මහින්ද සමග සාකච්ඡාවේදී කතා කළේ මොනවාද? මේ සාකච්ඡා විධායක ජනපති ධූරය අහෝසි කිරීම සඳහා පමණයි


දේශපාලන මාතෘකා කීපයක් පිළිබඳ මේ සාකච්ඡාව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සමඟයි.  


බලු බැණුම් බැණපු මහින්ද එක්කත් අන්තිමට සාකච්ඡාවට ගියානේ...  
20 වැනි සංශෝධනය අපි සැප්තැම්බර් 05 වෙනිද‌ා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. මාර්තු මාසේ 05 වෙනිදාට ඒකට මාස හයක් පිරුණා. මාස හයක් පිරුණට පස්සේ ඒක ඕනෑම වෙලාවක න්‍යාය පුස්තකයට ඇතුළත් කරලා විවාදයට අරගන්න පුළුවන්. ඒක පාර්ලිමේන්තුවෙ විවාදයට ගන්න කලින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමේ අරමුණක් අපිට තිබුණා. මොකද 20 වැනි සංශෝධනයට මේ වෙන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දී තියෙනවා ජනමත විචාරණයක් අවශ්‍ය බවට. මේ ගැන පාර්ලිමේන්තුවේ 225 දෙනා තීරණය කරනවා වෙනුවට කෝටි එකහමාරක් වන ජනතාව අතරට යන එක තමයි වඩා යෝග්‍ය. ඒ නිසා අපි මේ පක්ෂ මුණගැහීමේ අරමුණ තමයි මේක පාර්ලිමේන්තුවෙ හිර කරන්නෙ නැතුව ජනතාව ගාවට යන්න අවස්ථාව දෙන්න කියන එක ගැන ඔවුන්ට පැහැදිලි කරදීම. මොකද මේකට පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකෙන් සම්මත කරන්න ඕනෑ. මේක පාර්ලිමේන්තුවේදි පරාජය කරන්න කටයුතු කරන හැම දෙනාම ජනතාවට බයයි කියලා අපි හිතන්නේ. ජනතාව තමයි තමන්ගේ මූලික නීතිය මොකක්ද කියලා තීරණය කරන්න ඕනෑ. ඒ ඉල්ලීම කරන්න තමයි අපි මහින්ද රාජපක්ෂ මුණගැහුණෙ.  


අනුරල මහින්දගෙ කකුල් දෙක ළඟට වැටුණා කියලත් සමහරු මේ ගැන කිව්වා...  
ජනතාව විසින් ඔවුන්ව පාර්ලිමේන්තුවට තෝරා පත් කරල එවලා තියෙන්නේ. මේක සම්මත කරගන්න පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙක අවශ්‍යමයි. ඒනිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයක් එක්කම මේ ගැන සාකච්ඡා කළ යුතුව තියෙනවා. ඒ නිසා අපි කාගෙවත් කකුල් දෙක ළඟට වැටුණ ද නැද්ද කියන කාරණාවට වඩා මේ සඳහා ඇති මූලික අවශ්‍යතාව සැලකිල්ලට භාජනය වෙන්න ඕනෑ. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ දෙකක දී විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා පොරොන්දු වෙච්ච කෙනෙක්. පරාජය වෙච්ච ඡන්දෙදිත් මේක කිව්වා. ඒ වගේම පහුගිය දවස් ටිකෙත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ඔහු එකඟ බව ප්‍රකාශ කරලා තිබුණා. ඒක නිසා අපිට අවශ්‍ය වුණා ඔහු මේ ගැන දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා දැනගන්න.  
ඔහුත් එක්ක විතරක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු සියලු පක්ෂ සමඟ මේ ගැන සාකච්ඡා කරනවා ඉදිරියේදී.  


