මැතිනියගේ ආණ්ඩුවට එරෙහිව අසාර්ථක හමුදා කුමන්ත්‍රණයක්


1959 බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව 1960 ජූලි මහ මැතිවරණයෙන් අනතුරුව සෙනෙට් සභා මන්ත්‍රීවරමින් අග්‍රාමාත්‍ය ධුරයට පත් ලෝකයේ ප්‍රථම අගමැතිනිය  වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන බලය පෙරළා දැමීම 1962 ජනවාරි 27 අසාර්ථක වූ හමුදා කුමන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ විය. මේ වනවිට වසර 63ක් ඉක්මවා ඇති මෙම හමුදා කුමන්ත්‍රණයේ නායකයින් සියලු දෙනාම ක්‍රිස්තු භක්තිකයයන් හින්දු හෝ ක්‍රිස්තියානි දමිළ නැතිනම් බර්ගර් ජාතිකයෝ වූහ. කුමන්ත්‍රණයට ගැවී සිටී එකම සිංහල බෞද්ධයා ස්ටැන්ලි සේනානායක නම් (පසුව පොලිස්පති) පොලිස් නිලධාරියා විය. 

1962 ජනවාරි 27 වැනි දින කුමන්ත්‍රණ සැලසුම්කරුවන් කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට දිනය වශයෙන් යොදාගෙන තිබුණු අතර, ඒ තුළින් රජයට සම්බන්ධ හා විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබුණි. විශේෂයෙන් අගමැතිනිය අත්අඩංගුවට ගෙන ගාලු මුවදොර පිහිටි හමුදා වෙඩි බෙහෙත් ගබඩාවේ රඳවා තබා රාජ්‍ය බලය මාරු වූ බවට එතුමියගෙන් ප්‍රකාශයක් අත්සන් කරවා ගැනීම කුමන්ත්‍රණකරුවන්ගේ සැලැස්ම විය. මේ තත්ත්වය දැන සිටි කනිෂ්ඨ පොලිස් නිලධාරියකු වූ ස්ටැන්ලි  සේනානායක 27 වැනි දින රාත්‍රියේ කුමන්ත්‍රණය ක්‍රියාත්මකවීමට පෙර එදින සිදුවන දේ පිළිබඳවත් කුමන්ත්‍රණයෙන් පසුව ඔහු උසස් වන අන්දමත් තම බිරිඳට ප්‍රකාශ කර සිටියේය. 

එම සිදුවීම මුළු රටේම යහපතට බලපෑ හේතු සාධකය විය. ඔහුගේ බිරිඳ වනාහී අධ්‍යාපනඥයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ද ඇස් කුලරත්න මහතාගේ දියණියයි. මැතිනිය සමග දේශපාලනයේ නිරතව සිටි කුලරත්න මහතාට දුවණිය විසින් තම සැමියාගේ ප්‍රකාශය කන තැබූ වහාම එම පණිවිඩය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වෙත ලබාදෙන ලදී. ඒ වනවිට කුමන්ත්‍රණය ක්‍රියාත්මක වීමට තිබුණේ පැය කීපයකි. 27 වැනිදා මධ්‍යම රාත්‍රියට පෙර කුමන්ත්‍රණකරුවන් ස්ථානගතව සිටියේ තම තමන්ට පැවරුණු රාජකාරී අනුව ඒ ඒ දේශපාලනඥයින් හා ඇතැම් හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහාය. 

