මීට පස්සේ රාජපක්ෂවරුන් යන පාරකවත් යන්නේ නෑ


හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී

මෛත්‍රීපාල සිරිසේන

මොන විශේෂඥයන් ගෙනාවත් පොහොට්ටුවට නම් ගොඩ එන්න බෑ

  • මම විශාල වශයෙන්  ආයෝජකයෝ  අරගෙන ආවා
  • රටේ ජනාධිපතිවරයකුට තනියම රටක් ගොඩගන්න බෑ
  • රාජපක්ෂලා සෑහෙන  උඩ ගිහින්  හිටියේ
  • චන්ද්‍රිකාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරලා නෑ 
  • මට වඩා පුළුවන් වුණා ද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පක්ෂය බේරගන්න. එයත් බිංදුවයි. එකම මන්ත්‍රීකම ලැබුණෙත් ජාතික ලැයිස්තුවෙන්.

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියා කලාපය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෝඩ් ලෑල්ලකට සීමා වී ඇති බවට චෝදනාවකි. ඒ සම්බන්ධයෙන් ඒ මහතා කියන්නේ කුමක්ද? ඔහුගේ ඉදිරි දේශපාලන කටයුතු මොනවාද? මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.   

?අතීතයට අදාළ ප්‍රශ්නයකින් පටන් ගමු. ඔබ රට බාරදෙනකොට මෙහෙම රටක් ඒවි කියලා හිතුවද?   


පිළිතුර:- කිස්සේත්ම හිතුවේ නෑ. මොකද මේ වගේ රටක් ඇතිවෙයි කියලා හිතුවේ නැත්තේ හේතු ගණනාවක් නිසා.   


?රට බාරගත්තේ වැඩ කරන අපේ විරුවා නිසා?   


පිළිතුර:- නෑ නෑ නෑ අපෝ නෑ. මම ඉන්න කාලේ ඉතාම හොඳ අන්තර්ජාතික සබඳතාවක් මම හැදුවා. සිරිමාවෝ මැතිනියගෙන් පස්සේ ජාත්‍යන්තර සහයෝගය වැඩියෙන්ම ලැබුණේ මගේ ආණ්ඩුවට. ගෝඨාභය මහත්තය අවුරුදු දෙක හමාරක් හිටියා. යන්න පුළුවන් වුණේ ඉන්දියාවට විතරයි. ජනාධිපතිවරයෙක් පත් වුණාම ඒ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති දිහා බලලා තමයි ලෝකයේ රටවල් ආරාධනා එවන්නේ.   


?ඔබ ජනාධිපති වෙලා ඉන්න කාලේ වැඩිම කාලයක් හිටියේ රට? 

 
පිළිතුර:- මෙහෙමයි. රාජ්‍ය සංචාර හා නිල සංචාර කියලා කියන්නේ දෙකක්. මගේ කාල සීමාවේ ලංකාවේ නායකයකුට මීට පෙර නොලැබුණු රාජ්‍ය සංචාර කිහිපයක් ලැබුණා. නිල සංචාර විශාල වශයෙන් තිබුණා. මගේ නිල කාලය අවුරුදු පහට අඩු මාස එක හමාරයි. පෞද්ගලිකව මම පිටරට අවස්ථා දෙකකදී ගිහිල්ලා තියෙනවා. එක පාරක් නත්තල් නිවාඩුවට ළමයි එක්ක ගියා තායිලන්තයට. ඔය මගේ ඇඟට කුණුගොඩ වැටිච්ච පාස්කු ප්‍රහාරය වෙලාවේ මම වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වුණා. ඒ හැරෙන්න රජයේ මුදල් වලින් මම පිටරට ගියේ නෑ.   


?එතකොට රට ගියේ කාගේ සල්ලිවලින්ද?   


පිළිතුර:- මට විශාල වශයෙන් ආරාධනා ලැබුණේ ඒ ඒ රටවල්වලින්. එතකොට සියලු වියදම් දරන්නේ ඒ රටවල්.   


