මීළඟ වසර දහය ඇතුළත දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළියක් කරනවා


(අංජුල මහික වීරරත්න, කනංකෙ එම්.කේ. ඉන්ද්‍රවංශ)

දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළිය ඊළඟ වසර 10 ඇතුළත දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්සේ දී ඉකුත් 18 වැනිදා සිකුරාදා පැවැසීය.

පරණ පව් ගෙවූ වසර දෙකක කාලය නිමාවීමෙන් පසුව සියලුදෙනා එක්ව රට ගොඩනගන යුගය ඇරැඹී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ අකුරැස්ස, තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමෙන් අනතුරුව ඒ අසල පැවැති ජන රැලිය අමතමිනි.

රැලිය අවසන්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා තිබ්බටුවාව නගරයේ වෙළෙඳසල්වලටද ගොස් ව්‍යාපාරිකයන් හමුවී සුහද කතාබහකද නිරත විය. ජනරැලියේදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා සමග මා මේ පළාතේ සංචාරය කළා. මා මෙලෙස සංචාරය කළේ කාලයකට පසුවයි. මා කාලයකට ඉහත මෙලෙස සංචාරයකට ගොස් විල්පිට නිල්වලා අධ්‍යාපන පීඨයක් නැති බව දයානන්ද වික්‍රමසිංහ මැතිතුමාට කිව්වා. එකල අප මේ හැම ප්‍රදේශයකම සංචාරය කළා. ඒ දියුණුවෙන් පසුව අදත් දියුණුවක් ඇරැඹීමට සූදානමින් සිටිනවා. ඒ දියුණුව ඇතිවන්නේ මුළු දකුණු පළාතම කේන්ද්‍ර කරගෙනයි.

බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරනවා. මාධ්‍ය අතර ඉන්නවා. ඒ අයුරින්ම බිම් මට්ටමේ ගම් මට්ටමේ කටයුතු කරනවා. ඒක හොඳයි. වසර 30 කින් පසුව අකුරැස්සට නැවත දියුණුවක් ලබාදී තිබෙනවා. පතිරණ මහතාගේ වැඩකටයුතු හැමදාම මේ ප්‍රදේශයට සීමාවන්නේ නැහැ. සෙසු පළාත්වලටත් සේවය කරනවා. ඒත් අප මේ දියුණුව අගය කරනවා.

අද අප ප්‍රාදේශීය සභා කාර්යාලය විවෘත කිරීම, වතු නිවාස යෝජනා ක්‍රම විවෘත කිරීම ආදී වැඩසටහන් රාශියකට සහභාගී වුණා. තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමේ වැඩසටහනට පැමිණියේ අවසාන වැඩසටහන ලෙසයි. බුද්ධික පතිරණ මහතාත් මෙවර පාර්ලිමේන්තුවට පැමිණ වසර දෙකක් පිරෙනවා. අපත් මේ වතාවේ පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකක් ගතවී තිබෙනවා.

අප ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ රටට යහපතක් කිරීම සඳහායි. ඒ අනුව අප සියලුම දෙනා ඒ ආණ්ඩුවේ දිවුරුම් දුන්නා. මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලැබුණත් ජාතික ආණ්ඩුවක් බිහි කරන බව මහ මැතිවරණයේදී මා පැවැසුවා. ඒ අනුව අප හැමදෙනාම එකට එකතු වී වැඩ කටයුතු කරනවා. වසර දෙක අවසන් වනවිට මුදල් ඇමැතිතුමන් සමග සාකච්ඡා කර යම් සහන කීපයක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා. සියයට 10 ක් ලෙස තිබූ අන්තර්ජාල බද්ද ඉවත් කොට ඒ වෙනුවට ඔබලාත් සහනයක් දෙන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියා. ඒ නිසා දැන් 20% ක සහනයක් ලැබෙනවා. ඒ අනුව අන්තර්ජාල භාවිතය තවත් වැඩිවීමෙන් ආදායම තවත් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව මගේ විශ්වාසයයි.

දෙවැන්න වාහන මිල අඩු කිරීමයි. ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා වාහන මිල අඩුකර තිබෙනවා. බට්ටා වාහනවල බද්දත් අඩුකර තිබෙනවා. ඒ අනුව ලක්ෂ තුනකින් පමණ ඒවායේ මිල අඩුවේවි. මේ ප්‍රදේශවලට එම වාහන අත්‍යවශ්‍යයි.

