ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති හිටපු රාජ්‍ය ඇමැති, නීතිඥ
ලක්ෂ්මන් වසන්ත පෙරේරා
හැම දෙනාටම ජීවත් වෙන්න වෙලා තියෙන්නේ බලාපොරොත්තු විරහිතව. රටේ තරුණ තරුණියන්ට රට ගැන විශ්වාසයක් නෑ. ඔවුන් රට යන්න බලන්නේ. ඒ නිසා අපේ රටේ කර්මාන්ත බිඳවැටිලා. මුළු ලෝකයම අද අපේ රට ගැන කතා කරනවා. අන්තිම දුප්පත් රටක් බවට අපේ රට පත්වෙලා. ජනතාව විලාප තියනවා.
මුළු රටම අර්බුද වගුරේ කැලැතෙමින් තිබේ. විසඳුමක සේයාවක් හෝ දක්නට නැත. මෙම පසුබිම තුළ මාතලේ දිස්ත්‍රික්කය ඉලක්ක කරමින් ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ ඒ ගැන විමසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති හිටපු රාජ්‍ය ඇමති, නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- පහුගිය මහ මැතිවරණ පරාජයෙන් පස්සෙ ඔබ නිහඬයි? දේශපාලනය ගැන කලකිරිලද?
පිළිතුර:- ඇත්තටම මම නිහඬ වුණා කියන කතාව මම පිළිගන්නේ නෑ. මාතලේ දිස්ත්‍රික්කයෙ ජනතාව දෙවරක්ම ඉහළම මනාපයෙන් මාව ජයග්‍රහණය කෙරෙව්වා. හැබැයි මේ පාර මහ මැතිවරණයේදී මගේ දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කරලා වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගත්තා නම් මට දිනන්නත් තිබුණා.
ප්‍රශ්නය:- ඔබ කියන්නේ පොදුජන පෙරමුණෙන්?
පිළිතුර:- ඔව්. මම මේ පාර තරග වැදුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඒ වෙලාවේ මාතලේ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවට සම්බන්ධ පළාත් පාලන මන්ත්‍රීවරුන් හැටඅට දෙනෙකුත් පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දහතුන් දෙනෙකුත් මට එරෙහිව කටයුතු කළා. මම ඒකෙන් සැලුණේ නෑ. මම කච්චේරියට අඩියක්වත් තිබ්බේ නෑ. හේතුව එතැනට ගිහින් වැඩක් නෑ කියලා මට තේරුණා.
ප්‍රශ්නය:- එහෙම තේරුණේ?
පිළිතුර:- නෙළුම් මාවතෙන් මාව පරාජය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරලා තිබුණ බව මා දැනගෙන හිටියා. ඒ නිසා ඒ පරාජය කච්චේරිය ඇතුළෙන් වෙච්ච පරාජයක් හැටියට මිසක් ජනතාවගෙන් වෙච්ච පරාජයක් නොවෙයි.
ප්‍රශ්නය:- ඔබව හැඳින්වුණේ මාතලේ තෙන්නකෝන්ලාට එරෙහිව රාජපක්ෂ කඳවුරෙන් දාපු නියෝජිතයා කියලයි. දැන් ඔබ කියනවා ඔබට කැපිල්ල ආවේ පොහොට්ටුවෙන්ම කියලා?
පිළිතුර:- තෙන්නකෝන්ලට එරෙහිව මම සටන් කළ එක ඇත්ත. ඇත්තටම තෙන්නකෝන්ලම මාව සටනට කැඳෙව්වා මිසක් මට සටනක් කරන්න ඕනැ වුණේ නෑ. කොහොම වුණත් ඒකේ ප්‍රතිඵල අද හැමෝටම ලැබිලා තියෙනවා. මම සතුටු වෙනවා. කච්චේරියෙන් මාව පරාජය කරලා ගෙදර යැවීම ගැන. ඒ වගේම මාතලේ ජනතාවට මම ස්තූතිවන්ත වෙනවා. මට ඡන්ද හතළිස් පන්දහස් ගානක් දුන්නා. මම අදත් ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක යෙදෙනවා. නිහඬවම මම මගේ ගමන යනවා.
