කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක, සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග
- හැමදාම රට වහල තියන්න බෑ
- ජනාධිපතිතුමා තීන්දු ගත්තේ අදාළ විශේෂඥයන්ගේ උපදෙස් පරිදියි
රටේ අලුත් දේශපාලන තත්ත්වය පිළිබඳව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක, සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය - රට යථා තත්ත්වයට පත්වෙලා කියලා ආණ්ඩුව පෙන්වන්නේ ඉක්මනින් මැතිවරණයට යන්න?
පිළිතුර - ආණ්ඩුව හදන්නේ රට යථා තත්ත්වයට පත් කරන්න. පත්වෙලා කියලා රටට පෙන්වන්න නොවෙයි. පත් කරන්න තමයි මෙහෙම කරන්නේ. මේ ලෝකයේ අපිට වඩා ප්‍රශ්න තියෙන ඇමෙරිකාව පවා දැන් විවෘත කරගෙන යනවා. එංගලන්තයෙත් එහෙමයි. යුරෝපයේ රටවල් ක්‍රමානුකූලව විවෘත කරගෙන යනවා. ඒ රටවල් අපිට වඩා භයානක තත්ත්වයෙ තිබුන රටවල්. හැමදාමත් රටක් වහලා තියන්න බෑ. රට ආර්ථික වශයෙන් ශක්තිමත් කළ යුතුයි. ඒකට අවශ්‍ය වැඩපිළිවෙළ කරනවා.
ප්‍රශ්නය -ආණ්ඩුව අවදානම නොතකා මැතිවරණයකට යන්න හදන එක ගැනයි විවේචනය තියෙන්නේ?
පිළිතුර - නෑ අපිට කිසිම හදිසියක් නෑ. මැතිවරණ පැවැත්වීමට නියමිත රටවල් පවා මැතිවරණය නියමිත කාලය තුළ පවත්වන්න කටයුතු කරනවා. කොරියාව වගේ රටක් දරුණුම අවස්ථාවකදීත් මැතිවරණය තිබ්බා. මොකද රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙන්නේ මැතිවරණ නියමිත කාලයේදී පැවැත්වීමෙන්. මේ රටේ කාටවත් මැතිවරණ තියන්න එපා කියන්න අයිතියක් නෑ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න ඕනෑ. මැතිවරණය පැවැත්විය යුතුනම් මැතිවරණ කොමිසමේ සභාපතිට පුළුවන් නීති රීති දාල ඒක කරන්න. ඒ නීති සියලු දෙනාට එක හා සමානයි. එහෙම නීති දාල කරන්න පුළුවන්. හොඳම උදාහරණය පසුගිය කාලයෙ මැතිවරණ තියනකොට පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් මහ මැතිවරණයට ඉදිරිපත් වෙනකොට නිවාඩු ගන්න අවශ්‍ය නෑ. ඒ තනතුරේ ඉඳගෙනම මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. පසුගිය
ජනාධිපතිවරණයේදිත් මැතිවරණ කොමිසමෙන් අලුත් නීති ගෙනාවේ නෑ. හැබැයි මේ මැතිවරණය වෙලාවේ විශේෂ විධි විධාන යටතේ ගෙනත් තියෙනවා පළාත් පාලන මන්ත්‍රීවරුන් නිවාඩු ගත යුතුයි කියලා, ඡන්දය ඉල්ලලනවා නම්. ඒ ආණ්ඩුව තියෙනකොට එහෙමයි. මේ ආණ්ඩුව තියෙනකොට මෙහෙමයි කියලා කියන්න බෑ. රටේ තත්ත්වය තේරුම් ගන්න ඕනෑ. මැතිවරණ කොමිසන් සභාවේ වගකීම ප්‍රජාතන්ත්‍රවාදී විදියට මැතිවරණය පැවැත්වීම. ඒක ජනාධිපතිගේත් අගමැතිගේත් වගකීම නොවෙයි. අලුත් තත්ත්වයට ගැලපෙන පරිදි නීති රීති හදලා මැතිවරණය තිබ්බානම් හරි.