තේ ප්‍රවාහනය, බඩු භාණ්ඩ ප්‍රවාහනය, ආදියට අවශ්‍යයි. ආර්ථිකය දියුණුවීමත් සමග බඩු භාණ්ඩ, මගීන් ප්‍රවාහන කටයුතු සඳහා වාහන අවශ්‍යයි. 1977 වසරේ ත්‍රිරෝද රථ ගෙන්වීමෙන් කුඩා වාහන ගෙන්වීම ආරම්භ කළා.

ගංවතුරෙන් පසුව කුඩා වාහන මිලදී ගෙන ආර්ථිකය යළි ගොඩනංවා ගැනීම සඳහා අප එහි මිල අඩුකර තිබෙනවා. මේ කාරණා දෙකෙන්ම ආර්ථිකයට විශාල රුකුලක් ලැබේවි. එමෙන්ම කුඩා යතුරුපැදි සඳහා වන බද්දත් ඉවත්කර තිබෙනවා. ඒ නිසා ජනතාවට රුපියල් 50,000 ක පමණ වාසියක් ලැබේවි.

තරුණයන් සඳහා යතුරුපැදි අත්‍යවශ්‍යයි. සමහරුන්ට විශාල ප්‍රමාණයේ යතුරුපැදි මිලදීගත හැකියි. ඒත් පොඩි වාහන මිලදී ගන්නා අයට අප විශේෂ සහනයක් ලබාදී තිබෙනවා. එම වාහන ගෙන්වීම අපරාධයක් නාස්තියක් නොවේ. එයින් කුඩා ගම්මානවල ආර්ථිකය දියුණුවට පත් වෙනවා. මා වසර 40 කට හෝ 45 කට පෙර මෙහි එනවිට මේ වෙළෙඳසල් එකක්වත් මෙහි තිබුණේ නැහැ. ඒකාලේ බාබර් සාප්පුවක් පමණක් තිබුණා.

අද තත්ත්වය වෙනස්වෙලා. ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. ජනතාවගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අපේ අරමුණයි. යහපාලන රජයේ මූලික වැඩ කටයුත්ත එයයි.

රජය බාරගන්නා විට මේ තත්ත්වය තිබුණේ නැහැ. රට ඉදිරියට ගෙන යාමට බැරි තත්ත්වයක් උද්ගතවී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා. ණය පොලිය ගෙවා දැමීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.

මෙහෙම ආණ්ඩුවක් බාරගන්න පිස්සුදැයි සමහරුන් ඇසුවා. මුලින් රට බාර ගනිමු. ඊට පසුව රට හදමු යැයි මා පැවැසුවා. ඉතින් අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව මැතිවරණයට ගොස් රට බාරගත්තා.

 අප රට බාරගනිද්දී ආදායම වැඩි කරන්න තවත් මාර්ග තිබුණා. එදා පැවැති පෙට්‍රල් ගාස්තුව මතකද? සියලුම දේ වැඩිකර තිබුණා. අපි ඒ සියලුම භාණ්ඩ මිල අඩු කළා. අප වෙළෙඳපොළේ මිලට භාණ්ඩ දෙන බවත් වෙළෙඳපොළේ මිල අඩු වන විට අඩුවෙනුත් වැඩිවන විට වැඩිපුරත් භාණ්ඩ දෙන බව පැවැසුවා. වාසිය හා අවාසිය දෙකම ජනතාවට දිය යුතුයි. අවාසිය ජනතාවට ද වාසිය ආණ්ඩුවේ අයගේ සාක්කුවට දමා ගැනීමේ පිළිවෙත වැරදියි.

ඒ වැඩකටයුතු කරද්දී රජයේ ආදායම අඩුවුණා. ඒ වගේම අපි පඩි වැඩි කළා. වියදම වැඩි වුණා. කෙසේ හෝ අප රට ඉදිරියට ගෙන ගියා. අප දැන් කෙසේ හෝ මුදල් සොයාගත යුතුව තිබුණා. ආර්ථිකය ස්ථාවර නොකළොත් සියල්ල කඩා වැටෙනවා. ඒ නිසා අපට අලුත් බදු පැනවීමට සිදුවුණා. අන්තර්ජාල බද්දක් පැනවූයේත් ඒ අනුවයි.