කුමන්ත්‍රණකරුවන් රට පුරා විහිදී සිටියත් කුමන්ත්‍රණය හෙළිවූ බවට තොරතුරු ගලා යන්නට වූ විට සැලසුම අත්හිටුවා තම තමන්ගේ නිවෙස්වලට ගාල් වන්නට විය. එදා අද මෙන් රූපවාහිනී අත් දුරකථන නොතිබූ නිසා ඇතැම් ඈත ප්‍රදේශවල කුමන්ත්‍රණකරුවන් වෙත කුමන්ත්‍රණය අත්හිටුවනු ලැබූ බව දැනුම් දීමට නොහැකිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස බද්දේගම සමසමාජ පක්ෂයේ මන්ත්‍රී නීල් ද අල්විස් මහතා අත්අඩංගුවට ගැනීම අදාළ කුමන්ත්‍රණ නායකයා කටයුතු කළේය. කොළඹ කුමන්ත්‍රණකරුවන් සොයා රජයට සමීප සන්නද්ධ අංශ අත්අඩංගුවට ගනිද්දී මෙලෙස සමසමාජ පක්ෂ මන්ත්‍රීවරයා කුමන්ත්‍රණකරුවන් විසින් අත්අඩංගුවට ගෙන තිබීම කුමන්ත්‍රණයේ සැලැස්ම අනාවරණය වීමට හේතු විය. අරලියගහ මන්දිරයේ ඉහළ මාලයේ කුමන්ත්‍රණකරුවන් රැගෙන විත් ප්‍රශ්න කිරීම සඳහා පරීක්ෂණ ඒකකයක් ඇති කළ බව ‘අරලියගහ මැදුරේ ස්පන්දනය’ ‘පොතේ බ්‍රැඩ්මන් වීරකෝන් එහි 111 පිටුවේ සඳහන් කර ඇත. 

මේ වනවිට අගමැතිනිය පදිංචිව සිටියේ රොස්මිඩ් පෙදෙසේ සිය නිවසේ බැවින් එහි සිට යුද්ධ ටැංකි රථවල ආරක්ෂාව සහිතව අරලියගහ මන්දිරය වෙත රැගෙන ආ බව පුවත්පත් වාර්තා කර තිබිණි. එසේම අරලියගහ මන්දිරයට යුද ටැංකි ආරක්ෂාව සැලසූ බවත් වැඩිදුරටත් පුවත්පත් වාර්තා කර තිබිණි. 

කුමන්ත්‍රණකරුවන් කවුද? ඊට සම්බන්ධ නොවූවන් කවුද යන්න පිළිබඳව මේ වනවිටත් පැහැදිලිව හඳුනාගත නොහැකි වූ නිසා 1962 ජනවාරි 27 දින රාත්‍රිය පුරාම කොළඹට දැඩි ආරක්ෂාවක් යෙදවීමටත් සෙසු ප්‍රදේශ හා ගුවන් විදුලි සහ දුරකථන සම්බන්ධතා (එවක රූපවාහිනි හා ගමන් දුරකථන නොමැති වූ නිසා) අත්හිටුවීමටත් රජය කටයුතු කළේය. වැදගත් සාක්ෂිකරුවන්, සැකකරුවන් වැඩි දෙනෙකුගෙන් ප්‍රශ්න කරන ලද්දේ රාජ්‍ය ආරක්ෂාව හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු ලේකම් (අද නියෝජ්‍ය අමාත්‍ය තනතුර හා සමානය) ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක මහතාය. පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයා  (අපරාධ පරීක්ෂණ) පොලිස් අධිකාරී  (අපරාධ පරීක්ෂණ) ඉදිරිපිට කරන ලද මේ ප්‍රශ්න කිරීම් පටිගත කළ අතර ලේඛන ගත කිරීම ද සිදුවිය. 

මෙම කුමන්ත්‍රණයේ හමුදාවට භාර කොටස මෙහෙයවීමට භාර  වූයේ කර්නල් මොරිස් ද  මැල් හා කර්නල් ඇෆ්. සී. ද සේරම්ටය. පොලිසියේ කටයුතු විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරුන් වූ සිඩ්නි ද සොයිසා හා සී.සී. දිසානායකට පැවරුවේය. නාවික හමුදාවේ හිටපු අධිපති රොයිස් ද මැල් කුමන්ත්‍රණයේ සැලසුම්කරු විය. මේ වනවිට රජයට නිශ්චිතවම විශ්වාසවන්ත ඉහළ නිලධාරීන් ලෙස හඳුනාගැන්මට හැකිව තිබුණේ පොලිස්පති හා වැඩ බලන නාවුක හමුදාපති, රාජන් කදිරගාමර් හා නියෝජ්‍ය පොලිස්පති (අපරාධ පරීක්ෂණ) ඇස්. ඒ. දිසානායක පමණි. මෙම නිලධාරීන් අරලියගහ  මැදුරට කැඳවාගත් අතර සෙසු ඉහළ හමුදා නිලධාරීන් එදින රාත්‍රියේ කිසියම් වේලාවකින් පසුව ඔවුන්ගේ නිවාසවලින් පිටවීම වැළැක්වීමට අවශ්‍ය කටයුතු යොදන ලදී. 