ප්‍රශ්නය - ආණ්ඩුව කොරෝනා මර්දන මෙහෙයුම කළේ එන එන විදියට. උදේ ගත් තීරණ හවස වෙනස් කරන තත්ත්වයකුත් තිබුණා. දැන් රට ලිහිල් කරන්නෙත් ඒ විදියටමද?
පිළිතුර - කවුරුහරි කියනවානම් ස්ථිර වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෑ කියලා ඒක ඔළුවක් නැති මිනිහෙක් කියන දෙයක්. මේ වයිරසය අලුත් එකක්. කවුරුවත් අත්විඳලා නෑ. අපට වඩා දියුණුයි කියලා කියන රටවල් පවා මේකෙදි ඇණ ගත්තා. ඒ නිසා ක්‍රමානුකූලව මුලින්ම ගුවන් තොටුපළවල් වැහුවා. පිටරටින් එන ඒවා වැළැක්වූවා. ඒ විදියට වෙලාවෙන් වෙලාවට ගන්න ඕනෑ පියවර ගත්තා. මේක මේ ජනාධිපතිවත් අගමැතිවත් ගන්න තීන්දු නොවෙයි. කාර්ය සාධන බළකායක් පත් කරලා තියෙනවා. ඒකේ ඉන්නේ මේ විෂයට අදාළ නිපුණතාවයක් තියෙන අය. අත්දැකීම් තියෙන අය. ඒ අයටත් මේ වයිරසය අලුත් අත්දැකීමක්. ඒ අය දෙන උපදෙස් අනුව තමයි කටයුතු කරන්නේ. හොඳම උදාහරණය ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා වහන්න යෝජනා කළේ ඒ බළකාය. හැබැයි ව්‍යාපාරික ප්‍රජාව හා ආයෝජන මණ්ඩලයෙ ඉහළ අය ඒකට කැමැති වුණේ නෑ. නමුත් ජනාධිපතිතුමා ඒ තීන්දුව ගත්තේ ඒ අදාළ විශේෂඥයන්ගේ උපදෙස් පරිදි. ව්‍යාපාර රැකෙන්න කියලා කර්මාන්ත ශාලා ඇරියානම් නේවි එකට වෙච්ච දේ තමයි ඔය කර්මාන්ත පුරයටත් වෙන්නේ. ඒ විදියට අවස්ථාවට අනුවයි තීන්දු ගත්තෙත් ගන්නෙත්. ඒ විදියට තීන්දු ගත්ත නිසා තමයි අද රට ආරක්ෂා වෙලා තියෙන්නේ. අද රට අවදානමෙන් මිදිලා තියෙනවා. සමාජයෙන් මේ රෝගය බෝවීමක් නෑ. නරකම තත්ත්වය තියෙන්නේ කොළඹයි ගම්පහයි. ඒ නිසා ඒ දිස්ත්‍රික්ක දෙකේ ඇඳිරි නීතිය පණවලා තියෙනවා. අපි බලමු පියවරෙන් පියවර ඇතිවන තත්ත්වය බලලා තමයි තීන්දු ගන්නේ. එහෙම නැතිව තව සති දෙකකදී ගන්න තීන්දුව අද ගන්න බෑ. යූඑන්පී එකේ මේ ඡන්දය නවත්තගන්න ඕනෑකම තියෙන අයට කොරෝනා බෝ කරන්නත් ඉඩ තියෙනවා. ඒවා ගැනත් රටේ ජනතාව අවධානයෙන් ඉන්න ඕනෑ. ඒ නිසා අපි පරිස්සම් වෙලා රටක් විදියට හිතලා අපි යන්න ඕනෑ. මැතිවරණය තියන්න ඕනේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න කියලයි මම හිතන්නේ.
ප්‍රශ්නය - ඔබ කිව්වා අලුත් නීති හදලා හරි ඡන්දෙ තියන්න පුළුවන් කියලා. එච්චර කරදර වෙන්නේ මොකටද? මේ පාර්ලිමේන්තුවට අගෝස්තු වෙනකම් කල් තියෙනවා. පාර්ලිමේන්තුව යළි කැඳෙව්වා නම් ඉවරයිනේ?