ප්‍රශ්නය:- අද රටේ තත්ත්වය ගැන ඔබට මොකද හිතෙන්නේ?
පිළිතුර:- රටේ තත්ත්වය ඉතාම දුක්ඛදායකයි. අපිට කනගාටුව අපි ගැන නොවෙයි. අනාගත පරම්පරාව ගැනයි. උපනූපන් දරුවන් මේකෙන් විඳවනවා. හැම දෙනාටම ජීවත් වෙන්න වෙලා තියෙන්නේ බලාපොරොත්තු විරහිතව. රටේ තරුණ තරුණියන්ට රට ගැන විශ්වාසයක් නෑ. ඔවුන් පිටරට යන්න බලන්නේ. ඒ නිසා අපේ රටේ කර්මාන්ත බිඳවැටිලා. මුළු ලෝකයම අද අපේ රට ගැන කතා කරනවා. අන්තිම දුප්පත් රටක් බවට අපේ රට පත්වෙලා. ජනතාව විලාප තියනවා. මේ මොහොතෙදී රට වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා මම හිතනවා.
ප්‍රශ්නය:- මේ තත්ත්වයට වගකිව යුත්තේ කවුද? ඔබත් හිටපු රාජ්‍ය ඇමැතිවරයෙක්?
පිළිතුර:- මරණයක් වුණාම මරණ පරීක්ෂණයක් තියලා සහතිකයක් දෙන්න පුළුවන්. නමුත් එමගින් මැරිච්ච මිනිහට පණ එන්නේ නෑ. කුණු වෙච්ච ඕජස් ගලන මේ දේශපාලන ගොහොරුවේ එරෙන්නේ නැතිව දැන් කළ යුතුව තිබෙන්නේ රට කොහොමද මේ විපතෙන් ගලව ගන්නේ කියලා හිතන එකයි.
ප්‍රශ්නය:- ඔබට දැන් මොනවද ඒ වෙනුවෙන් කරන්න පුළුවන්?
පිළිතුර:- මගේ පළමු උත්සාහය මාතලේ දිස්ත්‍රික්කය ගොඩගැනීම. ඇත්තටම මාතලේ දිස්ත්‍රික්කය කියන්නේ වර්ග කිලෝමීටර 1990ක් තියෙන දිස්ත්‍රික්කයක්. සිංගප්පූරුව වගේ දෙගුණයක් විශාලයි. මේ දිස්ත්‍රික්කයෙ තියෙනවා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක්. පළාත් පාලන ආයතන ප්‍රාදේශීය සභා සහ මහ නගර සභා 13 ක් තියෙනවා. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 548 ක් තියෙනවා. ගම්මාන 1368 ක් තියෙනවා. මන්ත්‍රී ආසන හතරකින් සමන්විතයි. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් කියන සියලු ජනවර්ග ජීවත් වෙනවා. මම එදා ඉඳලම බැලුවේ මේ දිස්ත්‍රික්කය කොහොමද ගොඩ නගන්නේ කියලයි. මම සංවර්ධන කමිටුවේ සභාපති විදියට හිටපු කාලේ ගොඩක් සැලසුම් හැදුවා. නමුත් ඉන්න දේශපාලනඥයන් ඒකට ඉඩ දුන්නේ නෑ. ඔවුන් කරන්නේ දේශපාලනය. ඔවුන් බලන්නේ පාර්ලිමේන්තු යන්න. දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වැඩ කරපු දේශපාලනඥයන් නිසයි.
ප්‍රශ්නය:- දේශපාලන බලය නැතිව ඔබට පුළුවන්ද දිස්ත්‍රික්කය දියුණු කරන්න?
