හර්ෂණ තුෂාර සිල්වා
“මෙතෙක් රටට මහා බරක්ව පැවැති ණය ගෙවා දැමීමට හැකි තත්ත්වයට ආර්ථිකය ඉදිරියට ගෙන
ඒමට ජාතික රජයට හැකිවිණැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය.
ආර්ථිකය ඉදිරියට ගෙන ඒමත් සමඟ යටිතල පහසුකම් සංවර්ධන කිරීම සඳහා ඉඩ සැකසී ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ආර්ථික සංවර්ධනයෙන් තොර යටිතල පහසුකම් සංවර්ධනයකින් පලක් නැතැයි ද කීවේය.
සිනමන් හෝටල් සමූහය ඇතුළු පාර්ශ්වකරුවන් සංවිධානය කරන ලද ‘සංචාරක කර්මාන්තයේ අනාගතය’ මැයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඞ්හී පැවැති සමුළුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.
“තව නොබෝ දිනකින් ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය ආසියාව වනු ඇතැයි ද ශ්‍රී ලංකාවේ
උපායමාර්ගික පිහිටීම එහිදී ඉතාමත් වැදගත් යයි” ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ආසියානු කලාපයේ සංචාරක ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානය වීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් යටිතල පහසුකම් සංවර්ධනය කරන අතරවාරයේදී වරාය, ගුවන් තොටුපොළ සහ අභ්‍යන්තර මහා මාර්ග පද්ධතිය ඇතුළු සබඳතා ජාල ද ඊට සමගාමීව සංවර්ධනය කළ යුතුබව ද? අග්‍රාමාත්‍යවරයා එහිදී කීවේය.
තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. “සමුළුව පැවැත්වෙන්නේ ඉතා වැදගත් කාලපරිච්ඡේදයකදී බව මුලින්ම කිව යුතුයි. වෝක්ටර් ටුවර්ස් වෙත ගිය හැටි මට මතකයි. වසර 45කට කලින් කොල්ලුපිටියේ එය පිහිටියා. මම වසර දහයකට වැඩි කාලයක් හෝටල් අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කරනු ලැබුවා.
අද වනවිට සංචාරක කර්මාන්තය බොහෝ සෙයින් වෙනස් වෙලා. ලෝකයේ හැම තැනම එය එසේයි.
අනෙක් අතට ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ධාවකය බවට ආසියාව පත්ව තිබෙනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. ඊට ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. එකක් 1970 පසු ආරම්භවූ ආසියානු කලාපයේ ඇති ආර්ථික සංවර්ධනය. අනෙක් කරුණ නව තාක්ෂණය හා තොරතුරු තාක්ෂණයයි.
ආසියානු කලාපයේ රටවල් ශීඝ්‍ර ආර්ථික සහ තාක්ෂණික සංවර්ධනය අත්පත් කරගෙන තිබෙනවා. වසර 2030 වනවිට ආසියා ශාන්තිකර කලාපය සංචාරකයන් මිලියන 500කට වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කර ගන්නවා. එය සමස්ත කලාපයෙන් සියයට 75කට වැඩි ප්‍රතිශතයක් වනවා. වසර 45කට පෙර අපි ජර්මනියෙන්, ඩෙන්මාර්කයෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළා. අද එය හාත්පසින්ම වෙනස් වෙලා.
ආසියානු කලාපයේ සියලු රටවල ඒක පුද්ගල ආදායම වැඩිවෙලා. එය යුරෝපයේ ජනගහනයටත් වඩා වැඩියි.
යුරෝපය නොසලකා හරින බව එයින් අදහස් වන්නේ නැහැ. එමෙන්ම වැඩිම ඒක පුද්ගල ආදායම තිබෙන සහ
අනාගතයේදීත් එසේ වන කලාපය යුරෝපය බව කිව යුතුයි.
