මුල්‍ය ව්‍යූහයේ සමස්තය මුදල් අච්චු ගැසීමටම සීමා නොකිරීම


මුදල් අච්චු ගැසීමේ කතාන්දරය ද එයට සමානය. ලෝකයේ ඕනෑම රටක මුදල් අච්චු ගැසීමක් සිදුවේ. එය මුල්‍ය තත්ත්වය සලකා විශ්ලේෂණයකට අනුව සිදුවෙන දීර්ඝ ක්‍රියාවලියකි.

2001 වසරේ දී ශ්‍රී ලංකාවේ මුල්‍ය සාක්ෂරතාව ගැන පර්‌යේෂණයක් සිදුකොට ඇත. එහි නිරීක්ෂණ අනුව වයස අවුරුදු දහ අටට වැඩි ජනගහනයෙන් සියයට පනස් අටකට මුල්‍ය සාක්ෂරතාව ඇත. එහි ගැඹුරට විහිදෙන පසු උද්ධමනය ගැන දන්නා නමුත් උද්ධමනය ඇතිවෙන පසුබිම ගැන අවබෝධයක් නැත. පොලී අනුපාත ගැන හොඳට දන්නා නමුත් පොලිය නිර්මාණය වෙන ආකාරය හෝ හෝ එයින් ඇති කරන සංකීර්ණතා ගැන නොදන්නා බව දැක්වේ. මුල්‍ය වෙළෙඳ පොළ පවතින අවදානම ගැන අවබෝධයක් ඇති ප්‍රමාණය සීමිතය. කෙසේ නමුත් මුල්‍ය සාක්ෂරතාව ඇති සමාජය මුල්‍ය ක්ෂේත්‍රයෙහි සිදුවෙන විචල්‍යයන් ඉදිරියේ 
දුහුනන් වෙති. 
මුදල් අච්චු ගැසීමේ කතාන්දරය ද එයට සමානය. ලෝකයේ ඕනෑම රටක මුදල් අච්චු ගැසීමක් සිදුවේ. එය මුල්‍ය තත්ත්වය සලකා විශ්ලේෂණයකට අනුව සිදුවෙන දීර්ඝ ක්‍රියාවලියකි. බැසිල් රාජජපක්ෂ  මුදල් ඇමැති වශයෙන් සිටිය දී මුදල් අච්චු ගැසීම ගැන ප්‍රකාශ වූ පසු ඔහු ගේ අත්සන ඇති මුදල් නෝට්ටුවක් ඉදිරිපත් කරන ලෙස කෙළින්ම මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළේය. අනුර කුමාර දිසානායක ආණ්ඩුව ද එම ප්‍රශ්නයට එලෙසම උත්තර දී ඇත. අනෙක් අතට දැන් සංසරණයවෙන නෝට්ටුවල බැසිල් රාජපක්ෂගේ අත්සන ඇත. තවත් නොබෝ දිනකින් ජාතික ජනබලවේගයේ ජනාධිපති සහ මුදල් ඇමැති අනුර කුමාර දිසානායක ගේ හෝ ඉදිරි ආණ්ඩුවක මුදල් ඇමැතිවරයෙකු ගේ අත්සන සහිත නෝට්ටු භාවිතා කෙරෙන්නට ඉඩ ඇත.