පිළිතුර:- පුළුවන්. මාතලේ කියන්නේ කෘෂි ආර්ථිකයක් තියෙන දිස්ත්‍රික්කයක්. මේකේ තේ කෝපි රබර් පොල් තියෙනවා. මැණික්, මිනිරන්, ඩොලමයිට් තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කය මැදින් ප්‍රධාන ගංගා 5 ක් ගලා යනවා. වැව් 310 ක් තියෙනවා. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන වනෝද්‍යානයක් තියෙනවා. මොරගහකන්ද ජලාශය තියෙනවා. මේ දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න කවුරු හරි බෑ කියනවා නම් එහෙම කියන්නේ මේ දිස්ත්‍රික්කයට ශාප කරන දේශපාලනඥයන්. ඒකට නිලධාරිනුත් වගකියන්න ඕනැ. නිලධාරීන් බොහෝ දුරට දේශපාලනඥයන්ගේ අරමුණු සඵල කරන්න ගිහිල්ලා මේ විනාශය කරලා තියෙනවා. දිස්ත්‍රික්කයට වුණ දේම තමයි රටට වෙලා තියෙන්නේ.
ප්‍රශ්නය:- ඇත්තටම ජනතාවට අවශ්‍ය ක්ෂණික විසඳුම්. මිනිසුන්ට ගෑස් නෑ. ඉන්ධන නෑ.
පිළිතුර:- ඔව්. අපි මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව විඳවනවා බලන්න බැරිකමට. දැන් බලන්න දරුවන්ට බෙහෙත් නෑ. ගැබිනි මාතාවන්ට අවශ්‍ය දේවල් නෑ. බේසමක් හොයාගන්න නෑ. දරුවන්ට පොත් නෑ. පාසල් ටික වහලා. ගමනාගමනය ඇණහිටලා. රස්සාවලට යන්න විදියක් නෑ. ගොවියා අතරමං වෙලා. දිස්ත්‍රික්කයේ මිරිදිය කර්මාන්තය බිඳවැටිලා. අද හැම පැත්තෙන්ම බලාගෙන ගියාම ලංකාවටම උරුම වුණ දුක අපේ දිස්ත්‍රික්කයටත් උරුම වෙලා තියෙනවා. මේකෙන් මාතලේ දිස්ත්‍රික්කය ගලවා ගන්න වැඩපිළිවෙළක් මා සතුව තියෙනවා. මම කියන්නේ ජනාධිපතිතුමාට. ඉන්න ඇමැතිවරුන්ට. ඒ ඒ දිස්ත්‍රික්කවල ඉන්න ප්‍රධාන ව්‍යාපාරිකයන් විවිධ අපනයන ක්ෂේත්‍රවල නියැලිලා ඉන්නවා. ඔවුන්ගේ ඩොලර් වෙනත් මාර්ගවලින් විදේශවලට යන්න නොදී එම මුදල් එකතු කරල ඒ දිස්ත්‍රික්කයට අවශ්‍ය තෙල් ටික, ගෑස් ටික, පෙට්‍රල් ටික, භූමිතෙල් ටික, ළදරු කිරිපිටි ටික, දරුවන්ට අවශ්‍ය බෙහෙත් ටික අපට සපයා දෙන්න පුළුවන්. ඒ ඒ දිස්ත්‍රික්ක ටික ඒ විදියට ක්‍රියා කළොත් රට ඉබේම හැදෙනවා.
ප්‍රශ්නය:- ඔබ ඒක මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනවා?
පිළිතුර:- ඇත්තෙන්ම ඔව්. ජාත්‍යන්තර ව්‍යාපාරිකයෝ දැන් මගෙත් එක්ක අත්වැල් බැඳ ගනිමින් ඉන්නවා. මුළු රටටම මට කරන්න බෑ. මම බලන්නේ මගේ දිස්ත්‍රික්කයේ ජනතාවයි. මම මුළු ලංකාවටම මාතලේ දිස්ත්‍රික්කය ආදර්ශ දිස්ත්‍රික්කයක් බවට පත්කරනවා. ඒක හරිම විනිවිද භාවයෙන් මම කරනවා. රටක් විදියට අපි දියුණු වෙන්නේ කොහොමද කියලා මම මාතලේ දිස්ත්‍රික්කයෙන් පෙන්නනවා.
ප්‍රශ්නය:- ධම්මික පෙරේරා කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඔහු අද ඇමැතිවරයෙක්. කුමක් වෙයිද?