පිළිතුර - පසුගිය කාල සීමාවේදී අවස්ථා දෙකකදී මේ රටේ ජනතාව යහ පාලන ආණ්ඩුව ප්‍රතික්ෂේප කළා. එක අවස්ථාවක් තමයි පළාත් පාලන මැතිවරණය. අනික් අවස්ථාව තමයි ජනාධිපතිවරණය. රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක් මේකටද ආපහු පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ. ඔවුන් දන්නවා ඔවුන්ට බහුතර බලය තියෙනවා. එතකොට මේ ගෙනියන වැඩපිළිවෙළ කඩාකප්පල් කරගන්න පුළුවන් වෙන්නේ නැවත පාර්ලිමේන්තුව විවෘත කරගත්තොත් තමයි. මැති ඇමතිවරුන්ට යන වියදම් ඔක්කොම ගණන් හදනකොට ඒ සල්ලිත් මේ කොරෝනා මර්දන මෙහෙයුම්වලට යොමු කරන එක හොඳයි. පාර්ලිමේන්තුව ඇරියොත් මටත් වාසියි. නමුත් රටක් විදියට ඒක සුදුසු නෑ. අද රටේ හොඳ වැඩපිළිවෙළක් යනවා. සෞඛ්‍ය අංශය හමුදාව රාජ්‍ය යාන්ත්‍රණය අද ක්‍රියාත්මක වෙලා. මේක පාලනය වෙනවා. ඉතින් මොකටද මේ අය. අඩු ගානේ පහුගිය කාල සීමාවේ සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරලා විපතට පත් වෙච්ච ජනතාවට වන්දි ගෙවාගන්න පුළුවන් වුණාද ඒ අයට. එහෙම වන්දි දීගන්න බැරිවෙච්ච එවුන් දැන් කියනවා ඒ ගැන කතා කරන්න පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට වන්දි ගෙවලා නෑ. එහෙම නොකරපු අය තමයි ඔහොම කතා කරන්නේ. හැබැයි අපි වගකීමෙන් කියනවා මේ රටේ දේශපාලන පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව මේ ආපදාව නිසා පීඩාවට පත් වෙච්ච සියලු ජනතාවට අඩු ගානේ යම් සහනයක් ලබා දෙන්න රටේ පොදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. එහෙමනම් මොකටද මේ ජනතාව ප්‍රතික්ෂේප කරපු තමන්ගේ යුතුකම් වගකීම් ඉටු නොකරපු පාර්ලිමේන්තුවක් නැවත කැඳවන්න කියන්නේ. අලුත් ඡන්දයක් තියලා ජනතාවට අයිතිය දෙන්න ඕනෑ තමන්ට පිළිගන්න බැරි අයව ගෙවල්වලට ඇරලා අලුත් කණ්ඩායමකට රට බාර දෙන්න.
ප්‍රශ්නය -පාර්ලිමේන්තුව මෙහෙම වහලා තැබීම නිසා ව්‍යවස්ථාමය අර්බුදයකට හේතුවක් වෙනවා?