තරුණයෝ අපට දොස් නැගුවා. අන්තර්ජාල භාවිතය වැඩි කරන බව මැතිවරණ සමයේ පවසා දැන් කරන්නේ කුමක්දැයි විමසුවා. මේ බදු වැඩි කරන්නේ තාවකාලිකව බව අප එහිදී පැවැසුවා. ආර්ථිකය හැදෙන තුරු කල්දෙන ලෙස ඉල්ලා සිටියා. ඇතැම්විට අපට අමාරු තීරණ ගන්නට සිදුවෙනවා. බැනුම් අහන තීරණ ගන්න වෙනවා.

නමුත් අද වනවිට අපේ ආදායම ණය ගෙවා දැමිය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. ඒත් සංවර්ධන වැඩ සඳහා ණය ගත යුතුව තිබෙනවා. එයින් ප්‍රතිඵලයක් ලබාගත යුතුයි.

මේ වනවිට රටේ ආදායම ටිකෙන් ටික වැඩිවෙනවා. ඒ නිසා මුදල් ඇමැතිතුමා සමග සාකච්ඡා කොට අන්තර්ජාල බද්ද ඉවත් කිරීමට අප තීරණය කළා. අප 10% බද්ද අඩු කළා පමණක් නොව සමාගම්වලින්ද සහනයක් දෙන ලෙස අප ඉල්ලා සිටියා.

ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇතිවී තිබෙනවා. අපේ පරම්පරාව ගත් ණය අපේ පරම්පරාව විසින් ගෙවා දැමිය යුතුයි. මතු පරපුරට ඒ ණය ඉතිරි කරන්නට හැකියාවක් නැහැ. අපේ කාලේ අඩුපාඩු, කළ වැරදි අපිම ගෙවා දැමිය යුතුයි. දැන් ඒ කටයුතු ටිකෙන් ටික සිදු කරමින් සිටිනවා. වැඩිපුරම ණය ගෙවීමට තිබෙන්නේ 2020 වසර වනවිටයි. 2025 වනවිට ණය ගෙවීම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එවිට අපේ ආදායම වැඩිවෙනවා.

දැන් අපි සංවර්ධනය පටන් ගන්නවා. මෙරට ආර්ථික සංවර්ධනය නැවත අරඹනවා. වසර 40 කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනපති යටතේ විශාල සංවර්ධනයක් කිරීමට මට අවස්ථාවක් ලැබුණා.

අප මහවැලි ව්‍යාපෘතිය ඇරැඹුවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය කර පාර්ලිමේන්තුව ඉදිකළා.

කටුනායක, බියගම, සීතාවක ආදී වෙළෙඳ කලාප ඇරැඹුවා. උදාගම්මාන ඇරැඹුවා. නිල්වලා යෝජනා ක්‍රමය පටන්ගත්තා. කොග්ගල වෙළෙඳ කලාපය ඇරැඹුවා. ප්‍රේමදාස ජනපති සමගත් අප කර්මාන්තකරණය ඇති කර ඇඟලුම් කම්හල් 200 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකිවුණා. ඒ ආකාරයේ සංවර්ධනයක් ඊට පසුව මේ රට දැකලා නැහැ. අප සංවර්ධනය කළේ ණය වෙලා නොවේ.

ජේ.ආර්. ජයවර්ධන ජනපතිටත්, ප්‍රේමදාස ජනපතිටත් මුහුණදීමට සිදු නොවූ තත්ත්වයකට මටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිටත් මුහුණදීමට සිදුවී තිබෙනවා.

ණය ගෙවා සංවර්ධන කිරීම අපේ අරමුණ වුණා.  අප මුලින් අත ගැසුවේ අමාරුම තැනටයි. හම්බන්තොට නැව් නැති වරායක් තිබුණා. මා එය නම් කළේ ලොව විශාලතම පිහිනුම් තටාකය ලෙසයි. ඒ වරාය නඩත්තු කිරීම සඳහා අප රුපියල් බිලියන 40 ක් වියදම් කර තිබෙනවා. ණය ගෙවන්න මුදල් නැහැ. එය විශාල පාඩුවක් බවට පත්වුණා. අනෙක් පැත්තෙන් මත්තල ගුවන් තොටුපොළක් තිබුණා. ඊට ගුවන් යනා එන්නේ කොහෙන්ද? අපේ ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් පැමිණියා. වෙනත් ගුවන් යානා නම් ආවේ නැහැ. ඒ ගුවන් තොටුපොළේ ණය ගෙවන්නත්, නඩත්තු කරන්නන් අපට හැකියාවක් නැහැ. ගුවන් තොටුපොළ පවත්වාගෙන යන්නේ ඉතා අසිරුවෙනුයි.