මුදල් අච්චු ගසන බලය මහ බැංකුවට 


ලෝකයේ ඇතැම් රටවල මුදල් මුද්‍රණ අධිකාරිය මහ බැංකුව සතු වගකීමකි. තවත් සමහර රටවල භාණ්ඩාගාරය හෝ මුදල් අමාත්‍යාංශය හෝ වෙනම රාජ්‍ය ආයතනයක් මුදල් මුද්‍රණය කරයි. මුදල් මණ්ඩල ක්‍රමය වෙනුවට 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් මුද්‍රණ කාර්යභාරය උසුලයි. ශ්‍රී ලංකාවේ මුදල් අච්චු ගැසීම පුළුල් කටයුත්තකි. මහ බැංකුව විසින් නිකුත් කරන මුදල් පමණක් නොව, මහජනතාව විසින් මූල්‍ය ආයතනවල තබා ඇති තැන්පතු ද එයට ඇතුළත් ය. 
ආර්ථිකයක් දියුණුවෙන විට මුදල් උවමනාව වැඩිවේ. එය ඉල්ලුමට අනුව සැපයුම කළ නොයුතු අවස්ථාවකි. ධනය ඇති කොටස් උපයන මුදල් තැන්පත් කරන අතර තමන් භාරයේ ද තබාගනී. පසුගිය කාලය තුළ ආර්ථිකය ප්‍රසාරණය වූ පසු මුදල් ඉල්ලුම වැඩි විය. කොවිඩ් කාලයේ දී පාලනය වූ අතර දැන් නැවතත් ආර්ථිකය ස්ථාවර වූ පසු මුදල් ඉල්ලුමක් ඇති වී තිබේ. මෙම ස්වභාවය අතරවාරයේ ආර්ථිකය කළමනාකරණය කරන කාර්යයෙහි නිරත ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව පාලනය කරන සැලැස්මක පසුවේ. එයට ද හේතුවක් ඇත.  අධික මිල දී ගැනීමේ හැකියාවක් තිබුණහොත් වෙළෙඳ පොළට සපයන්නට සිදුවේ. නිෂ්පාදනය කඩා වැටී ඇති අතර පිටරටවලින් ගෙන්වන්නට විනිමය හිඟ පසුබිම තුළ, ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව අඩු කිරීම හැර වෙනත් පියවරක් නැත. එය සිදු කිරීමේ දී එකක් බදු වැඩි කිරීමය. අනෙක සැපයුම පාලනය කිරීම වේ. මෙම අංශ දෙක අතරට ගැනෙන පරිදි මුදල් අච්චු ගැසීමට ද සීමා පනවා ඇත. මෙම අවහිරතාවලින් ගැලවෙන්නට නම් ආර්ථිකය දියුණු කළ යුතුවේ. ආර්ථිකය දියුණු කිරීමේ දී නිෂ්පාදනය සහ සේවා අංශවල ප්‍රසාරණය අවශ්‍යය. ප්‍රසාරණය වෙනුවෙන් ආයෝජනයක් සඳහා ව්‍යසායකයෝ ඉදිරිපත් විය යුතු අතර එවැනි තත්ත්ව සඳහා ආණ්ඩුවේ ප්‍රතිපත්ති දෙස අවධානයෙන් පසුවේ. 
ආණ්ඩුව ප්‍රතිපත්ති සකස් කර අනාගත දර්ශනය ඉදිරිපත් කළහොත් එහි විශ්වාසය අනුව සෑම ක්ෂේත්‍රයකම අලුත් කර්මාන්ත හා ව්‍යාපාර ඇති වෙන අතර එයින් නිෂ්පාදනයක් සිදුවේ. එම නිපැයුම් වෙළෙඳ පොළට පැමිණි පසු විකිණිය යුතුය. විකුණන මුදල් උපයා ගැනීමට නම් සංසරණය වෙන මුදල වැඩිකරන්නට අවශ්‍යය. ප්‍රමාණවත් භාණ්ඩ නොමැති පසුබිම තුළ මුදල පමණක් වැඩිවුවහොත් අධික මුදල් ප්‍රමාණයක් හා මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා සීමිත ප්‍රමාණය තුළ අධි උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවේ. ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදය සලකා, විශේෂඥ රාමුවක් සකස් කරන ලද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, මුදල් අච්චු ගැසීම පාලනය කරන උපදෙස් නිකුත් කළ අතර වත්මන් ආණ්ඩුවට ද එයින් බැහැර විය නොහැකිය.