පිළිතුර:- ධම්මික පෙරේරා ඇමැතිතුමාව මම ඇසුරු කරලා නෑ. මම නවලෝක රෝහලට ගිය වෙලාවක මම දැක්කා එතුමා දියණියත් සමග ඇවිත් ඉන්නවා. මම එතුමව ටීවී එකෙන් තමයි දකින්නේ. එතුමාගේ දර්ශනය ඉතාම හොඳයි. එතුමා දේශපාලනයට ආවේ සද්භාවයෙන් කියලා මම තදින්ම විශ්වාස කරනවා. එතුමාට මුදල් හම්බ කිරීමේ අවශ්‍යතාවක් නෑ. මම එතුමාට යෝජනා කරනවා කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්ක තුනේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වන ගෑස් ටික, ඉන්ධන ටික්, අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ, කිරිපිටි ටික අරන් දුන්නොත් මේ දිස්ත්‍රික්ක තුන හැදුවොත් එතුමාට රට හදන්නත් පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එතුමා අනිවාර්යයෙන්ම එතැනට යයි. ගම හැදුවොත් අපි ආසනය හදනවා. ආසනය හැදුවොත් අපි දිස්ත්‍රික්කය හදනවා. දිස්ත්‍රික්කය හැදුවොත් අපි පළාත හදනවා. පළාත හැදුවොත් ඒක රට හැදුවා වෙනවා. ඒකනේ අපේ න්‍යාය වෙන්න ඕනැ. එතුමාගේ ව්‍යාපාරික ඥානය ඉතා ඉහළයි. මම එතුමාගේ වැඩසටහන් ගොඩක් බලලා තියෙනවා. එතුමා රට හදන වැඩේ කරන ගමන් පළමුවෙන්ම ඔහුට තිබෙන ජාත්‍යන්තර සබඳතා පාවිච්චි කරලා අර මම කියපු දිස්ත්‍රික්ක තුන හැදුවොත් රට හදන වැඩේ එතුමාට පහසු වේවි.
ප්‍රශ්නය:- මාතලේ දිස්ත්‍රික්කය ආදර්ශමත් දිස්ත්‍රික්කයක් කරනවා කියලා ඔබ කිව්වා. කවදද පටන් ගන්නේ?
පිළිතුර:- දැනටමත් පටන් අරගෙන ඉවරයි. ජනතාවට දැන් දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ. දේශපාලනඥයකු දකින කොට සතර පෙර නිමිති දකිනවා වගෙයි. එහෙම කලකිරීමක් ඇතිවෙන්නේ. ඒ නිසා දේශපාලන රාමුවෙන් අපි එළියට යන්න ඕනා. මම විශ්වාස කරනවා මට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ත්‍රීවීල් රථ රියදුරන් ලක්ෂ 20 විතර ලංකාවේ ඉන්නවා. ඔවුන් මොනතරම් දුක් විඳිනවාද. ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය දැන් නැති වෙලා තියෙනවා. මිනිසුන්ට කන්න නෑ. මෝටර් සයිකල්වලින් එන්නේ ලොකු මිනිස්සු නොවෙයි. පොඩි මිනිස්සු. අද ඔවුන් මහපාරේ වේළෙනවා. මම කියන්නේ ප්‍රධාන වශයෙන්ම ගොවියට අවශ්‍ය භූමිතෙල් ටික පොහොර ටික දෙන්න ඕනැ. ත්‍රිරෝද රථවලට ඉන්ධන ටික දෙන්න ඕනැ. මෝටර්සයිකල්වලට ඉන්ධන ටික දෙන්න ඕනැ. ඊට පස්සේ අපට ඩීසල් ටික දෙන්න පුළුවන් වේවි. ඒකට මම පුළුවන් තරම් කැපවෙනවා. ගොවියට පොහොර ටික දෙන්න මම ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමාගම් එක්ක සාකච්ඡා කළා. ඔවුන් කැමැත්තෙන් ඒකට ඉදිරිපත් වුණා. මට ඒවා රටට බෙදන්න බෑ. මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට මම ඒවා බෙදනවා. මේ විදියට ප්‍රධාන ව්‍යාපාරිකයන් මැදිහත් වෙනවා නම් මේ රට හදන්න බැරි නෑ. අපි දැක්කනේ කොරෝනා කාලේ ෆ්ලයිට් අරගෙන ගිහින් වැක්සින් එක ගෙනාවනේ. ඇන්ටිජන් ගෙනාවනේ. ඇයි ඒ සංකල්පය දැන් නැත්තේ? ඇයි ඒ උනන්දුව දැන් නැත්තේ. ඒක ව්‍යාපාරයක් විතරක්ද? තමන්ගේ හෝටල් දීලා කෝටි ගණනින් හම්බ කළා. ඇයි දැන් ඉදිරිපත් වෙන්නේ නැත්තේ. ඔවුන් දැන් තමයි පෙරමුණ ගන්න ඕනෑ. දැන් අහුමුළුවල ඉඳලා දැන් මට ගහයි. මට අපහාස කරයි. හැබැයි මං ඒවට සැලෙන්නේ නෑ. අපිට ඒවට මුහුණ දෙන්න පුළුවන්. මට අවශ්‍ය මගේ ජනතාවට සේවය කරන්න විතරයි.
