සිට 2024 ජූනි දක්වා කාලයේදී රටේ සාමාන්‍ය මිල මට්ටම සියයට 106 කින් ඉහළ ගියේය. ආහාර මිල ගණන් සියයට 134 න්ද ආහාර නොවන ඒවායෙහි මිල ගණන් සියයට 89 න්ද වැඩි වී ඇත. එමෙන්ම අදාළ කාලයේදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියයට 20 ක පමණ ප්‍රතිශතයකින් වැසී ගොස් තිබේ. ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ ජනතාවගෙන් සියයට 61 කගේ පමණ මාසික ආදායම් පහළ ගියේය. ජනතාවගෙන් සියයට 22 ක් පමණ ණයගැතියන් වී ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ශ්‍රම බළකා සමීක්ෂණය අනුව, 2022 සිට 2024 පළමු කාර්තුව දක්වා කාලයේදී රැකියා අහිමි වූ පිරිස 486,338 කි. ලක්ෂ 58 ක පමණ පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙති. නිල දරිද්‍රතා මට්ටම රුපියල් 16,373 දක්වා ඉහළ ගියේය.
රජයේ දවසක ණය බර රුපියල් බිලියන 3 ක්
2024 පළමු මාස හයක කාලයේ දී රජයේ දිනෙක ආදායම සටහන් වී තිබෙන්නේ රුපියල් බිලියන 10.24 ක් වශයෙනි. එහෙත් අදාළ කාලයේදී රජයේ දිනෙක වියදම වාර්තා වූයේ රුපියල් බිලියන 13.53 ක් වශයෙනි. ඒ අනුව, රජය දිනකට රුපියල් බිලියන 3.29 ක ණය මුදලක් ලබා ගනිමින් ආර්ථිකය හසුරුවමින් සිටියි. මෙය හොඳ තත්ත්වයක් නොවේ. එයින් පෙනෙන්නේ ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රශ්න නොවිසඳී පවතින බවය. එමෙන්ම විදේශ වෙළෙඳාම පිළිබඳ ගැටලුව එනම්, අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහළ අගයක පැවතීම ද තවමත් විසඳී නොමැත. මෙරට ආර්ථිකයේ දැකිය හැකි මීළඟ ප්‍රධාන ගැටලුව දිනෙන් දින ඉහළ යන ණය බරයි. 2024 මාර්තු අවසන් වෙනවිට මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100ක් පමණ වේ. එයින් ඩොලර් බිලියන 57ක් දේශීය ණය වෙන අතර ඩොලර් බිලියන 37 ක් විදේශීය ණයයි.


නවකතා ශෛලියෙන් ලියැවුණු ප්‍රතිපත්ති ප්‍රකාශන
රටේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීමට නම්, ඉහත සාකච්ඡා කළ මූලික ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුය. ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල මේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන ආකාරය සඳහන් විය යුතුය. අයවැය ප්‍රශ්නය, විදේශ වෙළෙඳාම පිළිබඳ ප්‍රශ්නය, ණය අර්බුදය යනාදිය විසඳන්නේ කෙසේදැයි පැහැදිලි කළ යුතුය. එහෙත් දැනට ප්‍රසිද්ධ කර ඇති මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන විමසීමේදී පෙනීයන්නේ ඒවා හුදු නවකතා ශෛලියෙන් ඉදිරිපත් කර ඇති ප්‍රකාශන මිසක් ඉහත දී විස්තර කළ ව්‍යුහාත්මක ගැටලු ආමන්ත්‍රණය කරන ප්‍රතිපත්ති ඇතුළත් ඒවා නොවන බවය. සියලු ප්‍රධාන අපේක්ෂකයන් මෙරට ආර්ථිකය ගැන සුන්දර චිත්‍රයක් මවමින් යම් යම් දේවල් ඉදිරිපත් කළත් ඒවා මහපොළොවේ ක්‍රියාත්මක කළ හැකිද යන්න ප්‍රශ්න සහගතය. රටේ තිබෙන සම්පත් ප්‍රමාණය හා ඒවායෙහි ස්වභාවය ජනතාවගේ හැකියාවන් ගැන නිවැරදි අවබෝධයකින් යුතුව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කර නැති බව මගේ අදහසයි.