?එහෙම රට ගිහින් ගෙනාපු ප්‍රතිඵල ගැන ඔබ තෘප්තිමත්ද?   


පිළිතුර:- අනිවාර්යයෙන්ම ඔව්. ගොඩක් ප්‍රතිඵල තිබුණා. ප්‍රධානම දේ තමයි ජාත්‍යන්තර සහයෝගය තුළ ලැබෙන ආධාර ණය ප්‍රදානයන් හා ආයෝජන. විශාල වශයෙන් ආයෝජකයෝ මම අරගෙන ආවා.   


 ?එහෙම එකක් නම් අපට මතක නෑ?   


පිළිතුර:- ඔව්. මට මතක විදියට හොඳම ආයෝජකයන් තුන්සියයකට වැඩි ප්‍රමාණයක් මම අරගෙන ආවා. නමුත් මට පහළින් තිබුණ ආයෝජන මණ්ඩලය, ඒ වගේම ආයෝජන අමාත්‍යාංශ ඒවායේ තිබුණ නොයෙකුත් අඩුපාඩුකම් නිසා ඒ එන අයගෙන් හරි ප්‍රයෝජනයක් ගත්තේ නැති නිසා ඒ ආයෝජකයන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න බැරිවුණා. ඉතින් මටම පුදුමයි මං එච්චර ආයෝජකයන් ගෙනල්ලත් ඇයි ඒ ප්‍රයෝජනය ගන්න බැරි වුණේ කියලා. නමුත් අපට නොයෙක් ආධාර උපකාර ලැබුණා. ලෝකයේ හැම රටක්ම අපිත් එක්ක මිත්‍රශීලී වුණා. මම බලයට එනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අපේ රට අතර තිබුණේ පුදුමාකාර ඈත්වීමක්. නමුත් මම බලයට පත්වෙලා මාස කිහිපයකින් මට පුළුවන් වුණා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඉතාම හොඳ සම්බන්ධතාවක් ඇතිකර ගන්න. ඒ වගේම යුරෝපා සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා කොයිකා වැනි සංවිධාන වලින් අපට විශාල සහයෝගයක් ලැබුණා. අද ජපානය අපට නැතිවෙලා තියෙනවා.   


?ඒ ජපානය සමග තිබුණ ගිවිසුම් කඩ කිරීම නිසා?   


පිළිතුර:- ඔව්. මගේ අවසාන කාලයේ පටන් ගත්ත කොළඹ නගරයේ විදුලි  දුම්රිය සේවාව, අපි ගිවිසුම් අත්සන් කරලා වැඩ පටන් ගෙන තියෙද්දී 2020 ආණ්ඩුව ඒක අවලංගු කළා. ඊළඟට කටුනායක ගුවන් තොටුපළ ව්‍යාපෘතිය. අදත් ආණ්ඩුවේ ඉන්න දේශපාලනඥයෙක් නිසා ඒ ව්‍යාපෘතිය නතර වුණා.   


?කවුද ඒ දේශපාලනඥයා?   


පිළිතුර:- කවුරුත් දන්නවනේ. ඔය ඊයෙ පෙරේදත් ජපාන සමාගමකින් කප්පම් ඉල්ලුවා කියලා චෝදනා එල්ල වුණේ. ඊට පස්සේ එයාගේ වැඩ නවත්වලා කමිටු දාලා තමයි ඒ අමාත්‍යාංශයම ආපහු දුන්නේ. මේ වගේ මට දිග වැලක් කියන්න පුළුවන්. මොන හේතුවක් නිසා හරි චීනය අපෙන් ඈත්වෙලා තියෙනවා. ඉන්දියාව ඈත් වෙලා. ජාත්‍යන්තරය දිනාගන්න විදේශ ප්‍රතිපත්ති හරිම වැදගත්. අපට අද ජාත්‍යන්තර සහයෝගය නැතිවෙලා තියෙන්නේ ඒ නිසයි. අනික් පැත්තෙන් දේශීය වශයෙන් රටේ සෑම අංශයක්ම කඩා වැටිලා. වැරැදි තීරණ නිසා රට ප්‍රපාතයට වැටුණා. මම බාර දුන්නේ රටේ ජනතාව හොඳින් කාලා බීලා හිටපු රටක්. අද බෙහෙත් නෑ. කෘෂිකර්මාන්තය විනාශ කළා. රට මේ තත්ත්වයට පත් වුණේ ඒ නිසයි. රට මේ තත්ත්වයට පත්කළ හැටි ගැන පොතක් ලිවිය යුතුයි.   