ප්‍රශ්නය:- ඔබ කතා කරන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ගොවියන් ගැනයි. ත්‍රිරෝද රථ රියදුරන් ගැන විතරයි. ඒක ප්‍රායෝගිකද?
පිළිතුර:- රටටම සේවය කරන්න ජනාධිපතිවරයෙක් ඉන්නවා. කැබිනට් මණ්ඩලයක් තියෙනවා. පාර්ලිමේන්තුව තියෙනවා. මම ත්‍රිරෝද රථ රියැදුරන් ගැන කතා කරන්නේ ඔවුන් කාටවත් බරක් නැතිව ජීවත් වෙච්ච අය. ඔවුන් ජීවත් වුණේ ඔවුන්ගේ ශක්තියෙන්. ඔවුන් යමක් උපයාගත්තේ ජනතාවට යම් සේවයක් කරලයි. ඔවුන් තමයි අද වැඩිපුරම මහපාරේ ඉන්නේ. ගොවියාට අද පොහොර දුන්නත් භූමිතෙල් නෑ. මේ කන්නයත් විනාශ වුණොත් ඇත්තටම අපිට කන්න නැති වෙනවා. මම ඒ නිසයි ඔවුන් ගැන හිතන්නේ. ඊට අමතරව වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගැනත් මම අවධානය යොමු කරනවා. රාජ්‍ය සේවකයන්ට පහසුවෙන් ඉන්ධන දෙන්න පුළුවන් නම් ඒක ඔවුන්ට ලොකු සහනයක්. මාතලේ දිස්ත්‍රික්කය ගත්තොත් ඉන්ධන පිරවුම් හල් 38 ක් තියෙනවා. මේ පිරවුම්හල්වලට සතියට අවශ්‍ය වන්නේ ටොන් හයයි. නැවකින් එකපාරකට ටොන් හයදහස් හාරසීයක් ගේන්න පුළුවන්. පැට්‍රෝල් ප්‍රවාහනය කරන නැව් වෙනම තියෙනවා. ලීටර් ටොන් හයදාහ ගානේ එක ෂෙඩ් එකක ගැහුවොත් අපේ දිස්ත්‍රික්කයටම ඇති.
ප්‍රශ්නය:- ආණ්ඩුවෙන් ලැබෙන සහයෝගය කොහොමද?
පිළිතුර:- මේ සම්බන්ධයෙන් මම ලිඛිත ඉල්ලීමක් කරලා තියෙනවා. මම හිතනවා ජනාධිපතිතුමා මාතලේ ආදර්ශය අනෙකුත් දිස්ත්‍රික්කවලටත් ආදේශ කළොත් ඒක රටටම වැදගත් වෙයි. ඒකට රටේම ඉන්න ව්‍යාපාරිකයන් කැඳවන්න ඕනෑ. එහෙම ජනාධිපතිතුමාගේ එක හිසරදයක් අවසන් වේවි.
ප්‍රශ්නය:- ඔබ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කිට්ටුවන්තයෙක් එදා. ඒ සම්බන්ධය තාම තියෙනවද?