පළමුවෙන්ම අප චීනය සමග සාකච්ඡා කළා. මේ ණය ගෙවීමට නොහැකි බව පැවසුවා. අප වෙනත් ක්‍රමයක් සොයා ගනිමු යැයි චීන ජනපති අපට පැවසුවා. දැන් අප වසර 70 ක් සඳහා එය දී තිබෙනවා. ඇතැමුන් ඊටත් කෑ ගහනවා. අපට ලැබී තිබෙන බද්ද ඩොලර් බිලියන 1.1 ක් වනවා. ඩොලර් බිලියන එකහමාරක ණය මුදලෙන් කොටසක් අප තබාගෙන ඉතිරි කොටසට ගෙවීමට ඇති මුදල ලැබී තිබෙනවා. ඒ ණයත් අවසන්, ඒ ගැන බයවෙන්න එපා.

මත්තල ගුවන් තොටුපොළ බාර ගැනීම සම්බන්ධයෙන් ඉන්දිය රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ කාරණයත් මේ වසර අවසන්වීමට පෙර කළ හැකියි. එසේ නම් දැන් හම්බන්තොට වරාය සහ මත්තල  ගුවන් තොටුපොළ යන දෙකේම බර නැහැ. එතැන් සිට දියුණුව පටන් ගත හැකියි. ගුවන්තොටුපොළ සහ වරාය ලාබ ලබන තත්ත්වයකට පැමිණේවි.

චයිනා මර්චන්ට් සමාගම වරායට නැව් ගේනවා. වරාය දියුණු කරනවා. එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීම පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. මේ ප්‍රදේශයට විදුලිබලය දීම සඳහා එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඇති කළ හැකිදැයි විමසා තිබෙනවා. ඒ කරුණු සඳහා අප ඉඩ ලබාදෙමු.

හම්බන්තොට වානේ සමාගමක් ඇති කිරීම පිළිබඳව විමසා තිබෙනවා. නැව් තටාකයක් ස්ථාපිත කරනවා. සිමෙන්ති කම්හලක් පිහිටුවනවා. ඒ ඉදිකිරීම් පිළිබඳව දැන් ඉල්ලීම් කර තිබෙනවා. මේ ව්‍යාපෘතිවලින් අඩක් සාර්ථක වුවත් එය ප්‍රමාණවත්.

හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඉදිකිරීම, මත්තල නව සංචාරක කලාපය, ගැන සිතන්න. දකුණ යනු සංචාරකයන් සඳහා හොඳම තැනයි. කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළට මැදිව දකුණු පළාත පිහිටා තිබෙනවා. ඒ තුළින් දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. එමෙන්ම මොණරාගල, මාතර විශාල කර්මාන්ත දියුණුවක් ඇති කරනවා. ඒ කර්මාන්තයේ වාසි අකුරැස්ස ප්‍රදේශයටත් එනවා. මේ හැම ගමකටම සංවර්ධනයේ වාසි ලැබෙනවා. ලබන වසරේ ආරම්භ කර ඉදිරියට ගෙනයන්නේ එම සංවර්ධනයයි.

වසර දහයකින් මහවැලි ව්‍යාපාරය කළා සේ විශාල සංවර්ධන විපර්යාසයක් දකුණ කේන්ද්‍ර කර ගනිමින් සිදුකරනවා. හොඳම සංචාරක කලාපය දකුණයි. බෙන්තර සිට පිටබැද්දර දක්වා සංචාරක කලාප ඇති කිරීමට අක්කර 2000 ක් පමණ වෙන්කරනවා. මේ වසර අවසන් වනවිට දේද්දුව කේන්ද්‍ර කර ගනිමින් පළමු සංචාරක ව්‍යාපාරය ආරම්භ කරනවා.

එවිට සංචාරක ආර්ථිකය එක් පැත්තකිනුත් කර්මාන්ත, ගුවන් තොටුපොළ. වරාය, ආර්ථිකය තවත් පැත්තකිනුත් දැක ගැනීමට හැකිවේවි. වැලිගම තවත් කර්මාන්ත කලාපයක් ඉදි කෙරෙනවා. මේ ආරම්භ කරන්නේ දියුණුවයි.
සිංහරාජ අඩවිය ආශ්‍රිත ප්‍රදේශත් ඉබේම දියුණුවට පත්වේවි. හිනිදුම, දෙණියාය, රක්වාන ආදී ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. ඒ දියුණුවට මුහුණදීම සඳහා සූදානම් විය යුතුයි. මහවැලි ව්‍යාපාරයට වඩා වැඩි විපර්යාසයක් යහපාලන රජය විසින් සිදු කරනවා.

දකුණේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් සිටියා. ඒ මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු ගම්පෙරළිය ලිව්වා. දැන් අපි දකුණේ පෙරළිය කරන්න යනවා. ඊළඟ වසර 10 තුළ දකුණේ පෙරළිය දැකගන්නට හැකිවේවි.

මේ ඉඩම්වල වටිනාකම දෙගුණයක් තුන්ගුණයක් වේවි. තංගල්ල, දික්වැල්ල ඉඩම් මිල ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. හම්බන්තොට පර්චස් 1 ක් රුපියල් 100 බැගින් විකිණීමට සිටි ඉඩම්වල අද පර්චස් 1 ක වටිනාකම රුපියල් ලක්ෂයකටත් වඩා වැඩියි. අප ඒ දියුණුව තවත් සීඝ්‍ර කළ යුතුයි. ඉදිරියට ගෙන යායුතුයි. එම ප්‍රතිලාභ මේ ප්‍රදේශයට ලබාදිය යුතුයි.

දකුණේ දියුණුව මොණරාගල, අම්පාර ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙනවා. මහනුවර සිට වැල්ලවාය තෙක් විශාල සංවර්ධන තීරුවක් ඇති කිරීම අපේ අරමුණයි.

මහනුවර, වයඹ, බස්නාහිර මහා නගරය, දකුණු දියුණුව ආදී විශාල වැඩසටහන් තිබෙනවා. ඉන්පසුව ත්‍රිකුණාමලය දියුණුව සඳහා සැලසුම් සකස් කරනවා. ඒ සැලසුම් ද ආරම්භ කර තිබෙනවා.

ඊළඟ පරපුරට මීට වඩා හොඳ ආර්ථිකයක්, ආදායම්, රැකියා ලබාදෙන වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. පරණ පව් ගෙවන්න වසර දෙකක් ගත වුණා. කැඩුණු ආර්ථිකය ගොඩගන්න වසර දෙකක් ගතවුණා. දැන් අපි කවුරුත් එක්ව ඉදිරියට යමු. පක්ෂ කීපයක් එක්ව රට ඉදිරියට ගෙන යනවා. අපට බනින අය ඉන්නවා. ඔවුන් ජනාධිපතිවරණය කලින් පැවැත්වූයේ ණය ගෙවන්න බැරි නිසයි. අපි බියවී දිව්වේ නැහැ. සහන දී වැඩකටයුතු කළා.

දැන් අප සංවර්ධන යුගය අරඹනවා. අලාභ ලැබූ දේ ලාබ ලබන දේවල් බවට පත්කළා. ජනතාවට බර පටවන්නේ නැහැ. තරුණයන්ගේ අනාගතය නැති කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඔබට හොඳ අනාගතයක් දෙනවා. ඒ ගමන අපි එකට යමු. ඊට ඔබේ සම්පූර්ණ සහය අවශ්‍යයි.

එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,
මාතර දිස්ත්‍රික්කයේ සෑම බස් නැවතුම්පොළක්ම හැදුව. ඒත් අකුරැස්ස බස් නැවතුම්පොළ අලුත්වැඩියා කෙරුණේ නැහැ.

ලංකා ඉතිහාසයේ හදිසි ආපදා වෙනුවෙන් ඉදිකෙරුණු පළමු බෝට්ටුව අද අපි අකුරැස්සට බාරගත්තා.
අකුරැස්සේ ව්‍යාපාරිකයන් යන එන මං නැතිව නන්නත්තාර වූ යුගයක් තිබුණා. මෙහි ව්‍යාපාරිකයන් හැමදාම ගංවතුරෙන් බැට කනවා. ඔවුන් වෙනුවෙන් ස්ථීර විසඳුමක් ලබාදිය යුතුයි. සංහිඳියා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ රටට මෙන්ම ලොවටත් ආදර්ශයක් ලබාදීමයි.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාලපිරිසක් සහභාගී වී සිටියහ.

(ඡායාරූප - ඉෂාන් සංජීව)