?දැන් රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඔහු ඔබේ ආණ්ඩුවේ දෙවැනියා. ජනාධිපති රනිල් රට ගොඩ ගනීද?   


පිළිතුර:- ඒක ගැන කියන්න තියෙන්නේ රටේ ජනාධිපතිවරයකුට තනියම රටක් ගොඩගන්න බෑ. රට ගොඩගන්න බැරි පළමුවැනි කාරණය බවට පත්වෙලා තියෙන්නේ රටේ තියෙන දේශපාලන අර්බුදය නිසයි. ඒකෙන් ආර්ථික අර්බුදය උග්‍රවෙලා. සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ රට හදන්න පළමු දේ තමයි වංචාවෙන් දූෂණයෙන් හොරකමින් තොර පිරිසක්. පක්ෂයක් කියලා කියනවට වඩා අවශ්‍ය කරන්නේ ප්‍රතිපත්ති. අද ජනතාවට පක්ෂ ගැන විශ්වාසයක් නෑ. දේශපාලන නායකයන් ගැන විශ්වාසයක් නෑ. ජනතාවට අද අවශ්‍ය රට ගොඩ ගත හැකි සැලැස්මක් හා වැඩපිළිවෙලක්. ඒක ක්‍රියාත්මක කරන්න සුදුසු පුද්ගලයන් පිරිසක් තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. අද පාර්ලිමේන්තුව ඉතාමත්ම අවුල්සහගතයි. අමරණීයයි කියපු පොහොට්ටුව අද කණ්ඩායම් කීයකට කැඩිලද? 2018 දී 2019 දී 2020 දී ඡන්ද දිනලා බොහොම උජාරුවෙන් මහා ප්‍රාතිහාර්යක් කළා වගේනේ කතා කළේ. ඒගොල්ලෝ හිතුවා මේ රට සදාකාලිකවම ඒ ගොල්ලන්ගේ අතේ කියලා.   


?ඔබ මේ කියන්නේ රාජපක්ෂවරුන් ගැන?   


පිළිතුර:- ඔව් ඔව්. ඒගොල්ලෝ ගැන තමයි. ඒ වගේම ඒගොල්ලො හිතුවා සදාකාලිකවම මේක කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. මැතිවරණ ජයග්‍රහණ වලින් පෙන්නපු උජාරුව මොනතරම් ද කියලා මේ රටේ ජනතාව දන්නවා. ඒ ගොල්ලෝ සෑහෙන්න උඩ ගිහින් හිටියේ. දැන් ඒ මුකුත් නෑ.   


?මගේ ප්‍රශ්නය වුණේ ජනාධිපති රනිල් ගැන ඔබේ කියැවීම ගැනයි?   


පිළිතුර:- ආ...ආ... රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන තක්සේරුවේදී එයා බලාපොරොත්තු ​ෙවන යහපත් දේ කරන්න නම් එක පැත්තකින් ආණ්ඩුවේ සහයෝගය තියෙන්න ඕනැ.   


?ඔහු ජනාධිපති වුණේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද වලින්.   


පිළිතුර:- ඔව්, මම දන්න විදියට ආණ්ඩුවේ කණ්ඩායම් කිහිපයකට කැඩිලා. ඔහුට සහාය නොදෙන කණ්ඩායමකුත් ඉන්නවා. කාට වුණත් රටක් කරගෙන යන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රට තනියෙන් කරගෙන යන්න පුළුවන්කමක් නෑ. අවංක පිරිසක් රට බාරගත යුතුයි.   