පිළිතුර - අනිවාර්යයෙන්ම. කවුරුවත් හිතපු නැති දෙයක්නේ මේ සිද්ධ වුණේ. දැන් කවුරුවත් කතා කරනවද පළාත් සභා ගැන. පළාත් සභා විසුරුවලා දැන් අවුරුදු කීයක්ද? යූඑන්පී ආණ්ඩුව පළාත් සභා සදාකාලික විදියට වහලා දාන විදියට තමයි වැඩ කරලා තියෙන්නේ. පාර්ලිමේන්තුව කැඳවන්න කතා කරන සුළු ජාතික පක්ෂවල නායකයෝ පළාත් සභා අරින්න කියලා කියනවද? පළාත් සභාවල කට වහගෙන ඉඳලා දැන් කියනවා පාර්ලිමේන්තුව ඇරිය යුතුයි කියලා. ඒ නිසා ඔය සුළු පක්ෂවලට ඕනෑ ව්‍යවස්ථා සංශෝධනයක් කරගන්න. ඒ නිසා ඒ අයට අවශ්‍යයි ඒ අයට බහුතර බලය තියෙන වෙලාවේ පාර්ලිමේන්තුව ඇරගෙන ඒ අයට අවශ්‍ය දේවල් ටික කරගන්න. මොකද මේ අය දන්නවා ඊළඟ මැතිවරණයෙදි අපි තුනෙන් දෙකක බලයක් සමග අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබනවා කියලා. එතකොට ඒගොල්ලෝ බලාපොරොත්තුවන ව්‍යවස්ථා සංශෝධනය ගේන්න බෑ. ඒක තමයි මෙතැන තියෙන ප්‍රශ්නය. පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ කරනවා. දැන් මිනිස්සු අහුවෙනවා. එදා පාර්ලිමේන්තු කමිටුවක් පත් කරලා මේක යට ගැහුවා. දැන් හරි විදියට පරීක්ෂණ කෙරෙනවා. මේ අයට ඕනෑ අර කණ්ඩායම ගෙනල්ලා මේවා නතර කරගන්න. ජනතාව මේවා තේරුම් ගන්න ඕනැ. ඒ නිසා ඒ අයට ඕනෑ ඕනෑ දේ කරන්න අවශ්‍ය නැහැ. ජනාධිපතිතුමාට මේ රටේ බහුතරයක් ජනතාව ඡන්දෙ දීලා තියෙනවා. ජනාධිපතිතුමාට උදව් කරන අවංක පිරිසක් සමග ජනාධිපතිතුමා මේ ගමන යනවා.
ප්‍රශ්නය - පාර්ලිමේන්තුව වහලා ජනාධිපතිවරයා මේ යන්නේ හමුදා පාලනයකටද? සෞඛ්‍ය අමාත්‍යංශයෙ ලේකම් මේ තනතුරට පත් කළේත් හමුදා නිලධාරියෙක්?
පිළිතුර - ඉතින් මොකද වෙන්නේ. අලුත් සෞඛ්‍ය ලේකම්තුමා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සමහර අද ඉන්න ජී එම් ඕ එකේ වගේම ඉහළ පෙළේ වෛද්‍යවරුන් ‘සර්’ කියන කෙනෙක් එයා. එයා නිකම් පරිපාලන නිලධාරියෙක් නොවෙයි. එයා වෛද්‍ය අංශයෙන්ම ගිය කෙනෙක්. ඒකේ වැරැද්ද මොකද්ද? ඇමෙරිකාව වගේ රටවල්වල හමුදා නිලධාරීන් දාලා නැද්ද පරිපාලන ක්ෂේත්‍රයට. බිස්නස් කාරයෙක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් කළානම් වැරැදියි. නමුත් මේ පත්කරලා තියෙන නිලධාරියා මම ඔහුව පෞද්ගලිකව දන්නේ නෑ. ඔහු ගැන විස්තරයක් මම ෆේස්බුක් එකේ දැක්කා. ඇත්තටම එයා ඒකට සුදුසුයි.
ප්‍රශ්නය - බොහෝ තැන්වලට ඇයි මේ හමුදා නිලධාරීන් දාන්නේ මොකද්ද යටි අරමුණ?
පිළිතුර - කිසිම යටි අරමුණක් නෑ. හමුදා පාලනයක් රටේ නෑ. කැබිනට් එක තියෙනවා. අගමැතිවරයෙක් ඉන්නවා. අද ක්‍රියාත්මක වෙන්නේ කැබිනට් තීන්දු. කැබිනට් තීන්දු ආයතන හරහා ක්‍රියාත්මක වෙනවා. ඔය බිල්ලෙක්නේ මවන්නේ. ඔය කියන අයම නේද දෙපාරක්ම හමුදාපතිවරුන්ව ජනාධිපති කරන්න ගියේ. සරත් ෆොන්සේකාවයි මහේෂ් සේනානායකවයි කවුද ගෙනාවේ. රටේ නායකයා බවට පත් කරන්න හමුදාපතිවරු හොඳයි. තනතුරක් දුන්නාම නරකයි. මේක මේ කබරගොයා තලගොයා කර ගැනීමේ උත්සාහයක්. ලජ්ජා නෑ මේ අයට. රෙදි ඇඳගෙනද මෙහෙම කතා කරන්නේ කියලා අපි යූඑන්පියෙන් අහනවා.
