මීළග රාජ්‍ය නායකයාට ඇති ආර්ථික අභියෝග


නිදහසින් පසුව මෙරට බිහිවෙන ආර්ථික අභියෝග කන්දකට මුහුණ දීමට නියමිත රාජ්‍ය නායකයා නැත්නම් ජනාධිපතිවරයා තව මාස කීපයකින් මෙරට ආර්ථිකය භාර ගැනීමට නියමිතය. අන් කවරදාටවත් වඩා ඔහුගේ හිස මත පැටවෙන මේ ආර්ථික අභියෝග ජයගැනීමේ හැකියාව මත ඔබේත්, මගේත්, රටේ දරු පරපුරේත් අනාගතය රඳා පවතිනු ඇත. සීනිබෝල, ලොසින්ජර වගේම බේස්ලට්, චුවින්ගම් බෙදන, සහනාධාර මලු ගණන් බෙදන, රාජ්‍ය නායකයෙකුට මේ ගැඹුරු ආර්ථික අභියෝග ජය ගැනීම සිහිනයක් පමණක් ම වෙනු ඇත. එසේ නම් මේ ප්‍රධාන  ආර්ථික අභියෝග කවරේද? ඒවායේ බලපෑම කෙසේද? ඒවා ජය ගත හැක්කේ කෙසේද? යන්න මේ සටහනින් පැහැදිලි කෙරේ. ප්‍රධාන අභියෝග 4ක් මේ යටතේ හඳුනාගෙන ඇත. 


රාජ්‍ය ණය කළමනාකරණය හා රට බං​ෙකාලොත්භාවයෙන් මුදවාගැනීම:


අද වන විටත් අපි බංකොලොත් රාජ්‍යයක්. 2024 මාර්තු මස වෙනවිට  අප ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 100.1ක්. මෙයින් දේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 57.2ක් වෙන අතර, විදේශ ණය ප්‍රමාණය බිලියන 32ක්. තවත් ඩොලර්  බිලියන 5.8 ක්  සහතික ණයයි. බහුපාර්ශ්වීය හා ව්‍යාපෘති ණය ඩොලර් බිලියන 1.7 අප  ආපසු ගෙවමින් සිටියත්, ද්විපාර්ශ්වීය ණය බිලියන 10.6ත්, පැරිස් සංසදයෙන් ලබාගත් බිලියන 4.2කත්, ජපානය, චීනය හා ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් බිලියන 6.4ත් ආපසු ගෙවීම නතර කර තියෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළත් විදෙස් ණය පිළිබඳ එකඟතාවන් මේ වෙන තෙක් නිමා වී නැහැ. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර  (International Sovereign Bonds - ISB) මත ලබාගත් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 12.5ක්. මේ ණයවලින් 27%ක් කපා දමන්නත්, ණයවලට ගෙවීමට ඇති පොලියෙන් 20% කපා දමන්නත් කියා මේ ණය හිමියන්ට රජය යෝජනා කළා. නමුත් මේ ඉල්ලීම් දෙකම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් යෝජනා දෙකක් ඉදිරිපත් කළා. එනම් රටේ ආර්ථික වර්ධනය පදනම් කරගත් ස්වෛරී  බැඳුම්කර ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය. (Macro-Linked Bond - MLB) සහ රටේ පාලන ක්‍රියාවලියේ ප්‍රගතිය පදනම් කරගත් (Governance-Linked Bond- GLB) ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය. මේ ක්‍රමය මගින් ඔවුන් යෝජනා කරන්නේ රටේ දළ දේශීය නිෂ්පාදනය 2025 -2027 අතර කාල පරාසයේ ඩොලර් බිලියන 77.6 ට වඩා අඩු වුවහොත් අප ලබාගත් ණයවලින් 27%ක් කපා දැමිය හැකි බව. ඒ සමගම අපි ඩොලර් මිලියන 225ක  මූලික ගෙවීමකුත්  කළ යුතු බව. එහෙමනම් මේ ණය කපාහැරීමේ  අපේ බලාපොරොත්තුව ඉටු කර ගැනීම අසීරු කරුණක්. එයට හේතුව වෙන්නේ අපේ වාර්ෂික ද.දේ.නි ඩොලර් බිලියන 77.6 ට වඩා අඩු අගයක් ගත්තේ 2022 වසරේ පමණයි. එය 2019 ඩොලර් 89.01, 2020 ඩොලර් බිලියන 84.44, 2021 ඩොලර් බිලියන 88.50. එසේ නම් සෘණ ආර්ථික වර්ධනයක් තිබුණු 2022 පමණයි පසුගිය වසර 5ක් කාලය තුළ ඔවුන්ගේ කොන්දේසි ඉලක්කම වෙන ඩොලර් බිලියන 77.6% වඩා අඩු වුණේ. මේ අනුව 2023 වසරේත් අපගේ ද.දේ.නි ඩොලර් බිලියන 80 ඉක්මවන බව පැහැදිලියි. මීට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික වර්ධන ඉලක්ක අනුව 2025 - 2027 කාල පරාසයේ කිසිවිටෙකත් අපගේ ද.දේ.නි. ඩොලර් බිලියන 77.6 ට වඩා අඩු නොවනු ඇති. එසේ නම් රජයේ මේ ඉල්ලීම කිසිවිටකත් සිදු නොවෙනු ඇත. එසේ නම් මීළඟ රාජ්‍ය නායකයාට ඉතා කුඩා මුහුණත අගයක් 7% වැනි කපා දැමීමකින් පසු ඉතිරිය පොලිය ද සමග ගෙවා දැමීමට සිදුවේවි. දෙවනුව, මේ ණය හිමියන් රටේ පාලන ක්‍රියාවලියේ ප්‍රගතිය පදනම් කරගත් (Governance-Linked Bond- GLB) ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් යෝජනා කර තිබෙනවා.  
මේ යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් හඳුනාගත් අපේ ආර්ථිකයේ දූෂණය, යහපාලන ක්‍රියාකාරීත්වයන්, ඉලක්කගත බදු  ආදායම් ඉපැයීම් වැනි කරුණුවල ප්‍රගතිය පදනම් කරගත් ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් යෝජනා කර තිබෙනවා. මෙය ඉතා හොඳ යෝජනාවක්. නමුත් තෙවැනි ණය වාරිකය ලබාගැනීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් කොන්දේසිවලින් ඉටු නොකළ 25% මෙයට සමාන වූ කොන්දේසි. මේ නිසා මේ ක්‍රමවේදයත් රජයට විශාල අභියෝගයක් වෙනවා නො අනුමානයි. මේ නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය ණය හිමියන්ගේ කොන්දේසි මත සිදුකිරීමට මේ අලුත් නායකයාට සිදුවෙනවා. 