කොළඹ දී අල්ලාගත් සැකකරුවන් කෙටි ප්‍රශ්න කිරීම්වලින් පසුව හමුදා මූලස්ථානයේ වෙඩි බෙහෙත් ගබඩාවේ රඳවන ලද අතර, එය අර්ධ වශයෙන්  පොළව යටට වෙන්නට සකසා තිබූ ශක්තිමත් කොන්ක්‍රීට් ගොඩනැගිල්ලක් විය. පිටපළාත්වලදී අත්අඩංගුවට ගත් අය එම පෙදෙස්වල මූලස්ථාන පොලිසිවල වැඩිදුර උපදෙස් ලැබෙන තෙක් රඳවා ගන්නට නියම කෙරිණි. මේ කිසිත්  නොදත් මෙරට ජනතාව රාත්‍රි නින්දේ පසුවෙද්දී ජනවාරි 27 වනදා මැදියම් රැයේ ගුවන් විදුලි සබඳතා සහිත පොලිස් රථවලට ශබ්ද විකාශන යන්ත්‍ර සවිකොට කොළඹ නගරය පුරා යවමින් වහාම ක්‍රියාත්මක වන පරිදි ‘ඇඳිරි නීතිය’ පනවන ලද බව ප්‍රකාශයට පත් කළේය. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධව ‘අරලියගහ මැදුරේ ස්පන්දනය’ පොතේ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා මෙසේ දක්වා ඇත. 

“තරුණ නිලධාරින් සමාවක් බලාපොරොත්තු වෙමින් දීර්ඝ පාපෝච්චාරණ කරන්නට වූයෙන් කුමන්ත්‍රණය පිළිබඳ වඩවඩා තොරතුරු හෙලිවන්නට විය. එහෙයින් ‘ෆීලික්ස්’ වඩ වඩාත් ආරක්ෂාව තර කරමින් අරලියගහ මන්දිරය වටා ආරක්ෂක වළල්ලක් යෙදවීය. නිල් පැහැ නාවික හමුදා නිල ඇඳුමින් සැරසුණු නියෝජ්‍ය නාවික හමුදාපති රාජන් කදිරගාමර් ආරක්ෂාව සපයමින් අර්ධ මැෂින් තුවක්කුව වනමින් ඉදිරිපස  කොරිඩෝවේ එහා මෙහා යනු මට දක්නට ලැබිණ. ඔහු පැමිණ තිබුණේ කුමන්ත්‍රණකරුවන් ඇතුළත ද පිටත ද යන්න හරිහැටි නොදැන සිටි හෙයිනි. පරිසරය දැඩි නොසන්සුන්තාවක ගිලී තිබිණි. 

මේ වනවිට කුමන්ත්‍රණ අසාර්ථක වූ බව කුමන්ත්‍රණකරුවන් එකිනෙකා දැනගත් අතර කුමන්ත්‍රණය බිඳවැටී තමන් එකිනෙකා අමාරුවේ වැටෙන්නට යන බව දැනගත් යුද හමුදාවේ තරුණ කැප්ටන්වරයකු වූ ‘පෝලියර්’ නමැත්තා තම රිවෝල්වරයෙන් හිසට වෙඩි තබාගෙන මියගිය බව වාර්තා විය. ක්‍රමානුකූලව එදින අලුයම වනවිට කුමන්ත්‍රණ මැඩපැවැත්වූ අතර, 1962 පෙබරවාරි 12 හා 13 පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව විවාදයක් පවත්වන ලදී. ඊට ප්‍රථම ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා දීර්ඝ ප්‍රකාශයක් තුළින් කුමන්ත්‍රණයේ තත්ත්වය ජනතාවට පැහැදිලි කර දෙන ලදී. පරීක්ෂණ කටයුතු අවසන් වනවිට විත්තිකරුවන් 29 දෙනකු සිටි අතර පළමු විත්තිකරු වූයේ ඩග්ලස් ලියනගේ නමැති සිවිල් නිලධාරියෙකි. 