මහින්ද රාජපක්ෂගෙ පැත්තෙන් කොයි වගේ ප්‍රතිචාරයක් ද තියෙන්නේ මේකට?  
ඔහු කීප වතාවක් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව ප්‍රකාශ කළ බවත් ප්‍රතිපත්තියක් ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටින බවත් සඳහන් කළා. නමුත් විධායක ජනාධිපති ක්‍රමයත්, ඡන්ද ක්‍රමයත්, 13 වැනි සංශෝධනයත් එකිනෙකට ගැට ගැසී තියෙන නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරල තීරණයක් ගන්න ඕනෑ බව තමයි කිව්වේ. අපි පෙන්නලා දුන්නා අපි විසින් සකස් කරපු 20 වැනි සංශෝධනයේ දී 13 වැනි සංශෝධනයේ ජනාධිපතිවරයා සතුව තිබුණු බලතලත් සැලකිල්ලට ලක්කර ඇති බව. ඡන්ද ක්‍රමයේ වෙනසක් සමඟම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අපි එකඟයි කියලා අපි කිව්වා.  


පොහොට්ටුවෙ කට්ටිය පහුගිය දවස්වල කිව්වෙ ජේවීපී එකට ඕනෑ ඕනෑ හැටියට මහින්ද රාජපක්ෂ නටවන්න දෙන්නෙ නෑ කියලා.  
අපිට මහින්ද හෝ වෙන කවුරුන් හෝ නැටවීමේ උවමනාවක් නෑ. අපේ රට මේ ජනාධිපති පාලන ක්‍රමයෙන් ඕනවටත් වැඩිය පීඩාවට ලක්වෙලා තියෙනවා. මේක අපේ රටට අයෝග්‍ය බව දැන් වසර ගණනාවක් තිස්සේ ඔප්පු වෙමින් තියෙනවා. ඒ නිසා එය වෙනුවට පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමයක් වෙත අපි යා යුතුයි. මේ කරුණ අවධාරණය කරමින් සාක්ෂාත් කරගැනීමට යාම රාජපක්ෂ හෝ වෙන කවුරු හෝ නැටවීමක් නෙවෙයි. මේක අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරගැනීමේ ඒකායන අරමුණෙන් කරන දෙයක්. මේ අවුරුදු හතළිහක් පුරාවට විධායක ජනාධිපති ධුරයේ නරක අපි ඕනෑවටත් වැඩිය අත්දැකලා තියෙනවා. දැන්වත් ඒකට තිත තියන්න කියල අපි කියන්නේ. මේක ගැන සාකච්ඡා කිරීම කාව හරි නැටවීමක්වත් කාට හරි යටවීමක්වත් නෙවෙයි.  


පහුගිය කාලේ ජේවීපී එක, එක දිගට පහර පිට පහර දීපු මහින්ද රාජපක්ෂගේ අත්දෙක අල්ලගෙන සාකච්ඡා කරන්න යාමෙන් තියෙන ඡන්ද ටිකටත් තට්ටු වෙයි ද දන්නේ නෑ කියලා සමහරු කියනවා...  
මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුල පිළිබඳවත් රාජපක්ෂ පාලනය පිළිබඳවත් අපිට තියෙන විවේචනය අබමල් රොණකින්වත් හෝ අඩු වෙලා නෑ. ඒ විවේචන ඒ විදියටම තියෙනවා. ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් ඒක තවත් වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. ඕනෑම මජර වැඩක් හරහා බලය ඩැහැ ගැනීමේ කෑදරකමක් රාජපක්ෂලාට තියෙන බව ඒ අය ඔප්පු කරල තියෙනවා. අපිට ඔවුන් ගැන විවේචන තියෙනවා වගේම ඔවුන්ටත් අපි ගැන විවේචන ඇති. ඒත් මේ සාකච්ඡාවලට ඒ විවේචන බාධාවක් නෙවෙයි. මේක එයින් පිටස්තර සාකච්ඡාවක්. මේ සාකච්ඡා 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට දරන ප්‍රයන්තයේ අදියරක් පමණයි. ඒක ගැන ජනතාවට අවබෝධයක් ඇති කියල අපි විශ්වාස කරනවා.