දේශීය රුපියල් හිඟයට මුහුණ දීමේ අභියෝගය


2023 දෙසම්බර් මස සිට 2024 මාර්තු දක්වා, මාස තුනක් ඇතුළත ලංකා රජයේ ණය තවත් ඩොලර් බිලියන 4කින් වැඩිවී තිබෙනවා. මේ සියල්ලම දේශීය ණය වේ. තිබුණු දේශීය ණය අර්ථසාධක අරමුදල භාවිත කරමින් ප්‍රතිව්‍යුහගතකරණය කළ අතර දැන් නැවතත් දේශීය ණය ගැනීම අරඹා ඇත. පසුගිය මාස 3ක කාලය තුළ විදේශ ණය ආපසු ගෙවීම් කර ඇත්තේ ඩොලර් බිලියන 0.6ක් වැනි කුඩා ප්‍රමාණයක්. නමුත් දේශීය ණය ලබාගැනීම් ඩොලර් බිලියන 4.6ක්. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙරට වාර්ෂිකව ජනිත වෙන අයවැය පරතරයයි. 2024 වසරේ රජයේ ඇස්තමේන්තු ආදායම රුපියල් මිලියන 2127ක් වෙනවිට වියදම රුපියල් බිලියන 6978ක්. මේ අනුව අයවැය හිඟය රුපියල් බිලියන 2851ක් හෙවත් ඩොලර් බිලියන 9.5ක්. වාර්ෂිකව ඩොලර් බිලියන 10කට ආසන්න අයවැය හිඟයක් පවතින රජයක්  භාර ගැනීමට මීළඟ නායකයාට සිදුවෙනු ඇති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට ලැබෙන්නේ වාරික හයකින් ඩොලර් බිලියන 2.9ක්. නමුත්  වර්ෂයකට අපේ අයවැය හිඟය පමණක් ඩොලර් බිලියන 10කට ආසන්නයි. මෙම පරතරය අඩු කිරීම සඳහා දැනට අපට ආදායම් එන ප්‍රධාන ප්‍රවාහයන් සියල්ල ප්‍රතිව්‍යුගතකරණයකට ලක් කළ යුතුව තියෙනවා. 2024 මුළු බදු ආදායම රුපියල් බිලියන 3280ක් වෙනවිට එයින් පොලී ගෙවීම්වලට පමණක් රුපියල් බිලියන 2651ක් හෙවත් 80%ක් වැය කරන රාජ්‍යයක මීළඟ නායකයාට ඇති අභියෝග ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. මෙම පොලීවලට ණය වාරිකයන් ද එකතු වූ විට මේ ප්‍රමාණය වාර්ෂිකව තවත් රුපියල් බිලියන 1500කින් පමණ වැඩි වේවි. කොටින්ම රජයේ බදු ආදායම විදෙස් ණය හා පොලී ගෙවීමටවත් ප්‍රමාණවත් නොවී. මේ තත්ත්වය තේරුම් නොගත් නායකයන් තව දුරටත් සහනාධාර ආර්ථිකයක සිහින දකිමින් ඉන්නවා. 2024 වසරේ සහනාධාර හා දීමනා සඳහා වියදම් කළ මුදල රුපියල් බිලියන 1158ක් හෙවත් එය මුළු බදු ආදායමින් තුනෙන් එකකට වැඩියි. 