මේ වනවිට ප්‍රශ්නයක් බවට පත්වූයේ මෙරට නීති පද්ධතිය තුළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක වැරදිකරුවන්ට දෙන දඬුවම් පිළිබඳව සඳහන් නොවීමය. එසේම පවතින රාමුවට වෙනස්ව විත්තිකරුවන්ගේ ප්‍රශ්න කිරීමද නීතිමය ගැටලුවකටට තුඩු දුන්නේය. මේ නිසා කුමන්ත්‍රණ සැකකරුවන් පිළිබඳව නඩුව විභාග කිරීමට විශේෂ නීතියක් සම්මත කිරීමට රජයට සිදුවිය.

1962 අංක 01 දරණ අපරාධ නීති (විශේෂ විධිවිධාන පනත) පනතත් සම්මත කිරීමට මේ නිසා රජයට සිදුවිය. එහි ප්‍රතිපාදන අනුව නඩු විභාගයට පෙර හෝ පැවැත්වෙන අතර වාරයේ කවර අවස්ථාවක හෝ කිසියම් වැරදිකරුවකුගේ සාක්ෂිය ගැනීමේ අරමුණින් ඔහුට හෝ ඇයට සමාව දීමට ඇටර්නි ජනරාල්ට හැකිවන සේ විධිවිධාන ඇතුළත් කෙරිණි. 

‘රැජින එරෙහිව ඩග්ලස් ලියනගේ හා තවත් අය’ යනුවෙන් නඩු පවරන ලද අතර ප්‍රධාන විත්තිකරුවන් සියලු දෙනාට වැරදිකරුවන්වී දේපල රාජසන්තක කිරීමටත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමටත් අධිකරණයට සිදුවිය. නමුත් එවක ලංකාවේ අවසාන අධිකරණය බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලය වූ නිසාම මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට විරුද්ධව ප්‍රිවි කවුන්සලයට ඉදිරිපත් කළ අභියාචනය පිළිගත් අතර මෙම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් නව නීති පැනවීම එනම් අතීතයට බලපාන නීති පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරමින් විත්තිකරුවන් සියලු දෙනා නිදහස්කරන ලදී.

ඩඩ්ලි සේනානායක හා සර්ජෝන් කොතලාවල යන අයද මෙම කුමන්ත්‍රණය දැන සිටි බවට පාර්ලිමේන්තුවේදී එවක ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කර සිටි අතර ඒ පිළිබඳව ඉදිරි පරීක්ෂණ සිදු නොවුණේ උසාවියේදී මේ අයගේ නම් ප්‍රකාශයට පත් නොවූ නිසාය. නමුත් පසු කාලයේදී මේ පිළිබඳව වාර්තා වූයේ කුමන්ත්‍රණයේ සැලසුම්කරුවන් අතර මේ දෙදෙනාද සිටි බවයි. ඒ පිළිබඳව ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයේ මෙසේ සඳහන් වේ.

“කොළඹට නුදුරු රත්මලානේ කඳවල පිහිටි සර් ජෝන් කොතලාවලගේ නිවසේදී ඔහු බැහැදැකීමට ජේ.ආර්. ගිය අවස්ථාවේදී එය 1966 අප්‍රියෙල් 13/14 අළුත් අවුරුදු සමයේදී ඔහුත් (සර්ජෝන් කොතලාවල) ඩඩ්ලි සේනානායකත් කුමන්ත්‍රණය සැලසුම් කිරීමට සම්බන්ධව සිටි බව ජේ. ආර්. ප්‍රථම වරට දැනගත්තේය. සර් ජෝන්ගේ මුවින්ම එය හෙලිදරව් විය. 