ප්‍රශ්නය - ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම් දැන් දැන් පුපුරලා යනවා. මුදල් අමාත්‍යංශයේ ලේකම් පවා ඉල්ලා අස්වුණා.
පිළිතුර - එතුමාට අසනීප තත්ත්වයක් නිසයි අයින් වුණේ. එහෙම නැතිව අභ්‍යන්තර ගැටුමක් නෑ. අභ්‍යන්තර ගැටලු තියෙනවා. මතවාදි ගැටලු තියෙනවා. නමුත් ඒක ආණ්ඩුව ගෙනියන්න ප්‍රශ්නයක් නොවෙයි.
ප්‍රශ්නය -රටේ මුදල් අමාත්‍යංශයෙ ලේකම් මේ වෙලාවේ ඉල්ලා අස්වීම ‘‘හාර්ට් ඇටෑක්’’ එකට එහා ගිය ප්‍රශ්නයක් නොවෙයිද?
පිළිතුර - නෑ ඉතින් අසනීප වෙලා රෝහල්ගත වුණාම එයාම හිතනවා නම් මම තාවකාලිකව ඉවත් වෙනවා කියලා ඉතින් අපි එයාව තියාගෙන පණපිටින් මරලා දානවද? එයාට අපිට කියන්න පුළුවන්ද ලෙඩ තියාගෙන වැඩ කරහං කියලා. ඒවා එහෙම කරන්න බෑනේ.
ප්‍රශ්නය -සත්තම කතාවද ඔබ කියන්නේ?
පිළිතුර - අපි දන්නා තරමින් ඇත්ත කතාව ඕකයි. එතුමාට පපුවෙ අමාරුවක් හැදිලා ස්ප්‍රිතාලේ නැවැත්තුවා කියලනේ කියන්නේ. එතුමා මට කියලත් නෑ. මං හොයලත් නෑ මම හිතනවා එතුමා ඉන්නවානම් හොඳයි. ඒක තීරණය කරන්න ඕනෑ මුදල් ඇමැතිතුමා.
ප්‍රශ්නය - මුදල් අමාත්‍යංශයෙ ලේකම් ධුරයේ වැඩ බලන්න දාලා තියෙන්නෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත්. කෝ වියත් මග?
පිළිතුර - ඔය කියන උගත්තුනේ පසුගිය පාර්ලිමේන්තුවේ හොරකම් කළේ. කවුද බැඳුම්කර හොරකම කළේ. ඒ නිසා උගතුන් වියතුන් කියන එකම නොවෙයි. රටේ ප්‍රායෝගිකව ජනතාවගේ හදවත් තේරුම් ගත් බුද්ධිමත් මිනිස්සුන්ට වගකීම් දිය යුතුයි.
ප්‍රශ්නය - ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර රජයෙ සේවකයන්ගෙන් පඩිය ඉල්ලා ලියුම් ලියනවා. ඔබලා අනුමත කරනවද ඒවා?
පිළිතුර - මම දන්න තරමින් අපව දැනුවත් කළේ ඉහළ ධූර දරන අයට ලැබෙන වැටුපෙන් කොටසක් දෙන්න කියලයි ඉල්ලලා තියෙන්නේ. එහෙම නැතිව සියලු රාජ්‍ය සේවකයන්ගෙන් නොවෙයි. ඒකට වැරැදි අර්ථකථනයක් දුන්නා. මම පෞද්ගලිකව දන්නවා. ඔය සිද්ධිය වෙන්න බොහොම කලින් එයාර්පෝර්ට් එකේ සේවක මණ්ඩලය ඒ අයම කතා කරගෙන මේ අපි කියලා නොවෙයි මිලියන 2 ක් කොවිඩ් අරමුදලට ප්‍රදානය කළා. එහෙම බොහොම තැන්වල ඒක වුණා. ඒ නිසා තමයි ජනාධිපති ලේකම්තුමා ඒ ප්‍රකාශය කළේ. අපි දන්නවා මේ මොහොතේ හැමෝටම එහෙම කරන්න අමාරුයි. ඒ නිසා එතුමා ඒ අයගෙන් නොවෙයි ඉල්ලුවේ. ඉහළ තනතුරු දරන අයගෙන් තමයි ඉල්ලුවේ.