  
ජේවීපී එකම කියපු විදියට දේශපාලන තක්කඩිකම ඕනෑවටත් වැඩිය ප්‍රයෝජනයට ගන්න මහින්ද රාජපක්ෂ මේ වෙලාවෙ ජේවීපී මතයට නැවෙයිද?  
ඒක මහින්ද රාජපක්ෂ අතේ තියෙන වැඩක්. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා ද නැද්ද කියල ඔහු තීරණය කළ යුතුයි. ඒ කොහොම වුණත් මේ විසිවැනි සංශෝධනය අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු නිසා අපිට වගකීමක් තියෙනවා මේක සම්මත කරගන්න ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම අරගන්න.  


ඒ සාකච්ඡාවට සම්බන්ධ වුණු දිනේෂ් ගුණවර්ධන හෝ ඩලස් අලහප්පෙරුම වගේ අයගෙ ප්‍රතිචාර කොහොමද?  
මේ තුන් දෙනාම එක පාර්ශ්වයක් විදියට තමයි සාකච්ඡාවට සහභාගි වුණේ. ඇතැම් කරුණු මහින්ද රාජපක්ෂ විසිනුත් ඇතැම් කරුණු දිනේෂ් සහ ඩලස් විසිනුත් ඉදිරිපත් කළා.  
මේ ගැන වෙනත් පක්ෂ සමඟ මේ ආකාරයට සාකච්ඡා කරන්නේ කවද්ද?  
තාම කතා කරල නෑ නිල වශයෙන්. ඒත් ඒ හැම පක්ෂයක්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය සමඟ ඉඳපු අය. මේ සියලු දෙනා එක්ක අපි ඉදිරි දින කීපය තුළ සාකච්ඡා කරනවා. ඔවුන් හැම දෙනාම මැතිවරණවල දී කිව්වෙ ඇත්ත ද බොරු ද කියලා මේකෙන් මැන ගන්නත් පුළුවන්.  


මේ සාකච්ඡාව නිල වශයෙන් ආරම්භ කරන්න මහින්දම තෝරා ගත්තේ ඇයි?  
ඔවුන්ගෙන් තමයි මුලින්ම දිනය හම්බවුණේ. ඒ ඇරෙන්න වෙන විශේෂත්වයක් නෑ.  


මේ ව්‍යවස්ථා සංශෝධනය යූඑන්පී කොන්ත්‍රාත්තුවක් කියල ජේවීපී එකට චෝදනාවකුත් එල්ල වෙනවා.  
 ඔව්. අපිත් දැක්කා බොහෝ දෙනා එහෙම ප්‍රකාශ නිකුත් කරල තිබුණා. ඒත් ඒකෙ කිසිදු ඇත්තක් නෑ. හරි හැටි කරුණු හොයා බලපු කෙනෙක් ඔය කතාව කියන්නේ නෑ. මේක සම්මත කළෝතින් රනිල්ගේ ආණ්ඩුව වසරකට කලින් ධුර කාලය අහිමි වෙනවා. මෙම සංශෝධනයේ දී රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා වන අතර ආණ්ඩුවෙ නායකයා වෙන්නේ අගමැතිවරයා. දැන් තියෙන එකට අනුව මහින්දට ජනාධිපති වෙන්න බෑ. ඒත් මේ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව මහින්දට ආණ්ඩුවේ නායකයා වීමේ හැකියාවක් තියෙනවා.