“තවමත් අවදානමෙන් ගැලවී නැතැයි පවසමින් එම රහස ජේ. ආර්ට හෙලිකිරීම ගැන ඩඩ්ලි සේනානායක සර් ජෝන් කොතලාවලට එම අවස්ථාවේදීම තදබල ලෙස චෝදනා කළේය. (1999.10.15 ජේ. ආර්. සමග සාකච්ඡාවේදී (197/198 පිටු) 

තවදුරටත් මේ බව දක්වන ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානය මෙසේ ප්‍රකාශ කරයි.  

‘1979  සැප්. 15 දින සර් ජෝන් කොතලාවල සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේ දී කුමන්ත්‍රණ නායකයින් සර් ජෝන් හමුවී ඔවුන්ගේ සැලසුම් ගැන කතාකළ ආකාරය ඔහු සමග පැවැති දීර්ඝ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු පැහැදිලි කළේය. කුමන්ත්‍රණය පිළිබඳ කටයුතු අවසාන වශයෙන් තීරණය කිරීම පිණිස වූ රැස්වීම ඩඩ්ලි සේනානායක මහතාගේ නිවසට ආසන්නව පිහිටි බොරැල්ලේ කිතුල්වත්ත නමැති අතහැර දමන ලද මිනිරන් ගබඩාවක දී ඩඩ්ලි සේනානායකගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. කුමන්ත්‍රණ නායකයිනුත් ඩඩ්ලි සේනානායකත් ඊට පසු නැවත වරක් රැස්වූ බව පෙනේ. එවර ජනවාරි 26 රාත්‍රී ඔවුන් රැස්වී ඇත්තේ කඳවල පිහිටි සර් ජෝන් කොතලාවලගේ නිවසේදීය. එයද ඩඩ්ලි සේනානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කුමන්ත්‍රණය සාර්ථක වූයේ නම් ඩඩ්ලි සේනානායක නිදහස් චතුරශ්‍රයේදී කුමන්ත්‍රණ නායකයින් ඇමතීමට නියමව තිබිණි. ඇත්ත වශයෙන්ම ජනවාරි 27 රෑ ඩඩ්ලි සේනානායක කුමන්ත්‍රණයේ සාර්ථකත්වය පිළිබඳ සංඥා බලාපොරොත්තුවෙන් නිදහස් චතුරශ්‍රයට සමීප කොළඹ කෞතුකාගාරයට ආසන්නව පිහිටි තම ඥාති සොහොයුරු ඩබ්ලිව් සේනානායක නිවසේ රැඳී සිට ඇත. කුමන්ත්‍රණය අතහැර දමා තිබුණු හෙයින් එවැනි සංඥා කිසිවක් ලැබුණේ නැත. ඒ බව නොදත් ඔහු අරමුණක් නැතිව කුරුඳුවත්ත අවට රිය ධාවනය කරමින් සිට කඩවූ බලාපොරොත්තු ඇතිව පෙරලා නිවස බලා ගොස් ඇත.

ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානය වෙලුම II (1956-1977 කේ. ඇම්. ද සිල්වා හා හවඩ් රිගින්ස් 203/ 204 පිටු) මින් පැහැදිලි වන්නේ 1962 රාජ්‍ය විරෝධී හමුදා කුමන්ත්‍රණය හුදෙක් හමුදා කුමන්ත්‍රණයන් නොවූ බවයි. කුමන්ත්‍රණයේ සැලසුම්කරුවන් අතර සර් ජෝන් කොතලාවල හා ඩඩ්ලි සේනානායක ද සිටි බවට දැක්වෙන මෙම ප්‍රකාශවල සත්‍ය අසත්‍යභාවය පිළිබඳව අද තොරතුරු ගවේෂණය කිරීමට මේ කිසිවකුත් අද ජීවතුන් අතර නැත. නමුත් සත්‍ය වශයෙන්ම කුමන්ත්‍රණයක් සිදුවී එය රජය අසාර්ථක කිරීම ඉතිහාසගත ය.

බණ්ඩාරගම සමරසේන මුදලිගේ