ප්‍රශ්නය - ජනාධිපති ලේකම් කාර්යාලයෙ ලිපි ශීර්ෂයක් පාවිච්චි කරලා තමයි මේ ඉල්ලීම කරන්නේ. මේක ආණ්ඩුවේ වැඩක්?
පිළිතුර - ජනාධිපති ලේකම්වරයා හැටියට ජනාධිපති ලෙටර් හෙඩ් එකකින් මේක ඉල්ලුවා. මේක මේ ආණ්ඩුවේ ඉල්ලීමක්ද එහෙම නැත්නම් ජනාධිපති ලේකම්තුමාගේ ඉල්ලීමක්ද කියලා අපි අහන්න ඕනෑ එතුමාගෙන්ම තමයි. කොහොම වුණත් මම ඒකේ වැරැද්දක් දකින්නේ නෑ. මෙතැන වුණේ ඒ ඉල්ලීමට වැරැදි අර්ථකථනයක් දීමයි. කැමති අයට දෙන්න පුළුවන්. අකමැති නම් ශතයක්වත් එපා.
ප්‍රශ්නය - ජනතාවගේ පඩිපත ඉල්ලන ආණ්ඩුව හිටපු රාජ්‍ය ඇමතිවරුන්ට නිල වාහන ගේන්න සල්ලි වෙන් කරලා?
පිළිතුර - ඒක සම්පූර්ණ බොරු කතාවක්. අපි කිසිම වෙලාවක මේ කැබිනට් එකේ වාහන ගෙන්වන්න පේපර් එකක් දාලා නෑ. වගකීමෙන් මම ඒක කියන්නේ. මේ විදියට බොරු කතා ගොතනවා. 2015 දීත් කළේ ඕකමයි. මේ වෙලාවේ වෙන දෙයකට අපි මුදල් වෙන් කරන්නේ නෑ. කවුරුවත් නොකරන තීන්දු අපි ගත්තා. පිටරටින් අත්‍යවශ්‍ය නොවන දේවල් ගෙන්වන එක අපි නැවැත්තුවා. ඒවා නවත්වද්දි රටේ ඉහළ ව්‍යාපාරිකයෝ ලොකු දේවල් කරන්න හැදුවා. නමුත් ජනාධිපතිතුමා එක ස්ථාවරයක හිටියා. මුළු ලෝකයෙම ආර්ථිකය කඩා වැටිලා. ඩොලර් එක බලාගෙන ඉද්දි ඉහළ යනවා. අපට විදේශ විනිමය එන්නේ නෑ. ඒ නිසා පිටින් ගෙන්වන ඒවා සීමා කරන්න ඕනෑ කියලා හිතලා ගත්ත තීරණයක්. මම දන්නවා ඒක භයානක තීන්දුවක්. සිරිමාවෝ මැතිනිය ඔය අභියෝගයට මුහුණ දුන්නා. රට ගැන හිතලා නායකයෝ ගන්න සමහර තීන්දු ජනප්‍රිය ඒවා නොවෙයි. නමුත් රටට හොඳයි. එහෙම ගෙන්වන අයගේ අවශ්‍යතා ඉටු කරන්න වෙනම කමිටුවක් පත් කරලා තියෙනවා. එහෙම තීන්දු අරගෙන තමයි රටට ඉදිරියට යන්න වෙන්නේ. අපි ආණ්ඩුව බාරගන්න කොට මහ බැංකු හොරකම නිසා රටේ ආර්ථිකය කඩා වැටිලා රැකියා ලක්ෂ 4 ක් නැතිවෙලා. කරපු ව්‍යාපෘතිවලට සල්ලි ගෙවලා නැති වෙලාවක කෝටි ගාණක ණයක් සමග තමයි රට බාරගන්න වුණේ. හැබැයි ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් රට වටේ ගියේ නෑ සල්ලි නෑ කියමින්. විනාශ වෙච්ච ආර්ථිකයක් තුළත් අද පවුලකට රුපියල් පන්දාහක් දෙනවා. ඒක ලොකු අභියෝගයක්. ඒත් ඒක කරනවා.