?රාජ්‍ය ඇමැති චාමර සම්පත් කියනවා ඔබත් දයාසිරි ජයසේකරත් රනිල්ගෙන් ඇමැතිකම් ගන්න ගියා කියලා?   


පිළිතුර:- ඒ පාර්ලිමේන්තුවේ ඉන්න විහිළු කාරයෙක්නේ. එයා මේ එක එක දේවල් කියන මිනිහෙක්. ප්‍රතිපත්තියක් විදියට මම කිව්වනේ මම ගෝඨාභයගේ ආණ්ඩුවට යන්නෙත් නෑ. රාජපක්ෂලා ඉන්න ආණ්ඩුවකට මම යන්නේ නෑ කියලා 2019 ඉඳන් මම කිව්වා. 2019 ජනාධිපතිවරණයේදී මම පක්ෂයෙ සභාපතිකමෙනුත් ඉල්ලා අස්වෙලා මම මධ්‍යස්ථව හිටියේ. අවසාන අවස්ථාවේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නම මට දුරකථන ඇමතුම් දීලා කිව්වා ‘සහයෝගය දෙන්න’ කියලා. නමුත් මම මධ්‍යස්ථාව හිටියා. ඒ නිසා මට කියන්න තියෙන්නේ රට ඉතාම නරක තැනකට වැටිලා තියෙන්නේ. මෙතැනින් ගොඩ එන මගක් ගැනයි දැන් කතා කළ යුත්තේ.


?ඔබට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගන්න බැරි වුණා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඔබව දාලා යනවා?   


පිළිතුර:- මට වඩා පුළුවන් වුණා ද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පක්ෂය බේරගන්න. එයත් බිංදුවයි. එකම මන්ත්‍රීකම ලැබුණෙත් ජාතික ලැයිස්තුවෙන්. සජිත් ප්‍රේමදාස මහත්තයා සමගි ජන බලවේගය හදපු වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 67 දෙනෙක් සජිත්ට එකතු වුණා. එක්සත් ජාතික පක්ෂයට බලය තිබුණ පළාත් පාලන ආයතනවල නියෝජිතයන් හත්සිය ගානක් සජිත්ට එකතු වුණා. ඒ​ ගොල්ලන් පක්ෂ විනය කඩ කළ නිසා රනිල් ඒ අයව අයින් කළා. ඒ අය අධිකරණයට ගියා. අධිකරණ තීන්දුව වුණේ ‘රනිල් වික්‍රමසිංහ ඒ තීන්දුව අරගෙන තියෙන්නේ විනයානුකූවයි’ කියලයි. පක්ෂවලින් මිනිස්සු යනවා කියන එකයි පිල් මාරුවයි කියන්නේ දෙකක්. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට 2001 දී ආණ්ඩුව තියා ගන්න බැරි වුණා. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් 11 ක් ද 12 ක් ද ගිහින් එජාපය සමග එකතු වුණා බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ පක්ෂයට විරුද්ධ වෙලා, තමන්ගේම අම්මට විරුද්ධ වෙලා ගිය දූවරුන්, බෑනලා, පුතාලා පක්ෂයෙන් අයින් කළා. ඒ අය එළියට ගිහින් පක්ෂ කීයක් හැදුවද කියලත් මට මතක නෑ. රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ කාලයේ අගමැති ධුරය සම්බන්ධ ප්‍රශ්නයෙදී ලලිත් - ගාමිණී ඇතුළු කණ්ඩායමක් පක්ෂයෙන් ගියා. ඒ වෙච්ච දෙයින් එජාපයට අදත් ගොඩඑන්න බැරිවෙලා තියෙනවා. එදා ඉඳලා අවුරුදු 25 ක් තිස්සේම රාජ්‍ය නායකත්වය ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. එජාපය ඔය තැනට වැටුණේ ඒ නිසයි.   


?ඔබත් ශ්‍රීලනිපයට කළේ ඒ දෙයමනේ. ඔබ පක්ෂය බෝඩ් ලෑල්ලක් බවට පත් කළා කියලයි කියන්නේ?   