  
එතකොට මේක මහින්දගෙ කොන්ත්‍රාත් එකක් කියලා කාට හරි සැක හිතන්න පුළුවන්.  
 එහෙම බැලුවොත් ඒකට යම් සාධාරණ තර්ක තියෙනවා. අපිට මේ රටේ ආණ්ඩුව ගන්නෙ කවුද එයින් අයින් කරන්නේ කවුද කියන එක මේ වෙලාවෙ ද්විතීයික කරුණක්. රටේ නීති සම්පාදනයේ දී තනි පුද්ගලයින්ට ජය ගෙන දීම හෝ පරාජය ගෙන දීම ඉලක්ක කරගෙන එය සිදු නොකළ යුතුයි. 20 වැනි සංශෝධනය සකස් කරද්දී සමහරු අපිට කිව්වා දෙවරක් ජනාධිපති වෙච්ච කෙනෙකුට අගමැති වෙන්න බැරි විදියෙ වගන්තියක් ඇතුළත් කරන්න කියලා. තවත් අය කිව්වා ඉන්න ජනාධිපතිවරයාට ඉදිරි අවුරුදු පහත් නාමික ජනාධිපතිවරයා හැටියට කටයුතු කරන්න පුළුවන් විදිහේ වගන්තියක් ඇතුළත් කරන්න බැරිද කියලා. ඒත් මේක පුද්ගලයන් දෙන්නෙකුට බලපාන ආකාරයට කරන වැඩක් නෙවෙයි.  


බැරිවෙලාවත් මේක මහින්දගෙ වාසියට හිටියොත් ජේවීපී එකට කන්න තමයි වෙන්නේ.  
 අපි හිතන්​නේ නෑ ජනතාව තවදුරටත් එවැනි පටු තැන්වලින් මේ දේවල් අල්ල ගනීවි කියලා. ජවිපෙට ගහන අවලාද මඩ මත ජනතාව ජවිපෙ ගැන තීන්දු ගත්ත නම් මේ වෙද්දී ජනතා විමුක්ති පෙරමුණත් නෑ. ඔබම කියන්න රටට ව්‍යසනයක් වෙච්ච මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා පොරොන්දු දීපු අය ඒක නොකරද්දී අපි මැදිහත් වෙලා ඒ වැඩේ ඉදිරියට තල්ලු කරන එක වැරදිද කියලා. මේක කවුරු හරි කරන්න ඕනෑ නැද්ද? අපි මේකට මුල පිරුවා. ඒකට කවර ලේබල් ඇලෙව්වත් කවර අර්ථකතන දුන්නත් මේක රටේ අවශ්‍යතාවයක්. ඔය අවලාද හමුවේ අපි මේක පස්සට ගන්න සූද‌ානම් නෑ.  


මේ සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කරුණු කියපු දිනේෂ් ගුණවර්ධන හිනාවෙමින් කිව්වේ දේශපාලනයට අමතර දේවලුත් කතා බහ කළා කියලා. ඒ මොනවද?  
සමාජයට හෝ ඔවුන්ට යම් අදහසක් තියෙනව නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පදනම් කරගෙන හටගැණුනු සාකච්ඡාව වෙනත් දේශපාලන ගමනකින් කෙළවර කරගත හැකියි කියලා එහෙම දෙයක් නම් සිද්ධ වෙන්නෙ නෑ. මේ සාකච්ඡාව නිශ්චිත වශයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පමණක් සිදුවෙන්නක්. 

 
ඒ කියන්නේ වෙන වෙන අය එක්ක මීට පස්​සේ කිසිම ​දේශපාලන දීග නෑ කියල ද?  
පැහැදිලිවම නෑ. එහෙම අවශ්‍යතාවයක් ඇතිවෙන එකක් නෑ.  


මේ දවස්වල ඊළඟ ප්‍රධාන මාතෘකාව අයවැය. ජවිපෙ පුරුද්දට වගේ මේකටත් විරුද්ධයි.  
හැමද‌ාම විරුද්ධයි වගේ නෙමෙයි. මේකට වගේම කලින් ඒවටත් කරුණු ඇතුව තමයි අපි විරුද්ධ වුණේ. අපේ රටේ තවදුරටත් අයවැයවල් කියන්නේ හාස්කම් නෙවෙයි. තියෙන අර්බුද හමුවේ තව අවුරුද්දක් ඇදගන්නෙ කොහොමද කියලා බලන වැඩක් මේ. ඇති වී තියෙන ආර්ථික අභියෝග ජයගන්න හැකියාවක් මේකට නෑ. මංගල අයවැය කතාව පටන් ගත්තේ මෙතෙක් ආරම්භ කරන ලද ලිහිල්කරණය තවත් ලිහිල් කරමින් ඉදිරියට ගෙනියන්න ඔවුන්ගේ අභිප්‍රාය බව. මේ ලිහිල්කරණයම තමයි අපේ රටේ අර්බුදය නිර්මාණය කළේ. රට විශාල ණය ප්‍රමාණයක හිර කළේ. නිෂ්පාදන කඩා වැට්ටුවේ. ආහාර සුරක්ෂිත භාවය අහිමි කළේ මේ හරහා තමයි.  