පිළිතුර:- මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මාව දේශපාලනයට ගෙනාවේ. සිරිමාවෝ මැතිනියගේ කාලේ 1983 දී පාසල් ශිෂ්‍යයෙකු හැටියට තමයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුණේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ මනුස්සකම ඉහළින්ම තියෙන කෙලෙහිගුණ දන්නා විශ්වාසවන්ත නායකයෙක්. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මට අමතක කරන්න බෑ. දින පනස් දෙකේ ආණ්ඩුවේ කපුකමට මම ප්‍රධාන වශයෙන්ම සම්බන්ධයිනේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඒ තරමට මාව විශ්වාස කළා. එතුමත් හොඳ නායකයෙක්. අදත් මේ නායකයෝ දෙන්නා එක්කම මගේ හොඳ සම්බන්ධයක් තියෙනවා. අනුර කුමාර දිසානායක, පාඨලී චම්පික රණවක මැතිතුමන්ලත් ඒ වගේම දක්ෂ පක්ෂ නායකයන්. අපට මතවාදී වෙනස්කම් තියෙනවා. නමුත් අපි හැමෝටම එකට එකතු වෙන්න පුළුවන් නම් මේ රට හදන්න පුළුවන්. එහෙම නොවුණොත් රට විනාශ වීම වළක්වන්න බෑ.
ප්‍රශ්නය:- ඔබ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන මුකුත් කිව්වේ නෑ.
පිළිතුර:- ඇත්තෙන්ම එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මම සෑහෙන්න කැප වුණා. රැස්වීම් හාරසිය ගාණක් කළා. නමුත් කවුරුහරි එතුමාට මා ගැන වැරැදි අදහසක් දුන්නා. ඉතින් එතුමට හොඳයි නම් මට කමක් නෑ කියලා මම හිතුවා.
ප්‍රශ්නය:- රටේ ආහාර අහේනියක් ඇතිවිය හැකි බවට ඉඟි පළවුණා. මේකට වැඩපිළිවෙළක් නැද්ද?
පිළිතුර:- දෙවේලක් කාලා ජීවත් වෙන්න කියලා අපේ නායකයෙක් කියලා තිබුණා. මේක තමයි මේ රටට වෙච්ච පළමු හෙණය. අද ඉන්දියාවට අපි ගියාම අහන්නේ ‘උඹලට කන්නවත් නෑ නේද’ කියලා. අපිව හිඟන්නෝ කරලා, ගෙදර කන්න බොන්න නැති වුණත් අම්මා තාත්තා ඒක එළියට දාන්නේ නෑ. ‘අපේ ගෙදර කන්න නෑ අපි ණය වෙලා තියෙනවා. ඒ ණය ගෙවාගන්න බෑ කියලා කිව්වොත් ඒ ගෙදර දිහා බලන්නවත් කෙනෙක් නෑ. අද අපේ රටට වෙලා තියෙන්නෙත් ඒ දේමයි. අපේ ඩොලර් සංචිත හිඳුනා. අපිට ඩොලර් නෑ. අපි ඒක පිළිගන්නවා. මේ තත්ත්වය අපි ලෝකයට කියලා අපේ රට තව තවත් හෑල්ලු කරනවා නම් ඒක රටක නායකයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි දෙයක් නොවෙයි. යුක්රේන ජනාධිපතිතුමා ගත්තොත් එතුමාට මොන තරම් අභියෝග ආවත් ඔහු ජාත්‍යන්තරයට කියන්නේ ‘මම මේ ගේම ගහනවා. මට ශක්තිය තියෙනවා. ඔබලාගේ සහයෝගය මට දෙන්න’ කියලයි. ඒකනේ යුරෝපා සංගමය අපේක්ෂකත්වය දුන්නේ. නායකයෝ එහෙමයි. නායකයොම කියනව නම් ‘අපි ණයයි. අපිට කන්නවත් නෑ’ කියලා. මොන තරම් නින්දාවක්ද රටට. අපේ රට කන්න නැතිව මිනිස්සු මැරෙන රටක් නොවෙයි.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්