ඉතිහාසයේ සිදුවූ ආකාරය අධ්‍යයනය 


2022 වසරේ දී පළමු කාර්තුවේ රුපියල් බිලියන 588 ක් මුද්‍රණය කර ඇති අතර, ශ්‍රී ලංකාවේ සමස්ථ නිෂ්පාදන පරතරය රුපියල් ට්‍රිලියන 2.3 දක්වා ඉලක්ක කර ගනිමින් 2020 ජනවාරි මාසයේ සිට මුද්‍රණය කරන ලද මුළු මුදල් ලබාගෙන ඇති බව මහ බැංකුවේ දත්ත පෙන්වා දෙයි. 2020 දී නිල දත්තවලට අනුව, රුපියල් බිලියන 505 ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර සඳහා මුද්‍රණය කර ඇතත්, එම වසර අවසානයේ දී පවා නිකුත් කළ යුතු මුදල් වලින් රුපියල් බිලියන 206 ක් අතිරික්ත මුද්‍රිත මුදල් සංචිත ලෙස 2023 වසරට ගෙන ගොස් ඇත. 
ආණ්ඩු එදිනෙදා කටයුතු සඳහා ණය ගන්නා බව පිළිගත යුතුය. එය පුද්ගලික ජීවිතය හා සමානය. හදිසියක දී අතමාරුවක් සිදුවේ. එය නියමිත දිනයේ දී පොලිය සමග ගෙවිය යුතුය. ගෙවාගත නොහැකි නම් තවත් අයෙකුගෙන් මුදලක් ලබාගෙන මුල් ණය පියවා දමයි. ණය ගෙවාගත නොහැකි තීරණාත්මක තැනකට පත් වූ පසු තමන්ගේ දේපොළක් හෝ විකුණා එය ගෙවිය යුතුය. එය ද කළ නොහැකි තැන නඩු පැවැරීමක් සිදුවුවහොත් ශ්‍රී ලංකා ආණ්ඩුව විදේශ ණය සම්බන්ධයෙන් දැන් පත්ව ඇති ආකාරයකට ණය සමථකරණයකට යන්නට සිදුවේ.
දේශීය ණය අනුව ජනාධිපතිවරණයෙන් පසු ගත වූ කාලය තුළ පවා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කර ඇත. ඒවා පලදා අනුපාත දළ වශයෙන් සියයට දහයක පමණ ප්‍රමාණයක් සලකා වෙන්දේසි කර තිබේ. ගනුදෙනුකරුවන් වානිජ බැංකුවල තැන්පත් කරන මුදල්වලින් එම බැංකු මෙම බිල්පත් හා බැඳුම්කර මිල දී ගන්නා අතර නියමිත කාලයකට පසු ඒවා ආපසු ගෙවිය යුතුවේ. ප්‍රතිපත්තිය පරිදි අලුතින් ණය ගෙන පරණ ණය ගෙවා හැරීම මෑත කාලය තුළ පවා සිදුකොට තිබේ. ආර්ථිකය වර්ධනය වෙන අතර රජයේ ආදායම ඉහළ ගිය පසු මෙම චක්‍රයෙන් ගැලවීමක් ඇත. එතෙක් ඕනෑම ආණ්ඩුවකට ණය ගන්නටත් එම ණයවලින් කොටසක් වෙළෙඳ පොළ පසුබිම සලකා අලුත් මුදල් නෝට්ටුවලින් නිකුත් කරන්නටත් බලය ඇත. එම නිකුත් කිරීම සඳහා අලුතින් නෝට්ටු මුද්‍රණයක් නොකරන නමුත් සංචිතවල ඇති ප්‍රමාණයෙන් කොටසක් නිදහස් කෙරේ.


පොලිය, උද්ධමනය හා විනිමය අනුපාතිකය


මුදල් අච්චුගැසීම හුදෙකලා සිද්ධියක් නොවේ. එය සමස්ත ආර්ථිකයේ කොටසකි. ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය, පොලි අනුපාත හා උද්ධමනය යන්න ප්‍රධාන කුලුනු තුනකි. ඒවා සමබර කිරීම ආර්ථික විශේෂඥයන්ගේ කාර්යයකි. පසුගිය කාලයේ දී විනිමය හිඟයක් ඇතිවිය. කොවිඩ් වසංගත තත්ත්වය සමග සංචාරක හා විදේශ විනිමය ප්‍රේෂණ සම්බන්ධ ප්‍රශ්න ඇති වූ පසු විනිමය සංචිතය පිරිහී ගිය අතර අඩුම තරමින් ඉන්ධන හෝ ගෑස් ආනයනයට ද අසමත් වූ බව සඳහන් කළ යුතුය. රට තුළ ආර්ථික ප්‍රශ්න තිබිය දී රටට විනිමය ලැබෙන්නේ නැත. අධික විනිමය ඉල්ලුමක් තිබෙන විට රුපියල අවප්‍රමාණය වෙන අතර එහි වටිනාකම වැඩිවෙන තෙක් විනිමය මෙරටට එවීම ඒවා උත්පාදනය කරන පිරිස් ප්‍රමාද කරති. 
රුපියල අවප්‍රමාණය වූ පසු, මාරු කරන විදේශ මුදල් වලට වැඩිපුර ගෙවන්නට සිදුවේ. එයට මුදල් අවශ්‍යය. අනෙක් අතට, රජයේ මුදල් අවශ්‍යතාව වැඩිවේ. නිෂ්පාදනය අඩු හා රජයේ බදු ආදායම පහත වැටෙන පසුබිමක ණය ගන්නට සිදුවේ. ණය සඳහා තැන්පත් මුදල් බැංකුවලට ලැබිය යුතු අතර ආණ්ඩුවට වැඩිපුර ණය ගැනීමට වැඩිපුර පොලියක් ගෙවන්නට සිදුවෙන බව ද මතක තබාගත යුතුය. එම ණය ගැනීම පාලනය කරන ප්‍රයත්නයක් හා පොලිය ස්ථාවර කරන පියවරක් වශයෙන් මුදල් අච්චු ගැසීම කළහොත් උද්ධමනය වේගයෙන් ඉහළ 
යනු ඇත.
පසුගිය මාස දෙක තුළ උද්ධමනය පාලනය කරගත හැකි වී ඇති බව මහ බැංකු වාර්තාවල දැක්වේ. මෙම උද්ධමනය තවත් අඩුවුවහොත් ආහාර ද්‍රව්‍ය මිල අඩුවීම හේතු කොටගෙන පරිභෝජනය තවත් වර්ධනය විය හැකිය. සැපයුම නංවන පියවර නොගතහොත් වෙළෙඳ පොළ ප්‍රශ්න ඇතිවේ. හුදෙක් මුදල් අච්චු ගැසීම පමණක් නොව එයට පිටුපස වෙනම කතාන්දරයක් ද ඇති බව මෙයින් පැහැදිලිවේ. මුල්‍ය සාක්ෂරතාව වෙනම ඡේදයකි. ආර්ථික කළමනාකරණය හා එහි දැනුම වෙනස් අංශයකි. මෙම පැති ගැන සාධාරණ දැනුමක් රහිත අවස්ථාවක පතුරවන තොරතුරු වලින් සමස්ත සමාජයම නොසන්සුන් කළ හැකිය.