එමෙන්ම යුරෝපය ඉතාම වැදගත් වෙළෙඳපොළයි. යුරෝපයේ සංඛ්‍යා දත්ත වගේම ආදායමත් ඔබට බලන්න පුළුවනි. අනෙක් අප අවධානය කළ යුතු කරුණ සහස්‍රයේ ජනතාවයි. විසි එක්වැනි සියවසේදී වැඩිවියට පත්වන දරුවෝයි ඔවුන් සංචාරක කර්මාන්තයට ආකර්ෂණය කරගන්නේ කෙසේ ද ? ඔවුන් සංචාරක කර්මාන්තය වෙනස් අතකට යොමු කරනවා.
සංචාරක කර්මාන්තය ආරම්භ කරද්දි අපි බැලුවේ දේපළ දිහා. එහෙත් අද සාමාන්‍ය නවාතැන්වලින් එහාට ගිහිල්ලා. අද පරම්පරා ගණනක් සංචාරක කර්මාන්තයේ යෙදෙනවා. ඔවුන්ගේ ක්‍රමවේද
වෙනස්වෙලා. රටකට ගියාම දන්න යාලුවෙකුගේ, ඥාතියෙකුගේ ගෙදර නවතිනවා.
ඒ නිසා අපට අනෙක් දේවල්වලට වියදම් මුදල් ඉතිරි වෙනවා. විනෝදාස්වාදය සඳහා
මුදල් ඉතිරි වෙනවා.
අනෙක් කරුණ තාක්ෂණයයි. සංචාරක ආයතන සියලු දේ කර දෙනවා. ගුවන් යානයේ කාලය, ප්‍රවාහන පහසුකම්, හෝටල් පහසුකම් ඔබ යා යුතු හෝටල් පවා ආයතන විසින් සොයා දෙනවා. තාක්ෂණය අද සෑම ක්ෂේත්‍රයකටම බලපා එය බොහෝ දේ වෙනස් කර තිබෙනවා.
අද අන්තර්ජාලය ඔස්සේ බොහෝ දේ කළ හැකියි. ඔබටම නවාතැන් ගැනීමට ස්ථාන සොයා ගත හැකියි. අද මැරියට් හෝටල් වෙනුවට එයාර් බීඇන්ඞ් බී ඇවිල්ලා. මා කලින් කිව්වා වගේ අද හෝටල් වෙනුවට නවාතැන් පහසුකම් සපයන ස්ථාන ක්‍රමවේද වෙනස් වෙලා.
සියල්ල හමුවේ අභියෝග රැසක් අප හමුවේ තිබෙනවා. අපේ සංචාරක කර්මාන්තය බොහෝ විට මහා පරිමාණ සමාගම් සම්බන්ධ වී තිබුණා. එය වෙනස් විය යුතුයි. සංචාරක කර්මාන්තයේදී අපට අවධානය යොමු කරන්න බොහෝ දේ තිබෙනවා. වෙනස් කළ යුතු බොහෝ දේ තිබෙනවා.
මා අගමැති ධුරය හෙබවූ 2001 සහ 2002 වසරවලදී කුඩා හෝටල් (බුටික් හොටෙල්ස්) ප්‍රවර්ධනය කෙරෙහි වැඩි අවධානය යොමු කළා. ඒ කාලේ ඒ ගැන අහලාවත් තිබුණේ නැහැ. අද කාලයත් සමඟ වෙනස් විය යුතුයි.
ආසියාව සංචාරක කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය වෙනවා. එය ශ්‍රී ලංකාවේ උපයා මාර්ගික පිහිටීමත් සමඟ හොඳින් ගැලපෙනවා. එය ඉතාමත් වැදගත් වෙනවා. ආසියාව සංචාරක කේන්ද්‍රස්ථානය වනවිට ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි අපි ඉන් උපරිම ප්‍රතිලාභ ගත යුතුයි. අප චීනයෙන් පැය හයක දුරින් ඉන්නේ. ඉන්දියාව එහා දොරේ. පාකිස්තානය, බංග්ලාදේශය අපේ ආසන්නයේය. දකුණු අප්‍රිකාවට යා යුත්තේ අප රට පසු කරගෙනයි. ජපානය, නැගෙනහිර ආසියානු රටවල් ඉන්නේ අපට පැය කිහිපයක දුරිනුයි. නැගෙනහිර අප්‍රිකාවට
ගමන් ගන්නා මාර්ගය අප හරහා වැටී තිබෙනවා.