මේ ගමන් මගේම ඉදිරියට ඇදී යාමක් නම් රටේ අනාගතය ගැන කවර කතා ද? හේතු ගණනාවක් උඩ අපි මේකට විරුද්ධව ඡන්දය දෙනවා. පක්ෂ වෙන්න පුළුවන් කිසිදු සාධනීය තත්ත්වයක් මේ අයවැයේ දකින්න නෑ.  


යූඑන්පී එකේ පසුපෙළ පිරිසක් ජනාධිපති වැය ශීර්ෂයට විරුද්ධ සටනකට බැහැලා.  


ඇත්තටම ජනාධිපතිවරයාට ඔහුට ලැබුණු ජනවරමට පිටුපාලා තියෙන තත්ත්වයක තවදුරටත් ඔහුට වැය ශීර්ෂයක් වෙන් කළ යුතු ද කියන ප්‍රශ්නය තියෙනවා. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩල තියෙනවා. ඒක අධිකරණයෙන් තීන්දු කරල තියෙනවා. අපි නම් කියන්නේ ජනාධිපතිවරයගෙ විතරක් නෙවෙයි අගමැතිවරයගෙත් පරාජය කළ යුතුයි. ඔහුට බලය දුන්නේ මහ බැංකුවෙ සල්ලි කොල්ල කන්න නෙවෙයි. ඒක නිසා මේ දෙන්නාගෙම වැය ශීර්ෂ පරාජය කළ යුතුයි හරි නම්.  


අයවැය අප්සෙට් නිසාද මුදල් ඇමැතිගේ ටී පාටියත් වර්ජනය කෙරුවෙ?  
ඒක අපි නිල සංකේත විරෝධයක් විදියටයි. රට අර්බුදයට ද‌ාපු ජනතාවට සහන නොදීපු අයවැයකට පස්සේ තේ බීල සතුටු සාමීචියකට නොයන්න අපි තීන්දු කළා. මේක සංකේතාත්මක දෙයක්. මොකද අපි තේ නොබිව්ව කියලා ඔය අර්බුදය හරි ගැස්සෙන්නේ නෑ. මේක සද‌ාචාරය පිළිබඳ ප්‍රශ්නයක්.  


මංගලගෙ තේ නොබිව්වට මහින්ද රාජපක්ෂ එක්ක සාකච්ඡාවට ගියාම දුන්න තේ නම් බිව්ව නේ...  
මේක අවස්ථා දෙකක්. එයාල තේ ගෙනත් දුන්නා. ගෙදරකට ගියාම තේ එකක් දීමත් ඒක බාර ගැනීමත් සම්ප්‍රදායික දෙයක්. මේක එහෙම එකක්නේ. එහෙම නැතුව තේ පැන් සාදයකට අපි ගියා නෙවෙයිනේ.  


හොඳ සිහියෙන් දේශපාලනය කරනව කියන ජේවීපී එකේ අය මේ තරමට වාහන හප්ප ගන්නේ ඇයි?  
අප මේ කතා කරන මොහොතේ ලාල්කාන්ත සහෝදරයාට ඇප ලබා දීල තියෙනවා. පොලිසිය මේ පිළිබඳ පරික්ෂණ පවත්වනවා. අධිකරණය ඒ පිළිබඳව වග විභාගයට ලක් කරනවා. අපි ඒවට බාධාවක් හෝ මැදිහත් වීමක් කරන්නේ නෑ. ඒක තමයි අපි කළ යුතු දේ. අත්වැරදීම් වෙන්න පුළුවන් කාගෙත් වුණත්.  