ලංකාවේ මැතිවරණ සඳහා දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් සිදු කෙරෙන්නේ අල්ලස් ලබාදීමක් වැනි දෙයකි. ඒවායෙන් වැටුප් වැඩි කිරීම, වැඩිහිටි ජනතාවගේ ස්ථාවර තැන්පතුවලට අදාළ පොලී අනුපාත ඉහළ දැමීම, රැකියා ලබාදීම ආදී වශයෙන් ජනතාවට යම් යම් දේවල් ලබාදීම ඉලක්ක කර ගත් යෝජනා ඉදිරිපත් කෙරේ. ත්‍රිවිධ හමුදා සහ පොලිසිය ද ඇතුළුව ලක්ෂ 16 ක් දෙනා රාජ්‍ය සේවයේ රැකියාවල නියුතු වෙති. ඇතැම් අපේක්ෂකයෝ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව කියති. රාජ්‍ය සේවක වැටුප රුපියල් විසි පන්දහසකින් වැඩි කිරීමට නම්, රජයට අමතරව රුපියල් බිලියන 500 ක ආදායමක් ඉපැයීමට සිදු වේ. ඒ සඳහා බදු වැඩි කිරීමට සිදු වේ. මේ වෙද්දිත් ජනතාව මත සෑහෙන බදු බරක් පතිතව ඇති හෙයින් තවත් අමතර බරක් පටවන්නේ කෙසේද යන්න පැහැදිලි කළ යුතුය.
ඊට අමතරව තවත් විශාල පිරිසක් බදු ගෙවන්නේ නැත. එම පිරිස බදු දැලට ඇතුළු කරගෙන බදු ආදායම් වැඩි කරගන්නේ කෙසේද යන්න ගැන ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැත. ඉලක්කගත කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොතිබීම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන කියැවීමේදී මා හඳුනාගත් ප්‍රධාන දුර්වලතාවකි. මෙය මැතිවරණ වසරක් හෙයින් 2025 සඳහා අයවැය ලේඛනයක් පිළියෙල කරන්නේද නැත. එසේ නම් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් 2025 අවසන් වෙද්දි සපුරා ගන්නා ඉලක්ක මොනවාද යන්න ඉදිරිපත් කළ යුතුය. එයින් ඔබ්බට ගොස් ඉදිරි වසර කිහිපයේ දී ආර්ථිකය ගෙන යන මාර්ගය ගැන පැහැදිලි විවරණයක්ද කළ යුතුය.
ග්‍රාමීය ආර්ථිකයේ පරිවර්තනයක අවශ්‍යතාව


අධ්‍යාපන, සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන ආදී ක්ෂේත්‍රවල දැවැන්ත පරිවර්තන සිදුවිය යුතුය. වැටුප් වැඩි කිරීමට පෙර ඵලදායීත්වය ඉහළ නැංවිය යුතුය. ඔවුන් රජයට කරන ඉපැයීම් වැඩි වුවහොත් ඔවුන්ගේ වේතන වැඩි කළ හැකිය. ඒ ආකාරයේ පරිවර්තන අවැසිය. වෙළෙඳපොළ, ශ්‍රම වෙළෙඳපොළ, ප්‍රාග්ධන වෙළෙඳපොළ ආදියෙහි පවතින ගැටලු විසඳීමට අදාළ වැඩපිළිවෙළක් අවශ්‍යය. දැනට ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන කියැවීමේදී පැහැදිලි වෙන්නේ එවැනි වැඩසටහන් ඉදිරිපත් කර නැති බවය. ඒ වෙනුවට සරලව වැටුප් වැඩි කරන ආකාරය සහ නොමිලයේ දේවල් ලබාදෙන ආකාරය විස්තර කිරීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇති බවක් පෙනේ. රජයෙන් ලබාදෙන සහනාධාර මත යැපෙන ජනතාවක් බිහි කළ යුතු නැත. මිනිස්සු එවැන්නක් අපේක්ෂා නොකරති. ඔවුන්ට අවශ්‍ය ජීවත්වීම සඳහා මුදලක් නොව ක්‍රමයකි. 76 වසරක් තිස්සේ සිදු කරන ලද්දේ මිනිසුන්ට ජීවත්වීම සඳහා මුදල් හෝ වෙනත් ආධාර හෝ ලබාදීමය. සහනාධාර සැමට ලබාදීම අවශ්‍ය නොවන අතර ලැබිය යුත්තන්ට ලබාදීම රජයේ වගකීමකි. සකස් කළ යුත්තේ මිනිසුන්ට ජීවත් වීමට අවශ්‍ය පරිසරයයි. ඒ අරබයා වෙන වැඩසටහනක් කිසිදු ප්‍රතිපත්ති ප්‍රකාශනයක ඇතුළත් වෙන බවක් නොපෙනේ.
ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කිරීමේ දී ආර්ථිකයේ සැබෑ යථාර්ථය අමතක කර ඇති බවක් පෙනේ. සමස්ත ආර්ථිකයේ පරිවර්තනයක් ඇති කිරීමට නම්, ග්‍රාමීය මට්ටමේ දී පරිවර්තනයක් කළ යුතුය. එය දවසින් දෙකකින් කළ හැකි පරිවර්තනයක් නොවේ. බලයට පත්වෙන අලුත් ආණ්ඩුව එක් එක් වසරේ දී ග්‍රාමීය ආර්ථිකය පරිවර්තනය කිරීම සඳහා ක්‍රියා කරන ආකාරය සැලසුම් කළ යුතුය.
උපුල් වික්‍රමසිංහ