අපේ පිහිටීමෙන් උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගැනීමට නම් සබඳතා ජාල ශක්තිමත් කළ යුතුයි. එය ඉතාම
වැදගත්වනවා. අපි අපේ වරාය, ගුවන් තොටුපොළ සහ අභ්‍යන්තර ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය කරන්නේ කොහොමද? යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් ඒ කටයුතු ආරම්භ කරනවා. පසුගිය වසර කිහිපයේදී එය තරමක් වියදම්කාරී වුණා. ණය ගෙවීමටවත් ආදායම් ප්‍රමාණවත් වුණේ නැහැ. අපි කළ යුත්තේ අප සතුව තිබෙන දේ සංවර්ධනය කිරීමයි.
වසර 2015 දී රජයේ වියදම් ඉතා විශාල අගයක පැවැතියා. ණය සේවා වගකීම් පියවීමටවත් ආදායම් ප්‍රමාණවත් වුණේ නැහැ. එහෙත් මේ වසරේ ගෙවී ගිය මාස කිහිපයේදී නියං තත්ත්වය සහ ගංවතුර තත්ත්වය හමුවේ වුවද ප්‍රමාණවත් ආදායම් ඉපැයීමට අපට හැකියාව ලැබුණා. අපේ ආර්ථිකය අද වර්ධනය වෙමින් තිබෙනවා.
ණය ගැනීමට අවශ්‍ය වූයේ අනෙක් දේවල්වලට පමණයි. සාර්ව ආර්ථික ස්ථාවරත්වය නිසා ආර්ථිකය ස්ථාවර
තත්ත්වයකට පත් කිරීමටත්, ආර්ථික නැවත පිළියෙළ කිරීමේ කටයුතු සාර්ථකව කරගෙන යෑමටත් හැකියාව
ලැබුණා. ආර්ථික සංවර්ධනය නැතිව කෙරෙන යටිතල පහසුකම් සංවර්ධනයෙන් වැඩක් නැහැ. ආදායම්
උපයන්නේ නැති, නැව් නැති වරාය, ගුවන් තොටුපොළවලින් පලක් නැහැ. ආදායම් උපයන්නේ නැති මහා මාර්ග පද්ධතියකින් වැඩක් නැහැ. පසුගිය කාලයේදී රටට වුණේ එයයි.
අප ආර්ථිකය අනෙක් පැත්ත හැරෙව්වා. අප නිවාස ඉදිකළා. වැටුප් වැඩි කළා. පෞද්ගලික අංශයට අවස්ථා දුන්නා. අද ආර්ථිකයට පෙරට ගෙනවිත් තිබෙනවා. ඒ වගේම ණය ගෙවීමට හැකි තැනට ඇවිත් ඉන්නවා. එහෙත් කළ යුතු දේ තව තිබෙනවා. අප මෙතෙක් කළ දේවල් අපතේ යෑමටද ඉඩ නොතැබිය යුතුයි.
අද අප සංචාරක කර්මාන්තයේ සහ ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන කලාපය ලෙස දකුණු පළාත කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. දකුණ කියන්නේ කඩිනම් ආර්ථික සංවර්ධනය අවශ්‍ය කරන පළාතයි.