ඩොලර් හිඟය පියවා ගැනීමේ අභියෝගය


මීළඟ රාජ්‍ය නායකයාට ඇති තවත් ප්‍රධාන අභියෝගයක් වෙන්නේ අපට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය හෙවත් විදෙස් සංචිතවසුගසසල හිඟය. මෙරට ආර්ථිකය කඩාවැටීමට මූලිකම හේතුව වුණෙත් මේ ඩොලර් ඌනතාවයි. 2027න් පසුව අපි ලබාගත් ණය ආපසු ගෙවීමට පටන්ගන්න වෙනවා. ඒ අනුව දළ වශයෙන් වසරකට ඩොලර් බිලියන 05ක් විතර අපට අවශ්‍ය වෙනවා. පසුගිය වසරක් පුරාවට ණය ආපසු නොගෙවා මහ බැංකුවට එක් රැස් කරගන්න ලැබුණෙත් ඩොලර් බිලියන 5කට ආසන්න විදේශ සංචිත ප්‍රමාණයක් පමණයි. මීට අමතරව සෑම මසකම අපේ අපනයන  ආදායම ඉක්මවා ආනයන වියදමක් ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම වෙළෙඳ ශේෂයේ ඇතිවෙන හිඟය ඩොලර් බිලියන 8ත් 10 ත් අතර විචලනය වෙනවා. 2022  ආනයන සීමාවන් යටතේ වුවත් වෙළෙඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 5.2යි. නමුත් ඉදිරි වර්ෂවල එකඟතාවන්ට අනුව පියවරෙන් පියවර ආනයන සීමාවන් ලිහිල් කිරීමත් සමගම, විශේෂයෙන් වාහන ආනයන සීමාවන් ඉවත් කළ විට සෑම මසකම වෙළෙඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන එකකට ආසන්න වෙනවා. එසේ නම් මේ හිඟය අතිරික්තයක් දක්වා වැඩිකර ගැනීම මීළඟ රාජ්‍ය නායකයාට ඇති විශාලම අභියෝගයයි. එසේ නොමැතිව මේ ඩොලර් අර්බුදය සමනය කළ නොහැකි අතර විදේශ ණය ගෙවා දැමීමත් දැඩි අභියෝගයක් වෙනවා. මේ නිසාම තමා, යෝජනා කරන්නේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% ක් නොඉක්මවිය යුතු බව. නමුත් එය දැනට 4% මට්ටමේ පවතිනවා. ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස භාණ්ඩ හා සේවා අපනයනය 2025 වෙන විට 25% ක ද, 2030 වෙනවිට 40%ක් ද, 2040 වෙනවිට 60% විය යුතු බවට යෝජනා කරනවා. එසේ නොවුණහොත් මේ ලබාගෙන තිබෙන විදෙස් ණය ආපසු ගෙවීමට අපට ඇති ඉඩකඩ සීමා සහිතයි. මොකද, දැනට 2022 අපනයන ආදායම ඩොලර් බිලියන 13යි, ඒක දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 16%ක් පමණයි. 2030 වෙනවිට අපේක්ෂිත ආර්ථික වර්ධන වේගයත් සමග මෙරට වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 105 සිමාවට පැමිණිය යුතුයි. ඒ අනුව මෙයින් 40% කියන්නේ ඩොලර් බිලියන 42ක් ඉපැයිය යුතුයි. හැබැයි 2022 අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 13යි. මේ අනුව අපනයන ආදායම 300කින් වැඩිකර ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවෙනවා. ඒ සඳහා නිෂ්පාදන ආර්ථියක් කරා යොමුවීම අනිවාර්ය වෙනවා. ඒ සඳහා දැනට ඇති කුඩා, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත නව ජවයකින් ගොඩනැගිය යුතු වෙනවා. දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් 55%ක් ගෙනදෙන, රැකියා නියුක්තියෙන් 60% ආසන්න රැකියා ප්‍රමාණයක් බිහිකර ඇති දැනට ලක්ෂ 12කට ආසන්න මේ ව්‍යවසායකයන් දිරිගන්වමින්, තවදුරටත් තාක්ෂණයට නැඹුරුවෙමින් නවෝත්පාදන තුළින් ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට අවශ්‍ය කරන පදනම මේ නව නායකත්වය තුළින් ගොඩනැගිය යුතුමයි.