ආර්ථික ප්‍රතිපත්ති අනුව දිසාව තීරණය වේ


ආර්ථිකය දුර්වල වූ පසු මුදල් අච්චු ගසා බෙදාහැරීමෙන් ප්‍රශ්න නිරාකරණය කරගත හැකි වෙතැයි විශ්වාස කළහොත් වරදකි. ලෝකයේ ඇතැම් රටවල් ඒ සඳහා උත්සාහ කර ඇත. සිම්බාබ්වේ එයට හොඳ උදාහරණයකි. එහි වාර්ෂික උද්ධමනය මිලියන ගණනක ප්‍රතිශතයකින් ඉහළ ගියේය. ආර්ජන්ටිනාව, තුර්කිය හා අප්‍රිකානු හා උතුරු ඇමෙරිකානු රටවලද අධික උද්ධමන අනුපාත පවතී. නිෂ්පාදනය අඩු අතර දේශීය හිඟය ආවරණය කරගැනීම සඳහා මුදල්  මුද්‍රණය කිරීම තුළින් දැවැන්ත අර්බුද නිර්මාණය කරගෙන ඇත.
ලෝකයේ දැනට පවතින ප්‍රතිපත්ති අනුව විවෘත ආර්ථික ක්‍රමය පැතිරී තිබේ. එය ඉතාම හොඳ ක්‍රමය විය නොහැක. විවේචන තිබේ. සමාජ අසාධාරණයක් සිදුවේ. ඇති නැති පරතරය පුළුල්වන අතර  දුප්පතුන් තවත් දුප්පත් කරන ක්‍රමවේදයක් බවට විවේචන ඇත. එහෙත් එවැනි අසමතුලිත තැන් පාලනය කරමින් ආර්ථිකය දියුණු කරගැනීමට ප්‍රතිපත්ති සකස් කිරීම ආණ්ඩුවක වගකීමකි. තරගකාරීත්වය බහුලය. ඉල්ලුමට අනුව සැපයුම කළ යුතුවේ. මෙම මුලධර්ම නොතකා ගමන් කළහොත් පරතරය ඉහළ යන අතර අර්බුදයකින් කෙළවර විය හැකිය. 
ආර්ථිකය හා දේශපාලනය වෙනම තිබිය යුතුය. දේශපාලනයේ දී විවේචනය සිදුවේ. කිසිම විපක්ෂයක් ඇත්ත දකින්නේ නැත. ආණ්ඩුවේ කටයුතු කරන ජාතික ජනබලවේගය එකල පැවැති ආණ්ඩුවල ප්‍රතිපත්ති දරුණු ලෙස විවේචනය කළේය. එම දේශපාලනඥයන් ආණ්ඩු බලය ලබාගත් පසු අභ්‍යන්තරය හඳුනාගෙන තිබේ. විපක්ෂය පහසුය. ආණ්ඩුකරණය පහසු නැත. ජනතාව ඉල්ලන ආකරයට බෙදන පියවර සඳහා නිෂ්පාදනය කළ යුතුවේ. නිෂ්පාදනය තර වූ පසු මුදල් සැපයුම සැලසුම් සහගතව පවත්වාගැනීම අවශ්‍යය. මෙම අංශයෙහි විද්වත් පැති තර කරනු සඳහා මහ බැංකුවට අලුත් පනත් ගෙන එන ලද අතර ස්වාධීන කරන ලද බව ද මෙහි දී මතක් කළ යුතුවේ.