ලාල් බීලා හිටියා කියන එක තමයි ප්‍රවෘත්තිය වුණේ?  
මේ ගැන පළවුණු ප්‍රවෘත්තිවලින් පෙනුනෙ ජනතා විමුක්ති පෙරමුණෙන් ජනතාව බලාපොරොත්තු වෙන විනය කවරාකාර ද කියලා. මීටත් වඩා බරපතළ අනතුරු කරපු දේශපාලකයින් පිළිබඳ කතා නොකරන ආකාරයට තමයි අපි ගැන ජනතාව සහ මාධ්‍ය කතා කරන්නේ. මෙයින් පක්ෂයේ හැම දෙනාම උගත යුතු පාඩම් තියෙනවා.  


ජේවීපී එකේ අය ඕනෑවට වැඩිය ස‌ාදාචාර සීමාවන්වල හිරවෙලා ඉන්න එකෙන් නෙවෙයිද මෙවැනි අවමානය ලැබෙන්නේ?  
ඒක සදාචාර සීමාවන් හිරවීමක් නෙමෙයි. අපිත් කළ යුත්​ෙත් මේ පවත්නා සමාජ ක්‍රමය දිගටම අරගෙන යාම නම් මේ සමාජ ක්‍රමයේම නට් එකත් ඇණයත්, මුරිච්චියත් වෙලා ඉන්න පුළුවන්. ඒත් අපි හමුවේ තියෙන්​ෙන් ඊට වඩා වැඩි අභියෝගයක්.  


සරලවම ඇහුවොත් ජේවීපී කාරයින්ට අඩියක් පුඩියක් ගහන්න බරිද?  
එහෙම බාධාවක් නෑ. නමුත් අපි පුද්ගලික මුදල් උපයන අය නෙවෙයි. අපි දේශපාලන ව්‍යාපාරයක් විදියට උරදීල තියෙන අභියෝග රාශියක් තියෙනවා. අපිට මුදල් ලබා දෙන සහෝදරයන්ගේ විශ්වාසය රකින්න ඕන. ඒ වගේම අපේ සෞඛ්‍ය ගැන හිතන්න ඕනෑ. අපි කටයුතු කළ යුතු ආකාරය ගැන අපි තුළ ස්වයං වාරණයක් තිබිය යුතුයි. අපිට ඒ සීමාවන් ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ.  


ජේ.වී.පී. එකේ වෙන අය භුක්ති නොවිඳින ෆ්‍රීඩම් එකක් ලාල්කාන්ත භුක්ති විඳින බව පේනවා. ඔහු ප්‍රසිද්ධියෙමත් ඒ නිදහස ගැන කියනවා.  
ඔය ව​ෙග් දේවල් ඉතිහාසය පුරාම තිබුණා. මාධ්‍ය හදන ප්‍රබන්ධ හරහා අපි අතර ගැටුම් ඇතිවෙයි කියල හිතන්න එපා. අපි ඒවට යටවෙන්නේ නෑ. අපි කවුරුත් පක්ෂය විසින් ගන්න තීන්දුවලට අනුව තමයි කටයුතු කරන්නේ. පක්ෂයේ මතයට පිටින් කවුරුවත් වැඩ කරන්නේ නෑ. මාධ්‍ය උත්සාහ කරනවා ජනතා විමුක්ති පෙරමුණෙන් එන එන අය වෙන වෙන තැන්වලට තල්ලු කරලා නැති ගැටුම් ඇති කරන්න. එක් එක් අය ගැන වෙනස් වෙනස් චිත්‍ර මවන්න හදනවා. ඒත් අපි සාමූහිකව වැඩ කරන පක්ෂයක්. කෙනෙක් භුක්ති විඳින සැහැල්ලුව හෝ නිදහසක් තව කෙනෙකුට නැද්ද වගේ කතා පදනමක් නැති නිෂ්ඵල දේවල්.  

ප්‍රියන්ත කොඩිප්පිලි