පිළිතුර:- මාධ්‍යයෙන් එක එක දේවල් කියනවා. පක්ෂය ඉවරයි කියලා කියනවා. එහෙම වෙන්නේ නෑ. ඒ පාක්ෂිකයො එහෙම හෙළවෙන්නේ නෑ. ගිය බදාදත් අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයට අලුත් නිල මඩුල්ලක් හදලා අලුත් කළා.   


?නමුත් ඒකට සන්ධානයේ හවුල්කාර පක්ෂ ගණනාවක් අවේ නෑ?   


පිළිතුර:- එහෙම නාවට අපට අවශ්‍ය ගණන ආවනේ. පිරිසක් ආපු නැති එක ඇත්ත. ඒ නාපු අයත් පස්සේ මට ටෙලිෆෝන් කරලා කිව්වා. මොකද සමහර පක්ෂවල නායකයන්ට මට කියන්න බැරිවුණා. ඒ නායකයන්ට ටෙලිෆෝන් කළාම ඒ දවස් දෙකේ අල්ලාගන්න බැරි වුණා. පාර්ලිමේන්තුවේදී හමුවුණෙත් නෑ. ඉදිරියේදී ඔවුන්ගේ සහයෝගය ලැබෙයි. රටේ අද පොදු මතයක් ඇතිවෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මෙහෙම කෑලි කෑලි කැඩිලා යාම ආණ්ඩුවට හොඳත් නෑ. රටටත් හොඳ නෑ කියලා ඒ නිසා රටට හොඳ වෙන්න විශේෂයෙන්ම ජාත්‍යන්තරය පිළිගන්න පුළුවන් ​ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකරගත යුතුයි. ඒ දේශපාලන ස්ථාවාරත්වය ඇතිකර ගන්න පුළුවන් වෙන්නේ සන්ධාන දේශපාලනයෙන්. සන්ධාන හැදෙන එක අපේ රටේ අලුත් දෙයක් නොවෙයි. ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂය ගත්තෙත් සන්ධානයකින්. මොන මොන කයිවාරු ඒ දවස්වල ගැහුවත්, ඒ කයිවාරු දැන් ගහන්නේ නෑ. දැන් වැඩේ සවුත්තු වෙලා යන එන මං නැතිව ඉන්නේ. ඉතින් ඒ නිසා මොන විශේෂඥයන් ගෙනාවත් මම දන්න විදියට පොහොට්ටුව නම් ගොඩගන්න බෑ.   


?ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගොඩගන්න පුළුවන් කියලා හිතනවද?   


පිළිතුර:- පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුළු ඉතිහාසයේම සන්ධාන ආණ්ඩු හදලා තියෙන්නේ. එකම එක පාරක් 1961 ඉඳලා 1965 දක්වා සිරිමාවෝ මැතිනිය ශ්‍රී ලංකා මන්ත්‍රීවරුන්ගෙන් විතරක් ආණ්ඩුව ගෙනිච්චා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ පළමුවැනි ආණ්ඩුවත් සන්ධාන ආණ්ඩුවක්. පැහැදිලිවම මේ රට ගොඩගන්න පක්ෂ කැඩිලා ගිහින් තියෙන විදියට ශක්තිමත් සන්ධානයක් එන්නම ඕනැ. ඒ සන්ධානයට පිරිසිදු දේශපාලනඥයන් එන්නම ඕනැ. තරුණ පිරිස් එන්නම ඕනැ. පාර්ලිමේන්තුවේ 225 න් අවම වශයෙන් සීයක්වත් උගත් තරුණ අය විය යුතුයි. නිකම් මේ සුදු සරමක් ඇඳගෙන උපාසක මහත්වරු කියලා රටට පෙන්වන අය නොවෙයි එන්න ඕනෑ. රටේ ජනතාවත් මීළඟ ඡන්දයකදී වෙනදාට වඩා වෙනස් ආකාරයකින් ඡන්දය දිහා බලයි කියලා. අද අවශ්‍ය වන්නේ පක්ෂ හෝ නායකයෝ නොවෙයි. වැඩපිළිවෙළකුයි අවශ්‍ය වෙන්නෙ. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි මිනිස්සු ඉන්නේ කොතැනද කියලයි ජනතාව බලන්නේ. ඒ නිසා අපි සුදුසු අය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. කැඩිලා ගිය අයත් සන්ධානයක් හැදීම ගැන සාකච්ඡා කරලා තියෙනවා. ශක්තිමත් සන්ධානයක් හැදෙයි කියලා දැඩි විශ්වාසයක් මට තියෙනවා.   


?ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබෙන් බේරාගන්න චන්ද්‍රිකා බණ්ඩාරනායකත් ඉස්සරහට එනවලු?   


පිළිතුර:- එයා එන්නේ නෑ. එයා මොනවද මේ කියන කතා?   


?චන්ද්‍රිකාටත් පක්ෂයේ උරුමය තියෙනවා? 

 
පිළිතුර:- උරුමයක් තියෙන බව ඇත්ත. ඉතින් එයා එහෙම එනවා නම් ඒකට අපෙන් කිසිම බාධාවක් නෑ.   


?නමුත් චන්ද්‍රිකාගේ පක්ෂ සාමාජිකත්වය ඔබත් තහනම් කළා?   


පිළිතුර:- එයාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් වෙලා නෑ.   


?පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරලා ඔබේ අතට අසීමිත බලයක් ගත්ත නිසා නේද නිමල් සිරිපාල මහින්ද අමරවීර ඇතුළු පිරිස ඔබට එරෙහි වුණේ?   


පිළිතුර:- නෑ නෑ ඒක මේ මට එරෙහි වීමක් නොවේ. ඔය එක්කෙනෙක්වත් මට එරෙහි නෑ. ඒ කාලේ බැලුවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. තව අවුරුදු දෙක හමාරක කාලයක් තියෙනවා ඡන්දයට. ඒ නිසා ඔය ගිය හුඟක් දෙනෙකුට ඇමැතිකමක් කිව්වම මේ ලෝකේ වෙන කිසිම දෙයක් පේන්නේ නෑ. ගිය අය ඔක්කොම ගියේ ඇමැතිකම්වලට. ඇමැතිකම්වලට කෙළ හල හලා ඉඳලා තමයි ඕක ගත්තේ. එහෙම නැතිව රටට ආදරේට නොවෙයි.   


?ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න ඔබට නීතිමය බාධාවක් නෑ. ඒ නිසා ඔබ උත්සාහ කරන්නේ ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න.   


පිළිතුර:- මම තවම එහෙම දෙයක් ගැන තීන්දුවක් අරගෙන නෑ. මම එකවරක් ජනාධිපතිවරයෙක් වශයෙන් ඉඳලා තව වරක් ජනාධිපති කෙනෙක් වෙනවද කියන කාරණය මම තවම තීන්දු කරලා නෑ. අපි හොඳ සන්ධානයක් හදලා හොඳ පිරිසක් එකතු කරගෙන ඒ තුළ කවුද අපේක්ෂකයා කියලා තෝරා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. අද දවසේ මම කොහෙත්ම කියන්නේ නෑ මම ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා. හොඳ සන්ධානයක් හදලා ගන්න තීරණයට මම සම්පූර්ණයෙන්ම හිස නමනවා.   


?ඒ කියන්නේ මීට පස්සේ රාජපක්ෂවරුන් සමග ගමනක් නෑ.   


පිළිතුර:- අම්මෝ නෑ. යන පාරකවත් යන්නේ නෑ.   


?රාජපක්ෂ යුගය ගැන ඔබ පොතක් ලියාගෙන යනවා කිව්වා? 

 
පිළිතුර:- ඔව් ඔව් රසබර දේවල් ත්‍රාසජනක දේවල් තියෙනවා. ලබන පෙබරවාරි, මාර්තු වෙනකොට පොත එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්