ඉන් අනතුරුව කටුනායක කල්පිටිය දක්වා දියුණුවනවා. අපට ප්‍රධාන වරාය දෙකක්, ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක් තිබෙනවා. ත්‍රිකුණාමල වරාය තිබෙනවා. මේ සියල්ල කේන්ද්‍ර කරගනිමින් අප සංචාරක කලාප ස්ථාපිත කරනවා. සංවර්ධනය සඳහා විශාල ප්‍රමාණයේ හෝටල් ඉදි කරන්න ආරාධනා කරනවා. ආයෝජකයන්ට ආරාධනා කරනවා. ඔවුන්ට කොළඹ, මත්තල, යාපනය, නුවර, මන්නාරම විවෘතයි. ආයෝජකයන්ට තමන්ගේ කර්මාන්තය දියුණු කරන්න අවශ්‍ය අවස්ථා උදා කරනවා. අවස්ථා විවෘත කර දෙනවා. අක්කර 500ක් සංචාරක කර්මාන්තය වෙනුවෙන් වෙන් කිරීමට මා අමාත්‍යවරයා සමග සාකච්ඡා කළා. එය අපේ ආරම්භයයි.
සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් අපට විශේෂ සැලැස්ම තියෙනවා. අප විශාල ප්‍රමාණයේ හෝටල්වලට පමණක් නොව කුඩා හෝටල්කරුවන්ටත් අවස්ථාව උදා කර දෙනවා. දෙවැන්න ඉන්දියානු සාගරයයි. බෙංගාල බොක්කේ සිට නැගෙනහිර අප්‍රිකාව දක්වා සංචාරක කලාපයයි. විශාල ප්‍රමාණයේ වාණිජ සුඛෝපභෝගී සංචාරක නෞකාව ඉන්දීය සාගර කලාපයට ආකර්ෂණය කර ගැනීම එවැන්නක් වනවා. අපි ඉන්දීය රජය සමග සාකච්ඡා කරනවා.
එය ඉලක්ක කරගනිමින් කොළඹ, ත්‍රිකුණාමලය හා හම්බන්තොට කේන්ද්‍රීය සංචාරක කලාපය ස්ථාපිත කරනවා.
සියල්ල කිරීමට මානව සම්පත අවශ්‍යයි. ඒ නිසා මානව සම්පත සංවර්ධනය කිරීම සඳහා අප දැනටමත් කටයුතු ආරම්භ කර ඉන් අනතුරුව ප්‍රවර්ධන කටයුතු අරඹනවා. අනෙක් අතට අවුරුද්දට දවස් 365ක් තිබෙද්දි දවස් 150කට සැලැසුම් කරන්නේ ඇයි ? මුළු අවුරුද්දටම සංචාරක සැලැස්ම හදමු. 2020 වෙද්දි ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියන 5ක් ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
අපේ පොහොසත් රටක් 2025 දැක්ම ඉලක්ක කර ගනිමින් 2020 සිට 2025 දක්වා කටයුතු කිරීමට සැළැසුම් සකස් කරනවා. ඇතැම් ක්‍රියා මාර්ග හා කටයුතු දැනටමත් ආරම්භ වෙලා. මමත් අමාත්‍යවරායත් මැදිහත් වීමෙන් කාර්ය සාධන බළකාය කටයුතු කරමින් සිටිනවා. ඔවුන් වාර්තාව සකසමින් ඉන්නවා.
එය ලැබුණු විගස සියලු පාර්ශව සමඟ එක්ව අපේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට, සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. ඔබට හැකියා රැසක් තිබෙනවා. ඔබට අවස්ථා රැසක් තිබෙනවා. ලෝකයේ සංචාරක කර්මාන්තය රැඳී තිබෙන්නේ ආසියාවේයි.
අපේ රටේ පිහිටීම එහිදී ඉතා වැදගත් වෙනවා. ඒ නිසා අපට කළ යුතු වැඩ රැසක් තිබෙනවා” යයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.
සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ සී.එන්.එන් ට්‍රැවල් හි විධායක කර්තෘ බ්‍රෙකි ෆ්ලෙචර් මහත්මිය ද සංචාරක කර්මාන්තයේ අනාගතය සමුළුවේ ප්‍රධාන සැසියේදී අදහස් දැක්වූහ.
මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරීන්, සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්, රාජ්‍ය නිලධාරීන්, දෙස් විදෙස් නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප - ශාන්ත රත්නායක