ප්‍රශ්නය -බැඳුම්කර හොරකම ගැන ඔබ කිහිපවරක් කිව්වා. කෝ දඬුවම්?
පිළිතුර - මහ බැංකු හොරකම පිළිබඳව ජනාධිපති කොමිසමක් පත් කරලා ඒ කොමිසමේ වාර්තාව නීතිපතිට යොමු කරලා තියෙන්නේ. මතක තියාගන්න අපි මේ පාලනය කරන්නේ අපේ ආණ්ඩුවක් නොවෙයි. ඉහළ තනතුරුවලට පත් කරන ව්‍යවස්ථාදායක මණ්ඩලයෙ අදටත් සභාපති කරු ජයසූරිය. වහ පාලනය විසින් පත් කරපු නිලධාරීන් තමයි තාම ඉන්නේ. ඒ අයගෙන් බලාපොරොත්තු වෙන වේගයෙන් වැඩ කෙරෙන්නේ නෑ. මහ බැංකු හොරුන්ට දඬුවම් කරනවා කියන එක අපි රටට දුන්න පොරොන්දුවක්.
ප්‍රශ්නය - හැබැයි සමහරු නම් කියන්නේ දෙගොල්ලෝ ගජ මිතුරන් නිසා දඬුවම් කෙරෙන්නේ නෑ කියලයි. ඒකාලේ ඒගොල්ලෝ මේ අයව රැක්කා. දැන් මේ අය ඒ අය රකිනවා කියලයි?
පිළිතුර - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ මේ දේශපාලනයෙ හිටපු කෙනෙක් නොවෙයි. පහුගිය කාලේ යූඑන්පී එකයි ජේවීපී එකයි දෙමළ සන්ධානයයි මුස්ලිම් පක්ෂයි එකට එකතු වෙලා ආණ්ඩුවක් කළා. ඒක මුළු රටම දැක්කා. ලංකා ඉතිහාසයෙ පළමු වතාවට විපක්ෂ නායකයා ගේන රටට අහිතකර යෝජනාවලට පවා ආණ්ඩුව අත ඉස්සුවා. අපි විපක්ෂයේ කාර්යභාරය කරන කොට විපක්ෂ නායකතුමත්, විපක්ෂයෙ ප්‍රධාන සංවිධායකතුමත් හිටියෙ ආණ්ඩුවේ. ජේවීපී එකට මුදල් වියදම් කළේ යූඑන්පී එක කියලා අද කවුරුත් දන්නවා. ටොයිලට්වල සල්ලි ගත්ත කතා මතකනේ. ජේවීපී එකේ නායකයෝ නඩත්තු වෙන්නේ මලික් සමරවික්‍රමගේ සල්ලිවලින් කියලා කවුරුත් කියනවා. එහෙම වෙලාවක අපි ඒ ආණ්ඩුවත් එක්ක ඩීල් දාගෙන හිටියෙ නෑ. මේ වෙලාවේ අපට කරන්න පුළුවන් ඉහළම සීමාව තුළ අපි වැඩේ කරගෙන යනව.
ප්‍රශ්නය - මැතිවරණය තිබ්බොත් ප්‍රතිඵලය මොකක් වෙයිද?
පිළිතුර - විපක්ෂයේ අය කියන මඤ්ඤං කතා මොකක් වුණත් ජන හද ගැස්ම කලින්ම හඳුනාගන්න පුළුවන් කෙනෙක් හැටියට මම කියනවා. ඔව් අපිට තුනෙන් දෙකක බලයක් නොවෙයි ඊටත් එහා ගිය බලයක් දෙන්න ජනතාව සූදානමින් ඉන්නේ කියලා.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්